Tuesday, February 03, 2015

[316] දෙවියන් දකින්නට PK බලන්න එන්න - (sorry) - PK දකින්නට දෙවියන් බලන්න එන්න

දෙවියන් දකින්නට PK බලන්න එන්න - (sorry) - PK දකින්නට දෙවියන්  බලන්න එන්න

මා පළමු වතාවේ PK නැරඹුවේ ඉතාමත් කම්මැලිකමෙනි. ඊට හේතුව බස තේරුම් ගන්නට තරම් හින්දි දැනුමක් මට නොතිබූ නිසා ,වැරදි උප සිරැසි මත යැපෙන්නට වීමය. කවුරු හෝ ඒ යොදා තිබූ උප සිරැසි වල 98% ම තිබ්බේ වැරදි ඉන්ගිරිසිය. වැරදි ඉන්ගිරිසිය හරි එකට ගලපා රූප රාමුව දෙස බලද්දී අස්සයා පැනගොස්ය . දෙවෙනි වතාවේ එනිසාම ආයිත් PK බැලුවෙමි. එවර හිත ගියේ සින්දු ටිකටය. එනිසාම තෙවෙනි වතාවටද එය බලන්නට ගතිමි. බාගෙට දිරැවූ උප සිරැසි සිත්හි තබාගෙන රූප රාමු බැලුවේ ඒ වතාවේය! PK පසුපස ඇති මහා සිනමාව මට ඉන්ද්රජාලයකින් මෙන් දිස්වන්නට පටන් ගත්තේය ! 

භාරත සිනමාවේ තවත් ප්රාතිහාර්යයක් ! භාරතයටම එක ඇඟිල්ලක් දිගුව ඇත. රේඩියෝවක් කරේ එල්ලා ගත් නිරුවත් මිනිසෙකු මුලු ඉන්දියාව දෙසම නොව සර්ව ලෝක හිතවාසී හුදී ජන සංස්කෘතිය දෙසම සිය කොල පැහැති ඇස් දෙක මහත් කොටගෙන බලා සිටී. 

දෙවියන් සොයා යන PK දෙවියන් සතුටු කරන්නට නොකරන දෙයක් නැත්තේය . සිය අසරණකමට දෙවියන්ය සිතා දෙවියන්ගේ නියෝජිතයන් යැයි පෙනී සිටින පුහුදුන් තැරැව් කරුවන්ට ජීවිතය කැප කරන හුදී ජන සංහතිය දෙසම PK සිය දෑස් දල්වා බලා හිඳී..

PK සිනාසෙන්නේ දෙවියන්ට නොවේ. PK හඬන්නේ දෙවියන් සතුටු කරන්නට නොවිඳිනා දුක් විඳින දුහුනන් වෙනුවෙන් නොවේ. PK හි උපහාසය එල්ල වන්නේ දෙවියන් දකින මිනිසුන් කෙරෙහිද නොවේ. බුද්ධිමත් මිනිසුන් තේරුම් ගත යුත්තේ එයයි. 

නොයෙක් වර්ගයේ මිනිස්සු දෙවියන් නොයෙක් ඇස් වලින් දකිති. ආගම් හෝ දෙවියන් පසුපස නොයා යුතු යැයි බොහෝ පණ්ඩිතයෝ දොඩති. තවත් සමහරු දෙවියන් සොයා පර්යේෂණ කරති. දෙවියන් හෝ ගැලවුම් වාදී කිසිවක් හෝ ආගම් ලොවට අවැසි නැතැයි සමහරු දොඩති. එය දියුණු මනස යැයි පවසති. 

මා දකින දෙවියන් සිටින්නේ මහ පොළවේය ! ඇතැම් දෙවියන් අප කරා පැමිණෙන්නේ කබා කෝට්  ඇඳගෙනය. ඇතමුන් කාර්යාල ඇඳුමෙනි.  ඇතැම් දෙවිවරුන් අපට පිහිට වන්නේ බස් රියේදීය. ඇතැම් දෙවිවරුන් උදේ හවා අපට සිනහ සී යන්නෝය. අඩු ගානෙ චැට් එකක් හෝ දමන්නෝය ! කඳුලු පිසින්නෝය ! 

අපට වඩා ඉහළ තලයක සිටිය හෝ සිටින උතුමන් කෙරෙහි බැති සිතක් උපදවා ගැනීමේ  මම නම් කිසිදු වරදක් නොදකිමි. පන්සලේ බුදු ගෙහි ඇති සිත නිවන තවන බව අපේ නිදන කාමරයෙහි නැත. බෝ ගසක් සෙවනෙහි ඇති දහසක් සැදැහැ සිත් වල බැති කිරණ ඔබට දැනී නැතිද ? පල්ලියේ අල්තාරයෙහි වැඩ සිටින සොවින් බර යේසුස් වහන්සෙ අබියස කිතු බැති නද මුසුව එන පියානෝ වාදනය දෑසේ කඳුලු නංවයි. හින්දු කෝවිලක පූජකයන් දෙව් පිලිමයක් කිරෙන් නහවා සත්කාර කරනු දකින විට මිනිසෙකුගේ මනස කොතරම් බැති බර විය හැකිදැයි සිත විමතියක් හට ගනී. 

දුකින් පෙලෙන මනුසත් වගට සැප මේ යැයි පෙන්වා  ප්රාර්තනාව මවා දෙන්නට දෙවියන්ට  බුදුන්ට හෝ පෙර පින් කළ උතුමන්ට නොහැක්කේය . එහෙත් සිතෙහි විස්වාසය පලා ගිය කල්හි, අසරණ බවින් සිත උමතු වූ කල්හි , තමන්ට පිලිසරණක් හෝ. නිසි මග පෙන්වන්නෙකු නැතයි කම්පාවට පත් වූ කල්හි අරක්කු බෝතලයක පිහිට පතනවා නම්, ඔබේ උත්සාහය අකර්මන්ය වනු වැලැක්විය නොහැක්කේය. සිත අරමුණෙන් ගිලිහී බෝතලයට ඇලී යනු නියතය. 

අසරණ වූ කල්හි , දෙවියන් බුදුන් සොයා යන මිනිසුනට මා දොස් නොකියන්නේ එබැවිනි. සොයා යන්නේ සරණකි. ඉන් පුහුදුනෙකු ගසා කෑම අනුමත කල නොහැකි එක වෙනම කතාවකි. එහෙත් සිය සරණ උදෙසා දෙවියන් බුදුන්ගේ ආශිර්වාදය පැතීම වරදක් නොවේ. පුහුදුන් මිනිසුන් ගේ වරද නම් , සිය ප්රාර්තනාව ඉටු කිරීමේ සම්පූර්ණ කොන්තරාත්තුවම දෙවියන්ට භාර දීම නොවේද ?

හදවතෙහි භක්තිය කුලු ගන්වා ගත් කළ යහපත් අරමුණුම සිතට එයි. දුදනන් නිරායාසයෙන්ම ඉවත්ව යයි. අරමුණෙහිම සිත එල්බ ගනියි. තමනට ආශිර්වාදයක් ඇතැයි සිතෙහි විස්වාසයක් හට ගනියි. අවදානම් ගැනීමට සිත සවිමත් වෙයි. දෙවියන් ලඟ ඇතැයි සිතෙද්දී වැරැද්දට බියක් හට ගනියි. 

PK පවසන බුද්ධිමත් පණිවිඩය එයයි. උත්සහය කොතෙක් වුව , ප්රවේසම කොතෙක් වුව , ජීවිතය වැරැදී යන අවස්ථා ඔබට තිබී නැතිද ? එය කර්මය යැයි හිත හදා ගැනීම කුසීත කමය .එයට එරෙහිව නිසි සැලැස්මක් නොමැතිව ආවේග වලින් සටන් කිරීම මෝඩ කමය ! සැලස්මක් හදා ගැනීමට තරම් සිත නොසන්සුන් විටක පියවර තැබීම අවදානම්ය . පස්මහ බැලුම් බලනවාට වඩා ආරක්ෂාකාරී පියවරක් තැබීමට මග හදා ගැනීමට සිතෙහි විස්වාසය හේතු වෙයි. 

මගේ හිතවතෙකු පැවැසූ කතාවක් සිහියට එයි. " වහින්න එන බව දැන දැන කුඩය්ක් නොගෙන ගමනක් යන එක මෝඩකමක්. වැස්සෙ නැතිනම් මිනිස්සු කියාවි අන්න පිස්සෙක් කුඩයක් ඉහළගෙන යනවා කියලා. වැස්සෙ තෙමි තෙමි ගියත් මිනිස්සු එහෙමම කියාවි. වැස්සෙ පාරක් අයිනෙ හෙවණක හිටගෙන ඉන්න පුලුවනි. ඒත් රෑ එලි වෙනකල්ම . වැස්සොත් එලියට ගන්න බලාගෙන කුඩයක් බෑග් එකෙ දාගෙන යන එක වරදක් නෙවෙයි නේද ??? " 

කිසිවක් කෙරේ විස්වාසයක් නොමැත්තාට අනාගතයක් නැත්තේය ! විස්වාසයක් නොමැත්තාට බලාපොරොත්තුවක ඈත්තේ රතු එලි පමණකි. ලෝකය සකස් වන්නේ රතු පාට ප්රතිලපලයකය . 

'සන්තියාගෝ නම් සැරිසරන්නා' ( The Alchemist ) හි පවුලෝ කොයියෝ මෙසේ පවසයි. 
"ඔබට යමක් අවැසි නම් , එය ඔබ වෙත ලබා දීම සඳහා මුලෝ ලෝකයම කුමන්ත්රණ කරයි"

PK වරක් මෙසේ අසයි. 
"දෙවියන් යැයි මිනිසුන්  වඳින්නේ සැබෑ දෙවියන්ටද ? දෙව දූතයන් යැයි මවා පෙන්වන ජාවාරම්කරුවන් මවා දුන් දේව ප්රතිරූපයකටද ? 

Pursuit of Happyness චිත්රපටයේ ' ක්රිස් ගාඩ්නර්ගේ කුඩා පුතු දෙවියන්  පිලිබඳව අපූරු කතාවක් පවසයි. 

"තාත්තෙ , ඔන්න එක මනුස්සයෙක් බෝට්ටුවක යද්දී කුණාටුවකට අහුවෙලා දියේ ගිලුනා. ඔහු සිය ජීවිතය බේරා දෙන්න කියා දෙවියන් යදින්නට පටන් ගත්ත. එවිට එනවා බෝට්ටුවක් , 
'නැහැ දෙවියන් පැමිණ මා බෙර ගනීවි. ඔබ යන්න' දියේ ගිලුන තැනැත්තා කියනවා. ආයිත් දෙවියන් යදින්නට පටන් ගන්නවා. 

යලිත් එනවා බෝට්යුවක්. ඔහු ඊටත් ගොඩ වීම ප්රතික්ෂේප කරනවා. දෙවිය්ණ් එන් තුරුම යදිනවා. 

අන්තිමේ එයා දියේ ගිලිලා මිය යනවා . ස්වර්ගයෙදී ඔහුට දෙවියන් හමුවෙනව. ඔහු නොසතුටින් මෙහෙම අහනවා, 
'මා ඔබට මෙතරම් බැතිබරව සිටියදිත් ඇයි ඔබ මා ගලවා නොගත්තෙ ?'

 දෙවියන් උත්තර දෙනවා, 
"මෝඩයෝ මම බෝට්ටු එකක් නොවේ දෙකක්ම එවුව , ඇයි එවාට ගොඩ නොවුනේ ?" 


PK ඔබට ස්තූතියි. PK සැබෑ ඇසින් දුටුවෙකුට සිදුවන්නේ දෙවියන් හෝ ආගම් එපා වීම නම් නොවේ. සැබෑ දෙවියන් දිස්වීමත්,  සැබෑ බැතිය කුලු ගැන්වීමත්, ජාවාරමට එරෙහි වීමත් පමණකි. 


Sunday, February 01, 2015

[315] අවන්හල් ජීවිත අභ්‍යාස


ජනාකීර්ණ පාරවල් , නාගරික අවන්හල් , කලබලයෙන් තොරව උදේ සවස සාප්පු සවාරි යන මිනිසුන්  දකිද්දී නාගරික හුදී ජනී ජන සංහතිය අස්සේ මට පොඩි පහේ චමත්කාරයක් දැනෙයි. සුවිසල් නගරයක ලාම්පු කණුවක් උඩ හිඳ සිටින කුඩා කලාමැදිරියෙකු මෙන් චූල හැඟීමක් විටෙක මට පහළ වෙයි. ඒ ඔස්සේම ගිලී ගිලී ඇතුලට යන විට මට ලෝකය ගිලෙන්නට මෙන් හැඟීමක් එයි. ලෝකයක් ගිල ගැනීමෙන් , දිරවා ගත නොහැකිව මා නම් ප්‍රාණියා පිම්බෙන්නටත් ලෝකය කුඩා වන්නටත් පටන් ගනී. එය මහත් විකාරයකි. 




දුහුවිලි නගරයේ ඇස් නිලංකාර වන වීදි ලාම්පු එලියට නිරතුරුව පරදින කුඩා කලාමැදිරි  ජීවයක් යයි මට සිතේ. කලුවරත් සමග මම නිවසට එමි. ඒ මොහොතේ පටන් රූප පෙට්ටිය දෙස නොකල්පනාවෙන් හෝ බලා සිටිමි. කුඩා සිනහවක් දෙකක් පිට කරමි. නිරන්තර සහ සදාතනිකව නිදන්ව ඇති මතකය පොඩ්ඩක් අලුත් කොට ගෙන නාසය රතුවන තුරු හඬමින් සිටිමි. තනිව සිටීමේ නිදහස !

මා කවදත් අවන්හල් වන්දනා කරන්නට කැමතිය . අවන්හල් තුල සිටින මිනිසුන් දෙස බලා සිටින්නටත් , උන්ගේ ජීවිතයට එබී , නොදු‍ටු දෑ සොයා යන්නටත් ඇති මගේ ආශාව කිසිදා හීන නොවෙයි. එක් දිනක් මහනුවර ආපිකෝ අවන්හල මැද හිඳ මා සිනහසෙන මුහුණු සෙවුවා මට මතකය . එවකට මාද සිනහසෙන මුහුණකි. පුදුමයකි ! මට පහ පොළව උඩ සිනහසෙන එකද මුහුණක් දැක ගන්නට උවමනාව බලවත් වූයේය ! 


එක් වරක් නොව සිය දහස් වර 
පිඟානෙන් නෙත් ඉවත යන්නෙය ..

නේක මසවුලු දෙසට මෑනුනු
ගිජු දෙනෙත් මග හැර සොයන්නෙය ..


සිනාවක් වැගිරී හැලෙන තැන 
එක්කො කිරිකැටි මුව පොඩිත්තකි 

මෙතෙක් දුර්මුඛ නොවූ මුහුණක
අසුන අසලක කිසි කෙනෙක් නැති..

එය අවාසනාවකි. යාබද අසුන නොසිස්ව තිබූ එදා මම ජීවිතයට සහ දහමට අභියෝග කලෙමි. එහෙත් මා පැරදුනෙමි. 



මීට මසකට පෙරද අවන්හලක් මැද මම හිඳ සිටියෙමි. උදේ පිබිදුනු නැවුම් සිතැතිව මම ඉතා සැහැල්ලූ ආහාරයක් ඇණවුම් කොට සුවපහසු ඩිවානයට පිටදී සිටිද්දී මට ලියන්නට සිතක් ආවේය. ලියන්නට පැනක් හෝ කොල කැබැල්ලක් නැති මොහොතේ වේටර කොලුවාගේ කමිස සාක්කුවේ පෑනද , මුදල් ගෙවා ලබා ගත් බිල්පතද පිහිටට ආවේය. එකකට එකක් නොබැඳුනු එක එක ජාතියේ සිතුවිලි ටිකක් එක පොදියක්ව ඡේද ඡේද බවට පත් වෙයි. සිත මෙන්ම සිරුරද සැහැල්ලු වෙයි. 

" මම දැන් අරුම පුදුම කුරුල්ලෙක්ගෙන් ගිලිහුන පිහා‍ටුවක් වගේ. වෙලාවකට වේගෙන් ගසාගෙන යන , ගහක ‍රැ‍ඳෙන , ගිනි හුලඟට කැරකෙන , අහස සිඹින පිහා‍ටුවක ඇති අද්භූතය මොකක්ද ? පිහා‍ටුවකියන්නෙ ගිලිහිච්චි දෙයක් . ඒක ආයිත් කුරුලු ත‍ටුවක නවතින්නෙ නැහැ. සුලඟට අවනත නොවී බරට පොළවෙ ‍රැ‍ඳෙන්නත් බැහැ . 
ඒ නමුත් උඩවැඩියා මලක් ඇමිණුව කෝට් සාක්කුවක ස්මරණීය මතකයක් වෙන්න, පින්තූරු එක දෙකක උජාරු මූණක් යට ‍රැ‍ඳෙන්න නම් පුලුවනි. පිහා‍ටුවකට එහෙම උනාට සදාතනික අගයක් නැහැ. ඒක තමයි අපි අකැමති ඇත්ත. 

මම හරිද , ලෝකය හරිද මම දන්නෙ නැහැ. ඒත් මම කිව්ව දේ යතාර්ථවාදී ඇති. ඒත් මම නිතරම ආදරේ කලේ යතාර්ථය ඉක්මවා ගිය ෆැන්ටසියට. දේදුන්නක් උඩ ඉඳගෙන රුවල් නැවක වගේ හබල් ගාන සිතුවිලි ! මම උදේ දවල් ‍රැ නැතුව ඔලුව රිදෙනකල් ජීවිතේ ගුරුත්ව කේන්ද්‍රය හොයනවා. වැරදි ලක්ෂ්‍යක් ‍තෝරගෙන සමබරතාව නැති කරගන්නව. මම ජීවිතේ හොයන අස්සේ තව සමහරු මාව කියවගන්න බැරුව පි‍ටු පුරවනව . අපි හැමෝම එකට පැටලුනු වල්ග වලින් සහ අත් හැරීමට නොකැමති දෑත් වලින් බැඳීච්චි අමුතු සත්තු රංචුවක් වගේ .

ජීවිතේ කියන්නෙ හරි අපූරු දෙයක්. ඒක දිහා බලන් ඉන්න එක භාවනාවක් වගෙම අභ්‍යාසයක් . ඒ ව්‍යායාමය අපව දැනුමැත්තන් වගෙම සානුකම්පිත සිත් ඇත්තන් බවටත් පත් කරනව "

සුන්දර කෝපි කෝප්පයක් , අයිස් පලමක් හෝ සැන්විච් කැබැල්ලක් තුල ජීවිතාභ්‍යාසයක් ගැබ්ව ඇතැයි සිතෙන්නේ කාටද ? 



මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->