Thursday, July 29, 2010

[92] ගුරුවරු සහ ගුරු දෙවි වරු!


ගුරු කම ගැන ලියන්න තරම් මම එහි කෙල පැමිණියෙක්වත් අත්දැකීම් සමුදායක් තිබෙන අයෙක්වත් නම් නෙමෙයි තවම. ඒත් පුංචි හිත් වලට එබී බලමින් ටික කලක් උන්නු කෙනෙක් හැටියට සටහනක් ලියන්න තරම් ප්‍රමාණවත් සිද්දි ටිකක් හිතේ පෙල ගැහී ඉන්නව.

මේ රට ඇතුලේ ගුරු වෘත්තියට ආ යුතු සරලතම සහ පහසුතම මග ඔස්සේමයි මාත් මීට අවතීර්ණ උනේ. උපාධියට පින් සිද්ද වෙන්න, රස්සාවක් හොයා ගන්න තිබ්බ උවමනාව, තදියම නිසා. ඇත්ත තමයි ඒක. ඊට මම ආවෙත් ඒ මොහොතේ උපාධිය සම්පූර්ණ නොකර ඉගෙනගනිමින් උන් මට, අනාගත රස්සා අවදානම අවම කර ගන්න,  යා හැකි හොඳම රක්සාව  එය නිසා. මට මොහොතකටවත් ඕනේ උනේ නෑ ගුරුවරියක් වෙන්න. උගන්නන්න. ඒත් වෙන එකක් හම්බ වෙනකන් කියල ‍රැඳුනා මේ රස්සාවෙ මුලදි. ඔන්න ඔහොමයි ආගමනය උනේ. 

කල් යන්න යන්න , විවිධ පරාස වල ලමයින් හමු වෙන්න වෙන්න, එක් එක් වයස් වල ලමයින් සමග අදහස් බෙදා ගන්න ගන්න, මටම දැනෙන්න ගත්තා මම මේ වටපිටාවට, මේ සේවයට ආදරය කරන බව.  කල් යද්දි, කතාවට හුරු වෙද්දි, ඒ මනස් සමග ගනුදෙනු කරද්දි මට මොකක්දෝ සුන්දරත්වයක් පේන්න ගත්ත. මිතුරු හැඟීමක්, සැනසිලිදායක මනසක්, වැඩක් කරනව පමණක්ම නොවී ජීවිතය බෙදා හදා ගන්නා වගේ හැඟීමක් හිතට එන්න ගත්ත මේ කරන දේවල් වලින්. ඒ නිසාම වෙන්න ඇති මම පතපු බොහෝ දුර යා හැකි ‍රැකියාවකටත් පයින් ගහල ආයෙමත් ආවෙ මේ රස්සාවේ ආසාවට ඉන්න බැරිව...ඔහොම ගිහින් ඉතින් බොලේ අද මම ගුරු සේවයෙම නතර වෙලා. (අනේ හැබැයි එකක් කියන්නම්, මම මල් ඔසරිය අරං , පොත් මිටිය තුරුලු කරං කොන්ඩයක් බැඳන් ඉස්කෝලෙ යන කෙනෙක් නම් නෙමෙයි... ඇත්ත කියන්න එපැයි.. නැත්නම් එහෙම හිතා ගන්න ඔබට අසාධාරණයක් වෙනව... මම ෆුල් නෝර්මල් කිටක් ගහගෙන , තොරතුරු තාක්සනේ උගන්නන, සංකර ඉස්කෝලෙකට උගන්නන්න යන ටීචර් කෙනෙක්) මම මොන වගේ උනත් ගුරු සේවය කියන්නේ එකම සේවයක්.. මට අද ලියන්න හිතුනේ ඒ ගැන...

 පන්තියට ගිහින් කලු ලෑල්ලක සටහන් ලියල පාඩමක් කියා දෙන්න ඕනේම කෙනෙකුට බැරි බව ඇත්ත. පාඩමක් කියා දෙන්න ඇහැකි අධ්‍යාපන සුදුසුකම් තියන ඕනේම කෙනෙකු ගුරුවරියක් වෙන එක පිලිගත හැකිද? මම මේ මගේ මාලු මගේ ඇඟේම තියන් කපන්නේ... කාරි නෑ.

ගුරුවරයෙක් දැනුමින් පිරිපුන් වෙන්න ඕනේ.උගත් වෙන්න ඕනේ..  විෂය දැන ගන්න ඕනේ... ඒක ඇත්ත.. ඒත් ඒ ඇතිද ? නෑ මදි මදි... 

වෙලාවට නිර්දේශය ඉවර කරන්න, පොත් බලන්න , සටහන් දෙන්න, ලමයි අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න, ලමයින්ව  'පාලනය' කර ගන්න... ඒවත් ඕනැනෙ... එත් ඒ ඇතිද ? 'මදි'

දරුවෙකුගේ ජීවිතයට පරමාදර්ශ සපයන්න හැකි වෙන්නෙ දෙමාපියන්ට සහ ගුරුවරුන්ට. ඒ පරමාදර්ශී ගුරුවරයෙකුට පුලුවන් යාලුවන්ගෙන් පරාමදර්ශ නොසොයන නියම පෞරුෂයක් හදන්න දරුවෙක් තුල. ඒ පරමාදර්ශ ගැන මම සරලව කතාවට බහින්නම්...

හදවතින්ම ආදරය දෙන්න ... කරුණාව නෙමෙයි.. ආදරය දෙන්න...
දරුවෙකුට දෙයක් හිසට ඔබන්න හැකි එකම මන්තරය තමයි ආදරය. මේ මම නම් තදින්ම අදහන දෙයක්. සෙනෙහසින් කියන ඕනෙම දෙයක් ඕන දඟයෙක් අහනව. රවා බලනවට, සැර වැර කරනවට මේ පොඩිහිටියෝ කැමති නෑ. ලොකු සිසුවන් ගැන නම් කියන්න තියෙන්නෙ , අනිත් යාලුවො ඉස්සරහ විහිලුවක්වත් කරනවට එයාල කැමති නෑ. දඬුවමකින් හදන්න බැරි දරදඬු ලමෙක්ව මෙල්ල කරගන්න පුලුවන් පූස් පැටියෙක් තරමටම, ආදරේ පෙන්නීමෙන්...  'ආදරනීය ගුරුතුමනි'හි බ්‍රෙත්වේට් ගුරුතුමා නොසන්ඩාලයින් ‍රැලක් යැයි හංවඩු ගැසූ කොලු කෙලි ‍රැලක් මෙල්ල කලේ වන කිසිවකින් නෙමෙයි.. ආදරයෙන්...!

සිනහ වෙන්න... හදවතින්ම
සිනහවෙන ගුරුවරුන්ට දරුවො ආසයි. ඒ ගුරුවරුන්ගේ විෂයන්ට තමයි ඕනෙම දරුවෙක් ප්‍රියතම විෂයන් කියන්නේ. කියන්නත් පුදුමයි, ඒ ගුරුවරුන්ගේ විෂයන්ට තමයි ඒ දරුවො වැඩිපුරම දස්කම් දක්වන්නෙත්.. දරුවන්ට දැනෙන්න ආදරේ කරන රහස තියෙන්නෙ ගුරුවරු ගාව. එකිනෙකාගෙ ඇස් දිහා බලල කතා කරනවට, ලඟට ගිහින් කතා කරනවට, ආදරය දයාව පෙන්වනවට, මේ පුංචි හිත් හරිම ආසයි. සිනහ නොවෙන ගුරුවරුන්ට හරිම අමාරුයි ලමුන් පාලනය කර ගන්න...රවා බලද්දි, බය කරද්දි, සැර කරද්දි  ලමුන් එක් අවස්ථාවකදි මෙල්ල වෙනව. ඒත් ඒ බයෙන් ගැහෙන හිතක , අප කියා දෙන පාඩමක් පැලපදියම් වේවිද? 

පොඩි උන්ගේ ආත්ම ගෞරවය රකින්න...
මේ පොඩිහිටියන්ට මහ අමුතු මාන්නයක් තියනව. හැමෝම වගේ එයාලත් ආස නෑ එයාලට අපහාස කරනවට. එතකොට වැ‍රැද්දක් පහදන්නෙ කොහොමද ? පෞද්ගලිකව ඇමතීම තමයි මට නම් අත්දැකීමෙන් පෙනිච්ච හොඳම ක්‍රමය. එයාලව පංතිය ඉස්සරහ අපහසුතාවයට පත් කරන්න මොහොතකට පෙර හිතන්න එයාලගෙ පෞරුෂය ඔබ සහමුලින්ම සිඳ දානව වෙන්න පුලුවන්.. බලාගෙනයි!

උන්ට නිදහස දෙන්න...
ය කරල නිශ්ශබ්දව බිරන්තට්‍ටු වෙලා බලා ඉන්න ලමයි ‍රැලකට උගන්නවට වඩා හොඳ නැද්ද කොයි වෙලෙත් අත් උස්සගෙන ප්‍රශ්න අහන , හිනා වෙන, කතා කරන සක්‍රිය හිස් ගෙඩි ටිකක් එක්ක සංවාදයේ යෙදෙන එක? ඔයාල අහවි 'එතකොට මුන්ට මුකුත් උගන්නන්න බැහැනේ' කියල. නෑ පුලුවන්.. ගුරුවරයෙකු අතින් පාලිත විනයකට වඩා හෙමි හෙමි ක්‍රම ක්‍රමයෙන් තම තමුන් ගොඩ නගන පාලිත නිදහස හොඳ නැද්ද?  පුලුවන්.. මෙය කරන්න පුලුවන්.. උන්ගේ නිදහසේ ලියලන සිතුවිලි වලට ඉරි ගහල කො‍ටු කරල අනාගත කලාකරුවන්, දාර්ශනිකයින්, ගයකයින්, විද්‍යාඥයින්,වෙදැදුරන් උපන් ගෙයි මරා දාන්න එපා. උන් බැඳිල නෑ අපි කියන දේ අහන්න. අපි බැඳිල ඉන්නව උන්ට ඕනේ ලෝකෙට පාර පෙන්නන්න..'හරි පුදුම ඉස්කෝලෙ' ඉන්න කොබයාශි ගුරුතුමා ඒ දඟකාරිගෙ ටොට්ටෝ චං ගේ අනාගතය කවම කවදාවත් වෙනස් කරන්න හැදුවෙ නෑ....විනාඩි 40ක් නැත්නම් 50ක් අමාරුවෙන් අපි කියන දේ අහන් ඉඳලා මුලු අනාගතයම අඳුරට ඇදගන්න පරපුරක් තැනීමේ පාපකර්මයට අපිට වන්දි ගෙවන්න හැකි වේවිද??

 පාඩම විතරක් නෙමෙයි, ජීවිතේ කියා දෙන්න...
පාඩම ඉගෙන ගන්නෙ මොලයක්.. පොඩි මොලයක්. මේ පොඩි මොලේ හිස් ඉඩකඩ අංශු දාස් ගානක් තියනව ආදරේ කරන ගුරුවරයෙකුගෙ මුවින් පිටවෙන ජීවන අදර්ශ හිසට ඔබා ගන්න බලාගෙන ඉන්න.... ඒ වටින කියන පිවිතුරු සෛල ටික හිස් හිදැස් තියල උන්ව පංතියෙන් එලියට යවන්න එපා. යාලු වෙස් ගත් පාප මිත්‍රයො මනස්ගාත වලින් පුරවන්න කලින්, ඒව ජීවිතේ ගැන ලස්සන සිතුවිලි වලින්, දැක්මකින් පුරවල සමාජෙට යවන්න.

හරි හත‍රැස් කො‍ටු අස්සෙන් නැතුව ජීවිතේට එබෙන්න කියා දෙන්න..
අපි දකින , උන් නොදකින ලෝකයට එබෙන්න උන්ට අයිතියක් තියනව. ඒ ලෝකෙ පෙන්නන්න අපිට යුතුකමක් වගකීමක් තියනව. උන්ගේ ගෙවල් දොරවල් අස්සෙ තියන, කියා ගන්න තේරෙන්නෙ නැති, කියන්න බැරි, දාහකුත් එකක් හැල හැප්පිලි කියා ගන්න බැරිවෙනකොට චන්ඩියො බිහි වෙනව අහිංසක හිත් අස්සෙන්. ඒ වලක්වන්න හැකි මන්ත්‍රයත් ගුරුවරයෙකුගේ සෙනෙහස, ආදරය, ලෙංගතුකම. ඒ ආදරේට පුලුවන් චන්ඩි හිතක බෝ පැලයක් පැලකරන්න. ඒ වගේ හිතකින් පුලුවන් ගිනි ගන්න අම්මෙක් තාත්තෙක්ව නිවන්න. හැම දේකම තුන් පැත්තක් තිබෙන්න හැකි බව උන්ට කියා දෙන්න. අපිට පෙනෙන පැත්ත, උන්ට පෙනෙන පැත්ත හා හරි පැත්ත.


දඬුවමකට වඩා නිවැරදි වීමේ අගය කියා දෙන්න
වරදකට දෙන දඬුවම අනුව තීරනය වෙන්නේ එක දෙයයි. උන් කොච්චර මුරන්ඩු වෙනවද කියන එක. උන් කොච්චර නිවැරදි වෙනවද කියන එක නෙමෙයි. නිවැරදි වීමේ වටිනාකම පෙන්වන්න. නිවැරදි වුවොත් ලැබෙන ආදරය , ප්‍රශංසාව , පිලිගැනීම පෙන්වන්න. උදාහරන දෙන්න. මගේ ජීවිතයේ උදාහරන දෙකක් තියෙනවා, උන්ගේ අගය පෙන්නීමෙන් ලෝකයට ආදරය කිරීමේ අගය පෙන්නිමෙන් අද ඉතා හොඳ දරුවන් බවට පත් වී සිටින. ඒ අංක 2 මට මහමෙරක් තරම් වටිනව.

 මේ හැම දේකටමත් වඩා ගුරුවරු අපි අතින් මගෑරෙන දෙයක් තියනව. ඒ දේ තමයි උන්ගේ අනාගතය!

උන්ව විස්වාස කරන්න.. හදවතින්ම විස්වාස කරන්න....
උන් අපේ පැතුම් නොබිඳින බව විස්වාස කරන්න. ඒ බව කියන්න.පුන පුනා කියන්න.... මේ දරුවන්ට කිසිම විටෙක දැනෙන්න දෙන්න එපා අපිට එයාලගේ අනාගතය ගැන සැක සහිත බව... හැම විටම එයාල සතු අපරිමිත මොලය ගැන වටහල දෙන්න. එයාල ඇතුලේ විස්මය ජනක හැකියාවන් හැංගිල තියන බව අදහන්න. හදවතින්ම අදහන්න. උන් ආසා දේ දිහා පරීක්ෂාවෙන් බලා ඉන්න. ඒ හැකියා හඳුනා ගන්න. ඒවා මොට කරන්න නම් එපා. අසා දේට ඉඩ දී ඒවාට උසි ගන්වන්න. බැරි දෑ බලෙන් පටවනන් එපා. අකැමති දේවලින් දුර්වල වෙද්දි උන්ගේ මුලු පෞරුෂයම බිඳින්න එපා. එහෙම කලොත් , අනාගතයේ රටට වැඩැති අසාමන්‍ය මොලයක් ඔබ අබ්බගාත කර දානව වෙනන් පුලුවන්. එයාලගේ හැකියාවට ගරු කරන්න. හදවතින්ම අගය කරන්න. එයාලට මහා පරිමාණ අරමුණු දෙන්න. ඒ අරමුණු අනිවාර්‍යයෙන්ම ඔවුන් ඉ‍ටු කොට පෙන්වාවි.. 

එයාලගේ දුර්වලකම් පෙන්වනවට වඩා වටින දේ තමයි එයාලගේ වටිනාකම් පෙන්වල දෙන එක. එයයි මම දකින උසස්ම මෙහෙවර.

බලං ගියහම හිතනවට වඩා වගකීම බරපතලයි නේද?  අමතක කරන්න එපා... අහිංසකයින් ගොඩ දෙනෙක් යන දිශාව තීරණය කරන්නෙ අපි! ලේසි නෑ...  





ගුරුවරයෙක් වෙන්න පතන්න එපා. ගුරු දෙවියෙක් වෙන්න පතන්න... එතකොට මේ ලෝකය තැනෙන හැටි දිහා බලාගෙන අපිට සැනසුම් සුසුමක් හෙලන්න පුලුවන් වේවි!

36 comments:

  1. මේ සේරම දේවල් තියෙන ගුරුව‍රයෙක් මට මගේ ජීවිතේදි හමු වෙලා තියෙනවද කියලා සැකයි.... හැබැයි එහෙම හම්බ උනානම් මාව අද අල්ලන්නත් නෑ... එහෙනම් නීල් ආම්ස්ට්‍රොන්ට කලින් හඳට යන්නෙ මම.

    "රවා බලනවට, සැර වැර කරනවට මේ පොඩිහිටියෝ කැමති නෑ"
    ඒ කිව්වෙ අපේ මේ රවා අය්යා බලනවට කැමති නෑ කියලද?

    ReplyDelete
  2. අගේ ඇති ලිපියක්....

    ReplyDelete
  3. "මම මගේ ගුරුතුමා වූ මිලානි පියතුමා ගැන ආඩම්බර වෙමි. මගේ ගුරුවරයා ද මා ගැන ආඩම්බර වෙයි. පාසලක සැබෑ හරය මෙය හැර වෙන කුමක්ද?"- දයාබර ගුරුතුමිය වෙතටයි.

    ඔබ කියන කාරනා ඇත්ත. ඒවගේම මේක භාවනාවක් වගේ වැඩක්.

    ReplyDelete
  4. නියමයි මිස්....මේක හැම ගුරුවරයෙක්ම කියෙව්වනම් තමයි හොඳ..

    ReplyDelete
  5. I don't think this will be only a dream.Everyday our education quality is going down.Teachers are not the only responsible for this,Our Politicians are responsible for all these damages.

    ReplyDelete
  6. ඔය වගේ පොරවල් සිිටීනං මේකද රටකි! :/

    ReplyDelete
  7. හොඳ ගුරුවරු නැත්තෙ නැහ.. මිනිස්සු සර්ව සම්පූර්න නැහනේ... ඒත් සමහරු නම් සල්ලි වලට වහල් වෙලා....

    ReplyDelete
  8. අනුරාධ මල්ලි....
    ඇත්තම කියනව නම් මටත් මුණ ගැහිල නෑ. ඒත් මම හොයනවා... හැම තැනම... අනුන් තුල, මා තුල ... මගේ මේ සංවාදයේ අරමුණත් එයයි... අපි අපි තුල මේ ගති ලක්ෂණ හොයන්න ඕනේ. අපේ අතීතය ආයිත් ගෙන්නන්න බෑ. ඒත් අපිට වර්තමානයේ යම් යම් වෙනස්කම් ඇති කර ගත්තොත් අනාගතයේ ක්ෂුද්‍ර වෙනසක් හරි දකින්න පුලුවනි...ගුරුවරු වෙන්න කලියෙන් ඔවුනගේ සහතික පැත්තක තියල ලමා පෞරුෂ සංවර්ධනය ගැන කියා දෙන්න ඕනේ. මට මතු කරන්න ඕනේ උන කාරණවත් එයයි...

    ReplyDelete
  9. අනුරාධ මල්ලා... අයියෝ අර අහිංසක රවා මල්ලිටත් මඩ ගහනව! :-)

    ReplyDelete
  10. හේමලයා
    ස්තූතියි ප්‍රතිචාරෙට... මගේ ලිපියේ අඩුලුහුඬු තැන් පෙන්වන සංවාදයක් මේ.. ඒ නිසා ඔබේ අදහසුත්, මගෙන් මග හැරුනු කාරණාත් තිබේ නම් කියන්න.... මම දන්නවා ඔබට පුලුල් අදහස් තියෙන බව ....

    ReplyDelete
  11. blog gadol
    ඔබ මේ ඉසවුවට ඇවිත් ගියාට ස්තූතියි... අගය කලාට ඊටත් වඩා ස්තූතියි... අදහස් ලියන්න ආරාධනා කරන්නම්... ඔබෙ බ්ලොග් එකත් මම හරි ආසාවෙන කියවනවා.. සියලු පූසන්ට ජය වේවා!!!!!

    ReplyDelete
  12. වලාකුලු අයියා
    ඔව්.. කොටින්ම අපේ මනස යම් දවසක අපි ඉස්සරහ ඇස් ඇරන් බලං ඉන්න පොඩි උන්ට ප්‍රේරණය වෙනව. අපි පරිස්සම් නොවුනොත් අපි බිහි කරන්නෙ උගත්තු යැයි කියා ගත්ත මානසික ලෙඩුන් ‍රැලක් මිස වෙනකුන් නොවෙයි...
    අපේ ජීවිත වලත් හැලහැප්පීම් තියනව. ඒත් සමාජ විසමතාවයන්ගෙන් ඔද්දල් නොවෙච්ච ඒ අහිංසක ඔලු ගෙඩි වලට අපේ බර තියල හෑල්ලු වෙන්න අපිට අයිතියක් නෑ... නේද ?

    හැම වෙලාවෙම ජීවිතේ වෙනස් කරගත් දරුවෙක් දකිද්දි මට කියවෙන්නෙ "i believed in you, you kept that trust , its not me who changed you, You decided to change.. Now you won't turn to where you were!"

    ReplyDelete
  13. හිමාලි
    අපි ගුරුවරුන්ට මේ පණිවිඩය අරං යමු... මම කරන්නෙ එයයි.. ඔවුන්ගේ අදහස් එකතු කරමු මීට... ස්තූතියි ආවට ! :-)

    ReplyDelete
  14. @karu
    yes , this is a reality.this is possible. its a simple matter of changing a teacher's mindset. this is totally possible at ground , teaching should be an art but not a job nor a service. only those who enjoy it, those with passion to it should enter there. the passion should be decorated, developed and nourished with formal implantation of personality development, psychology and children skills development. only those who excel in it should be 'teachers' whilst others can exercise it in some trainee level and develop it. See the children pre-schools, other educational institutions will just acquire some 'human beings' with proper health to 'tame' and 'keep' the kids for specified amount of time period, whilst poring some educational concepts by force. this is a tragedy, a true tragedy and a story of the disastrous youth today. so , at least now, can we join the hands to change tomorrow ???? what do you think???

    ReplyDelete
  15. බුධාජීව... ගොඩ කාලෙකින්...නේද ?
    ඔය වගේ පොරවල්ම නැතත් මේවයින් ටික ටික හරි උරා ගන්න එකෙක් දෙන්නෙක්වත් හැදුනොත් මදිද?

    මම කරුට කීව දේම සිංහලට හරවන්න කැමතියි, එය සිංහලෙන් කියවන අනෙක් අයට වැදගත් වේවි හිතුන නිසා,,,,
    මේ යථාර්ථය සත්‍යයක්. විය හැකි දෙයක්. උගැන්වීම කලාවක් ලෙසින් ජීර්ණය කරගන්නවා මිස රස්සාවක් හෝ සේවයක් ලෙස සලකන උදවිය සඳහා නොවේ නම් අනර්ඝයි... ඊට ආදරය කරන්නවුන්ට, එහි බරපතලකම තේරෙන්නවුන්ට පමණක් ඇතුල් වීම සඳහා බාධක පරයක් තැනිය යුතුයි. ඒ ගුරුකම කෙරෙහි ඇති ආලය ක්‍රමානුකූල සැලැස්මකට වර්ධනය විය යුතුයි පෞරුෂ සංවර්ධනය සහ ලමා මානසික විද්‍යාව ඔස්සේ.. ගුරුවරුන් ලෙස හුස්ම වැටෙන යහ සෞඛ්‍යයෙන් යුතු මිනිස් ‍රැලක් ගෙන, ඔවුන්ට ඉස්කෝලෙ වෙලාව තුල මේ දරුවන් ආම්බන් කරන්නට කියා දී, මොනවා හරි ඔලුවට ඔබන්නට ඇති වගකීම කියා දෙනවා වෙනුවට ඔවුන්ගේ හිත් සහ හිස් මේ බුද්ධි සංවර්ධනයෙන් පිරවිය යුතු නොවේද ? මන පෞරුෂයක් නැති ගුරුවරයෙකුගෙන් උගන්නා ලමයෙකුගෙන් අපට බලාපොරොත්තු විය හැක්කේ මොනවාද? මේ වෙනස් වෙන්නට කාලයයි.....

    ReplyDelete
  16. @පිස්සා
    ඔව් හොඳ ගුරුවරු සිටිනව. ඒත් බහුතරය??? ඒ බහුතරයගෙන් උගන්නා දරුවන්??? කී දාහක් වටිනා පොඩි හිස් ගෙඩි මේ හිස් දෑත් අස්සේ පොඩිවෙලා පෑගිලා විනාස වෙලා යනව ඇතිද?????

    ReplyDelete
  17. ඔයා ගුරුවරියක් බව මම දැනගෙන හිටියෙ නෑනෙ...ඊටත් මෙච්චර ගොඩක් ආදරේ කරන ගුරුවරියක් බව...

    ReplyDelete
  18. චේජනා
    :-) මම ගුරුවරියක් තමයි...ඒත් තවම අත්දැකීම බොහොම අඩු... ස්තූතියි..

    ReplyDelete
  19. Owsome post!!!. true teachers can change the world.

    ReplyDelete
  20. to anonymous
    thanks for the comment... please share your ideas....

    ReplyDelete
  21. මේ සටහන හුඟාක් වැදගත් එකක් නංගියේ, සමාවෙන්න කමෙන්ට්ස් පරක්කු උනාට, කිහිප වතාවක් කියෙව්වා. හැමෝම ආදරේ කරන , ආදරණීය ගුරුතුමියක් වීමට ඔයාට සුභ පැතුම්,

    ReplyDelete
  22. හරී....
    ඔයාට ගොඩාක්... ස්තූතියි....මගේ පැතුමත් ඒක ... ගොඩක්ම ස්තූතියි.... මේ පැත්තේ එන්න...:-)

    ReplyDelete
  23. හරිම අගේ ඈති ලිපියක්... මේ ඔක්කොම නැති උනත් බොහෝ ලක්ෂණ තිබෙන ගුරුතුමන්ලා/ගුරුතුමියන්ලා මට මඟ​ පෙන්වලා තිබෙනවා. ඒ නිසා මං ඔවුන්ට සදහට ණයගැතියි. මෙය දැන් සිටින ගුරුවරුන් සැමට, පුහුණුව ලබන ගුරුවර ගුරුවරියන්ට ඥාණය හා ප්‍රඥාව සපයන අත්පොතක් වැනි මහා අනර්ඝ ලිපියකි... උදයට පිං...
    විපුල

    ReplyDelete
  24. චූටි ටීච මමත් ගොඩක් ළමයි එක්ක වැඩ කරන කෙනෙක්. ඉතින් ළමයි එක්ක අත්දැකීම් ගොඩක් තියෙනවා. ඒත් ඔබ තුමී කිව්ව ආකාරයේම ගුරුවරුන් නම් අද දවසේ ඉතාමත් විරල බව කිව යුතුමයි.‍

    හොඳ දර්ශකයක් දෙන්නම් ළමයි ගුරුවරුන් දිහා බලන විදිහ ගැන දැන ගන්න.
    ඉස්කෝල වල ඉන්න සමහර ගුරුවරුන්ට ළමයි පටබැදි නම් දාලායි තියෙන්නේ. තවත් සමහරුන්ට එහෙම නම් නෑ. ඒ නම් නැත්තේ ගුරු දෙවි වරු

    මේ දර්ශකය 100% නිවැරදි නැ ඒත් බොහෝ දුරට නිවැරදියි.

    ReplyDelete
  25. This comment has been removed by the author.

    ReplyDelete
  26. වටිනා අදහස් ටිකක් දිල්
    මං හරි ආසාවෙන් කියෙව්වා
    මේකත් අගය කරන්නම හිතුණා:-)
    ඇත්තටම පරිපූර්ණ අදහස් ටිකක්.

    ReplyDelete
  27. බොහෙම වටින ලිපියක් අක්කේ :) පොත දිහා බලාගෙන කියවන් යනවට වඩා ගුරු කම කියන්නේ බැරෑරුම් දෙයක් බව ඇත්ත, බොහෝම ස්තූතියි මේ ලපියට මටත් ගොඩක් මං අතින් නොදැන වුනු වැරදි ටිකක් පැහැදිලි උනා. මේක කියවන් යද්දි..

    ReplyDelete
  28. ස්තූතියි....
    අපිට පුලුවනි නම් ගුරුවෘත්තියට සැබවින්ම ආදරේ අයව මේ වෘත්තියට එකතු කරගන්න,
    ඒ වගේම
    ගුරු වෘත්තියට අහම්බෙන් හෝ වැටුන අයට මේ වෘත්තිය පිලිබඳ අභිමානය ඇති කරවන්න ?
    ඒක ලොකු සේවයක් !
    කවද හරි....

    ReplyDelete
  29. ඔබට යහපත් අනාගතයක් ගුරුතුමියණි. ඉතා වටිනා අදහස් පෙළක්.

    ReplyDelete
  30. මේක publish කරන්න හැමතැනම.

    ReplyDelete
  31. අතිදක්ෂ ගුරුවරු ගැන ලිපියක් සොයමින් ආ මට මෙය අහම්බෙන් වගේ හමු වුණා.

    අතිදක්ෂ ගුරුවරු සැම දා ම සිසු ගෞරවය ට පාත්‍ර වෙනවා. ඉතින් පාසල් ශිෂ්‍යයෙක් හැටියට මම ඔබ ට සුභපතනවා. අතිදක්ෂ ගුරුවරියක් වී රට ට වැඩදායක පිරිසක් බිහිකිරීම ට ඔබ ට හැකි වේ වා!

    බොහොම ස්තුතියි මෙ ම වටිනා ලිපිය ට.

    මගේ වෙබ් අඩවිය ත් හොඳ ද බලන්න....
    http://buddharashmi.blogspot.com/
    තෙරුවන් සරණ යි!

    ReplyDelete
  32. තිලිණ ... බොහෝමත්ම ස්තූතියි. ඉස්කෝල ජීවිතේ ලේබලය යටතේ ගුරු ජීවිතයේ බොහෝ සොඳුරු අත්දෑකීම මා ලියා ඇති අයුරුත් ඔබට හමු වේවි
    ඔබේ අඩවියේ මා දෑන් කරක් ගසන ගමන් :)

    තෙරුවන් සරණයි

    ReplyDelete
  33. *උන් බැඳිල නෑ අපි කියන දේ අහන්න. අපි බැඳිල ඉන්නව උන්ට ඕනේ ලෝකෙට පාර පෙන්නන්න*It's really really valuable point here, to understand a teacher's heart felt responsibility for their student's bright future..! very useful article not only for a teacher, it's also for parents. Thanks!

    ReplyDelete
  34. lassana adahasak harima arthanvithai

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->