Tuesday, October 19, 2010

[117] ලැජ්ජාවේ බැරි , මගේ සිංහල කොම්පීතරය සහ අන්තර්ජාලය..!


ලංකාව ඈතුලෙ ඉන්ගිරිසියට තියන බිය නිසා මේ කොම්පියුටරේ තවම අමුතු යකෙක් වෙලා. ඒ බිය මේ වගේ සිංහල සපෝට් කරන මාධ්‍යය නිසා හෙමි හෙමින් අඩු වෙනවා. සින්ගිරිසි, සින්හල බ්ලොග්, සින්හල වෙබ් සයිට්, සින්හල බස්, සින්හල චෑට් මේ වගේ ප්‍රවණතාවන් තව තව අපි ඉස්සරහට ගන්න ඕනේ.... මේක ඉන්ගිරිසියට බියේ කොම්පියුටරයට ටටා කියපු යුගයෙන් මිදුනු වේගව්ත් සංස්කෘතියක්. හරිම සතුටු හිතෙන දෙයක්..


මේ වගේ අපේ භාශාවෙන් දේවල් ඉස්සරහට එනකොට (ඉස්සර අපේදේකට තිබ්බෙ විජේසේකර කීබෝඩ් එකයි ෆොන්ට් ටිකයි විතරනෙ) ඔය ඉන්ගිරිසි භාෂාවෙ තියන ඒකාධිකාරය නෑත්තටම නෑති වෙලා යනව. ජපානෙ වගෙ. සිංහලෙන් හෑම දේම සන්නිවේදනය කරන්න අපි හුරු වෙයි ඉක්මනට.


කොටින්ම උදාහරණයක් කියන්නම්. රාජකාරි හෝ නොවෙන මොකක් හෝ ලිපියක් ඉන්ගිරිසියෙන් ඔලුවෙ වෙහෙසලා කෘතිමව ටයිප් කරනවට වඩා දන්න හොඳ සිංහලෙන් ලියන්න අපිට පහසුකම්වල අඩුවක් තිබ්බා. ෆොන්ට් නෑ. කීස් දන්නෙ නෑ. ඒව මතක නෑ.ඉතින් අපි තියන බැරි ඉන්ගිරිසිය එක්ක හරඹ කලා.ඒත් දැන් ? උවමනා තරම් ඔප්ෂන්ස්!! 

වෑඩි උදාහරණ ඕනෙ නෑ. මම සිංහල වලින් මුකුත්ම නොලියා අවුරුදු 10 උන්නා. හේතුව පල කරන්න තියන මාධ්‍යය එක්ක ටච් එකේ ඉන්න එක කරදරයි (උදා: පත්තර) ලියන දේ මිනිස්සු අතරට යන්න කල් යනවා. ටයිප් සෙට් කරනන් වෙලා යනවා. ෆොන්ට් නෑ. තියන ඒව ඉක්මනට ඉගෙන ගන්න බෑ. පල කරන්න තැන් නෑ. පල කලත් කියවන අය නෑ. ඔය වගේ හේතු. ඒත් 2010 ජනවාරියෙ අහම්බෙන් සිංහල බ්ලොග් ඇස ගැටුනම මට පස්වනක් ප්‍රීතියක් දැනුනෙ. මෙන්න හොඳම වෙලාව ! ආයෙත් ලියන එක මුවහත් කරන්න ! අවස්ථාව ආවා. පල කලා. කියවන සහෘදයින් පිරිසක් බ්ලොග් වටා ඉන්නවා.


දැන් දැනුම බෙදන්න ක්‍රම තියනවා. මූනු පොතේ, ඊමේල් , ගූගල් බස්, ට්විටරය ,ඒ හැම එකකටම අපි කොන්ද කෙලින් තියන් සිංහල අකුරු වලින් අපේ දේවල් හුවමාරු කරන්න පටන් අරන්! කිසි කෙනෙක් කිසිවකට ලැජ්ජ වෙන්නෙ නෑ මේ අකුරු ඉන්ගිරිසි තරම් හතරැස් නෑ කියල.


අන්ත පොෂ් යයි කියා ගත්ත ඉන්ටනැසනල් ඉස්කෝලෙ සිංහල බැරි බව මූනිච්චාවට සෝබනේට පෙන්නන, කට්ටිය ඉස්සරහ මම බය නැතුව සින්ගිරිසියෙන් මූනු පොතට , බස් එකට සිංහලෙන් ලියනව. ඔය කියන පොෂ් නෝනල මහත්තුරු ඔක්කොම හොරෙන් කියවන , එලිපිට 'අනේ අපෙ මැශින් එකේ සිංහල ෆොන්ට්ස් නෑ අනේ' කියල තොඳොල් වෙන අයව ගණන් නොගෙන මම සිංහලෙන් ලියනව. කොම්පියුටරේ සිංහල අකුරු මොනිටරේ පේද්දි මම හැන්ගෙන්නෙ නෑ. මට ඒක ආඩම්බරයක්. මම කොම්පියුටරය කියන්නෙ ඉන්ග්ලිශ් වලින් විතරක් වැඩ කරන්න මවපු එකක් කියල කියා ගන්න උදවියට සින්හලෙන් මේකෙ වැඩ කරන හැටි කියල දෙනව මම .


මම... පුලුවන් හැමවෙලාවෙම තාක්ෂණේ සිංහලෙන්ම යොදා ගෙන, අවශ්‍ය හෙවත් අත්‍යාවශ්‍ය මොහොතකට විතරක් ඉන්ගිරිසිය පාවිච්චි කරන , ඉන්ගිරිසිය අවශ්‍ය අවස්ථාවට කිසි සේත්ම සිංහල කවලම් නොකරන, ඒත් යාලු මිතුරන් ඉස්සරහ දෙකම කවලමේ හෝ එකකින් අමු අමුවේම උනත් නිදහසේ කතා කරන , අන්තිම අමුම අමු සිංහල කම පිටින් පෙනෙන්නට නොබේරෙන , ඒක හිතේ තියාගෙන එයින් උපරිම පල නෙලන, බටහිරම කරණය වෙච්ච ඉස්කෝලෙක රට්ටුන්ට ඕනෙ හැටියට නොව මට ඕනෙ හැටියට තාක්ෂණය පාවිච්චි කරන සංකර කෙල්ලෙක් වෙච්ච එක ගැන මම අද ආඩම්බර වෙනව.


සිංහලෙන් වැඩ කරමු, පට්ට පොශ් කොම්පියුටරයක් පාවිච්චි කරමින්, රට තොටට ගැලපෙන්නට ජීවත් වෙමින්, අපිට සිංහලෙන් වැඩ කරන්නට ලැජ්ජාවක් නැති බව පෙන්නමු! ඒකෙන් අපිට වඩා මේ තාස්සන යකාට බය වෙලා තවම ලිඳ ඇතුලෙ ඉන්න එකෙක් දෙන්නෙක්වත් එලියට ඇවිත් රට තොට බලාවි.! ආහ්.. කවුද එන්නෙ ?


Saturday, October 16, 2010

[116] අඳුර විතරක්ම දුටු ඇස් දෙක...

කුට්ටි පිටින්
තට්‍ටු ගනන් ගොඩ ගැහුන
අන්ධකාරය
කෙඳිරි ගාන අහුමුලු වල
බයෙන් වගේ
අත පත ගාගෙන
හිත හොයන්නේ
එක තැනක්වත්
වෙනත් පාටක් ගෑවුන...


අතට ඇල්ලුවම
නොතැවරෙන පාටට
දොස් කීවට
අවලාද කීවට...
දන්නව නෙව මේ හිත
ඇසට නොව,
සාප කල යුත්තේ
අඳුරට !


ඇණ තියාන අඳුරෙම
කල්පයක්
අතපත ගෑවට..
ඇවිත් යන 
ඔය සොඳුරු පාට
නොදුටුවට ..
එලියක් නොදු‍ටු
දෑසට මිසක...
අවනඩු කොහිද අඳුරට ?

Thursday, October 14, 2010

[115] පාර අහගෙන යන්න... වරා මල ඇහිඳින්න....



ඔබ යන්න
කුණාටු සුළඟකට
ගසා ගෙන ආ
වරා මලත් ගෙන
ඔබ යන්න

ගොසින් යලි එන්න
මග බලන්නෑති
පහන් තරුවක්
මිහිමතට පහත් වූ සඳ
අඳුරු වූ අහස වෙත
ගොසින් දැන් දැවටෙන්න...

ඔබ එන්න
ලෑගුම් හල් නෑති
කොනක් නෑති
ඉමක් නෑති
අඳුර මත
නොමසොයා ඒ
පහන් තරුව
ඈවිත් මෙහි
නෑවතෙන්න

ඔබ යන්න
හිතුවක්කාර සුලඟෙන්
පාර අහගන්න
ගොසින් ඒ වරා මල
ඈහිඳින්න....
ඔය පපුතුරේ තියාගෙන...
සුවඳ විඳගන්න...
ඉතින් ඔබ එන්න....

Monday, October 11, 2010

[114] පොත් සලකුණ සහ මම !


මතක පොත් ගුල කොනෙක
තබා ගිය පොත් පිටුව අහිමිව
නන්නත්තාර වී ගිය
පොත් සලකුණක්ද මම..?

අතීත මතක පොතක
පිටු එකින් එක ඉරී යන
අකාලයක මිහි බට
මං වැරදුන තරුවක්ද මම ?

වනස්පති රුකෙක

ඈමිණෙන අතරතුර ලතාවක්ව
පැමිණි සුළ
ඟටත් බහදුන්
වංචාකාර වරා මලද මම ?

එකින් එක නිර්වචන
මකාලයි මතක පි‍ටු වල හිස් කම
වචන මිස නිර්මල
සිතුවිල්ලකට පොත් ලකුණු නැත...

Sunday, October 10, 2010

[113] මගෙ බළල් හිත ! :)


ගැබ්බර බැලලියක
විලිරුදා මතුවෙන විට
මුල්ලකට වැද සැඟව
නිහඬවම දරා , මුදා කුස බර....

කිසිත් වූ නොවූ ගානට
හිස් බැල්මෙන් එලි බහින විට
හැඬුම් විලි ලෑ ලකුණකුදු නැත
ඇගේ හිස් කුස මිස...!

නෑඬූ විලස කිසිත් නුවු ලෙස
දෙතොල් පා හස නගන මගෙ හිත
නොකියා කියන දුක සඟවන
ගැබ්බර බැළලියටත් හපන් මගෙ හිත !

Sunday, October 03, 2010

[112] ආදරය දැනෙන්න ජීවත් වෙන්න

පුදුමාකාර ලෙස පොතකට වසඟ වුනා.... "ආදරය දැනෙන්න ජීවත් වෙන්න- සරත් විජේසූරිය" .. ඒ නිසාම මේ බ්ලොග් සටහන අවිවේකීව ඉන්න අතරතුර නමුත් ඉතා කෙටියෙන් හෝ ලියන්න  හිතුනා.


ආදරේ කියන්නෙ හැඟීමක්. ඒක මානසික දෙයක්. ක්‍රියාවන්ට වචන වලට වඩා සිතුවිලි වලින් ධාවනය වෙන ශක්තියක් ඒක.රෝස මලක සුන්දරත්වයෙන් පටන් ගන්න සමහර ආදර කතා සුනාමියක් තරම් වේගෙන් අහවර වෙන්නෙ ඇයි? හිතෙන්නෙ මොකක් හෝ මහා ලොකු හේතුවක් නිසා කියල වෙන්න පුලුවනි.. නෑ.. සමහර විට එකම එක වචනයක් නිසා. එකම එක බැල්මක් නිසා. එක අත්වැ‍රැද්දක් නිසා. නොහිතා කියපු කරපු දෙයක් නිසා. කරන කියන දේකට අනෙකාට දැක්වුව දුර්වල ප්‍රතිචාරයක් නිසා. එය ඔඩු දුවන්න ඉඩ දුන් නිසා. මතක තියා ගන්න... උණක් ගැනිල ඒක අකාලෙට , කැලේට හොඳ වෙනව වගෙ, පලුදු වෙච්ච හිතක් සුවපත් වෙන්නෙ නෑ . සුවපත් කල යුතුයි. මම ආයෙ ආයෙමත් කියනව. සිතුවිලි ඉබේ බිහිවෙන්නෙත් නෑ. බිහිවුන සිතුවිල්ලක් ඉබේ නිවෙන්නෙත් නෑ. දෙකම පුද්ගල මූලිකයි. ඉබේ හෝ අත්වැරදීමකින් හෝ බිහි වුන සිතුවිල්ලක් නිසා වචනයක් හෝ ක්‍රියාවක් සිද්ද වෙනව. ඒ අවස්ථාවට (ආදරයෙදි) අනෙකාගෙන් ලබන ප්‍රතිචාරය මත ඒ සිතුවිල්ලේ අනාගතය තීරණය වෙනව. ඒක නම් නොකියාම බෑ. ආදරයෙදි පරිස්සම්  වෙන්න ඕනෙ ඒ නිසා. දෙන්නම.

ආදරයෙදි පරිස්සම් වෙන්න ඕනේ...

මේ කියන්නෙ නිදහසක් නැති ආදරයක් ගැන නෙමෙයි. ආදරය ගැන මම දවසක් මූනු පොතේ නිර්වචනයක් ලිව්ව. මෙන්න මෙහෙම.
"අපේ අත පය ගන්න. කිලෝ ගණන් බර උනාට අපෙ ශරීරයට ඒක තියන බවවත් දැනෙනවද ? නෑ නේද ?
ඇඟේ අලවපු ප්ලාස්ටරයක් ගන්න... බරින් ග්‍රෑම් ගණනක් උනාට , අලවපු වෙලාවෙ ඉඳන් ගලවගන්න හදිස්සිය නේද? තියන බව දැනෙන නිසා. ..
ආදරේ ... අපේ අතපය වගේ ඇඟේ කොටසක් නම් අපි වාසනාවන්තයි... ප්ලාස්ටරයක් නම්... ඒක බරක්...
වාසනාවන්ත ආදරේ... කුරුලු පිහා‍ටුවක් වගෙයි....."


ඉතින් ආදරේදී පරිස්සම් වෙනව කියන්නෙ බරක් නෙමෙයි. ඒක මනා සිහියෙන් සහ අනෙකා ගැන තේරුම් ගැනීමෙන් ඇති වෙන දෙයක්.... එය පුරුද්දක් බවට පත්වෙන අවබෝධයක්... මට නම් හිතෙන්නෙ එහෙමයි.. මේ ඔක්කොම වැල් වටාරම් කිව්වෙ මම එක දෙයක් නිසා. ඒ ඊයෙ රෑ මම කියවපු මේ පොත නිසා.


ඉතා සුලු සන්නිවේදන දුර්වලතා නිසා ජීවිත අවුලෙන් අවුලට , විනාසයට පත් කර ගත් ගෑහෑණුන් මිනිසුන්,පවුල් ගැන ලියවුන අගනාම පොතක්.. අපට අප ගැනම උගත හැකි පොතක්.. ආදරය යනු ප්‍රකාශනයක් බවත් , එය දුර්වල කොට නොගෙන එය ශක්තිමත්නම් පමණක් ආදරය ඔස්සේ ඉදිරියට යා යුතු බවත් මොනවට පැහැදිලි කරන පොතක්. හිත අස්සේ පොදි ගැහෙන එක සිතුවිල්ලක් නොවිසඳාගැනීම නිසා ජීවිත එකක් නොව කීපයක්ම අයසට පත් වෙන හැටි කියවන්න පුලුවන් මේ සත්‍ය කතා වලින්. පුදුම හිතෙනවා... කතා බහ නොකර එක පොඩි සිතුවිල්ලක් අමනාපයක්, පොඩි සැකයක් නොවිසඳාගැනීම නිසා දශක ගානක් විඳවන පවුලක්ම අයසට හානියට පත් වෙන අනතුරක් වේවි යැයි , මේ අපරිස්සම් බහුතරයක් අප කවදාවත් හිතනවද ? අපි සිදුවීමකට කොච්චර ලේසියෙන් යන්න දෙනවද ? කිසිම දෙපාරක් හිතා බැලීමකින් තොරව. ඒත් අනෙකාගෙ හිතේ එය කෙසේ බලපවත්වනවදැයි අප මොහොතකටවත් හිතනවද ? නෑ නේද ?


අප පිලිගන්නෙ නෑ එකිනෙකාගෙ චරිත වෙනස් කියල. එකිනෙකාගෙ සිතුම් පැතුම් විවිධාකාරයි කියල. ඒ වගෙම එකිනෙකා විඳින විඳවන දේවල් ප්‍රකාශනයත් සමහරුන්ගෙ ප්‍රබලයි. සමහරුන්ගෙ ආවේගශීලියි. සමහරු අසරණයි.සමහරු ප්‍රකෝපකාරියි..සමහරුන් මිත්‍රශීලියි.. සමහරු උපායශීලියි...යනාදී වශයෙන් .. අප ආදරය කරනවා කියන්නේ අනෙකාගේ ඒ ප්‍රකාශනය හඳුනා ගැනීම නෙමෙයිද ? ඊට එකඟ වීම නෙමෙයිද ? එහි ඇති ස්වභාවය වටහා ගැනීම නෙමෙයිද? ඒ අනුව ක්‍රියා කිරීම නෙමෙයිද ? දක්ෂ ආදරවන්තයෙකුට අනෙකාගේ ප්‍රකාශනය නිදහස් කරන්නට අවකාශය තනා දිය හැකියි. එවිට ප්‍රකාශනය තුල ගැ‍ටුම් ඇති වෙන්නෙ නෑ.බොහෝ දේ සුහද මට්ටමින්ම විස‍ඳෙනවා. එවිට කල්පවතින හිතේ තුවාල වලට, ගැ‍ටුම් වලට,ආවේග වලට, කේන්තියට, සැකයට ඉඩක් නෑ. මිත්‍රශීලි බවින් ප්‍රශ්න විස‍ඳෙනවා. එයින් බැඳීම තව තව ශක්තිමත් වෙනවා.


ආත්මාර්ථකාමී ආදරවන්තයෙකුට නිතරම හිතෙන්නෙ "ඇයි එයා මාව තේරුම් ගන්නෙ නැත්තෙ?" කියල. ආදරයත් චරිත ස්වභාවයත් නිතරම ප්‍රශ්න කරන තැනක ආදරේ රඳන්නෙ නෑ.මොකද එකෙකු නිතරම බලන්නෙ අනෙකාව නතු කරගන්න. තමුන්ගෙ ක්‍රමයට හැඩ ගස්වන්න.අනෙකාව තේරුම් ගන්න නෙමෙයි. මතක තියා ගන්න...ජීවිතේ නිසි මගට හැඩ ගස්වන්න උදව් කරන එකයි තමුන්ට නතු කරන එකයි වෙනස්... නතු කරගන්න වලි කන කෙනා ගොඩක් වෙලාවට අනෙකාව පෙලනවා . රිද්දනවා. දුක් දෙනවා. බනිනවා. දොස් කියනවා. 'මේක නෙමෙයි මම හොයපු ආදරේ..' කියමින් අනෙකාට මිහිපිට අපායක් පෙන්වා දෙනවා....


ඇත්තටම මේ පොත කියවද්දි මට දැනුනෙ මේකයි.. අයසට විනාසෙට පත් වෙන පවුල් ජීවිත අස්සෙ තියන ලොකුම දුර්වලකම සන්නිවේදනයේ අඩුපාඩුවයි.. මේ කතා එතරම්ම හදවත විනිවිද යන්නේ ඒවා එතරම්ම සත්‍ය නිසා. ආදරය ඔහේ තිබුනාට එය ජීවිත දෙකක් යහපත් නොකරන බවත් , එය දැනෙන්න ජීවත් වීම මහමෙරක් තරම් බරක් ගෙන කලයුතු දෙයක් නොවෙන බවත් යන දෙකම අප පසක් කරනවා නම් කොච්චර හොඳද ?


ආදරය දැනෙන්න ජීවත් වීම කියා කියන්නෙ රඟපෑමක් නොවෙයි. එකිනෙකා අනෙකාගේ කලාව හඳුනා ගැනීමයි.ප්‍රකාශනය විවෘත කිරීමට මිසක හකුලා ගැනීමට ඉඩ නොතැබීමයි. ඊට පොත් පත්වත් තුන්වෙනි පාර්ශවයක්වත් උදව් වෙන්නෙ නෑ. ඊට උදව් වෙන්නෙ එකම එක දෙයයි. සන්නිවේදනයයි... එතැන්දි සිතුවිලි හෝ ක්‍රියාවන් අර්ථ දක්වන්නට වචන වලින් වෙන මෙහෙය අති විශාලයි. එය හඳුනාගන්නා තාක් එසේ කටයුතු කරන තාක් ඔබට ඔබේ ආදරවන්තයා/ආදරවන්තිය ගුප්ත අයෙකැයි..තේරුම් ගන්නට බැරි අයෙකැයි..අමුතු කෙනෙකැයි පෙනෙන එකක් නෑ.


සරත් විජේසූරිය මහ්ත්මයාගෙ මේ පොත හැකි නම් අරන් කියවන්න. මේක ප්‍රචාරණයක් නෙමෙයි.. ඒත් එතරම්ම වටිනවා මේ පොත. ආදරයේදි මිනිස් සිතුවිලි ක්‍රියාකරන හැටි, ගැ‍ටුම් ඇතිවෙන හැටි, ඒවායේ අක්මුල් ගැන අවබෝධය මුවහත් වෙනව මේ පොතෙන්. ඔබේ සහකරුවාගේ /සහකාරියගේ බොහෝ හැසිරීම් ඔබට මෙතෙක් තේරුම් ගන්නට බැරි වූවා නම්, ඊට හොඳ මග පෙන්වීමක් මෙහි තිබෙන බව මට නිසැක කොට කියන්න පුලුවනි.


ආදරය දැනෙන්න ජීවත් වෙන්න. ශක්තිමත් බැඳීමක් තුලින් ඔබ සාර්ථක මිනිසෙකු ගැහැනියක වනු නිසැකයි.

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->