Tuesday, April 24, 2012

[245] ඇගේ ඝාතකයාගේ කතාව !


මම ඉපදුනෙ කොහෙද කවදද කාගෙ ලඟද කියල මමවත් දන්නෙ නැහැ. කොහෙහරි ෆැක්ටේරියක මුල්ලක එහෙම නැතිනම් වැඩ බිමක අම්මෙක් අප්පෙක් නැතුව මම මේ ලෝකෙ තනිවෙලා ඉන්ඩ ඇති කවුරු හරි මාව හොයාගන්නකල්. ලොකු වෙනකල් ලොකු දුක් ගොඩක් විඳගෙන මටම මගෙ ජීවිතෙ ගැටගහ ගන්ඩ උනා. අදටත් එහෙමයි. ඒත් ආයිමත් මම හිතෙන් නොහිතුවට මිනීමරුවෙක් වුනා. එහෙම උනේ කොහොමද කියල අදටත් මට ප්‍රශ්නයක්.

එදා හරිම මූසල දවසක්. ජීවිතේ ගතවුන තව දවසක් සුපුරුදු වැඩ මුරයට. වෙහෙසක් නැහැ. එදා වෙච්චි මේ සිදුවීම හැරුනාම. වැඩ කරගෙන යද්දි ඈව මම දු‍ටුවෙ අහම්බෙන්. මම මගේ පාඩුවෙ ගමනක් යමින්. ඒත් ඇගේ බැල්ම හරිම අමුතුයි. ඈ මා දිහාම බලාගෙන හිටියා. හරියට මෝහිණී වගේ. (එහෙම කිව්වට මට නම් ඔය රෑ ජාමෙ යන ගමනකදි මෝහිණිව මුණ ගැහිල නම් නැහැ.) (සිනා)

ඒත් ඈ හරිම වෙනස් බැල්මකින් ඉන්නෙ. මගෙ දිහාවටම ඇස් යොමාගෙන (හරියට මාව කන්ඩ වගෙ) මම තවත් ඉස්සරහට යනවා. ඇගේ දසුන එන්න එන්නම විශාල වේගෙන අපේ පරතරය අඩු වේගෙන එනවා. මට මහ අමුත්තක් දැනෙන්නට වුනා. මෝහිණිගෙ වශීකරණයද දන්නෙත් නැහැ. ඇගේ අමුතු මුහුණ දිහාවෙන් මගෙ ඇස් ඉවතට ගන්නත් බැහැ . මගෙ හිතයි ගතයි දෙකම නිකම් පැහැරගෙන කවුදෝ යන්නා වගේ තමයි දැනුනෙ. හිත එකපාරටම පස්සට ඇදෙන්නටත් ගත වාරුවක් නැතිවම ඉස්සරට යන්නටත් ගන්නකොට මොන වගෙ දෙයක් දැනෙනවදැයි ඔබට හිතිල තියනවද? කාල රේඛාව උඩ මොන තරම් හරඹ කලත් තිරිංග නැති ජීවිතේ ඉස්සරහට යනවා. නවතන්නට බැරි කාලය! මට වේගෙන යන දේ මටවත් නොතේරුනාට මට කෑගැස්සුනා. මගේ දර්ශනයෙන් ඈව , ඇත්තටම ඇගේ දර්ශනයෙන් මාව ඈත් කරවන්නයි මම එහෙම කලේ.  එහෙම නොවුනොත් මම ස්ත්‍රී ඝාතකයෙක් වෙන එක වලක්වන්න ඈට බැරි වේවි. ඒත්....

 ඈ දැන් ඉස්සෙල්ලා තරම් පුංචි තිතක් නොවෙයි. මගෙ ලඟම! මම ඇයත් ඇය මමත් පසුකලේ එක් මොහොතක් ගතවෙද්දි. ඒ මොහොත මගෙ හිතේ ඇති කළේ මොකක්දෝ ගැස්මක්. ඒ ඇස් හිතුවක්කාරද? බියකරුද? ඇගේ මුවෙහි වියරු සිනහවක් මට මතකයි. ඒ ඇගේ අන්තිම හිනහවද? Today is the first day of the rest of my life!  ඈට එහෙම නොහිතුනු එකද වරද?

මට ඕනෙ උනෙ ඉවත දුවන්න. එහෙම නැතිනම් ඈව ඉවතට එලවලා දාන්න. ඈව විනාස වෙන්න කලින්. මට වෙන්න විනාසයක් නැහැ. හිතා මතා නොවුනත් මගෙ අතීතයෙ ලේ පැල්ලම් එක දෙකක් නොතිබුනාම නොවෙයි.

ඒ උනාට. ඈත් පරක්කුයි. මාත් පරක්කුයි. ඈට ඕනෙ උනේ මාව මිනීමරුවෙක් කරන්න! මම නතර වෙලා ආපිට හැරෙන්න කලින් එහෙම හිතුව . ඒත් ඈ පව්.. !ඈට ඕනෙ උනෙ නෑ මාව මිනිමරුවෙක් කරන්න. ඒත් සහතිකයි ඈට ඕනෙ උනා මැරෙන්න.  ඈ කැමති උනේ ඒ උත්තරේට.

මට ඒක තවත් ලේ පැල්ලමක්! ඈ හිතන්න ඇති එහෙම. ඒත් ලේ පැල්ලම් පිරිච්චි මේ මූනත් තහඩුව ගැන කවුදෝ පද යොදල  තාල අල්ලන තරම්,  කොහේදෝ ඉන්න බ්ලොග් කාරියක් ඒ ගී
පද ගැන කතාවකුත් ලියන්න තරම් , ඈට වගෙම අපිටත් රිදුන බව නම් ඈ දන්නෙ නැතිව ඇති. ..
~'~ 
පෙරුම් පුරාගෙන ආ සංසාරේ
පැතුමද සුණු විසුණුව වැ‍ටුනේ
කවුරුද හැඬුවේ ? කාටද රිදුනේ ?
දුම්රිය මොහොතක් නතර වුනේ...

මලක් වගේ රොන් සුවඳ වගේ
ජීවිතයේ සුව අපමණ වේ
දොලක් වගේ දිය දෝත වගේ
ජීවිතයේ අම සිසිල දැනේ

වරක් නෙතග කඳුලැලි පිරුනාදෝ
සිතට දරාගනු බැරි දුක් වීදෝ
දිවිය මොන තරම් සුන්දරදෝ
දුකම කොයි තරම් සතුටක්දෝ.. 
~'~

ප.ලි.  
සේනානායක වේරලියද්ද ගැයූ මේ ගීය වාර ගණනාවක් ඇහුවත් එයින් කියවෙන්නේ දුම් රියකට පැන සිය දිවි නසාගත් යුවතියක් පිලිබඳව යැයි මා දැන ගත්තේ මේ ඊයේ පෙරේදා. මේ ගීයත් එහි කතාවත් එලියට ආව ලන්ච් එකට සහ කතාව කිව්ව ලකීයාට මගේ ස්තූතිය ! 



Wednesday, April 18, 2012

[244] ඇඟිලි තුඩු

පෙණ බුබුලක් මත
නොතියන් ඇඟිලි තුඩ
අත වැදෙන මොහොතක
එයින් ගිලිහෙයි හිස්තැන..

විනිවිද පෙනෙන මැදද
වටකුරු හැඩ තාලද
දිලෙන පලිඟු වන් බිතද
රික්තයට තනි රකින ..

බරින් තොර , පාවෙන
නොවෙනස් පෙණ බුබුල
ඇඟිලි තුඩු දැක රොස් වන
බිඳී විසුණුව යනු නොහෙන..

Sunday, April 15, 2012

[243] විශ් !


අවුරුදු දවසේ මට මහා පැන දෙකක් තිබිණ.
එකක් මේ හැමෝටම විස් කරන්නේ කෙලෙසද යන්නය... අනික විස් කරන අය එකෙක් නෑර අත නොහැර පෙරලා සේම් ටු යූ කියන්නේ කෙලෙසද යන්නය.

ඒ දෙකම ප්‍රස්නෙයක් වන්නේ ... බොහෝ හේතු නිසාය. ලොකුම ප්‍රස්නය තාක්ශනයය. හේතුව නම් ඊමේල්,, එස් එම් එස්, චෑට්, ෆෙස් බුක්, ගූගල් ප්ලස් , ෆොටො ටැග්ස් , කෝල්ස් , කොමෙන්ට්ස් ටැග්ස්, එකී මෙකී නොකී බහුමාධ්‍ය විසින් මගෙ ඔලුව නන්නත්තාර කිරීමය.

ඊමේලයකට රිප්ලයි ලියද්දී ෆෝන් එකෙ එස් එම් එස් ටූක් ටූක් ගායි. සමහරුන්ට සහ මට මේ සවුන්ඩ් එක පෙන්නන්න බැරිය.  එස් එම් එස් එකට රිප්ලයි ලියද්දි ඒක ඩ්‍රාෆ්ට් වී කෝල් එයි.

ඒ දෙක ඉවර වී කොම්පීතරය බලද්දී එස් එම් එස් එවු කෝල් කල බූතයාම මාව ෆොටො වලට ටැග් කොට ඇති අයුරු පෙනෙන විට දැනෙන ප්‍රීතිය !

 අහා අහා අහා.. 

වලාකුලු අයියා සිහලෙන් හිනාවෙන්න 2010 කියා දුන්නේ එසේය.. වලාකුලු බ්ලොග් එක ඔබට මතකද? ඒකා දැන් ලියන ලිවිල්ලක් නැත. යාලුකම නම් එසේමැයි.

දැන් මේ කෝචෝක් රචනාව මම ලිව්වේ මට මෙහෙම විස් කළ අයට බනින්ට හෙම නොවේ. ඒ වෙනුවට ඒ විස් කල අය මට කොච්චර අගේද කියන්ටය .

මම මහ චාරයක් නැති එකියකි. එහෙම කියන්නේ වෙනකක් නිසා නොවේ. මම විහින් චෑට් නොයවන නිසාය. මා විහින් එස් එම් එස් නොයවන නිසාය. මම විහින් කෝල් පවා නොදෙන නිසාය. එකම එක අවුරුදු ටෑග් එකක්වත් මම කෙරුවේ නැත. මොකද එහෙම කෙරුවොත් අනික් අය තරහ වෙන එක වලක්වන්ට බැරිය.

ගූගල් ප්ලස් සහ ෆෙස් බුක් එක අස්සේ 2000 ඉක්මවන මිතුරු මිතුරියන්ගෙන් එකෙකු හෝ මගාරවන්නට හිත නොදෙයි. හේතුව නම් ඒ හැමෝම මම පුද්ගලිකව අඳුනන නිසා නම් නොවේ....  ඒකට හේතුව මේ කට්ටිය ගොඩ දෙනෙක් මගෙ වටේ ඉන්නේ සන්සාරේ අපි නිසාය. මම ලියන විකාර නිසාය.

මම සෙලිබ්‍රිටි කෙනෙක් නොවේ. එහෙම වෙන්නට වුව මේ ආත්මේදී බැහැය. ඒ නිසා මේවා ඔක්කොම ලියන්නේ මම මහ ලොකු කෙනෙක් නිසා නොවේ. ලොකු කෙනෙකු නොවීත් ලියන එක අකුරක් හෝ මතක සිය දාස් ගානක් මාව මතක් වී විශ් කල එක මහ සතුටක් නිසාය, ටැග් කිරීම ප්‍රීතියක් වන්නේ එසේය ...

සමාජ සම්බන්ධතා මගේ ලෝකය තුල සීමා කිරීමට මගේ පුද්ගලික කාරණා තියේ. එහෙත් සමාජයට පණිවිඩයක් ලියනු උදෙසා , ඒ ලියන දෑ කෙරේ පෙරලා සතුට ලබා ගනු උදෙසා මම පුද්ගලික සීමාව බාධකයක් නොකර ගමි.මගේ ෆෙස් බුක් එක තනිකරම ඔරිමජිනල්ය. කිසිවෙකුට මගෙ පොදු කරුණු මා වසන් කරන්නේ නැත. ඒ වගේම මම ලියන එව්වා ඇනෝ නැත. ඇනෝ වෙවී ලිවිය යුතුයැයි හන්වඩු ගසන කරුණු පවා මම ඇණෝ නොවී ලියමි. එහෙම ලියන්ට බැරි නම් මම නිකම් ඉමි.  මොකද මට මා නොවී වෙන කවුරු වුවත් වැඩක් නැත.

අවුරුද්දට මම කිසිම දෙයක් වෙලාවකට කළේ නැත. වෙන අය අවුරුදු සීසන් එකට ඈඳුම් ගනිද්දී මම ඕෆ් සීසන් එකට ඇඳුම් ගත්තෙමි. මගේ ජීවිතය වෙනස් වන්නේ අවුරුද්දකට සැරයක් නොවේ. නැගිටින හැම උදේකම මගේ දවස වෙනස්ය. මගේ ඇඳුම වෙනස්ය. මගේ සිතුම් පැතුම් වෙනස්ය. කියවන හැම පොතකම මට මතක එක පිටුවක් හෝ තිබේ.මම යනු ජීවිතය මේ විය යුතු යැයි නිර්ණායක නැති නිදහස් ජිවියෙක්මි.

එහෙත් ඒ තරම් ඉසව්වක් ස්පර්ශ කරනු උදෙසා කෙල්ලක වශයෙන් අනුභව කල පරිභව සහ කරදර ඉවරක් නැත. එහෙත් කිසිවෙකුට ලෙහෙසියෙන් දිනිය නොහැකි දෙයක් මම ඒ භීෂණය අවසානයේ දිනා ගෙන සිටිමි. ඒ 'මම' ය.

අවුරුද්ද ලබන වෙලාවේ මම හිටියේ ගෙදරය. එහෙත් ගෙවල් වලට යාගන්නට බැරිවූ , යන්නට ඕනේ උනත් විවිධාකාර සේවාවන් වෙනුවෙන් ගෙදර අම්මලා එක්කලා අවුරුදු කනු බැරිවූ මිනිසුනට නැති අවුරුද්දක් මට මොකටද?  

ගෙවෙන හැම දවසකම අවුරුදු වගේ අයට අවුරුද්දෙහි අගයක් නැත. ගෙවන හැම දවසම ගෙවා ගන්න එක ප්‍රශ්නයක් උන උන්ටත් අවුරුද්දට පතන්නට සහ ලබන්නට දෙයක් නැත. අනික් උන් අවුරුදු කන හැටි බලමින් හූල්ලන්නට සිද්ද වෙන එක මහමග දුගී මගී යාචකාදීන්ටත් , අවුරුද්දක් සමරන්නට හිතෙ සතුටක් නැති කාටත් , අනික් උන්ගේ අවුරුද්ද වෙනුවෙන් තම අවුරුද්ද කැප කල හැමටත් , කිරි ඉතිරෙන රටට හෙණ නොවදින්නට රට රකින බංකර් පිරී ඉන්නා මුර සෙබලුන්ටත් , උදෙ හිට එක ඉරියව්වෙන් හිටගෙන ඉන්නා රජවාසල මුර කරුවන්ටත්  පොදුය . උන්ට නැති අවුරුදු අපි කන්නෙමු...

කිරි ඉතිරෙනා තෙක් ගම්මුන් නුවරුන්ට
කිරි උතුරමින් නැහැවෙන රට රැක ගන්ට
කිරිතේ එකක් වත් නැති රණ සෙබලුන්ට
කිරි ඉතිරියන් ඉටු දෙවියන් බුදු වෙන්ට !

තන් වල කිරි එරෙන් බඩගිනි බිලිඳුන්ට

අන් දුක මුරට ඉන්නා වෙද හෙදියන්ට
අන් සැප රකින අන් තැන තනි වුන උන්ට
රන් වැහි වහින් අවුරුද්දක් නැති උන්ට !

අහසෙන් වැටෙන වැහි දැක්කත් හිනා වෙන
පොලවෙන් එබෙන වන මලටත් සෙනේ දෙන
හුලඟෙන් ඉරෙන් හඳ පලුවෙන් බැඳී ගෙන
නුවණින් පහන් අවුරුද්දක් නැගී එන !

2012 - 4 - 13 - අවුරුදු නැති උන් හැමටම ජීවිතේ මල් එක් මොහොතකට හෝ පිපේවා !

සංසාරේ අපි - Sansaare.blogspot - Dilshara Weerasinghe - ජීවිතේ මල්

Tuesday, April 10, 2012

[242] ඇගේ රුපියල් පනහේ අවුරුද්ද !

දවස: අද
වෙලාව: පස්වරු 6යි
ස්ථානය: ආපිකෝ සුපර් මාකට් එක - නුවර 

මේක ඇත්ත කතාවක්. ඇහින් දුටු සිද්දියක්. සිද්දිය හරිම පොඩි වේවි ඇතැම් විට ඔබට. මට හරිම ලොකු උනාට. .. කතාව කියන්නද එහෙනම්..

මුදල් ගෙවන කවුන්ටරයේ රෙදි හැට්ට! තාන් ඇඳුමෙන් සැරසුනු යුවතියන් කවුන්ටර අරක් ගෙන. අලුත් ඇඳුමක්! කබා කෝට් දවස් කිහිපයකට පලා ගිහින්.. ඒත් මැදැයි. රට යන අත ගැන අඩු ගානෙ එහෙමවත් සතුටු වෙන්න. 

මම හිටියෙ කවුන්ටරයේ තුන් වෙනියට. මට ඉස්සරහින් සල්වාර් ඇඳුමක් ඇඳගත්තු, කණ්නාඩි දෙකක් දාගත්තු ලස්සන , අවුරුදු 30ක විතර වගෙ යුවතියක්. ඊටත් ඉස්සරහින් බොහොම වයස්ගත ඒත් පිරිසිදුව පිලිවෙලට අත් දිග කමිසෙකින් සැරසුනු අවුරුදු 60ක පමණ මහත්මයෙක්. 

මහත්මයාගෙ වාරෙ. කරන්නට දෙයක් නැති කම නිසා මමත් අරමුණකින් තොරව සාප්පු කූඩ වල තියෙන බඩු භාණ්ඩ දිහා බල බල හිටියේ. මහත්මයාගෙ බඩු බාස්කට් එක කැශියර් අක්කා එකින් එක බිලට ඇතුලත් කරලා ඉවරයි. දැන් මහත්මයාගෙ වාරෙ.. මහත්මයා සාක්කුවෙන් මුදල් ඉවතට අදිනවත් , මුදල් අතරෙ සීයෙ කොල දෙකක් තිබෙනවත් මම හොරැහින් බලාගෙන. ආයෙමත් නිරායාසයෙන් මහත්මයාගෙ බඩු බාස්කට් එක මට බැලුනෙ ඒ කූඩෙට රුපියල් දෙසියය මේ කාලෙ ඇති වෙනවද කියන කුහුලෙන්... 

මහත්මයා ටිකක් කලබල වෙන අයුරුත් , අතේ රැඳුනු ලොකු බ්‍රීෆ් කේස් බෑගය කෑශියර් මේසය උඩින් තබාගෙන දිගහරින අයුරුත් මම බලාගෙන. අනුන්ගෙ බෑග් ඈතුලෙ බලන එක නරක පුරුද්දක්. ඒත් එහෙම වුනා. කැත හිත වෙන්න ඈති. ඒ බෑගය ඈතුලෙ ෆයිල් කවරෙකුත් , ඒ මත ලොකු CDMA දුරකථනයකුත් හරිබරි ගැහිල වැතිරිලා හිටියා. මීට අවුරුදු පහ හයකට කලින් වගේ ඒක ටිකක් සාමාන්‍ය සිද්ධියක් වුනත් , අද කාලෙ නම් CDMA ෆෝන් විශෙෂයෙන් බ්‍රීෆ් කේස් බෑගයක අරගෙන යන එක ටිකක් කුහුලින් දකින්න දෙයක් ... ඒ නිසා ඒ රූප රාමු කිහිපයට මගෙ හිත ඈදිල ගියා. 


මහත්මයා දෑන් බෑග් එක ඈතුලෙ මුදල් හොයනවා. සාක්කු අදිනවා . කාසි කිහිපෙකුත් රුපියල් විස්සෙ කොලයකුත් බෑග් එකෙන් එලියට ගන්නවා මට පෙනුනා. අතෙ තිබෙන මුදලත් කූඩයෙ තිබෙන බඩු බාහිරාදියත් සම නොවෙන බව වටහගෙනද මන්දා මහත්මයත් අයකැමි නෝනාත් ටිකක් අපහසුවෙන්. අයකැමි නෝනා බලන් ඉද්දි , අර මහත්මයා හිනාවකුත් පාලා 

'බලන්නකො රුපියල් සීයෙ කොලේ පන්සීය වගෙනෙ දෑක්කෙ. මම හිතුවෙ පන්සියයක් තියනව කියලා' 

මහත්මයා ටිකක් අපහසුතාවෙන් වගෙම දිග් ගැහෙන පෝලිම ගැනත්  කලබලෙන් බ්‍රීෆ් කේස් බෑගයෙ ආයිත් කුඩා පොකට් අතගාන්න පටන් ගත්තා.. කූඩය දිහා බැලුන මට දැනුනෙ සීයෙක් ගෙදර ඉන්න පොඩි එකෙකුට ගෙනියන පොඩි පහේ කෑම බීම. .. චොකලට්... බිස්කට්.. ස්මාටීස්... මීට්බෝලස්... සීයට නම් වෙන්න බැහැ වගෙ.

මහත්මයා හිත හදන් තීරණයක් අරන් වගෙයි. රුපියල් 210 කවුන්ටරෙන් තිබ්බ මහත්මයා මේකට හරියන්න බඩු ටික දෙන්නකො කියල අපි දිහාවෙත් බලාගෙන හිනා වුනා. ඒත් ඔහුගෙ හිතෙන් ලෑජ්ජාව පහවෙලා නැතැයි දැනුනෙ ඔහුගෙ මුහුණෙ මතුවුනු දහඩිය බින්දු දැකලා. මීට කලින් ඒ මහත්මයාට ඒ වගෙ දෙයක් වෙන්න නැතුව ඇති. මට එහෙම හිතුනා. 

ඒ මුදලට හරියන්නට කුඩා මීට් බෝල පැකට්ටුවකුත් , මාරි බිස්කට් පැකට්ටුවකුත් , තවත් බිස්කට් පැකට්ටු දෙකකුත් දාලා අයකැමි ගැහැණු ලමයා බිල අවසන් කරන්නට සැරසෙත්ම මහත්මයා ආයිත් කලබලෙන් හඬ අවදි කලා. කූඩයෙ ජෙම් බිස්කට් පැකැට්ටුවකුත් , ස්මාටීස් සැශේ පැකට් දෙකකුත් තව චොකලට්ටුවකුත් ඉතුරු වෙලා තිබ්බා. 

'අනේ පොඩ්ඩක් ඉන්නකො. මේ ජෙම් බිස්කට් එක කීයද? ' අහමින්ම බිස්කට් පැකට්ටුවෙ මිල ගලපමින්  ,  ඔහු ආයිත් මාරු කාසි කිහිපයකින් රුපියල් 32ක් ගලපගන්න උත්සහ කරනවා දකිද්දි හිතට දැනෙන්නට ගත්තෙ මහ දුකක්. 

අයකැමි නෝනාට ටිකක් තරහ ගිහින්. කේන්තියෙන් හුස්මක් පිටකල ඇය පෝලිමේ ඉන්න අපි දිහා සමාව ඉල්ලන සහ නොරිස්සුම් සහගත බැල්මක් හෙලුවා. එක අතකින් , අවුරුදු කටේ නිසා, බලන් ඉද්දි පෝලිම දිගු වෙන කොට ගනුදෙනුකාර භවතුන් වෙනුවෙන් පිටවෙන   ඇගෙ නොරිස්සුමත් අමනුස්සකමක් නෙවෙයි. 



මට ඉස්සරහ හිටගෙන හිටි යුවතිය මේ ඔක්කෝම බලාගෙන නිශ්ශබ්ද මුහුණෙන් පර්ස් එක ඇරියා. මහත්මයා අර ජෙම් බිස්කට් පැකට්ටුවට රුපියලෙ දෙකෙ කාසි ගලපන ඇසිල්ලෙන් ඇය ,

'මේ ටිකට බිල දාන්නකො' කියලා අයකැමි කතට කිව්වා. 

අයකැමි අක්කා නිරුත්තරව බලාගෙන හිටියා. මහත්මයත් කාසි හොයන එක පැත්තක තියලා ඇය දිහා බැළුවා. ඇය කා දිහාවත් බැලුවෙ නෑ. අයකැමි කත ඒ ටිකට බිල දාන අතරෙදි , මේ යුවතියම කුඩා ශොපින් මල්ලකට ජෙම් බිස්කට්ටු පැකට් එකත් , ස්මාටිස් පැකට් දෙකත් චොකලට්ටුවත් එබුවා .. 

'ගන්න අන්කල්' කියූ ඈ , ඔහුගෙ අතෙ මල්ල තබමින්  ඔහුට ලාවට හිනා වුනා. 

අන්කල්ගෙ මුහුණේ ආදරයත් , දුකත් , ආත්මානුකම්පාවෙන් මඬනා ලද කාරුණික හැඟීමුත් මතුවෙමින් ඇස් වලට කඳුලු එන්නට වුනා. 

' තැන්ක්යූ දුව. these are for my grand son. ' එසේ කියමින් ඔහු ඒත් නොයා නිරුත්තරව හිටියා. 

ඈ හිනා වුනා. 'I guessed' ඇය කිව්වා. 

ඇය සන්සුන්ව ඒ ටිකටත් තම බඩු මල්ලටත් ( ඒ බඩුමල්ල පිරී තිබුනේ අයිස් ක්‍රීම් සහ රූපලාවන්‍ය ක්‍රීම් වර්ග කිහිපයකින් ) මුදල් ගෙවා බෑග් අතට ගනිද්දී , අන්කල් ආයිමත් 

'තැන්ක්යූ සෝ මච් දුව' කියමින් එතනම හිටියා. 

'හැපි නිව් ඉයර් අන්කල්, Its a very small gift' 
කියමින් ඇය එතනින් ඉවත් වුනේ... ඇගේ සැබෑ අවුරුද්ද සහ මනුස්සකම දෑසින් දකින්නට පින් ලද අපවත් වාසනාවන්තයින් කරමින්. 

ඒ සීයාට රුපියල් පණහක මුදලක්  එවෙලේ අකරතැබ්බයක් වුනාට , අනෙක් වෙලාවකදි මහ දෙයක් නොවෙන්නට ඇති.  ඒ යුවතියට රුපියල් පණහක අමතර වියදම දැනෙන්නටවත් නැතුව ඇති. ඒත් ඒ සීයාටත්, එමෙන්ම ඒ සුන්දර යුවතියටත් එක දෙයක් හරි බරට දැනෙන්නට ඇති. සීයා කඩචෝරු අරන් එනකල් ගෙදර දොරකඩ බලන් ඉන්න පොඩි කොලු පැටියෙක්.. ජෙම් බිස්කට් දැක්කොත් තාරුකා දෙකක් වගෙ දැල්වෙන ,  සීයා මොකුත් කඩචෝරු ගෙනත් නැති කොට තාරුකා නිවෙන වේගෙන් මැලවෙන, ඇස් දෙක .. ඒ මුණුබුරාගේ ඇස් දෙක ඒ දෙන්නටම මහ බරට දැනෙන්නට ඇති. 


(පොඩි, සරල, ඒත්, මට, බරට හිතුන - ඇත්ත කතාවක්)

Monday, April 09, 2012

[241] හිස් තුරු 'හිස්'




ඈත තුරුහිස් හුලඟෙ තාලෙට
කියනවලු පැද්දෙන ගමන්
තාම හුලඟට අඬන සද්දේ
ඇහෙනවලු දැරියක හෙමින්..

උසට හිටියට දුරට පෙනුනට

අහසෙ ගෑවෙන්නටම මෙන්
දැවෙන තරමක් නොදනි පොළොවක්
තුරු මුදුන් ඉර උණුසුමෙන් ...

Friday, April 06, 2012

[240] හෘද අභ්‍යන්තරයේ උණුසුම් දිය වැල


 සංසාරේ අපි යනු එක්තරා කොත්තුවකි. එහි නැති කිසිවක් නැත. ටැබූ සබ්ජෙක්ට්ස් වල සිට ගුරු වෘත්තියේ අපූරු සිදුවීම් තෙක්ද , කාල අවකාශයේ විවිධ විපිරියාසයන්ට ලක්වන චින්තාවලීන්ට දෙස් දෙන එක එක ජාතියේ සඳැස් නිසඳැස්ද , ගීත විවේචනද , පොත් විවේචනද යනාදී එකී මෙකී නොකී දේ මෙහි ඇත...

එහෙත් සංසාරේ ලියන මට කිසිදා සිදු නොවූ දෙයක් තිබේ. එකම ගීතය ගැන දෙවරක් ලියන්නට තරම් පද වැලක මට අරුමයන් වරින් වර වෙනස් ලෙස පෙනුනේ එක් ගීතයක පමණකි. එනිසාම කිසිදා නොවූ සේ වරක් ලියු ගීයක් ගැනම ආයිත් ලියන්නෙමි.

ඇතැම් ගීත කණට අහුවූ නිමේෂයේ සිට නොකඩවා ඇසීමෙන් දිනකින් දෙකකින් 'එපා' සහ 'අපෝ' වීගෙන යයි. මේ ගීයට පමණක් ඒ අපරාධය තාම නොවූයේ කෙසේදැයි මම සිතමි...




ඔබ නැතුව ඉන්න බැරි තරමට
ඔබ හිතට ඇවිත් හෙමි හෙමිහිට
ඔබ නොදැක ඉන්න බැරි තරමට
නෙත ඔබව සොයනවා දවසෙම ....

මේ සීතල හිම ගිරි අරණේ
මට හමුවූ වනපස කුසුමේ..
පෙති මත සතපා රැගෙන යන්න මා
කුසුම් නිම්නයේ මාලතියේ....

මේ ජීවන අවපස අහසේ
ඔබ පුරපස සඳ සේ පිපුනේ
ඔබේ රැසින් මා තවා ලන්න රෑ
ලය මත සනහා රාජිනියේ ....

බොහෝ සරල සුගම වදන් කිහිපයකට හදවත මත ආන්දෝලනාත්මක විපර්යාසයක් ඇති කළ හැකිද? බටනලා හඬින් කැලතෙන හද ස්වර මත හ‍්රද ගායනයක් වික්ටර්ගේ මුවින් ගිලිහෙයි.


ජීවිතයට ආදරය ලංවන්නේ සුනාමියක් වගේ නොවේ . ආදරය සාපේක්ෂ වුවත් ආදරයෙන් කැලැත්තෙන සිතුවිලි දාමය දිය යටින් ඇදෙන උණුසුම් දියවැලක් මෙන් හර්ද අභ්‍යන්තරය යම්තම් වරින් වර කලඹා ලන අයුරු මේ පද වැලෙහි එතී තිබෙයි.

ආදරයට කෝඩු කාර හෝ කෝඩු නොවන බොහෝ දෙනාට මේ කාලය මතක තිබේ. හෙවත් සිහින දකින යුගය තරම් ආදරය කරන යුගය රසවත් සහ ඩයිනමික් නැත. ආදරය කරන යුගය යම් සේ රසද එතරම් රසයක් යුග දිවියටද නැත. මේ අනුව බලන කළ ආදර ගීත තුරෙනුත් ඔය කී සිහින ලෝකෙ සැරිසරමින් වෙන දේට වඩා දේ හීන දකින යුගයෙහි යන හීන ලෝකෙට වික්ටර් නිතරම මාව ඇදෙගන යයි.

හින්දි චිත්‍රපටයක අබ කෙත් යායක සුලඟට නැලවෙන මල් යම් සුලඟින් කුල්මත් වන්නේද, එතරම් සොඳුරු කැලතිල්ලකින් ඇගේ පහසෙහි සැතපී සිහිනයට පැන යන ඔහුගේ සිත චමත්කාරයෙන් මත්වනයුරු වික්ටර් ගයයි.

ජීවිතය අවපස අහසක් වන්නේ කෙනෙකුද දෙදෙනෙකුට නොවේ, බොහෝ දෙනෙකුගේ ජීවිත කතාවන්හි අඳුරු රේඛා ඇති වැහිබර අහසක ගුප්ත බව රැඳී තිබෙයි. එහෙත් ඒ අන්ධකාරය කපා ගෙන එබෙන පුර පස සඳක් සේ ඇගේ රශ්මිය ඔහු නිවා සනහාලයි. දිවා ඉර මෙන් දවා නොලයි.

මේ ගීයට මෙතරම් ලකුණු දෙන්නට හේතු ඇත්දැයි කෙනෙක් මගෙන් අසනු ඇති. මේ ගීයට මගේ ලකුණ ඔබ නොදෙනු ඇති. එහෙත් සංසාරේ තුල ඇති ජීවිතේ මල්ගේ හෘද අභ්‍යන්තරය තුල 'එපා නොවී' මේ ගීය නින්නාද වෙයි.

ගීය මෙන්න

Monday, April 02, 2012

[239] හෙඩිමක් නැති කවියක් වගෙ ජීවිතයක්

සංසාරේ අපි අතරට සඳැසක් අවසන් වරට ආවෙ ගොඩක් කාලයකට කලියෙන්... ජීවිතය තිගැස්මකට ලක් වෙන කල්හි මොලයේ එක්තරා පැත්තක් ඔල්මාද වෙලා කලාව ඉල්පී එලියට පනින බවකුයි මගෙ හැඟීම. විශෙෂයෙන්ම සඳැසක්... 

මම තාම හිතනවා මේ පැදි පෙලට හෙඩිමක්. එත් අන්තිමේට මට කියන්න වෙන්නෙ මේවාට හෙඩිමක් නැති කවියක් වගෙ ජීවිතයක් කියල තමයි.  

ඒ උනාට මේක කවියක්.... කියවල බලන්නකො. අවුරුදු ගාණකට පස්සෙ එක එක , හෙමි හෙමීට ටික ටික ලියවෙච්චි සඳැස් කවි ටික දැන්. 

මම නොතෙරෙන අපබ්‍රන්ස පෝස්ට් ලියනවය කියල නිතර දෝස්මුර දාන මගෙ හිතවත්තු ටිකයි , සඳැස කවි ගෲප් එකට මාව එකතු කළ විපුල සුමනසේකර මාමායි මතක් කරමින් , ඔන්න එහෙනම් ලියනවා , ආයිමත් කවිය පල්ලෙහායින් ... මේකෙ කවි එක දෙක ඔයාල මුහුණු පොතෙ දුටුවාට සැක නැහැ.. :) මෙන්න ඔක්කොම එකතු කලා දැන්.. දැන් නම් මේක කවි පෙලක් වගෙ පේනව නේද??? :-)  

 ~`~

එලියක්    ඇවිත් වැතිරෙන විට අඳුරු හිත
මෙතුවක් නොලත් පැහැ දැක හිත බිඳෙනු නැත
දැරියක්    අතින් ඉහිරුනු පැහැ අහුරු මත
ඉඟියක්   නොහොත්, 'අතොරක් ලඟ' ලකුණු ඇත

පැතුමක්   එතෙන හැඟුමට සසැලෙන කැලතී
මුහුණක්   දකින සැණයක හද වෙණ නවතී
දහසක්   මතක ඉගිලෙන අඳුරට බියැ'තී
අහසක්   අඬනවද වැහි බිඳුවට හිතැතී ?

මතකෙන්   මතක පිරැවෙන සෙනෙහස් බඳුන
අතරින්   පතර කඩතොල් නොම සිස් බැවින
සිර ගෙන්   මිදුනු මුත් කටු කොහොලින් පිරුන
කඳුලින්    මවක දල්වමි කුල ගෙයි පහන ?

පෙර අත්   බවෙක සිත් බිඳි කම් කරන්නැ'තී...
ලද අත්   බවෙහි එහි කටු ඵල ලබන්නැ'තී...
ඇති මුත්   යමෙක් නොකියෙවු දිගු කවක් ගෙතී...
හදවත්   බිතෙහි ඇඳි සොඳ රූ මැකෙන් නැතී...

අතොරක්   නැතත් අතුරක් වන් දිවි මගෙක...
කොතෙකුත්  වෙසෙස් දසුනින් සිත වෙයි මෙලෙක...
නිදහස්   ලොවක් නැසු කෙරුමන් පිරි එ'වක...
එහෙයින්  බියක් නැති ලෙද පියඹනු නොහැක...


මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->