Wednesday, December 28, 2011

[225] අසම්මතයෙන් ඔබ්බට පියාඹන මොණර කිරිල්ලී

දුහුවිල්ලෙන් වත්සුණු තවරා
කුමර කුමරියන් ලෙන්ගතු ඇසුරේ
රහස් බැලුම් දෙන සැන්දෑවේ
නන්නාඳුනනා කය මිස සිත නැති පුරවරයේ
කවුරුන් හෝ තුරුලේ
නිමේශයක් කොඳුරාවී රහසින්
ආගිය උන්හිටි තැන් සඟවා

ගිනි කඳු සිරසේ මලපුඩු අතරේ
කැදලි සදාවී මොණර කිරිල්ලී
‍රැයකින් ‍රැයකට කුස පිරෙනා
සඳ සෙවනැල්ලේ
සිත ඇති කය නැති මිටියාවත ඉවුරේ
වහස් බැලුම් සඟවා
උකුසු ඇසක් ගෙන ගුරුළු වෙසක් ගෙන
පියඹා යාවී මොණර කිරිල්ලී

සැඩ සුලඟේ
මුල් ඉදිරී යන ගස මුදුනේ
නූපන් දවසේ
රන්කිරි කඳුලේ
සිහින දකීවී මොණර කිරිල්ලී....


දුහුවිලි ගහණ ඒ නගර මධ්‍යයේ උකුසු ඇස් දහස් ගණනක් අන්ධකාරයට එකතුවෙයි. බාල වර්ගයේ වත්සුණු , ඇස් ආලේපන , අවලක්ෂණ කොණ්ඩ විලාසිතා , දෑතේ කරකැවෙන ලේන්සු සහ කුඩ දු‍ටු බො‍රැල්ලේ මහ හන්දිය මට සිහිවෙයි.  ඒ උකුසු ඇස් වලින් විහිදෙන්නේ ගැහැණු කමේ කාන්තිය නොවේ... රාත්‍රියේ දඩයම් සොයන බොහෝ නිශ්ශබ්ද තරඟයකි. 


බම්බලපිටිය හන්දිය මීට වඩා වෙනස්ය. මන්ද එහි සිටින්නේ අඳුනාගනු පහසු සාම්ප්‍රදායික සංකේත සහිත දඩයක්කාරියන් නොවේ..කොලඹ විලාසිතාවන්ගෙන් අනූන, කොමන් සෙන්ස් යොදා සිය සැබෑ වත වසා සාර්ථක රඟපැමකින් 'සාර්ථක' ගනුදෙනුකරුවන් පමණක් ඩැහැ ගන්නා නෝනාවරුන් වීමය. බොහෝ වෙලාවක් එක් සැකකාරියකටම අවධානය යොමමින් , පැය භාගයක්වත් කල් මැරුවොත් විනා එවැන්නියන් ට්‍රැක් කර හඳුනාගැනීම සිහිනයකි.

ඒ කෙසේ වුවත්, මොරිස් භානීගේ මේ ගීය , යමක් කමක් නොදන්නා පැටි වියේදී මා සිත පැහැර ගත්තේ , එහි ඇති , මා පුද්ගලිකව ප්‍රිය කරන , කේමදාස මාස්ටර්ගේ ස්ටයිල් එකේ (මේ ගීයේ තනුව නවරත්න ගමගේ මහතාගේ බව සිහිපත් කරමි)  ආවේගශීලි රිද්මයටය.  පැටි වියෙන් පෙර යොවුන් වියට එලඹෙද්දී  , මිතුරියන් කනට කොඳුරා කතා වෙද්දී,  ' මේ සින්දු තියෙන්නෙ අර නරක ගෑනු ජාතිය ගැන' කියා මුමුණද්දී , සිත් ගත් රිද්මය පසෙක ලා , පැහැරගත් වේගයට වඩා වැඩි වේගයෙන් මම එදා මේ ගීය බැහැර කළෙමි. කුරිරු ලෙස 'ඒ ජාතියේ ගැහැනුන්' බැහැර කළ මට 'ලඳුනේ' ගීය කණ වැ‍ටුනේ අහම්බෙනි. 'බුදුන් දැක නිවන් දකිමැයි දෙවුරම යන පාර අහන , ඔබද පටාචාරාවකැයි' අමරසිරි පීරිස්ගේ හැඬුම්බර දයාභරිත හඬින් ඇහෙද්දී ,  'ඒ ජාතියේ ගැහැණුන් වෙනුවෙන් ඉපැදි කුරිරු සිතිවිල්ල බැහැරවී, 'ලඳුනේ' ගීයත් , 'දුහුවිල්ලෙන්' ගීයත් මගේ හද පතුලෙහි යලිත් නිදන් වෙනු මම, පසක් කළෙමි. 





මේ සියල් කථනයන් ලියවෙන්නේ ගණිකාවන් යනු සමාජයට මහ මෙහෙවරක් කරන්නවුන් යැයි කියන්නටවත් , ඔවුන් තව තවත් බිහිවේවායි පතන්නටවත් නොවේ.ගණිකා වෘත්තිය නිසා සිදුවන සමාජ හානීන් පිරිසිඳ දකිනු වස් අකුරු කරන්නවුන් බොහෝ ඇතුවාක් මෙන්ම, ඔවුන්ගේ ඒ නිර්භීත මෙහෙවර මම අගයන්නෙමි. එහෙත් මේ ඇඟ මස් විකුණන්නේත් මිනිස් ලේ ඔඩු දුවන ගැහැණුන්ය. විකිණෙන්නේත් ඒ ලේම ඇති මිනිසුන්ටය.  විකිණෙන මසට , පැයට හෝ ආත්මයට ලංසු තැබෙන්නේ මුඩුක්කුවෙහි ඉදෙන බත් හැලිය  විය හැකිය. ඒ බත් හැලිය බලාගෙන මග බලන කටවල් ගණන විය හැකිය. ඔත්පලව ලෙඩ ඇඳෙහි මරණය බලා සිටින අම්මාගේ බෙහෙත් ලැයිස්තුව විය හැකිය. උපාධිය හෝ සාමාන්‍ය පෙළ විභාගය විය හැකිය..

ඒ අතරම , සමවෘත්තික වූ නාගරික පොශ් ඇතමෙක් ලංසු තබන්නේ ඊලඟට මිලදි ගන්නට නියමිත නිවසටත් වාහනයටත් විය හැකිය. එහෙත් මේ සටහන ලියන්නේ 'ඒ ජාතියේ ගැහැනුන්'ගෙනුත් , ඒ අන්තිමට කිව් ජාතියේ අය වෙනුවෙන් නම් නොවේ...

ඒ උකුසු බැල්ම සිය ගනුදෙනුව සොයා ගන්නටය. නීතියේ ‍රැහැනින් සිය මොණර වෙස සඟවා ගන්නටය.. නීතියත් සදාචාරයත් සංස්කෘතියත් ,ඒ වාගේ හැම දේමත් ඉදිරියේ , ඇයත් , ඈ වැන්නියන් පිලිබඳ මේ කතාව ලියන මමත් අනතුරේ සිටිනවා විය හැකිය. එහෙත් ?

කොතෙක් සරු පසෙක වුව ඈට කිරි කඳුලක සිහින දකිනු තහනම්ය. ඇත්තෙන්ම තහනමක් නැත. එහෙත් තහනම් ගහේ ගෙඩි කැවාක් මෙන් , කාන්තාරයක පැලවෙන තෙත්කලාපීය ශාකයක් මෙන් , ඈ සිටවන පැලයට ඇත්තේ සුබවාදී අනාගතයක් නොවේ. පියෙක් නැති , එනිසා නම්බුකාර උප්පැන්නයක් නැති , ඒ නිසා අකුරු උගනිනට පාසලක් නැති , ඒ නිසා නූගත් කම විනා අන් උරුමයක් නැති, ඒ නිසා තමාට මේ ඉරණම උදා කළ සමාජය කෙරෙහිම ද්වේශයක් 'ඇති' , ඒ නිසා ඒ පැලය 'විනාශයේ පිලිලයකැයි මොර ගසන්නට , මුලිනුපුටා දමනට ' ලෝකයක්ම පෙල ගැසී ඇති ... එහෙවු යථාර්තයක , එහෙවු මහ පොළවක අප සම්මතය ගැන කතා නොකරාට වරද කිම?


ඒ නිසාම නූපන් දරුවන් වෙනුවෙන් සිහින දකින්නට 'ඒ ජාතියේ ගැහැණුන්ට' සදාචාරවත් සමාජයෙන් ඉඩක් නැත. ඒ ජාතියේ ගැහැනුන්ගේ දරුවන්ට 'ඒ ජාතියම' විනා වෙන පිහිටක් නැත.


'ඒ ජාතිය' අර කලින් පෝස්ට් එකේ මා ඇඳි ඡේදන කුලකයට මා එබුවත් , ඒ ඡේදන කුලකයේ සමාජ සත්වයන් වන අප හැමෝමත් සිටින නිසා , අපෙන් ඔවුන් වෙන් කොට හඳුන්වනු උදෙසා , 'ඒ ජාතියේ ගැහැණුන්' රතු පැහැයෙන් ඇඳි පෙදෙසෙහි තබා තැබිය යුතුවෙමුද? 


ගීතය අහන්න මෙතැනින්.... ගීය ගයන්නෙ මොරිස් භානී , සංගීතය : නවරත්න ගමගේ , වැදගත්ම දේ ලිව්ව කෙනා. ඒත් ඒක මම දන්නෙ නැහැ. ඒකත් හරියට ඒකත් මොණර කිරිල්ලියකගෙ ජීවිතේ වගෙද කියල මට හිතුන . ඇගේ ජීවිතේ ඇයි මෙහෙම වුනේ , ඇයි ඈ මෙහෙම කරන්නෙ කියන ප්‍රශ්නෙට උත්තර කවුරුවත් දන්නෙත් නැහැ. හොයන්නෙත් නැහැ.) :-)  මොනව උනත් මම දන්නෙ එක දෙයයි. මේ ගීතය ලස්සනයි. කවුරු ලිව්වත්. එහෙම නේද? ඔව්. 

ඒත් අපිට 'ඔව් ' කියන්න හැකිද මේ ප්‍රශ්නෙට . "මොනව උනත් මම දන්නෙ එක දෙයයි... ගණිකාවත් මනුස්සයෙක්. එයා මොනව ජීවිකාවට කලත්. එහෙම නේද? " කීදෙනෙක් ඔව් කියාවිද? :-) 



ගණිකාවකගේ අකැප ආදරය ගැන ලියු මගෙ මේ පෝස්ට් එකත් , බීට්ල් ලියන 'අකූරු' බ්ලොග් එකෙ මේ ගැනම ලියූ හද කම්පා කරන සුලු කතාවත් කැමතිනම් කියවන්න ... 




Friday, December 23, 2011

[224] ජීවිතය කියවමින්....



මේ ටික ලිව්වෙ 23
-------------------
23 - තවත් මහා විප්ලවීය දවසක්... ඒකට හේතුව ජීවිතෙ මල් ඉපදුන නිසා නම් නෙවි. ඒත් ජීවිතේ මල්ගෙ ජීවිතේ මහා අමුතු දේවල් ගොඩකට ඉඩ පෑදුව දවසක් මේ.

මීට අවුරුදු 4 කට ඉහත මේ ලියන දවස (23)වගෙ දාක මට ඉන්න හොඳම යාලුවොත් එක්ක මම නුවර පීසා හට් එකෙ පීසා කමින් හිටියා. ඊට පස්සෙ අවුරුද්දෙ, 2008,  මේ දවසෙ මම හිටියෙ දානයක් මගෙ අතින්ම හදමින්. ඊට පස්සෙ අවුරුද්දෙ, 2009  මේ දවසේ මම හිටියෙ තට්ටම තට්ට තනියම කිව්වොත් වැරදි නෑ. ඊට පස්සෙ හෙවත් ගිය අවුරුද්දෙ අද දවසෙ මම හිටියෙ අලුත් ව්‍යාපෘතියකට ලිප ගිනි මොලවමින්. අද ? මම මෙතන...

මේ ලිව්වෙ මට මතක් වෙන අතීතෙ. ඒත් මගෙ මතකෙන් ගිලිහුන කාල පරාසයෙ අද වගෙ දාක මොන මොන දේවල් වෙන්න ඇද්ද?

ප්‍රථම ප්‍රේමය සමග වීදුරු ජනෙලෙකින් එපිට හා මෙපිට ඇස් වලින් කතා කෙරුවෙ මීට අවුරුදු 9කට කලින් අද වගෙ දාක. එදා ඒ විසාල ඇස් දෙක මගෙන් ඉඟියෙන් ඇහුවා ඇස් වලින්ම 'ඇයි' කියලා .... මම ඔලුව වැනුවා 'නෑ මුකුත් නෑ' කියලා. ඒ පුංචි කාලෙ. :-)

ඇයි මම මෙහෙම ලිව්වෙ?

මට මගෙ ජීවිතෙ ගැන සතුටු වෙන දුක් වෙන හේතු දහසක් ඇති... ඒත් අවසාන වශයෙන් මම මගෙ ජීවිතේ ගැන සෑහීමට පත් වෙන ලොකුම හේතුව තමයි, මම තාමත් ජීවත් වෙන එක.

ඒත් මගෙ 28 වෙනි උපන්දිනේදී, අවුරුදු 28ක කෙල්ලෙක් ලබපු සරල මට්ටමේ සිට අසාමාන්‍ය අත්දැකීම් දක්වා මහා අරුම පුදුම දේ දක්වා , මම ජීවිතේ කියෙව්ව හැටි ගැන ආපහු හැරී බැලීමක් ලියන්නෙ ඔයාල වෙනුවෙන්මයි.

~'~

ගිය අවුරුද්දෙ දෙසැම්බර් 23න්ම මම පටන් ගන්නම්. එදා මම හිටියෙ මහා ව්‍යාපාර ප්‍රර්ථනාවක් ඔලුව උඩ තියාගෙන ලොකුවට යතානුරූපි නැති හීන ගොඩක් හදමින්. ඒ නිසාම මම ජනවාරියෙ මහ විසාල ප්‍රශ්න වලට ‍රැකියා ස්ථානයෙදි මුහුණ දුන්න. ඒත් කොහොමදෝ මගෙ උපන් වෙලාව හොඳ නිසා බේරුනා. මිනිස්සු මාව වරදවා වටහ ගත්තෙ නෑ. වැරදි වැටහීම් නිසා හෝ අයින් වුන කෙනෙක් වෙත් නම් , මම ඒ අයටත් මටත් කාටත් ඒකෙන් වූයෙ හොඳක් කියල දකින්න කැමතියි.  කාලයත් සමග ගත් තීරණය හරි බවට වඩා වැටහුනෙ වැරදි බව.

ජීවිතේ වැරදීගෙන යනකොට ඒක ඈලියාවට යන්න දෙන එක මගෙ පුරුද්ද නොවෙයි. ඒ නිසා මගෙ තීරණය මම ගත්තා. සල්ලි වලට ගන්න බැරි මාව , මම ‍රැකගත්තෙ එහෙම. ඉතින් අද වෙන්කොට ඒ ගැන කිසිම දුකක් පසුතැවීමක් නෑ. 

"ජීවිතයේ කිසිම තැනක අපි පමා වැඩි නෑ.. ජීවත් වෙන්න ඉදිරි කාලයම එහෙමම.. ඒ නිසා වැරදීගෙන එනකොට තවත් බලන් ඉන්න එපා"

~'~

ඊලඟට තවත් ජීවිතෙ වැදගත්ම තීරණයකට මන් හදිසියෙ එලඹුනා. එකක්, විවේකයක් ගන්නවද නැද්ද කියන තීරණේ....

දුවන්න හැමදාමත් අකැමති මාව දිවිල්ලකට ඇදගෙන වැ‍ටුනා. ඒකෙන් අයින් වුනාට ජීවිතෙ තව තවත් ව්‍යාකූල වෙමින් වෙහෙස වෙන අයුරු මට දැනෙන්නට වුනා. බාහිර මිනිසුන් සහ ඔවුන්ගේ අවශ්‍යතාවල් මත මගෙ ගමන නොනැවතී වංගු අරගෙන හැරිල හැරිලාම මම යන අත මටම අමතක වෙලා තිබුනා. මේ සෙල්ලමට තිත තැබිය යුතුයැයි මගෙ හිත හඬගෑවා.

ඒත් රස්සාව? නෑ. මම මේ පහුගිය වසරෙ මම වඩාත්ම සතු‍ටු වෙන නිර්භීතම තීරණය ගත්තා. දෙකට දෙවාරනේ නොවෙයි බොහොම සෘජු දැඩි තීරණයක්. මම නවතිනවා. දිවිල්ලෙන්. බලු පොරයෙන්. ලෝකයට ඒක විවිධ අර්ථකථන සපයාවි. ඒත් මට වැදගත් වුනේ මාව. හැමදාම අනුන්ට ඕනෙ විදියට රූකයක වුනෙ මම විහින්ම. අනුන්ට හූරන් කන්න බැරි වෙන්න මට මාව 'හදා ගන්න' ඕනෙ වුනා. මම ඒක කලා. මාස 5ක් . මම ගෙදර හිටියෙ ඒ නිසා. ඒ කාලය මම ජීවිතය ගැන හොඳම අභ්‍යාසය කළ කාලය, මම ජීවිතය විනිවිද දු‍ටුව විවේකය මට වටිනා මැණිකක් වුනා.

~'~


මම ඇවිද්දා. ඇති පදම් රස්තියාදු ගැහුවා. මම පොත් කියෙව්වා. ඒ වගෙම මට අරමුණක් තිබ්බා. ඉගෙන ගන්න දෙයක් ගැන. සල්ලි උල්පත් උපදවන්න මාව උදැල්ලක් කර ගත්තු ගොඩ දෙනෙකු හිතා මතාම බලෙන්ම යට ගසා අමතක කල, ඒත් වසර 2ක් තිස්සෙ මගෙ ඔලුවෙ කරකැවුන හිසරදය. බාගෙට ඉවර ඉගෙනුම් ව්‍යාපෘතිය. ගෙදරට වෙලා උඩ බලන් ඉන්න ගියා නම් මේ මාස 5 මට තිත්ත වෙන්න තිබ්බා. විවේකය ගන්න අවසරයෙන්ම එහෙනම් මගෙ අරමුණ සපුරන්නත් මේක තමයි හොඳම විවේකය !

හරි! මම ආයෙමත් වැඩ පටන් ගත්තා. මගෙ වටේ ඉන්න හිතවත් සහෘදයො මාව දිරිමත් කලා.සමහරු 'ඔයාට පුලුවන්' කියල දිරිමත් කලා.... සමහරු 'ඔයාට බැහැ' කියල දිරිමත් කලා... දෙකම මට ආසිර්වාද වුනා....

හොඳට මතක තියාගන්න යාලුවනෙ .

ජීවිතෙ තීරණය වෙන්නෙ අපි ජීවිතෙ දකින විදිය අනුව.
'මම රස්සාවක් නැති නිකමෙක්" කියල හිතුව නම් , ලෝකෙ මාව වට්ටන්න ඕනෙ නැ. ඔයා වැටිල ඉවරයි. ලෝකෙට අපවාද කියල වැඩක් නෑ.  

'මේ මගෙ ජීවිතෙ මම ගන්න උපරිමම විවේකය  . මම ජීවිතෙ විඳිනවා මේ කාලෙදි' 
කියලම දකින ජීවිතේ පුදුම සතුටක් මට ගෙනවා. ලෝකෙ වටෙ ඉන්න අයට මාව වට්ටන්න බැ එතකොට. මොනව කියලවත්.


හැබැයි මම මේ කිසිම දෙයක් කලෙ කාත් එක්කවත් වෛර පිරිමහන්න, ඇනෙන්න නෙවෙයි. අන්න ඒ නිසාම මම සැහැල්ලුවෙන් මගෙ ගමන ගියා. ඒ සැහැල්ලුව නිසාම මට ඇවිදින්න , පොත් කියවන්න, ‍ෆිල්ම් 47න් 25ක් විතර බලන්න,  නිදාගන්න . ජීවිතේ විඳින්න හොඳටෝම වෙලාව තිබ්බා. මාව තාමත් ඔලුව උඩ තියාගෙන (කොටින්ම මම මේ යන සැහැල්ලු ගමන ගැන කුලප්පු වෙලා) තාමත් ගින්නෙන් පැහෙන චරිත මට ඇහෙනවා ... පේනවා....අන්තිමේදි කවුද විඳවන්නෙ ??

ජීවිතෙ සතුට ඇති වෙන්නෙ හෝ නැතිවෙන්නෙ තමුන්ගෙ අභ්‍යන්තර සාමය හෝ යුද්ධය නිසා. ඔබ අභ්‍යන්තරයෙන් සාමකාමී නම් , බාහිර ලෝකෙ මොන යුද්දෙටවත් බෑ ඔබව කලඹන්න. ඒත් ඒ වගෙම තමයි, ඔබ අභයන්තරය කැලඹුන, වෛරයෙන් පැහෙන , සැනසීමක් නැති කෙනෙක් නම්, බාහිර ලෝකෙත් ඔබට යුද්දයක් වෙනවා. ඉතින් බාහිර ලෝකෙ 100% සාමකාමී වුනත් , ඔබ බලෙන් අත පොවලා හරි කලඹ ගන්නවා ලෝකය , ඔබෙ සංඛ්‍යාතයට ලෝකයත් බලෙන් සුසර කරගන්න.


~'~

එක හැල්මට කඳු මුදුනට දිව්වෙ නැති නිසා මහ වෙහෙසක් නැතිව මම සතුටුදායක විදියට ව‍යාපෘති අරමුණ අද ජය අරන්... ඒත් මම උදම් අනන්නෙ නෑ. තව ජීවිතය ඉගෙනීම ඉදිරියට යනවා... රේස් එකක් නොවෙයි. මගෙ ගමන මම හෙමීට යනවා......

තව මහා විශාල දෙයක් මම ජීවිතය ගැන ඉගෙන ගත්තා...

ඒ තමයි සංවේදී විය යුතු නොයුතු තැන් අඳුනගන්න කියන එක.  ශක්තිමත් විය යුතු තැන් වලදි සංවේදි වුනොත් අපිට කොහෙන්වත් ‍රැකවරණයක් නැහැයි කියලයි දැනෙන්නේ. ඉතින් අපි ‍රැකවරණය හොයනවා. තියෙන චකිතය දෙගිඩියාව නිසාම , යන්නෙම වැරදි තීරණ වලට. ඒවා වෙනස් කරන්න ඊට හපන් බයයි.

ඒත් මම එක දෙයක් ඉල්ලනවා. හැමෝගෙන්ම. තමුන්ට ‍රැකවරණය දෙන්න හැක්කෙ තමුන්ටයි. කර්මය හා බාහිර අනතුරු වලකන මාර්ග මම දන්නෙ නෑ. ඒත් අපි නිතරම අපි පිලිබඳව සිහියෙන් විමසුමෙන් ඉන්නව නම්, අන්න එදාට ඔබට තෙරෙවි ඔබට ම පුලුවන් ඔබෙන්ම ‍රැකවරණය සපයා ගන්න. තව කෙනෙක්ගෙන් ‍රැකවරණය හොයන එක මුලාවක්...


~'~

 අපි අස්ථායී නම් , අපි දුර්වලනම් , අපි ගාවට එන්නෙත් ඒ තරමටම අස්ථායී උදවිය. දුර්වල උදවිය. අපි අනුන්ගෙන් ‍රැකවරණය හොයනව නම් , අවාසනාවට වගෙ අපිට ලං වෙන්නෙත් අපෙන් ‍රැකවරනය හොයන අය.

ඒත් අපි අපෙ මනස දක්තිමත් කරගත්තොත්, කවුරු නැතත් දෙපයින් හිටගන්න හැකි තැනට අපෙ පෞරුෂය හදාගත්තොත් , අන්න අපි දිනුම්. ලේසියෙන් කෙනෙක්ට අපිව වචන සහ ක්‍රියාවෙන් නම්ම ගන්නවත් දුර්වල කරන්නවත් බැහැ.  එක් ඉරකින් එහාට ලං වෙන්නෙත් අනිවාර්‍යයෙන්ම තමන් තරම්ම ශක්තියක් තිබෙන අය.

බුදු හාමුදුරුවො කිව්වෙ ඒක තමයි 'මල් වලට මලුත් , කුණු වලට කුණුත් එකතු වෙනව කියල'

තව මහා විශාල දෙයක් මම ජීවිතය ගැන ඉගෙන ගත්තා...

අපි කුණු ගොඩක් නම් , එකතු වෙන්නෙත් කුණුම තමයි. එකතු වෙන්නෙ කුණුය කියල දොස් කියල වැඩක් නෑ. ඒ වෙනුවට අපෙ කුනු සෝදන් මලක් වෙන්න ට්‍රයි කරමු..



~'~


ඉතින් 2011 අවුරුද්ද මට අති විශේෂයි. මම ජීවිතේ කියෙව්වා. මම විවේකය ලැබුවා. ඇවිද්දා. පොත් කියෙව්වා. සතුටෙන් හිටියා. අවුරුදු 6ක් රස්සාවක් කළ මම මාස 6ක් ගෙදර ඉන්නකොට

සමහරු 'කම්මුලේ අත තියා ගන්නැති' - අනේ වෙච්ච දේ. ඇයි මේ ගෙදරට වෙලා නිකම්ම ඉන්නේ???

සමහරු සතුටු වෙන්න ඇති... 'ආ ශුවර් එකට රස්සාවෙන් එලවල වෙන්නැති' කියල තමුන්ගෙ සතුටට කාරණා හදාගන්න ඇති...

'අතෙ සතේ නැතුව කොහොම ඉන්නවද මන්දා. කියල සමහරු මා ගැන විස්සෝප වෙන්න ඇති...

ඒත් ඒ හැමෝම පව්. මොකද මන් ගැන දුක්වෙන්න දුක මට කිසිසේත්ම ඒ කිසිම හේතුවක් තිබ්බෙ නෑ.   මම රෑකියාවෙන් අයින් වුනේ මට විවේකය ඕනෙ නිසා. මගෙ රිසර්ච් එක තවත් ඈදෙන්න නොදී ඉවර කරන්න ඕනෙ නිසා. මට 2000 අවුරුද්දෙ පටන් ගත් දිවිල්ල නතර කරලා හුස්මක් අරගන්න ඕනෙ නිසා.

හැබැයි අතේ සතේ නැතුව නොවෙයි.රස්සාවෙන් එලවලා නෙමෙයි, අරමුණක් නැතුව නෙමෙයි ...

 ඒ හැම දේම මම ප්ලෑන් කලා,

1. අප්‍රේල් මාසෙ අස්වීමෙ ලියුම දුන්නෙ (මාස 3ක අස්වීමේ නෝටිස් සමග) , ජූලි මාසෙ රස්සාවෙන් අයින් වුනෙ , අඩු ගානේ මාස 6ක් රස්සාවක් නොකර ඉන්න අවශ්‍ය මූල්‍යමය ඉතුරුව කරගෙන. දන්නවද?

2. රස්සාවෙන් එලෙව්ව නම් සතුටු වෙන්න බලාගෙන හිටි අය හරිම වැඩියි. ඒත් ඒක වුනෙත් නෑ. නම්බු පිටින් අස්වීමේ ලියුම දීලා , මාස 3ක් පඩි සමග වැඩ කරලා, හැමෝගෙන්ම , ඉස්කෝලෙ චෙයාමන්ගෙන් පවා හරිම සතුටුදායක විදියට කතාබහ කරලා, ඇගයුම් අහගෙන , ඒ මදිවට ඒ පාසලෙ පුස්තකාලෙට මේ පල්ලෙහා රූපෙ තියන පොතත් පරිත්‍යාග කරලා තමයි සමු අරගෙන ආවෙ. (මගෙ බ්ලොග් එක නොවැරදීම කියවන කුහක ඇස් 4ක් තියෙන බව මම දන්නවා. මීට මාස 9කට පෙර මම ක්ෂණික උත්තර දුන්නෙ නෑ. මෙන්න නිසි කාලය. මෙන්න මම අද උත්තර දෙනවා. :-) ජූලි 8 වෙනිදා මම ඉස්කෝලෙන් සමු අරන් ආවේ , 'නැවත කොලඹ ආවොත් අනිවාර්යයෙන් මේ ඉස්කෝලෙටම එන්න' කියන ආරාධනාවත් ඉහල පුටුවෙන්ම අහගෙන...



3. ගෙදෙට්ට වෙලා අරමුනක් නැතුව ඉන්න ගියා නම් පිස්සු හැදෙයි. ඒ නිසා බාගෙට නතර වුන අධ්‍යාපන අරමුණට අඩිතාලම හදාගෙනයි ගෙදර නතර වුනේ..

1,2,3 න් මන් ඔයාලට මොනවද කියන්නේ????


1. ඉදිරියේ දැනුවත්වම එන්න නියමිත දුශ්කර කාලයක් ඔnබටත් තියෙනව නම් දැන්ම ඒ කාලය ප්ලෑන් කරන්න. සල්ලි ඉතුරු කරගන්න, කාටවත් අත පාන්න ඉඩ නොතැබෙන්න වගබලා ගන්න.

2. රැකියාව කළ ඕනේම තැනකින් සතුටෙන් සමුගන්න ඉගෙන ගන්න. මොන ප්‍රශ්නය ඇති වුනත් , ඒක දරාගෙන , ඒවාට උත්තර නොදී , තමන්ගේ මහත්මා ගතිය පෙන්වලා යන්න. ඒක තමුන්ට ආශිර්වාදයක්.

3. අරමුණු හදාගන්න . නිකම් ඉන්න එපා. නිකමෙන් වෙන්නෙ අරමුණක් නැතිනම් රස්සාවක් නැතිනම් නොවෙයි.

4. කිසිම දාක ,කාටවත් පෙනෙන්න , ගේමට වැඩ කරන්න එපා. තමුන්ගෙ දුයුණුවට වැඩ කරන්න. ගේමට වැඩ කරන අයගෙ වැඩ පෙන්නිලිත් , ඒ වැඩ අස්සෙ ගින්නෙන් පැහෙනව වගේ වෛරයෙන් පැහෙන හැටිත් මට හොඳට පේනවා. ඒත් මට එයාලට අනුකම්පා කරනවා ඇරෙන්න උත්තරයක් නැහැ. බල්ලෙක් අපිව හැපුවට අපි බල්ලව හපන්නෙ නෑනෙ. :)

පහුගිය අවුරුද්ද මට තවත් සුවිශේෂයි. මම මුල් වුනත් තවත් හොඳ හිත් ගනනාවකගෙ හයියෙන් කළ පොත් සත්කාරය මට සුවිශේෂයි. මගෙන් ජීවිතය ඉගෙන ගනිමින් මට ජීවිතය කියා දෙන මගෙ සිසු පරපුරම මට සුවිශේෂයි. මම ගහපු රස්තියාදු, මම ගිය ට්‍රිප්, මම කළ හොඳ දේ තරම්ම මගෙන් වෙච්චි අඩුපාඩු, ඒවායින් ඉගෙන ගත් පාඩමුත් මට සුවිශේෂයි. අනුන් අතින් වෙන අඩුපාඩුත් සුවිශේෂයි. ඒ දේවල් වලින් මට මිනිසුන් කියවගන්නට හැකි නිසා. කියවා අවසන මා රැඳිය යුතු ඉසව්ව මට තීරනය කළ හැකි නිසා.

බ්ලොග් අවකාශයේ සිටින අතෙ ඇඟිලි ගානට අඩු අති විශේෂ සරල සොඳුරු plain හදවත් ඇති ගොන්නට මේ අවුරුද්දේ අලුතෙන් එක්වූ මිතුරාත් ඔහුගේ බිරිඳත් සුවිශේෂයි. 'බලන්නකෝ මම ඔබේ තවත් හොඳම මිතුරෙක් වෙනවා කවද හරි' මිතුරා ඔට්ටු ඇල්ලුවා.... අද , ඔට්ටුව ඔයා දිනුම් සහෝ. ඔට්ටුව මන් පැරදි. ඒත් සහෝ ලැබුන මිතුරු කම(ඔබ දෙන්නගෙන්ම) නිසා මමයි හරියටම දිනල තියෙන්නෙ . නේද? ස්තූතියි :)


~'~

ජීවිතේ කියවීම් තව ඉවර නෑ..... ගතවුනු අවුරුද්ද දිහා ආපහු හැරිල බලද්දි මටම මම ගැන පුදුම හිතෙනව.. ඒත් මම ගතවෙන හැම අවුරුද්දෙම මගෙ ජීවිතේට වැඩි වැඩියෙන් ආදරේ කරනව.

Tuesday, December 13, 2011

[223] අසම්මතයෙනුත් තවත් ඔබ්බට 2 - ඔහුත් ඇයත්, "ඇයත්" ගැන !

ප්‍රවේශය :  


ප්‍රියම්භිකාව යන වදනට හිමි සැබෑ අරුත කුමක්දැයි මම සිතන්නට පටන් ගත්තේ මේ ගීයත් සමග විය යුතුය. ආලය , සෙනෙහස, පවුල් ජීවිතය , එකට ජීවත් වීම යනාදී විවිධ මාතෘකා ඔස්සේ සිතමින් සිතමින් සිටිද්දී මේ ගීතය මා සංවේදී කලේ , සෑබවින්ම මින් පෙර සංවේදී නොවූ මානයක් කෙරෙහි කිව්වොත් නිවැරදියි.  


ඈට ප්‍රියම්භිකාව යයි කිසිවෙක් කියන්නේ නැත. රළු පරලු දෑස් අභියස ඈ ඔහුගේ 'හොර අඹුව'ය. සම්මතය නම් , ඔහුගේ පාදපරිචාරිකාවගේ ජන්මාන්තර වෛරක්කාරියය. ලෝකය ඉදිරියේ සිටින ගරුතර බිරිඳගේ පවුල කඩා ඉහිරනුවස් පහළ වූ අවතාරයකි. ඒ සම්මත ලෝකයේ හැඟීමය. ඔහු වන් කෙනෙකුට හිතට ගතහොත් හොර අඹුවන් නොගෙන ජීවත් වෙන්නටද හැකි විය යුතුවා සේම , ඇයට අඩුගානේ ඔහුගේ දරුපවුල ගැන සිතන්නට හැකි විය යුතුව තිබිණි. සම්මතයේ මානය එයය. 

එහෙත්... නිවැරැද්ද සහ වැරැද්ද අතර අඩි රූලක් ගසා ඉරක් ඇඳිය හැකිද? ඒ අඩිරූල හරි කෙලින් විය හැකිද? බීමත් වූ කෝච්චි පාරක් මෙන් ඒ ඉර , එකිනෙකාගේ නිදසට කරුණු නමැති වංගු ගනිමින් ඇද කුද වී තිබෙනු මට දැකිය හැකිය.  


සම්මතය හා අසම්මතය යකාට ගියාදෙන් කියන මා මෙන්ම තවත් අවශේෂ ජනයා මේ කියන කිසි දෙයක් අනුමත කරනවා නොවේ. එහෙත් මිනිස් දහම අනුව 'විය යුතු' දේ මේ යැයි කීමට අසීරු තරමටම මිනිස්කම පුදුම සහගතය . ගැටලු සහගතය. 

ඔහු සොරාගත් අසම්මත ප්‍රේමයේ පංගුකාරිය සමග ජාති ජාතිත් වෛර බඳිනු විනා ඔහුගේ ප්‍රිය බිරිඳට කළ හැක්කක් තිබේවිද?  සම්මතයත් , අසම්මතයත් ඉක්ම යන මානයෙහිදි , මට පෙනෙන්නේ යථාර්ථය විද්‍යමාන වන , සානුකම්පාවකින් වෙලී ගිය ශෝකයෙන් වෙහෙස පත් බිරිඳක් සහ අසම්මත ප්‍රේමියකි. 
  

අසම්මත ප්‍රේමිය දුකෙන් මෙසේ මුමුණන්නීය. ඔබට මුලු රාත්‍රියම හිමිය. ඔහු සමග මුලු ජීවිතයම බෙදාගැනීමේ නෛතික අවසරය හිමිය. එසේ බැලූ කළ ඔහුගේ නාමික ප්‍රියම්භිකාව ඔබය. එහි විවාදයක් නැත. ඈ මේ කියන්නේ වේදනාවෙනි. ඒ වේදනාව තමා වෙනුවෙන්ය. එපමණක් නොව, ඔහු මෙන්ම තමා නිසාවෙන් දුකෙන් තැවෙන ඔහුගේ පාදපරිචාරිකාවත් වෙනුවෙන්ය. අරුමය ඇත්තේ එහිය.  



(අනියම් බිරිඳ) 

මුලු ‍රැයක් පුරා - ඔබ ඔහු ලඟ
ජීවිතය පුරා - ඔහු ඔබ ලඟ
ඔබයි ප්‍රියාදර ප්‍රියම්භිකා ඔහුගේ

බිරිඳට මේ වදන් මහා සුසුමකි. මන්ද ඒ ගෙවෙන මුලු රැයත් , ඔහුගේ ජීවිතයත්, අරක් ගත් නෛතික හිමිකාරිත්වය ඇය සතු වුවද , හීනෙන් ගෑ උණුසුම් සුවඳ සහ ආදර සිත පවතින්නේ අසම්මත ආදරියගෙ ඇස් තුල බව ඇය දන්නා හෙයිනි.



(බිරිඳ)

මුලු ‍රැයක් පුරා ඔහු මා ලඟ
සිරුර පමණයි හිතයි ප්‍රේමයයි ඔබ ලඟයි


ආදරයත් සෙනෙහසත් දෙකෙහි අරුමය, දුක්බර වෙනස අත් විඳින්නී ඈය. ඔහුගේ බිරිඳය. කලෙක ලද උණුසුම් ආලය අද සිහිනයකි. හැර නොයන කුල ගෙය තුල ඔහුත් පාදපරිචාරිකා ඇයත් බෙදා ගන්නේ අනුකම්පාවත් , සෙනෙහසත් පමනකි. ඒ සෙනෙහස කුටුම්භයේ සිහසුන මත දිදුලන උණුසුම් ආදරයෙන් ඉඳුරාම වෙනස් වග ඈ හොඳින් හඳුනන්නීය. ඒ උණුසුම , ඒ සිහසුන අද නිර්නාමිකවම අනිකියකගේ අත පත් වාසනාවක්ව ඇති අරුම ඈ පසිඳින්නීය. 

(බිරිඳ)

ඔහුගෙ උණුසුම් ආදරයේ වාසනා හිමිකාරී ඔබ
මට හිමි හීතල සෙනෙහස පමණී..

එහෙත්. එය සැබෑ සත්‍යයද?  අනියම් , තාවකාලික සතු කර ගැනීමෙහි ඇති වේදනාව දැනෙන්නේ ඇයට පමණි. එක් අතකින් ඈ ඇගේ මුලු හදම ඔහුට පුදන්නීය. කිසි කලෙකත් නිසි ලෙසින් සැබවින්ම ඈ සතු නොවන බව හොඳින්ම දන්නා ඇයට , ඈ ඇගේ ආලය පුදන්නීය. ඉරිසියා හැඟුම ස්වාභාවිකය. ඈත් මනුස්ස දුවකි.  ඈ ඉල්ලන්නේ ජීවිතයය. වින්දනයට , සන්තර්පනයට පමණක් සීමා නොවූ , ලෝකයේ ගැහැට නොවිඳින සැබෑ ජීවිතයය. ඈත් අසරණය.
 

(අනියම් බිරිඳ)

මා සිත පවසන ඉරිසියා හැඟුම් ඉතින් අසන්
මා බිරිඳ වන්න පෙම්වතිය වන්න ඔබ මා තුරුලට මට දෙන්න දෙන්න ඔහු

ඇගේ වම් වෙදැඟිල්ල හැමදාමත් හිස්ය. එහි කුලවමියකගේ රන් මුදුව ඈට හිමි නැත. ඈ හැමදාමත් ඔහුගේය . එහෙත් එය නිර්නාමික  හෘදය ගිවිසුමකි. ආදරයේ බැඳීමක් පමණි. අතැඟිලි බැඳ එලිමහනේ ඇවිදින්නට ඈට වරම් නැත. 


(අනියම් බිරිඳ)

ඔහුගෙ මංගල මුදු පැලඳූ පාද පරිචාරිකාවී ඔබ
මා ඔහුගේ ගත සුසුමක් පමණී




ඇයට ඇත්තේ එතරම් ලඳ බොලඳ බියක්මත් නොවේ. ඇගේ බිය ඇගෙන් නතර වන්නේද නොවේ? අහෝ මාගේ කුටුම්භය? දිවිපෙවෙත? ඔහු? ඔහුගේත් ඇගේත් ආදර සෙවණේ මේ කිසිත් නොදැන හැදී වැඩෙන කුඩා පැටවුන්? ඔවුන්ගේ හෙට දවස? ඔවුන්ගේ අභිමානය?  ජීවිතයක් , ඇතැම් විට සංසාරයක්, එකට බැඳී ආ ඔහු? ඔහු මා වෙනුවෙන් පමණක්මත් නොවේ. මාත් ඔවුනුත් වෙනුවෙනි. අනේ ඒ ගැන සිතාවත්, දෙන්න මට ඔහු... ඈ අයදින්නීය ... 

(බිරිඳ)

මට නැතිවනුයේ හිමිසඳ සමගින් දූ දරුවෝ
මුලු ජීවිතයෙම අත් වැල් බැඳ ආ  මා සෙවණට මට දෙන්න ඔහු

ජීවිතයක් ඔහු මා සමගය. ඒ මගේ කුටුම්භයේ ශක්තියයි. ඒ මගේ සහ පැටවුන්ගේ අනාගතයයි. බිරිඳට ඒ හැර අන් මගක් නැත. සිත සොරා ගත් ඔහුගේ ආදරියගෙ , ඔහුවම යලිත් අයදිනු මිසක.  

සිතෙන් මේ ආදරිය ඉන්නේ ඔහුගේ ලොවෙහිය. ඔහුගේ මනසෙහි රඟන සිතුවම ඇයය. ඇගේ සිත , ඔහුගේ සිත , ගැරහුම් ඇස්වලින් වසන් වී ඔවුන්ගේම මෝහනීය ලෝකයක අතරමං වී සිටී.  
කවුද ඔහුගේ සැබෑ ප්‍රියාව? එය ඔහුවත් නොදන්නවා ඇත. ඔහුගේ ලෝකය පාදපරිචාරිකාවී ඒ අසරණියගේ සහ ඔවුන්ගේ හීන වලින් වග නොකිය යුතු අසරණ පැටවුන්ගේ කැදැල්ලත් , වෛවර්ණ සිතුවමක් වන් සැණකෙලියක් ඔහුගේ ජීවිතයට ගෙනා මේ ආදරියත් අතර අසරණව ඇතැයි මට සිතේ.


බිරිඳ :

ජීවිතය පුරා මා ඔහු ලඟ

අනියම් බිරිඳ :

මා සිත සපුරා ඔහු මා ලඟ

දෙදෙනාම :

ඔබද මාද ඒ ප්‍රියම්භිකා ඔහුගේ?

අප කඳුලු සිනා ඔහු වෙනුවෙනි
අපි සිනාසෙමූ ඔහුගෙ නාමයෙන් වැලපෙමූ

ඔහු වෙනුවෙන් ? ඈ ඔහුගේ ලෝකයට ආදරිය වන්නීය. ඔහුගේ ජීවිතය නේක වර්ණයන්ගෙන් සිතුවම් කරන්නීය. උණුසුම විනා, රාත්‍රියෙන් අර්ධයක් විනා, ජීවිතයෙන් අර්ධයක් විනා ඒ වෙනුවෙන් ඈට ලැබෙන හිමිකමක් නැත. එහෙත් ඔහුගේ සැනසුම වෙනුවෙන් ඈ ඔහු ඉදිරියේ සිනහ නගන්නීය. ඈ නැති තැන , අසරණ ඇගේත් , ඔහුගේත් , ඔහුගේ කුලවතියගේත් ආත්මයන් වෙනුවෙන් කඳුලු හෙලන්නීය.


ඔහු වෙනුවෙන් ? කුලවතිය කුල ගෙය රකින්නීය. පැටවුන්ට අම්මා වන්නීය. ඔහුටත් අම්මා වන්නීය. බත සරි කරන්නීය. ජීවිකාව ගෙනයන්නීය. ඔහුගෙන් ලැබෙන සීතල සෙනෙහස ඉදිරියෙහි සිනාසෙන ඈ ඔහු නැති තැන වැලපෙන්නීය. ඈ වෙනුවෙනුත්, පැටවුන් වෙනුවෙනුත්, කුලගෙය වෙනුවෙනුත් , ඈ මෙන්ම අසරණ ඔහුගේ අසම්මත පෙම්වතිය වෙනුවෙනුත් ඈ කඳුලු හෙලන්නීය.  ඇයත් , ඈ වන්ම තැවෙන ඇයත් මේ ගීයෙහි කියන්නේ අසරණ ගැහැණු හදවතෙහි අනවරත උපේක්ෂාවදැයි මට සිතෙයි.




ප‍සුවදන  



මේ ගීය මට ජීවිතය , මිනිස් දහම පිලිබඳ මහා කියැවීමකි. ඉරක් නොගැසූ 'හොඳ-නරක' මත්තෙහි අපේ මානයන් අවමානයට ලක් වන්නේදැයි මම නොදනිමි. එහෙත් මිනිස් හැඟුම් නම් මෙබඳුය. එහි හොඳ නරක පුද්ගල රූපී වෙතැයි මට සිතේ. මේ ගීයෙහි තැවරී ඇති මහා දයාව , අනුකම්පාව, යාදින්න , ශෝකය , කලකිරීම මා සසල කරයි. ඔහුත් , ඔහුගේ අසම්මත ආදරියත්, සම්මත කුලගෙහි බිරිඳත් , මේ හැමම මිනිසුන්ය. මිනිසුන්ගේ කුලකයෙහි , වෙන් සටහන් මත්තෙහි 'කල යුතු දෑ' , 'නොකළ යුතු දෑ' රවුම් දෙකක ඈන්දහොත් , ඡේදන කුලකය පමණක් නොසිස්ව තිබෙතැයි මට නිකමට සිතෙයි. 


ගීතය ගයන්නේ මරියසෙල් ගුණතිලක සමග සමිතා මුදුන්කොටුව. රචකයා පිලිබඳ දන්නා අයෙක් මෙහි ලියා යන්න. ගීතය අහන්න මෙතැනින්.

[222] අසම්මතයෙනුත් තවත් ඔබ්බට .... 1

ලිපි පෙළ වෙනුවෙන් ප්‍රවේශය :


ලෝකයෙ සම්මතය කියල දෙයක් තියනවලු. සම්මතය කියන්නෙ බහුතරය පොදුවේ ගමන් කරන මාර්ගය වෙන්න පුලුවනි. සම්මතයෙන් පිට ගිය දේවල් සහ අසම්මත දේවල් අතර වෙනසක් තිබෙනවද? එහෙම බැලුවම අසම්මත ප්‍රේමය , අසම්මත ආදරය , අසම්මත අධ්‍යාපනය, අසම්මත ජීවන රටාව .. මේ හැම එකක්ම කොතෙක් දුර සම්ම්තයෙන් පිට පැන ඇත්දැයි කියන වාරණය මෙන්ම තීරණයත් අපේම හිතේ හදාගත් මානයක්ද කියලත් හිතෙනව. හෝව් හෝව්... දැන් කැරකිල්ලයි වගෙ නේද? මේ දවස්වල මටත් ටිකක් ඒ වගේ.... 

වෙනස් දේ වෙනුවෙන් හිත බෑඳෙන ජීවිතේ මල්ගේ හිත , අසම්මතයටත් සම්මතයටත් විෂය නොවන අපූර්ව මිනිස් දහම් ගෑන ලියන්නට පෙරුම් පිරුවේ අද ඊයේ නොවෙයි.  මේ පටන් ගන්නේ එවන් ලිපි පෙලක පලමු ලිපිය.

අසම්මත හෙවත් හැමෝම යන සම්මත රටාවෙන් පීලි පැනපු පාරෙ දුවන අමුතු සින්දු එක දෙකකට එබෙන්නට මට පුලුවන් වුනේ වැඩ කටයුතු යෙදෙන කාර්යබහුල ජීවිතයෙම එක අහුමුල්ලක වාඩි ගනිමින්.


පළමු ලිපිය: 


අසම්මතයෙනුත් තවත් ඔබ්බට 1 : දෙතිස් වධ විඳින පුතා , ඒ අම්මාට වීරයෙකි.  


පූර්විකාව :


ලෝකයේ බොහෝ දෙනා කරන සාමාන්‍ය සහ අවදානම අඩු දේ කරන පුතුන් දූවරුන් දකින්නට කැමති අම්මලා අතරේ සම්මතයෙන් ඔබ්බට ගිය , අවදානමින් අනූන දෑ කරන්නට අවසර දෙන්නට ඉඩ දෙන්නට අම්මා කෙනෙකුට කොයි තරම් නම් හයියක් තිබිය යුතුද? දොස්තර කෙනෙක්, ඉන්ජිනේරුවෙක, ගෙයක් දොරක්, වාහනයක්, බිරිඳක්, දරුපවුලක්... මේ රටාවෙන් පීලි පනින්නට පුතෙකුට හයිය තිබ්බාටමත් මදිය.  ඒ හයිය දුබල කළ හැකි එකම මන්ත්‍රය අම්මාගේ ආයාචනාත්මක දෑස් විය හැකිය.  අම්මාට ඒ සම්මතයෙන් එහාට යන්නට කල්ප ගානක් යනු ඇති. ඒත්....

ලෝකය සම්මතයට එහා නොයන්නේත් නොවේ. 




මූලාශ්‍රය: 

යදමින් බැඳ විලංගු ලා මගේ පුතා ‍රැගෙන යන්
ඉඳික‍ටු ඇන ඇඟිලි තලා දෙතිස් වධය පමුණුවන්
අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම්
කුමට එ'රට අධිකරණය නීතිය සහ විනිසුරන් ?

කකා බිබී නටන අතර නරුම යහලු යෙහෙලියන්

පන්දු කෙලින අතර ඉහළ පාසල් වල අමනයන්
රට ගිනි ගෙන ඇති වග දු‍ටු මගේ එකම පුතණුවන්
එ'ගිනි නිවන මග සෙවීම වරදක්දැයි මට කියන් ...

ගිනි ගන්නා රටක කෙලින මී හරකුන් වැනි පුතුන්

කුමටද මට මහ විරුවෙකි සිරගෙයි මළ මගෙ පුතුන්
කෝටි ගණන් බිහි වේවා මගෙ පුතු වැනි තව පුතුන්
කිරිමව් ලෙස මම ඉන්නම් එ'වන් පුතුන් ලඟ උතුම්

කතාබහ :


මවකගේ ආශිර්වාදය මැදින් ඒ පුතු යන්නේ එසේ මෙසේ සිංහ ගමනක් නොවේ... ඔහු පරදී.ඔහු දඬුවම් විඳී..  ඔහුගේ තැත වරදී. එහෙත් ඒ උදාර මවුගේ දෑස් අභියස ඔහු පරාජිතයකු නොවේ. මහා වීරයෙකි. ඔහුගේ උත්සාහය දෙස ඒ අම්මා බලන්නේ එසේ මෙසේ අභිමානයකින් නොවේ. එය අපේ නෙතට ගෙනෙන්නේ විස්මයකි. අනුකම්පාවක් හෝ කලකිරීමක් නොවේ. සුවහසක් වීර මවු වරුන් කෙරෙහි මහා ආදරයකි.

ඈ කෙබඳු වීර මාතාවක්ද? සිය ලෙයින් හදා වැඩූ දරුවාට දෙතිස් වධය දෙන ගහලයින් ඉදිරියේ ඈ හඬා නොවැටෙන්නීය. යාදිනි නොනගන්නීය. හද උතුරුවා ගලා ය්න දාරක ස්නේහය ඉක්මවා ගිය දාරක අභිමානයෙන් ඔද වැඩී ඈ සිය පුතු සිහින මැවූ ලෝකයේ පුතුන්ගේ ව්‍යායාමය ඉදිරියට ගෙනයන වගකීමට බැ‍ඳෙන්නීය. එය සම්මතය සැබවින්ම ඉක්මවා නොගොසින්ද?


වීරත්වයෙන් ඔද වැඩී ගිය මහලු ගත නමුත් ජවයෙන් ඔද වැඩි හදවතින් ඈ අයුක්තියට එරෙහි තර්ජනාංගුලිය , මේ සම්මත සහ අපුල ආත්මාර්ථකාමී පුත්‍ර පරම්පරාව කෙරෙහි දිගු කරන්නීය. ඒ සිර ගෙයි මළ වීර පුතු වෙනුවෙන් හඬන්නා වෙනුවට ඔහුගේ ප්‍රාර්ථනාවේ අනාගතය ඇය වන්නීය... සම්මතයත් , අසම්මතයත් ඉක්මවා ගිය තුන්වන මානයෙහි සම්මතයට අසම්මතයට හෝ විශය නොවන සම්මතය ඉක්මවා ගිය අධිමානුෂීය සන්කල්පයක් තිබේනම් , මම එයට හිමි නිසි වදන සොයන්නෙමි..


හැමෝම කරන දේ රැල්ලට නොකළ සඳ පුතු සමග උරණ නොවූ අම්මාට , රැල්ලෙන් මිදී උඩුගම් බලා පිහිනද්දී ඉවුර දිගේ සිය දුබල දෑත් වාරුව දිගු කළ අම්මාට , උඩුගම් බලා ගිය වරදට ඒ පුතු දෙතිස් වධ දඬුවම් ලබද්දී යුක්තිය වෙනුවෙන් මිස දාරක ස්නේහයෙන් අඳව හඬ නොනැගූ අම්මාට , අම්මාගේ හිතේ උන් වීරයා මියෙද්දී සිය පුතු වන් අනාගත විරුවන්ටත් එවන්ම දිරියක් වන්නට පෙරුම් පුරන අම්මාට ,  සම්මතය බිඳි, අසම්මතයත් බිඳි , ලෝකය අතැඹුලක් කොට අනුදත් ඒ වීරත්වයට.... බ්ලොග් පෝස්ට් එකට දහයක් ලිව්වත් පාඩු නැතැයි මට සිතේ...



විවේචන :  


නන්දා මාලිනියට උපතින්ම හිමි, ජවාධික , ශක්තිමත් හඬ නිසි අයුරෙන් ගැල්පී ගිය ඇගේ තවත් එක් ගීතයක් ලෙස මම පුද්ගලිකවම මේ ගීයට මහත් සේ පෙම් බඳිමි. මෙහි ඇති වීරත්වය මට මහලු මවකගේ ඇස් වල දිලිසෙන අභිමානයේ තෙත් බව සිහි කරවයි. ලෝකය දෙසට , අයුක්තියට ඇඟිල්ල දිගුකරන්නේ තරුණ පරපුරයැයි , මහලු පරම්පරාව යල් පැන ගිය අදහසින් යුතුව තරුණ සිතිවිලි නොහඳුනමින් , නව යුගය සමග කැරලි ගසන හණමිටි අදහස් ගොන්නකැයි සිතන සම්මතයට නන්දා මාලිනිය ගයන මේ ගීතය අභියෝගයකි. සම්මතයත් අසම්මතයත් ඉක්මවා යන ඒ මහා වෙනසට මම පුද්ගලිකවම මහත් සේ පෙම් කරමි.

 

ඊලඟ ලිපිය : 

සම්මතයෙන් ඔබ්බට 2 :  බිරිඳත් අනියම් බිරිඳත් දෙදෙනාට පරම වෛරක්කාරියන් වෙනු විනා , තවත් 'විය හෑකි දේ' තිබිය හැකිද? ඈයත් , ඇයත් හඬන්නේ ඔහු වෙනුවෙනි ...


පසුවදන : 

ලිවීම වෙනුවෙන් මා වෙලාව සොයාගන්නේ කෙසේදැයි නිතරම මගෙ යහලු යෙහෙලියන් අහන පැනයක්... මා වෙලාව සොයා ගන්නවා වෙනුවට ලිවීමට සිතුවිල්ලක් පහළ වෙන විට මා සිටින්නේ හිටගෙන බසයක නම් , මා හිටගෙනම කොල කෑල්ලක ලිවීම කරන පිස්සෙක් විනා ලිවීම වෘත්තියක් කොටගෙන මේසයක් පු‍ටුවක් සොයා ලිවීම වෙනුවෙන්ම ඇප කැප වූ ලේඛකයකු නොවෙයි. ලිවීම, කියවීම, නැටීම , ගැයීම , පිස්සු නැටීම මේවා නිරන්තරයෙන් මගේ ජීවිතයට කාවැදෙන්නේ ඒ මා ආදරය කරන දේවල් නිසා..

Thursday, December 08, 2011

[221] ජෙරී පවුලයි අනෙක් සත්තුයි ගැනයි මේ...

ජෙරීට තනිකරම තියෙන්නෙ සත්තු පිස්සුව. ජෙරීගෙ අයිය ලොරී කවද හරි ශේක්ස්පියර් වගෙ කෙනෙක් වෙන්න සිහින මැව්ව සාහිත්‍ය පිස්සෙක්. ලෙස්ලි කියන්නෙ අනික් අයිය. එයාගෙ ලෝකෙ තමයි තුවක්කු. මාගෝගෙ ලෝකෙ පිරිල තියෙන ලොකුම දුක මූනෙ කුරුලෑ හොඳ කරගැනිල්ල... රූපලාවන්‍ය උමතුව. මේ නාවිකයො කැරලි ගහන පවුල් යාත්‍රාව පදවගෙන යන ජෙරීගෙ අම්මා කියන්නෙ මේ පවුලයි පවුලට ජෙරී නොකඩවා එකතු කරගෙන එන විවිධ ප්‍රමාණයේ සත්තුයි සාර්ථකව කලමනාකරණය කරගන්නා වීර කාන්තාවක්....

ජෙරී ගෙයි අස්සට ගෙනෙන්නෙ එසේ මෙසේ සත්තු නොවෙයි. ක්ෂුද්‍ර ජීවියගෙ පටන් බියකරු වගවලසුනුත් ජෙරීගෙ පස්සෙන් වැටිල ගෙට රිංගීමේ අවදානම ඕනෑම වෙලාවක තිබෙනව. ජෙරීගෙ අයිය ලොරී කියන විදියට නම් 'ජෙරීයි ජෙරීගෙ එපාකරපු සත්තුයි' පිරිච්චි ස්වභාව විද්‍යා කටුගේක ජීවත් වෙනවට වඩා මේ ජීවිතේ දෙවැනි වෙන්නෙ නැහැ. 

ජෙරීට එන්ගලන්තයෙ ඉඳිද්දි සාමාන්‍ය ප්‍රමානයෙන් වැලඳිලා තිබුනු මේ සත්තු පිස්සුව උමතුවක් බවට පත් වෙන්නෙ මේ පවුලම ග්‍රීසියෙ කෝෆු දූපතට සංක්‍රමණය වුනහමයි. එකිනෙකට වෙනස් ආසාවන්ගෙන් පිරිච්චි මේ අපූරු පවුල මේ දූපතට සංක්‍රමණය වෙන්නෙ , ලොරීගෙ භාෂාවෙන් කියනව නම් මධ්‍යකාලීන සර්කස් කණඩායමක් වගෙ.

ආ අමතක වුනා.... මේ පවුලෙ ඉන්නව තවත් වැදගත්ම සාමාජිකයො හතර පස් දෙනෙක්. 

එක්කෙනෙක් තමයි රොජර්... රොජර් කියන්නෙ බල්ලෙක්. එයාට එහෙම කියන එක හරි මදි. එයා තමයි අපෙ අසහාය ස්වභාව විද්‍යාඥයගෙ සහයට ඩැනී. හෙවත් ජෙරීගෙ වචන වලින් කියනව නම් උද්භිද විද්යා ගවේෂණ සහයකයා... එයා තරම් ජෙරීට එකතු නැති වුනත් 'මුත්තරා' සහ 'වමනේ' කියන බලු දෙපලත් මේ ගෙදර අඩු ගානෙ නමේ හැටියටවත් අලංකාර කරන්න විටින් විට දායක වෙනව. මේ ගොල්ලොන්ට මෙච්චර නම් තියන රටේ මුත්තරා සහ වමනෙ කියන නම් දැම්මෙ ඇ‍යි කියල ඔයාලම හොයාගන්න. අනිත් සාමාජිකය තමයි 'බරසාර තට්ටමී' .. එයා කවුද කියලත් මම කියන්නෙ නැහැ. ඕනෙ නම් ජෙරීගෙන් අහන්න. ඩොඩෝ කියන්නෙ කොයි වෙලෙත් උකුල් ඇටය හන්දි පනින දිග සොසෙජස් එකක් වගේ අමුතු , ජෙරීගෙ අම්මගෙ සුරතල් බලු පැටියා..

 ආ .. ස්පිරෝ.... විශාල සිංහ මුඛ ජල යන්ත්‍රයක් වගේ , ඩරල් පවුලට අරක් ගත් දේවතාවෙක් වගේ, ඩරල් පවුලෙ විවිධ විප්‍රකාර ඕනෑම එකකට 'වැඩේ බේරන' ස්පිරෝවත් අමතක කරල බැහැ. ජෙරීගෙ සත්තු පිස්සුව දෙගුණ කරනවා කියා ලෙස්ලිගෙනුයි ලොරීගෙනුයි බැනුම් අහන තියඩෝ, තමුන්ගෙ සරීරයෙ තියන ලෙඩ දුක් වලට ආදරය කිරීම වෘත්තිය කරගත් ලුගරේසියා , ජෙරීගෙ සත්තු වත්තෙ ක්වාසිමොඩෝ, ඔගස්ටස් කිචිබඩා යනාදි එකී මෙකී නොකී විප්‍රකාර පිරිච්චි ඩරල් පවුලෙ ජීවිතේට එබිල බලන්න නම් ඔයාලට අනිවාර්යයෙන්ම 'මගේ පවුලයි අනෙක් සත්තුයි' පොතෙන් පටන් අරන් , 'කුරුල්ලෝ සිව්පාවෝ සහ නෑදෑයෝ' යි, 'දේව උද්‍යානය' යි කියවන්නම සිද්ධ වෙනවා..

සැබෑ හාස්‍ය රසය කියන්නෙ මොකක්ද කියල ඉගෙන ගන්න නම්, සැබෑ පරිවර්තන හැකියාව කියන්නෙ මොකක්ද කියල දැන ගන්න නම් මම හිතන්නෙ ඔයාලට මේ පොත් තුන ප්‍රමාණවත් වේවි.  ඔයාලට පෙන්වන්න මේ පොත් තුනේ ෆොටොවක් ගන්නත් බැරි තරම් පොත් තුනම දුර්වර්ණ වෙලා.. ඒ ඇයි දන්නවද? අවුරුදු 4ක් වගෙ ඇතුලත මේ පොත් තුන මම කියවල ඇති දහස් වාරයකට වැඩියෙන්. බස් එකෙ දිගු දුර ගමනක් යනකොට , හෑන්ඩ් බෑග් එකෙ ඕනෙම වෙලාවක, සහ මගෙ ඇදේ කොට්ටයට පසෙකින් , නිරන්තර බයිබල් 3ක් වගේ අවුරුදු 4ක් තිස්සෙ මේ පොත් තුන වැජඹෙනවා. මට නම් මේ පොත් තුන ආයි ආයි කියවලා බඩ අල්ලගෙන පෙරලි පෙරලි තාමත් හිනාවෙන්න හැකියි. එකක් මම සත්තුන්ට ආස නිසා. ඊටත් වඩා මේ පරිවර්තනයේ තියෙන මහ පුදුමාකාර දක්ෂ බස හැසිරවීම නිසා. නිරායාසයෙන්ම හිනා යනවා. මට නම් දැන් මේ පොත් තුනෙහිම දෙබස් පවා කටපාඩම්. ඉතින් හිතාගන්නකෝ පොත් තුනේ රසය..

සතුටෙන් නින්දට යන්න, මහන්සිය නිවා ගන්න , හිනා වෙන්න කියාපු පොත් තුනක්. ඉතින් දැන් වැනුවා ඈති නේ... 

හැබැයි රානි සේනාරත්න රාජපක්ෂගෙ පරිවර්තන හැකියාව නම් අගය නොකර බැහැ කොහොමවත්ම. සමහර විට මුල් පොත මේ තරම් රසවත් නැතිදත් මන්දා... දන්නෙ නෑ. තාම මම මුල්පොත බැලුවෙ නෑ. මුල් පොතෙ පීඩී එෆ් එකක් මම මෙතන දානවා පහලින්. ඒ ඉන්ග්‍රිසි පොත් කියවන අය උදෙසා. සිංහල පොත් නම් ඉතින් විදර්ශනා පොත් ගෙදරිනුයි, සරත් විජේසූරිය පොත් හලිනුයි ගන්න වෙනවා. පොත් තුනම ගන්න. මම සහතික වෙනවා. පොඩ්ඩක්වත් පාඩු නැහැ.

හැබැයි තව දෙයක්. මේ පොත මට නම් හිතෙන්නෙ අඩු ගානෙ අවුරුදු 15න් ඉහළවත් දරුවන්ට තමයි සුදුසු. එකක් මේ පොතේ තියෙන්නෙ රසවත් මෙන්ම ඉහල සාහිත්‍යමය නැඹුරුවක්. අනික මේ පොතෙ අන්තර්ගතය ළමා පොතක් නොවෙයි. කියවීමට නරක දේවල් නැහැ. ඒත් කතාවෙ යම් යම් විහිලු හෙම පොඩි ඈයින්ට තේරෙන එකක් නැහැ.  ඒ නිසා මේකට ළමා පොතක් කියන්න බැහැ.  ඒත් මේ තමයි මම මෙතුවක් කියවපු රසවත්ම පරිවර්තන පොත් 3.. මේක ප්‍රබන්ධයක් නොවෙයි... ඇත්ත කතාවක් ජෙරල්ඩ් ඩරල් කියන අසහාය සත්ව විද්‍යාඥයෙක් සිය පවුලේ අය සමග ග්‍රිසියේ කෝෆු දූපතේ ගෙවපු අවුරුදු 5ක අත්දැකීම් අලලා ලියූ රසවත් පොත් පෙලක්...

ඉන්ගිරිසි පොතේ පී ඩී එෆ් එක

පලමු පොත :

මුල් පොත : My Family and Other Animals
කර්තෘ: ජෙරල්ඩ් ඩරල්
සිංහල පොත : මගේ පවුලයි අනෙක් සත්තුයි
පරිවර්තනය : රාණි සේනාරත්න රාජපක්ෂ
මිල:  480      (විදර්ශනා පොතක්)




දෙවන පොත :

මුල් පොත :Birds Beasts and Relatives
කර්තෘ: ජෙරල්ඩ් ඩරල්
සිංහල පොත : කුරුල්ලෝ සිව්පාවෝ සහ නෑදෑයෝ
පරිවර්තනය : රාණි සේනාරත්න රාජපක්ෂ
මිල:   320     (විජේසූරිය පොතක්)



තෙවන  පොත :

මුල් පොත : The Garden of God
කර්තෘ: ජෙරල්ඩ් ඩරල්
සිංහල පොත : දේව උද්‍යානය
පරිවර්තනය : රාණි සේනාරත්න රාජපක්ෂ
මිල:   280    (විජේසූරිය පොතක්)



රස වෑහෙන හාස්‍යමය රචනය මෙතුවක් මා දුටු හොඳම පොත් තුන තමයි මේ.... 

මේ සටහන මෙතනින් නවතන්න හිත දෙන්නෙ නෑ.. 

ජෙරී නමින් හැඳින්වුනු ජෙරල්ඩ් ඩරල් පසු කාලීනව වඳවී යන සතුන් නැවත ව්‍යාප්ත කිරීම සිය වෘත්තිය කොට ගත් මහා විද්‍යාඥයෙක් වුනා. 

ඒ විතරක් නොවෙයි, දවස තිස්සේ ටයිප් ගසන සාහිත්‍ය පිස්සුව හැදුනු අයියා ලොරී තමයි පසු කාලීනව ශ්‍රේෂ්ඨ සාහිත්‍යධරයෙකු වූයේ ලෝරන්ස් ඩරල් නමින්...

ඔහුගේ ජීවිත කතාව තිබෙනවා මෙහි දෙවන පොතේ. සැබවින්ම එය කියවන්නට වටින්නක්. ඔහු නමින් වෙන්වූ අරමුදලත් ඔහු බිහි කල සත්වෝද්‍යානත් ගැන මෙහි ලියන්නට ඉඩ මදි. ජෙරී ගේ කුඩා කාලයෙත් මහලුවියේත් ඡායාරූප කිහිපයක් ...


ජෙරී සහ රොජර්
ජෙරල්ඩ් සහ 'අයී අයී'
ඔහුගේ පිලිරුව

ඔහුට තිබූ සොබාදහමත් සමග සැබවින්ම බද්ධ වූ ජීවිතාභිලාශයන් මැනවින් ප්‍රකට වන ඔහුගේම ප්‍රකාශයකින් මම මේ සටහන අවසන් කරන්නම්..

'වන සත්වයින්ට සිය දුක් ගැනවිලි ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නැත. ඔවුන්ට හර්තාල් හෝ වැඩ වර්ජන කළ නොහැකිය. ඔවුන්ට සිය දුක් ගැනවිලි කිය හැක්කේ අප සමග පමණකි. ලෝකය ඔවුන් සමග බෙදාගන්නා , එහෙත් ලෝකයේ හිමිකාරයින් නොවන , අප සමග පමණකි'

( දේව උද්‍යානය පොතෙහි , රා
ණි සේනාරත්න රාජපක්ෂ විසින් ලියන ලද පෙරවදනින් )

Sunday, December 04, 2011

[220] සෙසේ !!!!

'සෙසේ' කියල අමතන්නෙ පූසන්ට. රෙදි හෝදන සබන් කෑටේට සන්ලයිට් එක කිව්වම , අන්තිමට වොන්ඩලයිට් කෑටෙන් හේදුවත් කියන්නෙ සන්ලයිට් ගානවා කියලා. අන්න ඒ වගෙ පූසන්ට සෙසෙ කියල කතා කරන්න ගියාම සමහර පූවන්ට සිද්ද වෙනවා 'සෙසෙ' කියලම බෞතිස්ම වෙන්න. අපෙ කතානායක 'සෙසෙ' ටත් වුනේ ඒකම තමයි.

එයා නම් ලේසි පාසු පූසෙක් නෙවි. සෙසෙ කියන්නෙ ලෝකෙටම 'එකම එක' ජාතියෙ එක්කෙනෙක්ලුනෙ. ඒකට හේතුව එයාගෙ තියන ලෝකෙ කාටවත්ම (ඒ කිව්වෙ පූසන්ට) නෑති අමුතු වයිරම !   ඒ වගේ වයිරමක්! ආයෙ ඉතින් කියන්න දෙයක් නෑ. මේ තාලෙ සෙසේලනම් ලෝකෙටම එකම තමයි. ලෝකෙ අස්සෙ ලන්කාවෙ පුංචි ගමක මේ වගෙ පූවෙක් හංගගෙන තියාගන්න එක තරම් නෑහෑ. ඒ නිසා ප්‍රසාද් හිතුවා සෙසේව ලෝකෙට ගේන්න ඕනෙ කියල. ඒ නිසාම තමයි සෙසේ ගෑන මට දෑනගන්න ලෑබුනෙත්. 

මේ පල්ලෙහා ඉන්නෙ සෙසේ.  පේනවනේද? ඉන්න අපූරුව .... අර අපූරු වයිරමත් පේනව නේද? 


 
ප්‍රසාද් සමරසේකර ලිව්ව මේ පොත් පිංච , මම බරසාර පොත් විවේචන අස්සෙ ඔබ්බන්නෙ ඈයි කියල ඔබට හිතුනද ?   වෙරෝනිකා මෑරෙන්න තීරණය කරයි ගෑන ලිව්ව, මිනිත්තු එකොළහේ කතාව ගෑන ලිව්ව , ජයසේන ජයකොඩි ගෑන, ජූඩි ගැන , ජෝඩි බ්‍රවුන් ගැන ලිව්ව ජීවිතේ මල් අද ලිව්වෙ නිකම්ම නිකම් පූසෙක් ගැන ! ඈයි ඒ?

මගේ මතයට අනුව.. සෙසේ කියන්නෙ විශේෂ පොතක්! පොතට තියෙන විශේෂය තියෙන්නේ පූසෙක් ගැන කතාවට වඩා බස හැසිරවීමේ...   සැහැල්ලුවෙන් කියවගෙන යන්නටත් හැකි, රස වෑහෙන , බොලඳ නැති , අතිශයින්ම සරල ලෙස ගලාගෙන යන ආදරනීය බස් වහර නිසාම , මම මේ වෙද්දි 'සෙසේ' ව කියවල ඇති දහ වාරයකට වැඩියෙන්. 

පිටු 72යි. සරල කතාවක්. ලියා ඇති අයුරු බොහොම රසයි.  බරසාර ආදර්ශ , ගැඹුරු විවරණ ඇත්තෙම නැහැ. ඒත් සෙසේ කියවගෙන යද්දි , සෙසේගෙ කියවීමෙදි , සතෙක්ගෙ ඇතුලෙ ඉන්න මානුෂීය මුහුණුවර වගේම, ප්‍රසාද සමරසේකර සෙසේව දුටුව ආදරනීය මනුස්සකම , අගය නොකරම බැහැ. 

වැඩි වෙලාවක් යන්නෙ නැහැ. ආසාවෙන් කියවගෙන යන්න හැකි. ලස්සනයි. සුගමයි. සරලයි. පැය භාගෙන් කියවිය හැකි. මට නම් අද වෙද්දි පැය බාගෙ එවුවා 10ක්වත් ගියා මේ පොත රස නිසාම ආයි ආයි කියවලා.  

රුපියල් 120කට තවමත් වටින පොත් තියනවා පොත් සාප්පු වල. 'සෙසේ' කියන්නෙ ඊට තව හොඳ උදාහරනයක්. (ගුරු ගීතය කියන්නෙත් ඒ වගෙම උදාහරණයක්) 

කියවල බලන්නකො, ලෝකෙ ඉන්න හොඳම සහ ලස්සනම බළලා 'සෙසේ' ගැන....

පොත : සෙසේ -හෙවත් ලොව හොඳම බලලාගේ චරිතාපදානය
ලිව්වෙ : ප්‍රසාද් සමරසේකර
ප්‍රකාශනය : Timeless Books
මිල : රු 120
ගත්තෙ : සරසවි පොත් හලින්..  
කියවන්නට යන වෙලාව : පෑය භාගයයි
රස විඳිය හැකි වෙලාව : ජීවිත කාලයම  .....

පලි ....
ආයෙ පොතක් ගැන ලිව්වොත් ලියන්නෙ නම් 'මගේ පවුලයි අනෙක් සත්තුයි' ගැන. ඒ වගෙම රානි සේනාරත්න රාජපක්ෂගෙ අපූරු පරිවර්තන හැකියාව ගැන.... එහෙනම් එතෙක් 'සෙසේ'ව අරගෙන බලන්නකො. මම වගෙම දහ පාරක්වත් ඔයාලත් මේ පොත කියවාවි ...

Tuesday, November 29, 2011

[219] පිහිට වන්නකුගේ සිට, මග සදන්නෙකු තෙක්... !

ඇය බැලේ නාටිකාංගනාවකි. නාටිකාංගනාවක් වීමේ සිහිනය කරා යන අතර මගදී ඇගේ දකුණත ඈ හැර යන්නේය. එහෙත් සිහිනය හැර නොගියේය. සිහිනය උදෙසා අත්වැලක් ඈ කරා ඒ වෙනුවට පැමිණියේය. බැලේ මලපොතේ අකුරක් නොදත් ඔහු නර්තන ශිල්පියෙකු කිරීමේ වගකීම ඈ පටවා ගන්නීය. සඳට අහස, අහසට සඳ ලෙස ඔවුනොවුන් 'ලෝකය එලිය කරන්නට' ගිවිස ගන්නෝය.

මේ  වීඩියෝව ඉතා සැලකිල්ලෙන් නරඹන්න. නැරඹීමට පෙර මේ පේලි කිහිපය කියවා ඉන්න. ඈ ඇගේ අහිමි අත වෙනුවෙන් හඬා වැටෙන්නීය. ඉදින් ඈ ඔහු හමු වූ විට ජීවිතය ජයගන්නට කල්පනා කරන්නීය. ඔහු ඒ වෙනුවෙන් උපකාරයේ කිහිලිකරුව දිගු කරන්නේය. ඈ ඔහු ප්‍රතික්ෂේප කරන්නීය. ඉන් පසු ඔහු ඔහුගේ අයෝමය හස්තය දිගුකරන්නේය. ඈ ඔහුගේ අත ගන්නීය... අහිමි පයෙහි අසරණ බව වෙනුවට හිමි පයෙහි ශක්තිය ඈ වැලඳ ගන්නීය.








මේ නර්තනය ලෝකයට කියා පාන්නේ එසේ මෙසේ කතාවක් නොවේ. රටක් වශයෙන් 'චීනා' මේ කර ඇත්තේ එසේ මෙසේ හාස්කමක් නොවේ. මා විස්මයෙන් ගල් ගැසෙන්නේ මේ නර්තන උදෙසාමත්ම නොවේ. හේතු කාරණ දෙකක් නිසාය.


1. ඇගේත් ඔහුගේත් දෑස් දෙස බලන්න. ඒ දැස් දිලිසෙන්නේ ජීවිතාශාවෙන්ද? අසරණ කමින්ද? එසේ නැතිනම් ජීවිතාශාව ඉක්මවාගිය , සුවහසක් හිත් දහිරියෙන් විස්වාසයෙන් කුලු ගැන්වීමේ ජීවිතාභිලාශයක්ද ?


2. චීනා හපනාය. හපනාට නැත්තේ මොනවාදැයි සොයා පිහිට වෙන චීනෙක් එහි නැත. ඇයි මා එසේ කියන්නේ?
නැත නැත. චීනාට ඕනා හපනාට පිහිට වෙන්නට නොවේ. චීනාගේ ඇස් වලින් , ආබාධිත ඔහු හෝ ඇය 'නැත්තෙකු' නොවේ. ඒ හපනෙකි. සොබාදහම විසින් , පැහැර ගත් දෑ වෙනුවට හිලව්වට පි‍රැවූ විභවයෙන් හාස්කම් දක්වන හපනෙකි. චීනාට ඔහු හෝ ඇය වීරයෙකි.

මේ වීඩියෝව යලිත් වරක් නරඹන්න. ඔවුන් අතක් පයක් අහිමි වූ පමණින් පිහිය විය යුත්තන්ද? එහෙත් මේ උදා වී ඇත්තේ පිහිටෙන් ඉදිරියට යා යුතු කාලය නොවේද?  සානුකම්පිත දෘශ්ටිය හපනාගේ අනාගතයට හානි ගෙන දෙයි. පෞරුෂය දුබල කොට දමයි. දයානුකම්පාව යැදීමෙන් ඔබ්බට ගිය වීරත්වයවෙනුවෙන් අප අපේ සිත් අවධි කළ යුතු කාලය මේ යයි මට හැඟේ. 




දයානුකම්පාවේ ප්‍රතිපල අපට විවිධ තැන්හි ඇස ගැසේ.  නිවෙසක ජීවිත කාලයම කාමරයක මුලු ගැන්වුනු කෙනෙක්? රූපවාහිනිය නරඹමින්. කඩදාසි මල් හදමින්? ආබාධිත හෝ අනාථ නිවාසයක තමා වන්ම පිරිසක් සමග නිස්සද්දව විස්සෝප වෙමින්.  නගරයේ පදික වේදිකා, බස් නැවතුම් , බස් රථ වල පිහිට යදිමින්..?  අප දිගු කල පිහිට , ඔවුන්ව ගෙන ගොස් ‍රැඳවූයේ කොතැනකද? ආදරයේ දයාවේ රැකවරණයේ අගය අති මහත්ය. එහෙත් ඉන් ඔබ්බට ගිය හයියක් දෙන්නට අපට බැරිද? 





ත්‍යාගශීලී හදවත්වලට මා නිගා කරනවා නොවේ. එහෙත් .....???? ඒ ත්‍යාගවන්ත  සිත තවත් එක් පියවරක් ඉදිරියට යා යුතු කාලය මේ යයි මට සිතේ.



__ 


බ්ලොග් පි‍ටු වල අවකැපෙන කතා කීමෙන් , කී කතාව සත්‍ය කරගන්නා ඊලඟ උදාහරණය මා දැයි මා දන්නේ නැත.එහෙත් වරෙක ඒ අභියෝගය මා අතට ගෙන 'මගේ අන්තිම කැමැත්ත' ලියුවෙමි. අද මම ඊටත් අප්‍රසන්න අවකැපෙන කතාවක් කියන්නට යමි.

සිතන්න . මේ ලියන මොහොතේන් පසු එන ඊලඟ මොහොතේ (බසයේ මෙය කුරු‍ටු ගාද්දී වෙලාව දවල් 11.05යි) , මා මේ ගමන් ගන්නා බසය අනතුරට ලක්වී මගේ පාද යුග්මය අහිමි වූවා යයි සිතන්න. මෙය කියවන ඔබට සිතෙන්නේ කුමක්ද? මා රෝහල් ඇඳක , සරීරය බැන්ඩේජ් කොට  හුස්ම සහ සිහිය පමණක් ඇති, එලවලුවක් පමනකැයි සිතන්න.

මම ඔබෙන් ඉල්ලීමක් කරන්නෙමි.

මා දකින්නට එන්න. (නාවාට තරහකුත් නැත) එහෙත් ඔබට හැකිනම් මා අභියස නොහඬන්න. මා නොහඬවන්න. මා හා ඔබ හඬා , අනුකම්පාවෙන් මා අකම්පාල නොකරන්න. කැමතිනම් මා ආශා කරන චොකලට්‍ටුවක් වනමින් , මා ඉදිරියට හිනා වී කඩා පැන මගේ ඉතිරිව තිබෙන දැත් තදින් අල්ලා ගන්න.  නැගිටිනු නොහෙන පා රහිත අර්ධ ශරීරය නැගි‍ටුවා මා දකින්නට ආශා අහස පෙනෙන, ජනේලය වෙත මා ගෙන යන්න. මා ඇඳේ වැතිර ලියන කවි, බ්ලොග් එකෙහි ලියා දෙන්න. මා කියන්න ලියා දෙනවා වෙනුවට, මට වැතිරී ලියනු හැකි මේසයක් තනා දෙන්න. මට කෑම කවනවා වෙනුවට මට කැම කන්නට පහසු විදියක් තනා දෙන්න. පිහිටත් මග පෙන්වීමත් අතර වෙනස ජීවිතයක් උඩු යටිකුරු මෙන් වෙනස් අන්ත දෙකක් කරා යන බව සිහි කරනු වස්ම මේ ලියමන ලියමි. 


ඔබ මට පිහිටක් නොවේ. මා ඔබට බරක් නොවේ. ඔබ මට 'මග පෙන්වන්නෙක් වෙනු උදෙසා' මග හදා දෙන්නේය.

මේ අනුකම්පීය යාං හෑල්ල ලියුවේ ඔබේ අවධානය මා වෙත ලබන්නට නොවේ. මට මා මිස ගත හෑකි වෙන උදාහරනයක් නැති නිසාය. මා  මෙය ලියුවේ මා වෙනුවෙන් නම් නොවේ. මේ ලියවෙන්නේ අප තාමත් නොසිතූ කතාන්දරයකි.  





අනුකම්පාව දයාව ඇති තැන 'පිහිට වන්නෙකු' වෙන තාක්, අප 'පිහිට යදින්නන්' දස දහස් ගනණක් උපද්දවමු. එහෙත් වීරයන් සොයා යන කුහුලින් යුතුව , ගම් දනව් පීරන 'මග හදා දෙන්නන්' වන්නට අපට හෑකි නම් , ඉන් ඉපදෙනුයේ ලෝකයටම 'මග පෙන්විය හෑකි' වීරයන්ය. 



ඉහත වීඩියෝවේ අවසන් කොටස, හෑකිනම් යලිත් නරඹන්න. දකුණත අහිමි සුන්දරියගේත් , වම් පය අහිමි කඩවසම් ගෑටයාගේත් , ඒ තෙත්වූ දෑස් වල පෙනෙන ඒ වීරත්වයේ දිලිසීමේත් , මේ ලංකාවේ පාසලක, ගෙයි මුල්ලක, පදික වේදිකාවක අපෙන් 'පිහිට පතන' අසරණ ඇස් වල තිබෙන දිලිසීමේත් වෙනස ඔබ දුටුවාද?

මේ බැලේ නර්තන ශිල්පීන් දෙදෙනා 2007හි CCTV ප්‍රසංගයේහි ලද රිදී පදක්කම අබිබවා, මහා දිගු කතාවක් ලොවට කියා පාන්නේය. (කතාව මෙතැනින් කියවන්න) 

ඔවුන් අද වීරයන් වී හමාරය. ඔවුන්ගේ චිත්ත ධෛර්යය දුලබය. එහෙත් , ඔවුන් වටා උන්නවුන්ගේ ආකල්පය ඔවුන් අද පිහිට යදින්නන් නොකොට මග පෙන්වන්නවුන් කිරීමෙහිලා විශාල මෙහෙයක් කොට ඇතැයි මට සිතේ. 


Friday, November 25, 2011

[218] පොත් සත්කාර්යයේ චමත්කාරය අනුමෝදන් කරනු වස්...



සැප්තැම්බර් මාසෙ දවසක මේ උඩහින් පේන ඉස්කෝලෙට (කෑගල්ල පානකාව මහා විද්‍යාලයට) මම ගොඩ වුනේ මගෙ පුද්ගලික ඉගෙනුම් කටයුත්තක් පිලිබඳ වැඩකට. ඒත් ඒ පාසලෙ හරි අපූරුවට පුංචියට නමුත් පිලිවෙලට වැඩ සිද්ධ වෙන ලස්සන දුටුවම , කාටද උදව් කරන්න නොහිතෙන්නෙ ?


"පොඩි පැටවුන්ට කියවන්න පොත් පත් තමයි හිඟ. ඒත් ඔය පුංචි දරුවා ඒකට ගොඩක් මහන්සි වෙන්න ඕනි නෑ. ඔයාට පුලුවන් හැටියකට පොතක් දෙකක් දෙන්න. ඒ ඇති "


විදුහල්පති ගුරුතුමන් එහෙම කිව්වෙ හදවතින්ම. මම මහ ධනවතෙක් නොවෙන බව , මට කෝටිගණන් පරිත්‍යාග නැති බව ඔහුටත් වැටහෙන්න ඇති. ඒත් මගෙ වටේ , හිත හොඳ අපූරු යාලුවො කැලතක් ඉන්න බව එවෙලෙ මට සිහිඋනේ ආත්ම විශ්වාසය ජනිත කරවමින්.


මේ ලිපියෙ ඇරඹුමේදිම මට එක දෙයක් කියන්න ඕනෙ. මේ අකුරු සටහන් වෙන්නෙ සංසාරේ අපි පෝස්ට් එකක උනත්, සංසාරේ අපි ලියන මම නැමැත්තීගේ 'වන් මෑන් ශෝ' එකක් නෙමෙයි මේක. මේ පොත් සත්කාරයේ ප්‍රතිපාදන වලින් මම දැරුවෙ අටෙන් එකක් වගෙ පොඩි කොටසක්. අනෙක් පින්බර දායකත්වය ලැබුනෙ මගෙ වටේ ඉන්න යහලුවන්ගෙන්. ඉතින් මේක මට මාව ප්‍රසිද්ධ කරගන්න කරපු වැඩක්වත් , ලොකූ වැඩක්වත් නොවෙයි. (මේ කාර්යයට වචනයකින් හෝ , මා පිලිබඳ පූර්ණ විස්වාසය තබා රුපියලකින් හෝ දායක වූ යහලුවන්ගේ හදවත් කොතරම් ලොකුදැයි කියන්නට නම් වචන නැහැ) 


ඇයි මම මේක පෝස්ට් එකක් හැටියට ලියන්නෙ? එච්චර ලොකු එකක්ද මේක? මෙයා ප්‍රසිද්ධ වෙන්න කරන වැඩක්ද කොහෙද මේක.  බොරු ශෝ දානවා... එකී මෙකී නොකී දේවල් කියවේවි.

නැහැ. මේ දකින ඔබටත් සිතෙනව නම් , අපිත් පුලුවන් ප්‍රමාණයෙන් මේ වගෙ චූටි දෙයක් කරන්න ඕනෙ, සම්පත් අඩු අය වෙනුවෙන් කියලා.. අන්න ඒ දිරිගැන්වීම වෙනුවෙනුයි අද මම මේ අකුරු ටික සටහන් කොට තබන්නේ...


ඔව්... ඒ පුංචි පාසලට  අද අපි ගොඩවැදුනා. පොතක් දෙකක් වෙනුවට , එකතු කරපු පොත් ගොන්නත් (ගණනින් පොත් 200ක් පමණ) තුරුලු කරගෙනම.....


මේ පුංචි පැටවුන්ට ගෙදර ගිහින් කකුල් පද්දමින් කියවන්නට සිඟිති ගෘහස්ත පුස්තකාල නැහැ. ඒ තබා කියවන්නට සැප පහසුවට දිගාවෙන්නට තිබෙන්නෙත් පැදුරු කබලක් වෙන්නට පුලුවනි. කියවන්නේ ඇස් පොඩි කරමින් තෙල් සිඳෙන්නට ලංවූ කුප්පි ලාම්පුවෙන් වෙන්න පුලුවනි.


එහෙවු පොඩි උන් තුන්සිය දෙනෙක් ආසාවෙන් ඉඹ ඉඹ , මේ අලුත් සුවඳ පොත් පිටු එක එක ආදරයෙන් පරිස්සමෙන් පෙරලෙනකොට , උන්ගෙ තරු ඇස් සන්තෝශයෙන් දිලිසෙන විට , මේ සත්කාර්යයේ පුරුක් වූ ඔබට මේ පින භක්තියෙන් අනුමෝදන් වේවායි මම හදවතින්ම පතන්නම් !

සත්කාර්යයට දායක වූ මහත් වූ සොඳුරු සිත් ඇති , අසංග අමරවංශ අයියා, චානක අරුණ මුණසිංහ මල්ලී, ජයනි තොටවත්ත අක්කා, වෑප් නිශාන්ත සහෝ , රොශාන් හේරත් පුතා , කණිශ්ක හෙන්නායක මල්ලි, සුභාෂ් ගුණවර්ධණ අයියා, චමින්ද වාසල අයියා , වජිර සහ ලසන්ති හිතවත් මිතුරු යුවල, සමීර ,ප්‍රියන්ත ගල්ගෙපිටිය අයියා සහ අනුරාධ නානායක්කාර මල්ලී.... ඔබ සැමටත් මෙය කියවන ඔබටත් මේ කුසලය අනුමෝදන් වේවා! 



ස්තූතියි ! 

පසු සටහන 1:  


කතා කොටගත් වෑන් රියෙන් යන සහ එන ගමනේදී කන් පිරෙන්නට මගේත් , අනුරාධ මල්ලීගේත් , ප්‍රියන්ත අයියාගේත් රස කතා අසාසිටි වෑන් රථයේ රියදුරු මල්ලීගෙන් , මා රථයෙන් බසින්නට සූදානම් වෙද්දී අසන්නට ලැබුනේ හීනෙකින්වත් නොසිතූ ප්‍රකාශයක්.. 

"මිස් ඕ පොසිටිව් වකුගඩුවක් හොයන කෙනෙක් ඉන්නවනම් මිස් ගාව මගෙ නොම්මරේ තියනවනේ, මට දන්වනවද?"


 මට ඇත්තෙන්ම මොහොතකට වදන් අහිමි වූයේ , මිනිසත්කම යනු මල් වලට මල් එකතු වන න්‍යායයෙන් ගත් කල , අනේ එක්කන් යන වාහනයට පවා මිනිස්කම ගෑවෙන්නේ කෙසේදෑයි විමතියක් ඈතිවෙමින්. 

"ඔයා වකුගඩුවක් දෙන්න හිතන් ඉන්නවද? ඊට පස්සෙ ආෆ්ටර් ඉෆෙක්ට්ස් එනවා. එක වකුගඩුවකින් ජීවත් වෙන්න ගියාම. ඒක දන්නවද?"  


මිනිස්කමින් යලිත් වරක් සංවේදී වෙමින් මම ඇසුවේ නිකමට මෙන්..

"දන්නව මිස්. ඒත් මේ ගෙවිල යන ජීවිතෙ වගෙද, තව ජීවිතයක් ජීවත් වෙනව නම්.. නේද?"  


ඔහු සතුටෙන් එසේ කියමින් වාහනය් නිවෙස අසල නතර කලා. මගේ හදවතත් එක් මොහොතකට නතර වූවා සේ මට හැඟුනා... ඔහු රියැදුරු අසුනේ සුක්කානම කරකවමින් ජීවිතයේ විශාල වංගුවක් ගන්නට නොබියව වදන් ඇමිණූ අයුරු මගේ දවසෙහි සතුට දෙගුන කළා.

වනසිව්පාවුන් වැනි මිනිසුන් නැත.  දෙවිදේවතාවුන් සිටි මහ පොලවක .... දේවත්වය යලිත් සොයා යන ගවේෂණයක යෙදෙන මිනිසුන් මිසක...

දීඝ නිකායේ මෙසේ සඳහන් වන්නේලු...

යම් සේ උණු කිරි මත්තෙහි යොදයක් වේද එසේම රස පොළොවේ ද ඒ දිය මතුයෙහි සිසාරා පැතිරුනේ විය. මනාව නිපැයු ගිතෙලක් හෝ වෙඬරුත් යම් බඳුවේද ඒ රස පොළොව එබඳු රත් පැහැ ඇත්තේ ද විය පෘථිවි රසය පිරිසුදු දඩුවෙල් බෑ මීවදක් මෙන් විය.

එක්තරා ලොල් ස්වභාවය ඇති සත්ත්වයෙක් භවත්නි මේ කුමක් විය යුතු දැයි ඒ රස පොළොව මදක් ඇඟිල්ලෙන් ගෙන දිව ගෑවේය. ඔහුට එය පී‍්‍රති විය.

එහි තණ්භාව සිත් තුළ බැස ගත අන් සත්ත්වයෝ ද ඔහු අනුව යමින් රස පොළොව ලෙව කෑහ. ඔවුන් සිත් හි ද තෘෂ්ණාව බැස ගති. එකල්හි ඔවුහු ඒ පෘථිවි රසය පිඩුකොට වළඳන්නට වන්හ. එයින් ඔවුන්ගේ ස්වයං ප්‍රභාව අතුරුදන් විය. සඳ හිරු නැකැත් තරු ප්‍රකට විය. 

අග්ගඤ්ඤ සූත්‍රයෙන් හෙළි කෙරෙන මානවයාගේ ආරම්භය පිළිබඳ මේ තොරතුරු වලට අනුව ආදී මානවයා ප්‍රසන්නය, පැහැපත්ය, සතුටින් ජීවත්වූහ. ගැටුමට නොගැටුණි. එහෙත් තෘෂ්ණා සහගත සිතිවිලි ඇතිවීමත් සමඟම ඒ සියල්ල අතුරුදන් විය. 

එසේ තෘෂ්ණාවෙන් භරිත වූ ලෝකය තුල තවමත් ඒ නැතිවූ ප්‍රභාව සොයන , ඒ මුල් ජීවියා සොයා යන්නවුන් සිටිති....



පසු සටහන 2:

පානකාව දුප්පත් පාසලක් නොවෙයි.. භෞතික සම්පත් අතින් සීමිත වූවත් ඉතා ප‍රිශ්‍රමයකින් යුතුව ඒ ගුරු මෑණිවරුන් පියවරුන් විදුහල්පති තුමන් සමග එක්ව ගොඩ නගා ඇති, මනා සේ සංවිධිත පාසල ඔබ දුටුවොත් පුදුම වේවි. මේසයක පුටුවක පවා ගල්වා ඇති පිලිවෙල, සකසුරුවම සහ විනය පානකාව යනු මිනිස්කම් සහ දස්කම් අතින් පොහොසත් පාසලක් කොට ඇති අයුරු ඔබට පානකාව විදුහල් වෙබ් අඩවියෙන් නරඹන්නට මම ආරාධනා කරන්නම් . (මෙතනින් පිවිසෙන්න)  

---
වෑන් රථය ගෙන ගිය මල්ලීටත් , වෑන් රථයේ මා සමග සහයට ගිය ප්‍රියන්ත අයියා සහ අනුරාධ මල්ලීටත් , මේ උතුම් කාර්යයට සිය දුක් මහන්සියෙන් හම්බ කළ ධනය නොමසුරුව කැප කළ සොයුරු සොයුරියන්ටත්, දුව පැන හොඳ දෙයක් වෙනුවෙන් අඩුම කුඩුම සොයා උපකාර කළ සමීරටත් , අපව මහත් අදරින් පිලිගෙන සත්කාර කළ විදුහල්පති පියාණන්ටත්, ගුරු මව්පියන්ටත්, මේ සත්කාර්යය අවසන මේ සිදුවීම් පවසද්දි ඇස් වල කඳුලු පුරවාගෙන දීඝ නිකායේ මේ පාඨය මට මතක් කළ තිස්ස අයියාටත්.. සැමට මහත් කුසල්ම සිදු වේවා !  



Thursday, November 17, 2011

[217] නගරං කපුටු 'වස්තුව'

ගොම්මනට කිසිම බිය සැකක් නැතිව කොලොම් තොටේ රස්තියාදු ගසමින් , කඩ සාප්පු වල ඇවිදීමේ නිදහස අද සීමා වී තිබේ.. එයට හේතුව ගෙයි මාපිය සෙවණේ කූඩු වීම නොවේ... රෑ දෙගොඩ හරියේ මම යන  අඩල් ගමන් වලට දැන් අපේ අම්මාගේ සිත කම්මර වී තිබේ.. මගේ වියපත් බව සිහි කැඳවා 'දැන් මා පොඩි එකකු නොවේ යයි කියා     ඒ කාලයේ මම රණ්ඩු ඇල්ලුවා මතකය.එහෙත් එදා මම පොඩි ලමයකු නොවේදැයි අද මට සිතෙයි. අද මම පොඩි ලමයකු වී සිටිමි.නොකල්හි වට වැස්සක් වූ එකල්හි, අවාරයේ පොහොර දා, නිසි නින්දේ ඇහැරෙන ඉවසිල්ල අහිමි කරගත් මෝඩ 'නොපිපි මල' මම වීමි ...

ගොම්මන ලංවී නගර මධ්‍යයට පැමිණි මම , අද එක් විනාඩියකට ඔරලෝසු කණුව ලඟ නැවතුනෙමි. කොලොම්තොට එදවස 'හවස' මම යලිත් සිහි කැඳවා ගන්නට තැත් කළෙමි. එය මහා ශාන්ත හැන්දෑවක් ලෙසින් , කාර්යාල නිමවී සෙමෙන් සෙමෙන් ගාලු පාරේ ඇවිද යන වෙහෙසක් නැති ගැහැණු මිනිසුන් මගේ  සිත් බිත මත ප්‍රක්ෂේපණය වෙයි. කඩ සාප්පු වලට ගොඩ වදින , සෙමෙන් සෙමෙන් යලි මගට බසින , අතෙහි ඇති බෑග්
පිරික්සන ඒ කොලොම්තොට වැසියනට තවමත් රෑ වී නැත. 





මම මෙ'නුවර , මහනුවර ඔරලෝසු කණුව අසලය. ඔවුහු දුවති. වියපත් මාපියන් , කුඩා දරුවන් , තරුණ තරුණියන් , එකම පිම්මෙන් පැන පැන යන අයුරු මට පෙනේ. ඉර බැස යාමේ භීතිය මේ තරම් දරුණු හැඟීමක් න්න , වසර කිහිපයක් ගෙන්දගම් වාෂ්ප ආඝ්‍රාණය කළ මට නුහුරුය.එහෙත් මටද ඒ භීතිය වැලඳීගෙන එයි.

ටවුන් නුග ගසේ වවුලෝ සිය ත‍ටු හරි බරි ගස්සාගෙන , උගුරකට පාදමින් නිවෙස් හැරපියා ගොදුරු සොයා යන දවසේ පශ්චිම යාමයයි මේ. කපුටන් නැත්තේ කොයි නුවරද? මෙ'නුවරද එය එසේමය. කපුටෝ කපුටෝමය. මේ තරම් ගණ නිල් තුරින් ගහණ හන්තානට හෝ උඩවත්ත කැලයට ගාල් නොවී උහු මහ නගර මධ්‍යයේ , දුහුවිල්ලෙන් ගහණ , තොර‍තෝංචියක් නැති නලා නද වෙන , නුග තුරෙහිම ගාල් වෙති. දවස තිස්සේ කුස පුරවාගත් සතුටින් , කපු‍ටු ඇඹේණිය ඇඳ රෙදි ගසමින් නිදි දෙව්දුවගේ සාරිපොටෙහි ගුලි ගැසෙන්නට යහන සදන්නීය. එතෙක් , කෙලි දෙලෙන් නටන කපු‍ටු දරුවන්
,  දවසාවසානයේ අසල්වාසීන් සමග දොඩමලු වන කපු‍ටු තාත්තලා  මට මැවී පෙනෙයි.  ඒ හඬ මට කොලඹ කොටුවේ ඇසුනාදැයි මතක නැත.


 රාත්‍රියෙන් හරි අඩක්ම ගෙවී යන තුරු නොනිදන,  වීදි ලාම්පු , කඩ සාප්පු , රසමසවුලු ඉදෙන විසල් උඳුන් , වැල නොකැඩී එන රථවාහන දම්වැල්  අස්සේ එකෙල මෙකෙල වෙමින් 'සැබෑ අඳුර' පිවිසෙන තුරු රවුම් ගැසූ අතීතය අවසන්ය...

ඒ වෙනුවට ඇත්තේ, අන්ධකාර භීතියෙන් මුසපත්ව , එක පිම්මේ පැන යන දෙනෝදාහක් අතරින් ගෙදර දුව යන වර්තමානයයි. මහනුවරින් අඩක් වසා සිටින මහ නුගයේ කපු‍ටු කපුටියන්ගේ  ගෝසාකාරී කචබචයෙන් මිදී  , නොයිවසිල්ලේ ගෙදර සිහි කරන, ඒ සිතමින්ම බස් රථයේ හිඳ මේ මතක කුරු‍ටු ගාද්දී , කුහුලෙන් ඒ වෙත එබෙන නුවරුන්ගෙන් එකෙකුවී ගෙවෙන වර්තමානයයි.

රෑ වුවහොත් අන්ධකාර භීතිකාවේ උත්ප්‍රාසය දියුණු වන්නට වල් ඌරු භීතිකාවද එකතු වේ. එකල්හි නපුරු මිනිසුන්ගේ ඇල්මෙන් බැල්මෙන් මා අනතුරේ වැටෙතැයි බිය ගත් මාපියන් අද භය වන්නේ වල් ඌරාටය..

එදා  සහ අද බොහෝ කල් ගතව නැතත් , කාලය විසින් මට කළ යුතු යුතුකම ඉතා සතු‍ටුදායක අයුරෙන් කර ඇති බව මට අද සිතෙයි...



කොටුවේ බෝගසටත් මහනුවර නුග ගසටත් එක සමාන අයුරෙන් දුහුවිලි මුසුවේ.  රන් මීවිත පුරවා ගත් වීදුරු දාරයෙහි ඈඟිලි තුඩින් රවුම් අඳිමින්, එක් නගරං කාක්කෙකු තව කාක් ගෑටයන් පිරිසක් හා එක්ව බෝ අත්තක 'සෑට්' වී පූල් ගසනවා වියහැකිය.  ඒ තරම් ලාම්පු එලියක් නැති බෝ අත්තක වෑතිරී කපුටු පෑටවුන් ඉස්කෝලේ දුන් 'හෝම් වර්ක්' කරද්දී, තවත් නගරං කාක්කෙකු පපුතුරෙහි මවිල් අතගාමින් , පිම්මේ දුවන නුවරුන්ට තටු නාවේ මන්දැයි කල්පනා කරනවා විය හැකිය...



ඒ එ'නුවරදැයි මෙ'නුවරදැයි වෙසෙස් වෙනසක් නැතැයි මට සිතේ..

 
Some People FEEL the rain, others just get WET.
Bob Marley


Sunday, November 13, 2011

[216] සා ! රා !

හැඳි  ගැරුප්පු පිඟන් තලය මත ගැටෙන හඬ සමග තරහින් මෙන් සාරා අහර ගැනීම නවතා මඳ හුස්මක් ගත්තාය. එහෙත් පරිසරය නිහඬ වී නැත. ඈතින් මෙන්ම සිය වත ඉදිරිපස හිඳින අරවින්දගේ පිඟානෙන් පවා නැගෙන , කන් කීරි ගැස්වෙන කඩු කිණිසි හරඹය දෙස, ඈ නිනව්වක් නැතිව මෙන් බලා සිටියේ හිස් බැල්මෙනි. ගෑරුප්පුවෙන් අනින්නේ මස් කෑල්ලටය. හැන්දෙන් අනන්නේ ඇනුම් කෑ අහරය. හැන්ද බිලිපිත්තකි. ගෑරුප්පුව කිණිස්සකි.



කෑම රුචිය කොහෙන් ගියාද නැත. මොන්ගෝලියන් , අමෙරිකන්, තායි එකී මෙකී නොකී මේ බුෆේ ආහාර වේල කොච්චර නම් මිල ඇද්ද? අරවින්දගෙන් අසන්නට සාරාගෙ සිත නොනැමේ.. ඒ , අරවින්දත් එය නොදන්නා නිසාද? එසෙත් නැතිනම් , සාරාගෙන් මුවින් එය පිටවුවහොත් ඊලඟට එන අරවින්දගේ  විධානය ඈට ඉවසිය නොහැකි නිසාද?


'නිකන් දුන්නු අස්සයාගෙ දත් ගනින්නෙ නැතුව බඩ පිරෙන්න කනව ඕයි!'


ඇ සිතෙන් පිලිතුර ලදින් , යලිත් සිය අහර පිඟාන වෙත නැඹුරු වූවාය. ඉදිරිපස ආසනයේ හැඳි ගෑරුප්පු හරඹය නැවතිනි. එහෙත් හිස එසවූයේ සාරා නොවේ. අනියත බියක් ඈ වටා වෙලාගත්තේ ඔහුගේ දෑස් සිය කෑම පිඟාන මත සැරිසරනු දු‍ටු නිසාවෙනි.


'මොකක්ද සාරා.. නිකම් හම්බු වෙච්චි චාන්ස් එක. එක්ක ආවටත් පාඩුයිනේ. තව කන්න කොහොම හරි'


‍රැලේ යාමට සැරසෙන බළලකුගේ දැස් වලින් ඊලඟ මොහොතේ යලිත් සිය කෑම පිඟාන වෙත අරවින්ද යොමු වූයේ ඉච්ඡා භංග කෙටි හුස්මකුත් පිටකරමිනි.


සාරා යලිත් පසෙක තැබූ ආයුධ දෙක ශක්තිමත්ව දෑතෙහි රඳවා ගත්තාය.




සටනක් ! ඔව්..ජීවිතේම මහ හටනක්... කෑම පිඟානටද මේ ඔක්කොම හටන ?


~~~~


'ආව්..... සාරා.... ඉන්ෆාස්ට ‍ෆ්‍රී ඩිනර් ටිකට්ස් දෙකක් හම්බු වෙලා.... ඌට එපාලු. වයිෆ්ට එන්නත් බැහැ කියනවලු. අපි දෙන්න යන්න කැමති නම් දෙන්නම්ලු. යමුද අනේ? ඉන්ටකොන්ටිනෙන්ටල් එකෙන් ඩිනර් ගන්න පුලුවන්යැ නැතිනම් අපිට ? යමු නේද?'


සාරාගේ සිතේ අද හවස මල් පිපුනේ එසේය.


ජීවිතය ගැන දහසක් සිහින සමග මේ වහල යටට ආ සාරා මේ වන විට සිටියේ දෙලොවක දෝලනය වෙමිනි. ඒ මන්ද?

'මට පිස්සුද? මම අච්චර හීන මැව්වෙ? මම මවපු හීන අතාත්විකද? බීච් එකට වෙලා ආදරවන්තයා එක්ක කඩල ගොට්ටක් කකා හඳ බල බල ඉන්න? බයික් එකක් රෙන්ට් කරලා කඳු මිටියාවත් දිගේ හස්බන්ඩා එක්ක ඉබාගාතේ යන්න?'

මේවා හිතෙන් මව මවා අවුරුදු 20ක් හිටිය මට පිස්සුද?

සාරා හැමදාමත් උදෙත් හවසත් මේ ප්‍රශ්නය ඇගෙන්ම ඇසුවාය.



නෑ. අරවින්දටයි පිස්සු. එයාටයි ඒ වගෙ ටේස්ට් එකක් නැත්තෙ. එයා තමයි මැසිමක් වෙලා ඉන්නෙ... මගෙ වරදක් නැහැ.

හිත කඩා වැටී, ජිවිතයේ වෙහෙසින් ඇඹරී මිරිකෙන විට ඈ දෝශාරෝපණය ඔහුට යොමු කලාය.එහෙත් ඇගේ සිත ඈට මේ දුන් වධයෙන් මිදෙන්නට එහි පිලිතුරක් විසඳුමක් සැඟව තිබුනේ නැත.



'අනේ සාරා මේ. මිනිස්සු කසාද බඳින්නෙ හඳ බලන්නයි , තරු ගනින්නයි, විකාර කරන්නයි නෙවෙයි. ජීවත් වෙන්න. කොටින්ම නීත්‍යානුකූලව එකට ඉන්න. ලමයි හදන්න.මොනවද ඔයා පොඩි ලමෙක් වගෙනෙ හිතන්නෙ..ඔහොම නම් බෑ ලමයො'


සිය බොලඳ ඉල්ලීමක් හමුවේ අරවින්දගේ මුවින් ගිලිහෙන එබඳු වදන් ඈ මේ කාලය තුල ඇසුවේ වරක් දෙවරක් නොවේ.


ඔව්... අරවින්ද හරි. මේවා ඔක්කොම මේ මගෙ මනස්ගාත....

ඒ මොහොතෙහි අරවින්ද ඇගේ පරිණත උපදේකයා හෙවත් කැපකරු පියා වී ඒ හදවතෙහි හරිබරි ගැසෙන්නට සැරසුනා පමණි!



මොන පිස්සුද. යාලු උනාම එහෙම උනෙ නෑනෙ. ඒ කාලෙ මටත් වඩා බොලඳ වැඩ කලේ එයානෙ....


කවදත් හිතුවක්කාර සාරා එසේ කියද්දී, නැවතත් අර කැපකරු පියා අඩියකුත් හප්පා සාරාගේ හදවතින් නික්මී යන්නේ දඩාං ගා කුල දොරත් වසමිනි.


සාරා මේ දෙලොව අතර එහෙටත් මෙහෙටත් වැනුනාය.


'මටයි පිස්සු. මගෙයි මොලේ හොඳ නැත්තෙ. පොඩි කාලෙ හිට එක එක සෙන්ටිමෙන්ටල් බොලඳ ලව් දැකලා, මල් කතා කියවලා මගේ මොලේ කුරුවල්  වෙලා.එයා හරි'


සාරා ඈ දෙසම රවා බැලුවාය !


'ඇයි මම එහෙම හිතන්නෙ. මට කියල ජීවිතයක් නැද්ද? ආත්මයක් නැද්ද? මම ආදරෙ විඳින්න ආස විදියක් නැද්ද? මම හීන මැවු ආදරයක් නැද්ද? මම මැශිමක්ද? මම එහෙම වෙන්න මම කළ වරද මොකක්ද?


සාරාගේ දෙවන සාරා නැවතත් ඇගේ කරවට අතක් දමා ලකුණු පතෙහි සාරා ඉදිරියේ එකේ අකුරක් අඳින්නීය....

 'නැහැ. මම හිතුවක්කාරයි. එයා හරි. මිනිස්සු උනාම බඳින්න ඕනෙ.බඳින්නෙ ඉතින් ඔය පෙම් බඳින්න නෙවි. එකට ජීවත් වෙන්න, ගෙවල් හදන්න, ලමයි හදන්න.එයා හරි. මම අද හවසට කියනව ____ '


සාරා හිතට විරුදු නමුත් ජීවිතය නමැති පන් ගසෙහි එල්ලී සිටිය යුතු නිසාවෙන් තීරණයකට එලැඹුනාය.

විසල් රුක හැරදා පන් ගසෙහි එල්ලුනෙමි. ගිලී මිය නොයා මා මා ජීවන ගමන යායුතුය.හැරීමක් නැත. 

සාරා ගේ වැඩිමල් සාරා, සාරවත් අවසානයකින් චින්තාවලිය අවසන් කලාය. 


ඉන්ටකොන්ටිනෙන්ටල් එකේ හදිසි නොමිලේ බුෆේ එකේ වාසනාව හිමි වූ අරවින්දගේ ඇමතුමෙන්, එදා දවල් සාරා සිතු දේ,  ආයෙමත් ඇට්ටර සාරා එලියට ඇද දැම්මේය..


ඉපිලී යන ආශාවෙන් සාරා මුසපත් වූයේ තරු පහේ හෝටලයේ රසමසවුලු වෙනුවෙන් නොවේ... මේ උඩ පන්නිනේ, ඇඳුම් අල්මාරියම එහෙ මෙහෙ විසි කරමින් සුලඟේ නොයන ඇඳුම් සොයන්නේ , සාරා නොවේ.. සාරාගේ දොලොස් හැවිරිදි පුංචි සාරායි...


ආඅව්ව්ව්ව්ව්ව්ව්ව්ව්...මුහුදු හුලං... අදනම් අරවින්දව බලෙන් හරි බංකුවක ඉන්දවගෙන එයාගෙ ඔඩොක්කුවේ ඔලුව තියන් තරු බලනව එලි වෙනකල්. ඩිනර් එක ඉක්මනට ගිලල එන්න ඕනෙ එලියට.


කුලගෙයට ආදා පටන් නොලද ඒ හීනය අස්සේ පිනුම් ගසමින් හිටි සාරාට අරවින්දගේ අඩි හඬ පවා ඇසුනේ නැත.,


සාරා....සාරා.... ලැස්ති වෙන්න...


මේ මොකෝ?? පැනල යන්නද?


අරවින්ද මහ හඬින් සිනාවෙමින් පිස්සන් කො‍ටුවක් වි තිබූ ඇඳුම් ගොන්න දෝතට ඔසවා ගත්තේය.


සාරා ප්‍රීතියෙන් ඉපිලී යමින්... එක් කල්පනාවකින් ආයිමත් දුකින් බර වූවාය.....


'අනේ ඒ ඇඳුම් ගොඩ මම නම්'


ඒත් ඒ දුක එක මොහොතකි. 

ආයෙමත් මුහුදු වෙරළ. හුලඟ... ජීවිතය.... ආව්ව්ව්ව්ව්ව්ව්.....


සාරා....කොහොමද අපි යන්නෙ?


කොල්ලුපිටියට බස් එකෙ ගිහින් ඉතුරු ටික අත් අල්ලන් පයින් යමු...
සාරා උඩ පනිමින් කීවාය... සතුට උත්පාදනය කරන කම්හලක බෙල්ට් එකක් දිගේ එන පළමු සතුට පැකට් එක දෝතට ගන්නට නොයිවසිල්ලේ බලාසිටින සාරා....!



අපි කැබ් එකක් ගමු නේද.... ෆයිව්ස්ටා එකකට කොහොමද බස් එකෙ යන්නෙ.... මන් කෝල් කරන්නම්....


අරවින්ද දුරකතනය සාක්කුවෙන් ගෙන අංක කරකවමින් නිරුත්තර සාරා ඇඳුම් ගොඩත් සමග තනිකොට පිටව ගියේය. එහෙත් මුහුදු වෙරළේ ආස්වාදයෙන් ලය පුම්බාගත් හුස්ම වියැකී යා නොදී,  කලු තුන්කාලේ කලිසමත් සිය හැඩ මැවෙන, නිල් පැහැ උඩ ඇඳුමත් හරවමින් බලමින් සිටි නිසා සාරාට ආයිත් ඇගේ ලෝකයට පියඹන්නට හැකි විය...


'කාලෙකින් එහෙනම් බඩ පැලෙන්න කත හැකි...නේද සාරා?'


අරවින්ද කාමරයට ආවේ ඇගේ දෑතේ හිරවූ ඇඳුම දෙස නෙත් රඳවමිනි.


'අපෝ... පොඩි එකෙක් වගේ.... ඕක නම් එපා... මොකක්ද සාරා.. පොලට යන්න වගෙ පුලුවන්ද එතෙන්ට යන්න. ඉන්ෆාස්ගෙ තත්වෙටත් හොඳ නැනෙ. අර ගවුම අඳින්න. කලු එක..හරිද? නැතිනම් මිනිස්සු හිතයි තාත්තයි දුවයි කියල ..හහ් හහ් හා.. '


සාරා... සාරා...! සාරා... 


කුහකයා ! 

සාරා කිව්වේ ඈටය !  කුඩා සාරාටය!

පොඩි එකෙක් වගෙ පේන්න ඇන්දම... අරවින්ද පව්... 


දිගු හුස්මත් සමග සාරා දොලොස් වියෙන් යලිත් එකුන් විසි වියේ බිරිඳ වූවාය.


කලු ගවුමට පමණක් නොව, කොයි ඇඳුමටත් හැඩ , සාරා දෙස  බලමින් ආ අරවින්ද සිය කීකරු බිරිඳගේ වත නරඹමින්, සිනහසුනේය.  එකෙනෙහි මැකී යන අරවින්දගේ සිනහවේ පි‍ටුපස ඇති නොපහන් බව, සාරාගේ තියුණු දෑස් පසක් කරමින්, යමක් ශ්‍රවණය කලේ තැති ගැන්මෙනි....


'හ්ම්ම්ම්... ලස්සන නම් තියනව ඉතින්....'
යලිත් මුවට සිනහව නගා ගනිමින් අරවින්ද සාරාගේ නිකට සොලවා ඇඳුම් හැඳ ම්දුලට බැස්සේය...



~`~


වීදුරුවට නාසය තබාගෙන, රෑ සීත මැද්දෙන්,  සාරා කැබ් රථයේ හිඳ තරුපහේ ආහරය වෙනුවෙන් හිත හදාගත්තාය.


'අරවින්ද ඉන්නෙ මේ මහපොලවෙ, මම ඉන්නෙ අඟල් ගානක් උඩ... මට පිස්සු'


සාරා යලිත් සිත දිරිමත් කරගත්තාය.


'ආදරේ කියන්නෙ එකට ඉන්න එක, ඔය හීන දැන්වත් අයින් කරපන්. '


සාරාගේ වැඩිමහල් සාරා ඈ අසලින්ම වාඩි ගෙන හෙමින් මිමිණුවාය. ඈ එකුන් විසි සාරා හරිද වැරදිදැයි පහදා දෙන්නට සාරාගේ උදව්වට නාවාය. ආ කිසිවෙකුත් නැත.


කැබ් රථය හෝටලයේ දොරකොඩ නැවතිනි... මුහුදු හුලඟින් ගසාගෙන යන ගවුම් වාටිය එක් අතකින් අල්වා සාරා,  මුහුදු හුලඟින් මිදී හෝටල් ද්වාරය වෙත අරවින්දගේ අත ගෙන ගියාය.


~`~


අරවින්ද සහ සාරා මේසය දෙපැත්තේ හිඳ සිටිනු දොලොස් හැවිරිදි සාරා දු‍ටුවේ නෙතගිනි. කුඩා ඈ ඒ වනවිටත් වීදුරුවෙන් එහා නාන තටාක මණ්ඩපයේ පඩියක හිඳ රූන් පෙත්තක් කරකවමින් මුහුද දෙස බලා ගීයක් මුමුනමින් සිටියාය.


නිනව් නැතිව වටපිට බලන අරවින්ද , කකුල් සොලවමින් නාන තටාකයේ මේ සීතලේ දිය නාන විදේශිකයන් දෙස උපහාසාත්මකව බලා හිඳියි.  සාරාත් අරවින්දත් ආසන දරා සිටි හතරැස් මේසයේ හිඩැස මැද්දෙන් වේටරයෙක් පැමිණ විශාල ඉටිපන්දමක් දල්වා ගියේ , මේ තරම් ලන්තැරුම් දැල්වෙන තරුපහේ හෝටලය විදුලි අර්බුධයකට ලක්ව ඇතුවාක් මෙනි.. !


උන්නු හැටියට මලා මදැයි ! සාරා සිනහසුනේ  නාන තටාකය අසල හිඳ සිටින දොලොස් හැවිරිදි සාරා සමගය.


'කනව හලෝ.... මොනාද අයිසෙ. නිකම් දෙන තරුපහ , කන්න පින නෑ... '


තෙවන වරටත් බෙදාගෙන ආ මොන්ගෝලියන් වට්ටෝරුව උදෙසා යලිත් පිරිසිදු හැඳි ගැරුප්පු ඇණවුම් කරමින් අරවින්ද සිනාවෙයි... සාරාද සිනහසුනාය.


'මරු නේද කෑම ටික'
අරවින්ද හෝටලය වර්ණනා කරයි...



'ඔව්'
ඔහු නිවැරදිය.  කෑම ! සාරා අරවින්දගේ කෑම පිඟාන හිස්ව ඇති හෙයින් නැගිටින්නට මාන බැලුවාය...

දැන් වත්... ඇවිදින්න... අඩුගානෙ.. එලිපහලියෙ..



ඔහු ගියේ අතුරුපස වෙතය. සාරාද ඒ පිටුපස ගෑටුවාය. සාරා, අතුරුපස බත් වගේ කන, ටිකක් පිස්සු ගෑනු ලමෙක් බව දන්නා අරවින්ද අතුරුපස පිඟන් දෙකක් හිස් කරන සාරා දෙස තෘප්තිමත් බෑල්මක් හෙලුවේය.


'අපෝ ඇති යන්තන්.. එහෙමවත් කෑවා'
අරවින්දගේ හිත සැහැල්ලු වූ බව දුටු සාරා අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නට වචනය ඉස්සර කලාය.


'අරවින්ද.. අනේ අපි බීච් යමු....'
ඈ සුපුරුදු සුරතලයෙන් කීවේ අරවින්දගේ හිත දිනා ගන්නා අටියෙනි...


'පිස්සුද බබා, මේ රෑ..හීතලෙ. අනික මට ඇවිදින්න බෑ දැන්. බඩ කලයක් වගෙ වෙලා. දැන් යමු'


සාරාට කවදත් අප්‍රිය දත්කූරක් හපමින් සාක්කුවෙන් පිටතට ගත් දුරකතනයෙන් කැබ් රථයේ අංකය කරකවමින් අරවින්ද නැගී සිටියේය.


සාරා,,, සාරා... සාරා... 


ඈ මොහොතක් බිම බලා හුන්නාය. හුස්ම එකක් දෙකක් ඉතාම සෙමෙන් වැටෙන්නට ඇත. ටකරං වහලයකින් බේරී එන හිරු පදාසයක් රැඳි,  දීප්තිමත් විසල් වම් ඇසට, වෙනදාට වඩා වේගයෙන් කඳුලක් උනා එන්නේද? 

නාන තටාකය අසල හිඳ කකුල් පද්දමින් මුහුදු හුලඟ විඳි දොලොස් හැවිරිදි සාරාට ඈ හිසින් සන් කලාය. අරවින්දගේ පරිණත බර අඩි මත්තේ , සාරා එක එක පියවර තැබුවාය. 

වෙනදා මෙන්, තමා අසලට දිව එනු වෙනුවට , තටාකාංගනය , උයන හා මුහුදු තීරය දිගේ දුව ආ කුඩා සාරා, ස්වයංක්‍රීයව ඇරෙන විසල් වීදුරු දොර අබිමුව ඈ වෙනුවෙන් බලා සිටියාය.
~`~


මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->