Sunday, January 31, 2010

මිලින කොඳ මලට..

විල් තල ‍රැයක පිපි කොඳ මල් පරදු කල
ඔබ වත මැවෙයි සුරතල් සිනහව ලකල
අද නිහඬවම ඔබ සමුගෙන නිදන  කල
ඔබ කොයි? අඳුරු ‍රැය බැබලුව කුමුදු මල


නෙත් යුග දෙමින් හස කිංකිණි  මල් මුකුලූ
අවිහිංසක මුවින් මුදු රස බස් තෙපලූ
ඔබ අද නිදයි දිගු සිහිනෙක වී තුරුලූ
නංගෝ කිමද නිදි? පෙර හද කල එකලූ


උදයේ පිපෙන මල් මුතු පිණි සුලඟ ගැන
ගහ කොල කුරුල්ලන් නිම් නැති අහස ගැන
පොඩි ලදැරියක ලෙස ලංවී, ලොවම ගැන
නිතරම ඔබ අහුව සුරතල් බොලඳ පැන..


මතුරා බොලඳ බස් නිරතුරු දඟ පෑව
සපුරා සොඳුරු හස මල් සිත ඔප ලෑව
උතුරා යන කඳුලු අද නෙත ගෙන ආව
අතුරා යන්! සුවඳවත් මගෙ හිත ගාව


හිමිදිරි අරුණ ගන නිල් කොට ගගන රිදී
සිහිලැල් පවන් යයි වා තල සමග ඇදී
මෙලොවට ඔබගෙ සිනහාවෙන් අරුත නොදී
පොඩි නෙතු පියා ඔබ අද ඇයි තවම නිදී?


මහමායා මවුගෙ ඇකයෙන් පිය මැන්න
පරවුන කුමුදු මල් සුවඳම සිහි වෙන්න
ඔබෙ මුදු බොලඳ වත සිනහව දැක ගන්න
නංගෝ එක් වරක් යලි මට හිනැහෙන්න


2001/2/22 දා හදවත් ආබාධයකින් මරු තුරුල්ලෙ සැඟව ගිය, පුංචි කුමුදු නංගී....ඔබ සිනහව තවමත් මතක තියේ....

නිදා ගන්න දෙනවද ? නැද්ද?


කිරිල්ලි බොහොම වෙහෙස මාන්සි වෙලා කෑම හොයාන ඉගිල්ලිල එන්නෙ කුඩු වෙන්න.. හිස් වෙච්චි රන් කූඩුව දිහා බලන්නත් දුකෙන් උනත් කිරිල්ලිට සිද්ද වෙනව කූඩු වෙන්නම... නැත්නම් දැන් අසරණ කිරිල්ලි කොහේ කියල යන්නද?


රූප පෙට්ටියට වහ නොවැටෙන කිරිල්ලි දහ අතේ කල්පනා කරනවා... වෙලා කට්ට බලනව... මොනවද කිරිල්ලි හොයන්නෙ? වෙන මුකුත් නෙමෙයි.. දවස ඉවර වෙන්නෙ කීයටද කියල....


ඕන්න දවස ගියා කියමුකෝ.... දැන් ඉතින් කිරිල්ලි ඉස්මනට ගොහින් ඇඳට  වැටෙන්නෙ හෙට දවසත් ඒ වගේ දිග උනත් අවදියෙන් ඉන්නවට වඩා නිදි වැදෙන එකෙන් ලැබෙන සහනය , කල්පනා නොකර ඉඳීමේ සැනසීම ලබන්න...


ට්‍රීං ට්‍රීං....


ශික් ! මේ රෑ කෝල් එකක්... (කිව්වට පාන්දරද කොහෙද...)


" මට තමුසෙව එපා...  මට කතා කරන්නත් එපා..."


කිරිල්ලි: "ඉතින් ඔයාට ඕන දෙයක් කරන්න... මම මොනව කරන්නද? මම පුලුවන් තරම් කල් ආදරෙ කලා.. ඔයට මාව ඔහොම එපා නම්... කරන්න දෙයක් නැහැනෙ"


කිරිල්ලි හුස්ම අල්ලමින් කියනව.. තතනනව.... ඇස් දෙකේ කොන් වලින් වක්කඩ කැඩුව වගේ පිටාර යන කඳුලු දකින්නෙ කිරිල්ලියි, කිරිල්ලිගෙ කම්මුලයි විතරයි... තනිකම.. වේදනාව .. ඇයි මේ දුක ආයෙ ආයෙ පුපුරු ගහන්නේ? අනේ...කිරිල්ලි හූල්ලනව....


ඩොග්...ඩොග්.... ( දොරට ගසන හඬ)


 "මේ නැගිටින්නෙ නැද්ද?, ඔයාට මොකද වෙලා තියෙන්නේ දොරට ඔච්චර ගැහුවත් ඇහැරෙන්නෙ නැත්තෙ? ආ...?" සහෝදර කිරිල්ලි නැගිටලා.. උදෙත් වෙලා.. දෙයියනේ... "මේ මුලු ‍රැයෙම  ඔහු මට කෑ ගැහුවෙ  මගෙ හීනෙ අස්සෙද?"


විඩාබර හිසින් කිරිල්ලි නැගිටින්නෙ මතකය අලුත් වෙච්චි දුකෙන්...  දවස පටන් ගන්නෙ දුකෙන් යැයි හිතෙද්දි කිරිල්ලිට හිතෙන්නෙ නැගිටින්නෙ නැතුව සදහටම නිදියන්න... එතකොට හීනෙත් නිදියාවි... ඒත් කවුරු එපා කිව්වත් , කිරිල්ලිට එපා නොවෙච්චි ආදර මතකෙ නම් ඊලඟ ආත්මෙත් පහන් කරාවි...


අනේ බුදු හිමියනි.. කිරිල්ලිට නිදන්න දෙන්න... එක ‍රැයක්.. නපුරු හීන නැතුව...

Saturday, January 30, 2010

පිලිණ කඩ කල පහන...

සියක් එලි ‍රැස් දිදී
මග කියා අඳුර හැර
මට අරුත ජීවිතයෙ
එලි මගින් පසක් කල...

පහන් වැට අද්දරින්
නිනව් නැති වී මෑත
ඉතින් කාගෙද වරද
පුලුස්සා ගත් වුවන...?

නිවී ගත් තරු ඇසින්
රිදුම් යටපත් මුවින්
කඳුලු පැස උරෙහි ලා
අඳුරෙහිම මග බැසිමි...


පිලිණ කඩ කල පහන
නිවී ගිය තැවිල්ලෙන්
මුලාවෙන් මුවහ වූ
මනැස් කඩ තිර මුදමි....


මනැස් සම සිදුරු වී
මසැස් කඩ තිර ඉරී
හිඩැස්සෙන් අහස දැක
"සැබෑවට" අඬ ගසමි..

තාපයෙන් දුරස් වී
දැවුම් පහවූ පිලස්
වෛරයෙ යොත නොලා
මෙත් ‍රැහැන් මුදා ලමි...

සිහි නොකල පාපයෙන්
අත පොවන මානයෙන්
ගැවසුනත් සැබැවි එය
සිලකි සැදි ගිනි කඳින්....



ලියුවෙ 2004-01-18

"කුරුල්ලා ඒවි" ඇගෙ විතරක් හිත කියනව !


මහ හුලං හමමින් , ඇරිල තියන කවුලු පියන්

විසාල හරඹයක යෙදෙනව.

දොර පියන බිත්තිය එක්ක
තරහෙන් වගේ දබර කර ගන්නව

කිරිල්ලි පියාපතින් මූණ වහගෙන
කූඩුව ඇතුලෙ වැතිරිල කඳුලු හෙලනව...

රන් කූඩුව පාලු වෙලා....

වෙනද ඇහෙන
කවට හිනා , බොලඳ කතා කෝ?

දොර පියන ඇරල මුත්
කිරිල්ලි ඒ දිහා හැරිලවත් බලන්නෙ නැහැ..

ඈ ඒ නිදහස් ලෝකෙට බයෙන්
වැලපෙනව...

මොකද ඒ ලෝකය ඈට
නිදහස් එකක් නම් නෙමෙයි

කෝ කුරුල්ලා ඉතින්..?

ඈ දන්නෙ නැහැ...


අපි දන්නෙත් නැහැ..
කවද හරි හැමෝම දැන ගනීවි...


ඈ ඒ රන් කුලගෙයි
මේ උන්න වගෙම වැතිරිල
නිදහස සොයා නොපියඹා


අසරණව අදත් වැතිරිල ඉන්නව...


හැම දාමත් ඉඳීවි...


"කුරුල්ලා ඒවි"
ඇගෙ හිත නම් කියනව..


ඒත් ...?

එහෙම කියන්නෙ,
හිතන්නේ ඈ විතරදැයි
මගෙ හිත නම් කියනව....

Friday, January 29, 2010

දවස ගෙවුන ඉක්මන අම්මපා ....!

අද දවසම කලේ මගේ අලුත් බ්ලොග් එක ගොඩ දාන එක.... පැය 8 කටත් වඩා දෙයියනේ මම එකතැන ඉඳගෙන ඉඳලනෙ.... අම්මපා....
ටෙම්ප්ලේට් හෙවුව.. ගැජට් හෙවුව.... දැම්ම.. ඩිලීට් කලා.. එඩිට් කලා... හප්පා....
දැන් ඉතින් තෘප්තිමත්... හී හී... හුරේ...
කාලය ගෙවුව අපූරුවට... බ්ලොග් වලට පින් සිද්ද වේවා....

මැරුනේ හීනය විතරක් නෙමේ..මැරුනේ මමයි…



පුංචිම පුංචි කාලයෙ මගෙ හිත හීන වල, අනාගතයෙ වෙන්නෙ කවුද කියන අපේක්ෂා වල කිසි සේත්ම ජීවත් උනේ නැහැ. ඒ නිසාම ‘මම ලොකු වුනහම දොස්තර කෙනෙක් වෙනවා’ වගේ පැතුම් තිබ්බෙ නැහැ. කොහොම කොහොම හරි අවුරුදු 10 -12 වෙනකොට මම නිකම්ම ( අපෝ නිකම්ම නෙමේ… හරි නරක වංචාකාර ආරම්භයක් තියන … ‘මගේ වංචකාර කවි ඉතිහාසය’ ලිපිය බලන්න) කවි ලියන්න, ගද්‍ය කරන්න යොමු වෙලා හිටිය නිසාද කොහෙද , මගේ හිතේ ඉබේම මැවිල උන්නා ජන මාධ්‍යවේදියෙක්ගෙ රුව… මට අපූරු ආසාවක් තිබුන සන්නිවේදනය ඉගෙන ගෙන කලාකාරයෙක් වෙන්න..



අම්මප කීයෙන් කීයක් පොඩි උන්ද කලාකාරයෙක් වෙන්න ඔනේ කියල හීන මවන්නේ.. එත් මට ඒ හීනේ නම් ඉස්සර ඉඳන්ම තිබුන.. කාලය ගෙවුන… මොන කරුමෙකට හෝ කලාවත් එක්කම මගෙ ඉගෙනීම කියන විෂයත් ඉතාම ඉහල මට්ටමක උන්න.. කවියෙන් විතරක් නෙමේ, ඉගෙනුම් අවියෙනුත් මම අපූරුවට සන්නද්ධ වෙලා උන්නා.. ඉතින් මවුපියන්ගෙ අහස උසට දුවන ඉන්ජිනේරු දොස්තර හීන උනත් මගේ දෙමාපිය හිත් වල මෝදු උන එක අහන්නත් දෙයක්යැ…


“මෙච්චර හොඳට ඉගෙන ගනිද්දි කලාව කරල රස්සා නැතුව අතරමං වෙන්නෙ අහවල් එකකටද?” ඔන්න මගේ හෙනහුරා ලැබුවා. කල හොඳ පස්සෙන් පන්නනවා කියන්නේ මේකට තමා…


ඒ ලෙවල් සිංහල විෂය කරන්න පොත් පවා අරන් උන්නු මම දවසක් මාපිය පාලනාධිකරණයට කැඳවුනා… මට අද වගේ මතකයි මගේ අහිංසක තාත්තා වෙන කාගෙදෝ වචන වලින් මට කීව ටික…


“උඹට ඕනේ පාරවල් ගානෙ රස්සා ඉල්ල ඉල්ල පෙලපාලි යන්නද?, කැමරාවක් එල්ලගෙන කුරු‍ටු ගගා තැන තැන යන පත්තරකාරයෙක් වෙන්නද? උඹට ඕන ඕන දේවල මේ ගෙදර ඉඳන් කරන්න බැහැ.. හෙට ඉඳන් ලැස්ති වෙයන් ගණන් ක්ලාස් එකකට යන්න.. සත පහකට වැඩක් නැති කලා උපාදියක් ගන්න උඹට ඉඩ දෙන්න බැහැ… “


ඉතින් මාපිය හීනය… රස්සා නැති, උද්ඝෝෂණ වල බෙරිහන් දෙන කලා උපාධියක්ද?(මේ එයාලගෙ වචන) එහෙම නැත්නම් ‘මොකක් හරි’ ජොබ් එකකට පැන ගන්න ඕනෙ නම් , ෆේල් වෙන්න හරි කල යුතු ගණිත විද්‍යා සාමාර්ථයක්ද කියන එක මට මැදිහත් වෙන්න නොදී එයාලම ඒකපාර්ශ්විකව විසඳුවා…


මම දහස් වර හඬා වැ‍ටුනා… මගෙ හීන… අනාගතය… ජනමාධ්‍යය… ගරහන ලද මාතෘකා උනා…


ඉතින් ඔන්න ඔහොම මම තාක්ෂණය එක්ක අප්පිරියාවෙන් හරඹ කරන්න පටන් ගත්ත..


මා පෙම් කල කලාව අහිමි වීමෙන් හටගත් “සාංකාව” ගැන මම ලියූ කවි බොහොමයි… මේ එකක්.. මේක ලිවුවෙ ලමා ගීතයක් හැටියට…


අම්මේ තාත්තේ…පුංචි උන්ගෙ හීන වලට ග්‍රෙනේඩ් දාලා පුපුරවන්න එපා… උන්ගෙ හීන වල ලොකූ තේරුමක් තියනවා… කැඩිල බිඳිල පුපුරපු පාදමක ඔයාල ගොඩ නංවන සුරූපී මාලිගාව උන්ට හිතට බරක්… ඔයාල ගොඩ නංවන අනාගතය උන්ගෙ තෘප්තිය නෙමෙයි.. අසහනය… කලකිරීමයි…. …


ඉතින්.. ජීවිතේටම රිවස් කරන්න බැරි මිස්ටේක් මේවා … එක්ස්පෙරිමන්ට් කරන්න එපා පුංචි හිත් එක්ක…සියලු දෙමාපියෝ තේරුම් ගනිත්වා……!


රෝස කැලෑවක රෝස මලක් වී
පිපෙන්න ආසා නෑ පොඩි මං
ඈත පේන දොල පාර ගාව පිපි
පුංචි සමන් කැකුලක් වෙන්නම්


පාට උලා ගෙයි බිත්ති පුරාවට
රූප අඳින්නට ආසයි මං
‘එපා’ කියන්නට එපා ඉතින් මට
පුංචි සිත්තරෙක් වෙන්නද මං?


ලන්ද පුරා ගී කියන බටිත්තන්
එක්ක නටන්නට ආසයි මං
‘එපා’ කියන්නට එපා ඉතින් මට
පුංචි නැට්‍ටුවෙක් වෙන්නද මං?


                                                            ලියුවේ : 2003-01-07

කිරුළ හිමි රජ….. (2002-10-21 ලියූ කවියක්)




අනත් කඳුලැලි අපේ නෙතගින්
බාල කාලයේ ගලා ගිය සඳ
හොවා උකුලත හිසත් පිරිමැද
සැනසු ඔබමැයි කිරුල හිමි රජ…


චණ්ඩ ඉර මල අප දවද්දී
අපගෙ පසුපස මහමෙරක් ලෙස
වහං කර අප දරා ගිනි ‍රැස
සිටිය ඔබ මැයි කිරුල හිමි රජ….

අකීකරු වී කිවුව නෑහුව

අපට සැර වුන හෑම මොහොතක
දහස් වර නුඹෙ හිතේ ගින්දර
කඳුලු වුන වග දනියි අපෙ හිත …


ඔබගෙ හිත් බැමි පලා ගෙන ආ
නොහිම් පිය ගුණ සුවඳ පිඩු කොට
අමා වන් කරුණා ගුණෙන් අප
සනසවා අප තැනු පියාණෙනි


මාස සති දින පියාපත් ලැබ
නොහිතු අසනිය බිමට වටමුත්
දෙගොඩ තලමින් ඉවුරු බිඳ එය
ගලා අප හැම පෙලන ලද මුත්


නේක අවගුණ පිරුන දුර්දන
ඔබව හැර ගොස් ඔබව පෙලු මුත්
මෝහයෙන් පිරි අසත් මිනිසත්
මුලා දන ඔබ අතැර ගිය මුත්….


අපේ රජ බිම කිරුල හිමි ඔබ
අපේ දිවි නුබ සරා සඳ ඔබ
අපට හිමි ලොව තැනු පියාණෙනි
අපට නම් ඔබ රජෙකි තවමත්…….

ජීවිතයේ භයංකරතම අත්දැකීම්, දුදනන් ගේ ආසාධාරණකම් වලට ලක් වෙමින් දුකින් කඩා වැටෙන මුත් ශාන්තුවරයකුමෙන් උපශාන්තව කල් ගෙවන, මගේ අහිංසක පියාණෙනි, ඔබ අපට ජීවිතය සහ ඉවසීම මේ යයි කියා දුන් පරමාදර්ශයම විය….. ඔබ අපෙන් වෙන්වී අඳුරු කුටියක උන් එදා, මේ කවිය ඔබට උපන්දිනයට ලියා එවුවා මතකද???

නාඳුනන්නාට…( 2002 ලියූ කවියක්..)



කුඹල් ගෙයි
උපන් සැණෙකින්
පලුදු උන
‘සෙනෙහස් බඳුන’


වසා දෑතින් ඉඳිමි
‘එපා’ කියා
දෙන දෙන හැම දෙයම


දැත රඳවාන තනිවම
ඉතින් තවත්
නොයදිමි
සෙනෙහස් සිඟමන…


එදා …
නොයිඳුල් අලුත් සුවඳැතිව
යැද්ද තැන
පැන් බිඳක් මම


නෙතකින් එදෙස
නොබැලූ නුඹ
නිසා උපන් කොවට


හඬා හැපී
ගසා හිස බිම
ඇත්තයි.. …
පලුද්දට වගකියමි
මමම…


නොදී එය කිසිවෙකුට
පලුදු මුත්
පෙමින් ‍රැක ගෙන
යම් මතු දවසක
දැත පාවිද
යලිත් නුඹටම??


එදිනට
එදා සේ නොවී
මා සෙනෙහස් බඳුන
නොයිඳුල්ම
පිණි බිඳකින් පිරුනත්


අමතක කල නොහැක මට
එහි
පලුදු මැවුනේ
නුඹ නිසා වග……

මම කලින් පෝස්ට් එකක ලියුව මගේ ප්‍රථම ප්‍රෙම කතාව හිතේ රජ කරන දවස් වල විභාග ක‍ටු වැඩ කොලයක ලියුව කවිය තමයි මේ….

මම ලියූ පලමු ස්වතන්ත්‍ර කවිය… ( 1992 ලිව්වේ.. )


දනිමි මමත් ලස්සන බව හැම දෙයක්ම අම්මේ
ඒත් අම්මෙ ඔබ කී දේ මට නො ඇසේ අම්මේ
ඒ මන්දැයි අසා ගන්න මම ආවා අම්මේ
ඒ ඇයිදැයි කියා දෙන්න මගෙ හොඳ සුදු අම්මේ

එක් දවසක් සෙල්ලම් කෙරුමට හිතිලා අම්මේ
හනික දුව ගියා පිටියට ආසාවෙන් අම්මේ
එහි සෙල්ලම් කරමින් සිටි ලමයි හැමම අම්මේ
නපුරු බැලුම් හෙලලා එලවා ගත්තා අම්මේ

අයියා අක්කා හැම දෙන මා කොන්කර අම්මේ
කතා කරති ‍රැඟුම් පාති හරි සතුටින් අම්මේ
එ’ දකින මම පසෙකට වී කඳුලු සලමි අම්මේ
දු‍ටුවත් මා නොදැක්ක සේ ඉන්නේ ඇයි අම්මේ

මගේ වයසේ හැම දෙනාම කොක් පෙල සේ අම්මේ
පාට පාට රූප ඇඳපු මලු අරගෙන අම්මේ
පාසල් යති අත් වැල් බැඳ හරි සතුටෙන් අම්මේ
මට විතරක් තනිකම ලැබ දෙන්නේ ඇයි අම්මේ

කතා කෙරුම ඇසීම යනු කුමක්ද මගෙ අම්මේ
කිසිවෙකු කියනා කිසිවක් මට නො ඇසේ අම්මේ
එය මට විසඳන්නට බැරි මහ පැනයකි අම්මේ
කියා දෙන්න මාගේ හොඳ ආදර සුදු අම්මේ

ඔබත් කිසිම ආදරයක් නෑ මා හට අම්මේ
මා හා සුරතල් බස් නොකියන්නේ ඇයි අම්මේ
මට තේරේ මම බිහිරියි දුක් නොවන්න අම්මේ
ඔබ හැමදා සැපෙන් ඉන්න මම තනිවෙමි අම්මේ

වදන:


එවකට අවුරුදු 9ක් වූ බොලඳ සුරතල් වියේ උන් මා, කේයස් ලියූ අන්ධ දරුවෙකුගේ කවි පෙලට වසඟ වීමි. එහෙයින් මෙම අහිංසක පලමු සඳස් පෙල “කේයස්ගෙ කවිය වගේ” ලියන්නට ඒ බොලඳ නිහඬ සිඟිත්තිය උත්සහ දරා තිබීම ගැන , ඇයට සමාව දෙනු මැනවි…


(1992 ලියන ලද කවියේ ( වෙනස් කල හැකි තැන් දු‍ටුවද ) කිසිදු වෙනසක් කර නැත…)

වංචාවෙන් පටන් ගත් මගේ කවි ඉතිහාසය…


පුංචි කාලයේ මගෙ අම්මපා තුන් හිතකින් එක හිතක කොනකවත් තිබුනෙ නැහැ මට මොකෙක් හරි වෙන්න ආසාවක්. තවමත් මම අහස පොලව ගැටලලා කල්පනා කොරනවා අමාරුවෙන් හරි එහෙම පැතුමක් තිබ්බවද්ද කියල මතක් කර ගන්න! නැහැ නොවැ ! මම හිතන්නේ මට ඕනැ උනේ පණ්ඩිතයෙක් වෙන්න.. අම්මපා මොන විෂයෙන් උනත් මම පඬි ටෝක්ස් දෙන්න නම් උපන් හපනී… හිහ්….

මම අද ලියන්න හිතුවෙ එක්තරා කාලයක අපේ අම්මට මා ලවුව කවි ලියවන්න තිබුන උමතු ආසාව ගැන.. මම ඒ ගැන උපහාසයෙන්ම ලියනව නෙමෙයි… මොකෝ එයාගේ ඒ ආසාවට පින් සිදු වෙන්නට 1993 ඉඳලා අද වෙනකන් ( අද කිව්වට ඇත්තටම කවි ලියන එක 2004 විතර නතර වෙලා බවයි අද මට පොත බැලුවම තේරුනෙ) ලියපු කවි 200ක විතර තඩි පොතක් මා සතුව තියෙන්නෙත් ඇයට පින් සිදු වෙන්න…. හැබැයි ජීවිතෙ කවි ලියන්න ඕනෙ කියල පරමාර්ථයක් නම් මට නොතිබුන බව මම අවංකවම කියන්න වෙනව!

මගේ කවි ඉතිහාසය හිනායන ඒ වගේම වංචාකාර ආරම්භයක් කිවුවොත් වැරදි නැහැ… ජීවිතේ පුංචි පුංචි සිදුවීම් තවමත් මතකයෙ එහෙමමයි…

මම තුන වසරෙ ඉන්නකොට අපේ අම්මට හරි පිස්සුවක් තිබුන එයාගෙ ලෝකයෙ ඉන්න යාලුවන්ගෙ දුවල පුත්තු කරන හැම දෙයක්ම මා ලවාත් අත් හදා බලවන්න! ඉතින් දවසක් අම්ම මට බල කලා ඉස්කෝලයෙන් ඉල්ලල තියන කවි තරඟයකට ‘අම්මා’ ගැන කවියක් ලියන්න… මම ඉතින් හිර ගෙයට දාන්න යනව වගේ අකමැත්තෙන් නහකුණු ගාන්න පටන් ගත්ත බෑ කියලා.. එළුවෙක් වගේ “බෑ” කිය කිය කනිපින්දම් කිවුවත් වැඩක් උනේ නැහැ. අපේ අම්මි කිව්වොත් ඉතින් කිව්වම තමා… අපෝයි………….

ඒ වෙනකොට මගේ සහෝදරී නම් කවි ලියන්නියක්… ඉතින් අම්මිගෙ බල කිරීමට එයා එකඟ උනා මම වෙනුවෙන් කවි ලියන්න… ඉතින් ඔන්න එය කවි කියනවා ගමයා වගේ.. මම ලියනවා…. හිහ් හිහී….. කවි 9ක් ලියුව සොයුරියට පින් සිද්ද වෙන්න… ඉතින් එයාගෙ ඩියුටි ඕෆ්! ‍රැ 8.30 ට පුරුදු ටෙලි නාට්‍යය මම බලන්නෙ පු‍ටු සෙට් එකට තියන ටීපෝවෙ යට බඩ ගා ගෙන.. ඉතින් එහෙම ඉන්න ගමන් මට හදිස්සියෙම හිතුනා කවි 9ක් තියන එක හරි නැහ, ඒ නිසා 10ක් වෙන්න තව එකක් ලියන්න ඕනා කියල. ඉතින් බොහොම අමාරුවෙන් මම 10 වෙනි කවිය ලියුව. ඒක දැකපු අපෙ අම්ම පුදුම උනා විතරක් නෙමෙයි පස්වනක් ප්‍රීතියටත් පත් වුනා මගෙ කවි හැකියාව ගැන.. ඉතින් එදායින් පස්සෙ මටත් චුට්ටක් ආසා හිතුන කවි ලියන්න…

මට හිතෙනවා මම කවි ලියන එක විතරක් නෙමෙයි ඒ කාලෙ ජීවිතේ ගොඩක් දේවල් කලේ අනිත් මිනිසුන්ගේ සතුට දකින්න, ඒ අයගෙ ප්‍රශංසාව ලබන්න ආසාවෙන් කියලා…මම හරී ආසයි තව කෙනෙක් මාව අගය කරනවට ඒ කාලෙ… ඒ ප්‍රශංසාව මාව ජීවත් කරනව… ඉතින් ඔන්න ඔහොමයි මම කිවිඳියක් වෙන්න අත්පොත් තිබ්බේ… ඊට පස්සෙ මගෙ රස උල්පත මා විසින්ම තියුණු කරන ලදුව , බොහෝ කවි තරඟ වලට මම කවි ලියුවා…නිදහස් කවිත් ලියුවා ගොඩාක්…සමහර එවා සමස්ත ලංකා ජයග්‍රහණ වලට පවා පාත්‍ර උනා.. ඔන්න ඔහොම අවුරුද්දක් විතර යනකොට අර මම කුලුඳුලේ අක්කිගෙ අදහස් සොරා ගත් කවි 9යි මගෙ කවියයි සමග ලීව ‘අම්මා’ කවියට ඒ තරඟයෙ තුන් වෙනි තැන ලැබුනා… එත් ඒ වෙනකොට මමම බිහි කරගත් කවි සිතුවිලි අතින් මනසින් මම බොහෝ දුර ගිහින් උන්නා….

එත් ජීවිතෙ අද වෙනකන්ම , මම මගෙන් තවම ප්‍රශ්න කරනව… ‘ඇත්තටම මට කවි ලියන්න ඇහැකිද?’ , ‘ මගේ එහෙම ප්‍රතිභාවක් තියනවද?’ , සමස්ත ලංකා නෙමෙයි මොන ජාතික මට්ටමට ගියත් අදටත් මම අතරමං මේ ප්‍රශ්නයෙදි.. මොකද අද වෙනතුරුවත් මමත් ලෝකයත් දෙකම උපරිමයෙන් එකවර සැහීමට පත් වෙන එක කවියක් ලියන්න මට අද වෙනකනුත් බැරි උනා.

ඒ කෙසේ වෙතත් මගේ අහිංසක කවි 200 එකතුව හෙමි හෙමිහිට බ්ලොග් ගත කරන්න මට හිතුනා… සමහර එවුවා මම ලියනකොට මට අවුරුදු 7යි.. ඉතින් මගේ අත්දැකීම් නැති නොමේරූ කවි හිත එදා හිටියෙ (ඒ වගෙම අදටත් ඉන්නේ) බොහොම ප්‍රාථමික මට්ටමක.. ඉතින් මේක කෙලින්ම දත්ත ගබඩාවක් වගෙයි… අඩු ලුහුඬුකම් බොහොම මේ අහිංසක කවි ලියනකොට මගෙ වයසත් එක්කම පල කරන්න මම හිතුවෙ ඒ උපහාසය චුට්ටක් හරි සමනය වෙන්නයි….

බස් පොලේ දැක, හිත් මලේ මලගිය, මගේ ප්‍රථම ප්‍රේමය…




ඒ 1999. වහින්න වගේ තිබ්බ අඳුරු දවසක.. ගුරු ගෙයින් නික්මිලා කිනම් හේතුවකට හරි වැරදීමකින් වගෙ කලින් ඉස්කොලෙ ලඟ ඇවිත් හිටිය පාසල් වෑන් එකට නැගිල මම අන්තිම පේලියෙ යනව ගජයොත් එක්ක කයිය ගහගෙන… නුවර ඩී. එස්. ලයිබ්‍රරි එක පහු වෙද්දි කොල්ලෙක් වගෙ ජනෙල් පඩියෙ අතත් එලියට දාගෙන කොන්ඩෙත් කපල ( ඒ වුනාට කෙල්ලෙක් කියල සලකුනු වෙන්න බෝ එකකුත් නළලෙ ගහන්) යද්දි බස් ඉස්ටෑන්ඩ් එක ලඟ උන්න කොල්ලො රොත්තක් දැක්ක එක පාරටම…



ඉහල කුලයෙ ලොකු ලොකු කතුන් යන ඉස්කෝලයක් නිසාවෙන් අපගෙ පොල්මන්කාර අහංකාර කමට පින් සිද්ද වෙන්න අපිටත් අපූරුවට අපි ආලය කරන සහෝදර පාසලෙද , එහෙම නැත්නම් උන් වෙනත් ‘හාල්’ ඉස්කෝලෙකද කියල කොල්ලෙක් දැක්ක ගමන් හොයා ගන්න ඇහැකි සහජ ඉවක් තිබුන… ඉතින් මේ කොල්ලො රොත්ත අර කී දෙවෙනි වර්ගයට අපෙ අහංකාර කම විසින් තල්ලු කරල තිබ්බ නිසා කවුරුවත් ( මම පවා) ගානක් ගත්තෙ නැහැ.


ඉතින් ඔහොම එදා ගියා කියමුකෝ… පහුවෙනිදත් එ කොල්ලො රොත්තම දැක්ක… එදා නම් වැන් එකේ අත එලියෙ දාගෙන පස්සෙම සීට් එකෙ යන ඕ ලෙවෙල් වත් ලියපු නැති කෙල්ල දැක්ක මොකක්දෝ අමුත්තක් තියන හරිම අමුතු මුහුනක්…( එ කෙල්ලට ඒ මොහොතෙ ඇස් වල ඇඳිච්ච මුහුණ අවුරුදු 11කට පස්සෙත් අදටත් මතකයි) හරීම උස.. කොල්ලො මැද්දෙ දිග පොල් ගහක් වගේ පෙනෙන, පුදුමාකාර උපශාන්ත ,මුහුණක් තියන, කොණ්ඩෙ තෙල් ගාල පිලිවෙලට පීරපු අහිංසකයෙක්… කෙල්ලට හිතට මොකක්දෝ උනා… කොහේ හරි දැකල තියන වගේ හැඟීමක් හිත අතුල්ලගෙන යන්න වගෙ දැනෙන්න පටන් ගත්ත… එත් 40ට පාගන කසිකබල් වැන් රිය වැඩි වෙලාවක් ඒ මුහුන දිහා බලන් ඉන්න වරමක් දුන්නෙ නැහැ.


දඟකාර කටකාර සිය යහලුවො දිහා දයාවෙන් උපශාන්තව බලා ඉන්නවා විනා, කිසීම විහිලුවක් නොකරන, කිසිම හැඟීමක් නොපෙන්වන ගුප්ත ඒ මුහුණ කිහිප කිහිප වරක්ම එකම තැන මම පාසල් ඇරිල යද්දි එද්දි දැක්ක…. හිතේ තියන් ඉන්නම අමාරු තරම් ඒ මුහුණ මගේ හිතේ හොල්මන් කරද්දි, දවසක් මම මගෙ වැන් සගයට කොලු පැටියව පෙන්නුව.. අහෝ…කල මෝඩකමක මහත…. “ඈ… පිස්සුද ඔයාට ? ලයින් දාන්න වෙන එකෙක් ඇත්තෙම නැද්ද?මොකක්ද අනේ…. ශික්..හුඹහකින් එලියට අරන් වගේ .” ඕන්න මට යාලුවගෙන් ලැබිච්ච ප්‍රතිචාරෙ… මැදැයි… මොන ප්‍රතිචාරෙට උනත් මගෙ හිතේ හොල්මන් කරන ඒ රූපය මකන්න නම් බැරි උනා…


කාලය මෙහෙම ගියා.. ඕ ලෙවල් විභාගෙත් ආවා… අන්තිම දවසෙ තියන වෛකල්පිත ඉන්ග්‍රීසි පේපර් එක දවස ඉතින් අපි අවුරුදු දෙකක් විඳපු විභාග දුක ඉවර වෙන ප්‍රීතිය නිසා පේපර් එක කඩිමුඩියෙ ඉවර කල මම පේපර් එකෙ අන්තිම පි‍ටුවෙ ලියන්න කවියක් කුරු‍ටු ගෑව..පේපර් එකේ අන්තිම පි‍ටුවෙ මගෙ ආදර මතකය ඒ විදියට මුතු ඇට කලා.. ඒ කුරු‍ටු ගෑව ක‍ටු සටහන් විභාග කොලේ අදටත් මා ගාව තියනව හොරෙන් අරන් ආව නිසා… ඒත් ඒක ස්කෑන් කරල මේ බ්ලොග් එකේ දාන්න හිතුනත්, මාව විභාග නීති උල්ලංඝනය කිරීමෙ වරදට හිරේ දැම්මොත්??


ඔන්න ඔහොම දින සති ගෙවිල ඒ ලෙවල් එකටත් ආව… මේ වෙනකොට මගේ යාලුවන්ට මගේ මේ ඒක පාර්ශ්විකව මහා බලාපොරොත්තු තියාගෙන, මම පැය 24ම කෙඳිරි ගාන ප්‍රෙම ප්‍රාර්ථනාව මහ බයක් වෙලයි තිබ්බේ… ඇත්තටම මම ඒ ( අනිත් අයගෙ මතයෙ හැටියට :කැත) කොල්ලව හරීම පුදුම විදියට මනෝ මාලිගාවක සිංහාසනාරූඪ කරලයි තිබ්බේ..


දවසක්… මගේ ප්‍රාණ සමාන මිතුරියක් මා ලඟට දුවගෙන ආව..


“ඔයා දන්නවද? අර ඔයාගෙ ලයින් එක..එදා කීර්ති සර්ගෙ ක්ලාස් එකට ආවානේ කෙල්ලෙක් එක්ක!”


මගේ අවුරුද්දක විතර මනෝ රාජ්‍ය මන්දිරයෙ සිංහාසනය අහෝසි වෙමින් , හිත ඉරි තලල සමතලා වෙලා ගියා.. මගෙ හිත ආදරයෙන් මත් වෙලා, මමම හදා ගත්ත හීන වල අවුරුද්දක්ම ජීවත් වෙලා උන්න බව බිඳ වැටෙමින් කම්පනය වෙන මනස දෙස් දුන්න… ඉහලට ඇද ගත්ත දිග හුස්ම මම බොහෝම දිගට පිට කරල ඒ හුස්මත් අරන් එයාටත් ඒ (කවුරු නමුත්) කෙල්ලටත් මම යන්න දුන්න…


මම අඬපු තරම දන්නෙ මමත්, මගෙ අගුලු ලාපු කාමරයෙ බිත්තිත් විතරයි.. අඬල ඉවර වෙනකොට මට මහා සැහැල්ලුවක් දැනුන… ඒත් හිතට ආදරේ පලමු හැඟීම පහල කල ඒ අහිංසක කොලු ගැටයගෙ නමවත් අදටත් මම දන්නෙ නැහැ. මටම මා ගැන පුදුම හිතුනා.. නමක් නොදන්න, මුකුත්ම නොදන්න, අඩුම ගානේ ඒ කොල්ලවත් මම කියල කෙනෙක් උන්න බව අදටත් නොදන්න ප්‍රාණියෙක් වෙනුවෙන් උපන් ආදරේ නිසා මම කඳුලු හැලුවා..


ඔබ මගේ ලයෙහිම ඉපිද
එහි පුංචි කලක් ජීවත් වී
නොකියාම හැර ගිය
හැර ගිය බව වත් නොදන්න
අදටත් දන්නෙ නැති
සිහිනයක්ම පමණක්ම විය…..


පසුවදන:


අවුරුදු කිහිපයකට පසු අර කී ප්‍රාණ සමාන මිතුරිය සහ අනෙකුත් ප්‍රාණ සමාන මිතුරියන් කැල එකට කතා බහේ උන් විටක ඈ කී දෙයකින් මගේ ලෝකය කොහෙදෝ නැති ඉන්ද්‍රජාලික හැඟීමක අතරමං උනා…

” මේ දන්නවද? අර ඔයා ඒ දවස් වල මැරෙන්ඩ හදපු **** ඉස්කොලෙ කොල්ල? එදා අපි ඔයාට එ කොල්ලට කෙල්ලෙක් හිටිය කියල කිව්වෙ බොරුවක්! මොකද අපිට තේරුන ඔයා ඌ ගැන ෆුල් සීරියස් හිතල වැඩ පාඩු කර ගනියි කියලා… සොරි.. අපි ඔයාගේ හොඳටයි එහෙම කලේ”


හ්ම්ම්….
මම ආපහු දිග සුසුමක් ඇදල අරන් ඒ සුවඳ ඉව කලා.. කොහේදෝ මුල්ලකින් වත් ආයෙමත් දස අතේ හෙවුවත් හොයාගන්න බැරි ඈතක ඒ සුවඳ කොහේදෝ යන්න ගිහින් තිබුනා… මම ඒ සුවඳින් හිස් උන අතීතයේ සුසුම් පොද වා තලයට පා කරලා ඇස් පියා ගත්ත…


කල්‍යාණ මිත්‍ර චේතනා… අන් යහපත… කුලුඳුල් බොලඳ ආදරය… හීන… සිංහාසනය… අහිමි වීම… ඊර්ෂ්‍යාව… ඒක පාර්ශ්වීය දුක…. රවටනු ලැබීම නිසා ඇති වූ තරහව… මේ හැම හැඟීමක්ව එකට ඇනී මුසු වූ සුසුමක් ඉබේම පිට වුනා…

මම ගුටි කෑවෙමි… ටෙඩියා මා නිසා හැඬුවේය…

හිත ඇදිල යන්නෙම ලියන්න… හිතේ වැඩ කරන දාහක් කතන්දර එක පාර කියා ගන්න බැරුව හිර වෙලා වගේ….



හීන් බින්දු කාලක් ඉතර හිතේ ඉඩකට බලෙන් සීමා කරල, වැට කො‍ටු බැඳල තියන මතක සටහන් මටත් නොදැනීම එක පාරටම හිස ඔසවනව හොර බලලෙක් ගෙට පනිනව වගේ…

ඉතින් ගැලවීම බොරු.. පැය ගානක් බොරුවට වහන් උන්න වේදනාව සුනාමියක් වගේ ගොඩ ගලනව….


හිත පුපුරු ගහනව ලියා ගන්න බැරුව… හරියට දවසක් ශක්තිමත් අත් මිටි පහරකින් තැලිල නිල් වෙලා බබා වටේට ලේ පිරිල තිබ්බ මගෙ දකුණු ඇහැ වගේ…. අපූරුවට ඕවල් ශේප් එකට තියන මගේ මුහුන හත‍රැස් වෙලා ඉදිමිලා හීරිලා දකුණු ඇහැට ලේ පුරලා තියන හැටි කෝටි වාරයක් කණ්ණාඩියෙන් බල බල මම හූල්ල හූල්ල ඇඬුවා…


මගේ අපූරු මූණ යකෙක්ගෙ වගෙ විකෘති වෙලා තියනකොට එයා බය වුනා… ඊලඟට මා කෙරෙහි උපන් පුදුමාකාර අනුකම්පාවකින් මාව වැලඳ ගෙන එයත් ඇඬුවා…. ” පවූ… මගෙ කෙල්ල… ” දහස් වතාවක් මාව තුරුල් කරන් මුමුණණව මට ඇහුන…


මගේ මූණ දිහා එක පාරටම බලපු මගෙ අහිංසක (ඒත් එක පාරටම යකෙක් වෙන) හදිසියෙම මගෙ දකුනු අත ඇදල අරන් මිට මෙලෙවුව… මගෙ සිතුවිලි උනන වේගයටත් වඩා සිය ගුණයක් වේගයෙන් මගෙ දුර්වල අත අරගෙන එයා එයාගෙ කම්මුලටම ගහ ගන්න පටන් ගත්ත… මම වීරිය ගත්ත මගෙ අත ඇදල ගන්න.. ” මම මහ පවුකාරයෙක්.. මම ඔයට ගැහුව! මට ගහන්න සුදු… ” ආවේශයෙන් වගෙ උන්න ඔහු නතර කරන්න මම වීරිය ගත්ත… බැරිම තැන මම ඔහුව වැලඳගෙන කෑ ගහමින් ඇඬුව… අපි දෙන්නම ඇඬුව… ඒත් එ හැම ගුටියක්ම මම ඉවසුවා….


ඇයි මම ඉවසුවේ? “ඔයාට ආත්ම ගෞරවයක් නැද්ද? ඇත්තටම ඔයා නම් ඉවසනවා වැඩියි” මෙහෙම ඇහෙන දහසක් කමෙන්ට් වලට පහුවෙනිදට මම මුහුන දෙන්න එපයි දැන් වැඩට ගිහිල්ල… ලෝකෙටම මුහුන දෙන්න බැරුව විඳින්න වෙන ලැජ්ජව මතක් වෙනකොට නම් මගේ ඇස් අයෙමත් ආත්මානුකම්පාවෙ කඳුලු වලින් පිරිලා යනවා…


ඒත් මම ලෝකයටම ඔයාව රජෙක් කෙරුවා… හේතුව මම ඔයාට බොහෝම ප්‍රාණ සමානව ආදරය කලා… ඒත් ඔය ඒකත් දැක්කෙ වැරදියට.. ඔයා මගේ නිශ්ශබ්දතාවය සැලකුවෙ මගෙ අතින් වෙන අර ‘මහා අඩුපාඩුව’ වහ ගන්න මම කරන කපටිකමක් හැටියට… පුංචි ටෙඩියෙක් වගේ හිනා වීගෙන සුරතල් පුලුන් සතෙක් අතින් අරන් ඔයා ගෙදරට එන හැටි මට මතක් වෙනව….


මගෙ බින්ගියෝ මම පුලුන් සතාට ‍රැව‍ටුනා නෙමෙයි… ඒත් එකෙන් සංකේතවත් වෙන ඔයා ඉල්ලන සමාව ඔයාට දීලා, ඔයාගෙ හිතේ දුක නිවන්න, ආයෙමත් ඔයා සහ මම හුරතල් වෙවී ගෙවන ලස්සන ජීවිතේ නැවතුනු තැනින් පටන් ගන්න මටත් ඕනේ නිසයි මම මේ නපුරු සිද්දිය වෙන හැම වෙලාවෙම අසුරු සැනින් ඔයත් එක්ක යාලු වෙන්නේ….


අපි ජීවිතේ නැවතුනු තැනින් හැමදාම ඒ විදියට ආපහු පටන් ගත්තා…


පුන්චි සාල කෑල්ලෙ ටෙඩියො ගොඩ උනා.. ඒ ටෙඩියොත් හරී දුකෙන්, හිතේ ලොකු අඩුවක් දුකක් දරාගෙන හුරතල් වෙවී හිනාවෙන් ඉන්න අපි දිහා අනුකම්පාවෙන් බලාන උන්න….




කටු ඔටුනු ……..

අද මම මාස දෙකකුත් දවස් ගානකට පස්සෙ මුද්ද දැම්ම….
කාලයක් මම ඒක අහිමි වරමකැයි හිතන් උන්න….
ලැබෙන්න යන වරප්‍රසාදයක් යැයි හිතුව…..
දිනා ගත් ඔටුන්නක් කියල හිතුව….
දිස්නෙ නැථි ආදරේට වටිනාකමක් දෙන , දිස්නයක් කියල හිතුව…..
රුදු මිනිස් ඇස් වලින් පසෙක හැඟවෙන්න ඇහැකි ආරස්සාවක් කියල හිතුව….
ඇරුතක් නැති ඔටුන්නක්,විහිලුවක් කියල හිතුව….
බර වැඩි, ඉස්සරහක් පස්සක් නැති දුක්බර කතාවක් කියල හිතුව….
හංගන්න ඕනෙ, නපුරු රහසක් කියල හිතුව…
අන්තිමට ………..,
අද බලනකොට , මෙන්න ඔටුන්නෙ කටු…!
ලොකු විස කටු, බරින් වැඩි , ඝනත්වය අසීමිත කටු ඔටුන්න….,
අව්වට අතම කලු වෙද්දි,
ඔටුන්නෙ සලකුණ රවුමට
වෙදගිල්ලෙ සුදු පාටට පච්චයක් කොටල…
එක දවසට…
අම්මෝ මට බයයි….
බරක් නැති
කටු ඇනෙන්නෙ නැති
නිදහස් වෙදගිල්ලේ….. ,
සනීපෙන් ඔහොම හිටහන්…..
හොර හතුරන් ගන්නෙ නැති
හොරුන්ට දෙන්නෙත් නැති,
නිදහසේ නිවහල් අව් රැල්ලෙන්
කලුවෙයන් මුලු අතම ,
තැන් තැන් සුදු නොවී…


මගේ සති අන්තය…

සල්ලි සල්ලි සල්ලි… ඒ කියන්නේ ජීවිථයේ ප්‍රාණ වායුවද? අපෝ නැහැ… ජීවිතේ පැවැත්ම… අපි හොයන්නෙ පැවැත්ම.ඒ පැවැත්ම රැඳිල තියෙන්නෙ සැප සහ දුක මත. ඒක තමා ඇත්ත…..


දෙසැම්බර් මාසය පුරා දවස තිස්සෙ හිටගෙන කෑ ගැහුවට, සෙනසුරාද පණ යනකන් ලෑස්ති වෙලා දස වධ වෙලා රෑ එලි වෙනකන් සූදානම් උනට වන්දියක් වසයෙන් 10000ක් හම්බ උනා.හප්පා… සල්ලි වල තියෙන දුක කඳුල උණුහුම දැනෙන්න කම්කරුවෙක් වෙන්න උවමනාම නැති බව මම නම් අත්දැකීමෙන්ම දන්නවා.ඒකට ගුරුවරයෙක් උනහම හොඳටෝම ඇති!

අපේ සේවා දායකයන්ගෙ ඇස් වලට ලක් වෙමින්, මුලු කාලය පුරාවටම කියන දේ, හිතන දේ, කරන දේ හැම දෙයක්ම එකම දෙයකට සාන්ද්‍රනය කරල, මොන ලෝකෙ මොන නරක ප්‍රශ්න ඔලුවෙ තිබ්බත් ඒ කිසි දෙයක් නොපෙන්වා පැය කිහිපයක් , දාසක් මිනිසුන්ගෙ අවධානය රඳවගෙන, උන්ට තේරෙන විදිහට, උන්ගෙන් පැමිනිලි එන්නෙ නැති විධියට, මගෙ ජොබ් එක රැකෙන විධියට යමක් උගන්නව කියන්නෙ හැබෑම අභියෝගයක්… මගෙ අම්මෙහ්….. මෙ පුන්චි රුපියල් 10000හෙ කොච්චර නම් වේදනා කඳුලු ඇතිද? කකුල් කෙඩෙත්තුව හැදෙනකන් දවසට පැය 7ක් හිටගෙන ඉන්නවා , බැරිම තැන මම කරන්නෙ සපත්තු ගලවන එක… දෙයියනේ, දූවිලි තට්ටු තට්ටු වැහිච්ච භූමි මාතාවගෙ සිහිලස තරම් සනීපයක් ඒ වෙලාවට නැහැ…


මගේ වැඩේ දවසම හිනා වෙන හිනා යන කථා කියන එක ලමයින්ට.. වෙලාවකට මෝඩ ජෝක් පවා… උන් දන්නවනම් දෙයියනේ මගෙ ඔලුවෙ දුවන ප්‍රශ්න කන්දරාව, උන් දවසක් නිවාඩු දාල මගෙ ගෙදර එනව මම වෙනුවෙන් දුකට අඬන්න…


අපේ දාදිය මහන්සිය මාසිකව අපි අතේ මිට නිල් කොල කීපයකට හුවමාරු උනාට, රිසල්ට්ස් එන දවසට ඒ හුවමාරු වෙච්ච ධනයම වැය වෙයි හාට් ස්ට්‍රෙස් එකට… මගෙ අම්මේ… ලමයින්ට වඩා ඔක්කාරෙට එන්නෙ, කන්න බැරි, නින්ද යන්නෙ නැත්තෙ අපිට…ඇයි දෙයියනේ ..උන්ට රිසල්ට්ස් නැත්නම් අර ගත්ත නිල්කොල අතේ තිබ්බ නම් එවෙලෙම රිටර්න් කරනව.. එච්චර විලි ලැජ්ජාවක් තමා දැනෙන්නෙ..මගෙ සන්තෝ……


මට මගෙ ජීවිතේ තියන ප්‍රශ්න ටිකත් අමතක වෙනව පැය 7 කට…


හැම දාම 5.30 ට ඉන්ටිටියුට් එකෙන් එලියට බහින්නෙ නිල් සමුද්‍රයට පිටුපාල.. හැම දාම මම ගාලු පාරට බහිද්දි, ආපහු හැරිල බලනව…අදත් එහෙමයි. ටික දවසකට ඉස්සර නම්, මගෙ සොච්චම් 10000 ට කිනම් වර්ගයෙ වියදම් සැලැස්මක් සුදුසුදැයි හිස හැරුනු අතේ උඩ බලාගෙන කල්පනා කරන මගෙ මහත්තැන් ඉන්නව එතැන මං එනකන්.. ඒත් ඉස්සර කහ ඉර තනියම පනින්නත් බය මේ මොට්ට මම ,දැන් නම් ආයෙමත් ඒ සමුද්‍රය දිහා එක පාරක් විතරක් හැරිල බලල ටක් ගාල සුසුමක් පුස් ගාල පිට කරල, කැන්ගරුවෙක් වගේ පාරෙ පැන ගෙන පැන ගෙන යනව….

එකොමත් එක දවසක කලාඳුරුවොයි නිල මැස්සොයි කැරකෙන ගල් ගෙඩි ගොඩක් උඩ වාඩි වෙලා අපි දෙන්න සමුදුරේ සුන්දරත්වයට දැහැන් ගත වෙන්න මාර ට්‍රයි එකක් දුන්න … හික්! එත් බෑ… මැස්සො කන් අස්සෙත් රිංගනව.. ඉතින් එතනින් නැගිටල සමුද්‍රෙ අයිනෙ තියන කාරෙකට නැගලත් ට්‍රයි කරා සැන්දෑ අහසේ සිරියාවට සමවැදෙන්න.. හරි ගියෙ නෑ… අපි ඉස්සර වගෙ පෙම්වතුන් නෙමෙයි කියන එක මට මොහොතක් මීටර් උනා. ඉස්සර ගස් ගල් ගානෙ , මඩ ගොඩවල් අස්සෙ, මහ වැස්සෙ තෙමි තෙමී අපි හෙවුවෙ ආදරය.. දැන් සැප කාර්, රස කෑම , සල්ලි .. සල්ලි.. සල්ලි… අපි හොයන්නෙ සැනසීම…. එත් හම්බ වෙන සොච්චමේ තියෙන්නෙ සෝ සුසුම්, පශ්චත්ථාපය සහ අසහනය…


ඉතින් ගාලු පාරෙ ලෑන්ඩ් සයිඩ් එකට පනින මම ටක් ගාල කොන්දොස්තර පුන්චෙක් බලෙන් නග්ග ගන්න අටමගලක සීට් එකකට පැනගෙන , මුහුද ගාව, මගෙ මහත්තැන් එක්ක සැන්දෑ සිරි බලපු මැස්සො වහන ගල් ගොඩ නොපෙනෙන්න ඉක්මනට ඇස් දෙක පියාගන්නව…


අද එතන මැස්සෙක් වත් නැතුව ඇති… ඉතින් කොහෙද අපි…. ?

පිණි බිංදු...

හිමිදිරියෙ හිරිකඩට
අමා දසුනක් අරන්

ගොම්මනේ නුබ අරා
සිහිලැල්ල තවරමින්

හැඟුම් සියොතුන් අඬන
පාලු හිත් දනව්වේ

                                                       අඬා බහින පිණි බිංඳුව….

අපේක්ෂාවේ හස්තය


කුලුඳුලේ ඉනු හුස්ම
මුව පුරා උරාගෙන….
රුහිරු බොඳ කල ඇස් පොඩි
ලොව දකින්නත් කලියෙන්

ඇබිත්තන් නුඹේ ඔය
දෑත් පුංචත් දිගු කරන්

යදියි ජීවිත සුවඳ
දෙනු නොහේ….
ගනු නොහේ…

මේ දේශපාලන කතාවක් නෙමෙයි.....

දවස ඉවර උනා. තවත් පැය 24 ක අවසානය සටහන් වෙනව ඉක්මනටම. හැම දවසෙම අන්තිමේදි අපිට අද දවසෙ අපි කලේ මොනවද කියල හිතන්න යමක් ඉතුරු වෙනව... සමහරුන්ට එහෙම හිතන්න යමක් නැතුව ඇති. අද දවස මටත් ඒ වගේද කියලා හිතෙනවා.




මගේ සුන්දර මිත්‍රයො කිහිප දෙනෙක් එක්ක අද සිද්ද වෙච්ච කතාවක් මට මතකයට එනව! එයලගේ ප්‍රධාන ප්‍රශ්නය වුනේ ඇයි මම ඡන්දය පාවිච්චි කරන්නේ නැත්තෙ කියලයි.



ඉතින් කතාව බොහොම උනුසුම් වුනා. මම ඡන්දය පාවිච්චි කරන්නේ නැත්තෙ මම අද ඉන්න දේශපාලකයොන්ගෙන් 99% දෙනාවම දකින්නෙ බලයට ආසාවෙන් මොකක් හරි යමක් 'මෙන්න මම කලා' කියල ජනතාවට පෙන්නල තමන්ගෙ පැවැත්ම සනාථ කරගන්න කොටසක් මිසක්, රටට මම සේවයක් කරන්න ඕනෙ කියන චේතනාව නිසා මොන ප්‍රශ්නයක් ආවත් මම යහපතක් කරනවා කියන අධිෂ්ඨානයෙන් මේ ගමනට බහින කෙනෙකුට නෙමෙයි කියලයි මට නම් හිතෙන්නේ.



මේක බල අරගලයක් මිසක් ජනතාවට සේවය කිරීමේ අරගලයක් නෙමෙයි කියන එකයි මගේ අදහස!



ලෝකයට අලුත් අර්ථයක් එකතු කරපු ගොඩක් දෙනාට ඒදේ කරන්න උපකාර උනේ දේශපාලනය නෙමෙයි. තමන්ගේම අනන්‍ය ශෛලියක්. හැබයි එහෙම කල දේවල් ගොඩ කලක් මිනිසුන්ගේ හදවතට කාවදිමින් ජීවත් වෙනවා. මිනිසුන්ගේ ජීවිතත් එක්ක ජීවත් වෙනවා. තෙරේසා මවුතුමිය ඒ වගේ කෙනෙක්.



දේශපාලනය කියන්නේ ක්‍රීඩාවක්. අපි තමා විනිසුරුවෝ.... හැබැයි විනිසුරුවෝ ගොඩායි... අපි හිත හදා ගන්නව අපිත් ඒ තීරණයේ හවුල් කරුවො කියලා... එත් ක්‍රීඩාව දිනන්නේ ක්‍රීඩකයෝ.... ඒ ක්‍රීඩකයගේ පැවැත්ම අපි තීරණය කරනවා. ක්‍රීඩකයෝ හෙට තව මැච් එකක් ගහනව. අපි හිත හදා ගන්න කියනවා මේ අයව තේරුවෙ අපියි කියලා... එත් මැච් එක ගහන්නේ ආත්ම තෘප්තිය ලබන්නෙ, මඩි තර වෙන්නෙ එයාලගේ. කවුරු දිනුවත් අපි ඉන්න තැන වෙනස් කරන්න ක්‍රීඩකයන්ට බැහැ. එයාල එයාලගේ ක්‍රීඩාවේ නිරත වෙනව. තමන්ගේ ජීවන තත්ත්වය වෙනස් කර ගන්නවා. කලක් යනකොට අපේ තීරණ අපිටම ප්‍රශ්නයක් වෙනවා.... ඉතින් අපෙ රසඥතාවය අපිටම ප්‍රශ්නයක් වෙනවා.. ඉතින් අපි අපේ තීරන කපලා කොටලා බලනවා... අපි ප්‍රිය කරන්නාව සාදාරණීකරණය කරනවා.



අපි එයාලට සෙල්ලම් ඉත්තෝ විතරයි....



එයාල සෙල්ලම් කරනවා... අහිංසක ඡන්ද වල සිය ආත්මයම නව මගකට යොමු කරන විප්ලවීය වෙනස රැඳවිලා තියනවයි කියලා හීන මවමින් දෑස් දල්වගෙන බලන් ඉන්න මිනිස්සුන්ගෙ දුක්බර හීනත් එක්ක......

ආගමනය....

මෙන්න ඉතින් මම තීරණය කලා..අතන මෙතන හැම තැන කුරු‍ටු ගෑව මගේ මිනිස්කමේ කතා ටික බ්ලොගර් එකේ පල කරල මෙතන නවාතැන් ගන්න... සන්සාරේ.මයිබ්ලොග් එකෙන් වඩා දන්න පුරුදු බ්ලොගර් හොඳා කියා හිතුනා ටික දවසකින්.. ඉතින් මෙතන් ඉඳන් මම ඉන්නෙ මෙහේ.... ඇවිත් යන්න... මිනිස්කමේ සුවඳ ඉව කරන්න..... බෙදා හදා ගන්න ආදරය,කරුණාව : මිනිස් ගුණය....

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->