Tuesday, August 20, 2013

[294] එය ආදරයක්ද?




ආදරය කරන දෙන්නෙක් නම් එක්කෙනෙක් අනෙකාගෙන් ආදරේදැයි ඇසිය යුතුවේ. ඊට අනෙකා කැමැති නම් පමණක් සම්බන්ධයක් හට ගනී. ඒ සම්බන්ධයෙහි මූලික කරුණ නම් දෙන්නාට දෙන්නා ආදරෙන් විස්වාසයෙන් කල් ගෙවීමයි. ලියුම් (දැන් කාලේ නම් එස් එම් එස් හා ඊමේල්) හුවමාරු වීමයි. ඔයා කෑවාද බීවාද ඇසීමයි. 

මේ අපි මීට වසර දහ දොළහකට පෙර ආලය නිර්වචන කළ අයුරු නොවේද? 

කාලය බොහෝ වෙනස් වී තිබේ. බොහෝ කුනු කහළ ගොඩවල් පිරී නොතිබූ හිස් මනස තුල සහ ජීවත් වූ සීමිත ලෝකයක අපට ආලය මෙපමනක්මැයිහැඟීම අරුමයක් නොවේ.

ආදරය කෙසේ වෙතුදු, බැඳීම් නම් පුදුමාකර වග, ඇසුරු කරන නේක විධ මිනිසුන්ගේ ජීවිත වෙත එබී බැලීමේදී විය වෙයි.  

"එයාටයි මටයි ආදරේ කියලා ගිවිස ගත්තු දෙයක් තිබ්බෙ නැහැ. ඒත් අපි දෙන්නාට අපි දෙන්නා නැතිව බැරි ගතියක් දැනෙන්නට වුනා. දැක්කෙ නැති උනාට , කතා කලේ නැති උනාට මතක් වෙද්දී, හිත හිර වෙලා  වගෙ හුස්ම ගන්න අමාරුයි වගෙ තවමත් දැනෙනවා. "

හිතවතුනි ආදරයේ සෙවණැලිද තිබෙන , විටෙක  කොහෙත්ම ආදරයක් නොවෙතැයි සිතෙන ඒ අන්දරයට මා දෙන නම කුමක්ද?  

"මම එයාගෙන් ඈතට වෙල පුලුවන් තරම් හිටියා. ඒත් එයා අතෑරියෙ නැහැ. මම අවනත වෙනකල්ම හිත ඇදගන්න කතා බහ,  කවි  ජීවිතේ පිරෙන්නට වුනා. .  මටත් නොදැනීම මගෙ හැඟීම් ටික ටික එයාට අවනත වෙන හැටි මට දැනුනා. ටික ටික එයාගෙ බලපෑම් වලට මම ලං වුනා. කාලය ඉගිලුනා. කාලයත් එක්ක අපි ගොඩක් ලං වෙද්දි එයාගේ හිතේ තියන ආදරනීය ගතිය යට යන්නත් හැඩි දැඩි පිරිමි උවමනාවල් මතු වෙන්නත් ගත්තේ මගේ බලාපොරොත්තු සුන් කරමින්. ඒ එක්කම මම සෑහෙන්න අන්ද මන්ද උනා. මේ මොකක්ද ? ආදරයද ? එහෙම නැති නම් එයාගේ ජීවිතේ තියෙන්නේ කායික උවමනාවල් විතරක්ද? හැමදාමත් එයා කිව්වෙ ඔයා හොඳ කෙනෙක්ව බඳින්න ඕනි කියන එක. එතකොට මම රණ්ඩු කලා , ඇයි ඔයා මට ආදරේ නැද්ද කියලා. 'මගුලක් අහනවා. තමුසෙ මහ ඊරියෙක් ඕයි" හැමදාමත් එහෙම කතාව ඉවර වුනා. ඉතින් මට තවත් මේ වික්ෂිප්තය දරන්න බැරි නිසා මම ඈතට ගියා."

හිතවතුනි . මට කියන්න , මේ බැඳුමට ආදරය හෝ වෙනත් නමක් මට දිය හැකිද හිතට එකඟව ?  

"මම එයාට ආදරේද නැද්ද කියන්න මම දන්නෑ. ඒත් මට එයා මතක් වෙන ගානේ දුකයි. මොකක්දෝ ඈතට යන්න බැරි ගතියක් හිතට දැනෙන්නේ මහ වේදනාවක් එක්ක. මතක් වෙද්දි ඇඬෙනවා. ඒත් කායික ආකර්ෂණයක් තියා අතින් අල්ලනවත් උවමනාවක් මට දැනෙන්නෙ නැහැ. එයාටත් එහෙමමයි. අපි දෙන්න දකින වෙලාවක් ඇතිනම් කරන්නේ අඬන එක. ඒත් අපිටම ඒකෙ තේරුම කියගන්න තේරෙන්නෙ නැහැ. අදටත් මට ඒ උගුර හිරකරන හැඟීම දැනෙනවා. ඇයි කියන්න දන්නෙ නැහැ."

ආදරය කායික බැඳීමකින් තොරව දුර යා නොහැකැයි සිතන  මනසකට මේ කතාන්තරය පෙනෙන්නේ නිකම් හිතේ ඇතිවූ මුලාවක් ලෙසින් විය හැකිය. එහෙත් ඉන් දැනෙන වේදනාව කෙතෙක්දැයි දන්නේ හැඟීම් පාරන මෙබඳු ආකර්ෂණයක් විඳ ඇත්නම් පමනි. හිතවතුනි මා එයට ආදරයකැයි කීවාට වරදක් නැතිද? 

"මට එයා ගැන මොකුත්ම ආදරයක් බැඳීමක් තිබ්බෙ නැහැ.  ඒක විවිධත්වයක් හොයා යාමේ ආසාවක් විතරයි. ඇත්තටම එයා මගෙ ෆැන්ටසියකවත් එයින් පස්සෙ නැහැ. එයාටත් එහෙමයි. ඒක ඇත්තටම හිරවෙලා ගෙවිච්චි එකාකාරී ජීවිත වලින් මිදෙන්න හොයා ගත්තු කාටවත් හානියක් නැති පුංචි උත්තරයක්ම විතරමයි. අද මම  එයා  කොහෙද කියලවත් දන්නෙ නැහැ."

පින්වතුනි. මේ පුන් පොහෝ දින මා මේ උධෘතයෙහි අගය ධන හෝ සෘණ කිසිදු අගයකට නතු කල නොහේ. කවදා කොතැන කාට වැරදුනිද? සාධාරණත්වයක් ඇතැයි හැඟෙන ඇතැම් මොහොතක , වැරදී ඇත්තේ අපටදැයි සැක සිතෙන තරමටම ආදරයකින් තොර බැඳීම් නමැති උභතෝකෝටිකයෙන් සිත ආකූල වෙයි.  

ඉකිගසා හඩන අතීතයක
 කදුළු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන..... මගේම ආදරයක් තිබුනා.....

හීනෙන් හිනැහි තුන්යම මා රවටා
මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා
නින්දෙන් ඇහැරි කළුවරෙම යලි සොයනා
මට මගේ නොවන ..... මගේම ආදරයක් තිබුනා.....

රිදුමක් වාගේ කිසිදා සුව නොවනා
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා
 උහුලනු බැරිතැන උණු කදුළු වගුරුවනා
 මට මගේ නොවන...... මගේම ආදරයක් තිබුනා.....


බැඳීම් දුකකි. මානසික බැඳුම් එයිනුත් භයානකම දුකය. කායික බැඳුමකින් කෙළවර වී එකිනෙකාගෙන් කෘත පූර්වකව සමුගැනීමේ සදාචාරය හෝ සාධාරණත්වය කතා කිරීම මට අයිති දෙයක් නොවේ. එහෙත් ආදරයම යැයි වචනෙන් කියා ගත නොහැකි , රෑ නින්දෙන් සිහිවෙන , උපදිද්දී මිය යද්දී දහස් වර හමූවූවාට හෝ නොලැබුනාට පසු තැවෙන වේදනාකාරී බැඳුම් රැසක මතක අප කාගේත් සිත් අස්සේ තවමත් නිදා නොනිදා සැරිසරන බව නොරහසකි.  

හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙලා හස රැහැනින්
පෙළයි මා, මුදා සුව දැහැනින් //

සයුර ඉම රත් සිතිජ රේඛාවේ
මියෙන හිරු සේ ගිලී ගිම් අඳුරේ
තලා මා සිත පලා ගිය ඔබ
දවයි මා….හද, තනිවෙනා මොහොතින්

උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්
සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
ඉනූ කඳුලද සිඳෙන්නට පෙර
යදින්නම්…. ඔබ, මැකී යනු මතකෙන්


මෙලොව හැරයා නොහැකි බැඳුමක් නැත්තේය. ජීවිතයේ මේ මොහොතෙන් එපිට මතු යම් මොහොතක යා යුත්තේමය. එහෙත් වචනයෙන් කිසිදා කියා නිම කළ නොහැකි හැඟුම් සමුදායක් සමග දිවා රෑ , යන එක කොතැනත් ගනුදෙනු කරන මතකයන් සුවයකට වඩා වේදනා සහගතම වෙයි. මතකයෙන් නොයන්නේ එබඳුම වූ සාංසාරික වශයෙන් ඉවර නොවූ ගනුදෙනු යැයි සිතෙයි. 
ජීවිතය සමග පොර බැදිය යුතු නොවේ. ජීවිතයට යා යුතු ඕනෑම මගක යන්නට දී නිහඬ විය හැකි නොවෙයි. එහෙත් මතකයත් සමග ආකූල නොවී ජීවත් වනු උදෙසා , මරණයත් සමගද සිනහා විය හැක්කේය. මතකය්න් ලුහුබැඳ එද්දී පලා යනු වෙනුවට සඳට වෙඩි තබා මරණයත් සමග සිනහා විය හැකි වේනම් ... සියලු බැඳුම් අතැර වන ගත නොවූ , හිපි හදවතකට තවමත් ගහකොළටත් මහපොළවටත් එයින් මතුකොට හදට දුන් සියලු රිදුම් කෙරෙහිත් පෙරලා ආලය කළ හැක්කේය. 
ලුහුබඳින්න මා ..ලුහුබඳින්න
අවි තුඩකට බෑ මතකය නසන්න ..

රාත්‍රියට ඇහැ තියන්න
හඳට ඕන නැහැ ලියන්න
ඔබට ඕනේ අඳුරම නම්
හඳට ඉලක්කය අරන් වෙඩි තියන්න
අඳුර එක්ක හිනා වෙන්න

කුරුල්ලෙකුට පියාඹන්න
ඕනැ වෙයිද කියා දෙන්න?
ඔබට ඕනේ මරණය නම්
හඳට ඉලක්කය අරන් වෙඩි තියන්න
මිය යන විටදී හිනාවෙන්න   

ජීවිතය නම් ප්‍රහේලිකාව විසඳිය නොහැක්කේය. කොතරම් සමීකරණ ආදේශ කළද , ඇතැම් විචල්‍යයන්ට දිය හැකි පරිමිත අගයක් නැත්තේය. එහෙත් ඒ විචල්‍යයන් නොමැති කල්හි සමීකරණයෙහි කිසිදු ප්‍රමිතියක්ද නැත්තේය. 

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->