Friday, January 14, 2011

[139] වසා ගන් දොර, මගේ හිමියනි..


 ~'~
අහස ගුගුරා , අකුණු පුපුරා, 
මගේ හිත වැන්දඹු වුනා
වසා ගන් දොර, මගේ හිමියනි,
නුඹට රිසි නම්, යන්ට යන්නෙමි

කාලයක් නැති , තාලයක් නැති
විජිතයේ , කටු ඔටුනු හැර යමී
කාලයක් අපි , ආදරෙන් සිටි
සොඳුරු මතකය, අරන් යන්නෙමි

බැන්ද රන් දම්, මගේ ගෙල වට
මුදා විසි කොට , අඬන අහසට
මගේ සිහිනයෙ  , නුඹ නිදන් කොට
කුරුටු ගී  , දහසක් ලියන්නෙමි
~'~

චිත්‍රපටයක් නරඹද්දී නම් මා ඕනෑ තරම් හඬා ඇති. ඒත් ගීයක රූප පෙලක් නරඹද්දී හැඬුවා නම් ඒ එකක් හෝ දෙකක් පමණයි. මේ එදා මෙදාතුර මා සිතේ ඉහලින්ම සිටින නවකතාවක් තේමා වී නිර්මාණය වුනු හරිම ලස්සන ටෙලියක් සහ තේමා ගීයක්.  විලාපයක ස්වරයෙන් ඈරඹෙන මේ ගීය තුල , දික්කසාදය තුලින් තනිවන ගැහැනියකගේ අසරණ කම, දුක , තනිකම, වේදනාව මෙන්ම අහිමිකම, සහ ජවයද මොනවට පිලිබිඹු වෙනවා. 
නන්දා මාලිනියගේ ශක්තිමත් හඬෙන් සිරුර උද්වේගයෙන් කිලිපොලා යන්නාක් මෙන්ම , ජීවිතයේ දුක කලකිරීමෙන් පීඩා විඳින වැන්දඹුවකගේ අනාගතයත් , කිසිදු පවක් නොකොටම, අත් හැර දමන ලද අවිහිංසක ගැහැනියකගේ විලාපය ඒ හඬ තුල දිග හැරෙනවාදෝයි මට හිතෙනවා. 

සස්වාමික කුටුම්භ සෙවණින් අතුගා දමනු ලදුව ජීවිතයෙන් සමු නොගෙන සෙවණක් අහිමි ගැහැනියක්ව දරු දෙදෙනෙකු තුරුලු කරගෙන නිවසින් එලියට බසින අමා , අසිතගේ හැඟීම් විරහිත මුහුණ දෙස හැරී බලනවා මට පෙනෙන්නා වාගෙයි....  කටු ඔටුන්නක් පමණක් වූ, රසය පලා ගිය වෛවාහික ජීවිතයෙන් මිදෙන මේ ගැහැනියගේ දුක , පසුතැවීම හෝ කලකිරීම ගීය පුරාවට තැවරී තිබෙන්නා වගෙයි දැනෙන්නේ. 

මා ගෙලවට බැන්ද මංගල රන්දම් අහසට විසි කොට , මම ලියන්නම් කුරුටු ගී දහසක්ම... අපේ අතීතය ගැන.. බිඳක් හෝ ශේෂව තිබෙන සොඳුරු මතකයන් ගැන.... මා යන්නම් , නුඹ වසාගන් ඔය දොර.... නුඹ සොයන සැනසුම එය නම්. මා එයම කරන්නම්. එය මා සනසාවි. නුඹට නුඹ සොයන සැනසුම දුන්නාට නුඹ පින් දේවි. 

ලෝකය බොහෝම කටුකයි. ඔය දොරට පිටුපා මේ නගන පා සවි ඇත්තේ කෙසේදැයි මටම පුදුමයි. කටුක ලොව තුල මේ අස්වාමික ගැහැනිය , මිනිසුන් සඳහා ගොදුරක් පමණයි. ඒත් නුඹේ පැතුම සපුරා , මා යන්නම්. ඒ කටුකත්වය විඳ බලන්නම්. මා මියෙන්නේ නෑ.මා ජීවත් විය යුතුයි. ජීවත් වන්නේ සිතන්නට දිරියක් නැති සිතත්, අස්වාමික වූ ජීවිතයත් සමග පොරබදන අනාගතයත් පමණයි. 

ඒත් මා යන්නම්.... නුඹ සොයන ජීවිතය නුඹට දී... 
මට යන්නට අවසර ! 

ගීය අහමුද? 

ප. ලි..
දුකා අයියා හරිම ලස්සන පෝස්ට් එකක් දාලා තිබ්බා...  

6 comments:

  1. ලස්සන සිංදුවක් වගේම ලස්සන ලිපියක්.....

    ReplyDelete
  2. ලෝකය බොහෝම කටුකයි. ඔය දොරට පිටුපා මේ නගන පා සවි ඇත්තේ කෙසේදැයි මටම පුදුමයි. කටුක ලොව තුල මේ අස්වාමික ගැහැනිය , මිනිසුන් සඳහා ගොදුරක් පමණයි. ඒත් නුඹේ පැතුම සපුරා , මා යන්නම්. ඒ කටුකත්වය විඳ බලන්නම්. මා මියෙන්නේ නෑ.මා ජීවත් විය යුතුයි. ජීවත් වන්නේ සිතන්නට දිරියක් නැති සිතත්, අස්වාමික වූ ජීවිතයත් සමග පොරබදන අනාගතයත් පමණයි.

    මිස්. මම හිතන විදියට නම් පිරිමියකුට තනිවම ජීවත් වෙන්න බෑ. නමුත් ගැහැණියකට පුලුවනි.. ඒත් සමාජයේ පිරිමි / ගැහැණු දෙගොල්ලම ගැහැණියට ගරහනවා...

    සස්වාමික කුටුම්භ සෙවණින් අතුගා දමනු ලදුව ජීවිතයෙන් සමු නොගෙන සෙවණක් අහිමි ගැහැනියක්ව දරු දෙදෙනෙකු තුරුලු කරගෙන නිවසින් එලියට බසින අමා , අසිතගේ හැඟීම් විරහිත මුහුණ දෙස හැරී බලනවා මට පෙනෙන්නා වාගෙයි.... කටු ඔටුන්නක් පමණක් වූ, රසය පලා ගිය වෛවාහික ජීවිතයෙන් මිදෙන මේ ගැහැනියගේ දුක , පසුතැවීම හෝ කලකිරීම ගීය පුරාවට තැවරී තිබෙන්නා වගෙයි දැනෙන්නේ.
    මාතෘත්වය නම් පදවියත් සමග ගැහැණියට ඇතිවන ආත්ම ශක්තිය මගින් ඕනෑම බාධකයක් ජයගත හැකියි...

    ReplyDelete
  3. සුමිත්‍රා රාහුබද්ධ මහත්මියගේ කෘතිය වගේම මේ ගීය අඩංගු වුණ ටෙලිනාට්‍යත් මං බලලා තියෙනවා. ටෙලි නාට්‍ය නිසා කෘතියට යම් අසාධාරණයක් වෙලා තියෙනවා කියන එකයි මගේ හැඟීම නම්.

    කෝක නමුත් මේ ගීතය ගැන නම් කියන්න ඇත්තටම වචන නෑ. නන්දා මාලිනී මහත්මියගේ ගීතයට අමතරව නදීක ගුරුගේ මහත්මයා කරපු ගයිඩ් ට්‍රැක් එකක් තියෙනවා ඔය ගීතයටම. මං නම් වැඩිපුරම ආසා ඒකට.
    http://www.youtube.com/watch?v=VbAV5s3zOIo

    මේක මං කැමතිම සිංහල සින්දුව කිව්වොත් හරි..

    ReplyDelete
  4. මට නම් ගොඩක්ම දැනෙන්නේ නදීක ගුරැගේ සංගීතඥ්ඥයාගේ ට්‍රැක් එක. ඒකට හැඟීම, mood එක කියන දේ කා වැදිලා වැඩියි වගේ දැනෙන්නේ.

    ReplyDelete
  5. මෙම ගීතයේ නියම භාවයන් විඳින්න නම් නදීක ගුරුගේ ගයන guid track එක අසන්න...එය ඔබව වෙනත් ලොවකට රැගෙන යාවි සත්තමයි.....
    http://www.youtube.com/watch?v=VbAV5s3zOIo&NR=1

    ReplyDelete
  6. ගීතය නම් දෙවැනි පාරටත් අහනවා... මේ පොත බලන්න ඕනි.. ටෙලිය බලනවට වඩා ඒක වටිනව කියල හිතෙනවා

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->