Wednesday, November 18, 2015

[326] ගඟ .. සහ .. වැව



" වංගු ගණනාවක් අරගෙන 
ගල්පර උඩින් පැන පැන 
අසීරුවෙන් කෙකටිය ගස්ද මැඩ ගෙන 
එනකොට හරිම වෙහෙසයි... "ගඟ කීය ! 

විල බොහොම නිහඬව එක තැන්ව 
තැන්පත්ව, හරි බරි ගැහී ඉඳගෙන 
ගොස ද දීගෙන දඟද පාමින 
ගඟ එන දෙස බලයි හොරැහින් ! 

"උඩ පිනුම් බඩ පිනුම් බලාගෙන !"
"පැන යන්නෙ හෙමිහිට,  ගල් උඩින් !"
විල කොතෙක් කීවත් වේගෙ වැඩි බව 
දුරසින් නවතින්ට අමනාපය , ගඟ ! 

ගඟ ආවොතින් වැවද කැමතිය
ගැලුවොතින් ගඟ - බි‍ඳෙයි සාමය !
ගැඹුරු විල ප්‍රිය නිසංසලය ය !
නොගැලුවොත් ගඟ - " අන් වැවක්මය ! "




Monday, November 09, 2015

[325] කවි (ගැන) කතන්දරයක්


මට කවි ලියන්නට සිතෙන්නේ ඇයි දැයි මා කියන්නට දන්නේ නැත. ලිවීමට කියවීමට අපේ අම්මාත් , අක්කාත් රුසියන් නමුදු අපට පරම්පරාවෙන් ආ කිසි ප්‍රතිභාවක් පිලිබඳ හෝඩුවාවල් නැත්තේය . 

ඉදින් ,  1992 පටන් ගත් අහඹු කවි කෙරුවාව , නතර වෙමින් යලි ඇරඹෙමින් දැන් වසර විසි තුනක් සපුරා තිබේ . මේ ඊයේ පෙරේදා මට බොහොම ආසා හිතෙන තාලේ අලුත් මොනවා හරි කරන්නට සිතුනේය . නිකමට කවියක් දෙකක් පරිවර්තනය කිරිමයි ඒ. 

Dennis Brutus [1924-2009] නම් කවියාගේ I am the Tree නම් කවිය මට ඇස  ගැසෙයි. නිකමට පාහේ පෙරලුන පද ටික , ඉතාම රසවත් කවි අභ්‍යාසයක් බවට පත්වූයේ කවියට , මට සහ පරිවර්තන කලාවට ආදරය කරන කිහිප දෙනෙකුගේ සොඳුරු සංවාදය නිසාවෙනි. 

මේ පොත මට ලැබෙන්නේ හිතවත් ශාන්ත කේ හේරත් සිත්තරාගෙනි. 



මේ පොතේ කවි සිංහලට හරවා කවි පරිවර්තනය අත් හදා බලන්නැයි  එතුමාණන් මගෙන් ඉල්ලිමක් කරයි. එහෙත් හිතුවක්කාර සහ කාර්යබහුල මම එය විවිධ හේතු දක්වමින් එය පස්සට දැමුවෙමි. ඔයි පොත නිසා මේ සිත්තර තුමාණන් විටෙක මා සමග අමනාප වුයේද අතට දුන් පොත නොකියවන්නට තරම් මට තියන කම්මැලිකම නිසා නොපහන් වූ බැවිනි. ඉතින් පහුගිය සතියේ දෙකේ ලැබුණු කුඩා විවේකයක් දෙකක් ප්‍රයෝජයට ගෙන මෙන්න මේ පහත කවිය මට සිංහලට පෙරලන්නට සිත් වුනි. 

මුල් කවිය මෙසේය .....


I am the Tree

I am the tree
creaking in the wind
outside in the night
twisted and stubborn:

I am the sheet
of the twisted tin shack
grating in the wind
in a shrill sad protest:

I am the voice
crying in the night
that cries endlessly
and will not be consoled.

Dennis Brutus [1924-2009]

මේ කවිය දුටු සැනින් එය මා අතින් මුල්ම වතාවට පද පෙරලෙන්නේ මෙසේය ! මෙය අදහස උකහා ගෙන මා කැමති විචිත්‍ර අදහස් කවා ලියන අනුවර්තනයක් කරනු වෙනුවට , පරිවර්තනයක්ම බවට පත් කිරිමට මට උවමනා විය.


මම _ වෙමි _ ගස
.
මම ගසක් වෙමි
සුලඟින් කීරි නද දෙන
කට්ට කරුවල ‍රැයක
හිතුවක්කාර විලසින් ඇඹරෙන

මම පියැස්සක් වෙමි
කුඩා බෙලෙක් අතු පැලෙක
සුලඟද කීරි ගස්වන
කර්කශ විරෝධය නොතකන

මම ඒ ස්වරය වෙමි
රාත්‍රියෙහි අඬා වැටෙන
නිමක් නොමැතිව හඬන
කඳුල අස්වසන්නට නොලැබෙන ...

තියෙන නොයිවසිල්ල නිසාවෙන් ලියන පරක්කුවෙන්ම මම එය මුහුණු පොතට මුදා හරිමි. බ්ලොග් පිටුවට එය ඇමිනෙන්නට ගතවන පැය කිහිපයේදී , කවිය මට මඳක් වෙනස් කරන්නට සිතෙයි. එහෙයින් බ්ලොග් පිටුවට එන විට කවියට මඳ විකෘතියක් ලැබී තිබෙයි . 


මම _ වෙමි _ ගස

මම _ ඒ ගස ..
සුලඟින් කීරි නද දෙන 
කට්ට කරුවල ‍රැයක 
හිතුවක්කාර විලසින් ඇඹරෙන 

මම _ ඒ පියැස්ස ...
කුඩා බෙලෙක් අතු පැලෙක 
සුලඟද කීරි ගස්වන 
කර්කශ විරෝධය නොතකන 

මම _ ඒ හඬ ...
රාත්‍රියෙහි අඬා වැලපෙන  
හැඩුම  බිඳකුදු නිම නොවන 
හඩනු  මිස , සැනසුමක් නොදකින ...

බ්ලොග් කොමෙන්ටු අතරෙහි ස්වර්ණමය අදහස් මතු වෙයි. මෙතෙක් කිසි ලෙසකින් සිතා නොතිබු , මුල් කවියෙහි නියම තේරුම මට හමුවෙයි.


"මේ කවියෙ ලොකු තේරුමක් තියෙනවා,
මුල්ම කවිය අප්‍රිකාවෙ වර්ණභේද වාදය හදුන්වා දුන් දේශපාලකයන් නිරූපනය කරනවා,
දෙවන එක, බ්‍රිතාන්‍යයන්ට වර්ණභෙද වාදයට විරුද්ධ වු සහ එයට සහයෝගය දක්වපු දෙපිරිසම නියෝජනය කරනවා.
තුන්වැනි එක, මේ දෙපිරිසෙන්ම බැට කෑ කලු අප්‍රිකානුවන් පෙන්නුම් කරනවා.." 

තේරුම ඇසු කල්හි මට මා ගැනම තරහක් පහල වෙයි. මන්ද එහි ඇති වටිනා තේරුමට ගෑවී යන්නට තරම් වත් අදහසක් මා ලියු පරිවර්තනයෙන් ගම්‍ය නොවන බව පැහැදිලිය . මම කවිය වෙනස් කරන්නට තීරණය කරමි. 
  

මම _ වෙමි _ ගස

                           මම වෙමිය ඒ හිතුවක්කාර මහ ගස
වේරම්භ වාතයකිනුදු නොසැලෙන
අන්ධකාර රැයඳුරට
තැතිගෙන දැඩිව සසැලෙන ...

පියැසි තහඩුවක් වැනි මම
දිරාගිය පැල්පතක හෙවිල්ලූ
සෙවණ සුරකිනු පිණිස
මාරුතය මඩිනු රිසිව, පොර බදන..

මම ය ඒ විලාපය ,
නිහඬ රාත්‍රිය ඇහැරන
කඳුළු ඩා රුහිරු උපදින
නොනිමි හැඬුමක වේදනා ඉවසන.


තවත් සොයුරෙක් මට තවත් පද වැලක් දෙවන කව වෙනුවෙන් යෝජනා කරයි . 


"මම ඒ පියැසි තහඩුව,
ඇඹරුනු කුඩා ගෙපැලෙහි,
කර්කශ හඬින් වැලපෙන,
දුක්බර සිතින් සුලඟෙහි"

දවස බොහෝ වේගයෙන් අවසන් වෙයි. කුරුල්ලන්ද පෙම්බස් දොඩා නින්දට යන වෙලාවයි. තවමත් තෘප්තියෙන් සැනසුමක් නොලැබූ අසම්පුර්ණ පරිවර්තනයට අවසාන සැනසුමක් දෙන්නට අපි තීරණය කරමු. නොයෙක් වර එහෙම මෙහෙට දෝලනය වූ කවි සිතිවිලි අවසාන මෙබඳු පද පෙලකින් අවසන් වෙයි. 

                                 
මම _ වෙමි _ ගස

වනස්පතිය මම වෙමි
වැඩුනු හැඩි දැඩිව
ගනදුරු රැයක
ඇඹරෙමින්, කීරි ගස්සන
චන්ඩ මාරුතයක් පවා

සුළඟින් ඇඹරී ගිය අට්ටාලයේ
ඇතිරූ තහඩු සෙවිල්ල මමය
කර්කශ සුලගට විරුදුව හඬ නගන
සෙවණ සුරකිනු පිනිස පොරබදමි

මමය ඒ වැලපුම් ස්වරය,
අනන්ත රාත්‍රීන් පුරාවටම ඉකිගසන..
බිදකුදු අස්වැසිල්ලක් නොලබන
හිරු එළියක් නොදුටු හැඬුම මම වෙමි

ඔබ ඒ කියවුයේ සාමුහික සහෘද නිර්මාණයකි . 

මාහැඟි කවි අභ්‍යාසයක් මෙසේ නිම වෙයි. එකම කව එක එක අයුරෙන් නොයෙක් සුරතින් ප්‍රතිනිර්මාණය වෙයි.  එලෙස ලියවුනු එක කවක් අනෙකට වඩා සුන්දර හෝ අසුන්දර යයි කිව නොහැකිය. මන්ද , අභ්‍යාසයක රස සහ භාව ඒ ලියු හැම අකුරකම නො අඩුව තිබෙන නිසාය. මා සමග දවස් ගණනාවක් කවි ලියූ, කියවූ, නොමසුරුව කවි මට දුන් සියලු සොඳුරු හදවත් වලට පින් ! මේ නම් ඉතා තෘප්තිමත් වූ අභ්‍යාසයකි. 

දැන් ඔබේ වාරය. මේ සියලු උත්සාහයන් කියවා බලා ඔබේ  ප්‍රියතම කවිය තෝරා ගෙන ,  රසවිඳීමේ පුර්ණ අයිතිය මම මහත් සෙනෙහසින් ඔබට පවරමි. 
ස්තුතියි. 


"ජීවිතෙත් මේ වගේ .. මම , මගේ , ඔයාගේ කියලා දෙයක් නැහැ . මේ කිසි අදහසක් ඔයාටවත් මටවත් අයිති දෙයක් නෙවෙයි. එක 'අපේ' නිර්මාණයක් . එහෙම හිතන තරමට තමයි ඕනෑම දෙයක් ලස්සන වෙන්නේ. එකට එකතු වෙලා සහයෝගයෙන් ගොඩ නගන දේ කොහොමත් ලස්සනයි "  
එය නම් සැබෑවක්මය...

Wednesday, November 04, 2015

[324] මම _ වෙමි _ ගස !


මම _ ඒ ගස ..
සුලඟින් කීරි නද දෙන 
කට්ට කරුවල ‍රැයක 
හිතුවක්කාර විලසින් ඇඹරෙන 

මම _ ඒ පියැස්ස ...
කුඩා බෙලෙක් අතු පැලෙක 
සුලඟද කීරි ගස්වන 
කර්කශ විරෝධය නොතකන 

මම _ ඒ හඬ ...
රාත්‍රියෙහි අඬා වැලපෙන  
හැඩුම  බිඳකුදු නිම නොවන 
හඩනු  මිස , සැනසුමක් නොදකින ...

.

I am the Tree

I am the tree
creaking in the wind
outside in the night
twisted and stubborn:

I am the sheet
of the twisted tin shack
grating in the wind
in a shrill sad protest:

I am the voice
crying in the night
that cries endlessly
and will not be consoled.


By Dennis Brutus [1924-2009]
was arguably Africa's greatest and 
most influential modern poet after 
Leopold Sedar Senghor and Christopher Okigbo,

Thursday, October 22, 2015

[323] අසංඛ්‍යත ස්වප්නය

යා යුතුය මා නැවැත
සොයා පෙම් මං පෙත
ප්‍රහර්ෂය පණ ලබන 
පිපුන වත දකින්නට

මද්දහන් ඉර දැවී
දවල් ලැව් ගිනි නැගෙන
වන රොදින් දිම් භෂ්ම
නැගෙනු දැක ගත යුතුය

ඉබාගාතයේ ඇවිද
සිසිල් දිය පහස ලැබ
නැමී සුලඟට නටන
හරිත තණ ගොමු කොහිද

මා නැවත යා යුතුය
අසංඛත ස්වපන මත 
අඬා බැස ගොස් නිදන 
කඳු පෙතට , දොල වෙතට

රාත්‍රිය නලවමින් 
කෙතක පැල් පියසකින්
ඇසිල්ලක මතුව එයි
ගොපලු වස් දඬු හඬක්..

හද ගැබෙහි පතුල
ගෝත්‍රිකයකු නිදයි
අවදි වී සිහිනයෙන් 
හෙට ලොවට යා යුතුය..

සියවසක ලේ කඳුලු
හද ගැබින් නික්ම යයි 
මා එවෙත යා යුතුය 
මා නැවත යා යුතුය...





A Translation of  'I Shall Return' 
By Claude McKay

I shall return again; I shall return 
To laugh and love and watch with wonder-eyes 
At golden noon the forest fires burn, 
Wafting their blue-black smoke to sapphire skies. 
I shall return to loiter by the streams 
That bathe the brown blades of the bending grasses, 
And realize once more my thousand dreams 
Of waters rushing down the mountain passes. 
I shall return to hear the fiddle and fife 
Of village dances, dear delicious tunes 
That stir the hidden depths of native life, 
Stray melodies of dim remembered runes. 
I shall return, I shall return again, 
To ease my mind of long, long years of pain.


ප.ලි . 
මෙය පිරිසිදු ස්වතන්ත්‍ර  නිර්මාණයක් යයි පැවසිය හැකි නොවේ. අමුවේ ලියූ ඇතැම් වදන් මිතුරෙකු විසින් කපා කොටා හැඩ  දැමු බැවින් , එම මිතුරු තුමාටද තුති පුද කරමි. 

Wednesday, October 21, 2015

[322] කඳුළු පාරුවකින් එතෙර වෙමි



රතු අහස සිය තිමිර සලු පොරවාගෙන නින්දට හරි බරි ගැසෙන සන්ධ්‍යාවයි.  ඈත ගම් දනවු වල කැදලි සොයා  පියාඹන කිරල . වවුල් සහ කාක නාදය අහස වසා වෙලා ගනිද්දී ගං ඉවුර පමණක් නිසංසලය . කණට ඇහෙන නෑහෙන ගානට ගඟබඩ නිසංසලය බිඳ දමා කැලැත්තෙන කුඩා ජල තරඟ සමග හැප්පෙන පාලම්  පාරුවක් ගඟ ඉවුරේ නතරව සිටී  .  එහි කොණෙක ඇණ බා හිඳ ගෙන , ලහි ලහියේ ගොඩ නැගෙන පාලම් බඳ දෙස මහලු තොටියකු  හිස් බැල්මෙන් බලා සිටී.

මලානික ලන්තෑරුම් එලියෙන් මඳ පමණට පලවා හරින  අන්ධකාරය, මුළුමනින්ම දුරින් දුරු කොට දැවැන්ත  නියෝන් බුබුලු වැල් පාලම් කණු වල නොබෝ දිනකින්  එල්ලෙනු ඇත. ලන්තෑරුමට , පාලම් පාරුවට සහ තොටියාට සැඳෑ සමය එලඹ තිබේ . ගඟ දිය දෙබෑකොට අහස උසට පැන නැඟුනු කොන්ක්‍රීට් කුලුනෙහි ලැග , අහස ගැබෙහි තරු සමග දොඩමලු වන්නට කුරුළු කොබෙයියන්ට නිනව් නැතුවා සේය. ගඟ දියට නැමී ගත් තුරු අගිස්සක පැද්දෙමින්, සුළඟ ගහකොළ මෙන්ම පාරු පිහිටෙන් එගොඩ මෙගොඩ වන ගම්බද සිරික්කි මුහුණු දකින්නට කුරුළු කොබෙයියන්ට වැඩි කල් ඉතිරිව නැති සෙයකි.  කොන්ක්‍රීට් දුහුවිල්ලෙන් වෙහෙස පත් තොටියාගේ හැඬුමකට සමාන පාරු කවි ගී හඬ පාලම් මෝලේ කුලු ගෙඩි පහරින් දවස තිස්සේ යටපත් වෙයි. ගහකොලටත් ගඟ ඉවුරටත් ඉසුඹුවක්  ලැබෙන රාත්‍රිය දැන් නිහඬය . 

කාලය විසින් බොහෝ වෙනස් කම් ගහකොළ සතා සීපාවුන්ට පමණක් නොව මිනිසාටද සිදු කොට  තිබේ. සොබාදහමේ නියමයන්ට එකඟව හීන් සීරුවේ ඇදෙන පාරුවක මන්දගාමී වේගය, හැල්මේ දුවන නූතන මිනිසුන්ට නොගැලපීම අරුමයක් නොවේ . කාලය විසින් කොල පැහැය උදුරා ගෙන අලු පාට කොන්ක්‍රීට් පැහැය ඒ ඒ තැන්හි පින්තාරු කොට තිබේ.

කිසිවෙකුත් එගොඩ මෙගොඩ වන්නට තබා සුව දුක් අසන්නටවත් ගොඩ නොවෙන හුදකලා පාලම් පාරුව දිරාපත් වන වේගයටත් වඩා වේගයෙන් , තොටියාගේ කුඩා ගෙපැලෙහි අඹු දරුවන්ගේ ජීවිත මහලු වෙයි. උන්ගේ බඩගින්න දෙස බලා හිඳින්නට පාලම මතින් ජීවිතය සොයා දුවයන පුහුදුන් මිනිසුනට කාලය ඉතිරිව නැත. ජීවිත කාලය පුරාවට තම මෙහෙය නිසි සේ ඉටු කළ ගෞරවාන්විත පුරවැසියෙකුට හිමි රතු විල්ලුද පලස් ඔහුට හිමි නැත. සුසිනිඳු සේද සළු වෙනුවට ඒ දුප්පත් ගෙපැලෙහි අනියත හෙටක සෝ සුසුම් පටල ජිවිතයට සිතල ගෙනෙනු ඇත.

 මෙගොඩ සිට සුසුම් ලන්නන් අනල්පය. සොබා දහමෙහි හද ගැස්මට අනුනාද වන තාලයට මහා පොළවෙහි ඇවිද යන්නට ඉවසීමක් ඇත්තේ එහෙමත් කෙනෙකුටය. එහෙයින්ම එතෙර වන්නන්  අල්පය. තොටියාණෙනි, ජීවිතය අද එක ඉවුරක නතරව ඇතද  නුඹ එතෙරව සිටී.

කවුරුවත් නැහැ - කවුරුවත් නැහැ
එගොඩට යන්නට - එ‍ගොඩට යන්නට...
ඉරගල වැටිලා - ඉවුර දෙපැත්තේ
අඳුර ගලනවා - පාරුව ඇතුලට
ලංතෑරුම කෝ ඔහෙ තිබුනාවේ...
කවුරුවත් නැ කවුරුවත් නැ...

දවසින් දවසම පාලම හැදුනා
පාලම් මොලෙන් හෙන හඩ ඇසුනා
කිරන කැලෑවේ කුරුළු කොබෙයියන්
ගම හැරදා යන්න ගිහින්...

කවුරුවත් නැ කවුරුවත් නැ....

දෑතේ අතැගිලි හබලට ගෙවුනා
ගෙනියන්නට බැරි මහ බර තිබුනා
මෙතුවක් නොම ගිය බර අද දවසේ
මට හිනැහීගෙන යනවා රහසේ

කවුරුවත් නැ කවුරුවත් නැ....


( අමරසිරි පිරිස් )



Tuesday, September 08, 2015

[321] සිනහසෙන ගිනි කඳු


ඒ මීට දෙදවසකට පෙරය . උදේ සිට දකින්නට අහන්නට විඳින්නට ලැබුනේ වෙහෙසකර දේය . එහෙත් දවස ඉවර වන එම රාත්‍රිය අග්ගිස්සෙහි ඉතාමත් සුන්දර හුරුබුහුටි මටසිලිටු තාලමය ත්‍යාගයක් එල්ලී තිබුනේය . නොලියා , නොතකා සිටිය දිගු කාල සීමාව දැන් හමාර කල යුතු යැයි "සිහිනයකි රෑ" මට ඉඟි කළේය !

ලෝකයෙහි කොයි කොයි දේ , කොතැන සිදු වූවත්, ඒවායෙහි ඇතැම් විට මහා ගුප්ත සම්බන්ධයක් විදාරණය වී පෙනෙයි. එහෙත් ඒවායෙහි එකිනෙකෙන් අනන්‍ය වූ මහා තනිකමක් ( isolation) ද තනිව ගත් කල වේදනාවක්ද විටෙක  පෙනී නොපෙනී යයි.

මට Babel නම් ඔස්කාර් සම්මාන දිනූ ඇමෙරිකානු - මෙක්සිකානු - ප්‍රංශ සිනමා පටය සිහියට නැගෙයි. ලෝකයේ සතර කොනක වසන පවුල් හතරක් , එකම එක තුවක්කුවකට පින් සිද්ද වන්නට , කිලෝ මීටර දහස් ගණනක පරතරයකින් පිහිටා සිටිමින් , එකිනෙකාගේ ජීවිත වලට කරන බලපෑම අදහා ගත නොහැකි තරම් විස්මය ජනකය ! ලෝකය තනි යායකි . සොබාදහම යයි නම් ලද , සංකීර්ණ හා ආකුල වූ , ලොකු කුඩා දැති රෝද ව්‍යුහයක අපද එක් දැති රෝදයක් බවට පත්ව සිටි. අප එකිනෙකාගේ දැති රෝද වලට කිටි කිටියේ හේත්තු වී නොනවතින ගමනක යෙදී සිටිමු.


කෙස්සෙහි , ඇස් වල , ඇඳුම් වල සහ හමෙහි පැහැය එකිනෙකාගෙන් වෙනස් වෙද්දී, කතාබහ , ගමන බිමන , හැසිරීම සහ චාරිත්‍ර වාරිත්‍ර මිනිසාගේ එම වෙනස් කම් උලුප්පා පෙන්වද්දී, ගැහෙන ලේවල දිවයන තිගැස්ම විඳවීම වේදනාව මිනිසාට පොදු වෙයි. එය එකම මානව කුලයක පොදු කතාන්තරයම බව Babel නැරඹීමෙන් අනතුරුව හද පසක් කරයි.

ජීවිතය පිළිබඳව බොහෝ ගැඹුරින් සිතීම දෑසට අඟලක දුරින් සමනලයකු නැරඹීම හා සමානය. (මතකද? මට සමනලයෙකු අල්ලලා දෙන්න ලිපිය ) - ලංව ගත් කල අසුන්දර , සමනලයෙකුගේ පිලිකුල් දනවන බඩවත , ඈතින් බලන කල වෛවර්ණ පිහාටුවලින් වැසි තිබෙයි . ආත්මය වෙත බොහෝ ලංව බලද්දී දැනෙන ජීවිතයෙහි ක‍ටුක සහ නිස්සාර බව වැටහී යාමේ අන්ධකාර භීතිය, අතේ දුරින් ජීවිතය දකිද්දී එතරම්ම නොදැනෙයි . එය සත්‍යයෙන් පලායාමක්ද? සත්‍යය නොදු‍ටුවා සේ අහක බලාගෙන සීටිමද නුවණැත්තෙකුට තරම් නොවෙයි.



මේ තරම් වැල් වටාරම් ගොඩක් සමග මා අවතීර්ණ වන්නේ එදා - සඳුදා ජාතික රුපවාහිනියෙහි  දුටු සිහින රාත්‍රියෙහි  මට තිලිණ කල ජීවිත ආනන්දයෙන් බිඳක් ඔබ සමග බෙදා ගැනීමටය. මාස ගණනාවක් තිස්සේ වල් වැදී අකර්මන්‍ය වී තිබූ ලිවීම සහ සෞන්දර්යාත්මක සිතීම යලිත් පණ ගසා ආ සෙයක් මට දැනෙන්නට විය. 

අමිලා නදීශානි විසින් අපූරුවට ගැයූ නන්දා මාලිනියගේ, අමරදේවයන්ගේ, අමරසිරි පීරිස්ගේ සොඳුරු ගී තාල , විඩාපත්ව සිටි මනසට සිහිල් දිය බිඳත් වත් කරන්නා සේ මිහිරක් ගෙන ආයේය. ඉතා සොඳුරු සහ සෞම්‍ය කතා බහකට පණ පෙවූ නාරද විජේසූරිය නම් සොඳුරු කලාකරුවාත්, මහේශ් නිශාන්ත නම් වියත් නිවේදකයාත් , විඩාපත් මිනිසෙකු සොයා යමින් සිටි ජීවිතාශාව යලි කැඳවා එන්නට තරම් හාස්කම් සහිත පිළිසඳරක් සිරුවෙන් ගෙත්තම් කල අපුරුව නම් අගය කල යුතුමය . ගීතයට කල හැකි හාස්කම් අරුම පුදුමය !

නාරද සොයුරානන් විසින් එක්තරා අවස්ථාවකදී පැවැසූ කුඩා වැකියක් මගේ සිත මහත් සේ සසල කරන්නට සමත් වූයේය !

"අපි හැමෝම ඇවිදින ගිනි කඳු වගේ "


එය සැබෑවක් නොවේද ? බොහෝ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දීමෙන් ආතුරව ගිය හදවත් වල අනල්ප වූ බර දරාගෙන අප උදෑසන අවදි වෙමු. දහසකුත් එකක් ඉවර නොවූ ගනුදෙනු පිලිබඳ මතක අවුස්සමින් දෙවන තෙවන වරද සේදීමෙන් විවර්ණව ගිය වෙස් මුහුණ පැළඳ , අපි මහ මගට බසිනෙමු. දහසකුත් එකක් රාජකාරි , සහ ආතුර මොළ සමග ඔට්‍ටු වෙමු. ගොඩ ගසා ගත් අලුත් වේදනාවන්ගේ බරින් පීඩිතව සවසට නැවැත නිවසට ගාල් වෙමු , පෙරදා රැයෙහි ද වළඳා ඉතිරි වූ තවමත් ඉවර නොකළ අතීත දුක් එක දෙකක් සුප්පු කොට හපා ඉවත ලමු. නළල රැලි කොට ගෙන , හෙට දවස පිලිබඳ අනියත හැඟුමෙන් භරිතව නිදා වැටෙමු. සිරුරෙහි විභවය හදවත නම් , එය පිරි ඇත්තේ සනාතනික වේදනාවකින් නොවේද ?

දිය නොරඳන නෙලුම් පතෙක පිවිතුරු හා නො ඇලෙන බව කෙලෙස නම් හදවතක දකින්නද ? පිවිතුරු හදවතක වුවද පතුලෙහිම සැඟවගත් විභවයෙහි පැසෙමින් දැවෙන අනේක විධ තැවීම් රිදීම් සහ අහිමි වීම් වල මතක, ගිනි කන්දකට හැර අන් කිසිවකට සම කළ හැකිද ? ඇතුලත දැවෙන තාපය , මලානික වූ දෑස් වලින් සම්ප්‍රේෂණය වෙතැයි බියෙන් මෙන් අප නිරන්තරව සිනහ වෙමු. නියම පදරුතින්ම කියතොත් , අපි “සිනහසෙන ගිනි කඳු” වෙමු.


නාරද සොහොයුරාණන් පැවසූ තවත් එක් වදනකින් මේ කුඩා සටහන නිමා කරනට සිතෙයි.

" ජිවිතයේ හැම තිස්සෙම , මට කතාකරන්න කැමති දේ කතාකරනවා නම් මම නිදහස් මිනිහෙක්. ඔබ මම ගැන හොද මිනිහෙක්ද නරක මිනිහෙක්ද හිතයි කියලා මට කියන්න ඕනේ දේ නොකිය ඉන්නවා නම් මම වහලෙක්. මම ආදරය විඳිනවා , මට ආදරය දැනෙනවා , පුද කරනවා .. හැම ගීතයකම කොහේ හෝ තැනක ආදරය ගැබ් වෙලා තියනවා . වෛර කරන , පිහියෙන් අනින දමල ගහන මිනිස්සුන්ට වඩා , ආදරය කරන , ආදරෙන් පිරුණු , හැඟීමෙන් පිරුණු මිනිස්සු වාසනාවන්තයි"

ගීතයෙහි , සිනහවෙහි , ආදරයෙහි හාස්කම ඒකය !

දිනෙකට මිනිස්සු බොහෝ  ගණනක් - නාරද සොයුරාගේ වචනයෙන් කියනවා නම් "ඇවිදින ගිනි කඳු” බොහෝ ගණනක් අප පසු කර යති. ඇතැමුන් අපට සිනහ වීගෙන මාරු වෙති. ඇතැමුන් අප පසු කොට ගිය පසු සිනහ සෙති .ඇතැමුන් අප පසු කොට ගිය බවවත් නොදකිති. මන්ද , ගිනි කඳු මත අසංඛේය සිහින බුබුළු දමයි . ඇතැම් ගිනි කඳු වාසනාවන්තය, ආදරබරය ! එනිසාම දැවෙන ගිනිකන්දකට වුව සිසිලෙන් ආදරය කල හැකිව තිබෙයි.

දියමන්තියක කැපුම් පහරින් මට සිලි‍ටුව, සිය උපන් හැඩතල හා භාව භාව සහ අහිමි කරගන්නා නීල මාණික්‍යයක දුක, වෙලෙන්දාට නොපෙනෙයි. දිස්න දෙන රූපයට ලොකු මිලක් නියම කොට , වීදුරු කූඩුවක් තුල විල්ලුද කොට්ටයක සතප්පවන ලද ශෛලමය මහේසිකාවක නොවී , නිකම් ගල් කැබැල්ලක් ලෙසම පොළවට පස්ව යා නම් හොඳ බව නිල් මැණිකටත් සිතෙන්නට ඉඩ තිබෙයි. ප්‍රදර්ශනාත්මක මියයාමක් ? එහෙම නොමැති නම් අප්‍රකට සමුගැනීමක් ? එයත් සිහිනයක් විය හැකිය .


සැබෑ වීමෙහිදී ආස්වාදනයක් කළ හැක්කේ සිහිනයකට පමණක්ම නොවේද ?

"මට තරම් හීන තියන අය ඉන්නවද කියලා මම හීනෙකින්වත් හිතන්නේ නැහැ"

නාරද විජේසුරිය නම් සොඳුරු මිනිසා වැඩසටහන අවසන් කරන අවසන් වැකිය මගේ යළි ප්‍රවේශය සනිටුහන් කරන්නේ එසේය !

සිහිනයකි රෑ - සැප්තැම්බර් 6 දා වැඩසටහන අන්තර්ජාලයෙහි නරඹන්න 1 කොටස 2 කොටස

Sunday, August 09, 2015

[320] අනුරපුර වැඳ ආමි ..

ඔන්න ඉතින් අපි අනුරාධපුරේ ගියා. මේ චාරිකා සටහන කියවන ඔයාලගෙන් ගොඩ දෙනෙක් දැනටමත් අනුරාධපුරය දහ දොළොස් වතාවක් වැඳලා ඇති. ඒත් කාලයත් එක්ක ගම නගර වෙනස් වෙනවා. සමහර අකරතැබ්බ නොවෙනස්ව හැමදාම සිදු වෙනවා. මේ සටහන ලියන්නේ මේ දවස් වල අනුරාධපුරේ යන ඔයාලට. 

පොදු ප්‍රවාහනයේ යනවා නම් ඔන්න පැය බාගෙන් බාගෙට අනුරාධපුර බස් තියනවා නුවරින්. විදෙශිකයො වෝකර්ස් බස් වල ගිනි ගණන් දීල ගියෙ ඉස්සර. අපි ගිය මුලු බස් එකෙම හිටියෙ පිටරට උදවිය. එයාල සිතියම් පොත් වලට ඇස්  මානාගෙන හරි අපුරුවට සාමාන්‍ය බස් පහසුකම් වල වගක් නැතුව ගමන් යනවා. හැබැයි කොන්දොස්තරලත් දැන් හරි සාදාරණයි. එයාලගෙනුත් ගත්තෙ සාමාන්‍ය  බස් ගාස්තුවම තමයි. 

පැය තුනහමාරක ගමනකින් පස්සෙ අපි අනුරාධපුර ටවුමට ආව. නවතින තැන අපි කලින් සුදානම් කරගෙනයි ගියේ.මොකද අනුරාධපුර කියන්නේ හවස් අතේ ගිහින්,  ඒ වෙලාවට නවතින තැන් හොයන්න සුදුසු දිහාවක් නම් නොවෙයි. තැරැව් කාරයො පිරිලා. ඒ නිසා මම agoda.com එකෙන් මම රත්නමාලි එකෙ කාමරයක් වෙන් කලා. මොකද ඒක තමයි ජය සිරි මහ බොධියට ලඟම තියන නවාතැන. නවාතැන ගැන මගේ කතන්දරේ ලිපියේ අගට ලියන්නම්. නැතිනම් අනුරාධපුරේ ගිහින් පව් රැස් කරගෙන ආව වෙනවා.


සවසට ස්වර්ණමාලි චෛත්‍යය පෙනෙන අයුරු 

හරි , ආපහු කතාවට යමුකො. ඉතින් පැය කීපයක් ගිමන් නිවාගෙන හවස් අතේ අපි රුවන්වැලි සැයටයි ජය ශ්‍රී  මහ බෝධියටයි යන්න පිටත් වුනා. ඔබ එහෙ ගොඩ වෙලාවක් ගත කරනව නම් , ඉන්න තැනකින් වතුර , කෑම බිම අරන් යන්න. ඒ හරියෙ මල් කඩ ඇරුනාම කෑම බිම ගන්න තැන් නැහැ.

රාත්‍රියට පෙනෙන රන් වැලි සැය 
ඔන්න ඉතින් අපි ජය ශ්‍රී මහ බෝධියට හවස් අතේ ඇවිත් වැඳ පුදා ගත්තා. ඊලඟට ගොම්මන් අඳුර එද්දි අපි රුවන්වැලි සෑ මළුවට සැපත් වුනා.  රාත්‍රිය උදා වේගෙන එද්දී ස්වර්ණමාලි චෛත්‍ය වහන්සේ කියන්න බැරි තරම් සුන්දර දසුනක්.රාත්‍රිය හාත්පස වෙලා ගනිද්දි ඉතින් අකමැත්තෙන් නමුත් අපි එතනින් නැගිටලා ආවෙ ආරක්ෂාව ගැන හිතලා.


අභයගිරි වෙහෙර 

පසුවදා උදෙන්ම අපි පිටත් වුනේ ඉපැරණි නටබුන් නගරයට. මුලින්ම අපි ගියෙ සමාධි පිලිමය ගාවට. ලංකාවේ දැනට පිහිටා තිබෙන විශිෂ්ටම බුද්ධ ප්‍රතිමාව යයි සැලකෙන්න සමාධි පිළිම වහන්සේයි. 

ඊලගට අපි නටබුන් අතරින් හෙමිහිට ඇවිද ගියෙ අභයගිරියටයි. ලඟදි ප්‍රතිසංස්කටණය කල නිසා මෙතැන දැන් හරිම ලස්සනයි. අටමස්ථානය වටාම දැන් නවීන කාපට් පාරක් තිබෙන නිසා ගමනාගමනය දැන් පහසු වෙලයි තියෙන්නෙ. කවුරු කලත් මේවා හොඳ වැඩ නේද ?


ලංකාරාමය 
අභයගිරිය වැඳගෙන ලංකාරාමය කරා එන අතරමග හමුවන අභයගිරි කෞතුකාගාරයට හිස පොවන්නත් අමතක කරන්න එපා.

ගමන අවසන් නොකළ යුතුමුත් කාලය හරස් වුන නිසා අපි ලංකාරාමය , ඇත් පොකුණ , මුරගල් සහ ථුපාරාමය නරඹලා එතැනින් ආයිමත් නවාතැනට ආවා. මම චාරිකා සටහනේ මේ ස්ථාන ගැන වැඩිපුර නොලියුවෙ හේතු දෙකක් නිසා.

එක- ඒවා ගැන ඕනෙ තරම් තොරතුරු අන්තර්ජාලයෙ දැනටමත් පිරිලා තියනවා .
දෙක - අනුරාධපුරය කියන්නේ අටමස්තානයට සිමා වූ නගරයක් නොවෙයි. අනුරාධපුරය කියන්නේ සතර දෙසින් දහස් ගණන් නටබුන් ශේෂ මතුවුණ සුවිසල් ඉපැරණි පුරවරයක්. එහි ශ්‍රී විභුතියෙහි නටබුන් තැන් අටකට සිමා වෙන්නේ නැහැ. ඔබට ඇවිද යන්න , සැරිසරන්න දහස් ගණන් ගල් කණු , මුරගල් , මන්දිර , පාදම් තිබෙනවා. මම ඇරයුම් කරනවා ඔබට පොඩ්ඩක් ඒ නටබුන් අතරේ වනගත වෙන්න කියලා. ඒවාට නම් ගසා ලේබල් අලවා නැහැ. ඒත් එහි ඉපැරණි ශ්‍රී විභූතිය මොනවට දිස් වෙනවා වගේම ඔබට ඒවා අතින් අල්ලා බලා අපේ හෙළ ප්‍රෞඩත්වය පසක් කල හැකියි.



ඉපැරණි නටබුන් 
ඉතින් මම ඔබට අරයුම් කරනවා ඔබත් අනුරාධපුරයට ගිහින් ඔය අප්‍රකට නටබුන් අතරේ නිදහසේ ඇවිද යන අත්දැකීම විඳ බලන්න කියා. ඔබ ඉතිහාසයට ආදරය කරනවා නම් ඔබට මා කියන දේ වැටහේවි.


අභයගිරිය පියගැට පෙළ 
ඔබ තව තවත් ඒ පුරාන දේට ඇලුන ගැලුන කෙනෙක් නම්, සියවස් ගණනක් එපිට අතීතයෙ ආත්මයන් පවා ඔබ අවට සැරිසරන්නේ යැයි දැනේවි. මා පෙර ඉපිද සිටියේ අනුරාපුරයේ යැයි මා තදින්ම විස්වාස කරන නිසා මට නම් එම හැඟීම තදින්ම දැනෙනවා. වසර විස්සකට පමණ පසු අනුරාපුරයට ආ විට මට නම් සිතුනේ සැබෑ නටබුන් නරඹන්න නම් දවසකුත් මදි බවයි.


ඇ ත් පොකුණ 

~~

දැන් එන්නේ චාරිකා සටහනේ ඔබේ ප්‍රයෝජනය තකා ලියන දිගු සටනහට . ලඟදි එහෙ යන්න ඉන්නවා නම් මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න.

රත්නමාලි නවාතැන 
වෙබ් පිටුවේ පෙන්වන සුන්දරත්වය සැබෑ නවාතැන නම් ඇත්තේ නැහැ. ඒ නිසාම මම මෙතැන වෙන කාටවත් නම් රෙකමදාරු කරන්නෙ නැහැ ඔන්න. ගෙවුව ගානට සරිලන සෙවයක් මෙතන නම් නැහැ. කාමරයෙ වායු සමීකරණය ඇරුනාම ගත යුතු දෙයක් නැති නිසාත්, රූම් සර්විස් කියලා ටෙලිපොනයක්වත්, අඩු ගානෙ වතුර පොඩ්ඩක් බොන්න විදුරුවක්වත් කාමරයෙ නැති නිසා සේවය අන්තිමයි කියලා තමයි කියන්න වෙන්නේ.පිරිසිදු ඇඳ රෙදි සහ කොට්ට උර නැති එක නිසා අපි නම් අපහසුතාවයට පත් වුනා. හෝටලයකින් අපි මීට වඩා පහසුකම් බලාපොරොත්තු වෙනවනෙ. අනික මෙතැන අහාර පාන දෙන සේවයක් නැතුවා වගේම තිබෙන කැන්ටිමේ ගන්න දෙයක් නැතිම තරම්. එත් එකෙ පොඩි ඉඳි ආප්ප මුලත් රු.110ක්! 

ඕනෑම හෝටලයක අමුත්තන්ට කාමර භාර දීමේ පටිපාටියක් තිබෙනවා. අපේ පුද්ගලික තොරතුරු සටහන් කරගන්නවා වගේම, අපෙන් යතුරු භාර ගනිද්දී ලදු පතක් නිකුත් කරන්න ඕන නේද? මම දුරකතනයෙන් අපේ වෙන් කිරිමේ ලදුපත පෙන්වූවා විතරයි.

යතුරු ආපසු දෙන මොහොතේ නිකම්ම යතුර ගත්තා මිසක අඩු ගනනේ කාමරය පරික්ෂා කර බැලීමක් පවා සිදු කලේ නැහැ. ඉතින් අප සිටි මුළු කාලයේම මම කිසිදු සේවක මහතෙක් නොදුටුවා වගේම , අප ඉවත්ව යන විටදී අඩුම ගන්නේ සිටි කාමරය පරික්ෂා කර බැලීමක් පවා කලේ නැහැ. එය පහසුවක් හැටියට මම දකින්නේ නැහැ. ඒ වෙනුවට මට හිතෙන්නේ එය තද නොසැලකිලිමත් කමක් බවයි.අප යම් හෙයකින් කාමරයේ යමක් අමතක වී ආවා නම් ඔවුන් කොහොමද දැනුම් දෙන්නේ? අප ආයිත් එහි ගියත් අපේ අනන්‍යතාවය ඔප්පු කරන්නේ කොහොමද. පිට කෙනෙකු හෝටලය තුලට ආවත් හඳුනා ගන්නෙ කොහොමද? මම හිතනවා එම ආයතනයේ කළමනාකරුවන් මිට වඩා සැලකිලිමත් විය යුතුයි කියා.

ආහාර  පාන 
කිවුල් වතුර බොන්න හුරු නැති ඔබ නගරයෙන් ඈත නවාතැනකට යනවා නම් වතුර බෝතල් අරන් යන එකයි හොඳ . ඔන්න තවත් අවවාදයක්. අපි හිටිය තැන වගෙ කෑම නොදෙන තැන් වල ඉන්න අයට හරි, කෑම වේල් මග ඇරුන අයට හරි , කියන්න තියෙන්නෙ එක දෙයයි. කොලඹ නුවර වගෙ යන යන තැන පේස්ට්‍රි ශොප් එහෙ නැහැ. අහම්බෙන් හමුවන හැම කඩයෙන්ම කන්න නම් අමාරුයි, සමහර තැන් පොඩ්ඩක්වත් පිරිසිදු නැහැ. අනික මිරිස් ඉතා අධිකයි. කට දැවිල්ලයි. අපට හමු වුන කෑම හල් වලින් පිරිසිදුම එක තමයි ෆැමිලි බේකර්ස් එක. තියෙන්නෙ ටවුම මැදමයි. එකෙ උඩ තට්ටුවෙ ( cassarole ) බොහොම පිරිසිදුවට කෑම වේලක් කන්න පුලුවනි. පහල තට්ටුවෙ ගෙනියන්න පුලුවන් පාර්සලුත් තියනව. ඔබ අහාර නොදෙන නවාතැනක ඉන්න බලාගෙන යනව නම් , මෙ වගෙ තැනකින් කෑම අරගෙන යන එක නුවනට හුරුයි.

ප්‍රවාහනය 
ඔබ ඔබේම වාහනයක ආවේ නැතිනම් , සාමාන්‍ය විදිය තමයි ත්‍රි රෝද රථ . හැබැයි මෙහෙ අවම තෙරෝද රථ ගාස්තුව රු.100 යි. කොළඹවත් නැති ගණන්. ! නිස්කාරනේ  තෙරොද රථ වලට වියදම් කරන වෙලාවෙ, ඔබ දන්නවද අනුරපුර පුරාණ නගරය ඇතුලෙ දුවන විශේෂ  බස් රථ සෙවා දෙකක් තියන බව? ඒවා මුලු අටමස්ථානයෙම වටා ගමන් කරනවා. බැතිමතුන්ට , නිදැල්ලේ ඇවිදින්න ආස අපි වගෙ අයට කියාපු ක්‍රමයක්. මේ බස් නිතර නිතර අටමස්ථානයේ චාරිකා කරනවා. 

ලඟදි ඉඳලා සේවයට ආපු තව අලුත් සුඛෝපභෝගී බසයක් තියෙනවා. සේවය ඉහල පන්තියේ උනාට ගැන නම් හරිම පොඩියි. පැය තුනක් තිස්සෙ මුලු අටමස්ථානය වටයම එක්ක යන්න ගන්නෙ රුපියල් සියයයි. බසයට ගොඩ වුනු හැම දෙනාම ආපසු එනතුරු එය බලා ඉන්නවා විතරක් නොවෙයි , මේ බසයේ වායු සමීකරණ , ශීතකරණ , රුපවාහිනී හැම දෙකින්ම සමන්විතයි .  

බසයේ රියදුරු මහතා කිව්ව විදියට , දවසට වට තුනක් මේ බසය යනවා. උදේ 7.30, දවල් 11.30 සහ දවල් 2. අනුරපුර ටවුමෙන් පටන් ගන්න පළමු රවුම හරියට එකොළහට ඉවර වෙනවා. කාලයත් ඉතුරුයි. හරිම පහසුයි. ඔබට තෙරොද රියක දූවිලි කාගෙන දවස් බාගයක් කරක් ගසන්න අඩු ගානෙ රු. 2000ක්  වත් ගනිවි.ඔන්න බස් රථයෙ මහතා එයාගෙ ටෙලිපොන් නොම්මරෙත් ( 0716054100 ) දුන්නා , යන එන අයට ලබා දෙන්නය කියලා. ඔබත් අනුරාධපුරෙ යනව නම් , අටමස්ථානය වැඳ ගන්න මෙක හරිම පහසු ක්‍රමයක් ඔන්න.

අහ අමතක උනා. මදුරුවන් කියන්නේ මේ නගරෙට අමුතු උවදුරක් නොවෙයි. ඔබ කොයිකටත් මතක ඇතුව මදුරු කොයිල් එක දෙකකුත් අරන් යන්න.

මම හිතනවා මේ විස්තර , යන එන ඔබට අත්වැලක් සපයයි කියලා. මම අර කිව්වා වගෙ නටබුන් අතරේ ඇවිදින්න නිදහස් දවස් බාගයක් වෙන් කරගෙනත් බලන්නකෝ. 

එහෙනම් අනුරාධපුර වදින්න යන ඔබට සුබ ගමන් සහ තෙරුවන් සරණයි ! 

Tuesday, July 28, 2015

[319] මේ නුග තෙම හැර ....

වසර ගණනකට පෙර , හරියටම බැලුවොත් අසූවකට පෙර  , එක් කොලු ගැටයෙක් පාර අයිනෙ නුග පැලයක් සිටුවූයේලු. නිවස අබලන්ව වියපත් විනි. නුග පැලය නාඹරව නුග පලද පල ගනිමින් එය මහ නුගයක්ම වූයේලු. මීට වසර තිස් ගානකට එපිට ධනසිරි මුදලාලි අලුත්ම අලුත් සුපර් මාර්කැට්ටුව අරින්නේ ඔතැනමය. ධනසිරි මුදලාලි රූස්ස හෙවණක්ව මහනුවරටම හෙවණ සැදු නුග රුකට අත නොතැබුයෙ වන්නට ඇත. 

88-89 කාලයේ භීෂණයට පින් සිදු වන්නට ධනසිරිය පොළවට ඇද වැටෙද්දිත් , නුග තෙම කලකිරිනු දැසින් මුහුණ බිම හොවා සුසුම් ලෑවේය. කුඩා සිහිරුම් තුවාල කිහිපයක් විනා , නුගය සිය මහත දෙහෙත සිරුර ගින්නෙන් රැක ගත්තේය. කාලයාගේ ඇවෑමෙන් නුග රුකටද වයස්ගතවූ මැහැල්ලෙකුගේ ඉරණම් පල දෙන්නට පටන් ගත්තේය. සිය අවසඟ දෑත් දෙපා බඳු නුග වැල් බිමට පහත්ව බිමට දෑත් ගසා නැවතී , විප්ලවයේ ශේෂ බල බලා ගිමන් හරින්නට වූයේය . 

කාලය ගත වූයේය. ධනසිරිය ඉටි රෙදි වලින් ආවරණයවී හෙමි හෙමිහිට සුවපත් වෙමින් පැවතුනේය. එහි බිම් මහල කුඩාවට ආයිත් සුපිරි නොවූ හිච්චි වෙලඳ සැලක් බවට පත් වූයේය. 

කුඩා වියේ ගම්පොල සිට දිනපතා නුවරාගමනය කරන පස් දෙනෙකුගේ අප පවුල් සේනාවට , නුවරාගමනයේ මග ලකුණු කීවේ මේ මහ නුගයය. නගරයෙන් බැහැරව යන සමුගැනීමේ ලකුණද පෙන්වූයේ මේ නුගයමය! උසස් පෙළ කරන කාලයේ රාජසිංහ සර්ගේ පන්තියට බහින්නට බෙල් එක ගසන්නෙත් නුගය බලාගෙනය . පාසල් කාලයෙන් පසු මගේ ප්රියතම කොම්පියුටර් පන්තියේ පාරාදීස ලකුණ වූයේද මේ නුගයමය ! 

නුවරට පළමු වරට නිමි ඇඳුම් සාප්පුවක් ලෙස ෆැශන් බග් අවතිර්ණ වන්නෙත් මේ නුග සෙවණටය ! එය සුපිරි වෙලඳ සැලක්ව නුගය තරම්ම උස් මහත් වෙද්දී ධනසිරිය වසා ෆැශන් බග් ජනාකීර්ණ වන්නේය. සුවහසක් ගිලනුන් යන එන , සුසුම් ලන , හඬන , දොඩන වැලපෙන ආතුර දන දන වෙත සිය හැකි පමණ සෙවණ සදා නුගය සිය යුතුකම් ඉටු කළේය.

එකී මෙකී නොකී කුඩා කඩසාප්පු වලට සමු දෙමින් ධනසිරිය මැකී ගියේය. අද එතැන ඇත්තේ ආපිකෝවකි. සිය ගම්භීර නිහඬතාවයෙන් නුගය මෙ'කරුණද ඉවසා වදාලේය. ගත හිරිගඩු පිපෙන හීතල , තද සුලං සහ නිරන්තර වැසි වලින් නොසැලෙන දැවැන්ත හස්ති රාජයකු මෙන් , නුග රුක තලත්තෑන්නි සාඩම්බරත්වයෙන් නුවර දියුණු වන අයුරු බලා සිටියේය. 

වරින් වර මහනුවර සසලවා හමා ගිය මහ සුලං එක දෙකක් නිසාවෙන් බිම පතිතවූ නුග අතු ,  සමුගැන්මක පෙර ලකුණු සටහන් කලේය. කුඩාවුන් නිතර යනෙන රූස්ස නුග සෙවන කොයියම් මොහොතක හෝ සිය අවසන් මොහොතට එලැඹෙන බව නුවරු පසක් කලෝය. 

මේ සා ඇසු පිරු තැන් ඇති මහලු නුග තෙම සෙනෙහෙන් බදා වඩා ගෙන අන් තැනක හිඳුවන්නට තරම් මේ දුප්පත් රටට මගක් නැති වන්නට ඇත. එක්කෝ ඒ දුප්පත් ගසට සංචාරයට උචිත සවිබල තවත් ඉතුරුව නොතිබෙන්නට ඇත. 

දැන් නාටකයේ අවසන් ජවනිකාවය. ආපිකෝවට එලිය වැටී තිබේ. දැවැන්තයා සමුගෙන ගොස්ය ! ගරුකටයූ ලෙස නොව , අත පය කඳ බඩ කුට්ටි කුට්ටි කොට සතියක් දෙකක් තිස්සේ , තවමත් ලේ වගුරුවමින් නුග තෙමේගේ සරීරයේ නටබුන් එහි වැතිර සිටී. බිහිසුණු යුද්දයකට පසුව ඉතිරි වූ මල සිරුරු ගොඩක් සතුරන්ගේ චිත්ත ප්රීතියට ප්රදර්ශනය කර ඇත්තාක් මෙන් , ඒ නුගයට ආලය කල බොහෝ දෙනාගේ සුසුම් තවරා ගනිමින් , කුට්ටි වූ නුග අතු සහ කඳන් අවසන් හුස්ම හෙලමින් සිටී. 

එක්තරා හැඟුම්බර් අඳෝනාවක විලාසයක් තැවරී තිබුනද , නුගයට මෙන්ම මිනිසුනටද මේ තිර දහම පොදු බව මේ ලියන්නිය නොදන්නවා නොවේ. දිරාපත් නුග කඳකට යටව තැලී පෙලී කිසිවෙකු මිය යන තුරුද සියල්ලන් බලා සිටිය යුතුද නොවේ.

එහෙත් අහිමිව ගිය නුග රුකට හිලව්වට , ඒ ගැන විලාප තියනවාට වඩා , අලුත් නුග පැල දහසක් සිටුවන්නට මේ කාලයයි ! 




මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->