Thursday, March 15, 2018

[345] දාහක් කතා අහගත්තු දාහේ නෝට්ටුව ..

ළමු  දාස් කතාව  - 2017 මාර්තු  4 ඉරිදා – හවස 3 ට විතර ….
ඉරිදා දවසක්. මට කාර්ය බහුල , ඔහු නුවර මම පන්ති කරන තුරු කල් මරන දවසක් ! දෙන්නම පරක්කු වෙලා , රන්මල් එකට  ගියෙ යක්කු දාහක් කන්න බඩගින්නෙ.
සුහද හිනාවක් .. බඩගින්නෙන් චුට්ටක් අඩු උනා.
“අන්කල් බත් තියනවද ?”
“තිබ්බේ නැතත් , අපි කන එකෙන් ටිකක්  හරි දෙන්නම්කො , ඉදගන්න" … බඩගින්නෙන් බාගයක්ම ,  හිත පිරුන නිසා අඩු උනා.
කොහෙන් කොහොම හරි බත් පිඟන් දෙකක් එලියට ආවා.
අන්කල් පරිප්පු එහෙම නැද්ද ?” ඒ පාර පරක්කු වෙලා කන්න ගිහින් පරිප්පුත් ඉල්ලනවා.
අද පරිප්පු ඉවුවේ නැහැනේ මහත්තය. ම්ම්ම් “ අන්කල් කල්පනා කරනවා.
පොඩ්ඩක් ඉන්නකො මහත්තය”
ඇතුලට ගිය රන්මල් අංකල් , චුට්ටි දීසි පොඩ්ඩකට පරිප්පු ටිකක් (තමුන්ට කන්න තියාගත්ත උදේ හදපු පරිප්පු චුට්ටද කොහෙද ) ගෙනවිත් බෙදනවා.
“මහත්තය බත් තව ටිකක් බෙදන්නද ?” 
"හා අන්කල්” ආයිමත් කොතක් ගහලා බත් !

දෙවන පිඟානත් හිස් වේගෙන වගේ එනවා  . මාලු ජාති ඉවරයි (නුවර අය මාලු කියන්නෙ , ව්‍යංජන වලට බව කරැණාවෙන් සලකන්න) .. බත් ඉතුරැයි .

“එහෙනම් තව මාළු ටිකක් බෙදන්න”

හොඳ හැටි බඩගිනි නිවා ගත්තු අපි දෙන්නා පුරුදු විදියට පොඩි කතාවකට වැටෙනවා. නාට්‍ය , රට තොට තොරතුරු , සංගීතය ,.. කාලය ගෙවෙනවා දැනෙන්නෙත් නැහැ ..

“එහෙනම් අපි යන්නම් අන්කල්. කීයද ගැන ?”
පිගන් කියක් කෑවත් ගැන වෙනස් නොකරන රන්මල් අන්කල්ගේ අතට පතිත වෙන අදහසින් , මේ කතාවෙන් ඉතිහාස ගත වෙන්න නියමිත දාහේ කොලේ මගේ  පොකට්ටුවෙන් එලියට ආවා.
අනේ  , මාරු කරගන්න ටිකක් අමාරුනේ. බඩු වගයක් ගන්න , තිබ්බ සල්ලි ටික යැවුවනේ … පස්සේ දෙන්න, ඕක හදිසියක් නැහැ”
දාහේ කොලේ ස්තුතිවන්ත මුහුණෙන් රන්මල් අන්කල් දිහා බලල ආයිත් පසුම්බියට ගොඩ  වුනා. 
Image result for sri lanka 1000 rupees note

~''~

දෙවන  දාස් කතාව -  2017 මාර්තු  9 සිකුරාදා - උදේ 8ට  විතර …
සතියකට ඉහත... රත්මලාන පෙට්‍රල් ෂෙඩ් එක... ගියේ පෙට්‍රල් ගහන්න කියල කියන්නත් දෙයක්යැ !
වාහනය තෙල් ගහන්න නතර කරලා , රථාචාරියා  මෙන්ම මගෙ ආරක්ෂකයා පෙට්‍රල් ටැංකිය ගාවට ගිහින්  ෂෙඩ් එකෙ මල්ලි සමග කතාවකට වැටීගෙන... රථයෙ අනෙක් පස වීදුරැවට තට්ටුවක් ... හිස උස්සල බලද්දි , ලාවට දැලි රැවුල වැවුන තරැණයෙක් , කරේ කිළුටු බෑග් එකකුත් දමාගෙන , විදුරැව පහත් කරන්නැයි පවසනවා . යමක් ඉල්ලීමට විය හැකි නිසා , කරදරෙන් බේරීමට මම , මගෙ ආරක්ෂකයා පෙන්වා අත දිගු කලා .

"අනේ අයියෙ , දවල්ට කන්න රැපියල් සීයක් දෙන්න"
රුපියල් සීයක් !!!!!!!!!  ආරක්ෂකයගෙයි මගෙයි දෙන්නගෙම ඇස් උඩ ගියා. රටේ උද්ධමනය මට මතක් වෙද්දි ආරක්ෂක අංශයේ නම් ලේ ගමන උද්ධමනය වෙන්න ඇති ! හැබෑට රැපියල් සීයක් ඉල්ලන අයත් ඉන්නවද ඔහොම !
"මෙතන රැපියල් විස්සක් තියනවා , ඉතුරැ ටික හොයාගන්න"

"අයියෙ , මේකෙන් මොනව කරන්නද , දෙනවා නම් සීයක් දෙන්න "  කොහොමද මල්ලිගේ සද්දේ …

"මගෙ ගාව සීයක් නෑ, දාහක් තියෙන්නෙ. ඔන්නම් 20ක්  දෙන්නම්. ගන්න බැරිනම් යන්න "

ඇත්තටම එවේලේත් , මෙච්චර වියදම් අස්සේ හැංගිලා හැංගිලා ඉඳලා , ආයිත් කරලියට ආවෙත් , එවෙලේ තනියම පසුම්බියේ හරිබරි ගැහිලා උන්නු ඒ දාහේ කොලේ තමයි..
" මහත්තයගෙ විස්ස මහත්තයම තියාගන්න "  පුස් පාට් එකකුත් දාල අර මල්ලි ගස්සගෙන යන්න ගියා
මන් හිතන්නේ ඔය දාහේ නොට්ටුවටත් පණ තිබ්බ නම් ලජ්ජා හිතෙන්න ඇති.
Image result for sri lanka 1000 rupees note

                                                ~''~ 
 තෙවන දාස් කතාව -   2017 මාර්තු 13 බදාදා -  උදේ 8ට  විතර …
එදා බදාදා.. මම නුවර යන දවසක්. වෙනදට යන උදේ හතේ දුම්රිය පරක්කු වෙන නිසා , 5.55 දුම්රියට මම නැගුනා. 5.55 දුම්රිය හරිම සුවපහසුයි. හොර බළලෙක් වගෙ මේ සටහන් කොටන්න ලෙහෙසි වෙන්නම හදපු මේස පොඩිත්තකුත් ඉදිරියෙන් තියනවා . ඉතාම පිරිසිදු මැදිරි ඊයේ දවසට ගෙනාවේ මිහිරි ආරම්භයක් ..
දැන් ගෙදර නිදන වෙලාවට වැඩි වෙලාවක් මම නිදන්නේ කොළඹ නුවර යන වාහන වල. ඉතින් කඩින් කඩ නිදා ගන්න එක අහන්නත් දෙයක්ද .. ඉතින් නිදියලා නැගිටලා , නිදියලා නැගිටලා , ආයිත් නිදියලා නැගිටලා අන්තිමම වතාවට නිදාගෙන මම ඇහැරැනේ කඩුගන්නාවෙ බලන. හරි බඩගින්නකුත් එක්ක..
දෙයියො බැලුව වගෙ, දුම්රිය කැන්ටිමෙ මල්ලි කෙනෙක් ප්ලාස්ක් එකක තේ විකුණගෙන ඉදිරියට එනවා දැක්කම දැනුන සතුට ! . මට තේ එනක් දෙන්න , ඉල්ලුම කලාට පස්සෙයි මම පර්ස් එක ඇද්දෙ. දෙයියන්ට ඔප්පු වෙච්චි,සල්ලි නෑ . නෑ නැ  පර්ස් එක තියනව , සල්ලිත් තියනවා . හැබැයි  දාහක් !! ( ඔවු ඔවු ,  දාස් කතාවේ දිගට දිගට එන මේ ඉතිහාසගත දාහේ නෝට්ටුව එවෙලේ තිබුනේ මගේ පසුම්බියේ  ) මාරැ නෑ !. කෝපපෙට වක්කරපු තේක දැන් කොහොම එපා කියන්නද ?
"අයියෝ මාරැ නැහැනෙ , දාහක් තියෙන්නෙ " 
මම ටිකක් බයෙන් වගෙ කිව්ව. කෑව නම් බිව්ව නම් සල්ලි දෙන්න එපැයි .
"කමක් නැහැ , පස්සෙ එන වෙලාවක දෙන්න ... "
ඔහු තේ එක මගේ අතට දීල , මම බෑග් එක අවුස්සදීම , ඒ ගැන වගක්වත් නැතුව නැගිටලා යන්න ගියා ...

මම ඔහුට පින් දෙමින් තේක බිව්වා .... පුංචි රැපියල් පණහක් තමයි . මුහුණවත් ඇඹුල් නොකර , ඉත සිතින් තේක නොමිලේ පුද දීල ගිය ඔහුට කිසිදා පිපාසයක් ඇති නොම වේවා !...
දාහේ නොට්ටුවටත් හීනියට හිනාවක් යන්න ඇති.
Image result for sri lanka 1000 rupees note

                                                   ~''~
 අන්තිම දාස් කතාව -   2017 මාර්තු 13 බදාදා -  උදේ 10ට  විතර …
අද නම් වෙලාවට නුවරට ආව ! 8.50යි . සතුටේ බැහැ . අතේ මාරැ නැහැ කියල , තේක නිකම් බොන්න වෙලා පැය බාගයක් යන්න ඇති.ගුඩ්ෂෙඩ් එක දිහාට මම දුවන් ආවේ  ටැක්සියක් ගන්න . බෝ ගහ යට ටැක්සි රියදුරෙක් පත්තරෙ බලනව.
“ඊසොෆ්ට් එක ගාවට යන්න ඕනෙ”
“නගින්න" ත්‍රිවිල් අන්කල්ගේ මුනේ මල් පිපුන. මගේ මුනෙත් මල් පිපුන.
“හැබැයි දාහක් මාරැ කරන්ඩ තියෙන්නෙ” ඊලගට මම එහෙම කිව්වා. මල පරවුනා.. ස්ටාට් වුන එන්ජිම නතර වුනා. මුණ රළු වුනා . පත්තරෙ ආයි දැග හැරැන .
“යන්ඩ බැහැ . මාරැ නැහැ”
“එතනින් මාරැ කරගමුද?” මම ඉතින් වැඩේ අතහරින්න කැමති නැහැ .
බැරි වෙයි” මා දෙස නොබලාම පිලිතුරක්.
ඊට පිටිපස්සෙ ත්‍රිවිල් එකෙ කොලුව ඔලුව දානව ,
“කොහෙටද මිස් ?

”ඊසොෆ්ට් එකට .. හැබැයි දාහක් මාරැ කරන්න පුලුවනිද ?”

“යං , අර ෂෙඩ් එකෙන් මාරැ කරල දෙන්නම් ...”
ත්‍රිවිල් පාක් එකට අල්ලපු වැටේ තියන පිරවුම් හල මට අමතක වුන හැටි. ! පත්තරේ බල බල හිටි අන්කල් හොදටම දිග ඇරපු පත්තරෙන් ඔලුව වහ ගත්ත. දාහේ කොලේ මේ වතාවේ නම් සුසුමක් හෙලුවා.
……
දාහ ගැන දාහක් කතන්දර අහගත්තු  අර පණ තියන දාහේ කොලේ ,  පිරවුම් හලේ කොලුවා අතට පැනගෙන , හීන් හිනාවක් පාල මගෙන් සමු ගත්තා.
Image result for sri lanka 1000 rupees note

                                            ~''~

Monday, March 12, 2018

[344] KCC අවන්හල සහ හැඩතල නැති ජීවිත මතක

මීට දශකයකට හෝ ඉහත , මහනුවර හරි මැදට කුඩා මාලිගා පොඩිත්තක් පතිත වුනේ අහම්බෙන් . කඩ සාප්පු පේළි කිහිපයකින් සමන්විත සොච්චම් ටවුමක් හැරුණු විට , නුවරුන්ට එතරම් සුඛෝපභෝගී වත්කමක් එතෙක් නම් තිබුනේ නැහැ . ඒ තමයි Kandy City Center එක.

මතකද ,  මීට වසර හතකට පෙර, එනම් 2011 දෙසැම්බරයේ දවසක , ඉදිරියෙහි එන  අනාගතය පිලිබඳ කිසිම නිනව්වක් (හෝ ඒ පිලිබඳ කිසිදු පසුතැවීමක් ) නැතිව  මා KCC ලොබියෙහි අයිස්කිරීමක් ලෑටි ගාමින් එකේල මෙකෙල වෙදිදී දුටු සිදුවීමක් ලිව්ව හැටි ?  සමහරවිටක කලාතුරකින් ඔබේ මතකයේ තවම එය ඇති.  (අමතක අය වෙනුවෙනුයි මේ සබැඳිය :   අයිස්ක්‍රීම් පිළිකන්නේ සිට http://sansaare.blogspot.com/2011/10/207.html)

ඒ එකලය . මෙකල්හිද මාස කිහිපයකට උඩ යම් දවසක  මම නිතර යන KCC එකෙහි ඉහලම මාලයේ , නිතර නොයන අවන්හලට ගොඩ වුනේ වැඩ ගොඩක් මැද්දේ මහා හදිසියෙන්. කලින් වතාවේ වගේ අයිස්කිරීම් පිළිකන්නේ තනිවම අයිස්ක්‍රීම් ලෑටි ගාන්න නෙමෙයි . ඒ  කාලය ආයේ එන්නේ නැති වෙයි . මෙදා මම ගියේ ඔහුත් එක්ක .. දවල් වෙලාව නිසා යම් පමණකට සෙනග පිරී තිබුන අවන්හල් මැද්දට අපේ තිබ්බ අකමැත්ත නිසා අපි වැව් ඉස්මත්ත පෙනෙන මහා වීදුරුව අසල කුඩා මේසයක් තෝරාගත්ත.
Image result for a father carrying an infant
ඔබ දන්නවනේ , දැන් මම මේ හරි බරි ගැහෙන්නේ , අප එදා ගත් අහර මෙනුව කියන්න නොවන බව ? ඔව් , එදා KCC අවන්හල තුල මා දුටු , එතරම් සුලබ නැති සිදුවීමක් කියන්න ! මොන යම් හෝ හේතුවකට ,  මේ සිදුවීම මගේ මනසෙහි යම් සටහනක් , හිස්තැනක් පාලුවක් දුකක් අදද ඉතිරි කරමින් මාස තුන හතරක් මගේ සිතේ ලැගුම් ගත්තා.එනිසා එය අකුරැ කොට , ඔබට කියා මදක් සිත හෑල්ලු කොට ගත යුතු යයි මට සිතුනා .
අප අසුන් ගත් මේසයට යාබද ,  අවන්හලෙහි ඈතම අඳුරු කෙළවරෙන් කුඩා බිළිදෙකුගේ මහා හැඬුම් හඬක් ඇසෙන්නට ගත්තේ මුළු අවන්හලම මොහොතකට තිගස්වමින්. මේ පුංචි සිඟිත්තාගෙ බෑගිරි නාදෙ නිසාම කාගෙ කාගෙත් ඇස් වගෙම අපෙ ඇසුත් ඒ හඩ එන දිහාට හැරැනෙ ඉබේටම ..
ඉතාම .. වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ඉතාම රෑමත් , ඉතාම වැදගත් පෙනුමක් ඇති අතිශයින්ම ලාබාල තරැණියකගෙ තුරැල්ලෙ අපහසුවෙන් නැලවෙන මාස ගණනක් හෝ දවස් ගණනක් වයසැති රෝස පැහැති බිලිදෙකු අපේ ඇස ගැටුනා . සුදු පැහැ  ඡවී වර්ණය ,  සංවර උපැස් යුගලය , ඉහල පන්නයේ ඉතා චාම් ඇඳුම් ආයිත්තම් ඇඳගෙන සිටි ඇය දිහා අවන්හලෙහි ඇස් ගොඩක් හැරිලා තිබුනා.  මේ රෑබර තරැණියගෙ ඉදිරි අසුනෙහි ඇයටත් වඩා ලාබාල , ඇගේම හැඩහුරුව ඇති තරැණියක් , සිය යෙහෙලිය (හෝ සොයුරිය ) දෙස දුකෙන් බලාගෙන ඉන්නවා. ඇයටත් අපට වගෙම මේ නොනවත්න හැඬුම ඉවසනු නොහැකි තැන ඇය සිය යෙහෙළිය කරා පැමිණ හඩන බිලිඳාව නුහුරට  වඩා ගත්තා. එහෙට මෙහෙට බිලිඳා නලවමින් හැඩුම නවත්වන්නට ඇය උත්සහ ගන්න අතරෙහි  අපහසුවෙන් වටපිට බලනවා.
නිරර්ථක ලෙස ඇය බිලිඳා නලවා ගන්නට උත්සාහ ගනිද්දි , පෙර කී තරැණිය බිලිඳාගේ ආම්පන්න බෑගයෙන් කිරි බෝතලයක් ගෙන අර බිලිදාට පොවන්නට වෙර දරන හැටි අප බලා සිටියේ ඉතාම දුකෙන්...

මා එක්ක අහර ගන්න ගමන් ඔහුත් මේ සිදුවීම බලාගෙන ,
' ඔන්න මං කිව්ව කියල හිතට ගන්නකෝ .. මෙතන මොකක් හරි අවුලක් තියනවා. මේ ගොල්ලො කවුරැ හරි එනකල් බලං ඉන්නවා , හැබැයි එයාලගේ body language එකෙන් පේනවා මොකක් හරි අවුලක් තියන බව  '


මෙන්න ඒ පාර එයා පණ්ඩිතයෙක් වෙලා. මට හිතුනේ එහෙම. ඔහු එහෙම කියද්දි මම පුදුමයට පත් වුනා . කුඩා බබෙක් ලස්සන අම්ම කොනකුයි , ඇගෙ නංගියි එක්ක සාප්පු සවාරියක් එන එකේ අරුමය මොකක්ද  , අවන්හලක ඉඳගෙන ඉන්න එකේ අරැමය මොකක්ද ? මට හිතුනෙ එහෙමයි.

කාලය පැය කාලක් විතර ගත වුනා . බිලිඳු හැඩුම අඩු වැඩි වෙනවා. අර ලාබාල තරුණියට දුරකථන ඇමතුමක් ආවා. අක්කාටද යමක් කොඳුරාගෙන බිලිඳා අක්කගේ අතට දෙමින් , ඇය  ලහි ලහියෙ අවන්හල ඉදිරි  දොරටුව වෙත ගියා . කාට හෝ අතින් සන් කරමින් ඈ  ඉක්මනින් නැවත ඇවිත් , අර රුමතියගෙන් හඩන බිලිඳා ඉල්ලා ගත්තා . නුහුරටට ඈ බිලිදාව වඩා ගෙන පෙරමගට ගියා. අනෙක් පසින් ආවේ ඉතාම මොරෝම පෙනුමකින් යුතු තලත්තෑනි රළු මිනිසෙක් . කිලුටු රෝස පාට  කොට කලිසමකින් සහ කලු පැහැති ටීෂර්ටයකින් සැරසුනු ඔහු,  රබර් සෙරෙප්පු දෙකක් දමා ගෙන ඉතාමත් පැකිලීමෙන් එම නවීන පන්නයේ අවන්හලෙහි මිනිසුන්ගේ ඇස් මග හරිමින්  ඉදිරියට එමින් සිටියා . ලංව පැමිණෙන විට , ඔහුගේ දෑත් දෙපා වල කොටා ඇති නිමක් නැති පච්චා , මුහුණ සඟවමින් ඝනව වැවුණු රැවුල ,දෑතෙහි ඔතා තිබුණු වර්ණවත් නුල් සහ බෑන්ඩ් , ඔහුගේ රක්ත වර්ණ දෑස්, කර තෙක් දිගට වැවුණු අවුල් වූ හිසකෙස්  ගෙන ආවේ බියක් හෝ නොපහන් හැගීමක් . වචනයකුදු නොදොඩා , ඔහු අර කුඩා සිගිත්තා වඩා ගත්තා. බිලිඳු හැඩුම , බොත්තමක් එබුවාක් මෙන් නතර වුනා. ඔහු සිගිත්තා තුරුළු කරගෙන සිප ගනිමින් , අවන්හලෙහි අනෙක් කෙළවරෙහි වෙනත් මේසයක් කරා පිය නැගුවේ වචනයකුදු නොදොඩා. බැල්මකුදු කිසිවෙකුට නොහෙලමින් බිම බලාගෙන.  මද වෙලාවක් බිලිදා තුරුල් කරගෙන හිද සිටි ඔහු , බිලිඳාගේ හිමිකාරිය වූ අර කී රෑමතිය දෙස බැල්මකුදු නොහෙලා බිලිදාද රැගෙන අවන්හල් කවුන්ටරය වෙත ගියා . දොඩම් වීදුරැවක් ඇනවුම් කර රැගෙන මේසය වෙත යන ඔහු බිලිඳා තුරැලු කර ගනිමින් නොසෙල්වී සිටියේ ධ්‍යානයකට සම වැදුණු අයුරෙන් , නොහොත් පිලිමයක් ලෙසින් . පිළිමයට පණ ඇති බව පල වුයේ දොඩම් වීදුරුව බොන විටදී පමණයි.

අර කී අක්කාද නංගීද , ඒ කිසිවක් සිදු නොවූ ලෙස ඔවුන්ගේ අවන්හල් මේසයෙහි සිට අහර ඇනවුම් කළා.දෙදෙනා අහර ගනිද්දී , තෙවෙනි මිතුරියකද ඔවුනට එක වුනා. ඔවුන්ගේ මුහුණු වල අර තිබු කනස්සල්ල මැකී ගොස් කිරිල්ලියන්ගේ මෙන් වර්ණවත් සිනා හඬ , සතුටු වදන් දෝරේ ගලන්නට පටන් ගත්තා.

ඉච්චාකාර හොර පූසන් වාගේ අප දෙදෙනාම , නිරුත්තරව , වචනද අහිමිව මුහුණෙන් මුහුණ බලා ගත්තා.
'දැක්කද මං කිව්වෙ මොකක් හරි අවුලක් තියෙන්න ඕනෙ කියලා '

ඇත්ත ..ඒත් අවුල කොතනදැයි මම තවම කල්පනා කරනවා . සම්මතය සහ අසම්මතය අතර තද ඉරි ඇදගත් , හතරැස් කොටු මායිම් , රවුම් ලකුණු කර ගත් අපේ හිස් ගෙඩි වලද ඇත්තටම අවුල ? 
කෙසේ වෙතත් , අර කලින් කීවා සේ , කිව නොහැකි හේතුවකට , මේ සිදුවීම මගේ මනසෙහි යම් හිස්තැනක් පාලුවක් අදද ඉතිරි කොට තබමින්, තවම ඉඳහිට සිහියට එනවා ,
පසුව එක්වූ තෙවන මිතුරිය, අර කී තරුණියන් දෙපෙළ සෙනෙහසින් වැළඳ ගෙන , අහරින් අනතුරුව නික්ම ගියා . අත ඇති වටිනා අත් ඔරලෝසුව දෙස බැලු රූමතිය , ඇගේ යෙහෙළියට / සොයුරියට හිසින් සන් කළා.  බිලිදා තුරැලු කර ගෙන භාවනාවේ සිටි අර රළු පෙනුමැති මිනිසා ද , අර ලාබාල තරුණියද , කලින් කතා කරගෙන සිටියාක් මෙන් එකවර දෙතැනින් නැගී සිටියා. කිසිදු බැල්මකින් හෝ දෙඩුමකින් හෝ සමුගැන්මකින් තොරව , අර පුරැෂයා බිලින්දාද රැගෙන  යාබද මේසයේ සිටි තරුණියන් දෙසට එන හැටිත් , බිලිඳා ඇගේ මවගේ මිතුරිය හෝ නැගණිය  විය යුතු , රූමතිය අතේ තබා නිහඩවම නික්ම ගිය හැටිත් අප දෙදෙනා අතරමන් වූ හිස් හා නිරුත්තර බැවින් යුතුව බලා සිටියා. 
ඇසුරු සැනින් සියලු දෑ අවසන් වුයේ , රුමතියන් දෙදෙනා එතන මූතකුදු රැඳී නොසිට , වදනකුදු කතා බහෙන් තොරව , සිය අඩුම කුඩුම අසුරාගෙන , නික්ම යාමෙන්. මේසය හිස්වුනා. හනික එහි ආ ආපන ශාලා සේවකයෙකු , කිලිටි මේසය පිස දා එය යතා තත්වයට පත් කලේ විනාඩියක් යන්නට මත්තෙන්. එහෙත් එහි සටහන්ව ඇති රූ සටහන් තවමත් මා මනසින් දකිමින් හිටියා.
සුමුදු දෑතක් මා හිස ස්පර්ශ කරමින් යලි මා පියවි ලෝකයට ගෙන ආවා.
“ඔවුව වැඩිය හිතන්න එපා. ලෝකය කියන්නේ අපිට පෙනෙනවාට වඩා හරි වෙනස් තැනක්.”
ඔහු කරුණාවෙන් මට කියනවා මට ඇහුනා.

මා එදා දෑසින් දුටුවේ , දිගු සිදුවීමකින් ඇබින්දක් විය හැකියි.මා මනැසින් විමසන්නට උත්සහ කරන මේ ඇබිති සිදුවීම , මේ වීෂම ලෝකයෙන් කෝටියෙන්  පංගුවක් විය යුතුයි. සිද්දි දාමයක එක පුරුකක් විමසීමේ තේරුම කුමක්ද ? එහෙත් දුටු දෙයින් හිත මැවුණු හිස් බව , අහඹු අසරණ බව , වචනයෙක් කියා නොහැකි අමුතු පාළුවක් ජිවිතයට එක් කළා.
පසු සටහන
අද මා කියූ  , මා දුටු සිදුවීමෙහි මුල මැද අග අදටද මා දන්නේ නැහැ. දුටු දෙයින් දිගු ඉතිරි කතාවක් ගොතන්නටද මගේ අදහසක් නැහැ. කාගේ හෝ අහේතුවකට නෙතට කඳුළු උනා ආ මේ කුඩා සංසිද්දිය . සම්මතයෙන් තොර යයි මා පවසන්නේද නැහැ. මට කැමති අවසානයක් නොලියා මට නොපෙනුණු, ඔබට පෙනුණු  අරුත් මම ඔබෙන්ම පෙරලා අසමින් නවතින්නම්.
හිස් ටින් එකක් වගේ මිස මේ ජිවිතේ සබන් බෝලයක් වගේ වෙයිද ? , ජීවිතයේත් සබන් බෝලයේත් සමානතාව ඇත්තේ අනියත බවෙහි පමණකැයි සිතෙන්නේ නැතිද ? එහි රවුම් හැඩය , දිස්නය , පාව යන සැහැල්ලුව , හැබෑ ජිවිතයට කොයින්ද ?
Image result for a father carrying an infant

Sunday, March 04, 2018

[343] BCS මතක සහ මම

16998051_10155240519478115_1084323861101125202_n

මම BCS කරන්නේ 2003 අවුරුද්දේ සිටය . මම BCS කලේ ඇයි යන්න ඇතැම් විට කවුරුත් දන්නා නොදන්නා රහස් කිහිපයක සංකලනයක්  යයි කිව හැකිය. කෙසේ වුවද මම BCS කලෙමි.ඒ හා බැඳුනු අතුරු කතා නම් ගොඩක් තිබේ. මේ වන විට මා , අතීතය සමග සාමයෙන් ජිවත් නොවුවා නම් , ඒ  තරම් අප්‍රසන්න යුගයක් සහ රැවටීමට ලක්වූ යුගයක් තවත් නොවූ බව මා කියන්නට ඉඩ තිබිණ. එහෙත් මේ කතාව ඒ යුගය ගැන නොවේ. කවුරුත් දන්නා BCS මා කල හැටි ගැන කිසිවෙක් නොදන්නා කතාවය.

2003 වසර වෙද්දී , මට BCS  කරන්නට ඕනෑ වෙන්නේද කැම්පස් එක එපා වෙන්නේද එකටමය. කැම්පස් ගියා විනා කැම්පස් එකේ ක්‍රියාකාරී ශිෂ්‍යාවක වන්නට මට කොහෙත්ම උවමනාවක් නොතිබිණ. ඊට මුලික හේතුව , එහි මට ආසාවෙන් උගනින්නට , මා කවදත් පැතූ සිංහල  හෝ ඉංගිරිසි හෝ තර්ක ශාස්ත්‍රය හෝ දේශපාලන විද්‍යාව නොතිබීමය. මන්ද මා තේරෙන්නේ විද්‍යා පීටයට බැවිනි. අරුමයක් නැත , ‘ගණිත අංශයෙන් ඒ ලෙවල් කළා නම් විඳවපන් දිලෝ ‘ කියනු හැර  කුමක් කියන්නද ?  මේ කිසිවක් ඔබේ විධාන හෝ තීරණ නොවේ . සියල්ල තීරණය වන්නේ , මගේ මානව අයිතීන් වෙනුවෙන් සටන් වදින්නට මට තිබු කම්මැලිකම සහ දෙමාපිය ආධිපත්‍යය මතය.

කෙසේ හෝ මම 2003 සරසවි පිවිසෙමි. පේරාදෙණි සරසවිය අනිකුන්ට සහ අනිකියන්ට තාරුණ්‍යය විදින්නට තෝතැන්නක් වෙද්දී , මට එය academic සිරගෙයක් වෙයි. දේශනයක් ඉවර වෙන පරක්කුවෙන් ගෙදර දිව එන මට , මෙහෙම ගියොත් නම් මට වෙන්නේ කුමක්දැයි ඇස් ඉදිරියේ මැවී පෙනෙන්නට ගත්තේය. එහෙයින්ම මට ආයිමත් අම්මාගේ පිහිට පතන්නට සිදුවෙයි. ආස සිංහලය කරගන්නට බැරි වුවා නම් , දෙවෙනියට ආසා පරිගණකය දෙසට හැරෙන්නට මම තීරණය කරමි. ඒ තීරණය කෙරෙහි මගේ ප්‍රථම  ප්‍රේමයද බලපෑවේය. හමුවන්නට ඉඩක් හසරක් නැති , දෙතැනක වේලෙමින් තිබු ප්‍රේමය සති අන්තයේ මල් පල ගන්වන්නට , BCS සති අන්ත පන්තිය මග පාදා දුන්නේය. එයිනික්බිති ජීවිතය කොතරම් වෙනස් විද යත් වෙලාවකට BCS  සමග පවා තරහක් ඇති වන තරමේ මානසික පිඩනයක් ඉතිරි කල ප්‍රථම ප්‍රේමය ගැන අපි කතා නොකරන තරමට හොඳය.

ඉතින් අපි ආයිත් BCS  වෙත හැරෙමු. මේ ලිපිය ලියන්නේ  BCS වල ගුණාගුණ කියන්නටද  නොවේ. BCS නිසා මට වූ හොඳ නොහොඳ මඩේ දමන්නටද නොවේ. අද මා යම් තැනක සිටීද ඒ BCS නිසාවෙනි. එසේ නොවන්නට මේ මොහොතේ මට මේ ලිපිය ලියන උපාංගයද නොතිබෙන්නට ඉඩ තිබිණ . එදා BCS කල කාලයේ හොටු කෙල්ලෙකු වූ මා හා අද සිටින මැදිවියේ ගැහැණිය කොතරම් වෙනස්ද ? මම සිතමින් සිටිමි.

මගේ පවුල් පසුබිම හොඳින්ම දන්නා ඇත්තන් , අප කොතරම් යමක් කමක් තිබු උදවියද  යන්න මෙන්ම එම කියූ “ යමක් කමක් “ ඇසිල්ලකින්  අහිමි වුයේ කෙසේද යන්නද හොඳ හැටි දන්නවා ඇත. ඉදින් එහෙවු වාතාවරණයක් යටතේ මා අම්මාගෙන් BCS  කරන්නට අවසර ඉල්ලන්නේ බයෙන් බයෙන්ය. මන්ද , කියන තරම් කරන එක ලෙහෙසි වුවද , ගෙවන එක නම් ලෙහෙසි නැති බව ( වෙසෙසින්ම තනි පඩියකින් නිවස නඩත්තු කල ඇයට )  මා දැන සිටි බැවිනි.
එහෙත් ඇය එය අභියෝගයක් ලෙස භාර  ගනිද්දී මගෙන් අසන්නේ එකම එක දෙයකි.

“ඔය කොලිෆිකේෂන් එක කරන එකෙන් ප්‍රයෝජනයක් තියනවා කියල ඔයා හොයල බලලනම් තීරණේ කලේ පුතේ ,ඔයා  කරන්න එක. සල්ලි ප්‍රශ්නයක්  කරගන්න එපා , මම එක බලාගන්නම් .. “

කියන තරම් කරන එක ලෙහෙසි නැති බව මා නො දැන  සිටියා නොවේ. එහෙත් ඒ BCS නම් නොවේ. මගේ හයිය හිතට , BCS හොඳටම කර ගත යුතු අධිශ්ටානය මතු වන්නේය.

අධිශ්ටානය ඇගේද මගේද බලවත් වෙද්දී සරසවි සිසුවියක වී සිටි මාද ඇයට සවියක් වන්නට  අමතර ආදායම් මාර්ගයක්  හොයන්නේ එලෙසිනි. රුපියල් හාරසියය බැගින් වූ පුංචි ටියුෂන් පන්ති දෙකකටත් , රුපියක් එක් දහස් තුන්සියයක් වූ ශිෂ්‍යධාරයටද මගේ මාසික ගමන් බිමන් කෑම වියදම් පියවන්නට හැකි වන්නේ එලෙසිනි. එලෙස ගෙවී යන මගේ සතිය ගැන ඔබට සිතා ගත හැකිද ? සතියේ දින පහ සරසවි යන මම , සති අන්තය BCS පන්ති යමි. එහෙන් මෙහෙන් සදා ගන්නා ඉඩ හසරක මගේ පුංචි ටියුෂන් පන්තියද කරමි. අතමිට සරු වූ දිනක පමණක් රුපියක් 42ක් වූ ෆ්‍රයිඩ් රයිස් එක දෙකට බෙදාගෙන කැ අපේ හොස්ටල් අතීතය මගේ රුමිට නම් මතක බව දනිමි. 

මම BCS කල කාලයේ මටම කියා කොම්පියුටරයක්ද තිබුනේ නැත. පෙළ පොත්ද නැත. recommended text books ගන්නට ආසා වූ නමුත් එයට අවකාශ කොයින්ද ? නමුදු පේරාදෙණි පුස්තකාලය මගේ පිහිටට ආ බව කියා යුතුය. එහි  නොතිබූ පොත් ගැන  පිහිටට ආවේ තාත්තාගේ ක්‍රෙඩිට් කාඩ් එකය. Roger s pressman ගේ software engineering පොත අරන් දෙන්නට තාත්තා වූ මහන්සියට මට කල හැකිවූ එකම පින් පැමිණවීම , උදේ දවල් රෑ නොබලා ඒ මුළු පොතම වන පොත් කිරීම පමණකි. මා එහි ලියු සටහන්ද සමග , මගේ එම පොත් පිටපත  අදද නුවර ඊසොෆ්ට් පුස්තකාලයේ ඔබට දැකිය හැකිය.

BCS  කල අය  , එහි විභාග ගාස්තු ගැන දන්නවා ඇත. පාඨමාලා ගාස්තු ගෙවීමෙන් අනතුරුව විභාග ගාස්තු ගෙවන්නට ඇති ඉලක්කම්  ඇසෙද්දී අම්මාටද මටද තරු පෙනුනේය. තවදුරටත් BCS කරම්දෝ නොකරම්දෝ කියා මා සැලෙද්දී , සැලුනේ ඇය නොවේ. ඇගේ අත  කණ කර ඉතිරිව තිබු රන් අභරණ වලට එතැන් පටන් නිවනක් නොතිබුනේය. මගේ විභාග ගාස්තු ගෙවන අවදියට , ටවුමේ උකස් බැංකුවට සම්ප්‍රාප්ත වන එම අභරණ , මාස කිහිපයක අම්මාගේ ඉතිරි කිරීමේ ඇවෑමෙන් යලි නිවසට වැඩම වන අතර , තව මාසයකින් දෙකකින් යලිත් උකස් කාසි වලට හුවමාරු වී බැංකුගත වූ හැටි මට අදද මතකය . විභාග ගාස්තු කලට වෙලාවට ගෙවාගත නොහැකි වෙතයි බියෙන් වෙලුනු මා BCS අවසන් අදියරට එද්දී ඉහල නැගුනු පාඨමාලා ගස්තුවද විභාග ගාස්තුවද දැක හුස්ම හිර නොවුනා පමණය. මම තීරණයක් ගතිමි. එක අමාරු විෂයකට පමණක් පන්ති ගත වන මා , තනිව ඉගෙන ගන්නට තීරණය කරන්නේ මගේ සරසවියෙද අවසන් වසරේහිය.

Pressman ගේ පොත නම් හරිය කියමු . දැන් කොහෙන්ද ඉතුරු විෂයන්ට පාඩම් කරන්න පොත් ??? මගේ පිනට , දෙවියෙක් මගේ පිහිටට ආවේය. ඒ විකුම් සර් ය.

“දිල්ෂාරා ඔයා පන්ති යන්න ඕනේ නැහැ. මම මගෙයි ඉන්දිවරිගෙයි පොත් ටික දෙන්නම්. අමාරුම කොටස් ටික විවේක වෙලාවක කියල දෙන්නම්.. විබාගේ ඉවර වෙලා පොත් ටික දෙන්න.”

වෙලාවට අපේ කාලයේ මෙහෙවූ දෙවිවරුන් දේවතාවුන් සිටියෝය. විකුම් සර්ගේ සහ ඉන්දීවරී අක්කාගේ පොත් පත් ට්ටිකට සහ කරුණාවට පින් සිද්ද වන්නට මම අද මෙතන ය. ඔවූනට නැවත නැවතත් පින් !
සරසවි අවසන් සෙමෙස්ටරය ඉතා තීරණාත්මක වෙයි.වසර හතරක ප්‍රථම ප්‍රේමය නිර්දය ලෙස වංචාකාරී මතක ඉතිරි කරමින් මා හැර යන්නේ මා මේ සියලු අතෝරයන්ගෙන් පිඩා විඳින සමයේය. එයින් මට සරසවි ගමන එපා වෙයි. දේශන වලට සහභාගී නොවී ප්‍රයෝගික පන්ති වලට පමණක් සහභාගී වෙන්නට මම සිතට ගනිමි. එහෙන්  BCS පන්ති අහිමිව තනිව උගනිමින්ම , සරසවි විෂයන්ටද,  ජිවිතයටද තනිව මුහුණ දෙනු වස් මම නුවර අතහැර කොළඹට පලා යමි. ඒ,  හා පුරා කියා රැකියාවක් කරන්නටය.. IDM එකට මුහුණ දිය නොහැකිය. ප්‍රේමය අහවරය. මතක එහෙමමය. යමින් සිටි එකම පන්තියද මම අතහැර දමමි. මම කොළඹ යමි. මම ගුරුවරියක්ව සිටිමි. උගන්වමි. නුවර එමි. සරසවියට අකමැත්තෙන් යමි. කලයුතුම අනිවාර්ය ප්‍රයෝගික පන්තියට යමි. ගෙදර එමි. 2006 මාර්තු 31 දා පළමු වතාවට මම රුපියක් දහ තුන් දහසක වැටුපක් ලබමි. එයින් අම්මාට අරන් දුන් සාරිය අම්මා අදද අඳින්නිය.

විශ්ව විද්‍යාල විභාග කාලසටහනත් සමග මම යලිත් කඩා වැටෙමි. BCS විභාගයත් , සරසවි විභාගයත් එකම දින වල  යෙදී තිබෙයි. ලක්ෂයකට ආසන්න විභාග ගාස්තු , අම්මාගේ උගස් තැබූ රන් අබරණ , මාස ගණනක මහන්සිය ඉදිරියේ මා කෙලෙස ඇද වැටෙම්ද ? කෙලෙස විභාගය අත හරින්නද ? හිතේ හයිය හැමටම වඩා බලවත් වෙයි.
මම අපේ ෆැකල්ටි ඩීන් වෙත යමි. අඩමි , වැලපෙමි. සරසවි එනවාට අමතරව බාහිර  උපාධි  කිරීම කිසිදු සරසවි ඇදුරෙකු සතුටින් බාර ගන්නා සත්‍යයක් නොවේ. එහෙත් යලිත් වතාවක් දෙවියෙකු මගේ පිහිටට එන්නේය. ඒ අපේ ගණිත අංශ ප්‍රධානි මහාචාර්ය ෂෙල්ටන් පෙරේරා ගුරු දෙවියන්ය. ඔහුගේ කරුණාවන්ත බවට පින් සිදු  වන්නට , විභාග දින ලිහිල් කර දුන්දා ඔහු මගෙන් එක පිලිණක් කොට ගති.

“Dilshara, this is the first and last time we change a faculty time table because of a private degree. make sure you dont promote this qualification inside the faculty”

ඊලගට ප්‍රශ්නය ? අලුත ගිය රස්සාවෙන් නිවාඩු ගන්නේ කොහොමද ? පාලනාධිකාරය කල් තියා දැනුවත් කොට තැබූ බැවින් , මට විභාග දින පමණක් , පඩි රහිත නිවාඩු අනුමත වෙයි. (අතරමැදි දින මා සේවයට ආ යුතු බව ඔවුන් සපත කරති ) . හිතේ හයිය සියල්ලට වඩා බලවත් වෙයි. ජීවිතය මීටද වඩා අභියෝග මගේ අනාගතයෙහි පෙළ ගස්සා තිබෙන බව මා එදා 2006 හි දැන සිටියා නම් ???

2006 අප්‍රියෙල් 20 දින සිට මැයි 20 තෙක් මා ගෙවුවේ කෙසේදැයි මතක් වෙද්දී අදද ගත  හිරිගඩු පිපෙයි. යලිදු දෙවියෙක් මට පිහිටට එයි. ඒ අප පවුලට හිතවත් රණසිංහ අන්කල්ය. මගේ මේ අපබ්‍රංස කාල සටහන අසා විමතියට පත් වන ඔහු මගේ BCS විභාගය පැවැත්වූ මධ්‍යස්ථානය වෙත මා රැගෙන එන යන රාජකාරිය , නිවසේ තිබු රථය අහිමිව ලත වන තාත්තාගෙන් භාර ගත්තේය. එකල මගේ කාල සටහන ඔබ දන්නවා නම්… උදේ පාන්දර කොලබ යමි. පන්ති වල උගන්වමි. ඇතැම් විට  සවසම ආපසු එමි. මගේ රුමිය, අනුෂා  මට අවැසි නෝට්ස් චයාපිටපත් කර තබන්නිය. මම කෙලින්ම එන්නේ සරසවි නේවාසිකාගරයටය. නිදන්නට ඉඩක් මගේ කාලසටහනේ  නැත. රෑ එලි වන තුරු පසුදා විභාගයට සුදානම් වෙමි. පසුදා විභාගය ලියමි. ගෙදර යමි. BCS පසුදා විභාගයට ලැහැස්ති වෙමි. පැයක් දෙකක් නිදමි. අහරෙමි. යලි පාඩම් කරමි.නින්දක් නැත. පසුදා BCS විභාගයක් ලියමි. නැවත හොස්ටල් එමි. එක්කෝ සරසවි විභාගයක් ලියමි. එක්කෝ කොලබ යමි. මෙලෙස විභාග ප්‍රශ්න පත්‍ර 16ක් මම දින 25කත ආසන්න කාල රාමුවක නිම කරමි.

මා අද  මෙසේ ලියන්නට හේතුවක් තිබේ. මා ඉගෙන ගන්නා සමයෙහි අපේ අම්මා කනකර උගස් කොට මට ඉගැන්වූ බවක් අද වන තුරු, මා යනු කවුදැයි මගේ මුහුණු පොත් බිත්තියෙන් විනිශ්චය කරන ඔබ දන්නේ නැත. මගේ සරසවි මිතුරු මිතුරියන්ට (ඇත්තටම මට එහෙම අය හිටියේ හතර පස් දෙනෙකි, අනිකුන්ට )  මා අත්භූත චරිතයක් පමණි .සරසවි නේවාසිකාගාරයේ රුපියක් 21 බත් එක කා , එහෙම නැතිනම් maggy එකක් දෙකට බෙදාගෙන කා ඉගෙන ගත්  , ඉස්කෝල ළමයින්ට ටියුෂන් දී එදා වියදම් හොයා ගත් අතීතය ඔබ දන්නේ නැත. දවස් විසි පහක් ඇතුලත විභාග 16ක් කරමින් කොළඹ රස්සාවක් කල අතීතය මට කොතරම් අභියෝගයක් වීදැයි ඔබ දන්නේ නැත. රොබෝ ප්‍රෝග්‍රෑම් නොවූ මනුස්ස හදවත් වලට පින් සිද්ද වන්නට , ඔබට ,  වාහනයක ගමන් බිමන් යන , හොඳට අඳින පළඳින ගැහැණු පරානයක් පමණක් පෙනෙනු ඇත. මා අද  කිසිදු ලැජ්ජාවකින් තොරව පවසන , එමෙන්ම ආඩම්බර වන  මගේ අතීතයට ඔබ  විස්සෝප නොවුනාට මට  කමක් නැත.

වර්තමානයේ හෙවත් අපේ දරුවන්ගේ කාලයේ ගුරුවරුනි,  එදා මගේ නැති බැරි කම් වලට උරණව පන්නා නොදමා , පත්තරේද  නොදමා , මගේ කඳුළු කතාවට හේතු අහන්නට දෙවිවරු මා අසල සිටි නිසා අද මම මෙතන සිටිමි. ගුරුවරයකු නොවී ගුරු දෙවියකු වන්නැයි මම ඔබට ඇරයුම් කරමි. ප්‍රශ්නයම කර පින්නා ගෙන නොසිට ,  හේතු කාරක සොයන්නැයි මම සිහිපත් කරමි. ප්‍රශ්නයෙහි පිළියම තාවකාලිකය. නමුදු මුල කාරකය අප කිසිසේත්ම නොවිමසන කඳුළු කතාවක් විය හැකිය. කඳුලක් දෙකක් පැන්නාට, ඒ සංවේදීකම නිසා  , මා දුබලයෙකයි ඔබ කියන හැම විටකම මට කට කොනකින් සිනහ යයි. පොඩ්ඩක් සැර වුනාට මා අමනුස්සයෙකු යයි ඔබ සිතන විට මට තවද සිනහ යයි. හිතේ හයිය දුබලයෙකුට හෝ අමනුස්සයෙකුට  නොපිහිටයි.

මා ආදර දරුවනි , අගහිඟ කම් නිසා , ඉගෙන ගන්නට වෙලාවක් ඉතිරි නැති නිසා සුදුසුකම් ටික සම්පුර්ණ කර ගත නොහැකි වී යයි මට ඇහෙන්නට නම් නොකියන්න. ඔබට ඔන්ලයින් පොතක් බාගන්නට හෝ ගුරුවරයා එවන නෝට්ස් ටික බා ගන්නට වෙලාවක් නොතිබිනි යයි කටක් ඇර කිව හැකිද ? ඔබ එසේ නිදහසට කරුණු කියද්දී , මට කට කොනකින් සිනහ යනු ඇත.  ඔබට පාඩම් කරන්නට කාල වේලා නොතිබිණි යයි නුවර කොළඹ අදටද සතියට දෙවරක් ඔබ වෙනුවෙන් යන එන මට නොකියන්න. මේ මොහොතේද කෝච්චියේ යන ගමන්ම මේ පොස්ට් එක ලියන මට ඉගෙන ගන්නට වෙලා නැතැයි  නොකියන්න. ඔය සියලු නිදහසට කරුණු වලට පිළිතුරු මගේ ඉහත ලිපියය ..

ඔබේ කඳුළු මම අවතක්සේරු කළා නොවේ. ඔත්පල අම්මාට උයා කවා පොවා ඉගෙන ගන්නට අන්තිම මොහොතේ දුව එන ඔබ මම නොදැක්කා නොවේ. ගෙදර වහල අලුත් වැඩියා කල නිසා පොත් අස්ථානගත කර ගත ඔබ මම නොදුටුවා නොවේ. මල්ලී ගේම් ගසා ඩේටා ඉවර කරද්දී එසයින්මන්ට් එක කරගත නොහැකි වූ ඔබ නොදුටුවා නොවේ .පන්තියේ නිදා වැටෙන ඔබ අසනීප වූ අත්තම්මා රෝහලේ නවත්වා රෑ එලි වනතුරු තනි රැක උදේ පන්ති ආ වග නොදැනුනා නොවේ.  සැර  කරන්නේ නපුරු කමට හෝ තරහට නොවේ. ගුරුවරුන්ගේ ලෝකය එහෙමය.

හැම හිනහවකම පිටුපස කඳුළු කතාවක් තිබෙයි. හැම මග හැරුමක්ම සොරකමක් හෝ කපටි කමක් නොවේ. හැම අහම්බයක්ම සැලසුමක් නොවේ. විනිශ්චයන්ට බැස ගන්නට හෝ විනිශ්චයන් පල කරන්නට කලින් පලයට හේතුව විමසන්නේ නම් ලෝකය කොතරම් යහපත් වනු ඇතිද ? මේ දිගු ලිවුම , හඳ පෙන්නුම් කල කල නිකමට හෝ වටේ තරු හෝ පෙන්නු ඇඟිල්ල දෙස විමසා නොබලන තරම් පටු කල්පනාවන්ගෙන් පිරුණු මිනිසුන් කෙරෙහි අනුකම්පාවෙනි.

මගේ BCS මතක කියවන ඔබ , මගේ ජිවිතයේ තිබු අභියෝග වලින් ඔය දැක්කේ සියයට දශම එකක් පමණි. ඉතිරියද සිතුනොත් අනාගතයේ දවසක ලියන්නම්… අදට නවතින්නම් ….
.
පොඩි මැණිකේ දුම්රියේදිය – 2018 – 03 – 01 - 5.55 pm

Thursday, March 01, 2018

[342] අමිලගේ නිදහස් කවි .. (සමාජය වඩාත් යහපත් තැනක් කරනු උදෙසා)



"ඔයා මට පොලු තියා
ගියා කියා නිසා
මෙමා ගෙල වැල දමා කුමටද
මට හිඳී මව පියා"


කොල්ලෙකුට මේ ටික කියන්නට බොහොම අවංක  සහ සවිමත් සිතක් තිබිය යුතුය. ජීවිතය එකැසින් නොව , මනසින්ද , මසැසින් ද , එමෙන්ම විදු ඇසින්ද දැකිය හැකි විය යුතු ය. මන්ද ජීවිතය එතරම්ම විෂමය . ආලයක ගැට්ටෙහි හොටු පෙරා නාගන හඬන ජීවිත තිබේ. ආලය අහිමි තැන සිතින් වැලපෙමින් මුවින් සිනහ සෙන ජීවිත තිබේ. ආලය මත්තේම දිවි පරදු කොට තබා ආලයෙහි තව දුරටත් අරැමයක් නැති තැන , ජීවියේ ඉතිරි කාලය ඔහේ ගෙවා දමන ජිවිත තිබේ. මෙකී  නොකී ජීවිත කතන්දර අතරෙහි , අද මේ කියන කතා අසන්නට ලගපාත නැති දසුන් මධුෂාන්ලා ද නැතුවා නොවේ .


වෙසෙසින්ම මේ අකාලයේ අහිමි වෙන තරණ ජීවිත වෙනුවෙන් අමිල ලියා  තැබූ මේ ගීය  ඇසුවා නම්ද දසුන් මදුශාන් ද කනට ගන්නවා නියතය . තවත් තරැණ සිත් මේ ලියන මොහොතේද හදවතින් කඩා වැටී ජීවිතයෙන් පලා යන මොහොත පිලිබදව සිහින මවනවා විය යුතුය . 


ආදරේ = ජිවිතේ  කියා හිතන ජිවිත වල හැටි ඔහොමය ! 

ඔවුන් වෙනුවෙන් අමිල ගැයූ මේ ගීතය මගේ  බිත්තියෙහි ඉදහිට යාවත් කාලීන කළ යුතු යයි මම සිතමි. එයින් , ජිවිතේ දිග පළල මේ හිස් ගෙඩි වලට ඉඳ හිට මතක් වනු ඇත. 

"ජීවිතය ලඟ ආදරය මට බොහොම පුංචියි ලොවේ
නුඹත් නැති කොට විඳින්නට තව බොහෝ දේ ඇත ලොවේ
මැණික් හොය හොය පපුව හාරන පතල්කරැ මම  නොවේ .. "


"විරහවක් ලඟ පිරිමියෙකි මම කොන්ද හොඳටම ඇති
සාගරය වගෙ කඳුලු වගුරන අඳෝනා ගී නැති
නුඹත් බ්‍රෝ මගෙ ගීය ලගදිම ගයන වග නම් දනී "


ගීත අතරින් අතලොස්සක්ම පමණක් ලබන වාසනාවක් වෙයි. ගීයක වචනද ඉක්මවා ගොස්  දෘශ්‍ය සංවේදන කුළු ගන්වන සුළු රූ විරලය.  වචනයට නගා ඉවර කළ ⁣නොහැකි තරම් මහා විසාල කතාවක් රෑප රචනයෙහි ගැබ්වී තිබේ. බලන්නට නොව කිහිප වතාවක් බලා සැගවුණු අරුත් යලි යලි විමසනු වටී.


ජීවිතය කොතරම් උස දැයි කඳු මුදුනට නැග බලන්නැයි , "ගලන්න ගලන්න" ගීයෙන් ලූෂන් බුලත්සිංහලයන් ගයද්දී , මේ ලපටි තරැණ අැස් වලට තේරෙන බාසාවෙන් තාල තබන්නට අමිල සමත් වී තිබෙයි.


මේ ගීය , ජීවිතයේ මුලු අරැතම ඇත්තේ ආදරයේ යැයි අද උද්දාමයෙන් පසු වන්නා වූද , ජීවිතය ආලයත් සමගම අහිමිව  ගොස් අහවර යැයි විස්සෝපයෙන් පසු වන්නා වූද , ජීවිතයට තිබූ එකම අරැත ඇය හෝ  ඔහු යයි සිතා ජීවිතයේ තව බොහෝ දුඑක් දැනට නිරර්ථකව වො ඇත්තා වූද අහිංසකයන් වෙනුවෙනි .


ආදරේ කියන්නේ ජීවිතයෙන් ඇබින්දයි . ජිවිතේ කියන්නේ ආදරේ අතුරු පලයක් බව ජිව විද්‍යාත්මක ඇත්තක් බව ඇත්තයි .. ඒත් ආදරේ අහිමි වන තැන රස කවිද ජීවිතේද බිහිවෙන බව නොකියාම බැරි තිත්ත අත්තක් බවද ඇත්තයි.


"ජීවිතය ලඟ ආදරය මට බොහොම පුංචියි ලොවේ
මැණික් හොය හොය පපුව හාරන පතල්කරැ මම  නොවේ"

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->