Showing posts with label ලස්සන වටින නිර්මාණ(චිත්‍රපට). Show all posts
Showing posts with label ලස්සන වටින නිර්මාණ(චිත්‍රපට). Show all posts

Tuesday, February 03, 2015

[316] දෙවියන් දකින්නට PK බලන්න එන්න - (sorry) - PK දකින්නට දෙවියන් බලන්න එන්න

දෙවියන් දකින්නට PK බලන්න එන්න - (sorry) - PK දකින්නට දෙවියන්  බලන්න එන්න

මා පළමු වතාවේ PK නැරඹුවේ ඉතාමත් කම්මැලිකමෙනි. ඊට හේතුව බස තේරුම් ගන්නට තරම් හින්දි දැනුමක් මට නොතිබූ නිසා ,වැරදි උප සිරැසි මත යැපෙන්නට වීමය. කවුරු හෝ ඒ යොදා තිබූ උප සිරැසි වල 98% ම තිබ්බේ වැරදි ඉන්ගිරිසිය. වැරදි ඉන්ගිරිසිය හරි එකට ගලපා රූප රාමුව දෙස බලද්දී අස්සයා පැනගොස්ය . දෙවෙනි වතාවේ එනිසාම ආයිත් PK බැලුවෙමි. එවර හිත ගියේ සින්දු ටිකටය. එනිසාම තෙවෙනි වතාවටද එය බලන්නට ගතිමි. බාගෙට දිරැවූ උප සිරැසි සිත්හි තබාගෙන රූප රාමු බැලුවේ ඒ වතාවේය! PK පසුපස ඇති මහා සිනමාව මට ඉන්ද්රජාලයකින් මෙන් දිස්වන්නට පටන් ගත්තේය ! 

භාරත සිනමාවේ තවත් ප්රාතිහාර්යයක් ! භාරතයටම එක ඇඟිල්ලක් දිගුව ඇත. රේඩියෝවක් කරේ එල්ලා ගත් නිරුවත් මිනිසෙකු මුලු ඉන්දියාව දෙසම නොව සර්ව ලෝක හිතවාසී හුදී ජන සංස්කෘතිය දෙසම සිය කොල පැහැති ඇස් දෙක මහත් කොටගෙන බලා සිටී. 

දෙවියන් සොයා යන PK දෙවියන් සතුටු කරන්නට නොකරන දෙයක් නැත්තේය . සිය අසරණකමට දෙවියන්ය සිතා දෙවියන්ගේ නියෝජිතයන් යැයි පෙනී සිටින පුහුදුන් තැරැව් කරුවන්ට ජීවිතය කැප කරන හුදී ජන සංහතිය දෙසම PK සිය දෑස් දල්වා බලා හිඳී..

PK සිනාසෙන්නේ දෙවියන්ට නොවේ. PK හඬන්නේ දෙවියන් සතුටු කරන්නට නොවිඳිනා දුක් විඳින දුහුනන් වෙනුවෙන් නොවේ. PK හි උපහාසය එල්ල වන්නේ දෙවියන් දකින මිනිසුන් කෙරෙහිද නොවේ. බුද්ධිමත් මිනිසුන් තේරුම් ගත යුත්තේ එයයි. 

නොයෙක් වර්ගයේ මිනිස්සු දෙවියන් නොයෙක් ඇස් වලින් දකිති. ආගම් හෝ දෙවියන් පසුපස නොයා යුතු යැයි බොහෝ පණ්ඩිතයෝ දොඩති. තවත් සමහරු දෙවියන් සොයා පර්යේෂණ කරති. දෙවියන් හෝ ගැලවුම් වාදී කිසිවක් හෝ ආගම් ලොවට අවැසි නැතැයි සමහරු දොඩති. එය දියුණු මනස යැයි පවසති. 

මා දකින දෙවියන් සිටින්නේ මහ පොළවේය ! ඇතැම් දෙවියන් අප කරා පැමිණෙන්නේ කබා කෝට්  ඇඳගෙනය. ඇතමුන් කාර්යාල ඇඳුමෙනි.  ඇතැම් දෙවිවරුන් අපට පිහිට වන්නේ බස් රියේදීය. ඇතැම් දෙවිවරුන් උදේ හවා අපට සිනහ සී යන්නෝය. අඩු ගානෙ චැට් එකක් හෝ දමන්නෝය ! කඳුලු පිසින්නෝය ! 

අපට වඩා ඉහළ තලයක සිටිය හෝ සිටින උතුමන් කෙරෙහි බැති සිතක් උපදවා ගැනීමේ  මම නම් කිසිදු වරදක් නොදකිමි. පන්සලේ බුදු ගෙහි ඇති සිත නිවන තවන බව අපේ නිදන කාමරයෙහි නැත. බෝ ගසක් සෙවනෙහි ඇති දහසක් සැදැහැ සිත් වල බැති කිරණ ඔබට දැනී නැතිද ? පල්ලියේ අල්තාරයෙහි වැඩ සිටින සොවින් බර යේසුස් වහන්සෙ අබියස කිතු බැති නද මුසුව එන පියානෝ වාදනය දෑසේ කඳුලු නංවයි. හින්දු කෝවිලක පූජකයන් දෙව් පිලිමයක් කිරෙන් නහවා සත්කාර කරනු දකින විට මිනිසෙකුගේ මනස කොතරම් බැති බර විය හැකිදැයි සිත විමතියක් හට ගනී. 

දුකින් පෙලෙන මනුසත් වගට සැප මේ යැයි පෙන්වා  ප්රාර්තනාව මවා දෙන්නට දෙවියන්ට  බුදුන්ට හෝ පෙර පින් කළ උතුමන්ට නොහැක්කේය . එහෙත් සිතෙහි විස්වාසය පලා ගිය කල්හි, අසරණ බවින් සිත උමතු වූ කල්හි , තමන්ට පිලිසරණක් හෝ. නිසි මග පෙන්වන්නෙකු නැතයි කම්පාවට පත් වූ කල්හි අරක්කු බෝතලයක පිහිට පතනවා නම්, ඔබේ උත්සාහය අකර්මන්ය වනු වැලැක්විය නොහැක්කේය. සිත අරමුණෙන් ගිලිහී බෝතලයට ඇලී යනු නියතය. 

අසරණ වූ කල්හි , දෙවියන් බුදුන් සොයා යන මිනිසුනට මා දොස් නොකියන්නේ එබැවිනි. සොයා යන්නේ සරණකි. ඉන් පුහුදුනෙකු ගසා කෑම අනුමත කල නොහැකි එක වෙනම කතාවකි. එහෙත් සිය සරණ උදෙසා දෙවියන් බුදුන්ගේ ආශිර්වාදය පැතීම වරදක් නොවේ. පුහුදුන් මිනිසුන් ගේ වරද නම් , සිය ප්රාර්තනාව ඉටු කිරීමේ සම්පූර්ණ කොන්තරාත්තුවම දෙවියන්ට භාර දීම නොවේද ?

හදවතෙහි භක්තිය කුලු ගන්වා ගත් කළ යහපත් අරමුණුම සිතට එයි. දුදනන් නිරායාසයෙන්ම ඉවත්ව යයි. අරමුණෙහිම සිත එල්බ ගනියි. තමනට ආශිර්වාදයක් ඇතැයි සිතෙහි විස්වාසයක් හට ගනියි. අවදානම් ගැනීමට සිත සවිමත් වෙයි. දෙවියන් ලඟ ඇතැයි සිතෙද්දී වැරැද්දට බියක් හට ගනියි. 

PK පවසන බුද්ධිමත් පණිවිඩය එයයි. උත්සහය කොතෙක් වුව , ප්රවේසම කොතෙක් වුව , ජීවිතය වැරැදී යන අවස්ථා ඔබට තිබී නැතිද ? එය කර්මය යැයි හිත හදා ගැනීම කුසීත කමය .එයට එරෙහිව නිසි සැලැස්මක් නොමැතිව ආවේග වලින් සටන් කිරීම මෝඩ කමය ! සැලස්මක් හදා ගැනීමට තරම් සිත නොසන්සුන් විටක පියවර තැබීම අවදානම්ය . පස්මහ බැලුම් බලනවාට වඩා ආරක්ෂාකාරී පියවරක් තැබීමට මග හදා ගැනීමට සිතෙහි විස්වාසය හේතු වෙයි. 

මගේ හිතවතෙකු පැවැසූ කතාවක් සිහියට එයි. " වහින්න එන බව දැන දැන කුඩය්ක් නොගෙන ගමනක් යන එක මෝඩකමක්. වැස්සෙ නැතිනම් මිනිස්සු කියාවි අන්න පිස්සෙක් කුඩයක් ඉහළගෙන යනවා කියලා. වැස්සෙ තෙමි තෙමි ගියත් මිනිස්සු එහෙමම කියාවි. වැස්සෙ පාරක් අයිනෙ හෙවණක හිටගෙන ඉන්න පුලුවනි. ඒත් රෑ එලි වෙනකල්ම . වැස්සොත් එලියට ගන්න බලාගෙන කුඩයක් බෑග් එකෙ දාගෙන යන එක වරදක් නෙවෙයි නේද ??? " 

කිසිවක් කෙරේ විස්වාසයක් නොමැත්තාට අනාගතයක් නැත්තේය ! විස්වාසයක් නොමැත්තාට බලාපොරොත්තුවක ඈත්තේ රතු එලි පමණකි. ලෝකය සකස් වන්නේ රතු පාට ප්රතිලපලයකය . 

'සන්තියාගෝ නම් සැරිසරන්නා' ( The Alchemist ) හි පවුලෝ කොයියෝ මෙසේ පවසයි. 
"ඔබට යමක් අවැසි නම් , එය ඔබ වෙත ලබා දීම සඳහා මුලෝ ලෝකයම කුමන්ත්රණ කරයි"

PK වරක් මෙසේ අසයි. 
"දෙවියන් යැයි මිනිසුන්  වඳින්නේ සැබෑ දෙවියන්ටද ? දෙව දූතයන් යැයි මවා පෙන්වන ජාවාරම්කරුවන් මවා දුන් දේව ප්රතිරූපයකටද ? 

Pursuit of Happyness චිත්රපටයේ ' ක්රිස් ගාඩ්නර්ගේ කුඩා පුතු දෙවියන්  පිලිබඳව අපූරු කතාවක් පවසයි. 

"තාත්තෙ , ඔන්න එක මනුස්සයෙක් බෝට්ටුවක යද්දී කුණාටුවකට අහුවෙලා දියේ ගිලුනා. ඔහු සිය ජීවිතය බේරා දෙන්න කියා දෙවියන් යදින්නට පටන් ගත්ත. එවිට එනවා බෝට්ටුවක් , 
'නැහැ දෙවියන් පැමිණ මා බෙර ගනීවි. ඔබ යන්න' දියේ ගිලුන තැනැත්තා කියනවා. ආයිත් දෙවියන් යදින්නට පටන් ගන්නවා. 

යලිත් එනවා බෝට්යුවක්. ඔහු ඊටත් ගොඩ වීම ප්රතික්ෂේප කරනවා. දෙවිය්ණ් එන් තුරුම යදිනවා. 

අන්තිමේ එයා දියේ ගිලිලා මිය යනවා . ස්වර්ගයෙදී ඔහුට දෙවියන් හමුවෙනව. ඔහු නොසතුටින් මෙහෙම අහනවා, 
'මා ඔබට මෙතරම් බැතිබරව සිටියදිත් ඇයි ඔබ මා ගලවා නොගත්තෙ ?'

 දෙවියන් උත්තර දෙනවා, 
"මෝඩයෝ මම බෝට්ටු එකක් නොවේ දෙකක්ම එවුව , ඇයි එවාට ගොඩ නොවුනේ ?" 


PK ඔබට ස්තූතියි. PK සැබෑ ඇසින් දුටුවෙකුට සිදුවන්නේ දෙවියන් හෝ ආගම් එපා වීම නම් නොවේ. සැබෑ දෙවියන් දිස්වීමත්,  සැබෑ බැතිය කුලු ගැන්වීමත්, ජාවාරමට එරෙහි වීමත් පමණකි. 


Wednesday, October 15, 2014

[314] සුදු ලී වැටකින් වටවූ පිට්ටනිය සහ සිඟිති Mystique කොලනිය


දැන් මම සාඩම්බර කෝච්චි දරුවෙක් බවට පත්ව සිටින්නෙමි. කෝච්චියත් ඒ හා බැඳුනු ජීවිතත් දෙස බලා ඉන්න එකත් හරි අපූරු වැඩකි.. 

උදෑසනම රත්මලාන දුම් රිය නැවතුම වෙත තෙරෝද රියෙන් යන්නේ දුර වැඩි හෙයිනි.  එතැන් පටන් දවසේ රේස් එක ඇරඹෙයි. රේස් දුවන ගමන් රේස් දුවන අනික් උන් දෙස විපරම් කිරීම හරිම ආසා හිතෙන සෙල්ලමකි. ඔක්කෝම එක හැල්මට දුවති. දුවන්නේ පෝලිමට එක් වෙන්නටය . ටිකට් ගන්නටය . නුදුරේ එන දුම් රියෙහි එල්ලෙන්නටය. ඊට පසු හොඳ තැනක් අල්ලා ගන්නටය . මඳ ප්‍රමාදයක් පාඩු ගොඩකට හේතු කාරණ වෙයි. ජීවිතේත් ඒ වගේ නොවැ.

දුම් රියට නගින ගැහැණු අප නම් , පාඩුවේ සින්දුවක් අහගෙන යනවා විනා කුමක් කරන්නද ?. පිරිමි ඈයෝන්ට නම් තියනවා නොවැ ගැහැණු ලමයින් දිහා බලන්නට !  

ගැහැණු ලමයින් වේවා , නැන්දලා වේවා , දුම් රියේ යන හැමෝටම ආගන්තුක අමුත්තන් හඳුනා ගැනීමේ පුදුම ඉවක් තිබෙයි. ඒවා ට ලක් වෙවී , වට පිට බල බලා , ට්‍රැෆික් නැති කෝච්චි පාරෙන් වැඩට හා ගෙදර යාමට ලැබීම නම් භාග්‍යයකි.(කෝච්චියට ජය වේවා !) 


කවදත් වාගේ පූර්විකාව කතාවකට වඩා දික් වෙයි. 

දුම් රිය ගල්කිස්ස පසු කරයි.. ඇසිල්ලෙන් මා දුටු දසුනෙන් මවිත වෙමි. ගල්කිස්සත් දෙහිවලත් අතර ඉතා කොළ පැහැති හරි හුරුබුහුටි පිට්ටනියක් පසු වෙයි. ඒ ලස්සන කුඩා පිට්ටනිය කුමක්ද ? ඒ පිට්ටනිය වටේට ලී තීරු පේලියට හිටවා ගැසූ කොට වැටකි. [ඒවාට කියන්නේ පිකට් ෆෙන්ස් නේද? ] ඒ පිට්ටනිය වටා සුන්දර කුඩා ගම්මානයක් වාගේ එකකි. බටහිර පන්නයේ උස් වහලයන්ගෙන් සුසැදි සුදෝ සුදු හුරුබුහුටි කුඩා ගෙවල් ගොන්නකි.  සිත කුතුහලයෙන් පිරෙයි. මේ පුංචි කොලනිය කුමක්ද ? මා එන්ගලන්තයට හෝ උතුරු අයර්ලන්තයට ගියාවත්ද? මා සිහිනයක්වත් දකිනවාවත්ද ?  මා මනෝ ගසන අතරතුර , එහා පැත්තේ හිටගෙන ජැක් ගසන මැදිවියේ මහතා , මා දකින්නේ සිහිනයක් නොවන බවත් , ඒ සිටින්නේ උතුරු අයර්ලන්තයේ නොව ශ්‍රී ලංකාවේ පොදු ගමනාගමනයෙහි යෙදෙමින් බවත් සනාථ කරයි. 

අද සවස මා දුම් රියට ගොඩ වන්නේද ඒ කුඩා සිඟිති ගම් පියැස්ස දෙස හොර බැළුම් හෙලන්නට නොතිත් ආශාවෙනි . වාසනාවට දුම් රිය තදබද නොවූයේය. ඉතා සාමකාමී  හැන්දෑවකි. ඉරිදාවක ගල්කිස්සට යා යුතුද?. ගොස් ඒ ගම්මානය කුමක්දැයි සොයා බලා එන්නද ? ඇත්තටම ඒ මට විතරක් පෙනෙන ,මලවුන් වෙසෙන අද්භූත ගම්මානයක්ද ?  යද්දී එතැන ගම්මානයක් නැති මුඩු බිමක් හෙම නම්  !!!!! මට මොනවා හිතෙයිද ? කොහොමට හිටීවිද ?

හොඳයි , ගම්මානය හමු වුවොත් ????? අහෝ එතැනින් මගේ කුතුහලය සන්සිඳවෙනවා නොවේද ? . එපමණක් නොව එතෙකින් ඔබ්බට , මට සිහින මවන්නට , අරුම පුදුම අභව්‍ය කතා ගොතමින් මනෝ ලොවක සැරිසරන්නට තරම් සෑහෙන , කුඩා ගමෙහි ෆැන්ටසිය අහවර වෙයි. යථාර්තය දිස්වෙයි. ඒ සිඟිති රාජධානිය පසු වන වාරයක් පාසා එබී බලා හිතෙන් ගොතන කතාව නිම වී , දුටු වනම දැනුවත් බවෙහි ඕලාරිකත්වයට නතුව අහක බලාගන්නට මට සිදුවෙයි. අරුමය ඉවර වෙයි. කොටින්ම මේ බ්ලොග් පෝස්ට් එකම ලැජ්ජා හිතෙන තාලේ අමන විහිලුවක් බවට පත් වෙයි.

මා එහි නොයන්නට තීරණය කරමි. 


ඔබට Big Fish  මතකද ? Tim Burton ගෙතූ , කොතෙක් නැරඹුවත් එපා නොවන , ඒ අරුම පුදුම නිර්මාණය. කතන්දර කියන , කතන්දර වලම ජීවත් වන , එඩ්වඩ් බ්ලූම් ! එඩ්වඩ්ට හමුවන කාල් නමැති අසාමාන්‍ය උසින් යුත් යෝධ මිනිසා ! 


කාල් සමග නගරයට යන අතර තුර , එඩ්වඩ්ට වන අරණ තුලින් හමුවන Spectre නම් සොඳුරු කුඩා ගම්මානය මතකද ? මේ කුඩා දසුනෙන් මා සිත දිව යන්නේ Spectre වෙතය. එහිදී එඩ්වඩ්ට ආලයෙන් බැඳෙන ජෙනී මතකද ?  වියපත් වනතුරුම එඩ් කෙරෙහි ආලයෙන් සිට , සිය ගරා වැටුනු නිවසත් සමගම දිරා ගොස් ,  මන්තරකාරියක වූ කුඩා ජෙනී ! 



ගමට පැමිණෙන අමුත්තන් හට ආපසු යා නොහැකි වන ලෙස , ලණුවක එල්ලා තියන සපත්තු ! නිරන්තර සිනා මුසු මුහුණු. පද කිහිපයකින් ඔබ්බට කිසිදු කවියක් ගොතා ගත නුහුණුව සිත් තැවුලට පත් වූ ශ්‍රේෂ්ඨ කිවි නොදර් වින්ස්ලෝව්. !යුද සමයෙහි එඩ්ගේ සහයට එන දෙමුහුන් සොයුරියන් !

 දුම් රිය නැවතුම් පහක් පසුවන කෙටි දුරෙහි , මගේ සිත බොහෝ ඈතට ඇදී යයි.

 මේ කුඩා තණ පිට්ටනිය සහ ගෙවල් පෙල දකින මම නොදැනුවත්වම මහා සිහින ආවලියකම පැටලෙමි. 

දැන් ඉතින් ඔබේ වාරය ! ඔබ තේරීමක් කළ යුතුව තිබෙයි. නිරන්තර ගාලු දුම් රිය මගෙහි යන එන ඔබට අරුමයක් නොවූ මේ සුන්දර සිඟිති රාජ්‍යය සැබවින්ම කුමක්දැයි ඔබ මට හෙලි කරනවාද නො එසේ නම් මට රිසි තරම් නානා විප්‍රකාර වැල්වටාරම් ගොතන්නට ඉඩ දී ඔබේ යතාර්තය ඔබේ හිතටම ගුලි කරගන්නවාද ? 

අහ්... අමතක වූවා නොවැ. දැනටමත් ඒ සිඟිති දිවයිනට තිබෙනවා නමක් ....   ඔබ මොකද හිතන්නේ 'Mystique ' කියන නම ගැන .. ?

දැන් ඉතින් ඔබේ වාරය !

"That was my father's final joke, I guess. A man tells his stories so many times that he becomes the stories. They live on after him. And in that way he becomes immortal"

Tim Burton - Big Fish (2003) 


Saturday, October 20, 2012

[272] අකර්මන්‍ය වූ 'කර්ම' ගැන


කෙටියෙන්ම කිවහොත් ... 'කර්ම' නැරඹුවෙමි... හිතූ දෙයම යලි යලිත් පසක් කොට කර්ම පිලිබඳව 'සංඛාරා' කෙරෙහි අකර්මන්‍ය වූ මනසින්ම අද මම ලියන්නෙමි. ප්‍රසන්න ජයකොඩි විෂයෙහි ජයසේන ජයකොඩිගේ සෙවනැලි සෙවීමද එක් වරදක් විය යුතුය. එහෙත් අද හවස රීගල් සිනමා හලට මා ගොඩ වැදුනේ ප්‍රසන්නගේ පැටිකිරියත් සිංහල චිත්‍රපට පෙන්වන දුර්වලකම් කෙරෙහි අපුලත් විදෙස් චිත්‍රපට මවා තිබූ විස්මයානුකූල ආහ්ලාදයත් යන මේ තුනම හදවත තුල අගුලු ලා සිර කොට තබමිනි. මන්ද මේ චිත්‍රපටය විෂයෙහි ,අන්තර්ජාලය අන් කවරදාටත් වඩා සක්‍රිය ප්‍රචාරණයක් ලබාදී තිබුනු හෙයිනි.

කර්ම නැරඹුවෙමි. එහි හොඳ නොහොඳ සමෝසමේ දු‍ටුවෙමි. ප්‍රබල කතා තේමාවකට පණ දී නැගි‍ටුවා ලන්නට තරම් රංගනය තුලින් ජගත් හෝ මිශෙල් කළ දෙයක් මට පැහැදිලිව දැකිය නොහැකි විය. එහෙත් එබඳු අඩු ලුහුඬුවක් මැද්දේ , මෑත බිහිවූ බොහෝ චිත්‍රපට පරයන ලද අසම සම පසුතල (පුද්ගලිකව මා ප්‍රිය කරන පසුතල විය හැකිය) , සහ ඉතා මනරම් ආලෝකකරණයක් නම් චිත්‍රපටය මුළුල්ලේ ඇස ගැසුනි. 


සංකේත බොහෝ ගහණ වූ චිත්‍රපටය පුරාවටම මාදු‍ටු දුබලතාවය නම් එම එකදු සංකේතයකට හෝ මිනිස් සිතෙහි වැඩී පැලවන්නට දිය යුතු සාධාරණ කාල වේලාව ප්‍රසන්න නොදී හැරිය බවය. සංකේතය ගෝචර වී එය සංවේදනයක් වශයෙන් ප්‍රේක්ශක මනස තිගස්වන්නට පලමුවෙන් , කපා හෙලූ කෙහෙල් කඳක් උඩින් ඩොග් ගා හිටවන තව කෙහෙල් කඳක් මෙන් අලුත් රූප රාමුව එක වර පහළ වෙයි. සැබවින්ම මා පුද්ගලිකව එය අප්‍රිය කරමි. බොහෝ සොඳුරු විදෙස් චිත්‍රපට තුල මට පැහැදිලි කළ නොහෙන ගලා යාම තුල එක් එක් රූප රාමු චේදනය වන කලාත්මක ආකෘතියට මා ඇබ්බැහි වී සිටිමි. එහෙත් සාධාරණව ගතහොත් , සන්නිවේදනය සැබවින්ම ගලා යා යුතුය. මේ මට හිතෙන හැටිය.

මීලඟ විසාලම අඩුව මා දකින්නේ ශබ්ද සහ සංගීතය තුල ඇති එකිනෙක මුසු නොවෙන අමු ගතියය. සාර්ථක චිත්‍රපට තුල , රූප රාමුවකින් ප්‍රේක්ශක මනස ආස්වාදය කරා ගෙන යන්නේ රූපය හා අපූරුවට කැලැත්තෙන ශබ්ද සහ සංගීතයෙනි. මට ලෙහෙසියෙන් ලාංකීය චිත්‍රපට වල එය දකිනු නොහැකි වූ බවට සංඛාරා මෙන්ම කර්ම ද උදාහරණ සපයයි. ඊට සාපේක්ශව මම ප්‍රසන්න විතානගේ මෙන්ම බෙනට් රත්නායකගේ රස සංවේදනය බොහෝ සෙයින් අගේ කරමි. කර්ම පුරාවට ගලා ගිය හුස්ම අදින හඬ , සහ වරින් වර අමුවේ පාත් වෙන නදීක ගුරුගේගේ හඬ සංගීතය සහ ශබ්දයන් වෙන්කොට අමුවෙන් දක්වයි. හඬ සහ සංගීතය , අවස්ථානුකූලව රූප සංවේදනය කුලු ගැන්විය යුතු බව මගේ හැඟීමයි. එහෙත් එය කර්ම තුලින් මා නොවින්දෙමි.

පෝස්ටරයේ  පවා සඳහන් අයුරෙන් , බොහෝ ගරු සම්මානයට පාත්‍ර වූ උසස් සිනමා නිර්මාණයක් වන මෙය පිලිබඳව මට මෙසේ  සිතෙන්නේ මගේ රසඥතාවයේ අඩුවක් නිසා විය හැකි බවද අමතක නොකල යුතුය. එහෙත් මේ මට හිතෙන හැටිය.


කරුමය සහ පුදුමය වන්නේ, ඔය වාගේම බොහෝ ගරු සම්මාන දිනා ගත් , Big Fish , Forrest Gump, One Flew Over the Cuckoo's Nest, sixth sense , catch me if you can , city of angels , Blind Side , 3 Idiots , Finding Neverland , Memoirs of a Geisha, Reader  වැනි නිර්මාණ , සම්මාන දෙන්නවුන් තරමටම , හුදී අවශේෂ ප්‍රේක්ශක මාද , නිර්මාණකරණය තුලින් තිගස්වන්නට , මනසෙහි පෙර නොදැල්වුනු ආලෝකයක් දල්වා ආනන්දයෙන් ප්‍රඥාව දල්වා , වැටහුනු සත්‍යයෙන් මනස  අන්ද මන්ද කරවන්නට සමත් වූ රහස කුමක්ද යන්නයි. 

නිර්මාණයක් තුල මහා සිනමා කාව්‍යයක් වීමේ රහස සැඟවී ඇත්තේ නිර්මාණ කරුවාගේ අසහාය ප්‍රකාශන ශක්තියෙහි යයි , පෙරකී නිර්මාණ දෙස් දෙයි. එකී නිර්මාණ තුල හාස්කම් මවන්නේ , නිර්මාණශීලී තීව්‍ර රංගනය , සංගීතය මෙන්ම ආලෝකය , පසුතල , කැමරාකෝණ යනාදියය.  ශ්‍රී ලංකාව වැනි තුන්වෙනි ලෝකයේ දුප්පත් රටක වෙසෙන නිර්මාණ කරුවා දුප්පත් වී සිටින්නේ තාක්ෂණයෙන් නොව හදවතින් බව මම ලාංකික නිර්මාණ බලන බොහෝ වාරයන්හි පසක් කරමි.

කර්ම තුල තීව්‍ර වියැ හැකිව තිබූ දාර්ශනික තේමාවක් , නොසැලකිලිමත් ප්‍රකාශනය තුලින් දියව ගොස්
ඇතැයි සංවේගයෙන් මම සිතමි. 



Wednesday, September 12, 2012

[269] ටෙලිවිෂන් මතක


දවසේ බොහෝ වේලා සිටගෙන සිටීමෙන් , දුර ඇවිදීමෙන් සහ විවිධාකාර කාර්යාල පීඩාවන්ගෙන් වෙහෙස පත් වූ මම  සුපුරුදු ලෙස බිම වාඩි වී ඇඳට හිස ගසා නොකල්පනාවෙන් මනස සන්සුන් වන්නට ඉඩ හරිමින් සිටියෙමි. හිරු අස්තංගතව අහසේ පැහැය වියැකෙන අයුරුත් , අඳුර සමග නිවසෙන් පුරුදු පරිදි නික්මෙන සාම්බ්‍රානි සුවඳත් , පහල කුස්සියෙහි මා වෙනුවෙන් සැදෙන තේ ජෝගුව කැලැත්තෙන ටක ටක හඬත් දවසට බොහෝ හුරු පුරුදු අවසානයක් සටහන් කරන්නට විය.



රූපවාහිනියෙන් දීර්ඝ විරාමයක් ගෙන සිටි අපේ අම්මා මේ දවස් වල හරියටම හයයි තිහට , මට ඉක්මනට තේ හැදීමෙන් අනතුරුව ටෙලිවිශනය වෙත දුවගෙන එන්නීය .

"ඔශින්.. ඔශින්... ඔශින් ... ඔශින්... පලමු වන හා දෙවන ලෝක සංග්‍රාමයන්  දෙක අතර තුර කාලයෙහි... ජපානයේ සිදුවූ සමාජ ආර්ථික සංස්කෘතික පරිවර්තන .. ඔශින් වෘතාන්තය පි‍ටුපසින් දිවෙයි...  ආදියේ සිට සිරිලක හා ජපානය අතර....... සමසංස්කෘතික සබැඳියාවෙන්... ජපානයේ එන් එච් කේ ආයතනය.. මේ සිංහල දෙබසින් තවද රසවත් වූ ඔශින්... ඔබ සැමගේ පහන් සංවේගය උදෙසා ... මෙසේ.... පිරිනැමෙන වගයි..."

දශක දෙකකට එහා කණට ඇසී හුරුව තිබූ , කොටස් හයසිය ගණනාවකදී නොකඩවා ඇසූ මේ දෙබස් ඛණ්ඩය කණට පැටලෙද්දී කටපාඩමින් මා මුවද මුමුණන්නට වූ අයුරු මම විස්මයෙන් අත්විඳිමින් සිටියෙමි. ඉහතින් කියැවෙන ලද ටයිටස් තොටවත්තයන්ගේ බරසාර වදන් වලින් එකකුදු එදා කුඩා අප අසා සිටියේ මෙලෝ හරයකින් නොවේ. එහෙත් උප විඥාණයෙහි සදාතනික වාක්‍ය කණ්ඩයක් වශයෙන් පැලව සිටි මේ වැකිය අසමින් මනසින් දශක දෙකක් එහා කුඩා සන්දියට මම අද සැබවින්ම ගමන් කරමින් සිටියෙමි.




දශක ගණනාවකට පෙර රූපවාහිනී අහිමි ලමා කාලයක් උරුම වූ වැඩිහිටියෝ , එකල්හි දුව පැන කෙලි දෙලෙන්  වතුපිටි ලඳු කැලෑ පීරූ හැටි ගැන පාරම්බාන්නෝය. එකලින් මඳ කාල විරාමයකින් මෙකල උපත ලද අපේ පරම්පරාව  රූපවාහිනී යන්තරය හා හා පුරා කියා හඳුනාගත් පරම්පරාව විය යුතුය. ඔෂින්, හත්පණ, සිංදු බිංදු , වෙද හාමිනේ, දොස්තර හොඳහිත , හා හා හරි හාවා අපේ කුඩා සන්දිය විචිත්‍රවත් කලා පමණක් නොව අද වෙනතුරුද හිස් මොල තුල සදාතනික ඉඩක් වෙන්කරගෙන සිටින්නේය.

මාරු කර බලන්නට, චෑනල් වෙනස් කරන්නට ගොස් දබර වෙන්නට  චැනල්ද , චැනල් මාරු කරන්නට 'රිමෝට්' ද නොතිබූ එකල්හි ඊට වඩා හිත වදකලේ වෙනත් පැනයකි. හිස නිලංකාර වන තරම් විචිත්‍රත්වයෙන් අනූන කා‍ටුන්, නාට්‍ය සහ ඉවරක් නැති විවිධ රසාංග අතුරෙන් , මාපියන්ගේ කෝ‍ටු පාර නොලබා නැරඹිය හැකි උපරිම වැඩසටහන් ගණන කොපමනද , සහ ඒ වැඩසටහන් මොනවාද යන්නයි. ටෙලිවිශන් පරම්පරාවේ අසම සම උන්නතියෙහි රස බලන්නට අපගේ පෙර යෞවනය පින් කොට තිබුනි.



 සුරඟන කතා කරලිය, ගලිවරය, සිංදු බිංදු යුගය විරාමයක් ගනිද්දී,  මායා බන්ධන , රොබින් හුඩ් , ඕශන් ගර්ල් පෑමිණියේය.. පිස්සු පූසා බෑලූ අපි සූර පප්පා වෙත නෑඹුරු වූයෙමු. මුතුහරින් , මනෝහාරී වෙත සම්ප්‍රාප්ත වීමු. නමයයි පහෙන් කදමල්ලට අවතීර්ණ වූයෙමු. මායා බන්ධන ගිලිහී නෙට්වර්ක් දඟයින් එද්දී, සූරපප්පා සමුදී ඉඟුරුපාන් මල්ලිලා එද්දී, කදමල්ලෙන් පසුව අටපට්ටම එද්දී , ටෙලිනාට්‍ය වසන්තය වියැකෙමින් මෙගා නාටක අරක් ගනිද්දී වාසනාවකට මෙන් මගේ ලෝකයෙන් ටෙලිවිශනයද සමුගත්තේය. පරිගණකයත් ජංගම දුරකතනයත් රූපවාහිනියේ තැන ගත්තෝය.


ලන්දේ දුව නොපැන, පවුලේ පස් දෙනා එක සාලයෙහි වාඩිවී, කමින් බොමින් ප්‍රීති වෙමින් කා‍ටුන්, නාට්‍ය,ගීත සහ නොයෙක් විශේෂාංග රසවිඳි පරම්පරාවේ රස මතක කොතෙක් කීවත් මට නම් නීරස නොවේ. අක්කර තුන්කාලක ගෙමිදුලකින් පර්චස් දහසයක මහල් නිවසකට සම්ප්‍රාප්ත වෙද්දී විසල් නිවසක උදාරම් බවත් , ළමා හදවතක් අයැද සිටින කෙම්බිමක අහිමිකමත් මීට වසර විස්සකට පෙර එක වර අපි තුරුල් කරගතිමු.

සෙල්ලම් කරන්නටගෙමිදුලක් අහිමි වූ අපේ හදවතෙහි ඉඩ ටෙලිවිශනය තහවුරු කරගත්තේ එසේය. 



ටෙලිවිශන් උණ වැලඳී තිබුනේ ළමා අපට පමණක් නොවීම වාසනාවක් විය. අම්මාද තාත්තාද අප තරම්ම රූපවාහිනී ලෝලීන් වීම සහනයක් විය. කොතෙක් දුර ගමන් ගියද ඇතැම් දිනවල රාත්‍රී අටයි තිහ යනු ගමනක් උදෙසා කැප කල හැකි පැය භාගයක් නොවීය. සියල්ලන් එක සුමේට , 'අයියෝ අටහාරට නාට්යය යනවා, ඉක්මනට යමූ' කියා මොර දෙද්දී , සියලු වැදගත් වැඩ පසෙකලා තාත්තාට සිදුවූයේ පවුල් හමුදාව රැගත් රිය ලෑල්ලට පාගමින් ගෙදර වෙත ඉගිලෙන්නටය.

අටයි තිහ වෙද්දී කොහේ සිටියත් , මොනවා කරමින් සිටියත් , ගෙදර මෑද සාලයේ අපි සියල්ලෝම ටෙලිවිශනය ඉදිරියේ විජ්ජාවකින් මෙන් පහළ වූයෙමු. මහ මග අතර මගකදී නම් , නාඳුනන නිවසකට වැදී හෝ, කඩසාප්පුවකට රිංගාගෙන හෝ, මග හැරීමට නියමිත ටෙලිනාට්‍යය නැරඹීම අම්මාත් තාත්තාත් අපිත් පසුබට නොවූයෙමු.



තාත්තාගේ අනෙක් විනෝදාංශය වූයේ හොඳ එවුවා අතරින් වඩාත් හොඳ නාට්‍ය VHS -  ටේප් වල රෙකෝඩ් කිරීමයි.  විදුලිය විසංධි වූ දිනෙක , එහෙමත් නැතිනම් ගමනක් නිසා මග හැරෙන දිනෙක පටිගත කිරීමක් , නුවර කීර්ති වීඩියෝ ස්ටෝර්ස් වෙතින් පටිගත කරවාගෙන ගෙනැවිත් අපට බලන්නට ඉඩ සලස්වන්නට ඔහු අමතක නොකලේය.

නිවාඩු කාලය එන තුරු අප සිටියේ ඇඟිලි ගණිමිනි. අක්කාගේත් , අයියාගේත් මගේත් බොහෝ රසබර අත්දැකීමක් වූයේ උදෑසන සිට හවස් වෙන තුරුම එක හුස්මට , මෙසේ පටිගත කොට තැබූ වී එච් එස් නාට්‍යමාලා නැරඹීමයි. අදටත් පුස් කමින් සු‍රැකිව තිබෙන , කන්දෙ ගෙදර, යශෝරාවය , දූදරුවෝ පලමු කොටස් සියය , පුංචි ඉත්තැවා, බෝඩිම වැනි අමතක නොවන සොඳුරු රස නලු කුඩා අප හදවත් තුලට මහා සෞන්දර්යයක්, හාස්‍යයක්, සංවේදීකමක් මෙන්ම ලාලිත්‍යයක් ඔබ්බන්නට සමත් වූයේය.



අවාසනාවකට මෙන්,  ලඳු දෙනි වෙල් එලි දිගේ වසු පැටවුන් පස්සේ ඔට්‍ටු දිවූ ලපටි මතක මට නැත. එහෙත් කුඩා සංදියේ නොමැකෙන මතක මත රූපවාහිනියත්, එහි එකල්හි රජ කල පොහොසත් සෞන්දර්යයත් , එයින් මා ලපටි මනසෙහි පැල වූ අංකුර සාහිත්‍යයත් , අද වන විට මහා ගසක් තරම් නොවූවත් කුඩා පැලටියක් තරමට හෝ වැඩී සිටින 'අත හුරු පන්න්හිඳත්' උදෙසා ටෙලිවිෂන් මතක මහා පරිමාණයෙන් වගකිය යුතු වන්නේය.

Sunday, March 04, 2012

[235] සිය දිවි නසා ගැනීම වනාහී...



සිය දිවි නසා ගැනීම මහ කැත වැඩකි. එහෙම හිතීම ඊටත් වඩා කැතය. කොච්චර කැත වුනත් එහෙම හිතෙන්නේ වෙරෝනිකාට නම් නිකම්මය. නිකම්ම නිකම් ජීවිතෙන් වෙහෙස වීම නිසා වෙරෝනිකාට ඒ වගේ උනාට , බෙන් තෝමස්ට නම් එහෙම හිතෙන්නේ නිකම්ම නිකම්ම නොවේ. බෙන්ගේ ජීවිතය එක්තරා තැනකදී වෙනස් වෙයි. කොටින්ම බෙන්ට එතැන්දී ජීවිතය තිත්ත වෙයි. නැත. මම වැරදියි. බෙන්ට එතැන්දී ජීවිතයේ අරුත වැටහෙයි. බෙන්ට තවදුරටත් ජීවත් වීමට හේතුවක් නැති වුවත් , බෙන්ට සිය දිවි නසා ගැනීමට හේතු එකක් නොව 7ක්ම පහළ වෙයි.


එය බෙන්ගේ වාසනාවද? එය බෙන්ගේ අවාසනාවද? එහෙත් බෙන්ට අරමුණු එකක් නොව 7ක් තිබෙයි. ඒ 7ම සපල වන්නට එක් දෙයක් සිදුවිය යුතුවෙයි. එහි මූලික වගකීම පැවරෙන්නේ මාලුවෙකුටය. නිකම්ම නිකම් මාලුවෙකුට නොව ජෙලිෆිශ් කෙනෙකුටය.


ජීවිතය සැලසුම් සහගත ගමනක් නොවේ. මෙලොවට එන තැන්හි පටන් ජීවිතය එක් එක් අයුරෙන් ඇදී යයි. කෙනෙකු තම මරණය එතරම්ම සැලසුම් කිරීම පිස්සුවකැයිද සිතේ. එහෙත් බුදු දහමේද කියවෙන 'සිය පණ නැසීමේ පව' බෙන් කරන්නට යයි. චේතනාව අනුව එය පවක්දැයි නිර්නය කිරීම දේදුන්නේ පාට හත අතරින් ඉරි ගැසීමකි.


එහෙත් ... එහෙත්... බෙන් තෝමස්... ඔහු නිසා ජීවිත 7ක් වෙනස් වෙයි. ඔහු ඒ ජීවිත හත වෙනුවෙන් ජීවිතයෙන් සමුගනී. ඔහු ශාන්තුවරයෙක්ද? ඔහු මරාගෙන මැරෙන්නෙක්ද? ඔහු ජීවිතය අත් හරින්නෙකි. ඔහුට අනුව ජීවිතය අත් හැරීම සැපයකි. ජීවත් වීම වධයකි.




එසේ නම් බෙන් මෝඩයෙක්ද? නිකමෙක්ද? අදාන්තයෙක්ද? මාද නොදනී....


ජීවිතය මැණිකකැයි ඇතමුන්ට සිතෙයි. මේ ලද අවස්ථාව මහානර්ඝ යැයි ඇතමුන්ට සිතෙයි. ජීවිතය නිස්සාර එකකැයි ඇතමුන් කලකිරෙයි. ජීවිතේ කිසි පලක් නැතැයි මැසිවිලි නැගෙයි. මියෙන්නට පෙර නොපමාව හොඳ දේ හැකිතාක් කල යුතු යැයි ඇතම්හු යුහුසුලු වෙති. අනාගතයක් නැතැයි ජීවිතය අත් හැරීම මෝඩකමකැයි කියාත් සිතෙයි. අනාගතය තිබෙන්නේ මේ අත්ල මතමය. තීරණ සහ තෝරා ගැනීම් මත අත්ලෙහි රැඳි දේ ගිලිහේද සුරැකේද යන්න නිර්ණය වෙයි. තෝරාගත් තීරණයෙහි දාන්ත හෝ අදාන්ත බවත් නිර්ණය කිරීම කිරෙන් යොදය වෙන් කිරීම තරම් පහසු නැත.


මරණින් පසු යහපත් ජීවිතයක් වෙනුවෙන්ය ඒ. මියගිය පසුත් හොඳ දේ කළ යුතු යැයි සිතෙන්නේ එහෙමත් කෙනෙකුටය. මියයාමෙන් හොඳක් වෙන්නේ අනුන්ට නම් මිය ගියේ ඇයිදැයි ඇසීමම ප්‍රශ්නයකි.. නො අසා සිටීමම සහනයකි.බෙන් එක්තරා අයුරකින් ජීවිතාවබෝධය ලද්දෙක් වෙයි. ජීවිතය මාහැඟි ත්‍යාගයකි. බෙන් සිතන්නේත් එයම බව මට සිතේ. සිය ජීවිත ත්‍යාගය ඔහු ලිහා බලන අභියෝගය භාර ගනී. එතෙකිනුදු නොනැවතී වැසුම් අරින ලද ජීවිත ත්‍යාගය ඔහු සොඳුරු ජීවිත හතක් වෙනුවෙන් ආදරයෙන් දිගු කරයි. එතෙක් ජීවිතයෙන් හෙම්බත්ව හතිලන ආත්ම හතකට ඔහු විවේකයක් ලබා දෙන්නට තීරණය කරයි.


හරි වැරැද්ද අභිරහසක්! චේතනාව නොරහසක්! බෙන් තෝමස් මිය යනු දුටු මොහොතේ මට සිතුනේ එයයි. ජීවිතේ මහ අභිරහසක්... අභිරහස විසඳෙන්නේත් අභිරහසකින්..





Monday, August 22, 2011

[197] මහින්දාගමනයෙන් ඔද වැඩුනු සිනමාscope :-)



අද මම ලියන ලිපිය කොටින්ම මහින්දාගමය ගැන.සහ කොටින්ම මහින්දාගමනය වගේමයි... හොඳේ... පටන් ගන්න කැමතියි මගෙ  පිස්සු රචනා මූඩ් එකෙන්.  ලියමනේ මැද්දෙදි මම කැමතියි පීලි පැනලා සීරියස් වෙන්න. කමක් නෑනේ. ඒකට මම සමාවට කරුනු දෙන්නම ලිපිය අවසානයේදි... හොඳේ...


අද මට වෙච්චි දේ සහ සිනමාසාලා ඉන් Kandy


මහින්දාගමනය බැලුවා. සිනමාපටය පිලිබඳ අබමල් රේණු භාගයකවත් හැඟුමක් නැතිව එහි යාමේ මූලිකම පරමාර්ථයම වූයේ මගේ මව ඒ ගැන දැක්වූ උනන්දුව. ඔන්න නුවර තියන අපූරු චිත්‍රපටසාලා ගැන දන්න උදවිය දන්නවා ඔය ඩොල්බි ඩිජිටල්, වායුසමීකරණ, කුශන් පු‍ටු, සහ පුළුල් තිර යනාදි කිසිම පහසුකමක් ගැන බලාපොරොත්තුවක් නැතුවයි අප නුවර නම් ‍ෆිල්ම් හෝල් එකකට යන්න ඕනෙ. හොඳ තත්වයෙ (ලිබර්ටි ,සැවෝයි, මැජෙස්ටික්, සිනෙමැක්ස්) වගෙ තැන් නම් ඉතින් මෙහෙ නැහැ. ඔක්කොම ඉවසන්න පුලුවන්, ඉස්සර තිබුන ලොකුම ප්‍රශ්නෙ මකුණො.දැන් නම් මකුණො නෑ. හපෝයි ‍ෆිල්ම් එක බලල සතියක් විඳවනවා මකුණු විස නිසා ඉස්සර නම්.


බ‍ටු තවාන


ඔන්න කොහොමෙන් හරි වාඩි වෙන්න වුනු පු‍ටුවට වම් පසින් ඉඳගෙන හිටියෙ බ‍ටු තවානක් ;-) හැ ඒ මොකක්ද? පුංචි පැටවු පේලියකුයි මට වම් පසින් උන්නේ.කට්ටියම අවුරුදු පහ හය වගෙ වයසේ පොඩ්ඩෝ. ඉතින් එක ගෝසාවයි පටන් ගන්න කලියෙන්.. වට පිට බැලුව මට පෙනුනේ සිනමාසාලාවේ ජනකායෙන් බහුතරයම පුංචි පොඩ්ඩන් බවයි.


වැඩිහිටියන්ට පමණයි පූර්ව ප්‍රචාරණ??


දැන් ඔන්න ‍ෆිල්ම් එක පටන් ගන්න විනාඩි පහ දහයක් කලින් එන, වෙලඳ ප්‍රචාරකයන්ගේ සහ චිත්‍රපට ප්‍රචාරකයන්ගේ වේලාව ආවා...  දෙවියනේ... මේ පොඩි දරුවන් ඉස්සරහා දිගෑරෙන මත්පැන් පාන, කුජීත බාල ගනයේ අනඟ දසුන් යද්දී (ඉස්සරහට එන්න තියෙන චිත්තරපට) මටත් පු‍ටුවෙ ඉඳන් ඇඹරෙන්නයි සිද්ද වුනේ. පොඩි උන් කුචු කුචු කියනවා. සද්ද නවතිනවා. හපොයි. සිනමා ශාලා හිමියන් මීට වඩා පරෙස්සම් උනොත් හොඳ නැද්ද හැබෑට? පවුලේ සැමට එකට සිට නරඹන්න කියා පෝස්ටර් ගහන, චිත්‍රපට ධාවනය වෙද්දි , පොඩ්ඩක් සංයමයෙන් යුතු පූර්ව ප්‍රචාරණ පමණක් පෙන්වන්න. නැතිනම් දෙමාපියන්ට දෙවරක් හිතන්න සිද්ද වේවි චිත්තරපටියෙ නම් දානකල් දරුවො තියාගෙන එලියෙ ඉන්නවද කියලා.


වැඩිහිටියන්ට පමණයි


ඇත්තෙන්ම මේ සටහන චිත්‍රපටය ගැන හෝ කුඩා දරුවන් ගැන පමණක්ම නොවෙයි. මේ සටහන පූර්ව ප්‍රචාරණ පිලිබඳව ලියවෙන්න යන දෙයකුත් නොවෙයි.  ලමා චිත්‍රපට, ලමයින් යොදා වැඩිහිටියන්ට තැනූ චිත්‍රපට, වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට යනාදී විවිධ චිත්‍රපට වර්ගීකරණය විය යුත්තේ ලිංගික දර්ශන පිලිබඳව සැලකීමෙන් පමණක්ද යන්න එක් කාරණයක් හැටියට මා ඉස්මතු කරන්න කැමතියි. මගේ නම් පුද්ගලික අදහස , මහින්දාගමනය යනුත් වැඩිටියන්ගේ දරා ගත හැකි පරිණත මනසට වඩා සුදුසු, එනම් සංවේදි සිතැත්තන්ට සහ විශේශයෙන්ම කුඩා දරුවන්ට නැරඹීමට නුසුදුසු ප්‍රකෝපකාරී දසුන් අඩංගු චිත්‍රපටයක් කියායි.


ඇයි ඒ ?


එහි පෙන්වන ගහ මරා ගැනීම්,කපන කොටන දර්ශන,නාගයකු කඩුවෙන් කොටා දැමීම, යක්ශ ඇදහිල්ලට යොමුව සිටින අග බිසවුන් වහන්සේ පුහුලක තැවරුනු ලේ නලලේ තවරා ගැනීම, තුවාල දර්ශන, වනයේ සාවෙකුට පිහියක් විසි කොට දඩයම් කරන ගැහැනියක් කන් දෙකින් මිය ගිය සාවා ඔසවාගෙන යාම, කුරුල්ලෙකු හී පහරකින් ඇද වැටීම (මේ කිහිපයක් පමණයි) මේ දර්ශන ඉදිරිපත් කොට ඇති ජුගුප්සා උපදවන,සිත් බොහෝ කැලඹෙන සුලු ආකාරය කොතරම් මා සිත සසල කලාදැයි යන්න ඔබට එක්තරා විහිලුවක් වන්නට පුලුවනි. එහෙත් එම දර්ශන දැකීමෙන්, මට පසෙක හිඳ හුන් අහින්සක පැටියා 'අනේ, අම්මේ පවූ අර හාවා, අනේ අම්මේ බයයි' කියමින් අර අපහසුවෙන් තිගැස්මෙන් නරඹනු දු‍ටු මට දැනුනේ කිව නොහැකි තරම් සංවේගයක්. මා ඇපොකැලිප්ටෝ නැරඹුවාට මා එය කුඩා දරුවෙක්ට නම් සුදුසු බව කියන්නේ නෑ ලිංගික දර්ශන නොමැති වූ පමණින්. මන්ද කුඩා දරුවෙක්ගේ අහිංසක පිරිසිදු මනසකට බොහෝ හානිකර වූ,  බියජනක දර්ශන , අපුල සහගත දෑ, ලේ වැගිරීම්,සෘණ ආකල්ප ඇතුලු වන දසුන්, ග්‍රාම්‍ය කතා විලාශ කුඩා දරුවෙක්ගේ ඇස ගැසිය යුතුයැයි මම නම් නොසිතන නිසා.


සිනමා සදාචාරය වැනසෙන්නේ 'අක්ෂරයෙන්' පමණක්ද?


අක්ෂරය යනු 'ඊයා..ජරා' ගනයේ කුණුහරුප චිත්‍රපටයක් යයි කියන ඊනියා සුචරිතවාදින් මා දැක තිබේ. අක්ෂරය යනු 'සුපර්බ්' සිනමා නිර්මාණයකැයි කියන, හඳගම කාටවත් බැරි සෙල්ලමක් දැමුවා යයි කියා තමුන් පොර වෙන, පොරවලුත් මා දැක තිබේ. ඒ ගැන මගේ පුද්ගලික අදහස නොකීමේ හේතුවත් පෙර කී වැකි දෙකෙහිම ගැබ්ව තිබේ.


ලංකාවේ මිනිසුන් තුල ඇති අවම මොකක්දෝ එකක්ද මේ? බොහෝ රටවල මෙවන් දර්ශන අඩංගු චිත්‍රපට පූර්ව නිවේදන සහිතව (උදා" සංවේදී දර්ශන , ලමුන්ට සහ සංවේදි සිත් ඇති අයට නැරඹීමට අපහසු දර්ශන ඇති බව)  කල් තියා දැනුම් දෙනවා. ඒ වගෙම මේ වන සතුන් යොදා ගැනීමේදීත්, මේ සතුන් ඇත්තටම මිය ගියාද හෝ ඒවා නිරූපණ පමනක්ද යන්න මා දන්නේ නෑ. එහෙත් පරිසරය උඩ තබාගෙන රුක් රෝපන දින කරන, පොලිතින් අහුලන සංස්කෘතියක ඉන්න අපට මේ දර්ශාන පිලිබඳ දැනුවත් වෙන්නටවත් අයිතියක් බොහෝ විදෙස් චිත්‍රපටනම් ලබා දෙනවා. ඔවුන් එය සඳහන් කරනවා චිත්‍රපටය අවසානයේවත් අඩුම ගනනේ මේ සතුන් නිරූපණ සඳහා පමනක් යොදා ගත් බව , මේ සතුන් සැබවින්ම මරා නොදමන ලද බව (එසේ නොකලා නම් )  මම නම් දන්නේ නෑ ඒ සදාචාරය නම් අපේ රටට කවදා ඒවිද කියා..


සිය රඟපෑම වෙනුවෙන් ගාස්තුවක් නොලැබූ , නිර්වින්දනය වී හෝ සිය නිසග සත්ව භාවය සිනමාපටයක් වෙනුවෙන් කැපකලාට ඒ හාවාට, ඌරාට පොඩි හෝ ක්‍රෙඩිට් එකක් දීම යුතුකමකැයි, මොලේ කුරුවල් වූ මට සිතේ


දර්ශනයක් තාත්වික වන්නේ, තීව්‍ර වන්නේ පෙන්වන්නා තුල හෙණ ගහන්නාක් මෙන් තිගැස්මක් පමණක් ඇතිවීමෙන් නම්, මින් මනත මා  තාත්වික දර්ශන නොබලා සිටින්නට තීරණය කරනවා.  මා දන්නා තාත්විකත්වය බොහෝ විට මා දැක තිබෙන්නේ බොහෝ සංයමයෙන්  රූප භාවිතාවෙන්, සංගීතය, ආලෝකය යනාදී තව බොහෝ උපකාරකයන් අනුසාරයෙන් කෙමෙන් තීව්‍රත්වයට ඔසවා තැබූ දර්ශන කියා කියන්නටත් කැමතියි.




චිත්‍රපටියකට ගලා යාමක් අනවශ්‍යද?


මුලින් කී කාරණාවට මා ආයෙමත් ආවොත්, චිත්‍රපටය ඇරඹෙන්නේම මහා පීඩාකාරී ගෝසාවකින්. ඒ අශෝක රජ සමයේ යුද්ධයකින්. ඒ අල්ල පනල්ලේම විනාඩි බාගයක්වත් ගත වන්නට මත්තෙන් සාමණේර හිමි නමක් දැක වහා සත්‍යාවබෝධය ලබන අශෝක අධිරාජ්යයන් සිනමා පටයට සම්බන්ද කරගෙන තිබෙන මහා දඩිබිඩිය , මේ චිත්‍රපටයට ඉතා දුර්වල ප්‍රවේශයක් ලබා දෙනවා කියලයි මට හිතෙන්නේ. එය ප්‍රවේශයකට වඩා කඩා බිඳගෙන ඇවිත් සියල්ල වනසා විනාඩියෙන් අතුරුදන් වන වල් අලියෙක් වගේ මහා කලබගැනියක් බව මට දැනුනා. 


මට හිතෙනවා මෙහි අධ්‍යයක්ශක වරයා අප අතීත කතාව මනා අධ්‍යනයකින් පසුව මෙය නරඹන්නට ආයුතු යැයි පූර්ව නිගමනයක් සිටීමෙන් , බොහෝ දෑ එක අල්ලට ගෙන බෙදන්නට ගොස් වැඩේ අනාගෙන නම් තිබෙන බව..සිනමාපටයක තිබිය යුතු,  දර්ශනයෙන් දර්ශනයට ඇති ගලා යාම ගැන නම් මෙහි සිතා වත් පලක් නැහැ. අනේ මන්දා මේ ඇදකුද මෙතරම්ම පේන්නේ අපූරු විදෙස් චිත්‍රපට නැරඹීමෙන් මොලේ කුරුවල් වී තිබීම නිසාම විය හැකියි. මම සිනමා විෂය අධ්‍යනය කර නම් නෑ. ඒත් මිනිස් සිත් සන්තානයෙහි ඇති වන කැලඹිලි ගැන මට වචනයක් කියන්නට අයිතියක් ඇතැයි මා සිතනවා. අඩු ගානේ පෑ තුනක් පුරාවට මා වින්ද දුකේ නාමයෙන් :-)


වයලන්ස් (violence) වලින් පසු එකපාරටම දහම් සිසිල


චිත්‍රපටයේ අගභාගය පිලිබඳව මට නම් සතු‍ටු විය හැකි හොඳම දේ , අර මුලින් පෙන්වන ගෙල සිඳීම්, කැපීම්, කෙටීම් , තුවාල, ලේ දර්ශන වලින් එක පයින්ම මිදී, දහම් සිසිලෙන් ලතෙත් දෑ දකින්නට ලැබීමයි. එක අතකින් ඒ මුලින් දකින දසුන් සමුදායෙන් සිදුවන මානසික කලබගැනියට පසුව සැබවින්ම සිහිල දැනෙන බණ පදයක් සමග මඳක් හෝ ගලනය වන කතාවක් ඉදිරිපත්කලාට මා අධ්‍යක්ෂකවරයාට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.. නැතිනම් මගේ මනසට පවා ඒ ඝෝෂාව දරන්නට අපහසු වී තිබූ නිසා.


දොඩම් ගොඩ සහ හිස බේරා ගැනීම


සිද්ධීන් ගොඩක් දොඩම් ගොඩ බදා ගත් අයුරෙන් වමාරන්නට යාමෙන්, ඉතා දුර්වල සංස්කරණයෙන් සහ ආධුනික කැමරාකරණයෙන් වෙහෙස වූ,  මා සැබවින්ම කලකිරිය යුත්තේ,  එක එක ජාතියේ හොඳ හොඳ චිත්‍රපට බලා මනස කුරුවල් කරගත් මා ගැනද, එසෙත් නැතිනම් නිර්මාණශීලිත්වය සැබවින්ම තිබියදී මූල්‍යමය හෝ වෙනත් බලපැම් වලින් මිරිකී හිතේ හැටියට දෙයක් කිරීමට ඉඩ සහ ඉස්පාසුවනොලැබෙන නිර්මාපකයින් ගැනද , එසෙත් නැතිනම් ඇත්තෙන්ම මේ හිඩැස් වලින් දුප්පත් සිනමාවක් අමාරුවෙන් ඇපෲව් කරන මගේ මවු රට ගැනදැයි මටම සිතා ගන්නට නොහැකි වුනා.


ගැලවුම්කරුවන් කිහිපදෙනෙක්


චිත්‍රපටයේ  ජීවමය ගුණය රකින්නට  සිය නොමඳ රංගන හැකියාව නොමසුරුව ප්‍රදානය කල දිල්හානී ඒකනායක , දුලීකා මාරපන, හේමසිරි ලියනගේ, තොරොම්බල් වෙලෙන්දාගේ චරිතය පණ පොවන නම නොදන් නළුවා සහ ජයනි සේනානායක ට මාගේ තුතිය. සැබවින්ම ඇ‍ඟෙන්ම රඟපානවා මා නම් දු‍ටුවේ ඔවුන්ම පමණකි.


ඉතිහාස ටොපිය


ප්‍රේක්ශකයාට ඉතිහාස කතාවක් නැමති ටොපිය දුන් පසු එහි රංගනය, කැමරාකරණය,ප්‍රබල රංගනය , සංස්කරණය මෙන්ම සිනමා ප්‍රකාශනය සහ ගලායාම ගැන කොහෙත්ම තකන්නේ නැතැයි මේ නිර්මාපකයන් උපකල්පනය කර ඇතිවාක්ම මෙනි. අනෙක් අතට බැලූ කල අපට වඩා දහස් ගණනක් හොඳ චිත්‍රපට නරඹා, චිත්‍රපට නිපදවා, නිසග හැකියා ඇති නිර්මාපකයින්ට මේ වෙලා ඇත්තේ අහවල් එකක්දැයි අපටම විමතියක් උපදී.


මෑත ඉතිහාසයෙන්


තවමත් මෑත ඉතිහාසය , සැබෑ විදනීය සිනමාපටයක් කියා දෙයක් නිපදවූයේ 'සිකුරු හතේ' තුලින්ම පමණකි යන විස්වාසය මා තුල පවතී. ඒ 2008හි බව මම සංවේගයෙන් සිහි කරන්නෙමි. මචං චිත්‍රපටය අමතක නොකරමි. එහෙත් ඒද සිකුරුහතේ තරම් නම් නොවේ. ආගන්තුකයා ද මා යම්තාක් දුරට කතා රසය අත්විඳි චිත්‍රපටයකි. 'ආකාස කුසුම්' අවාසනාවට මට මිස් වී ගියේය. ඒ නිසා ඒ ගැන නම් නොදනිමි.


කෝකද රහස?


පුරහඳ කලුවර, අස්වැසුම, පවුරු වලලු යුගය මම මහත් තෘප්තියෙන් සිහිකරමි. ගම්පෙරලිය , රේඛාව , දුහුල් මලක් , හඳයා මට සිහිපත් වේ. 1998 දී පමණ එකක් නෑර, සෙනසුරාදා රාත්‍රියට නැරඹූ, ලෙස්ටර් ජේම්ස් පීරිස් අභිනන්දන සිනමා නිර්මාණ දැක්ම මා ලංකාවේ සිනමාව දු‍ටු පලමු ජනේලය විය.  එමෙන්ම lake house , memoirs of a geisha, big fish, forrest gump, apocalypto,lost in translation යනාදී නම් කියා ඉවරයක් කළ නොහැකි , මාහැඟි නිර්මාණ තුල ඔවුන් මිනිස්කම අභිබවා ගිය අධිමානසික මෙහෙයක් කලාවත්දැයි කුතුහලයෙන් තවමත් පසුවෙමි.


එහි තිබූ රූප රාමු උදෙසා මිලියන ගණන් වියදම් වී දැයි කුතුහලය මා සිත පෙලයි. මුදල් කෙල කෝටි ගණනක මිල අධික නිර්මාණත් නොවී , නැ‍ටුම් දර්ශන සහ සමූහ දර්ශන සඳහා වාර්තාගත වියදම් පොත් වල නොලියවා,  ස්වභාවික දර්ශන තල මත  , ටොපියකට වඩා දෙයක්, කොටින්ම අංග සම්පූර්ණ සමබල ආහාර වේලක්ම දෙන්නට ඔවුන් සමත් වූ  රහසට එක එක අහුකොන් මම හොයා ගන්නට වෙහෙසෙමි. ඉවසීම , සංයමය, කැපවීම, අධිෂ්ඨානය, කාලය ගැනීම, මූල්‍යමය නිදහස, දේශපාලනික බලපෑම්,සිතීමේ නිදහස.... මට මෙයාකාරයෙන් වචන කිහිපයක් ඔලුවට විත් එක මත එක හැප්පී නතර විනි.


ප.ලි.
මම ඔබට පොරොන්දුවක් වීමි. මේ ලිපිය මහින්දාගමනය වගේම වෙනු ඇතැයි ශපථ කලෙමි. එසේය. එක් අන්තයකින්  පටන් ගෙන අනෙක් අන්තයෙන් ඉවර කරන්නට , බ්ලොග් එකක් විතරක් ලියා පණ්ඩිතකම පෙන්වන මටද අයිතියක් තිබේ. එනිසා වයලන්ස් එකෙන් පටන් ගෙන දහම් සිසිලෙන් අප තෙමා ලූ මහින්දාගමනය ගැන සරලව පටන් ගෙන සීරියස් මූඩ් එකෙන් අහවර කළෙමි.


Thursday, August 04, 2011

[188] 芸者 හෙවත් ගේෂාවක් සොයා ගියෙමි





ඈ මන්මෝහනීය සුරූපිනියකි... එමෙන්ම සියලු කලාවන්හි , ආචාර ධර්මාදීන්ගේ අග්‍ර පුහුණුවක් ලද්දීය. ස්වකීය ගනුදෙනුකරුවන්ගේ චිත්ත සන්තානය පිනවීමෙහි ලා ඈ මේ සියල්ල උගනින්නීය.. කෙටියෙන්ම කිවහොත් විනෝදය , සතුට සහ කලාත්මක හැකියාවන්ගෙන් ගනුදෙනුකරුවන්ගේ ඓන්ද්‍රියයන් සනසවන්නීය.. සිරුර කිසි ලෙසකින්වත් අලෙවි නොකොට ඈ ඈගේ කාන්තා භාව ලීලාවන් අලෙවි කරන්නීය....


තේ පෑන් සාද , ප්‍රිය සම්භාෂණ , සමූහයක් එක්ව සතුටු වන ඕනෑම අවස්ථාවකට ඈ සිය සේවය වෙනුවෙන් සැදී පැහැදී සිටින්නීය. කාන්තා ලාලිත්‍යය , රූ සොභාව , බැල්ම, සිනහව, ආගන්තුක සත්කාරය , සංගීතය, නර්තනය , ප්‍රිය කතාව යනාදී නාරි ලාලිත්‍යයේ සියලු සුන්දරත්වයන් ගේෂාවගෙන් සිය ගනුදෙනු කරුවන්ගේ සිත් දිනා ගන්නීය.




සැබැව නම්, ගේශාව නිසාවෙන් දිනන්නේ ඉහල පෙලේ ව්‍යාපාරිකයන්ය.... සැබැවින්ම ඒ ඔවුන්ගේ ගනුදෙනුකරුවෝය... ගේෂාවන්ගේ නොවේ....


芸 මේ අකුර කියන්නේ 'ගේ' - ඒ කියන්නෙ කලාවය
者 මේ අකුර කියන්නේ 'ශා' - ඒ කියන්නේ පුද්ගලයාය...
කොටින්ම ගේෂාවන් කියන්නේ තද විනය නීති රීති පවත්වාගෙන යමින් , සිය ගනුදෙනුකරුවන් කලා හෑකියාවන්ගෙන් ස්ත්‍රිත්වයෙන් පිනවන කලාකාරියන් කොටසකට...


ජපානයේ ඇතැම් ඉසවු හිදී ඈ  ගේකෝ (芸子) යන නම ගන්නීය.....


සුදෝ සුදු මුහුණු ආලේපන , ජපාන සාම්ප්‍රදායික කිමෝනෝව,  උස් වන්නට බැඳි හිස කෙස් මෝස්තරය , ඇය ඇගේ කම වසා ලන ගේෂාවගේ නිල ප්‍රතිරූපයයි. ඈ තවදුරටත් ඈ නොවේ. ඈ අනුන් සඳහාය. එහෙයින් සියලු දුක්ඛ දෝමනස්සයන් වසා ලන ඒ සුදෝ සුදු මුහුණ ඈට නැතුවම බැරි වීම පුදුමයක් නොවේ...



ජපන් බෝනික්කා යන වදන අපේ වහරට පැමිණියේද ගේශාවන් නිසාදෝහෝයි මම සිතමින් සිටිමි...


ගේශාවන්ගේ අතීතය යම් පමණකට කියවද්දී මට හැඟුනේ ඒ පුරාවෘත්තය ජපාන ගැහැනියම කියවීමක් ලෙසිනි.
සබෘකෝ නමින් හෑඳින්වුනු අනාථ ගැහැණු දරුවන් සිය ගත මෙන්ම සිතද පිනවීමට යොදා ගෑනුනේ එක්දහස් හයසිය ගණන් වල සිටමය. 
 ජපාන පිරිමින් එකල තද නීති වලින් සිය කායික අවශ්‍යතා විශයෙහි බෑඳී නොසිටියහ. සාම්ප්‍රදායික බිරිඳ යනු දරුවන් රෑකබලා ගන්නා, ගෘහ පාලනය කරන්නාවූ තනතුරයි... පිරිමිනට සිය සතුට උදෙසා එවන් සේවා සපයන ලඳුන් කරා යන්නට බාධාවක් නොවීය.. අනේ... !! එය 'නිදහස, යුතුකම හා වගකීම තුන් ආකාරයකින් සන්තර්පනය කිරීම ' විය යුතුය...

මම නේක වර්ණ රටාවන් ඈඳෙන පින්සල් තුඩින් , ආසියාතික කහ මුහුණ සුදු වෙන අයුරු බලා හිඳිමි. නිදහසේ ගලා හෑලෙන දිගු කෙලින් කෙස් වෑටිය තද කොට ඉහලට බෑඳෙනයුරු බලා සිටියෙමි...  රෝස තොල් විදහා සිනහසෙනු වෙනුවට සුවිනීත ගැහැණියකගේ භාව භාව ලීලා විදහා දක්වමින් ඈ මඳ සිනහා පෑ යුතු වන්නීය. දෙපා ලෑසි ගමනින්, ලී සෙරෙප්පු එකට ගටමින් ලඟ ලඟ පා යොමමින් යා යුතු වන්නීය...

කිමෝනෝවේ තද පටි වලින් සිහිනිඟ මෙන්ම හදද බෑඳ තබා, කෝල දෑත් නලවමින් ඈ නෙතඳුනක්ම විය යුතුය... සවන පිනන මියුරුසර මෙන්ම තාල වලට රෑඟිය යුතුය... 

ආලයත් , ජීවයත් , සතුටත් , ප්‍රේමයත් .. ගේශාවන් උදෙසා නම් නොවේ.. ඈ අනුන් උදෙසාය...   සිය සිත මෙන්ම ගතද ඈ තුලම සිර ගත කොට ඈ සිය භාව ලීලාවන්ම වෙන්දේසි කළ යුතුය. ඒ ඈ දෙස බලා සිත සනහා ගන්නට ඈ සොයා එන දෙනෝදාහක් වූ සුන්දරත්වයට ලොබ බඳින්නන් වෙනුවෙනි...

ගේශාවකගේ මේ අනුවේදනීය ඉරණම අපූර්ව ලෙසින් ලියැවුනු Memoirs of a Geisha නරඹා මෙය ලියන්නට සිත් විනි...  

ගණිකාවකද නොවූ , නගර ශෝභනියකද නොවූ, කලාවෙන් අග තැන්පත් මෙන්ම රුවෙන්ද අගතැන්පත් වූ ඇගේ හදවත ගැන , ගේශාවකගේ ආලය ගැන, වර්ගයා බෝ කිරීමේ සොබා දහම් නීතියේ එක පේලියක හෝ සඳහනක් වී නම් , ඇගේ හදවත තුල ආලයේ මං පෙත් විවර කළ සෙනෙහෙබර පුරුෂයෙකු සෙවණෙහි ගේශාවකද 'බිරිඳක්' වන ජනකතාවක් කොහේ හෝ ලියවෙන්නට තිබිණ...



පසු සටහන
------------

Memoirs of a Geisha හි 

සිය හදවත තුල තිබූ ආලය මේ කාරුණික ධනවතා ඉදිරියේ ජීවිතයේ ප්‍රථම වතාවට දිග හරින සයුරී, ඔහුගේ අත ගෙන සකුරා මාල් ඇද හැලෙන උයනට ඈතට ඇවිද යන පසුබිම් දසුනක් සමගින් මේ වදන් කිහිපය සවනට මුසු වුනා...


You can not say to the sun, 'more sun' 
or to the rain 'less rain'
 to a man a geaisha can only be half a wife

we are the wives of nightfall...
.
.
after all these are not the memoirs of an empress
nor of a queen
these are the memoirs of another kind

මේ සොඳුරු සිනමාපටයේ අවසන් දසුනෙහි කුඩා සයුරී ප්‍රීතියෙන් දිව යන දසුනෙහි රැඳුනු නෙත් තුල කඳුලක් ඉතිරි වූයෙන්, මා ඒ පද කිහිපය සිහලෙන් ලියා තබමින් අදට සමු ගන්නම් 

තවත් උණුසුම දෙන්නැයි
ඔබේ යැදුම
නොහැ‍ඟෙයි ඉරට
වැසි නොදෙන්නැයි
ඔබ යැද්දාට
කිම පල ?

ගේශාව....
ඈ ඔහුගේ
අර්ධ භාරී මය..

ඔහු හා මා  සරණ යන
සන්ධ්‍යාව
මගේය
...
කාලය පියඹා ගිය තැන

අධිරාජිනියකගේ
හෝ
‍රැජණකගේ
සාඩම්බර පුරාවෘතයක්
මේ කතාන්තරය තුල නැත..
මේ 'ඇගේ'
කතාවක් පමණි
.
.
.

Sunday, March 27, 2011

[168] අමුතු පෝස්ට් එක සහ ශෝට් ෆිල්ම්



මේ තමයි මම වෑඩි වශයෙන්ම සසල වුනු කෙටි චිත්‍රපටයක් ....  නැරඹීමෙන් අනතුරුව මම විනාඩි කිහිපයක් එක දිගට වුනේ මොකක්දැයි හිතා ගන්නට බැරිව බලා හිටියා. කොටින්ම ගල් ගැසුනා....
විනාඩි කිහිපයකදී සිත මෙතරම් සසල වුනේ කෙසේදෑයි මටම හිතා ගන්නට බැරිව මගෙ හිත ලත වෙනවා... 


මේ හුස්ම වැටෙන සජීවී මිනිසුන් නොවෙන බව... ඈසිපිය ගෑහෙද්දි ඒ සිරුරු ඔස්සේ රිහිරු නොදුවන බව මට මොහොතකට නොව සදහටම අමතක වුනා...
 ^^^^
ශෝට් ෆිල්ම් වලට මගෙ හිතේ ආසාවක් ඈති කලේ අනුරාධ මල්ලියා... 
පහුගිය දවසක එයා හෑදුව ශෝට් ෆිල්ම් එක බෑලුවම මට හිතුන දේවල් කිහිපයක් තිබුනා..


එකක් තමයි අපි තිබෙන සම්පත් ගැන දොස් නගන්නට ගත කරන කාලය , අපට නෑති නව තාක්ෂණය ගෑන අවලාද නගන්නට ගත කරන කාලයෙන් හතරෙන් එකක් සිය නිර්මාණශීලිත්වය උදෙසා කැප කලානම්... බිහිවෙන නිර්මාණය අපේ රටේ අනාගතය ගැන සුබ බලාපොරොත්තුවක් එක් කරනු ඇති බව... 


අනෙක තමයි, කිසිදු ස්ථායී සිනමැටෝග්‍රැෆි පදනමක බරසාර ලෙස නොපිහිටමින් අනුරාධ මෙතරම් හපන් කමක් කලානම්, ඔහු පෝෂණය ලදොත් ඔහුගෙන් කෙතරම් හොඳ නිර්මාණකරුවෙක් බිහිවිය හැකිද යන වග ...


මේ පෝස්ට් එක වෙන් වෙන්නේ... pixar ශෝට් ෆිම් එක වෙනුවෙන් නොවෙයි. මේ පෝස්ට් එක වෙන් වෙන්නෙ අනුරාධ මල්ලි වෙනුවෙනුත් නොවෙයි... මේ පෝස්ට් එක වෙන් වෙන්නෙ තිබෙන සම්පත් වලින් ලෝකය වෙනස් කල හැකි සරල එහෙත් දුලබ අපූරු මිනිසුන් වෙනුවෙන්... 
^^^^
ලෝකය වෙනස් කරන අපූරු මිනිසෙකුට....
ලෝකය එක දවසක හිට , හැමදාමත් සුන්දර වුනේ 'නුඹ' නිසා... ලෝකයට නුඹ ආ අරමුණු දෙකක් ගැන මට කිව්වා.... ඉන් දෙවෙනි එක... ලෝකය වඩා යහපත් තැනක් කිරීම... ඒ මගේත් දෙවෙනි පැතුම... පෑතුම් ගොඩක ජීවිතේ සිර වූයේ නැහැ. ජීවිතය කිරිල්ලක වගේ මුදා හැරුනා මිසක... එහි තිබෙන්නේ පැතුම් දෙකයි... නුඹට වගේම... ඉන් දෙවැන්න... ලෝකය වඩා යහපත් තැනක් කිරීම...
ඒ වෙනුවෙන් අත් වැල් බැඳ ගන්න හැකිවීම මා ලද විශාලම ජයග්‍රහණය... ... ඒ වෙනුවෙන් මම මේ පෝස්ට් එකේ අයිතිය දෙනවා... 'නුඹ' ට....

Saturday, May 22, 2010

"විදූ" .. බලාපොරොත්තු තැබිය හැකි හඳගමගේ නිර්මාණයක්...!



ලාංකීය චිත්‍රපටි හෝදා පාලු වූ මේ සමයෙහි ....බලාපොරොත්තු තැබිය හැකි , මග බලා සිටිය හැකි අපූරු නිර්මාණයක් විය හැකි යයි මේ සිතේ..."විදූ" - අශෝක හඳගම නවතම සිනමා නිර්මාණය... ඔබත් මෙය නරඹා බලන්න......

ගීතය නම් අපූරුයි... ඒත් පසුගිය සමයේ මුලින්ම ගීත ප්‍රචාරණය කල ඇතැම් චිත්‍රපට ගීතයේ ඇති අපූර්වත්වය නිර්මානයේ පල නොකල නිසා, ගීතය මතම නිර්ණය කිරීමත් අපහසුයි... ඒත් අශෝක හඳගම බලාපොරොත්තු කඩ කිරීම් වලට අපව අවම වශයෙන් ලක් කල නිර්මාණශීලී කලාකරුවෙකු නිසා, ඔව්, බලාපොරොත්තු තැබිය හැකියයි සිතේ...

මා කලින් පෝස්ට් කිහිපයක ලියුව,දරුවෙකුගේ හැකියාව හඳුනා ගැනීම ගැන අපූර්ව පණිවිඩයක් මේ සොඳුරු ගීය තුල අන්තර්ගත වී තිබේ යැයි සිතේ.. අපූරුයි....
මා ආසාවෙන් බලා සිටිනවා මේ නිර්මාණය එලියට එන තුරු.... 

මෙයට සම්බන්ධ පෝස්ට්
විභාගේ තමයි අපේ අභාගේ
මැරුනේ හීනය විතරක් නෙමෙයි.. මැරුනේ මමයි

කාන්තා අයිතිවාසිකම්?? යුතුකම්???


 

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->