Wednesday, March 31, 2010

ආදරය හෙවත් සුප් හොද්ද....

(කට හම යන කන්..ජීවිතය හම ගැසූ කයි කතන්දර... 2)








 තරුණ යුවලක් - ඈත අසුනක ඉඳගෙන...  එකිනෙකාට තුරුලු වෙමින්, රහසේ බස් කොඳුරමින්, තරුණිය තරුණයාගේ උරහිස් වල දැවටෙමින් සිනහ වෙනවා... ඈට මේ ලෝකේ වගක් නැතුව වගෙයි... තරුණයා ආදරයෙන් ඈ දිහා බලා ඉන්නවා.. මොහොතක් තරුණියගේ හිස සිප ගන්නවා කාටවත් නොදැනෙන්න... ඈ නෙත් පියා ගෙන එය විඳිනව...


ඔවුන් දෙන්නා ඇත්තටම කුරුලු ජෝඩුවක් වගෙයි...  ඔවුන්ගේ දෑත් එකිනෙක පැටලිලා...ඈ තරුණයාගේ උරහිසේ හිස හොවා ඉන්නවා... ඔහු නිකටෙන් ඇගේ හිස උරහිසට තද කරන්, නිහඬව එය විඳිනවා...


හ්ම්ම්... දැන් අත උස්සන්න බලන්න මේ කතාව කියවද්දි ලැජ්ජා හිතිච්ච කට්ටිය ?
"ඉතින් ඊට පස්සේ? " කියල මගෙන් අහන කට්ටියත් අත උස්සනවද?


"අපෝ මේක හරියට මල් නවකතාවක ඡේදයක් වගේනේ..."


"මේ මොන බොලඳ කතාවක්ද? අප්පා..."


"මුන් හැසිරෙන්න දන්නෙ නැති හැටි.."


"ඒ මදිවට ජීවිතෙ මල් , කෙල්ලෙක් වෙලත් මෙවුව කිසි ලැජ්ජාවක් නැතුව ලියන හැටි... !"


මේ සිතිවිලි වලටත් අත් කීපයක් හරි එසවෙයි නේද?


සොඳුරු කතා කාරයින් සමග නිමක් නැති කතා බහ වල අතරමං වෙද්දී අද දවසේ කතා මාතෘකාව උනා මේ තරුණ යුවල...


ඔයාලා හැමෝටම මොකක් හරි දෙයක් ඇති ඒ ගැන කියන්න... ජීවිතේ මල් තවම කතාව ඉවර නැහැ... ඈටත් තියනව කතාවක් කියන්න...  සොඳුරු කතනදර කාරයකු කීව කතාවකුත් කියන්න තියනව... ඕන්න එහෙනම් අහන්න...


ඉතින් මේ යුවල නිශ්ශබ්දව ආදරය කරමින්, කොඳුරමින්, නිසංසලේ යනවා.... මෙච්චර කලබලකාරී වාහනයක... ටිකක් ඈතින්... මැදි වියේ කාන්තාවෝ දෙන්නෙක් ඉන්නව... ඒ දෙන්නගේ ඇස් මේ යුවල දිහාවේමයි... ඒ ඇස් වල තිබ්බේ දයාව ආදරය පහන් හැඟුම් නම් නෙමෙයි.. අප්‍රසාදය, තරහව, කලකිරීම ඒ ඇස් වල දිලිසෙන්න වගෙයි මම දැක්කේ....


මගේ ලඟම හිටි සොඳුරු කතා කරුවට මම මෙහෙම කිව්ව


" මම මේ හිතුවෙ අර ඇන්ටිල දෙන්න මේ පෙම් ජවනිකාව ගැන මොනව හිත හිත යනව ඇතිද මේ වෙලාවේ? කියල" . අනුන්ගේ හිත් ගැන පේන කියන එක හොඳමත් නැහැ. ඒත් එකෙන් හොඳ වෙන වෙලාවලුත් තියනව... අද වගේ...


" අම්මප මුන්ට ලැජ්ජා නැති හැටි...අපේ කාලේ නම් ඔහොම නැහැ" කියල හිතනව ඇති... - මම කිවුව...


කතා කරුවත් පුදුමයට වගේ ඒකම හිතලා... හැබැයි මම හිතන්න පැය බාගෙකටත් කලින්ලු ...


" මමත් ඕක හිතුවා... අම්මපා මුන් ප්‍රසිද්ද තැනක හැසිරෙන්න දන්නේ නැති හැටි!" කියල හිතනව ඇති... - සොඳුරු කතා කරුවා කියුවා..


" ම්ම්.... මේ රටේ ඉන්නේ බොරු සදාචාරයකුයි නැති විනයකුයි ඔලුව උඩ තියා ගත්ත කුහකයෝ... අන්තවාදියෝ.... -මම කිව්වේ කලකිරීමෙන්.


තව දෙයක් මගේ හිතට ආවා


" නැහැ මෙහෙම දෙයකුත් හිතෙනවා ඇති.. මෙහෙම ලව් කර කර කවුරු හරි යනකොට එයාල  උපකල්පනය කරගෙන මවා ගන්නව වෙන්න ඇති ඊලඟට වෙන්න පුලුවන් දේවල්. අත් අල්ලන් නම් ඉන්නේ ඊලඟට කිස් එකක්.. ඊලඟට.... මෙන්න ඒ වගේ.... එක එක එවුව... මේ ගෑනු මිනිස්සු නැත්නම් මෙච්චර මොකද අපුලෙන් බලන්නේ  ආදරේ දිහා... මොකද උන් දෙන්නා වැරදි වැඩක් කරනවයැ... ? කුහක කම... මොකුත් නෙමෙයි කුහක කම...  උන් හිතන්නේ ආදරේ කියන දේ කාමය වරදවා හැසිරීම තරම්ම තැනකට ගිහිල්ලා තමා නතර වෙන්නේ කියලා..." මම කියාගෙන ගියා...


සොඳුරු කතන්දර කරුවත් මොහොතක් කල්පනා කලා...


" ඔව් ... ඒ කතාව හරි වෙන්න පුලුවන්... මේ මිනිස්සු කොච්චර ගතානුගතිකද කියනවනම් , ආදරය කියන දේ මුලිනුපුටා දමපු රාගය සංසිඳවා ගැනීමක් පමණක් අත් විඳපු අය නිසාද දන්නේ නැහැ එහෙම අප්‍රසාදයෙන් බලන්නේ... මොකද තම තමුන් එක එක දේවල් වලට ප්‍රතිචාර දක්වන්නේ තම තමුන්ගේ අත්දැකීම් අනුවනේ..


යුවලක් අත් අල්ලගෙන, එකිනෙකාට ඉතාම ලං වෙලා යනකොට මේ මිනිස්සු  හිතන්නේ " මේක නම් තනිකර මදය... මේක නම් කෙලවර වෙන්නේ කාමයත් සංසිඳවා ගැනීමෙන් කියලයි..ඒ දිහා බලන්නේ මුන් දෙන්නා රාගයෙන් වියරු වටිලා මෙතන හොඳ හොඳ සෙල්ලම් දකින්න තව ගත වෙන්නේ මොහොතයි දෙකයි" වගේ....  කුතුහලය, දෙගිඩියාව , තරහව, උද්වේගය පිරිච්ච අපිරිසිදු ඇස් වලින් ඊට පස්සේ හොයනවා 'සදාචාරය, විනය , හැදිච්චකම නාමයෙන් මුන්  දෙන්නව සංස්කෘතික බන්ධනාගරයට අතඩංගුවට පත් කරන්න හේතුවක්...


ඔවුන් හිතන්නේ අත් අල්ලා ගැනීමෙන්, ලං වීමෙන්, සිප ගැනීමන් සිදු වන්නේ  ලොකු process එකක ආරම්භය මිසක් මෙතැනින් සංසි‍ඳෙන ආදර හැඟීමක් තිබිය නොහැකි බවයි... " තැන නොතැන දන්නෙ නැති කම...නැහැදිච්චකම.. වැඩිහිටියන් ඉන්න එකවත් සලකන්නේ නැති එක " - ඒක තමා එවන් ආදරවන්තයන්ට දෙන පදක්කම...


මොකද එයාල ලබලා තියෙන්නේ ඒ වගේ අත්දැකීමක් වෙන්න ඇති...එක්කෝ ආදරය පිටිපස්සෙන්ම කොහෙ ගියත් කාමාවේශය ලුහුබඳින හැඟීම් වෙන්න ඇති... මිනිසුන්ගේ මිනිස්කමට මම නිග්‍රහ කරනව නෙමෙයි... ඒත් සුන්දර  ආදරය ලබල නැති කෙනෙක්, එතැන ආදරය විඳින්න , ලබන්න නතර වෙන ආදරවන්තයෙක් අත් විඳින සංහිඳියාව දිහා සරාගී රංගනයක මුල් ජවනිකාව


හැටියට දකින් එක වැරදියි කියන්න අමාරුයි.. ඒ එයාගේ අවබෝධය... එක්කෝ  අහිමි වීමේ සියුම් ඊර්ෂ්‍යාව... නොලැබීමේ දුක...


එයාල හිතන්නේ ආදරය කිරීම , ලං වීම , සිප වැලඳ ගැනීම කියන්නේ කෑම කන්න කලින් බොන සුප් එක වගේ කියලයි... සුප් බීවම එන කෑම රුචියට පස්සේ කෑම නොකා ඉන්න බැහැනේ.... සුප් බොනවා නම් කෑම කන්නම වෙනව කියල හිතනව ඇති... නැත්නම් එක්කෝ මුන් සුප් බොන්න පුරුද්දක් නැතුවම කෑමම එක පාර කන්න විතරක් දන්න එවුන්... සුප් බීමෙන් නතර විය හැකි තෘප්තියක් තියනවයි කියල ජීවිතේට අදහන්නේ නැති එවුන් තමා ඔහොම විනය ගරුක මිනිස්සු වගේ ලව් කරන දිහා බලන් ඉන්නේ..."


ඇත්ත.. සොඳුරු කතාවෙන් මතුවූ දේ දවස් ගාණක් හිතන්න වටින දෙයක්...


සුප් නොබී කෑම ගැනීම නීරස විය හැකියි, starter එකක රසය දන්න කෙනෙකුට...  starter එකක් ගැන නො ඇසූ කෙනා සිතන්නේ සුප් බීම අහර ගන්න තියන වෙලාව නිකම් අපතේ යැවීමක් පමණයි කියලයි... සුප් එකක රසය දන්න අය අතර සුප් එකෙන් සෑහෙන්න සූදානම් අය වුවත් සිටිය හැකි බව දකින්න තරම් විවෘත මනසක්, කුතුහලයෙන් නොව බුද්ධියෙන් මෙහෙයවන මනසක් මෙ රටේ මිනිසුන් ලබන්නට තව ශත වර්ශ ගණනාවක් නොයාවිද?






ආදරය දිහා ආදරෙන් බලන්න... මේ මිනිස්සුන්ගේ ඇස් ඇරෙන්න.....


සොඳුරු කතාකරුවාටත් ස්තූතියි.... :-)

19 comments:

  1. Love is a great thing...and the person who tastes it knows that it is something beyond the sex,,( but sex is a prat and parcel of the love as well)....
    The person who haven't experienced a true love other than a sex experience may have a illusion regarding the love and may think about the same in different way...(eg.the two women in above story)
    We sri lankans have a cultural habit of keeping our feelings secret and most of the time not expressing them for ever... i mean most of the time we are not true to our self,conscience
    ...further there are boys and girls who attract each other only for the fulfilling of their sex needs...which never a long lasting relationship.. in this case ...as you mentioned it on one of your previous blog , our cultural values protect our society..and there is something rational behind them..
    so i think this is a question of identifying the true love ( without misleading to the sex attraction as love) and understanding our limits as well....which is one of the question we all face during our lives...

    ReplyDelete
  2. මට නම් වලිලැජ්ජාවේ සංතොසේ බෑ. මොනවද කරන කැත වැඩ? දෙන්නෙක් තමන්ගෙ පාඩුවේ ආදරේ කරද්දි මිස් ඒ දිහා හොරෙන් බලාන ඉඳලා. ඕවා කැතවැඩ මිස්.. (ලොල්)

    අනේ මිස් ඔතන වැඩිපුරම තියෙන්නෙ "සිරිලාංකීය අභිමානය".
    හින්දි චිත්‍රපටියක/ටෙලියක බාගෙට ඇඳගෙන උඩපනින ඒවා වැලඳගැනීම් (ඒ වගේම වෙනත් වෙනත් දේවල් - රන් දෙපැයද මොකක්ද එකේ නාට්‍ය වල තියෙනවා කියන දේවල්) කිසිම ගාණක් නැතිව පැල්බැඳගෙන බලන අයම සිංහල චිත්‍රපටියක/ටෙලියක නිලියයි නලුවයි පොඩ්ඩක් තුරුල්වෙලා/ළංවෙලා හිටියම බැන බැන නාලිකාව මාරු කරනවා. ඒ කියන්නෙ "සිරිලාංකීය අභිමානය" නේද? ලොල්..

    ඕවා ගනන්ගන්න දේවල් නෙවෙයි මිස්. ඔය විදියට හිතන අය දැන් වඳවීයන ජීවීන් වගෙයි. " උචිතෝන්නතිය " කියලා දෙයක් තියෙනවා (ලු) නෙ.

    ඇත්ත. සාමාන්‍යයෙන් කෙනෙක් යම්කිසි සිදුවීමක් දිහා බලන්නෙ "තමන්ට සාපේක්ෂව". ඒ නිසා ඉදිරියට සිදුවිය හැකි දේ අනුමාන කරනවා විය හැකියි. සමහරවිට කාමයේ වරදවා හැසිරීම කියන දේට "වැඩිහිටියන් ඉදිරිපිට පෙම් කිරීම" ත් අදාල ඇති..(O_o) . අපේ තිබුණා කියන සංස්කෘතිය අපි ආරක්ෂා කරන්න එපැයි මිස්.. ඒ හින්දා අපි "ශ්‍රේෂ්ඨ" ජාතියක් වදිහට ලෝකයේ නම රඳවන්න ඕනි.

    ඕවා නිකන් පුහු මනස්ගාත. ඔය වගේ මිනිස්සුන්ට "බිල් නොගෙවන, නොමිලේ දෙන නාලිකා විතරක් ලැබෙන සැටලයිට් ටීවී සම්බන්ධතා" අරන් දෙන්න ඕනි මිස්. මොකද ඒවායේ වැඩිපුරම තියෙන්නෙ රට රටවල් වල "සංස්කෘතික වැඩසටහන් (+etc) " නිසා.

    මීට අවුරුදු 10කට කලින් තිබුණ සමාජය ආපහු ලංකාව තුල නිර්මාණය කරන්න බෑ. ඒ දේ කරන්න පුලුවන් කියලා හිතන අය ඒකට උත්සාහ කරපුවාවෙ. ඒ අය හිතන් ඉන්නෙ තමන් ඉස්සර ජීවත් වුන සමාජයම කිසිම වෙනසක් නොවී දිගටම තියෙන්න ඕනි කියලායි. (චීනෙ ආණ්ඩුවටත් බැරි වුණ දේ මේ ටික දෙනෙක් කොහොමද ලංකාවෙ සිද්ද කරන්නෙ? (චීනෙ ආණ්ඩුව ඇමරිකානු සංස්කෘතිය රට ඇතුලට එනවා කියලා කොච්චර දේවල් කලාද ඒකෙන් ආරක්ෂා වෙන්න- ඒ වුනාට දැන් චීනෙ තරුණ පරපුර අහන්නෙ චීන සංගීතය නෙවෙයි, පිටරටවලින් ආපු සංගීතය. හැසිරෙන්නෙත් චීනෙ විදියට නෙවෙයි)). අපිට පුලුවනි "වපර ඇහින් බලන අය" බලාපොරොත්තු වෙන සමාජය නැවත ගොඩනගන්න "පරිණාමය නවත්තන්න පුලුවනි නම්".

    දැන් මිස්ගෙ ලිපියට පිළිතුර දමන්නම්.

    ආදරය කරන දෙන්නා දන්නවානම් තමන් කවුද? දෙදෙනාගේම අනාගතයට ප්‍රශ්ණයක් නොවී යා හැකි උපරිමය කොපමණද කියලා ඒ උපරිමයට මෙහා , ඒ කියන්නෙ අත් අල්ලාගෙන ඉඳීමවත්,තුරුල් වෙලා ඉඳීමවත්, සිපගැනීමවත් ඒක දකින අයට කිසිසේත්ම ප්‍රශ්ණයක් නොකරගත යුතුයි. ඒ වගේම පුලුවනි නම් ආදරය කියන්නෙ රාගය(ම) (මම මෙතන රාගය කියලා අදහස් කරන්නෙ සිපවැළඳගැනීමට එහා තියෙන දේවල්) නොවෙන බවත් අන් අයට වටහා දිය යුතුයි.

    තමන්ට නොලැබුණු දෙයක් වෙන කෙනෙකුට ලැබෙනකොට ඇතිවන හීනමානය හා තමන් හැංගිලා කරපු දෙයක් (සමහරු ඉන්නවානෙ අනිත් අය ඉන්න තැන්වලදි කෙල්ලයි කොල්ලයි අතින් අල්ලන් ඉන්න එකත් වැරදියි කියලා හිතන) විවෘතව කරනකොට සමහරු ඒවා දකින්නෙ "වපර ඇහින්". ඒ වගේ අයට ඒ විදියටම හිතන්න දෙන්න මිස්. පවුනෙ ඒ අය. තමන් ජීවත් වුණ පැරණි සමාජය තමන්ගෙ හීන ලෝකෙදිවත් ගොඩනගාගන්න ඉඩ දෙන්න. (ඒත් එතකොට පැරණි සමාජයේ අය ආදරය කලේ පරණ චිත්‍රපටි වල වගේ මල් ගස් වටේ දුවමින් විතරද ? ඒත් ඒ චිත්‍රපටිවලත් ඉහත දක්වපු සිදුවීම් සිදුවෙනවා නෙ. (සමහර ඒවායේ ඊටත් වඩා)

    ReplyDelete
  3. Aththa Adaraya diha Adarayen balanna one.Mama Adarayata godak Adaraya karanawa.

    ReplyDelete
  4. ආදරය හදවතේ ප්‍රකාශනයක් වගේම ස්වභාවිකයි. සදාචාරය කෘතිම අස්වාභාවික දෙයක්. ආදරයෙන් දුරස්වීම සදාචාරයට සමීප වීමක්. ඒත් ස්වභාවිකත්වය තමයි පිවිතුරුම ප්‍රකාශනය කියල මට හිතෙනව. ආදරය තමන් දිහා බලනව. සදාචාරය අනුන් දිහා බලනව.

    ReplyDelete
  5. ඕව ගැන කතා කරල වැඩක් නෑ සහෝදරී. ඔය වයසක උන්දැලගෙ මනස් හදන්න බෑ.

    වයසක උන්ට තරුණ අය කරන හැම දෙයක්ම වැරදියි. ඒකත් ඉතිං වයසට යනකොට මනස වැඩ කරන ස්‍වාභාවික විදිය වෙන්න පුළුවන්.

    ඕවට මම කියන විසඳුම තමා, මොකෙක් මොකක් හිතුවම මොකද තමන් තමන්ගෙ පාඩුවේ කාටවත් කරදරයක් නැතිව ඉන්නවානම් කියලා.

    Roshan Herath කියපු කරුණුවලට මමත් 100%ක් එකඟ වෙන නිසා, නැවත ඒවා කියන්න ඒන නෑ.

    ReplyDelete
  6. නෑ ඉතින් ලංකාවේ බහුතරයක් කෑමෙදි කරන්නේ සුප් එකත් සම්පූර්ණයෙන්ම බීලා, බඩ පැලෙන්න ඊලග වේලත් කන එකනේ. ඒකම කට්ටිය ආදරේටත් ඇප්ලයි කරන්න හදනවා. මම ඔබ කියන දේ සමග එකගයි සහෝදරී. ඔතන තියෙන්නේ Generation problem එක. හැම පරම්පරා දෙකක් අතරෙම ඔය ඝට්ටනය ඇතිවෙනවා.

    ReplyDelete
  7. පෙම් මුලු කරල ඇත බස් වල හතර මුලූ
    ඒ මදිවාට වීදුරු ටික කරල කලූ
    සුප් බොන්නටයි කියමින් එන සෙනෙහෙ මලූ
    බත් පංගුවත් කන හැටි අපි දකිනව ලූ!!!!!

    ReplyDelete
  8. මෙවර පෝස්ට් එකට සීමිත නමුත් ඉතා වැදගත් කමෙන්ට් එකතුවක් ලැබීම ගැන මම මුලින්ම ස්තූති කරනවා

    යසෙල,රොෂාන්,සමුද්‍රිකා,සුපුන්,sri manjula,හෙලයා සහ අවුට්සයිඩර් ට...

    යසෙල කියන්නා වගේ ආදරය නම් රාගය නමැති ආවේගය ඉක්මවා ගිය ඉතා ගැඹුරු මනෝ භාවයක්. එය සම්පූර්ණ සත්‍යයක්. ආදරය

    විඳ නැති කෙනෙක් එයත් රාගය සංසිඳවා ගැනීමත් පටලවා ගන්නවා. මේ සංස්කෘතිය තුල බොහෝ ගැහැණුන්, පිරිමින්ගේ රාගය

    සංසිඳවීම ආදරය යැයි නිර්වචනය කරගෙන, ජීවිත කාලය පුරාවටම ආදරයක් නොලැබ ඒ සංතාපයෙන් මිය යන නිහඬ කතා කෝටි ගානක්

    නිධන් වෙලා ඇති . මේ නොසැනසීම අසහනය නිසාවෙන්ම සංස්කෘතිය කියන දේ දැඩි මතයකට ඔවුන්ගේ හිත් වල එල්බ ගැනීම ගැන

    වරදක් කීමත් අපහසුයි.

    yasela, ඔබ මතු කල අනෙක් අන්තයත් ඉතාම වටිනව.... තරුණ පමණක් නෙමෙයි හැම වයසකම ඔනෑම කෙනෙක් ආදරය

    හඳුනා ගත යුතුයි. එහි රසය විඳ ගත යුතු විදිය එක්කම සමාජානුයෝගිත්වය ඉගෙන ගත යුතුයි. එය ආදරය කිරීමේ කලාව සඳහා

    පමණක් නෙමෙයි,මුලු ජීවත් වීමේ කලාව සඳහාම. එය ජීවිත කෞශල්‍යයක්... එය ආදරයේදි බුද්ධිමත් යුවලක් නිසි සේ සමබර කර

    ගත යුතුයි. එයට අවබෝධය අවශ්‍යයි. තමා පිලිබඳ නිවැරදි දැක්මක් තමුන්ට නැති කල, අනුන්ගේ අදහස් සිතිවිලි වලට ලොකු ඉඩක්

    දෙන්න සිද්ධ වෙනවා.. තම සීමාවන්, ආදරය ලබන, දෙන කලාව හඳුනා ගැනීම ඉතාම සියුම්ව කල යුතු දෙයක්. එය තියේ නම්

    සදාචාරය ගැන අන්තවාදිව හිතන මිනිස් ඇස් නොසලකා හරිමින්, සුරක්ෂිත අවබෝධාත්මක, ඉතාම ගැඹුරු සුන්දර ආදරයක් අත් විඳිය

    හැකියි.

    sri manjula, මේක නියම කවිය....

    පෙම් මුලු කරල ඇත බස් වල හතර මුලූ
    ඒ මදිවාට වීදුරු ටික කරල කලූ
    සුප් බොන්නටයි කියමින් එන සෙනෙහෙ මලූ
    බත් පංගුවත් කන හැටි අපි දකිනව ලූ!!!!

    මේක තමා අපේ තරුණ මෝඩ වහන්සේලා වරද්දගන්න තැන...

    රාගයෙන් විනිර්මුක්ත ආලයක් මම කතා කරන්නේ නැහැ. ඒත් රාගයෙන් උමතු නොවී රාගයෙන් වියරු නොවැටී, රාගය තිබෙන

    සිතකින් වුවත් අති සුන්දර ආදරය විඳ ගන්න අවබෝධය මත ආලය යා යුතු දුර නිහඬවම තීරණය කරන්න හැකි ආදරවන්තයින් සිටිත් නම්

    ඔවුන් ලොවටම හොඳ නිදසුනක් වේවි.

    contd to the next comment.....

    ReplyDelete
  9. රොෂාන් ඇත්ත...අපිට සමාජය වෙනස් කරන්න බැහැ... ඒත් අඩුම ගණනෙ අපිට මේ පෙනෙන ආකල්පමය අඩුපාඩුව අනාගත

    පරම්පරාවටවත් පෙන්වලා දෙන එක යුතුකමක් නිසයි ජීවිතේ මල් මෙහෙම ලියන්නේ.. ලියන්ටත් හැකි නම්(ටිකක් හරි ) ඇස්

    හොඳට පෙනෙයිත් නම්, අපේ යුතුකම මේක...සමාජ මෙහෙවර....රස්සාවක් කලහම ලැබෙනව පඩියක්. ඒත් පඩියට බැහැ

    නොවැ අපේ තෘප්තිය ලඟා කරල දෙන්න...නේද?

    ආදරය දිහා අපේ වැඩිහිටි පරම්පරාව බලන විදිය එක අතකින් එයාලගේ මනස අනුව සාධාරණයි..මොකද අද සමහර තරුණ

    තරුණියන්ටත් රාගය සහ ආදරය තදින් පටලැවෙන නිසා.ආකර්ශනය සහ අවබෝධාත්මක ආදරය පවා පටලැවෙන නිසා. ප්‍රසිද්ධ

    ස්ථානයක රාගයෙන් උමතු වීම සහ එම උමතුව ප්‍රදර්ශනය කිරීම කොතරම් සුදුසුදැයි යුවල සිතා නිගමනය කල යුතු දෙයක්.

    ඒත් වැඩිහිටි පරපුර අතේත් යම් මෙහෙවරක් තියනවා. තමුන්ගෙ දරුවො ආදරය හඳුනා ගන්නේ, අන්‍යොන්‍ය ප්‍රෙමය පිලිබඳ පලමු

    පාඩම් ඉගෙන ගන්නේ ගෙදරින් නෙමෙයි... පිටස්තර පලමු ප්‍රෙමයෙන්.එය ඇරඹෙන්නෙම තමන්ගේ උපකල්පන මත හෝ

    යාලුවන්ගෙන් ඇසු දුටු දේ මත. මොකද දෙමව්පියන් ඉස්සරහා 'ආදරය' තහනම් වචනයක් වෙච්ච සමාජයක 'රාගය' ගැන කවර

    කතාද? දෙමව්පියන් පවා දරුවො ඉස්සරහ සංවර සුන්දර ලබැඳි ආදරය පිලිබඳ නිදසුනක් විය යුතු බවයි මම කියන්නෙ. නිදන කාමරයේ

    කල යුතු දේ දරුවො ඉස්සරහ කල යුතුයි වැනි ගොන් කතාවක් නෙමෙයි මේ කියන්නේ.

    බටහිර රටවල තම දරුවන් ඉස්සරහ උනත් දෙමව්පියන් සිප ගන්නවා,අතින් අල්ලනවා, වැලඳ ගන්නවා වැනි දේ කරන්න පැකිලෙන්නෙ

    නැහැ. එය හරිද වැරදිද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. එයින් දෙන පණිවිඩය... රාගය තුල උමතු වීම දක්වා නොයා ආදරය ප්‍රකාශ

    කල හැකි සොඳුරු විදි ඇති බව දරුවන්ට අවබෝධ වීම.බුද්ධාජීව කියන පරම්පරා ගැප් එක අවමයි එතන නේද?

    සමුද්‍රිකා කියන්නා වගේ ආදරයට ආදරය කල යුතුයි... ආදරය සොඳුරු දෙයක් මිස කුලප්පුවක් නොවන බව හැම පරම්පරාවක්ම හඳුනා

    ගත යුතුයි.එහි බුද්ධිමත් ප්‍රකාශනය ඉගෙන ගත යුතුයි.පෙම්වතුන්, දෙමව්පියන්, පෙම්වතුන් වී සිටින දරුවන් සිටින දෙමව්පියන් යනාදී

    හැමෝම...

    අවුට්සයිඩර් කියන දේ සහතිකයක් දෙන්න වටින කතාවක්. ඇත්ත..සිවබාවික ප්‍රකාශනයක් වූ ආදරය කෘතීම සදාචාරයෙන් වට කලහම

    එතැන ඇත්තටම ඉතුරු වෙන්නේ හොර රහසේ කාමරයක් තුල සංසිඳවා ගත හැකි රාගයක් පමණක් මිස නිදහසේ ප්‍රකාශනයක් කල හැකි

    විවෘත ආදරය නෙමෙයි...

    දිගටම මේ වගේ අපූරු අදහස් ලියන්න රොෂාන්,යසෙල,අවුට්සයිඩර්, සමුද්‍රිකා, බුද්ධාජීව ,sri manjula,

    helayaa...ok???

    බුද්ධාජීව, මේ ජෙනරේෂන් ගැප් එක අපි තරුණ මිනිස්සු හරි තේරුම් ගන්න ඔනා නේද. අපි වැඩිහිටියෝ වෙද්දි ටිකක් හරි මේව

    මතක තියෙවි නෙ...

    හෙලයා කියන කතාවත් ඇත්ත... සුප් සහ කෑම කිසිම දෙයක් සීමාවක් නෙතුව කරන්න ගියහම වෙන්නේ දකින් අයටත් ඉවසීම

    පනිනවා... කරන අයටත් ඉවසීම පනිනවා....

    මෙවර අදහස් ටික අපූරුයි යාලුවනේ... අපි පොඩි හරි සංවාදයක් ගොඩනගමු අපට පෙනෙන කෝණයෙන්.ඉතිහාසේ නම රඳවන්න නෙමෙයි...අන්තවාදී එක ඔලු ගෙඩියක, පුංචි දශමයක් හරි තිගස්සවන්න..ඇස් අරවන්න...ලෝකය දිහා විවෘත මනසින් බලන්න හුරු කරවන්න....

    ReplyDelete
  10. @ජීවිතේමල්:
    [said:ජීවිතේමල්]
    බුද්ධාජීව, මේ ජෙනරේෂන් ගැප් එක අපි තරුණ මිනිස්සු හරි තේරුම් ගන්න ඔනා නේද. අපි වැඩිහිටියෝ වෙද්දි ටිකක් හරි මේව මතක තියෙවි නෙ...
    [/said]
    ඔවු, අනිවාර්යයෙන්ම. ඒක මමත් අපේ පරම්පරාව මත තබා තිබෙන විශාල බලාපොරොත්තුවක්.

    ලෝකයෙන් ලැබෙන අවම තොරතුරු ප්‍රමාණයක් යටතේ, තම දෙමව්පියන් විසින් දක්වන ලද මගම යන්නට හුරුවූ අපිට කලින් පරම්පරාව, ඔවුන් අද සිටින තැන සිටීම - යම් තරමකටහෝ - සාධාරණීකරණය කළත්, අපේ පරම්පරාව මහල්ලන් බවට පත්වන විට මෙවන් පටු මනස් සහිත තත්වයකට පත් වුනහොත් එය සමාව දිය නොහැකි වරදක් බවට පත් වෙනවා.

    ඒ වගේම, එය එසේ නොවනු ඇති බවට ධනාත්මක ලක්‍ෂණ දැනටමත් "අපේ එවුං"ගෙන් ප්‍රකට වනවා නොවේද? තමාට කරදරයක් නොවේ නම් අනෙකාගේ ක්‍රියාවන් තමන්ගේ මනසේ වදයක් කරගන්නාවුන් ඇත්තේම නැහැ කියන්නට පුළුවන්.

    අපේ "සංස්කෘතියේ" - කියා කස්ටිය හිතං ඉන්න එකේ - පදනම වන්නේ අනුන්ගේ ප්‍රශ්න තමුන්ගේ කරගැනීම, පනවන ලද රාමුවකට අනුගතව සහ අනෙකුන්ට ඕනෑ පරිදි අයෙක් හැසිරීම වන නිසා, අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ කරන නොගන්නා අපේ එවුං අතින් "සංස්කෘතිය" අවසන් වේවි යැයි ලොකු බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්!

    ***

    මම "බුධාජීව" හොඳේ, "බුද්ධාජීව" නෙවේ! :D

    ReplyDelete
  11. මෙවර පෝස්ට් එකට සීමිත නමුත් ඉතා වැදගත් කමෙන්ට් එකතුවක් ලැබීම ගැන මම මුලින්ම ස්තූති කරනවා යසෙල,රොෂාන් සමුද්‍රිකා,සුපුන්,sri manjula,හෙලයා සහ අවුට්සයිඩර් ට...

    යසෙල කියන්නා වගේ ආදරය නම් රාගය නමැති ආවේගය ඉක්මවා ගිය ඉතා ගැඹුරු මනෝ භාවයක්. එය සම්පූර්ණ සත්‍යයක්. ආදරය
    විඳ නැති කෙනෙක් එයත් රාගය සංසිඳවා ගැනීමත් පටලවා ගන්නවා. මේ සංස්කෘතිය තුල බොහෝ ගැහැණුන්, පිරිමින්ගේ රාගය සංසිඳවීම ආදරය යැයි නිර්වචනය කරගෙන, ජීවිත කාලය පුරාවටම ආදරයක් නොලැබ ඒ සංතාපයෙන් මිය යන නිහඬ කතා කෝටි ගානක්
    නිධන් වෙලා ඇති . මේ නොසැනසීම අසහනය නිසාවෙන්ම සංස්කෘතිය කියන දේ දැඩි මතයකට ඔවුන්ගේ හිත් වල එල්බ ගැනීම ගැන වරදක් කීමත් අපහසුයි.

    yasela, ඔබ මතු කල අනෙක් අන්තයත් ඉතාම වටිනව.... තරුණ පමණක් නෙමෙයි හැම වයසකම ඔනෑම කෙනෙක් ආදරය
    හඳුනා ගත යුතුයි. එහි රසය විඳ ගත යුතු විදිය එක්කම සමාජානුයෝගිත්වය ඉගෙන ගත යුතුයි. එය ආදරය කිරීමේ කලාව සඳහා පමණක් නෙමෙයි,මුලු ජීවත් වීමේ කලාව සඳහාම. එය ජීවිත කෞශල්‍යයක්... එය ආදරයේදි බුද්ධිමත් යුවලක් නිසි සේ සමබර කර ගත යුතුයි. එයට අවබෝධය අවශ්‍යයි. තමා පිලිබඳ නිවැරදි දැක්මක් තමුන්ට නැති කල, අනුන්ගේ අදහස් සිතිවිලි වලට ලොකු ඉඩක් දෙන්න සිද්ධ වෙනවා.. තම සීමාවන්, ආදරය ලබන, දෙන කලාව හඳුනා ගැනීම ඉතාම සියුම්ව කල යුතු දෙයක්. එය තියේ නම්
    සදාචාරය ගැන අන්තවාදිව හිතන මිනිස් ඇස් නොසලකා හරිමින්, සුරක්ෂිත අවබෝධාත්මක, ඉතාම ගැඹුරු සුන්දර ආදරයක් අත් විඳිය
    හැකියි.

    sri manjula, මේක නියම කවිය....

    පෙම් මුලු කරල ඇත බස් වල හතර මුලූ
    ඒ මදිවාට වීදුරු ටික කරල කලූ
    සුප් බොන්නටයි කියමින් එන සෙනෙහෙ මලූ
    බත් පංගුවත් කන හැටි අපි දකිනව ලූ!!!!

    thanks for your creativity !

    මේක තමා අපේ තරුණ මෝඩ වහන්සේලා වරද්දගන්න තැන...රාගයෙන් විනිර්මුක්ත ආලයක් මම කතා කරන්නේ නැහැ. ඒත් රාගයෙන් උමතු නොවී රාගයෙන් වියරු නොවැටී, රාගය තිබෙන සිතකින් වුවත් අති සුන්දර ආදරය විඳ ගන්න අවබෝධය මත ආලය යා යුතු දුර නිහඬවම තීරණය කරන්න හැකි ආදරවන්තයින් සිටිත් නම් ඔවුන් ලොවටම හොඳ නිදසුනක් වේවි.

    contd to the next comment.....

    ReplyDelete
  12. රොෂාන් ඇත්ත...අපිට සමාජය වෙනස් කරන්න බැහැ... ඒත් අඩුම ගණනෙ අපිට මේ පෙනෙන ආකල්පමය අඩුපාඩුව අනාගත පරම්පරාවටවත් පෙන්වලා දෙන එක යුතුකමක් නිසයි ජීවිතේ මල් මෙහෙම ලියන්නේ.. ලියන්ටත් හැකි නම්(ටිකක් හරි ) ඇස්
    හොඳට පෙනෙයිත් නම්, අපේ යුතුකම මේක...සමාජ මෙහෙවර...රස්සාවක් කලහම ලැබෙනව පඩියක්. ඒත් පඩියට බැහැ
    නොවැ අපේ තෘප්තිය ලඟා කරල දෙන්න...නේද?

    ආදරය දිහා අපේ වැඩිහිටි පරම්පරාව බලන විදිය එක අතකින් එයාලගේ මනස අනුව සාධාරණයි..මොකද අද සමහර තරුණ තරුණියන්ටත් රාගය සහ ආදරය තදින් පටලැවෙන නිසා.ආකර්ශනය සහ අවබෝධාත්මක ආදරය පවා පටලැවෙන නිසා. ප්‍රසිද්ධ ස්ථානයක රාගයෙන් උමතු වීම සහ එම උමතුව ප්‍රදර්ශනය කිරීම කොතරම් සුදුසුදැයි යුවල සිතා නිගමනය කල යුතු දෙයක්.

    ඒත් වැඩිහිටි පරපුර අතේත් යම් මෙහෙවරක් තියනවා. තමුන්ගෙ දරුවො ආදරය හඳුනා ගන්නේ, අන්‍යොන්‍ය ප්‍රෙමය පිලිබඳ පලමු පාඩම් ඉගෙන ගන්නේ ගෙදරින් නෙමෙයි... පිටස්තර පලමු ප්‍රෙමයෙන්.එය ඇරඹෙන්නෙම තමන්ගේ උපකල්පන මත හෝ
    යාලුවන්ගෙන් ඇසු දුටු දේ මත. මොකද දෙමව්පියන් ඉස්සරහා 'ආදරය' තහනම් වචනයක් වෙච්ච සමාජයක 'රාගය' ගැන කවර
    කතාද? දෙමව්පියන් පවා දරුවො ඉස්සරහ සංවර සුන්දර ලබැඳි ආදරය පිලිබඳ නිදසුනක් විය යුතු බවයි මම කියන්නෙ. නිදන කාමරයේ කල යුතු දේ දරුවො ඉස්සරහ කල යුතුයි වැනි ගොන් කතාවක් නෙමෙයි මේ කියන්නේ.

    බටහිර රටවල තම දරුවන් ඉස්සරහ උනත් දෙමව්පියන් සිප ගන්නවා, අතින් අල්ලනවා, වැලඳ ගන්නවා වැනි දේ කරන්න පැකිලෙන්නෙ
    නැහැ. එය හරිද වැරදිද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. එයින් දෙන පණිවිඩය... රාගය තුල උමතු වීම දක්වා නොයා ආදරය ප්‍රකාශ
    කල හැකි සොඳුරු විදි ඇති බව දරුවන්ට අවබෝධ වීම.බුද්ධාජීව කියන පරම්පරා ගැප් එක අවමයි එතන නේද?

    සමුද්‍රිකා කියන්නා වගේ ආදරයට ආදරය කල යුතුයි... ආදරය සොඳුරු දෙයක් මිස කුලප්පුවක් නොවන බව හැම පරම්පරාවක්ම හඳුනා ගත යුතුයි.එහි බුද්ධිමත් ප්‍රකාශනය ඉගෙන ගත යුතුයි.පෙම්වතුන්, දෙමව්පියන්, පෙම්වතුන් වී සිටින දරුවන් සිටින දෙමව්පියන් යනාදී හැමෝම...

    අවුට්සයිඩර් කියන දේ සහතිකයක් දෙන්න වටින කතාවක්. ඇත්ත..සිවබාවික ප්‍රකාශනයක් වූ ආදරය කෘතීම සදාචාරයෙන් වට කලහම එතැන ඇත්තටම ඉතුරු වෙන්නේ හොර රහසේ කාමරයක් තුල සංසිඳවා ගත හැකි රාගයක් පමණක් මිස නිදහසේ ප්‍රකාශනයක් කල හැකි විවෘත ආදරය නෙමෙයි...

    දිගටම මේ වගේ අපූරු අදහස් ලියන්න රොෂාන්,යසෙල,අවුට්සයිඩර්, සමුද්‍රිකා, බුද්ධාජීව ,sri manjula, helayaa...ok???

    බුධාජීව, මේ ජෙනරේෂන් ගැප් එක අපි තරුණ මිනිස්සු හරි තේරුම් ගන්න ඔනා නේද. අපි වැඩිහිටියෝ වෙද්දි ටිකක් හරි මේව මතක තියෙවි නෙ...

    හෙලයා කියන කතාවත් ඇත්ත... සුප් සහ කෑම කිසිම දෙයක් සීමාවක් නෙතුව කරන්න ගියහම වෙන්නේ දකින් අයටත් ඉවසීම පනිනවා... කරන අයටත් ඉවසීම පනිනවා....

    මෙවර අදහස් ටික අපූරුයි යාලුවනේ... අපි පොඩි හරි සංවාදයක් ගොඩනගමු අපට පෙනෙන කෝණයෙන්.ඉතිහාසේ නම රඳවන්න නෙමෙයි...අන්තවාදී එක ඔලු ගෙඩියක, පුංචි දශමයක් හරි තිගස්සවන්න..ඇස් අරවන්න...ලෝකය දිහා විවෘත මනසින් බලන්න
    හුරු කරවන්න...
    p.s
    මම මේ කලින් දැම්ම කමෙන්ට් 2 ආපහු දැම්මේ කලින් කමෙන්ට් 2හි ඡේද බෙදීම අවුල් වෙලා තිබුන නිසා. එය කියවීමට අපහසුයි. සිදුවූ අපහසුතාවයට කණගාටුයි.

    ReplyDelete
  13. @ බුධාජීව ( සමාවෙන්ට ඕනා වැරදි නම් ව්‍යවහාරයට)

    ඔව්. මාත් කියන්නේ අපේ පරම්පරාව මේවන් වැරදි කලොත් එයට කිසිම සමාවක් නැහැ. හේතුව ලෝකයෙන් අති විශාල දැනුමක්, අවබෝධයක් හිසකට කාන්දු විය හැකි යුගයක් මේක.අවබෝධය සඳහා වැඩිහිටියන් දිහා බලා සිට පාඩම් ඉගෙන ගන්නට යන්වාට වඩා විවිධ පැතිකඩවලින් සමාජය විවරණය කිරීමට අප්‍රමාණ අවස්ථාවන් තියන යුගය්ක් මේක.

    "අපේ එවුන්" තුල එම හරය තිබෙනවා..එහෙත් එය තව තවත් මුවහත් විය යුතුයි. තව තවත් එය පහදා දෙන්නන් විවිධ මාධ්‍ය හරහා එලියට ආ යුතුයි.

    සංස්කෘතිය සදාචාරය නමැති කඩතුරාව විනාශ කරන්නට අපේ එවුන්ට හැකි වේ යැයි බලාපොරොත්තු තබා ගත හැකිද? මේ සංස්කෘතියම නොවෙතත් මෙහි ව්කාශනයක් වෙනත් මුහුණුවරකින් හිස් ඔසවන්නේ නැති වේද? ඒ මුහුණුවර මෙතරම්ම ප‍ටු නොවෙන හෝ මීටත් වඩා ප‍ටු විය හැකියි.

    මේ ප්‍රයත්නය ඒ අනාගත මුහුණුවර තුලට ' අර්ථය ' එබ්බවීමයි.

    වටිනා අදහස් වලට නොවක් ස්තූතිය...

    ReplyDelete
  14. පටු ආකල්ප හිතේ තියාගෙන අනිත් අය දිහා බලන, විවේචනය කරන අය නිසා තමයි සමාජයේ හුඟක් අයගේ සැනසිල්ල නැති වෙලා තියෙන්නෙ. ඔයා වගේ ලෝකය දකින්න හැමෝටම පුළුවන් නම්, මේ ලෝකය හුඟක් ලස්සන වෙයි.

    ReplyDelete
  15. අපි ලෝකය දකින කෝණය මේ විදියට බෙදා හදා ගන්නකොට සෙනරත් , එකෙකු දෙන්නෙකු හෝ එය අනුගමනය කරන්නට සතු‍ටු වේවි... මේ මගේ ලිවීමේ අරමුණත් එයයි... සමාන ලෙස සිතන අය තුලින් මතුවන සංවාදය මෙසේ නොසිතන්නෙකුට සිතන්නට පෙලඹෙන්නට උත්තේජනයක් වේවි...
    ස්තූතියි මිනිස්කම බෙදා ගන්නවාට...

    ReplyDelete
  16. ෙවන් වෙන කොට අම්මට තාත්තට තුනට හතරට නැවිල වඳින අපේ හිත් වලයි ... වෙන් වෙන කොට කිස් එකක් දිල වෙන් වෙන ( බටහිර රටවල විවිධාකාර කිස් තියෙනව නේ... ආදරවන්තිට විතරක් නෙමෙයි ඒ රටවල කිස් දෙන්නේ) ඉතින් මම අහන්නේ වෙන් වෙන කොට තුනට හතරට නැවිල වදින අපේ හිත් වල තියන ගුණයයි කිස් එකක් දීල වෙන් වෙන බටහිර රටවල තියෙන ගුණයයි වෙනස් ද?

    හිතේ හංගගෙන දුක් විදින එකද හොද එළි පිටම කියල දාන එකද හොද... අනේ මන්ද අපේ සමහර දේවල් නිසා අපේ මිනිස්සු හිත් වලින් හරියට වන්දි ගෙවනව....

    ReplyDelete
  17. what a world is this? this is a cruel world.we can not do any thing as we like but it is very unfair.

    If someone say, "Do not eat anything forever" then What are you doing?
    I think you will stay 2,3 days.after you will eat because you can not bear that.

    we can not live without love.But all the people are not loving.so they can not understand What is the love and What is the sex.
    I think we can not change their attitude.
    But we can love.......

    ReplyDelete
  18. මම මෙහෙම පටන් ගන්නම් ආ....ද....රේ......... නැත්තම් සුප් එක, කෑම වේල නැත්තම් ඔය කියන එක යන්නේ එකම පාරේද....? " ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එලිය සේ අචින්ත්‍යයයි" ...........ද.......? නෑ වගේම ඔව්... විකාරයි නේද...? ඒත් ඉතින් ඒක එහෙම තමයි.... එහෙම වෙන්නේ. "ආදරය එක එක්කෙනා අර්ථ දක්වන විදිහ අනුව.... SUප් එක දැනෙන්නේ තම තමන්ගේ ටේස්ට් එකට අනුව..... කෑම ගැන නම් ඉතින් කතා කරන්න ඕනේ නෑනේ... එකට වෙනස් අර්ථ දැක්වීම් තියෙන්න පුලුවන් ද...? සමහරවිට පුලුවන් වෙයි.... ඒත් ඉතින් එවා ඔක්කොම 69 යි 96 යි වගේ... අරකම පොඩ්ඩක් කරකවලා
    කොහොම හරි
    මට තාම "ආදරය" සහ "රාගය" කියන දෙක වෙන් කරන සීමාව හොයාගන්න බැරි උන නිසා මම තාමත් අඳුරේ අතපත ගාන ලපටි පැටියෙක් කියලා දැනේවි.. ඇත්තත් ඒකම තමයි.... හැබැයි මට මෙන්න මෙහෙම දළ අදහසක් නම් තියෙනවා. උදාහරන ආශ්‍රිත පැහැදිලි කිරීමක්..............
    ඒක මෙහෙමයි...
    මිනිහෙක් රෑ මනමාලි කෙනෙක් ලඟට යන්නේ ඇයි..? තමන්ගේ යම් අවශ්‍යතාවයක් ඉ‍ටු කරගන්න.. ඒ මිනිහා ඒ අවශ්‍ය දේ කරගෙන එතනින් යනවා... සල්ලිත් ගෙවලා...
    හැබැයි ඒ මිනිහම තමන්ගේ ගෑණිත් එක්කත් ඒ වැඩේම කරලා... ගෑණිව බදාගෙන නිදියනවා... මේ දෙකේ තියෙන වෙනස තේරුම් ගන්න පුලුවන් නේ.... දැන් අදහසක් එන්න ඇති නේද...? "ආදරය" සහ "රාගය" ගැන........
    හරි දැන්
    SUප් එකෙන් නවතින්න පුලුවන් තෘප්තියක් තියෙනවා කියලා දන්නේ නැත්තේ ජීවිතේටම SUප් තියා කැඳ වත් බීලා නැති නිසා වෙන්න පුලුවන්
    නැත්තම් තමන්ට SUප් එකක් බීපු ගමන්ම පාලනය කරගන්න බැරි තරමට කෑම කන්න පෙරේත කමක් එන නිසා වෙන්නත් පුලුවන්
    එහෙමත් නැත්තම් ඊර්ෂ්‍යාව, ලිංගික විනයක් නැති කම........, තමන් කරපු දේම අනිත් උනුත් කරයි කියලා අනුමාන කිරීම....
    ආහ් තව එක දෙයක් තියෙනවා... ඒකට කියන්නේ "සමාජ රංගනය" කියලා අර කථා වට සමහරු කියන්නේ " අනේ අපි හොඳට හැදිච්ච ළමයි කියලා.. ලෝකෙට පෙන්න ගෙන ඉන්නේ තමන මිකී මවුස් ලා, ටෙඩී බෙයාර් ලා බදාගෙන ඉන්නවා කියලා.. හැබැයි ඇත්තටම බදාගෙන ඉන්නේ හැබෑ වලහෙක්ව
    පැහැදිලි කිරීමක් තියෙනවා.....
    අපි හැමෝම බාහිර සමාජයේ ඉන්නේ යම් තරමක මවා පෑමක් එක්ක.. කාට හරි කියන්න පුලුවන් "අනේ මම එහෙම නෑ"... ඒවා ඉතිං දන්නෝ දනිති...එක එකකේනාගේ සමාජ චරිතය හා සබෑ චරිතය අතර තියෙන පරතරය වෙනස් සමහරුන ගේ එක අනනතයි.. ඔය පරතරය නිසා තමයි.. අදරේ කරන කාලේ කුඩ මිට අතේ වැදුනත් අඬලා තරහා වෙන කෙල්ල බැන්දට පස්සේ තමන්ගේ මිනිහට මෝල් ගහෙන් ගහන්නේ.. කොහොම හරි අපි හැමෝම අපේ සැබෑ ලොකේදි ආදරේට ආසයි... මෙතෙන තියෙන්නේ ඒක පැත්තක තියල තමන් හරිම හොඳයි කියල ලෝකෙට පෙන්නනන හදන එක....

    ආදරේ... SUප් එක... දෙකම යන්නේ එකම සරල රේඛාවක් දිගේ... හැබැයි දෙක තියෙන්නේ අනත දෙකක... SUප් බීලා කෑම කන්නත් පුලුවන්... කැමතිනම් කෑම කාලා පස්සේ සුප් එක බොන්නත් පුලුවන්... සුප් එක නොබී කෑම විතරක් කාලා එන්නත් පුලුවන්.... SUප් එක බීලා එතනින නතර වෙන්නත් පුලුවන්... තමන කැමති තැනක නතරවෙන්න.... ඒක තමන්ගේ දෙයක්...හැබැයි පස්සේ කෑම විෂ උනොත් උනාට පස්සේ කෙඳිරි ගාන්න බෑ...

    හැබැයි සමහර කෑම විෂ වීම් මාරාන්තිකයි.....

    ආ...ද...රේ... මං දනනේ නෑ තවත් කොහොම කියලා දෙන්නද කියලා....

    ආදරේ තියෙන තැන රාගය තියෙන්න පුලුවන් යම් තරමකට... හැබැයි.... විලෝමය අසත්‍ය වේ....

    මේ වගේ Aච්චාරුම Aච්චාරු කොමෙන්ට් එකක දැම්මට සමා වනු මැනවි

    -පිටස්තරයා-

    ReplyDelete
  19. @ජිවිතේ මල්
    මේ වගේ ලිපියක් මම බලාපොරොත්තුවෙන් හිටියේ :)
    වැඩිහිටියෝ විතරක්ම නෙමෙයි අපේ පරම්පරාවේ අයත් ඔය වගේ දෙයක් දැක්කම බොරුවට සිරිමත්ල වෙන අවස්ථා ගොඩක් මම දැකල තියෙනව.
    ලස්සන දේ ලස්සන විදියට දකින්න පොඩි කාලේ ඉදන්ම ඉගැන්නුවා නම් අපේ සමාජය මීට වඩා විවෘර්ත විදියට බලන්න ඉගන ගනී කියල හිතනව.කොහොම උනත් හොද ලිපියක් අක්කා :)

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->