Friday, January 29, 2010

බස් පොලේ දැක, හිත් මලේ මලගිය, මගේ ප්‍රථම ප්‍රේමය…




ඒ 1999. වහින්න වගේ තිබ්බ අඳුරු දවසක.. ගුරු ගෙයින් නික්මිලා කිනම් හේතුවකට හරි වැරදීමකින් වගෙ කලින් ඉස්කොලෙ ලඟ ඇවිත් හිටිය පාසල් වෑන් එකට නැගිල මම අන්තිම පේලියෙ යනව ගජයොත් එක්ක කයිය ගහගෙන… නුවර ඩී. එස්. ලයිබ්‍රරි එක පහු වෙද්දි කොල්ලෙක් වගෙ ජනෙල් පඩියෙ අතත් එලියට දාගෙන කොන්ඩෙත් කපල ( ඒ වුනාට කෙල්ලෙක් කියල සලකුනු වෙන්න බෝ එකකුත් නළලෙ ගහන්) යද්දි බස් ඉස්ටෑන්ඩ් එක ලඟ උන්න කොල්ලො රොත්තක් දැක්ක එක පාරටම…



ඉහල කුලයෙ ලොකු ලොකු කතුන් යන ඉස්කෝලයක් නිසාවෙන් අපගෙ පොල්මන්කාර අහංකාර කමට පින් සිද්ද වෙන්න අපිටත් අපූරුවට අපි ආලය කරන සහෝදර පාසලෙද , එහෙම නැත්නම් උන් වෙනත් ‘හාල්’ ඉස්කෝලෙකද කියල කොල්ලෙක් දැක්ක ගමන් හොයා ගන්න ඇහැකි සහජ ඉවක් තිබුන… ඉතින් මේ කොල්ලො රොත්ත අර කී දෙවෙනි වර්ගයට අපෙ අහංකාර කම විසින් තල්ලු කරල තිබ්බ නිසා කවුරුවත් ( මම පවා) ගානක් ගත්තෙ නැහැ.


ඉතින් ඔහොම එදා ගියා කියමුකෝ… පහුවෙනිදත් එ කොල්ලො රොත්තම දැක්ක… එදා නම් වැන් එකේ අත එලියෙ දාගෙන පස්සෙම සීට් එකෙ යන ඕ ලෙවෙල් වත් ලියපු නැති කෙල්ල දැක්ක මොකක්දෝ අමුත්තක් තියන හරිම අමුතු මුහුනක්…( එ කෙල්ලට ඒ මොහොතෙ ඇස් වල ඇඳිච්ච මුහුණ අවුරුදු 11කට පස්සෙත් අදටත් මතකයි) හරීම උස.. කොල්ලො මැද්දෙ දිග පොල් ගහක් වගේ පෙනෙන, පුදුමාකාර උපශාන්ත ,මුහුණක් තියන, කොණ්ඩෙ තෙල් ගාල පිලිවෙලට පීරපු අහිංසකයෙක්… කෙල්ලට හිතට මොකක්දෝ උනා… කොහේ හරි දැකල තියන වගේ හැඟීමක් හිත අතුල්ලගෙන යන්න වගෙ දැනෙන්න පටන් ගත්ත… එත් 40ට පාගන කසිකබල් වැන් රිය වැඩි වෙලාවක් ඒ මුහුන දිහා බලන් ඉන්න වරමක් දුන්නෙ නැහැ.


දඟකාර කටකාර සිය යහලුවො දිහා දයාවෙන් උපශාන්තව බලා ඉන්නවා විනා, කිසීම විහිලුවක් නොකරන, කිසිම හැඟීමක් නොපෙන්වන ගුප්ත ඒ මුහුණ කිහිප කිහිප වරක්ම එකම තැන මම පාසල් ඇරිල යද්දි එද්දි දැක්ක…. හිතේ තියන් ඉන්නම අමාරු තරම් ඒ මුහුණ මගේ හිතේ හොල්මන් කරද්දි, දවසක් මම මගෙ වැන් සගයට කොලු පැටියව පෙන්නුව.. අහෝ…කල මෝඩකමක මහත…. “ඈ… පිස්සුද ඔයාට ? ලයින් දාන්න වෙන එකෙක් ඇත්තෙම නැද්ද?මොකක්ද අනේ…. ශික්..හුඹහකින් එලියට අරන් වගේ .” ඕන්න මට යාලුවගෙන් ලැබිච්ච ප්‍රතිචාරෙ… මැදැයි… මොන ප්‍රතිචාරෙට උනත් මගෙ හිතේ හොල්මන් කරන ඒ රූපය මකන්න නම් බැරි උනා…


කාලය මෙහෙම ගියා.. ඕ ලෙවල් විභාගෙත් ආවා… අන්තිම දවසෙ තියන වෛකල්පිත ඉන්ග්‍රීසි පේපර් එක දවස ඉතින් අපි අවුරුදු දෙකක් විඳපු විභාග දුක ඉවර වෙන ප්‍රීතිය නිසා පේපර් එක කඩිමුඩියෙ ඉවර කල මම පේපර් එකෙ අන්තිම පි‍ටුවෙ ලියන්න කවියක් කුරු‍ටු ගෑව..පේපර් එකේ අන්තිම පි‍ටුවෙ මගෙ ආදර මතකය ඒ විදියට මුතු ඇට කලා.. ඒ කුරු‍ටු ගෑව ක‍ටු සටහන් විභාග කොලේ අදටත් මා ගාව තියනව හොරෙන් අරන් ආව නිසා… ඒත් ඒක ස්කෑන් කරල මේ බ්ලොග් එකේ දාන්න හිතුනත්, මාව විභාග නීති උල්ලංඝනය කිරීමෙ වරදට හිරේ දැම්මොත්??


ඔන්න ඔහොම දින සති ගෙවිල ඒ ලෙවල් එකටත් ආව… මේ වෙනකොට මගේ යාලුවන්ට මගේ මේ ඒක පාර්ශ්විකව මහා බලාපොරොත්තු තියාගෙන, මම පැය 24ම කෙඳිරි ගාන ප්‍රෙම ප්‍රාර්ථනාව මහ බයක් වෙලයි තිබ්බේ… ඇත්තටම මම ඒ ( අනිත් අයගෙ මතයෙ හැටියට :කැත) කොල්ලව හරීම පුදුම විදියට මනෝ මාලිගාවක සිංහාසනාරූඪ කරලයි තිබ්බේ..


දවසක්… මගේ ප්‍රාණ සමාන මිතුරියක් මා ලඟට දුවගෙන ආව..


“ඔයා දන්නවද? අර ඔයාගෙ ලයින් එක..එදා කීර්ති සර්ගෙ ක්ලාස් එකට ආවානේ කෙල්ලෙක් එක්ක!”


මගේ අවුරුද්දක විතර මනෝ රාජ්‍ය මන්දිරයෙ සිංහාසනය අහෝසි වෙමින් , හිත ඉරි තලල සමතලා වෙලා ගියා.. මගෙ හිත ආදරයෙන් මත් වෙලා, මමම හදා ගත්ත හීන වල අවුරුද්දක්ම ජීවත් වෙලා උන්න බව බිඳ වැටෙමින් කම්පනය වෙන මනස දෙස් දුන්න… ඉහලට ඇද ගත්ත දිග හුස්ම මම බොහෝම දිගට පිට කරල ඒ හුස්මත් අරන් එයාටත් ඒ (කවුරු නමුත්) කෙල්ලටත් මම යන්න දුන්න…


මම අඬපු තරම දන්නෙ මමත්, මගෙ අගුලු ලාපු කාමරයෙ බිත්තිත් විතරයි.. අඬල ඉවර වෙනකොට මට මහා සැහැල්ලුවක් දැනුන… ඒත් හිතට ආදරේ පලමු හැඟීම පහල කල ඒ අහිංසක කොලු ගැටයගෙ නමවත් අදටත් මම දන්නෙ නැහැ. මටම මා ගැන පුදුම හිතුනා.. නමක් නොදන්න, මුකුත්ම නොදන්න, අඩුම ගානේ ඒ කොල්ලවත් මම කියල කෙනෙක් උන්න බව අදටත් නොදන්න ප්‍රාණියෙක් වෙනුවෙන් උපන් ආදරේ නිසා මම කඳුලු හැලුවා..


ඔබ මගේ ලයෙහිම ඉපිද
එහි පුංචි කලක් ජීවත් වී
නොකියාම හැර ගිය
හැර ගිය බව වත් නොදන්න
අදටත් දන්නෙ නැති
සිහිනයක්ම පමණක්ම විය…..


පසුවදන:


අවුරුදු කිහිපයකට පසු අර කී ප්‍රාණ සමාන මිතුරිය සහ අනෙකුත් ප්‍රාණ සමාන මිතුරියන් කැල එකට කතා බහේ උන් විටක ඈ කී දෙයකින් මගේ ලෝකය කොහෙදෝ නැති ඉන්ද්‍රජාලික හැඟීමක අතරමං උනා…

” මේ දන්නවද? අර ඔයා ඒ දවස් වල මැරෙන්ඩ හදපු **** ඉස්කොලෙ කොල්ල? එදා අපි ඔයාට එ කොල්ලට කෙල්ලෙක් හිටිය කියල කිව්වෙ බොරුවක්! මොකද අපිට තේරුන ඔයා ඌ ගැන ෆුල් සීරියස් හිතල වැඩ පාඩු කර ගනියි කියලා… සොරි.. අපි ඔයාගේ හොඳටයි එහෙම කලේ”


හ්ම්ම්….
මම ආපහු දිග සුසුමක් ඇදල අරන් ඒ සුවඳ ඉව කලා.. කොහේදෝ මුල්ලකින් වත් ආයෙමත් දස අතේ හෙවුවත් හොයාගන්න බැරි ඈතක ඒ සුවඳ කොහේදෝ යන්න ගිහින් තිබුනා… මම ඒ සුවඳින් හිස් උන අතීතයේ සුසුම් පොද වා තලයට පා කරලා ඇස් පියා ගත්ත…


කල්‍යාණ මිත්‍ර චේතනා… අන් යහපත… කුලුඳුල් බොලඳ ආදරය… හීන… සිංහාසනය… අහිමි වීම… ඊර්ෂ්‍යාව… ඒක පාර්ශ්වීය දුක…. රවටනු ලැබීම නිසා ඇති වූ තරහව… මේ හැම හැඟීමක්ව එකට ඇනී මුසු වූ සුසුමක් ඉබේම පිට වුනා…

21 comments:

  1. ආදරණීය අත්දැකීමක් වගේ... :)

    ReplyDelete
  2. අත්දැකීම ආදරය ගැන තමා යාලු :-) ඒත් අත්දකින්න තරම වචන ඩිංගිත්තක් වත් හුවමාරු වෙලා නැති නිසා අදටත් එනැන් හදවතේ තියෙන්නේ නොවිසඳුන කොහොම විස‍ඳෙන්න තිබුනාදැයි නොදන්න හිස්තැනක්.... ඔහු අදටත් මම කියා කෙනෙක් ඔහුට ආදරය කලාදැයි දන්නෙවත් නැහැ...
    ප්‍රතිචාරයට ස්තූතියි

    ReplyDelete
  3. යාලුවො කියන අය අපට හොඳ වගේම නරකත් කරනවා. මම නම් හිතන්නෙ මිස්ගෙ යාලුවො හොඳ අය කියලයි.

    ReplyDelete
  4. "මම ඒ සුවඳින් හිස් උන අතීතයේ සුසුම් පොද වා තලයට පා කරලා ඇස් පියා ගත්ත."
    මේ කෑල්ල කියවද්දි මුලු අඟම නිකන් හිරිවැටිලා ගියා වගේ උනා. මොලේ ඇතුලෙන් වොට් 33000ක කරන්ට් 1ක් ගියා වගේ දැනුනා. ඒ ඇයි කියන්නම් තේරෙන්නෙ නෑ.

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. ඔව් රොෂාන්...එයල එහෙම කලේ මගේ හොඳට.... එයාලා කල්‍යාණ මිත්‍රයෝ...

    @අනුරාධ
    විදුලි පරිපථය ඉක්මනට විසන්ධි කරන්න :-)

    ReplyDelete
  7. සෑහෙන්න දැනුනා......

    ReplyDelete
  8. @CD අතුරලිය

    ඔව්... අපේ ජීවිත වල මේ වගේ හෝ මීට සමීප අත්දැකීම් නිසා, සංවේදී වෙනවා වැඩි තමා... මිනිස්කම බෙදා ගත්තාට ස්තුතියි.....

    ReplyDelete
  9. "දඟකාර කටකාර සිය යහලුවො දිහා දයාවෙන් උපශාන්තව බලා ඉන්නවා විනා, කිසීම විහිලුවක් නොකරන, කිසිම හැඟීමක් නොපෙන්වන ගුප්ත ඒ මුහුණ"... ඔන්න ඔය ලක්ෂණ තියයෙන කෙනෙකුට තමා මගෙත් හිත ඇදිල යන්නෙ. මගෙත් පලවෙනි ආදර හැඟීමට උනෙත් ඔයිට සමාන දෙයක්. ඒ නම් 9 වසරෙ ඉන්නකොට.
    ගොඩක් හිතට දැනුනා. හිතුනු දෙවල් වල දිගපලල මම දන්නෙවත් නෑ. ජීවිතේ හරි පුදුමයි.. හිත කැමති අයව අපිට මුණ ගස්සනව. ඊට පස්සෙ එයලව ඈත් කරනව. අපි හූල්ලල හිත හදාගන්නව.ඒත් හිත් වල ඒ කැලැල් ඉතුරු වෙනවා.

    ReplyDelete
  10. ආදරය යනු හුදෙක් පරවයන මලක් සේය.....
    එය දෑස් අග බොදවු ,අන් සතු වස්තුවක් වෙමට පෙර නෙලා ගැනිම ඔබගෙ වගකිමක්ය.......

    ReplyDelete
  11. ඇත්තටම මාරම සිරා කියන්න වචන නැහැ

    ReplyDelete
  12. @ විහඟි

    ඔව් ඒක දෛවයේ සරදමක් තමා..ඒ දුක් කවදාවත් මැකෙන්නේ නැහැ... ජීවිතයේ ආදරය නොයෙක් වර නොයෙක් ස්වරූපයෙන් මතු වෙනවා...ඒත් ජීවිතය එක වගෙමයි...

    @ him
    මා පමා උනා.. අනේ මන්දා....

    @ මම
    ස්තූතියි වචන වලට... :-)

    ReplyDelete
  13. mama ada thamai oyage blog eka kiyeuwe.. meka nam hithata thadinma danena hagimak.matath thinawa me wagema siddiyak
    oya kiyanawa wage e wage mathaka api jiwath wenakam a suwadath ekka apith ekkama jiwath wenawa hamadama..
    kiyanna bari tharam sundarai

    Nahsa

    ReplyDelete
  14. yah nasha...
    apita hitha gannavath baea ayi api hithin echchara dhura yanne kiyala. eath eaka thamaa heena aadharea....

    ReplyDelete
  15. Came here few days every now & then, Read few of your posts, But this one made me make my first comment, Its astonishing n Some where in every ones heart there is these little little love stories making a life long impact, may be a scar if you like to call it that way

    Good Work, This evokes a past which any one would cherish.

    ReplyDelete
  16. ඇත්තෙන්ම හදවතේ කොනකටම වදින්න දැනුනා මේ පෝස්ට් එකත් නගේ .. . .

    කාට දොස් කියන්නද කවුරු වැරදි කාරයෝ කියලා හිතන්නද කියලා හිතා ගන්න වත් බෑ . . . .

    කිසි කෙනෙක් ගැන තරහක් නැතුව ඇති ඔයාගේ ලස්සන හදවතේ මට විස්වාසයි . . ඒත් පසුතැවීමක් . . .!!!

    ReplyDelete
  17. හොඳයි අක්කේ.මරු!
    ඔහොම කතාවකට හොඳ හිතක් තියෙන කෙල්ලෙකුයි, හොඳ හිතක් තියෙන ඒ කෙල්ලගේ යාලුවෙකුයි ඕන!

    මම ඔයා ගැන දන්නේ නැහැනේ අක්කේ.ඒත් ඔයාගේ යාලුවා නං මරු!

    ReplyDelete
  18. හදවතට දැනුන පෝස්ට් එකක්..

    ReplyDelete
  19. එල ඉන් එහාට කියන්න දෙයක් නැති තරම්...
    කාටත් නොකියන තාලෙ.තමන්ගෙ හිත් කාන්තාරෙ වැලි දහරාවන්ට යටවෙච්ච පුන්චි පුංචි රස කතා ගොඩක් අයට තියෙනව. මනුස්ස හැගීම් බොලද ලේබලේ අලවල ඒ අදහස් එක්ක පාපන්දු කෙලින උන් ඉන්න සමාජයක.මනුස්ස හැගීම අමුඅමුවෙ එලියට දාන්න තරම් කාරැණි වීම අගය කරනව...

    ReplyDelete
  20. මටත් මේ හා කිට්ටුවෙන් යන අත්දැකීමක් තියෙන නිසාදෝ මේ කතාව තදින්ම හිතට දැනුණා. උසස් පෙළ කරන සමයේ එකට ටියුෂන් පන්තියේ හිටි, නිශ්ශබ්ද දුප්පත් කොල්ලගෙ නමවත් මම දන්නෙ නෑ. මමත් ඒ දවස්වල හුඟක් ලජ්ජාශීලී කෙනෙක්. ඔහුත් එහෙමයි. අඩුගානෙ කා එක්කවත් කිව්වෙවත් නෑ මම. නැත්නම් එකම පන්තියෙ හිටි කෙනාගෙ නමවත් දැන ගන්න තිබුණා අඩු ගානෙ. දැන් ඉතින් කොහෙන් හොයන්නද? මතකය ආවර්ජනය කර කර ඉන්නවා මිස... :(

    ReplyDelete
  21. ඕකට කියන්නේ සංසාරගත ආදරේ කියලා..එහෙම නේද අක්කේ?ඔය දෙන්නා සංසාරේ කොහේ හරි මුණ ගැහිලා ඇති.හැමෝටම ඔය වගේ අත්දැකීම් තියෙනවා.


    ඒත් ඒක ස්කෑන් කරල මේ බ්ලොග් එකේ දාන්න හිතුනත්, මාව විභාග නීති උල්ලංඝනය කිරීමෙ වරදට හිරේ දැම්මොත්??

    ආං ඒ ටික මරු.හිනාවෙලාම පණ ගියා.

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->