Monday, September 02, 2013

[295] කේ F සී පරපුර දෙස බලා හිඳිමි

මම සුප්‍රසිද්ධ කේ ඇෆ් සී (KFC) අවන්හලෙහි හිම කිරමයක් තොල ගාමින් සිකුරාදා හවසක හිඳ සිටිමි.


වරෙක මුලුතැන්ගෙයින් නැගෙන ප්‍රීති ගෝසාව , ඇතුලත ‍රැකියාවේ නියුතු සේවකයන්ගේ ගාලගෝටීයක් හෝ ආරවුලකැයි වරදවා හැ‍ඟෙන තරම් උස් හඬින් නැගේ. එය උද්යෝගය වෙනුවට භීතිය ජනිත කරවයි. දශක තුනක අතීතයෙහි සිදුවූ තරුණ ගැ‍ටුම් ලේ වැගිරීම් වල තිගැස්ම අපේ ජාන වලින් තවම පහව ගොස් නැතැයි සිතෙන්නේ එවිටය. හිම කිරමයෙහි තත්වය තවත් බාල වෙමින් අන්තර්ජාතික අයිස්ක්‍රිම් වට්ටෝරුව දැන් තැන්පත් වන්නේ අසල කඩයකින් මිලදී ගත් බාල අයිස් කෝන්  එකක් මත්තෙහිය.

ඒ සියල්ල අමතක කළ හැකි තරම් සොඳුරු බවක්ද පරිසරයට එක්ව තිබෙයි. ලමා ළපටීන්ගෙන් මේ මහා ආහාර මන්දිරය අද වෙනදාටත් වඩා පිරී පවතියි. මන්ද එය සිකුරාදාවකි. අම්මලා තාත්තලාට නිදහසේ සිය දරු දැරියන් සමග විනෝද වන්නට ඉඩ ලැබෙන්නේ අදය. විසාල රබර් උමං මාර්ග වල කෑකොස්සන් දෙමින් ළමා ජීවිතයේ ප්‍රහර්ශය ආසාවෙන් විඳගන්නා දරු පැටවුන් දෙස එක් ඇසකින් ඇස ගසාගෙන දෙමාපියන් කේ ඇෆ් සී රස මසවුළු විඳිති. ඇතැම් පවුල් වල ආයලා යැයි සිතිය හැකි කැහැ‍ටු කෙල්ලන් හෝ තලස්තෑනි කානතාවන් දරුවන් වෙත ඇස ගසාගෙන සිටිද්දී අම්මලා තාත්තලා යහලු මිතුරන් හා කුඩා සාද පවත්වති. එක අතකින් මේ දසුන සුන්දරය. එක් අතකින් හීනි දුකක් හෝ  පසු තැවිල්ලක් හිතට නගී.

මේ කුඩා අත පයෙහි සීරුමකටවත් ඉඩ නොතබා පරීක්ෂාකාරීව තනා ඇති, නැමෙන සුලු, ඇදෙන සුලු, පුළුන් පි‍රැවූ, කෙලි සෙල්ලම් බඩු සිත ඇද ගන්නා සුලුය. ඒත් , ,මේ කුඩා වුන් වැඩිහිටියන් වී වැඩෙන කලෙක,  එතරම්ම සුඛනම‍ය  ගහ කොළ සතා සීපාවුන් , වෙනකක් තබා එතරම්ම සුඛනම්‍ය මිනිසුන් මේ මිහිමතදී උන්ට හමු වේවිද? ලස්සන රතු කහ කොල නිල් පාටින් සුසැදුනු සෙල්ලම් ගෙවල් ඇතුලේ මැවෙන උන්ගේ ලෝකයට ඈත්ත ලඟා වෙන්නේ බොහොම හෙමිනි. අලුත හෑදුනු කුඩා ගෙමිදුල් වල  පොල් අතු හෙවිල්ලු කුඩා ගෙයක් තනා දෙන්නට , සෙල්ලම් බතක් උයන්නට ඉඩක් නූතන ගෙවල් වල ඉඩක් ඇත්තේම නැතිද?


මා දුවන්නේ ගමට නොවේ. මා දුවන්නේ මගේ අතීතයටද නොවේ.  එහෙත් මෙබඳු කෘතිම ළමා ෆැන්ටසි ලෝකයකට සැතපුම් කිහිපයක් ඔබ්බෙහි ගණ නිලෙන් සුසැදි සොබා සොඳුරු ගුණයෙන් අනූන විශ්ව විද්‍යාල ක්‍රීඩා පිටිය තිබෙන බව මට සිහියට නැගෙයි.
කේ ඇෆ් සී බිත්ති මත සැලෝලයිඩ් ඉරකුත් හඳකුත් ඇලවී තිබෙයි.  ඉරත් හඳත් එකට නොනඟින බවත් , ඉරෙහි උණුසුමත් සඳ එලියෙහි සීතලත් සුදෝසුදත් පෙන්වන්නට මේ අහිංසකයින්ව තණනිල්ලකින් සුසැදි ක්‍රීඩා පිටියකට ගෙන යා නොහැකිද?

කිසිදු තුවාලයකට ඉඩක් නැති 100% ආරක්ෂිත නවීනතම ලමා උයන තරම් මේ ළමා ලපැටීන්ගේ අනාගතය සුන්දර සහ එකමිතියක් නැත්තේය. මල් මෙන්ම ගලින්ද සුසැදී කුරිරු ලෝකය දරාගන්නට උන් උගෙනින්නේ කවදාද? කුරිරු ලොව ඇති සොඳුරු බව විඳින්නට උන් ඉගෙන ගන්නේ කවදාද?  රාත්‍රිය උදාවෙන හැටි, අහසේ නිල සේදී රත මැවෙන හැටිත් , අඳුර මෙන්ම සඳ එබෙන හැටිත් දකින්නට උන්ගේ කුඩා ගෙයි බැල්කනිය ඉඩ මදි බව ඇත්තකි. කුඩා ගෙයි මිදුලෙන් , මේ කුඩා උන් කැන්දාගෙන එන නිස්සාර ළමා උයන තුල උන් හොයන නිදහසත් උන් ලැබිය යුතු ස්වභවිකත්වයත් නැත්තේමය .

පුලුන් පි‍රැවූ සතෙකුගේ මටසිලිටි බවට වඩා දහස් ගුණයක් ජීවයක් සහ සිනිඳු බවක් මල් පෙත්තක ඇතැයි අතගා බලන්නට ඔවුන් වාසනාවන්ත කල යුත්තෝය. ගලක හැපෙද්දි රිදෙන බවත් ගලට බනිද්දී නෑසෙන බවත් , ගලට පෙරලා පහර දීම අනර්ථ බවත් උගන්වන්නට රබර් බම්පරයකට බැරිය. තණපලසෙහි නිරුවත් දෙපයින් ඇවිදින්නට මේ පරම්පරාවට වාසනාවක් නැත්තේය. වැස්සේ නටමින් කඩදහි ඔරු පාකිරීමක් ගැන කවර නම් කතාද?


ජීවිතයේ තක්සලාව අරුමෝසම් කෙලි බඩු වලට කියා දිය  නොහැක්කේය. ජීවිතය උගත යුත්තේ මට අනුව නම් පරිසරයෙනි. එහෙවු සොඳුරු පරිසරයකින් අනූන මහනුවර සිට ඔය සුඛෝපභෝගී වාහනයෙන්ම කැම්පස් පිට්ටනියට එක්ක ගොස් ඇති තරම් නටන්නට උන්ට ඉඩක් නැත්තේ මොන අහේතුවටදැයි මම කල්පනා කරමින් සිටින්නෙමි. වැවරවුමේ අම්මා තාත්තාගේ අතින් අල්ලාගෙන ඇවිද යන්නට උන්ට නොහැක්කේ ඇයිදැයි සිතමින් සිටිමි. හන්තානේ කඳු පන්ති දකින්නට , මහවැලි ගං ඉවුරේ හිඳ සිටින්නට කේ ඇෆ් සී තරම් සුඛෝප භෝගී බිල් ගෙවන්නට අවැසිද?

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->