Monday, January 31, 2011

[156] අම්මේ තාත්තේ..අපිට ආදර ටියුෂන් දෙන්නකෝ...

" මගේ අම්මල තාත්තල කවදාවත් මාව හුරතල් කරල නෑ. පොඩිම පොඩි කාලෙ වුනත්. එයා හරි සැරයි. නපුරුයිදත් මන්දා. හැමතිස්සෙම දුන්නෙ අවවාද.දෙයක් කිව්වොත් සැරෙන්. මම එයාට බයයි. මම කවදාවත් එයත් එක්ක විහිලු කරල නෑ. එයා හිනා යන දෙයක් කිව්වොත් අපි හිනා වෙන්න ඕනෙ නිසා හිනා වෙනවා. ඒත් එයා කවදාවත් අපිට සැහැල්ලුවෙන් හැසිරෙන්න ඉඩ දුන්නෙ නෑ. අපිට කෑගහල හිනා වෙන්න දුන්නෙ නෑ. අපි එයාලට අමුත්තො වගේ හිටියේ.
 
ගෙදර කිසිම තීරණයක් අපි දැන උන්නෙ නෑ. අපිට අහන්නවත් අයිතියක් තිබ්බෙ නෑ. ගෙදර තීරන බෙදා ගැනුනෙ ගෙදර ලොකු අයිය එක්ක විතරයි. මම ඇතුලු නන්ගිල මල්ලිල සහ අක්කාට ඒ අයිතිය තිබ්බෙත් නෑ. ඒ නිසා ගෙදර කනපිට පෙරලුනත් බරක් දැනුනෙත් නෑ අපිට. මොකද එයාල හැමතිස්සෙම හැන්ගුවා මේවා අපෙන්. අපි අපේම ලෝක වල ජීවත් වුනේ. කන්න බොන්න එකතු වුනත් ඒ කාලය හරිම අප්‍රියා සහගත වුනා. අපිට හිනා වෙන්න දුන්නෙ නෑ. කාල ටික වෙලාවක් කෑගගහ හිනා වෙන්න , සතුටෙන් ඉන්න දුන්නෙ නෑ. අපි හෑමෝටම සිද්ද වුනේ කෑගහනව කියල බෑනුම් අහ අහ කාමර වලට රිංග ගන්න.  "


හ්ම්ම්ම්... මට මුණ ගැහුන තවත් යාලුවෙකුගේ කතාවක්. ඒත් මේ කතාව පිටිපස්සෙ තියෙන්නෙ විසාල ඛේදවාචකයක් කියල මට හිතුනේ එයාගෙ වර්තමාන ජීවිතයෙ තියන පැටලුම් දැක්කම. එයා හරිම සංකීර්ණ මානසිකත්වයක ඉන්නේ. සමාජෙන් වෙන් වෙලා, හැංගිලා. එයාගෙ ප්‍රශ්න එයා කා එක්කවත් බෙදා ගන්නෙ නෑ. ඈත්තටම එයත් එක්ක කතා බහ කලාට පසු මටම පුදුමයි එයා මට මෙපමණවත් විවෘත වුන එක.


 මේ අම්මගෙ තාත්තගෙ සැබෑ උණුහුම ආදරේ සෙනෙහස ලෙංගතුකම වෑඩිහිටි වියට පැමිණෙද්දි අහිමි වෙන එක් හදවතක දුක්බර කතාවක් විතර‍යි.. තව නොකියවුන කතා කී දාහක් ඇද්ද?

මේ යාලුවා ආදර සම්බන්ධ කීපෙකම පැටලුනා. ඒත් මේ මල්ලි, හරියට පෙම්වතියගෙන් ආදරේ බලාපොරොත්තු වෙනවා. හැබැයි මම කියන්න ඕනේ, මේ මල්ලි ආදරේදි හරිම අවංක , හරිම ලස්සනට ආදරේ ප්‍රකාශ කරන කෙනෙක්. ඒත් එයා ඒ හා සමානම ආදරයක් බලපොරොත්තු වෙනවා අනෙකගෙනුත්. එයයි වරද.  ආදරේට වැඩියෙ හුරතලේ බලාපොරොත්තු වෙනවදත් මන්දා. ඒත් මේ මල්ලි හරිම ආදරනීය කෙනෙක්. හරිම හොඳ කෙනෙක්.



අපි ඉපදෙනකොට අපෙ අම්ම අපිව තුරුලු කරගන්නව සෙනෙහසින්. ඒත් සමහර අම්මලා තාත්තලා කරදඬු උස්මහත් වෙද්දි දරුවන්ව හුරතල් කරන එක නවත්වනව. එතකොට දරුවෙකුට දැනෙන මානසික පාලුව මෙතෙකැයි කියල කියන්න පුලුවනිද? කරදඬු උස්මහත් වෙද්දි තාත්ත දුවෙකුගෙන් ඈත් වෙනව නම්, අම්ම පුතෙකුගෙන් ඈත් වෙනව නම් මම හිතන්නෙ එතනින් තමයි දරුවන් නරකම ආදර්ශය ගන්නෙ. ආදරේ සම්බන්ධව. ආදරේ එතනින් එහාට ඔවුන්ට විඳින්න ලැබෙන්නෙ නෑ. දකින්නෙත් නෑ. ලමයි ලොකු වෙද්දි අම්මල තාත්තල තමුන්ගෙ කාර්‍යබහුල ජීවිතේ පිට දමල මේ යුතුකමෙන් මගහරිනවා. ආදර දැනෙන්න දෙන එක දරුවන්ට. කොටින්ම ඔවුන්ට එකිනෙකාට (අම්මාට සහ තාත්තාට) ආදරය කරන්න පවා අමතක වෙනවා.


මම මේ ලියන දේ නම් බොහෝ විට විවිධ මතවාදවලට හේතු වෙන්න පුලුවනි. ඒත් මම නම් හිතනවා දරුවෙකු ආදරය (අන්‍යානෙය) ආදරය හඳුනා ගත යුත්තේ අම්මා තාත්තා ඇසුරෙන් කියා.

අද කාලෙ අපෙ පරිසරයෙ සමහර අම්මලා තාත්තලා දරුවෙකු ඉස්සරහා අඩු ගානේ ලඟින් ගෑවෙන්නවත් ඉඳ ගන්නෙ නෑ. අතින්වත් අඩු ගානෙ අල්ලන්නෙ නෑ. අඩු ගානෙ අලුත් අවුරුද්දටවත් වැලඳ ගැනීමක්, හිසවත් සිඹීමක් කරන්නෙ නෑ. ඒ නිසාම දරුවන්ට අම්මගෙයි තාත්තගෙයි ආදරේ පෙනෙන්නෙ හරි බොල් දෙයක් හැටියට. කොටින්ම කියනව නම් පිරිමියෙක් තමා ආදරය කරන ගැහැනියට දැක්විය යුතු ලෙන්ගතු කම, ගැහැනිය තමා ආදරය කරන පිරිමියට දැක්විය යුතු ලෙන්ගතු කම, දරුවෙකුට උගන්වන්න පුලුවන් හොඳම ගුරුවරු දෙන්නා අම්මයි තාත්තයි. එයාල එකිනෙකාට පෙන්වන ප්‍රකාශ කරන සෙනෙහස දරුවන්ට පෙනෙන්නෙ නෑති කොට එයාල ඒව ඉගෙන ගන්නෙ කොහෙන්ද ? හරසුන් හින්දි චිත්‍රපටි වලින්, පත්තර වල මල් කතා වලින්, චිත්‍ර කතා වලින් නෙමෙයිද? අනෙක් දරුණුම මූලශ්‍රය තමයි 'යාලුවන්' - කොටින්ම නුහුරු අත්දැකීම් වලින් කුල්මත් වුන යාලුවන්... අම්මේ තාත්තේ මේ ගැනත් හිතුවාද ?


අම්මගෙයි තාත්තගෙයි ලස්සන ආදරේ තරම් දරුවෙකුට ආදරේ ගැන දෙන්න පරමාදර්ශයක් තවත් කොයින්ද? අම්මගෙයි තාත්තගෙයි ප්‍රේම වෘතාන්තය ආදරෙන් දවස ගෙවෙන හැටි තරම් දරුවෙකුට වටින ආදර පාඩමක් තවත් තිබිය හැකිද?  
දුවෙකුට කොල්ලෙකුට හිත යනවනම්, පුතෙකුට කෙල්ලෙකුට හිත යනව නම් , හිත ගිය ඕනෙ වැලි ගොඩක මාලිගා නොහදා හිතගිය දේ ආදරේද වෙන දෙයක්ද කියල විමසල බලන්න අම්මගෙ තාත්තගෙ උදව්ව තියනවනම් කොයි තරම් අපූරුද? 

ආදරේ ඇරඹෙන්නෙ කොහොමද , හිත යන්නෙ කොහොමද , ඒ ඒ දේට නිසි කාලය මොකක්ද ? , තෑන නොතැන හැසිරීම් රටා මොනවද කියන මේ පාඩම අද බහුතරයක් දරුවො ඉගෙන ගන්නෙ තමුන්ම නිරීක්ෂණය කරලා එලැඹෙන මෝඩ නිගමන වලින්. එක්කෝ ටෙලිනාට්‍යයකින්. චිත්තරපටියකින්. මේක හොඳද?  ඇයි අම්ම තාත්තට බැරි මේ සරල දේවල් ගැන කතා කරන්න. ආදරේ හිතෙන හැටි, ආදරේ කරන හැටි, එයින් දැනෙන දේවල්.යනාදිය. දරුවන්ට මේ වැටහීම නැති වෙද්දි තමුන්ට තමුන්ගෙ සීමාවල් තනියම තීරණය කරගනන් වෙනව. එක්කො සහකරුවාට නොදැනුවත්වම අනවශ්‍ය දේට පවා අවනත වෙන්න වෙනවා. ඔක්කොම වෙලා හමාර වෙනකල් තමුන් දන්නෙ වත් නෑ. ආදරේ සුප් හොද්දක් කියල මම කිව්වෙ නිකම්ද?


 ඉතින් අම්මෙ තාත්තෙ, මේ කාර්‍යබහුල ජීවිතෙ අස්සෙම අපිට කියා දෙනවද ආදරේ...? ඔයාලගෙ ආදරේ නොදැකපු අර මල්ලි වගෙ උදවියට ජීවිතේම පැටලෙනවා ආදරය කරන් නොදන්න කමෙන්. ආදරෙ එක්ක ජීවිතේම වරද්ද ගන්න පෙලඹෙන්න කලියෙන් අපිට ආදරේ විඳින්න කියල දෙන්න. අපිට ඔයාල දෙන්නගෙ ආදරේ පරමාදර්ශයක් කරන්න. 

ආදරය රැඳෙන්නෙ කලුවරේ කාමරයක් ඇතුලෙ නොවෙන බව අපිට උගන්වන්න. එදාට මේ රටේ අතින් අල්ලගෙන යන පෙම්වතුන් දිහා වැඩිහිටියො රවා නොබලාවි. එදාට ඒ රැවුම් වලින් බේරෙන්න හිරිමල් කොල්ලො කෙල්ලො හෝටල් කාමර වලට නොදුවාවි.නුවර වැවරවුමේ බංකු වල කලු තාර ගාල පෙම්වතුන්ව අසල හෝටල් කාමර වලට අඳුරු බොක්ස් කුටි වලට අද්ද ගන්න මුදලාලිලට ඉඩ හදන්නෙ ඈයිද? 


ආදරේ පාඩම් , තැන නොතැන, අම්මල තාත්තල ආදර්ශයෙන්ම දරුවන්ට කියා දෙන කාලෙක අපිට බස් සීට් මුල්ලේ රති කෙලි නොපෙනේවි. ආදරේ කියන්නෙ ගරහන්න හෝ හංගන්න දෙයක් නොවෙන බව දරුවො පසක් කරන තැන ආදරේ අපි ලෝකෙ පුරාම දකීවි. ආලින්දයේ , මහ පාරේ , කඩ සාප්පු වල, මුහුදු වෙරළේ හැම තැනම, 'අන්න පුතේ අර කපල් එක ආදරේ කරන ලස්සන!' කියල අපිට පෙන්වන් පුලුවන් හෙටක් හැදේවි.

[155] දිලුම්ට 'සවන් දෙන්නට' අපි එකතු වෙනවා නේද?


ඔය ඈස් වලින්
කතා කරන්ට  
හැකි තමයි...

ඒත්
වචනයක් වත් 
නෑහෙන ලෝකෙක
එක මොහොතක් 
ඉන්න හැටි මවාගෙන
පොඩ්ඩක් අත් විඳින්නකො
මගෙ ජීවිතේ  
කියා ගන්න බැරි  
මේ දුක...

ලෝකය කුරිරු නෑ මට...
ඉන්නවා දහසක් මගෙ හයියට...
මේ සොඳුරු දෑත්  
එක්වෙන විට එකිනෙක
මට දිනිය හැකියි ලෝකෙම..



දයාබර යාලුවනේ....



මේ හිත හරිම හයියයි...
හිතේ හයියට
'සවනක්' දෙන්න  
අපේ ඉලන්දාරියාට
එක්වෙනවා නේද අපිත් ?  


එක් මොහොතක නිශ්ශබ්දතාවය අත් විඳ , අපි හිතින් විතරක් නොහිතා, මුලු හදින්ම හෑකි විරියෙන් , අපේ ඉලන්දාරියාට හයියක් වෙමු.. ඔහු ලඟින් ඉඳිමු. ඔහු වෙනුවෙන් අපට කව් ගී ලියනවාටත් වඩා දේ කල හෑකියි. කරනවා අපි. ඊට අපි හැමෝම එකතු වෙනවා නේද?

සංසාරේ අපි වෙත එන්නේ , හැමදාමත් මනුස්සකම හඳුනන අය පමණයි... ඒ නිසා , ඔබ හැමගේ දෑත් හයිය ඔහුට උවමනා වෙලාවක් මේ. පුංචි දායකත්වයකින් හෝ , ඔහුට 'සවන් දෙන්නට' හයියක් වෙමුද අපි ???


සංසාරේ අපි ලියන , ජීවිතේ මල් (දිල්ශාරා) ගෙන් ආයාචනයක් ...

මෙතනට යන්න. ඔහු වෙනුවෙන් කල හැකි දේ කරමු නේද ?

Sunday, January 30, 2011

[154] ඉස්කෝලෙන් ආව තවත් ඇත්ත කතාවක් ! (වණ්ඩු ආප්ප ආදරේ)


මම මේ මාසෙ ඉඳන් යන්න ගත්තා අලුත් ඉස්කෝල වෑන් එකක. ඒ වෑන් එක හොයා දුන්නෙ සමන්මලී. ඈත් අපෙ පාසලේම ගුරුවරියක්. පොශ් ,මේකප් දාන ගුරුවරියො අතරෙ ඈ හරියට සමන් මලක් වගේමයි. ඉතින් ඈ මහපොලව උඩ පිපිච්ච නිශ්ශබ්ද චාම් සමන් මලක්ම තමයි. මම අවුරුදු 3ක් මේ පාසලෙ උන්නට සමන්මලී එක්ක වැඩිපුර කතා කරල නම් නෑ. මම වගෙ දඩබ්බරියක් එක්ක ඈ කතා කරාවිද ? නේද :) 

ඔන්න ඉතින් පාසල් වෑන් එකෙ යන එන වාරෙ මම සමන්මලී එක්ක කතා බහට වැටුනෙ නිරායාසයෙන්. ඒත් ටික දවසක් ගත වෙද්දි ඈ මගෙ ලියන කියන ඒවා, කවි සාහිත්‍යයට හෙම තියන පිස්සුව එක්ක මාව අඳුන ගත්තා. මමත් ඇගෙ ගෙදර දොර අරව මේවා විස්තර වලින් ඈ අපි වගේම මහ පොලවෙ සමන් මලක් කියලා තේරුම් ගත්තා.  


මේ අතරෙ නෙව අර 'ආදරය හෙවත් සුප් හොද්ද' මගෙ ලිවිල්ලයි 'මට සමනලයෙක් අල්ලල දෙන්න' ලිවිල්ලයි රිවිර පත්තරේ පල වුනේ. ඉතින් මේ ලිවුම් දෙකම මම සමන්මලීට ගෙනවිත් දුන්නෙ ඈ විතරක් නෙමෙයි ඈගෙ සෑමියත් සාහිත්‍යයට ඇලුම් කරන බව දන්න නිසාමයි. 

ඉතින් ඈ මේ ලිපි දෙක කියවලා ඊලගට මට ගෙනවිත් දුන්නා ඒ ගැන ඈ ලිව්ව කමෙන්ටුවක්. (මන් කියන්න ඕනේ , ඈ හරිම අකැමතියි මේ මෙවලම් උපකරණ වලට. ඉතින් ඈ කම්පියුටරයක් තියා මොබයිල් ෆෝන් එකක්වත් පාවිච්චි කරන්නෙ නෑ. ඒ නිසා ඉතින් බ්ලොග්කරණයට ඈව කැඳවන් එන අදහස මට අත් හරින්න වුනා) ඒ ලිවිල්ල ලස්සන නිසාම මම ඇගෙන් ඇහුවා මම මේ ලිපිය බ්ලොග් එකේ දමන්නද කියා. ඈ එක පයින් කැමැත්ත දුන්නා. 

ඔන්න යාලුවනේ මම මේ ලියන්න යන්නේ ඒ ලිපියයි. 





" ආදරය සුප් එකක්ද එහෙමත් නැතිනම් දුරට සුන්දර , ලං කරගත් දා නිකම්ම නිකම් කෘමියෙක් වෙන සමනලයෙක්ද කියලා කාටද කියන්න පුලුවන්? 

මම නම් නගෝ හිතන්නේ මෙහෙමයි. ආදරය හරියට රසම රස 'වණ්ඩු ආප්පයක්' වගේ.මොකද හිතෙන්නේ? මම ආදරයට ගරහනවද? අපොයි නෑ. මේ රස විඳින්නේ මමයි. මගේ ප්‍රියතම ආහාර වලින් එකක් වණ්ඩු. චිප්ස් , චොකලට්, රෝස්ට් චිකන් වලට හිත යන කාලෙක වණ්ඩු වලට ආසා කරන කෙනෙක් මම.

මම විඳින ආදරය, මම බෙදන ආදරය 'වණ්ඩු' වගේ. සාම්ප්‍රදායිකයි. modern නෑහෑ. ඒ රස මේ යැයි මෙතෙකැයි කියලා මම කාටවත් කියලා දෙන්නෙ නෑ.මම ඒක විඳිනවා බෙදනවා. 

එදා පටන් අද වෙනකල් , මගේ හිතේ ආදරයෙන් රැඳෙන උදවියට මගෙන් ගැලවීමක් නෑ. එයාල මම සිරගත කරනවා. ඒ මට එයාල නැති වේවි කියලා. ඒ කිව්වේ මගේ ජීවන චක්‍රයේ පටන් ගැන්මේ සිට අද දක්වා. 
උදාහරණයක් විදියට , මගේ අම්මා ජීවිතයෙන් සමු අරන් දැන් අවුරුදු 7කුත් ගත වෙලා. ඒත් එයා මගේ ජීවිතයෙන් සමු අරන් නෑ. ඒකයි මම කිවුවේ මම එයාල සිරගත කරනවා කියා.

ඒ කොහොම වුනත් දැන් මගේ ගැලියේ හිරකරු තමයි - ජීවිතාන්තය දක්වාම, අපේ පුතාලගේ අප්පච්චි.

මොකද මූණේ ප්‍රශ්නාර්ථයක්? ඔය අහන්නේ මම මගේ පැටවුන්ට ආදරේ නැද්ද කියලනේ. මොකද නැත්තේ. ඒත් ඒ පැටවු මට ලැබුනේ අපේ ආදරේ නිසානේ.  

මගේ දෝණි අහනවා, 'අම්මා මම ඔයාගේ දූනේ. අම්ම අපේ අම්මනේ. එතකොට අප්පච්චි අම්මගෙ කවුද?' හරිම ප්‍රශ්නයක් නේද? 

දන්නවද මගෙ උත්තරේ. ඔයාගේ දූ ඒ ප්‍රශ්නේ ඇහුවනම් ඔයා දෙන උත්තරේ මොකක්ද?  
'අනේ මේ දරුවෝ, මට වැඩ තියනවා , ඔයාගේ ඔය ප්‍රශ්න වලට උත්තර දිදී ඉන්න මට බෑ'  
එහෙම කිව්වොත් අනේ ඒ පුංචි හිත රිදේවි. මම කියලා නොදුන්නොත් ඒ ආදරේ ගැන දූට කවුද කියලා දෙන්නේ? ඒ නිසා එයාට මම කියලා දුන්නා අප්පච්චී අම්මාගේ කවුද කියලා. මෙන්න මෙහෙම...
හ්ම්ම්.. එක්කෝ ඒක මම වෙන දවසකට තියන්නම්කෝ.
මම ගිහින් එන්නම් හොඳේ. තවත් ආදරේ ගැන කතා කරන්න. "

 ලිව්වේ සමන්මලී ගුණවීර.


ඉතින් ආදරේ ගැන තව කතා කරමු නේද?  

Saturday, January 29, 2011

[153] "සංසාරේ අපි" හමුවෙලා අවුරුද්දයි!!


සංසාරේ!
අවුරුද්දක් ගිහිල්ල නෙව.
ලේසි නෑ. දෑන් ලොකු ලමයෙක් මෙයා!
දවස් 365ක් තිස්සෙ ලියුම් 150ක් ලියල කියන්නෙ ජීවිතේ මල් කොටින්ම දවස් 2-3කට සෑරෙයක්වත් "සංසාරේ අපි"ට අලුතෙන් දෙයක් එකතු කරල. ඉතින් පහුගිය අවුරුද්ද සංසාරේ අපි ගෙවුව හැටි ගැන පොඩි පෝස්ට්මෝටමක් කරන්න මට හිතුන.


අර මම 100 වෙනි ලියුම ලියද්දි කිව්ව වගේ මගෙ බ්ලොග් කෙරුවාව පටන් ගත්තෙ 2006 දිහෑවෙ වුනත් බෑරි කඩුවෙන් කොටල කොටල බ්ලොග් එප්ඵා.. වෙලා උන්නු ජීවිතෙ මල්ට අමුත්තෙක් දවසක් කිව්ව සිංහලෙන් බ්ලොග් ලියන ජනතාව ගැන ඔත්තුවක්. ඔය ඔත්තුව ඔස්සෙ ගිහින් දුටුව පලවෙනි සර්ච් රිසල්ට් එකේ තිබ්බ myblog.lk එකට විමසිල්ලක් නෑතුව පෑන්නෙ දෙවරක් නොහිතාම. ඒත් වෑඩේ බ්ලොගර්.කොම් වගෙ ලේසි නෑ. :( . කොටින්ම ලියුමක් ලියනවට වඩා වෙලා යනව ඒකෙ විවිධ සිංහල වලින් ලියවුනු අංගෝපාංග ටික තේරුම් ගන්න. පස්සෙන් පහු ලිපි 10-12ක් දාලත් මෙලෝ මිනිස් සතෙක් බ්ලොගේට නො එන තෑන ජීවිතෙ මල් තීරණේ කලා බ්ලොග් ස්පොටේට පනින්න. ඔන්න ඔහොමයි පහුගිය වසරෙ ජනවාරි 29 වෙනිදා උදේ හිටන් දවස පුරා නටලා නටලා ජීවිතේ මල් බ්ලොග්ස්පොට් එකේ මෙන්න මේ සංසාරේ අපි ව ඉපෑද්දුවේ.


ඉපදුනා වගෙ නෙමෙයි , දෑන් ඉතින් ලස්සනට ඇති දැඩි කරන්නත් එපැයි. ඉස්සෙල්ලාම කලේ මයිබ්ලොග් එකවුන්ට් එකෙ කාත් කවුරුවත්ගෙ ඇහැට ලක් නොවී වේලි වේලි තිබුන ලිපි ටික සංසාරේ අපි වෙත අරගෙන ආව එකයි.  ඊට පස්සෙ නිකම් අපායට හෙණ ගහල වගෙ මූන හදාගෙන හෑමදාම උදේට දිව දික් කරන් බලා උන්නෙ , අනෙ කවුරුවත් අද කමෙන්ට් කරාවි අද කමෙන්ට් කරාවි කියලයි. මේ වෙලාවෙ මතක් කරන්න ඕනෙ, මගෙ බ්ලොග් එකකට ඉස් ඉස්සෙල්ලම කමෙන්ට් දෑම්ම මන්දාකිණිය ලියන කමලිකා අක්කයි , දුකා ලියන දුකා අයියයි.


මේ ජීවිතේ මල් කොච්චර බ්ලොග් කියෙවුවත් බ්ලොග් වලට කමෙන්ට් ලියන්න නම් හරිමම කම්මෑලි කෙල්ලෙක්. අනේ ඉතින් ඒකට නම් මට සමා වෙන්න ඕනෙ. තව නිදහසට කරුණක් තියනව. අනේ ඇත්තටම මම හරිම බිසි කෙල්ලෙක්. (ඔන්න නයෙක් ! ) :)


සංසාරේ අපි ටික ටික කවි වලින් පිරෙන්න ගත්තෙ පෙබරවාරි මාසෙදි. අවුරුදු 10ක් 'ලියන්නෙම නෑ' කියල හිතුවක්කාරෙට හිටිය ජීවිතෙ මල්ගෙ කවි ලියන එක ආපහු ටියුන් වෙන්න ගත්තෙ පහුගිය වසරේ.... පෙබරවාරියෙ ලිව්ව සමහර පෝස්ට් වල අපූරු සංවාද පවා ගොඩ නෑගුනෙ දිලාව මේ බ්ලොග් කෙරුවාවට තදින්ම ඇබ්බැහි කරවමින්. ඔය අතරෙ ජීවිතෙ මල්ගෙ පෝස්ට් එකක් දෙකක් ලක්බිමේ වියුණු සටහන් වල පලවී තිබීමෙන් දිලා බ්ලොග්වනක් ප්‍රීතියෙන් පිනා ගිහින් උන්නේ.


මාර්තු මාසෙ වෙනකොට ඔන්න එහෙන් මෙහෙන් පොඩි පොඩි විජට්ටු කෑලි දාගන්නත් ජීවිතෙ මල් උත්සුක වුනා සංසාරේ අපි ඈතුලට. අන්තිමේට මේක විජට්ටු ගුහාවක් වගෙ උනාදත් මන්දා.


ජීවිතෙ මල් පොඩි පොඩි දිග කතන්දර ලියන්නත් නෑඹුරු වුනා ඔය අතරේ. ඒ අතරින් වෑඩිම පාඨක මනාපයක් තිබුන කතා ටිකක් තමයි මේ.
 ලැජ්ජාවේ බැරි , මගේ සිංහල කොම්පීතරය සහ අන්තර්ජාලය....
ඉස්කෝලෙන් ආව ඈත්ත කතා දෙකක් !
කුඩයක් අරන් ආවොත් බලාගෙනයි !!! :-)
ආදරය දැනෙන්න ජීවත් වෙන්න
අපේ ඇඟේ තියන් කපන , අපේ මාලු රසටම තලු මැරීම!
අහල තියේද "කඩියා මූඩ් ප්ලෑන් වෙනස්කිරින් මැශින්" ...
ඉන්දියන් මාන්නක්කාර කෙල්ල....


මෑයි මාසෙ වගෙ වෙනකොට ලස්සන ටෙම්පලේටුවක් ගැන සිහින මව මව ඉඳිද්දි , යාලුවෙක් මට ඔත්තුවක් හා හෙල්පින් හෑන්ඩ් එකක් දුන්නා ටෙම්පලේටුවක් දාගන්න, ඔන්න ජූනි මාසෙ වගෙ වෙනකොට සංසාරේ අපිට ලෑබුනා ලස්සනම ලස්සන කස්ටමයිස්ඩ් ටෙම්පලේටුවක්.


 ජීවිතෙ මල් ට ටිකක් පිස්සු නිසා කලින් කලට එක එක ජාතියෙ දේවල් ලියනන් හිතුනා'


කවි තමයි මේ බ්ලොගේ වෑඩිපුරම තියෙන්නේ. ඒ කවි අතුරිනුත් ඈත්තටම බෑලුවම ආදරය ගෑන තමයි වැඩිපුරම ලියල තියෙන්නේ.
ඒත් ඈත්තටම බලනකොට වෑඩිම පාඨක ප්‍රතිචාර නම් තිබිල තියෙන්නෙ කතන්දර වලටයි. ජීවිතේ මල් කලින් කලට ගොඩක් වෙනස් මාතෘකා වලින් කයි කතන්දර ලියල තියනවා. ආදරය ගැන , වැලන්ටයින් දවස ගැන, මිනිස්සුන්ගෙ එක එක මතවාද ගැන, විභාග කෙරුවාව ගැන, ඉස්කෝලෙ ජීවිතෙ කතන්දර ගැන, සිංහල පාවිච්චිය ගැන අරව මේවා යනාදිය :)
අගෝස්තුවෙ මුල කාලෙ ජීවිතෙ මල්ට හැදුනු අලුත්ම පිස්සුව තමයි හිතේ තිබ්බ ලස්සන ලස්සන සින්දු වලට පොඩි පහේ විමසුමක් ලියන එක. ඒකත් තාම කරගෙන නම් යනවා ඉඳහිටලා.


ජීවිතෙ මල් නටන පිස්සු අතරින් නටපු ලොකුම පිස්සු තිබුනත් ඒව එකකවත් බ්ලොගේ නොලියවෙන්නෙ ඈයිදෑයි මටම වෙලාවකට හිතෙනවා.  මට හිතෙනවා හිනා යන කතා ලියන්න මට දස්කමක් නෑ කියලා. එක එක්කෙනා එක එක හෑටියයි නෙව. ඔය සමහර බ්ලොග් නම් ඈත්තටම හෝම් පේජ් එක ලෝඩ් වෙද්දිම හිනා යනවා. කීපයක් තමයි බ්ලොගීගෙ ඩයරිය , බ්ලොග් ගඩොල් වගෙ එවුවා.


ජීවිතෙ මල් ටිකක් රොමෑන්ටික් සහ සංවේදී පෑත්තට බර . කොටින්ම කියනවනම් මූඩ් බර කතා කවි ලියන්නයි ආසා.

ජීවිතෙ මල්ගෙ ලිපියක් පහුගිය සතියක පත්තරෙකත් පල වුනා. ඉතින් ඒත් මේ සංසාරේ අපි හරහා තමයි. ඒ තමයි මේන්න මේ ලිපිය. 


මේ බ්ලොග් එකේ කමෙන්ටුවක් හරහා මට මීට මාස ගානකට ඉහත හමුවුනා උතුම් තාත්තා කෙනෙකු. මට මග පෙන්වන පහන් ආලෝකයක් වගෙ ඉන්න ඒ තාත්තාට මම දොහොත් මුදුන් දී නමස්කාර කරනවා,.

ඔන්න තව සමරියක් !


මේ බ්ලොගේ හරහා මගෙ ජීවිතේ සිද්ද වෙච්චි වෑදගත්ම දේවල් :
1. ජීවත් වෙන්නට ලස්සන හේතුවක් ලැබීම
2. අපි ලියන දේවල් කවුරු හෝ කියවනු දැකීමෙන් ලැබුන ආත්ම තෘප්තිය
3. හදි හදිස්සියේම ජීවිතේට කඩා පාත්වී ජීවිතේම ලස්සන කරන යාලුවො රොත්ත- නම් වසයෙන් ලියන්නෙ නෑ ඕන්. දුකේදි සැපේදි මන් ලඟ ඉන්න ඔයාල හෑමෝම :)
4. කොටින්ම ජීවිතේ මල්ට ආපහු ජීවිතේ ලැබුනා මේ බ්ලොග් එක නිසා. 'ලියන්නෙ නම් නෑ' කියා හිතුවක්කාරකමට හිටි ජීවිතෙ මල් ආපහු දැන් ජීවත් වෙනවා
5. ඇයි මගෙ මල්ලි ? බ්ලොග් එක නොවුනනම් මල්ලි ඉඳීවි තාම පණු නැටුම් නට නට :)


අහ් තව එකක් අමතක වුනා. මේ මගේ බ්ලොගේ කමෙන්ටු හරහා ඔය ආදරබර කතා ලියලා පෙම්වත්තු වෙච්චි ඈයොත් ඉන්නවලු ඔන්න ! :) 


මේ බ්ලොගෙන් යම් වෙලාවක අවැඩක් වුනාද ?
අහ් මට කියන්න අමතක වුනා, මම මේ බ්ලොග් එකට කොච්චර ඇබ්බැහි වුනාද කියනවනම් මට පොඩ්ඩක් විතර මගේගෙනුම් කටයුතු නම් අතපහු වුනා. ඔන්න ඉතින් මේ බ්ලොගේ කියවන නංගිලා මල්ලිලාටයි කියන්නේ, මේ බ්ලොග් කෙරුවාවෙන් වැඩ නම් පාඩු කරගන්නව නෙමෙයි ඕන්. මමත් දැන් හැදිලලුනෙ ඉන්නෙ :)


මම පෞද්ගලිකව වැඩිපුරම ආදරේ කල ලිපි සහ කවි:
නිදා ගන්න දෙනවද ? නැද්ද?
බස් පොලේ දැක, හිත් මලේ මලගිය, මගේ ප්‍රථම ප්‍රේමය…
මලෙහි නිදන කින්නරිය
රෝස මල් දවසක්.......
ආදරය හෙවත් සුප් හොද්ද....
"Miss..Am I a Black sheep?" කොරියන් දඟකාරයා...
සඳ සහ අහස
රේඛාවක් ....අත්ල මත....මම...
ලැජ්ජාවේ බැරි , මගේ සිංහල කොම්පීතරය සහ අන්තර්ජාලය...
බොරුකාරිද ? කවිකාරිද ?
කුඩයක් අරන් ආවොත් බලාගෙනයි !!! :-)


ඇබැද්දි :
ඇබැද්දි ගැන කියනව නම් ඇත්තටම වෙච්චි දේවල් හරිම අඩුයි. එක් වරක් මම ලිපියක් ලිව්වා 'ඔබෙත් ඔලුව අවුල් වෙද්දි චිත්ත ඒකාග්‍රතාව වැඩි වෙනවද' කියලා. ඒ ලිපියෙ තිබ්බ ටිකක් පෞද්ගලික වැඩි කරුණු කීපයක් නිසා කමෙන්ටු ගණනාවක් සමගම ලිපිය මකන්න සිද්ද වුනා. ඒ ගැන මට සමාවෙන්න ඕනේ.


සංසාරේ අපි හමුවුනේ හරිම අහම්බෙන්. ඒත් අද වෙනකොට මට දෑනෙන්නේ අපි ගොඩක් දෑන අඳුනගෙන ඉඳලා වගේ,,,, සංසාරේ අපි අදත් හෙටත් ලියවේවි. ජීවිතේ හැමදාම වගේ මල් පිපේවි... පර වේවි... මේ මනුස්සකම එහෙනම් අපි ඉස්සරහටත් බෙදා ගනිමු නේද ?

ස්තූතියි... මම මේ තුන්වෙනි වතාවටත් කියන්න යන්නේ ... 'ඔබ නිසා අද කෙනෙක් ජීවත් වෙනවා. අද තව ටිකක් කියන්නම්... එයා තමා ජීවිතේ මල් '


ස්තූතියි... ස්තූතියි.... ස්තූතියි...

සංසාරය පුරාවටම අපි හමුවෙමු....



Friday, January 28, 2011

[152] 'මම' නොවේ... :)



හිත ගැනයි

කඳුලු ගැනයි

ඇස් ගැනයි

දුක ගැනයි

ලියාගෙන 
ලියාගෙන
ලියාගෙන...
ගියහම....

මහන්සියි
ආයෙ
ආයෙ 
මේ
'මම' නොවේ...
'මම' නොවේ....
'මම' නොවේ....
කියලම...

ප.ලි..
ලියන
හැම කවියක්ම
'මම'
නොවේ...
:-)

Thursday, January 27, 2011

[151] තව ඔරවගෙන හිඳින්න....


මේ නපුරුකම පෙනෙන්න
තව මොනවහරි ලියන්න....
ඔය ඈස් රෑවුම් විලාසෙන්
තව ඔරවගෙන හිඳින්න....

කවියක ඇනුම් පදින් ද
වචනෙක රිදුම් බසින්ද
කඳුලෑල්ලකින් කිඹුල් වෙස්
දිස් වෙයි මෙසේ හෑඬුම් ඇස්.. !

තරහින් කවක් ලියන්නම්
කවියෙන් හෑඬුම් දොඩන්නම්
දොඩමින් ඈසුත් තෙමන්නම්
තෙමෙමින් දුකේ ගිලෙන්නම්....

Wednesday, January 26, 2011

[150] අනේ අනිච්චං !


  මට කියනවද
කොයි නමද මම නුඹට දෙන්නෙ ?

කොහොම අමතන්නද ?
කොයි වගෙ සලකන්නද ?

හිතුව මම
නුඹට 'සඳක්' කියල කියන්න
හරිම සෞම්‍ය...
සීතල ....
කොටින්ම ගල් හිතක් තරම්ම සීතල...
හිතන්න හිතක් නෑ වගේ
හීතලම හීතල...


සල්ලාලයෙක්
වචනයක් ගානේ
සල්ලාල ආදරේ වෑහෙන...
සීතල පලා ගිය අනන්තෙක
උණුසුමෙක අරුමයම
ගවු ගනන් දුරෙන් විහිදෙන

සෙල්ලක්කාරයෙක්
හිනාවෙද්දි අඬන හැටි ගැන
බණ කියන
අඬද්දි හිනා වෙවී
ගතු කියන
ඒත් හරි දුකෙන්
මගෙ හිනහවත් කඳුලුත් දිහා
කතා නැතුවම බලාගෙන ඉන්න

නුඹ අරන්ගියෙ නෑ හිත
මාව දවස ගානෙ ගුලි කලා
මගෙ හිත අස්සෙම
හිතෙන් එපිට ඕනෙ දෙයක් ගැන
නුම කතා කලා
හිතක් නැතිව වාගෙම...

අහින්සකයෙක්
යන්නට හදන හිත දෙස
බලාගෙන ඉන්නව ඉතින්
කඳුලු පුරෝගෙන...
නපුරු නුඹෙ හිත දෙස
බලන් මන් නවතිනව
අහින්සක කමටම... !

සඳක් විද නුඹ ?
හීතලට මා පෙලූ මිස
සෞම්‍ය බව නොගෑවුන?
සල්ලාලයෙක්ද නුඹ?
සල්ලාල වචන වලින්
මගෙ හුස්ම ඇහිරුව

සෙල්ලක්කාරයෙක්ද නුඹ ?
මේ අහින්සක මගෙ හිත
සෙල්ලමක් කර ගෙන
මටම මා අහිමි කල?
                         එක්කෝ...
අහින්සකයෙක් කියා මම
හිත හදා ගන්නද
ගෙවුන අතීතය ලඟ?
 ප.ලි. : ලියන හැම කවියක්ම "මම" නොවේ .... :)

තව දෙයක් : මේක කවියක්වත් කතාවක්වත් නෙමෙයි. අනේ මන්දා මේක මොකක්ද කියලා මටම තේරෙන්නෙ නෑ :)

Tuesday, January 25, 2011

[149] DNA සහ ආදරය !


ආදරය දැනෙන්න ගත වෙන්නෙ එක මොහොතයිලු. එක මොහොතෙන් දැනෙන ආදරේ ආයුස අඩුයිලු. ආදරේට සීමාවක් නෑලු. ආදරේ බෑඳීමක්ලු. ආදරේට ආදරේ කරන්නලු. ආදරය වෙනුවෙන් අපිට ඕනෙම දෙයක් කල හැකිලු. ආදරේ කියන්නේ අපිව ජීවත් කරන සාධකයලු. 

මේ මොන විශ්ලේෂණේ කලත් මට නම් හිතෙන්නෙ ආදරේ කියන්නෙ හරියට අපෙ ඩී එන් ඒ (DNA) සැකැස්ම වගෙ දෙයක් කියලයි. ලෝකෙ මිනිස්සුන් 1000ක් ඉන්නව නම් දාස් දෙනෙකුට දැනෙන්නෙ 1000 විදියකට. සිතුවිලි බද්ධ ආදරයක්. එකිනෙකාගෙ සිතුවිලි වල කොච්චර සමාන දෙන්නෙක්ගෙ වුනත් පොඩි පොඩි variations තියනව නේද ?


ලස්සන විඳින දකින හැටි , තෘප්තිය හොයන විඳින හැටි , ආදරය වෙනුවෙන් ජීවත් වෙන හැටි, ආදරෙන් බලාපොරොත්තු වෙන දේවල් , ආදරේ අගය කරන්න කරන දේවල් , මේ හැම එකක්ම එකිනෙකාට වෙනස්. එකිනෙකාගෙ හිතේ තියන ආදර චිත්‍රය එක එක වගේ. 

ආදරය පරිත්‍යාගයක්ලු. ඒක නම් ටිකක් ඇත්ත වගේ. 'මම' නැමැත්තාට 'මම' නොවී ආදරයේදි 'අනෙකා' වෙන්නට සිද්ද වෙනවා.  'අනෙකා' වන්නට දක්වන ලැදිකම 'අනෙකා' වන්නට තිබෙන නිහතමානිකම තීරණය වෙන්නෙ නම් අපි එකිනෙකා සමග කොතරම් විස්වාසයකින් ජීවත් වෙනවද යන්න මතයි.

ආදරය සමග අවිස්වාසයට ජීවත් වෙන්න බෑ. වෙනත් බෑඳීම් නිසාවෙන් අවිස්වාස කරන්නා සමග වුවත් එකට ජීවත් වෙන්න හැකියි. හැබැයි ආදරේ සිනිඳු වීදුරුවක් වගේ බිඳුනොත් හදන්න බැරි දෙයක් හැටියට සලකන්න පුලුවන් තරම් 'මම' සහ 'අනෙකා' පරිස්සම් නම්.... ගොඩාක් දුර යා හැකියි.  


මේ කියි යම් බණ කිව්වත් , ආදරේ කියන්නෙ 'ආදරේ'.... 'මගේ ආදරේ' කියන්නේ 'ඔබේ ආදරේ' නෙමෙයි.

හැබැයි.... 'මගේ ආදරෙයි', 'ඔබේ ආදරෙයි' ටිකක් ලාවට හරි එක වගේ නොවුනොත් , අනෙ එතකොට නම් , ඔය කොයි නිර්වචනෙන් වුනත් කියන ආදරේට එකම එක නිර්වචනයයි දෙන්න වෙන්නෙ.  
එහෙම ආදරේකදි නම්...............
ආදරේ කියන්නෙ 'දුකක්'....

Monday, January 24, 2011

[148] Eමෝටිකන් සිනහවක පිලිසි‍ඳෙන, DiජිටL සිහින ?

එන්න  මදකට
නවතිමුද 
මේ පොළව මත?
ගෙන්දගම් සුවඳට
නැවුම් සුවඳින්  අනුපාන ගෙන,
වහින අලුත් වැස්සට
තෙමී බලමුද මොහොතකට?

බලන්න
මේ හාත්පස,
සංගීතයක් හෝ
මල් හීනයක් නැති
කොන්ක්‍රීට් පොලව මත,
පිපෙන සපත්තු මල් උඩ,
සින්තටික් පින්සලක් ගෙන
සිත්තම් කරමුද
ජීවිතය ?


විඳින්න
නවතිමුද මොහොතක්?
ඉන්ද්‍රජාලික තිරයක,
කො‍ටු අකුරු
සිත්තම් කරන
රවුම් මුහුණ ?
හැඩ බලමුද
මොහොතකට,
Eමෝටිකන් සිනහවක
පිලිසි‍ඳෙන 
Diජිටල් සිහින ?

Sunday, January 23, 2011

[147] සරුවපිත්තල කටුව සහ මම !



කඩු සටන් හොඳට පුරුදු වුන
දුවන පනින නටන කවි ලියන
ඔය සරුව පිත්තල කටුවට
හුඟාක්ම ඇතුලට වෙන්න,

පුන්චි දේටත් රිදව ගන්න,
තුනී වීදුරුවකටත් වැඩියෙ සිනිඳු
ඈතුලාන්තෙම විනිවිදෙන
හිතක් තියෙනව , බලාගෙන !

Friday, January 21, 2011

[146] ගඟ අද්දර !


ගඟ අද්දර මා 
සිහිල් සෙනේ සැනහී
හද සන්තක විය 
අනුහස් ආසිරි ගී
ඔබ හමුවේ මා 
මුව ගොළු වූවා

ගඟ අද්දර පෙම් 
කැඳවුම් රස දැහැනේ
ඉහ ඉද්දර පිපි 
ප්‍රාර්ථනා සිහිනේ
පිබිදුනි ආශා 
ගිනිසිළු සේමා

මල්සර දුනුවර 
ළමැද හොවාලා 
ඉරණම් පවස නිවා
සංසුන් වූ තරමින් නොසැලෙනවද 
ලේ බැඳි රන්දම්
 
ඔබ හා ආයේ ආයේ පෑහී 
තුෂාර සුසුම් හොවා
චමත්කාරයේ රන් රේඛා 
අප සැළෙන හදින් දුටුවා

ගඟ ඉද්දර පවන් අතරේ
මන පුෂ්පිත මුදු 
සුපුල් සිනා විසිරේ
මාහද රහසේ 
බෑඳුනා පහසේ

ගඟ දිය රෑලි ඔබ 
නාඬන් කිසි දවසේ
ගඟ දිය රෑලි මෑද 
උණුසුම් සුවගෑවසේ
ඔබ රුව ඡායා
සැඟවේ පායා

මල්සර දුනුවර 
ළමැද හොවාලා 
ඉරණම් පවස නිවා
සංසුන් වූ තරමින් නොසැලෙනවද 
ලේ බැඳි රන්දම්
 
ඔබ හා ආයේ ආයේ පෑහී 
තුෂාර සුසුම් හොවා
චමත්කාරයේ රන් රේඛා 
අප සැළෙන හදින් දුටුවා

ඔබ රුව ඡායා
සැඟවේ පායා//


~'~

ආදරෙත් මහම මහ පුදුමාකාර දෙයක්නේ. කොච්චර ලිව්වත් ඇති වෙන්නෙ නැහැනෙ කාටවත්ම. ඇයි ඒ ? අනේ මන්දා .
ගඟ අද්දර චිත්‍රපටය මන් මුලින්ම බලද්දි ඒ දැනුන ආදරනීය හැඟීම මට මේ ලයාන්විත ගීය අහන හැමවිටකම මතක් වෙනවා. මේ ගීයට දෙබසක් ලියන්නත් බැරි තරම් මේ ගීයේම සම්පූර්න දෙබසම ලියා තිබෙනවා. 


ආදරය , සෙනෙහස කෙතරම් ලයාන්විත හැඟීමක්දැයි මොනවට පල කෙරෙන මේ ගීය දවස පුරා නොකඩවා අහන්න හෑකියි. එතරම් ලස්සන තාලයක් හිමියි.


අනේ මන්දා. ජීවිතේ මල් ටිකක් හරයක් නෑති ලිපි ලියාගෙන යනව වගේද මන්දා.... 


ටික කාලෙයක් ඔහෙ ගියාවෙකො මේ පිස්සු කාලේ. නේද? ඉතින් මගෙ දයාබර යාලුවනේ ... ඔයාල ඒකට මට සමාව දෙනව නේද ?

ගීය අහමුද?

Thursday, January 20, 2011

[145] මිණීමරු කවියක්ද මන්දා !

 
දෑස් අමතක
නොවේ
කිසි කල
චාටු බස්
...දෙඩු
මුසාවන් කී,
,
අත් වැරැද්දක්
වුවත් අද
මට
ආදරේ දැන්
දැනෙනවා කී ,

ආදරේ මම
මරනවා !
 
ප.ලි. හෑම කවියක්ම "මම" නොවේ ....

Wednesday, January 19, 2011

[144] සම්බෝලයක් වගෙ කතා තුනක් !

අනේද මන්දාද මන්දා. ලෝකෙ නිකම් හැතැප්මට එකසිය ගානට වේගෙන් කැරකෙනව වගේ.ලෝක බෝලෙ මෙච්චර ඉක්ම්නට කැරකෙන්න පටන් ගත්තෙ කවද්ද? මන්දා?

ටිකක් මෝඩ පහේ කතාවක් !
ඒ කාලෙ.. මීට අවුරුද්දකට දෙකකට ඉස්සර වගෙ , හපන් පැදුරෙ ගිය සින්දුවක් මගෙ මුවගෙ හරියට රැව් දෙන්න ගත්තා.
හෙ හෙ. බලන්නකො මේ සින්දුව අහල තියනවද කියලා.

මන් දුකින් තමයි ඉන්නෙ
කව්ද මාව බලාගන්නෙ
අසරණ අනාත පුන්චි ලමෙක් මං !

මං පුන්චි පැලක ඉන්නෙ
නිතර දුකෙන් කල් ගෙවන්නෙ
අසරණ අනාත පුන්චි ලමෙක් මං !

අයියෝ මටම හිනා යනව. ඒත් තවම මම මේ සින්දුව හිතෙන් කියනවා. ඉවරක් නැතුව.හැමදාම.  ඇයිද මන්දා , ඔය සින්දුව නිතර කියවෙන්නේ.


පුංචි කාලෙ කතාවක්
ඔය පුන්චි කාලෙ තිබ්බ එක එක පිස්සු අතරෙන් කාලෙයක් මගෙ පිස්සුවක් වෙලා තිබ්බෙ එක එක පැස්ටල් කූරු බ්ලෙඩ් තලේකින් හූරන එක. එතකොට රැල් වෙලා මිශ්‍ර වෙන පාට පාට කුඩු මාව අමුතුම ලෝකෙකට ගෙනියනවා. දැනට උනත් පැස්ටල් සුවඳ දැනෙනකොට ඔය පොඩි කාලෙ මතක් වෙනවා.  ඒ විතරක් නෙමෙයි ඔය පුරුද්ද නිසා අමතක නොවෙන ගුටි සීරීස් එකක් කෑව හැටිත් මතකයි අම්මගෙනුයි තාත්තගෙනුයි. :)

ඒ කාලෙ දුක හිතිච්ච කතාවක්
තව දවසක් වෙච්චි දෙයක් කියන්නම්. අපෙ ගෙදරට යන පාරෙ තියනව ලංකාවෙ වාහන යන දිගම බිංගෙය. සුද්දගෙ කාලෙ හදපු එකක්ද කොහෙදෝ. මට මතක නෑ කොයි කාලෙද නම් කියල. දවසක් බලනකොට බිංගෙ ඇතුලෙ ලොකු තදබදයක්. දෙපැත්තටම වාහන එන්න යන්න ඇරි වෙන්න බිංගෙ මැද බ්ලොක් වෙලා. බලනකොට හොඳටෝම වයසක සීය කෙනෙක් බිංගෙ මැද හිර වෙලා. අනෙ බලනකොට ඇස් පේන්නෙ නෑ.එයා අතරමං වෙලා. හොඳටෝම වයසක සීයෙක්. මට දැක්කම හරියට දුක හිතුනා.අනෙ මන් දන්නෙ නෑ. ඈයි ඒ සිද්දිය හැම වෙලාවෙම මතක් වෙන්නෙ කියලා. අනෙ මන්දා.. තාම මතක් වෙනවනෙ ඔය කතාව.
හේතුව අහන්න නම් එපා... මොකද මම හේතුව දන්නෙ නෑ... 

වෙනසකටත් එක්ක පින්තූරයක් නොදා ඉන්න හිතුවා. අනේ මන්දා... මොකක්දෝ වෙලා නෙව ජීවිතේ මල්ට...

[143] තිත !

මගේ හිත
තිතක් කොට
ගුලි කලා එහි
ආලය මම !
ම'සිත් තිත
රවුමකින්
වට කොට
සිර කලා මාව
නුඹ ඒත්
රවුමෙන් එපිට!

Tuesday, January 18, 2011

[142] ඉන්ස්පිරේෂන් KAVI (2)


හීනයක් විතරක්ම වුන සැබෑව !
 දුර ගෙවා එන
කුමරුවෙක් ගෑන
සිහිනයක් දෑක
නිදා මෙන් උනිමි මම...

හීනෙන් පවා අතගෑ
හීනෙන්ම විතරක් විඳි
සුසුමක් බිඳේ මුව ලඟ,
අවදි වෙම්ද මම? ??

සුස්ම පමණක්
සුවඳ පමණක්
තබා තනියට
රැගෙන මා , මා වෙතින

දුරින් අඩි තියමින්
සිහින් හඬකුදු නො එන
ඈතම ඈතකට
ගොසින් සිහිනයද ගෙන නුඹ !
 
inspired by :   මගේ නිදි කුමරිය...... by Indika Gunawardena (http://www.facebook.com/note.php?note_id=185038481515644)

Monday, January 17, 2011

[141] ඉන්ස්පිරේෂන් KAVI (1)


මගේ දේදුන්නට  

බෙදෙන්නට ඉරි නැති
ඉරෙන් ඉර ඇඳ නැති
පාට පදාසයක් වුන නුඹ
කොහොම සොඳුරු විද මෙපමණ?

ලදළු තුරු මත පොපියන
සීතල පණිවුඩය අරගෙන
වර්ණ තෑවරුන හීනය
ආදරය වැහැපන් තෙමෙන්නට මේ බිම ! :)

inspired by :  ආයෙමත් .. දේදුන්නක් පායලා ....by Indika Gunawardena (http://www.facebook.com/note.php?note_id=185759711443521)

[140] හිතන්න එපා ඔච්චර !


~'~
ලොවම එපා වී ලොවම කලකීරී
තැවී දැවී හිඳිනා වේලේ
ඔබේ දයාබර එකම වදනකින්
මගේ ආත්මය සුවපත් වේ

අසා අසෝබන නින්දා ගැරහුම්
වැල්හින්නක සේ වැලපෙන මොහොතේ
පවනේ පාවෙන ඔබේ සුවඳකින්
පිපාසිත වු හද සිහිලැල් වේ

ලබා නොමිනිසුන් නගනා ගැරහුම්
මුවැත්තියකසේ බියපත් මොහොතේ
සිරුරේ තැවරෙන ඔබේ සුසුමකින්
මුලුගැන්වුනු සිත උණුසුම් වේ
~'~

"ඇයි මට මෙහෙම වුනේ?, මම මොන වරදක් කාට කලාටද?" 
"ඔහොම හිතන්න එපා. ඔයාට හරි යාවි"
"මගෙ කොතනද වැරදෙන්නේ. ඇයි මටම වෙන්නේ?" 
"හ්ම්ම්... හිතන්න එපා ඔච්චර. ඔයාට හරි යාවි"
"හ්ම්ම්... මන් බලා හිටියා ... කාලයක්... ඒත්.... මන් දැන් එහෙම හිතන්නෙ නෑ"
"හිතන්න එපා ඔච්චර"
~~

ලෝකය කුරිරුයි කිව්වට පොඩ්ඩක් නම් නෙමෙයි. හැමදේම වපරැහින්. වැරදි හඬින්. එවන් ලෝකෙක නුඹ කොහෙන් පහළ වූවාද ? මට හිතා ගන්නවත් බෑ. එක් වදනකින් මා සුවපත් කරන්නට නුඹ ඉගෙන ගත්තේ කොහෙන්ද?

ලොවට නොපෙනෙන්නට වැලපෙන හදවතේ කොනෙක විනිවිදෙන වේදනාව දුටු නුඹ අසල සිටින මගේ හදවත සිහිල සොයන්නේ නුඹ ඇසුරෙන්. මා කෙසේ මේ ණය ගෙවන්නද ?  


ජීවත් වෙන්නට බිය වූ, ලෝකයෙන් නින්දා විඳි මා සුවපත් කල නුඹ ගැන කොතරම් කවි ලීවත් මට මදි වේවි ! 
~~
අතීතයත් ,කෘතගුණයත්, මතකයත් ... අද මා අත ඉතිරිව ඇත... පලා ගියේ මා රඳවා තබා හුන් 'මා' ය. 

ගීය අහන්න මෙතනින්

ප. ලි... අහෝ දෙවියනේ ... වැරදී වැටහීම් විසික්කා කල මැන.. මේ අතීතය වේ... 

Friday, January 14, 2011

[139] වසා ගන් දොර, මගේ හිමියනි..


 ~'~
අහස ගුගුරා , අකුණු පුපුරා, 
මගේ හිත වැන්දඹු වුනා
වසා ගන් දොර, මගේ හිමියනි,
නුඹට රිසි නම්, යන්ට යන්නෙමි

කාලයක් නැති , තාලයක් නැති
විජිතයේ , කටු ඔටුනු හැර යමී
කාලයක් අපි , ආදරෙන් සිටි
සොඳුරු මතකය, අරන් යන්නෙමි

බැන්ද රන් දම්, මගේ ගෙල වට
මුදා විසි කොට , අඬන අහසට
මගේ සිහිනයෙ  , නුඹ නිදන් කොට
කුරුටු ගී  , දහසක් ලියන්නෙමි
~'~

චිත්‍රපටයක් නරඹද්දී නම් මා ඕනෑ තරම් හඬා ඇති. ඒත් ගීයක රූප පෙලක් නරඹද්දී හැඬුවා නම් ඒ එකක් හෝ දෙකක් පමණයි. මේ එදා මෙදාතුර මා සිතේ ඉහලින්ම සිටින නවකතාවක් තේමා වී නිර්මාණය වුනු හරිම ලස්සන ටෙලියක් සහ තේමා ගීයක්.  විලාපයක ස්වරයෙන් ඈරඹෙන මේ ගීය තුල , දික්කසාදය තුලින් තනිවන ගැහැනියකගේ අසරණ කම, දුක , තනිකම, වේදනාව මෙන්ම අහිමිකම, සහ ජවයද මොනවට පිලිබිඹු වෙනවා. 
නන්දා මාලිනියගේ ශක්තිමත් හඬෙන් සිරුර උද්වේගයෙන් කිලිපොලා යන්නාක් මෙන්ම , ජීවිතයේ දුක කලකිරීමෙන් පීඩා විඳින වැන්දඹුවකගේ අනාගතයත් , කිසිදු පවක් නොකොටම, අත් හැර දමන ලද අවිහිංසක ගැහැනියකගේ විලාපය ඒ හඬ තුල දිග හැරෙනවාදෝයි මට හිතෙනවා. 

සස්වාමික කුටුම්භ සෙවණින් අතුගා දමනු ලදුව ජීවිතයෙන් සමු නොගෙන සෙවණක් අහිමි ගැහැනියක්ව දරු දෙදෙනෙකු තුරුලු කරගෙන නිවසින් එලියට බසින අමා , අසිතගේ හැඟීම් විරහිත මුහුණ දෙස හැරී බලනවා මට පෙනෙන්නා වාගෙයි....  කටු ඔටුන්නක් පමණක් වූ, රසය පලා ගිය වෛවාහික ජීවිතයෙන් මිදෙන මේ ගැහැනියගේ දුක , පසුතැවීම හෝ කලකිරීම ගීය පුරාවට තැවරී තිබෙන්නා වගෙයි දැනෙන්නේ. 

මා ගෙලවට බැන්ද මංගල රන්දම් අහසට විසි කොට , මම ලියන්නම් කුරුටු ගී දහසක්ම... අපේ අතීතය ගැන.. බිඳක් හෝ ශේෂව තිබෙන සොඳුරු මතකයන් ගැන.... මා යන්නම් , නුඹ වසාගන් ඔය දොර.... නුඹ සොයන සැනසුම එය නම්. මා එයම කරන්නම්. එය මා සනසාවි. නුඹට නුඹ සොයන සැනසුම දුන්නාට නුඹ පින් දේවි. 

ලෝකය බොහෝම කටුකයි. ඔය දොරට පිටුපා මේ නගන පා සවි ඇත්තේ කෙසේදැයි මටම පුදුමයි. කටුක ලොව තුල මේ අස්වාමික ගැහැනිය , මිනිසුන් සඳහා ගොදුරක් පමණයි. ඒත් නුඹේ පැතුම සපුරා , මා යන්නම්. ඒ කටුකත්වය විඳ බලන්නම්. මා මියෙන්නේ නෑ.මා ජීවත් විය යුතුයි. ජීවත් වන්නේ සිතන්නට දිරියක් නැති සිතත්, අස්වාමික වූ ජීවිතයත් සමග පොරබදන අනාගතයත් පමණයි. 

ඒත් මා යන්නම්.... නුඹ සොයන ජීවිතය නුඹට දී... 
මට යන්නට අවසර ! 

ගීය අහමුද? 

ප. ලි..
දුකා අයියා හරිම ලස්සන පෝස්ට් එකක් දාලා තිබ්බා...  

Tuesday, January 11, 2011

[138] තාමත් තරහයි නුඹ එක්ක මට !

සෙල්ලම් ගෙයක් දකිද්දි මට නුඹව මතක් වුනා. කෝම්පිට්‍ටුවක් දකිද්දිත් මතකෙට ආවා නුඹව. පහුගිය දාක මූදු වෙරලෙ සෙල්ලම් කරද්දි මට නිතරම හිතට ආව නුඹව.
ඔය පොඩි කො‍ටුව ඇතුලෙ
මන් කෑගහද්දි, 'ඕ' ගාගෙන  මතුවෙනකොට ,මන්  'බුදුසරණයි' කියද්දි මට කවුරුත් නොකියන පරුස වචනෙන් (මන් දන්නව ඒ ලෙන්ගතුකමට කියල) 'පරිස්සමෙන් හි‍ටු' කියනකොට මට හැම වෙලාවෙම හිත මොකක්දෝ වෙනවා.

ගත වුනු අවුරුදු විසි ගානක පොඩි අතීතෙ මාස ගානක් විතරක් නුඹ දැන උන්නු එක ගැනත් මගෙ හිත එක්ක මට හරිම තරහයි. රටේ ඉන්න සත්තු ඔක්කෝමගෙම නම් කිය කිය අපහාස කරද්දිත්  (උදා: නරියා, පූසා, වලහා, වහු පැටියා, මැට්ටා, පොලවෙ පස් අස්සෙ ඉන්න .... අහ් ඒක කියන්නෙ නෑ ඔන්න ) මන් පිටකලේ හිතේ තිබ්බ තරහක් නුඹත් එක්කලා. මොකෝ මට එච්චරම තරහයි. 


එදා මූදු වෙරළෙ වැල්ලෙ පෙරලි පෙරලි සෙල්ලම් කරද්දි පවුලෙ ඇයො එක්කලා, අනේ
'නුඹ' ඇයි මෙච්චර පමාවෙලා මේ මගෙ  ලෝකෙට එකපාර හොලමනක් වගෙ මතුවුනේ, ටිකක් කලින් මුණ නොගැහී කියලා හිත හරියට දොස් කියනවනේ. දුකෙන් තනිවෙලා සෝකෙන් බර වෙලා තනියම වෙරලෙ වැලි මාලිගා හැදුව වෙලාවල්වල් වල  අනේ දුක කිය කියා උරිස්සට ඔලුව තියන් අඬාගන්න මට නුඹ නැති වුනානේ ඒ දවස් වල.

ඒ කාලෙ ඉඳන්ම මට අඩුවක් උනේ මම හෙවුව නුඹව. එදා නුඹෙ පවුලෙ ඈයො දකිද්දි මට හිතුනෙ ඒ මගෙම ඈයො කියලා. ඒ තරම් හිතෙන්නෙ මම හිතන්නෙ නුඹ ඒ අඩුව පුරවන්නම හිටිහැටියේ හොල්මනක් වගේ (හරියටම කියනවනම්  හරීම ලෙන්ගතු සුරුබුහුටි නිස්සද්ද සුට්ටි බූතයෙක් වගේ) එක පාර කඩන් වැටිච්ච අහිංසකයෙක් නිසා.

මට ඉතින් හරිම සතු‍ටුයි. මම හෙවුව පුංචි බූතයා මේන්න මන් ඉස්සරහා ! අපරාදෙ නුඹව නොදු‍ටුවේ ගිය අවුරුද්දේ මුලම! එහෙනම් අවුරුද්දක් සමරන්නවත් තිබුනනේ ! ශිහ්...

ඉතින් අපෙ සුට්ටි මල්ලියේ... නුඹ ගැන තව මන් මොනවා කියන්නද ? අක්කේ .. කියාගෙන එනකොට හැමදාකම හිතෙනව, මල්ලියේ පුංචි සන්දියේ වැලි හො‍ටු නාවර පෙරාගෙන සෙල්ලම් කරන කාලේ ඇයි දෙයියනේ නුඹව මට හම්බ නොවුනේ. එහෙනම් කොච්චර දිග කාලයක් අක්කේ..මල්ලියේ කියාගෙන දුක සැප බෙදා ගෙනද මේ වෙනකොට ? අපරාදේ....

මට ඉතින් තව මුකුත් කියන්න නම් හිතෙන්නෙම නෑ. පොලවෙ පස් අස්සෙ හැංගුනත් දැන් නම් අක්කා ඉන්නවා පස්සෙන් , මල්ලි කරන දේවල හොඳ නරක බලාගෙන...

ඔන්න දැන්මම කිව්වා.. ලබන ආත්මෙ නිවන් දකින්න බැරි වේවිනේ. ඒ නිසා  මන් ලබන ආත්මෙ පණුවෙක් වුනොත් , පණු මල්ලියෙක් වෙලා හරි කමක් නෑ, මගෙ මල්ලි වෙයන් ! හොඳඳ ? ;-)


මේන් මගේ ෆොටෝ එකතුව....
අපරාදෙ මට තිබුනනේ ඔයාට මේ වගෙ පාඩම් කියල දෙන්න ටොකු ඇන ඇන :)















 

අනේ මේ සුට්ටි සන්දියේ හිටම එහෙනම් මම බලාගන්නවනේ නුඹව !

කමක් නෑ මල්ලියේ.. ඉස්සරහටත් සහෝදරකම් පවත්වන්න කාලයක් අපිට ඉතිරි නෙව ! නේද ? 

දැන් නම් මම ලියන එක එන්න එන්නම හැඟීම්බර වේගෙන එනවා. මට බෑ. මම මෙතනින් නවත්වනවා ! :)

අහ් ප.ලි කෑල්ලකුත් තියනවා....
ප. ලි.
මල්ලිකම සහෝදරකම ලෙන්ගතුකම නොදන්න , කවදාවත්ම එහෙම එකක් තිබිලත් නැති, 'ආ ඔය කිව්වට අපි දන්නවනෙ මල්ලි මල්ලි කිව්වට!' කියල  අජූත වචන කියල හෝ ලියල හෝ හිතල නිකම් තම තමුන්ගේ අප්සට් මනස පෙන්නන්න හිතුන කෙනෙක් වැරදිලා හරි සංසාරෙට ගොඩ උනා නම් , අනේ මෙන්න වැන්දා .. ආපහු හැරිල ආව පාරෙන්ම පරිස්සමට යන්න. !  මෙතන එයාල වගෙ අයට තෙරෙන දේවල් නෙමෙයි ලියල තියෙන්නේ ( හැබැයි එහෙම අය නම් සංසාරෙ අපි දිහෑවෙ එන්නෙ හරිම අඩුවෙන් බවත් මම දන්නවා)  

[137] හිතේ අමාරුවට ලියපු කතාවක්!

සංසාරෙට ගොඩ වෙන්න ඉතුරු වෙන වෙලාව එන්න එන්නම අඩු වෙනවා. ඒත් සංසාරේ, කොහොමද නොලියා ඉන්නේ. 

සංසාරේට ගොඩ වෙවී ලියන්න ටිකක් වෙලාව හිඟ වුනාට ජීවිතේ මල්ගෙ ජීවිතේ මල් විසිරි විසිරී දෙල් වේගෙන යනහැටි නම් පේනකොට ඉතින් මොකුත් නොලියත් බෑ වගේ හිතෙනවා.  


ඉස්කෝලෙන් ආව ඇත්ත කතා ලියන්න හිතෙන්නෙ නැති තරම ඉස්කෝලෙ ඇත්ත තිත්ත වේගෙන එනවා. ඒ තමයි මිනිහෙක් දෙයක් පටන් ගත්තම , මිනිහෙක් අලුතෙන් දෙයක් කලාම එන බාහිර බලවේග. ඒ බලවේග වලට මී පැටියෙක් බුල්ඩෝසරයක් ඉස්සරහ හිටගෙන 'හෝව් හෝව්!' කියනවා වගේ ජීවිතේ මල් , මල් නොපිපුන ඒත් ගඳ නොගහන ජීවිතේ සුවඳ රැකගන්න වලිකනවා. 

ලස්සන ඇඳුම් ඇඳලා ලස්සන පෙනුමට එන පොශ් පුංචි එවුන් නම් අනේ වාසනාවන් මටකයි කතන්දර කියන්නෙ නෑ,උන්ගෙ ලෝකෙ හරිම ලස්සනයි සහ අහිංසකයි. ඒත් ලෝකෙ ඉතුරු හරිය නම් එච්චර ලස්සන සහ සුන්දර නෑ. කොටින්ම මේ පොඩි ඈමරිකාවට ගොඩ බහින්හෙවත් අහසින් වැටුන, ලංකාවෙ කොස් දෙල් දැකල නැති, ලංකාවෙ පස් උඩ කවදාවත් අඩිය තියල නෑ වගෙ හෑදුන වෑඩුන සහ හෑසිරෙන වැඩිහිටි ප්‍රජාව නම් ජීවිතේ මල් දිහා දැන් බලන්නෙම ඈස් දෙකම වපර කරගෙන.  


මේක සිරි ලංකාවනෙ. ලංකාවෙ ගොඩ දෙනෙක්ට ගොඩාක් දුක හිතෙන කාරණාවක් තමයි අනිකා මට වඩා අඩියක් හෝ උඩට නගීවි කියන භීතිකාව. අනිකා මට සමාන මට්ටමේ කෙනෙක්නම් අනිකා ඊට වඩා එක සෙන්ටිමීටරයක්වතුඩින් ඉන්නවට කැමැත්තක් නෑ. ඈයි බෙල්ල රිදෙනවනෙ උඩ බලනකොට ! 

ලෝකෙ හරිම කුරිරුයි , දරුණුයි , තුච්ඡයි කියල කියන්න මට බෑ. මිනිස්සු අතරෙ නොමිනිස්සු එකෙක් දෙකෙක් ඉන්නවා. පෙනුමෙන් හරීම සුවිනීත සුන්දර සහ ස්වීට්. ඒත් ඇතුලාන්තයේ තියෙන්නෙ අසූචි තරම් ගඳ ගසන දේවල්.

හැබැයි මන් පොඩි දෙයක් ඔයාලගෙන් අහන්න කැමතියි. මේ මම මගෙ ආගමටම අභියෝග කරනව නෙමෙයි. ඒත් අපි හරි නම් අපිට කවුරු මොන හතුරු කමක් කලාම මොකද කියන තියරිය හරිද? කවද හරි වරද කල අයට ඒක ලෑබේවි , අපි නිවැරදි නම් අපිට කවදාවත් වරදින්නෙ නෑ කියන තියරිය හරිද? අපිට කවද හරි ගොඩ යන්න පුලුවනි කියන එක හරිද? ඒ වෙන කොට අපේ හොඳ කාලේ, හයි හත්තිය තියන ජීවිතේ හෙම්බත් වෙලා දිය වෙලා ගිහින් නොතියේවිද? එහෙම නොවේවිද? ලෝකයේ සියලු වැරදි කරන මිනිසුන් ලස්සනට හොඳට වැජඹෙද්දි , අවංක සහ නිවැරදි මිනිහා හැමදාම තමුන්ගේ අහිංසකකම සහ නීතිගරුක බව දුර්වල කමක් හැටියට සලකන ලෝකයෙන් පීඩා විඳිමින් ජීවිතයෙන් හෙම්බත් වෙලා මැරිලා යාවි.

කුඩු මුදලාලිලාගේ මැසිම්වලින් මහන ඇඟලුම් නිරායාසයෙන් ගිනි ගණන් දිදී තලු මර මර අඳින අපිටම මේව හොඳ පාඩම්! 


අපි වැරදි කලේ නැ කියල ලෝකෙ අපිට කාරුණික වෙන්නෙ නෑ. අපෙ නීතිගරුකබව , නිවැරදිකම හැමෝගෙම අවස්ථාවදීබවට යටයි. ඒක නම් එහෙමම තමයි. පාත තැනින් තමයි වතුර ගලන්නේ.

හැමදාම දිනන්නේ කපටියා. ඒත් ඒ හැම අවස්ථාවකම අහින්සක නිවරද මිනිහා පරදින්නේ නෑ. පරදින්නේ කපටි බහට රූකඩයක් වෙන අවස්ථාවාදියා විතරයි. 

Friday, January 07, 2011

[136] හෑඟුම් නැති කවක් !

 
පොතක් වන්
මගේ හිත
කියවමින්
පෙලින් පෙල...

මරා එහි
කතා රස
ලියයි නුඹ
කවක් ලෙස..

අකීකරු
අකුරු නැති
එලිසමත්
සොඳට ඇති

හැඟුම් නැසු
හදක් බඳු
කවක් ඇත
පොතක් නැත...

Monday, January 03, 2011

[135] ඊයෙ තරම් සතුටු දවසක් ...!!!!!!


 ඊයේ මට හරිමම සතුටු දවසක්.... ඒ ඈයි කියල ඔයාල දන්නවනේ.අක්කගෙයි අක්කගෙ හබියගෙයි මගෙයි (අපි තුන්දෙනාගෙ) වෑයම නිල වශයෙන් පටන් ගත්ත නිසානෙ ඒ (http://itartschool.blogspot.com/ ) . මගෙ බ්ලොග් යාලුවො නම් ඒක දන්නවා.  ඒ හෑම සතුටටම වඩා සතුට ඉහවහා ගියේ අහම්බෙන් වගේ හමුවෙලා අද මගෙ ලඟින්ම ඉන්න රත්තරන් වගේ  යාලුවො රොත්තම මම උණු උණුවේ වැඩක් පටන් ගත්ත ඊයේ එක පාරම ලාසන සුලිසුලඟක් වගේ කඩාගෙන බිඳගෙන ආව එකෙන්... :)
අනේ ඇත්තමයි , බටර් නම් නෙමෙයි, දුරු කතර ගෙවාගෙන ආවෙ මගෙ සතුට බෙදාගන්නනේ කියල හිතුනම දෑනිච්ච සතුටනම් කියන්න වචන නෑ.

ෆොටෝ ගෑනිල්ලෙන් මට දවස පුරා සහය වුන මගෙ මල්ලි අනුරාධ Anuradha Nanayakkara , සිය වටිනා කෑම් එක නොවලහා ඉල්ලූ සෑනින් දුන් අභිත අයියා අභි යා , බබා සහ වාසනා අයියා සමග දවසම අපි එක්ක ගෙවූ රන්දිල් අක්කා Randika Ranaweera , අම්මා සමගම රට යන්න ඔන්න මෙන්න තිබියදී ආව ජනිතා නගා සහ ඈන්ටි Janitha Rajapaksha , බෝ දුර ඉඳ උදේ රෑයින් ආව රවා මල්ලියා Thushara Ravindra ,සහ ඩෝසන්ගෙ පාරෙ මම වගෙම බොහෝම දුර ඉඳන් ආව ප්‍රියන්ත අයියා ප්‍රියන්ත ගල්ගේපිටිය
ගල්කිස්සටම ට්‍රෑෆික් අරන් ආව වැප් wap Nishantha , බයිස්කෝප් වගෙ චිත්‍ර බල බල හිටිය වාසල අයියා වාසල . , වෙරි වෙලත් වෙරි නෑ වගෙ හිටිය මරණේ මගේ මරණය , පසන් හෙවත් පතන් බබා පසන් . , තිබ්බ කේක් වලින් බාගෙකට වග කිවු රනා රනා ..... ,නිස්ද්දව ඔක්කොගෙම විකාර බලන් හිටිය නලින් මලෙයා Nalin Kariyawasam ., කනාටු කරගත් කොන්ඩෙත් වනාගෙන අහින්සකකමේ උන්න ජේඩි මලයා ජේ.ඩී ... ,..මේ හෑමෝටම ගොඩාක් ස්තූතියි ආවට.... නිකමම් නෙමෙයි අනේ ආවේ... තෑගි බෝගත් ගොඩාක් උස්සාගෙන ....

මේ ලස්සන සහෝදරකම අපේ(බස්)කම හෑම දාම නොවෙනස්ව පවතීවා... මෙන්න ෆොටෝ ඔක්කොම අප්ලෝඩ් කරනකල් මගෙන් චුට්ටි තෑග්ගක්...

ඒ විතරක් නෙමෙයි, උදේ රැයින් මට කෝල් කරලා හදවතේ උණුසුම් පෑතුම එකතු කල ෆා නගා ෆා - , කුශාන මලේයා Kushan S. Wanniarachchi සහ අසනීපෙන් නිසා එන්න වෙන්නෙ නෑ අක්කේ කියා සුබ පතල mail ekak එවූ සෝරෝ | සෝරෝ | මල්ලියා ඔයාල ලඟ නෑති උනත් මාව මතක් වුනානේ කියන හෑඟීමම මට දුන්නේ 'ආව වගේ' හෑඟීමක්,,, 
 ස්තූතියි ! සතුට කියල නිම කරන්න වචන නෑ. කොහේ ගියත් කොයි රටේ උන්නත් ඕනම තැනක ඕනෙම වෙලාවක සතුටකදි අවන්කව එකට හිනා වෙන්න , දුකේදි එකට අඬන්න ඒ කඳුලු පිහ ගන්න දුක නිවා ගන්න මගක් හොයා දෙන්න මේ සහෝදර සහෝදරියෝ එකිනෙකා වෙනුවෙන් එකට සිටීවි කියලා මට විස්වාසයි.
මෙතන වැරදීමකින් හෝ ලියන්න බැරි වුන , සහ වදනකින් හෝ මගේ මේ කාරියට හදවතින් සුබ පැතූ (මූනු පොතේ,ගූගල් බස් එකේ,ජී මේල් එකේ, ෆෝන් එකෙන්,කෝල් වලින්, එස් එම් එස් වලින්) ඔයාල හැම කෙනෙකුටමත් ස්තූතියි.

පොඩි රහසක් කියන්නම්.. කෙනෙක් අඬද්දි අපිට නිකම්ම ඇඬෙනවා. කඳුලු දකිද්දි. ඒයිට වඩා හුඟාක් අමාරුයි කෙනෙක් උද්දාමයෙන් හිනාවෙද්දි අවන්කව හදවති ඒ සතුට දැකල සතුටෙන් හිනා වෙන්න. එහෙම කරන්න පුලුවනි කුහක නැති කෙනෙකුට විතරයි. ඉතින් මේ පෝස්ට් එක පුරාවට සඳහන් කල හැම දෙනෙක්ගෙම හිනහවේ, ලියා එවුව වචන වල, කටහඬේ මම ඒ අවංකවම විහිදෙන සන්තෝසය හිනහව දු‍ටුව... ඉතින් ආයෙමත් ආයෙමත් ... ගොඩාක් ස්තූතියි මේ සහෝදරකමට...

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->