Thursday, April 27, 2017

[337] භාවාත්මක ආදරය සහ සැමරුම් මතක



ඒක හරිම ගැඹුරු ආදර කතාවක් .... 
.
වසර හයකට ඉහත ඈ මෙලොව එලිය දකිද්දි මම හිටියෙ බොහොම දුරක, ගතින් කෙසේ වෙතත් හිතෙන්. මටම වෙන්වුන මගේ ලෝකෙක මගේම ප්‍රශ්න වල නූල් බෝලයක් වගේ පැටලිලා වෙලිලා හිටිය ඒ කාලෙන් මිදෙද්දි ඈ හෙමි හෙමිහිට ලොකු වෙන්න අරන් . 
.
අම්පුච්චි ( අම්මා + පුංචි) කියා තතනමින් මගේ දිහා ඇස් දල්වගෙන බලන් ඉන්න ඇය කිසි සේත්ම මාව නම් ආදර්ශෙට ගන්න එපා කියා මම ඈ මාදෙස බලා සිතෙන් වශී වෙන ඒ බැල්ම හෙලන හැම වෙලේම මම හිතෙන් පැතුවා. මම වගේ හැඟීම්බර නොවී , වෙන ඕනෙ එකක් මම වගේ වෙයන් ! මම පැතුවෙ එහෙම. තිස් විය ඉක්මවූ කාන්තාවකගේ වැඩ පිලිවෙලට කිසිසේත්ම ලඟින්වත් නොයන , හිතෙන් අවුරුදු දාසයේ ජීවත් වෙන මගෙන් ,වැඩිහිටි පුංචි අම්මා කෙනෙක්ගේ හැසිරීම දකින්නට බැරි වුනු නිසාදෝ , අදටත් ඇය හිතාගෙන ඇත්තේ , පුංචි අම්මා කෙනෙකු යනු ඇයට වඩා බිඳිත්තක් විතර හිතෙන් ලොකු වූ , සරීරයෙන් පමණක් වැඩුනු ඇරුම පුදුම විප්‍රකාර සත්වයෙක්ය කියා නම් නො අනුමානයි.
 .
නිතර ඇය ලඟින් යද්දී ඇයට වධ දෙන , කිචි කවා හිනා ගස්සවන , කොලොප්පම් කරන , විටෙක සැර වෙන , විටෙක සුරතල් කරන , මේ අම්පුච්චී , පසු කලෙක පුංචි අම්මා කියන නමින්ම යලිත් බෞතිස්ම කලේ ඇයම තමයි. ඒ ඇගේ අම්මාගේ වද කරදරයට වෙන්නත් පුලුවන්.
.
මෙදා පාර අවුරුද්දේ ඈ මට අරන් ආවේ වෙනස්ම විදියේ තෑග්ගක්. ඇගේ පුංචි අතින්ම කැන්වසයක ඇඳපු වෛවාරණ අති සුන්දර පැහැයන්ගෙන් ඔප වැ‍ටුන ලස්සන සිතුවමක්. ඒ ලස්සන සිතුවමෙන් , ඈ ඇතැම් විට වැඩිහිටි වියේ පසුවෙන තරුණ තරුණන්ටත් වඩා කොයි තරම් ගැඹුරු ආලයක් සෙනෙහසක් ප්‍රකාශ කලාදැයි පවසන්නට වදන් නොමැති තරම් ! ඇතැම් විට පුංචි අම්මාගේ අමුතු තෑගි රුචිකත්වය ඇයට ඒත්තු ගන්වන්නට ඇත්තේ මගේ සහෝදරිය වන්නට පුලුවනි. එහෙත් එතරම් ලස්සනට හැඩ වැඩ දමා කැන්වසයක ඇඳි වෘත්තීය මට්ටමේ සොඳුරු සිතුවමක් දෝත බදා දෙන ඇයට , තෑග්ගක ඇති ද්‍රව්‍යමය වටිනාකමින් එහා ගිය කෞතුක මෙන්ම භාවාත්මක වටිනාකම හැඟී ඇති ගැඹුර දැක මා විස්මයට පත්වූ බව නම් නොකියාම බැහැ.
.
එදා අප්‍රියෙල් 24 වනදා රාත්‍රියේ , ජීවිතයේ පළමු වතාවට , අධිවේගී මාර්ගයක , පැයට කිලෝමීටර එකසිය විස්සක වේගය අභිබවා රිය ධාවනය කරද්දී , නිකුත් කල ගෙවීම් රිසිත් පත , සිහිවටනයක් ලෙසින් මගේ කුඩා දින පොතෙහි අලවද්දී, මට අර පුංචි ඇඟිලි තුඩු වලින් , ලහි ලහියේ ඇඳ , වේලා , රාමු කොට , පුංචි අම්මාට තෑගි ලෙස ගෙනා පහන්මාගේ ගැඹුරු ආදරයේ අමරණීය සංකේතය ගැන කුඩා සටහනක් ලිවිය යුතුම යයි සිත බල කළා.
.
පහන්මා ... ඇස්වහ කටවහ වෙන්න එපා... මට හරිම ආඩම්බරයි ඔබ ගැන ... ! පහන් කන්දක් තරම්ම උස ඔබේ ආදරය ගැන ....




Wednesday, January 25, 2017

[336] Unshortened - කෙටි නැති හද 1

රාත්‍රිය සමග දුරැතු සීතල වෙලා ගනිමින් සවස් යාමය දහවලෙහි කාන්තිය ගිල ගන්නා හෝරාවයි. තවමත් සිත්වින්දියකට මවක් නොවූ අම්මාට ,  මාරැතියක නැගී , යථාරතයෙන් පලා ගොස් ,  අක්බාර් පාලමෙන් එපිට හෙමින් උදා වෙන රාත්‍රිය දෙස බලා ගෙන සුසුම් ලෑමට ඉසුඹුවක් උදා වී තිබේ. අක්බාර් පාලම සමග තමා මෙපමණ බැඳී සිටින්නේ කිම්දැයි සිත් වින්දීගේ අම්මා නොවූ ඈට සිතා ගත නොහැකිය. එක්තරා යුගයක කණාමැසිරි එලි සංදර්ශනයකින් හද මනමත් කොටගත් ඒ තුරැණු මෝඩිය , කාලයාගේ ඇවෑමෙන් , තම පසු යෞවනයේ මිහිර අමිහිර විඳ ගනිමින් අද ඒ ඉපැරණි අක්බාර් පාලම මත තනිව බලා සිටින්නීය.

තම ජීවිතය කෙරෙහි පූර්ණ වශයෙන් අසංවේදී වූ මිනිසුන් අටෝරාසියක් පිරිවරාගෙන , නාඳුනන නගරයක නිනව් නැතිව ඇවිදින පිස්සු ලඳකගේ අභ්‍යන්තර කැලඹිල්ලකින් යුතුව, දෙනෝ දාහක් වට කොට ගත් කලබලකාරී රැකියාවකින් අසහනයට පත්ව, සිත්වින්දීගේ අම්මා අද නිරැත්තරව සිටින්නීය. සිය හදෙහි නිදන් වූ අමතක කරනු නොහී තවමත් රිදුම් දෙන මතක අවදි කරන්නීය.

****

මම අක්බාර් පාලමට , අව් රාස්සියගේ අවසන් පින්සල් පහර වදින සීතල ගොම්මන්  යාමයේ පැමිණ සිටියෙමි . පේරාදෙණියේ හරිත ගුප්තතාවයට උමතුවෙන් මෙන් බැඳී සිටින මම , පේරාදෙණිය උද්භිද උද්‍යානය ඉදිරියෙන් රිය වේගය වැඩිකරමින් වේගයෙන් පලා යන්නට  උත්සහ කරමි. මා පමණක් , නිසැකවම කිවහොත් මා සහ මගේ එකම ආදර ආත්මය සමග පමණක්  ගෙවුනු අති සුන්දර හා අනුස්මරණීය හමුවීම් දෙකම මින් දශකයකට පමණ  ඉහත සිදු වන්නේ ඒ සොඳුරැ උයන ඉදිරියේ ඇති ඉපැරණි අවන්හලෙහිය. දැන් ඒ අවන්හල තරැ පංතියේ සුපිරි හෝටලයක් බවට පත්ව තිබේ. මා එම අතීතයෙන් පලා යනු නොහී , එම මතක සැමසුම් අකා මකා ලනු නොහී , තවමත් නිනව් නැතිව අසරණව සිටින මුදු , ඒ කිසිවක් ලොවට නොපෙන්වා සිනහසෙන අනාගත සිත්වින්දියගේ අම්මාව රැගෙන , මාරැතියක් වැනි රිය වේගවත් කරමින්, එම අවන්හල ඉදිරියෙන් මට හැකි උපරිම වේගයෙන් පලා යමින් සිටිමි.

ගලහ හන්දියෙන් සරසවිය වෙත ඇතුලු වෙත්ම , හරිත පාරාදීසයෙහි අත්‍යන්ත අලංකාරයෙන් නිලංකාර වන හදවත සිලිලාරක සුවයෙන් මෙන් සිහිලැල්ව , මත්ව , රඟන්නට පටන් ගනියි. මීට වසර දශක දෙකකට පමණ පෙර මේ පේරාදෙණියට මා නව යොවුන් තරැණියකව ආයේ , සුහුඹුල් නවක සිසුවියකගේ චකිතයෙන් හා බරවූ හිසින් යුතුවය. සොබා දහමේ අවිනීත ඔච්චම් වලින් තැලී මිරිකී පීඩිතව සිටි මා සහ අපේ පවුලටම  , මේ සුවිසල් හරිත සරසවියෙහි ආස්වාදයෙන් මත් වෙන්නට නිනව්වක් තිබුනේ නැත. සරසවියේ ගෙවුනු තෙවසරෙහි මට පරිසරයේ සොබා සොඳුරැ දක්නට ඉස්පාසුවක් සොයනු නොහැකි විය. ඒ වෙනුවට මා හැමදාමත් කලේ , දේශන අවසන් වන තුරැ වේලාව බලමින් සිට සියල්ලනට පළමු ගෙදර බලා දිව ඒමය. අප පවුලට අත් විඳිනට වූ අනේක විධ සමාජ වද බන්ධන නිසාවෙන් , මා මිනිසුන්ගෙන් සැඟව නිහඬ ජීවිතයකට අනුගත වූ නිසාම ,මගේ සරසවි මිතුරැ මිතුරියන් සිතුවේ , මා ඉතා නිහඬ චරිතයක් බවය.  පවුලේ ආගිය තොරතුරැ අසා බලන්නට කිසිවෙකුටම හෝ් කුඩා ඉඩකුදු නොතබා සංවාදයෙන් තොර ගූඪ ගුප්ත අප්‍රසිද්ධ ජීවිතයකට මා ප්‍රිය කරන්නට වූයේ, මටම පුද්ගලික වූ පාරිසරික කාරණා නිසාය.

සරසවියෙන් නික්මෙන ජීවිතය මාත් ඇදගෙන කෙලින්ම ගොඩ බහින්නේ කොලඹ ගෙන්දගම් පොළවටය. අවසන් වසරෙහි  පේරාදෙණිය මගේ මනසෙහි ඇඳී තිබෙන්නේ සිරගෙයක් වශයෙනි. එහෙන් මෙහෙන් යන්තම් ගොඩදාගත් විෂය නිර්දේශයට වඩා එකල මා සිත දිව ගියේ සිවු වසරක ප්‍රථම ප්‍රේමයේ වියොවෙන් කැලැඹී තිබු සිහිය පවත්වා ගන්නටය. මා එකම එක වරක් හෝ සරසවි තෙවසර ඇතුලත , අක්බාර් පාලම දැක නැතැයි කියා, අක්බාර් පාලමෙන්ම මේ දිගු අතීතාවර්ජනය අරඹන මා ගැන ඔබ සිතනු නැත. . සරත්චන්ද්‍ර රඟමඩලෙහි , ආට් තියටර් එකෙහි , එකල එකම වරකුදු නාට්‍යයක් බලා නැතැයි කියාද ඔබ සිතනු නැත. ? පුදුම නොවන්න. 'පුදුමය' දනවන සියල්ල ඉදිරියෙනි.

ජීවිතය හරි පුදුම ප්‍රහේලිකාවකැයි මට සිතේ.   මේ සා ආගන්තුක වස්තූන් බවට පත්ව, සරසවි සමයේ  මා නොබලා නොතකා සිටි අක්බාර් පාලමත් , පේරාදෙණියේ අනන්‍ය සංකේතයක් වූ යෝධ පෙම් වෘක්ෂයත් ,  සරසවියෙන් සමුගෙන දශකයක් ගෙවෙද්දී , මගේ ආත්මයේ කොටසක් බවට පත් වූයේය දෛවයේ මහා ඔච්චමක් විලසිනි.

******

මෙතෙක් නින්දේ රැඳී , මගේ දැහැන නොබිඳ හිටි දුරකතනය ඇහැරෙයි.

"කොහෙද ඉන්නේ?"

ඇයට දැන් ඔහුට බොරැ කිව නොහැකිය. එහෙත් ඇත්ත කියා - මා ඉන්නේ අක්බාර් පාලම මත තනිව අඩ අඳුරේ ගඟ දෙස බලාගෙන යැයි කියා - ඔහු තෝරා ගත්තේ අර්ධ වශයෙන් උන්මත්තක ,අතීතකාමී  ගැහැණියකැයි , ඔහු විපිලිසර කරන්නටද ඈට  නොහැකිය.

" මම පේරාදෙණියෙන් ගෙදර යන ගමන් !"

අර්ධ අසම්පූර්ණ සත්‍යයකින් දමා ගසා,  බොරැකාරියක වීමේ පාපයෙන් මිදී , ගොම්මන් කලුවරටත් , අඩ'ඳුරැ අක්බාර් පාලමටත්  , අතු සිඳ නිරැවත් කොට නව යොවුන් පෙම්වතුන්ගේ පෙම් තිප්පොල අවුරාලීමෙන් ජනශුන්‍ය කරන ලද යෝධ ප්‍රේම වෘක්ෂයටත් සමු දෙමින් , මාරැතියක් අක්බාර් පාලම අසබඩින් පණ ගැන්වෙයි.

මෙතෙක් නිශ්චලව හිඳි සීතලද පටලාගෙන , හදිසි සුලං රැල්ලක් ක්ෂණිකව හමා යයි. නිදන සොබාදම් මව අවදිව ඇත්තා සේය. සොබාදම් මව , සුලඟින් තිගැස්සී , අවට තතු විමසන්නේ , ඇගේ නිදි බිඳි රිය හඬට මැවු මේ මැදිවියේ සොඳුරැ ගැහැණිය කෙරේ  නොමනාපයෙන් විය නොහැකිය. ඇගේ සීතල සුසුම් පැතිරෙන්නේ , අතීතය නමැති ඉන්ද්‍රජාල මායා දැලෙහි තවමත් නොවිසඳුනු සැක සංකා රටා අස්සෙහි පැටලී  , එහිම ඇමිණී හිඳින ,සවිමත් පියාපතින් සැදුනද ,මිදී පියඹා යන්නට සිතට දිරි නැති  කුරැමිණියෙකුට ,  ඒ තරම් සමනල් හදවතක් ඇති ව ඉපැදීම පිලිබඳ සන්තාපයෙන් විය යුතුයැයි මට සිතේ..

Tuesday, January 24, 2017

[335] ගඟ මහවැලිය - සහ - වැල් පාළමේ ගීතය ...

පේරාදෙණිය සහ මහවැලිය මට සුහුරැ තැනක් වූයේ අද ඊයේ නොවේ. ඉතා කූඩා වියේ අප සියලු දෙන‍ා ගම්පොල සිට නුවර ගෑටූ දිගු ගමන් අවදියෙහි, මගේ කුඩා ඇස් වලට ගඟ යනු හරිම එකාකාරී වතුර ගොඩක් පමණක් වූයේය. ඒ ගඟෙහිම  නෘත්‍යයක් මෙන්ම ලාලිත්‍යයක්,  අප ගම්පොලින් නුවර දොඩම්වල පැලපදියම් වූ කල්හි දිනපතා මට දකින්නට ලැබුනේය.  ගෙදර සිට අතුරැ පාරෙන් මහපාරට හරවන මීටර කිහිපයෙහි එක් කුඩා කපොල්ලකින් ගඟ පෙනුනේය. නමුත් ඒ , විසාල මහවැලි ගඟෙන් බොහොම ඇබින්දකි. කාලයාගේ ඇවෑමෙන් අපි කුඩා විය පසු කොට තරැණන් වීමු. තරැණ දෑසට අංජනයක්ම තැවරෑ මහවැලි ගඟ, එකල්හි ගොස නගා ගල් පර අතුරෙන් රිංගා ගලන විට , ඒ රිද්මයට අපි පෙම් බැඳීමු . ඒ සොඳුරැ දර්ශනය ඔප කළ,  ගඟෙන් පෙනුනු ඒ ඇබින්දද වසාගෙන කාලය ගත වෙද්දී උස් තුරැ මුදුන් එ'දසුනට අරක් ගත්තේය. 


ගඟ මෙන්ම අපේ ගම් දනව්වට අලංකාරය රැගෙන ආ  'දොඩම්වල-හල්ලොලුව' එල්ලෙන පාලම (නොහොත් හෙල්ලෙන පාලම) කාටත් මතක ඇතුවාට සැක නැත. පැන පැන යාම විසුළු දසුනක් නොවන වයස අත් හැර යන තාක් කල් , හෙල්ලෙන පාලම තවත් හොල්ලා, පාලමෙහි ඇවිදින වුන් තරහ ගස්සා අපි එකල නොමඳ විනෝදයක් ලැබුවෙමු. එය පාසල් වියේ අප ඉතා ප්‍රිය කළ  මිහිරි මතක තොටුපලක් වූයේය.  අපට එවන් අහිංසක විනෝදයක් සපයද්දී , පාලමට නම් තව බොහෝ රාජකාරි තිබුනේය. නුවර පලාතේ විවාහෝත්සව ගන්නා බොහෝ නව යුවලවල් සිය ඡායාරෑප ගොන්නට මෙම වැල් පාලමේ සොබා සොඳුරැ එක් කර නොගත්තේ හරිම කලාතුරකිනි. කෙටි ගමන් යන පෙම්වතුන්ට කල් මරන්නට හොඳම තැනක් බවට වැල් පාලම පත්ව තිබුනේය. 

කලක් අප බොහෝ ආලයෙන් අබිමනින් සැලැකූ 'දොඩම්වල-හල්ලොලුව' එල්ලෙන පාලම (නොහොත් හෙල්ලෙන පාලම) තවදුරටත් වෙනස් වන ලෝකයට නොසරිලන්නේ යැයි නුවර කරවන මහතුන් පසක් කර ගත්තේ මීට වසරකට පමණ ඉහතදීය. මහ හයියෙන් කතිකා ඇති වුනේය. සැලසුම් ඇඳුනේය. පාර මැනුනේය. කූඩාරම් තැනුනේය. ඉංජිනේරැවන් ලහි ලහියේ  පැමිණියේය. ගල් වැලි ඇනුනේය. මාස කිහිපයක ඇවෑමෙන් ,ඉන්ද්‍රජාලයකින් මෙන් , මේන්න විසල් පාලමක් තැනී අවසන්ය !! 

වැල් පාලම ? එකල සොබා සෞන්දර්යය එකලු කළ සොඳුරැ වැල් පාලම කෞතුක වස්තුවක් වූයේය. ඇතුල් වීම අවහිර කොට, වැට කොටු ගසා , බෝඩ් ලෑල්ලකින් සරසා ප්‍රදර්ශනය සඳහා පමණක් වැල් පාලම වෙන්ව ඇති හැටි අද ඔබ දකිනු ඇත. ඊට අඩි කිහිපයක් ඔබ්බෙන්  විරාජමාන වන මහ පාලම විසින් , සදහටම වෙන්ව අහක බලාගෙන හිටි ගම් බිම් දෙකක් ( දොඩම්වලත් , හල්ලොලුවත් ) හිටි හැටියේ එකම එක පුරවරක් බවට පත් කලේ එසේය. මහනුවරට හූවක දුරින්  වී නමුදු , ඉතා නිහඬ මෙන්ම වාහන තදබදයකින් තොර , නිසල වන අරණක් ව තිබූ කුඩා ගම් පියැස්ස , හදිසියේම තැඹිලි මහ එලි දිවා රැයේ දිලෙන , නොනිදන පුරවරක් වී ඇති හැටි !  කාලය මැවු වෙනස එහෙමය! 

වෙනදා සවස් වෙද්දී ගූඪ බියකරැ නිහඬතාවක ගිලුනු , කිසිදු එලියකින්  තොර වැල් පාලම සහ ගඟ,  ගම්මුනට බිය ගෙනාවේය. ගඟට පැනීම් , දිවි නසා ගැනීම් , අදෘශමාන බලවේග සහ භූත දර්ශන පිලිබඳ කතා අපේ ඉපැරණි වැල් පාලම ගැන බැඳී නැතුවාද නොවේ. එනිසාම, එකල්හි අඩ අඳුරේ මේ පාලම තනි පංගලමේ තරණය කලේ එහෙමත් කෙනෙකි. එහෙත් අද එතැන විරාජමාන වන මහ පාලම දිගේ මැදියම් රැයෙහි වුව ඇවිද යන එක මහ කජ්ජක් නොවේ. 

හරිත තුරැ ගොමු වලට , ඉපැරණි කෞතුක වස්තූනට,   ලොබ බඳින මම , කුමක් හෝ ගුප්ත ආසක්ත බවකින් , අද  ඒ තැඹිලි ලාම්පු එලි වලට සහ සුවිසල් පාලමට පෙම් බඳින්නට පටන් ගෙන සිටිමි. එයට පැහැදිලි හේතුවක් දක්වන්නට මට නොහැකිය. එහෙත් , විනාඩි දහයකට අඩු කාලයකට සීමා වී ඇති මගේ උදේ හවස කාර්යාල ගමන පැය භාගයකට දික් කොට ගෙන , දිගු වේලාවක් තිස්සේ  සංගීතමය දැහැනකට සමවැදී දවස පටන් ගන්නට , පාලම විසින් දිගූ විකල්ප මාර්ගයක් මට ලබා දී තිබෙයි. සියලු මාර්ග තදබද මගැර විනාඩි කිහිපයෙන් ලඟා විය හැකි කාර්යාලයට, පැය භාගයක දීර්ඝ චාරිකාවකින් එලැඹීම මට නම් මහත් ආස්වාදයකි. (මා උමතුවෙන්දැයි නොඅසන්න) 


ගඟ බඩ දසුන මත පින්තාරැ වූ හරිත තුරැ වැලින් අඩකට වඩා, පාලම වෙනුවෙන් දිවි පුද‍ා ඇති සැටි මට නොපෙනුනා නොවේ.  පාලම තරණය කරන අපට දැන් ගඟද නොපෙනෙයි. කෙටි පෙම් ගමන් එන පෙම්වතුනට දැන් පාලම් බැම්ම හුදෙකලා ඉසවුවක් නොවේ. වෙනදා , අපේ උඩ පැන පැන යන ගමනට හෙල්ලුම් කන දුබල වැල් පාලම වෙනුවට , මෙදා මේ සුවිසල් කොන්ක්‍රීට් නිමැවුම,  ටොන් ගණන් බර රිය පෙළ පහසුවෙන් දරා ගෙන , ඉන්ද්‍රඛීලයක් මෙන් නොසැලී තිරව නැගී හිඳියි. මේ ,  එදා අසීරැවෙන් ගං දෑලෙහි එල්ලී හිටි අහිංසක වැල් පාලම නොවේ.  වැල් පාලම වැලලී ගොසිනි. මෙදා ,  කෞතුක වස්තුවක් කොට නිහඬ කරන ලද අබලන් වැල් පාලම මත එල්ලී මගුල් පින්තූර ගන්නට එහි එන කෙනෙක් නැත්තේය. සිය කෞතුක වටිනාකම ඉහල නංවා ගනිමින් , කාලයේ ගමනට අවනතව ,  අභාවයට යමින් ඉන්නා වැල් පාලමේ අන්ධකාරය, දිවා රෑ දැල්වෙන මහ පාලම් තැඹිලි ලාම්පු පෙලට මැකිය හැකි වේවිද ? නිරන්තර ගමන් බිමනින් ආකූලව සිටි , සිය වියපත් දෑතින් බොහෝ බර දරා ගනිමින්, උඩ පැනුම්, හෙල්ලුම් දයාවෙන් ඉවැසූ වැල් පාලම, තලස්තෑනි පියෙකු මෙන් , දොඩම්වල හා හල්ලොලුව යා කරන උදාර මෙහෙයුමෙහි සියවසකටත් වඩා නිරත වූයේය. 


ඒත් ගඟ ! එදා , තමන් වෙත එබී එල්ලී හිඳි වැල් පාලමේ නැලවිල්ල දකිමින්ද , නිසි නින්දේ ගල් පර අස්සෙන් රිංගාගෙන යමින්ද  නැගෙනහිරෙන් බටහිරට තමන්ගේ ලැසි ගමන ගියේය. අද, ඒ ගඟම , සිය ඉවුරැ බඳ රෑසිරැ , කෝල ලෙස සඟවා තැබූ හරිත තුරැ ගොමුවෙන් විනිර්මුක්තව,   විලියෙන් භරිතව මෙන් , ඉපැරණි ගඟ ගිය මග සොය සොයා , වර්තමානයේ යෝධ කොන්ක්‍රීට් පාදම් මග හරිමින්,   අනවරත අතීතයෙන් ගලා හැලෙන්නේය. 

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->