Monday, August 29, 2011

[200] උදව්වක් ... ඇත්ත කතාවක් සහ අකරතැබ්බයක් !

තරිණියි ශාන්තයි ආයෙමත් කුලී ගෙවල් හොයා යන්නට වුනා.. ඉරිද පත්තරේ.. ඉන්ටනෙට් එකේ, අඳුනන්නන්ගේ පණිවුඩ... ඔය හැම විදියටම.. ශාන්තට වඩා තරිණිට මේක බරක්.. ලබන මාසෙන් පස්සෙ ?? ආයෙමත් බඩු ඇදිල්ල.. ආයෙමත් අස් කෙරිල්ල.. ශාන්ත හිටියට , බඩු ඉස්සිල්ල , තැබිල්ල ඇරුනම ඉතුරු කොටසට එයා දායක වෙන්නෙ නෑ. ඒ ටික තනියම කරන්න එපැයි. ඊට කලින් වාසයට සුදුසු ගෙයක් හොයන්නත් එපැයි.. !!!! රස්සාව, අලුතෙන්ම විවාපත් වූ ජෝඩුවගෙ පරස්සාව සහ ඉගෙනීම් කටයුතුත් සමගම වාසස්ථානයත් මාරු කරන්න වෙනව කියන්නෙ සොරිම තමයි...


එක් ඉරිදාවක තරිණි පත්තරය දිගෑරගෙන පටන් ගත්තා ආයෙමත් පුරුදු කෙරුවාව! කසාදෙන් පස්සෙ කලේම ගෙවල් හොයන එකයි , ගෙවල් බලන එකයි , තැන් මාරු කරන එකයි. ඉන්න නිවෙසට සමුදෙන්න හේතුව වුනෙ ජල ප්‍රශ්නයක්.  සත්තු මැරිල දවස් ගණන් කුණු වෙන වතුර බොන්න කාටද පුලුවන් ...


පදිංචි නිවෙසට කිලෝමීටර කිහිපයක් යාබදවම මාලබේ ඉසවුවේ ගෙයක් ගැන ඔත්තුවකට තරිණි දුරකථන ඇමතුමක් ගත්තා...


"හෙලෝ, මේ _____ පත්තරෙ දැන්වීමට කතා කරන්නෙ"


"ඔව් කියන්න"


"මම තරිණි.  ඇසිස්ටන්ට් බෑන්ක් මැනේජර් කෙනෙක්, මහත්තය නේවි එකේ. අපිට මේ තැන ගැන පොඩි විස්තර ටිකක් කියන්න පුලුවනිද?"


වියත් ඉන්ගිරිසියෙන් අමතන එක, බැංකුවක පරිපාලන නිලධාරිණියක් වූ තරිණිට අමුතු දෙයක් නොවෙයි.ගේ ගැන ඇහුන විස්තර ටිකත් ගුණදායකයි. කුලියත් පහසුයි. මහපාරටත් ඉතාම සමීපයෙන්. වෙන මොනවද ඕනෙ ඉතින් !




"හොඳයි මිස්ටර් රණසූරිය, මම මහත්තයත් එක්ක එන්නම් ඉක්මනින්ම, එතකල් මෙතැන ගැන අවසන් තීරණයක් නොගෙන ඉන්නවද? "


"ම්ම් මෙහෙමයි තරිණි , අපි ගෙවල් දෙන්නෙ හොඳට හොයල බලලා. ඇත්තෙන්ම මේ අපෙ පරණ හිටිය ගෙදර. ඊට එහායින් තමයි අපෙ අලුත් ගෙදර ඒ ලැන්ඩ් එකෙම තියෙන්නෙ. ඉතින් අපි හුඟල් සිලෙක්ටිව්. ඔයාල කවුද කින්ද මන්ද අපි දන්නෙ නෑනෙ. ටිකක් ඔයාලව රෙකමෙන්ඩ් කරන්න පුලුවන් කවුරු හරි ඉන්නවද?"


ඇත්ත. අද කාලෙ කොහොමද කෙනෙක්ව විස්වාස කරන්නෙ. තරිණිට දැනුනෙ තරහක් නෙවෙයි සතුටක්.


" මිස්ටර් රණසූරිය, අපි ගේ ගන්න ඩිසයිඩ් කලොත් මට පුලුවන් මගෙ බැන්ක් එකෙ කෙලින්ම මැනේජින් ඩිරෙක්ටර්ගෙන්ම ලියුමක්, එහෙම නැතිනම් කෝල් එකක් දෙන්න. මගෙ මහත්තය නේවි එකෙ. එයා ___ ඇමති තුමා එක්ක කෙලින්ම ඩීල් කරන ජොබ් එකක් කරන්නෙ. එයා ලව්වම රෙකමෙන්ඩේශන් එකක් දෙන්න හැකි. ඇත්ත මේ කාලෙ කොහොමද කෙනෙක්ව විස්වාස කරන්නෙ. ඔයා හරි"


තත්පර කීපයක් ගත වුනා.


"නෑ.. නෑ.. මට තේරෙනවා ඔයා කතා කරද්දිම. ගොඩක් වැදගත් කපල් එකක් බව. ඔයාල එන්නකො. ඇවිත් බලන්න. අපිටත් ඕනෙ ඔය වගෙ වැදගත් අය. අපෙ දුවටයි පුතාටයි පරිස්සමෙන් ආශ්‍රය කරන්න පුලුවන් හොඳ යන්ග් දෙන්නෙක්."


"ආ අන්කල්.. අපි එන්නම්"


තරිණි ටෙලිපෝනය තිබ්බෙ සන්‍තෝසෙන්. එදා හවස ශාන්ත ගෙදර එද්දිම , තරිණි ඉල්ලුවා , එන අතරමග තියෙන මේ ඉසව්ව දිහා බලාගෙනම එන්න කියලා... එයා පිට තාප්පෙන් තැන බලල ගෙදර ආවෙත් හරිම සතුටෙන්.


"ශා බබා. එතන නම් හරිම ශෝක්. ඔයාට වැඩට යන්නත් ලේසි. හරිම සේෆ් වගෙ"


දෙන්නටම හිතුනෙ ප්‍රශ්නෙ විසඳුනා කියලයි.


~"""~
දවස් ගත වුනා.. තරිණියි ශාන්තයි අලුත් ගේ පොඩ්ඩට බොහොම සතුටු වුනා.. රණසූරිය ජෝඩුවත් අඳුනගත්තා.. රණසූරිය අන්කල් ආයෙමත් දින කිහිපයකට පස්සෙ තරිණිට කෝල් එකක් ගත්තා.


"ආ තරිණි, දැන් හරි නේද, එහෙනම් කවද්ද ඇග්‍රිමන්ට් සයින් කරන්නෙ? "


"හරි අන්කල්.. අපි එදා කන්ෆර්ම් කලා වගෙම කරමු.ප්‍රශ්නයක් නෑ "


"ඔයාල දෙන්නා තාම ජීවිතේ අලුතෙන් පටන් ගන්න කපල් එකක්නෙ. ආන්ටිත් හරි සතු‍ටුයි ඔයාල එනවට. ඔයාල අවුරුද්දක ඇඩ්වාන්ස් හොයන්න ඕනෙ නෑ. අපි හිතුවා මාස 6ක විතරක් ගන්න. "


තරිණිට දැනුනෙ කිව නොහැකි සතුටක්...


"අනේ අන්කල්.. ගොඩාක් ස්තූතියි. අපි වාහනේටත් සල්ලි හිරකරල උන්නේ.ලොකු උදව්වක් අන්කල්... "


" ආ ඒක මොකක්ද... ඔයාල හැදෙන ලමයිනේ...තරිණි ඔයා කොහෙද ඉස්කෝලෙ ගියෙ? කැම්පස් ගියාද? ශා ඔයා හරිම ෆෝවඩ් කෙල්ලෙක්නේ තරිණි.. මගෙ වයිෆුත් හරියට ඔයාට පැහැදිලා.. "


"මම කැලණියෙ කැම්පස් අන්කල්. ගම ගාල්ලෙ. හෙ හෙ. මම බැංකු රස්සා කලාට __සර්ගෙ ගෲප් එකෙ ඩාන්සර් කෙනෙක් අන්කල්. ‍ෆ්‍රීලාන්ස් සින්ගින් ඇන්ඩ් චෙලෝ ප්ලේ කරන්න ටීච් කරනවා. මගෙ ක්ලාසසුත් කරන්න අන්කල්ලගෙන් පර්මිශන් ගන්නයි උන්නේ. ආ අන්කල් ශාන්තත් ඔහොම හිමිජ්ජා වගෙ උන්නාට එයා පී එච් ඩි එකකට රෙජිස්ටර් වෙලා ඉන්නේ.. හේ හේ.. "


" හානේ.. හැබෑට!!! ඒත් මට හිතුනා... දැක්කම... .....  ශා ඔයා මාරයිනේ ...මාර කෙල්ලෙක්නේ ඔයා දෙයියනේ.. බැංකු කාරියෙක්ට කොහෙන්ද ඔය වගෙ වෙලාවක් තියෙන්නෙ ආ... "


අන්කල් ගෙත් තරිණිත් අතර ඇති වුනේ නිහැඬියාවක්... නිහැඬියාව තරිණිට දෙයාකාරයකින් ඇල්ලුවෙ නෑ. එකක් බැංකු වෙලාවෙ අනවශ්‍ය දිග කෝල් ගන්න එක ප්‍රශ්නයක්. අනික වල්පල් කියවන්න වෙලාව නෙමෙයි ඒක. අනික අන්කල් සමග පළමු කෝල් එක අරන් සම්බන්ධ වුනේ තරිණි උනාට , ඉන් එහා ගනුදෙනු හැකිතාක් ශාන්ත සමගම කෙරෙන්න අවස්ථාව දෙන  එක යහපත් කියා තරිණිට නිකමට සිතුන නිසා. තරිණි ඉක්මනින් හඬ අවධි කලා.


" අන්කල් ... මාව හම්බ වෙන්න කස්ටමර්ස්ලා කීප දෙනෙක් බලාගෙන ඉන්නේ. ටිකක් බිසිනේ. දන්නවනේ බැංකු. අන්කල් ශාන්තට කෝල් කරන්න, හදිසි ඕනෙ වෙලාවක, දන්නෙ නැද්ද, මේවායෙ කෝල් ආන්සර් කරන එකත් අමාරුයි බිසි අවර්ස් වල, මෙන්න අන්කල් නම්බර් එක ශාන්තගෙ... 077........ "
තරිණි එක හුස්මට කියාගෙන ගියා...


"ආනේ සොරි තරිණි... හරි හරි.. මන් කෝල් කරන්නම්. හරි එහෙනම් අපි හම්බ වෙමු... ඔයා ඕනෙ ක්ලාස් එකක් කරන්න තරිණි ගෙදර..අපෙන් ප්‍රශ්නයක් නෑ....හරි එහෙනම් ...බායි"


"ඕකේ අන්කල්... තැන්ක්ස් වෙරි මච්..."
තරිණි නොසන්සුන් හැඟීමෙන් ඒත් ප්‍රසන්නව කතාව නිමා කලා.  ඒත් හිතේ පොඩි අප්‍රසාදෙකුත් දැනෙන්නට වුනේ කටපුරා 'අන්කල්' කියා ඒ මහලු මිනිසාට අමතද්දීත් ඔහු එක වතාවක්වත් 'දුව' කියා නොකියූ නිසා වෙන්න ඇති.




~"""~ 


කාලය ගත වුනා. තරිණිලා රණසූරිය අන්කල්ලගෙ ගෙදර තැන්පත් වුනා. ඔය අල්ල පනල්ලෙම ශාන්ත තීරණය කලා කාරෙක විකුණන්න. දැන් ඉතින් මාස කීපෙකට තරිණිලාට කාරෙකක් නෑ. රණසූරිය අන්කල් එතෙන්දිත් පිහිටට ආවා. අන්කල්ගේ ගෙදර වාහන තුනක් තිබුනා. එකක් අති සුඛෝපභෝගී එකක්. අනෙක් දෙකම පැරණි කොරොල්ලා වැගන් මොඩ්ල් දෙකක්. එකක් ආන්ටිගෙ වාහනේ. අනික තියන් ඉන්නෙ ලොකු පුතාට දෙන්න. ලොක්කා ඉස්කෝලෙ 13 වසරේ උන්නේ.


"තරිණි, ශාන්තට කියන්න හදිසියක් වුනොත් හෙම කුලී වාහන හොයන්න නම් ඕනෙ නෑ. මේ එකක යන්න කියලා."


"ආනේ අන්කල්, තැන්ක්ස් සෝ මච් ..."
තරිණි සහ ශාන්ත කිව්වේ හදවතින්ම පින් දෙමින්.


තරිණිටත් ශාන්තටත් ශාන්ත කාලයක්ම උදා වුනා. රණසූරිය පවුල ඔවුන් දෙන්නට ලෙන්ගතු වුනේ දෙමාපියන් වගේ.


තරිණිත් ශාන්තත් උදේ නැගිට්ටාම තේ හදන් පැයක් විතර එලියෙ පඩියේ ඉඳගෙන කතා කර කර තේ බොනවා.. රණසූරිය අන්කල් , තරිණිගෙ රෝස පාට නයිටිය උන්ඩි වුන කකුල් දෙක දිහාබලා ගෙන ඉරිසියාවෙන්දෝ මන්දා දවසක් උදේක මෙහෙම කියනවා,


"අනේ අප්පා, මුන් දෙන්නා අවුරුදු 16-17 ලවර්ස්ලා දෙන්නෙක් වගෙනෙ ලව් කරන්නේ."
කියලා... ඉක්මනින් කකුල් දිග හැර නයිටියෙන් පතුල දක්වාම වසාගත් තරිණි නුරුස්නා බැල්ම සමග අහක බලා ගනිද්දී ශාන්ත ශාන්ත ලෙසම සිනා වුනා...


තරිණි දෙන්නගේම කෝප්ප දෙකත් අරන් නැගිට්ටෙ නොසන්සුන් සිතෙන්...


'ශාන්ත තරිණි කොහොමද දැන් වැඩට යන්නේ??'


අන්කල් බොහෝම දයාවෙන් විමසද්දී ශාන්ත පිලිතුරු දුන්නා.


"බස් එකේ තමා අන්කල්. තාම හොඳ වාහනයක් සෙට් වුනෙ නෑනේ.. "


"ම්ම්ම්... අපෙ අනික් කාරෙක ගැරිජ් දාලා. ඒක හැදුනම ඔයාල අලුත් වාහනයක් ගන්නකල් ඒක පාවිච්චි කරන්න. ආන්ටි නම් කලින්ම යනවනේ... ලොකු දෙන්න එක්කගෙන. මම යන්නෙත් තරිණි යන වෙලාවටනෙ. එයාට පුලුවන් මා එක්ක යන්න"


රණසූරිය අන්කල්ගෙ හඬ තුල තරිණි මොකක්දෝ අකැමති සඥාවක් දැක්කා.. ඒත් ශාන්තට එහෙම නොහිතුනු හැඩයි...


"ආනේ තෑන්ක්ස් අන්කල්...__"


තරිණි තුවායත් කරේ දාගෙන කඩිමුඩියේ එලියට ආවේ නර්තනයෙන්ම උපන් රඟපැමේ උපරිම හැකියාවම දාලා, අපූරු අහිංසක මූණක් හදාගෙන.


'අනේ අන්කල්. ශාන්තගෙන් අහන්න්කෝ මට ලෑස්ති වෙන්න යන වෙලාව ..හී හී අන්කල්ට අනිවාර්යෙන් පරක්කු වෙයි. මන් එක වෙලාවකට ලැස්ති වෙන්නෙ නෑ. අන්කල් යන්න'
දත්සෙට් එක එලියෙ දාගෙන හිනා වෙමින්, ඇතුලෙන් තරහින් පුපුරමින් තරිණි කිව්වේ ශාන්තට තේරේවා කියා පතමින්..


'ඉතින් බබා දැන් දුවන්නකෝ.. ඉක්මනට ලැස්ති වෙන්නකෝ... හා හා... අන්කල් එක්ක යන්න. බස් එකෙ යන්නෙ මොකටද'
කියමින් ශාන්ත කියනවිට තරිණිට ආව තරහ නම් කියල වැඩක් නෑ.


"අනේ මෙහෙමත් පිස්සෙක්.. තමුන්ගෙ ගෑනිව යවන්නෙ අනුන්ගෙ වාහන වල. අපිට වාහන නැතිනම් බස් එකෙ යනවනෙ. මොටද අනුන්ගෙවාහන. ඒ මදිවට අහල පහල ඉන්නෙ මේ ගොල්ලො අඳුනන අය. ඒ මිනිස්සු මොනව හිතාවිද. හනේ මගෙ මිනිහට මොලේ නැද්ද..."


මේ වගෙ දේවල් වල එච්චර සාම්ප්‍රදායික පැත්ත නොබලන තරිණිම මෙච්චර සුලු දේකට මෙතරම්ම අකමැති වෙන්නෙ, ඒ පුද්ගලයාට තිබෙන අකැමැත්ත නිසා බව ඈටම වැටහුනා...


දැන් ඉතින් මක් කරන්නද? ලෑස්ති වෙලා එලියට බහිද්දිත් වෙනද වගෙම ශාන්තගෙ නලල සිඹලා තරිණි එලියට බැස්සේ හරිම අකැමැත්තෙන්...


"එන්න තරිණි"
බොහෝම ගෞරවයෙන් ඉදිරිපස දොර ඇරලා තරිණිව නග්ග ගත් රණසූරිය මහත්තයා පාරට ඉගිලෙද්දී තරිණි අසරණව වීදුරුවෙන් හිස එලියට දමා ශාන්තට අත වැනුවා...


"ඉතින් තරිණි... කොහොමද?"


අන්කල් ඉතාමත් ලෙන්ගතු බැල්මක් පාමින් වාහනය පදවමින්ම කතාවක් පටන් ගත්තා.. කන්‍තෝරු ෆයිල් මිටිය මත දෑතත් බැඳගෙන පිලිමයක් මෙන් නිසලව, දොරට ඇලීගෙනම වාඩිවී හිටි තරිනි දැඩි බැල්මෙන් මඳ සිනා වුනා...


"ඉතින් කියන්නකො ලමයො , කොහොමද ඔය දෙන්නා මීට් වුනේ... "


තරිණි කාරුණික බැල්මෙන් ශාන්තගෙත් තමන්ගෙත් ආදර අන්දරේ අතීතයට ගියා.. නොරුස්නා හැඟුම් පහවෙන්නට වුනා.. කැම්පස් යන කාලෙදිම කැම්පස් එකේ ආරාධිත දේශනයක් වෙනුවෙන් සංවිධාන බර කරටගත් තරිණි සම්බන්ධීකරණය කරමින් නාවුක සෙන්පතියාණන්ගේ දෙවන සහයකයා වූ ශාන්ත සමග ලංවූ පෙම්පුවත ඉතා සැකෙවින් කියන අතරතුර අන්කල් අනපේක්ෂිත අතුරු ප්‍රශ්නයක් නැගුවා...


"ඔයාල බැඳල කොච්චර කල්ද?"


ආයෙමත් නොසන්සුන් වෙන හිත සන්සුන් කරමින් තරිණි උත්තර දුන්නා


"මාස 6 යි අන්කල්"


තරිණි වටපිට බැලුවා.. දෙවියනේ... අන්කල් බැංකුව ගාවටම මාව ගෙනත් දාලා... !

"අනේ අන්කල් සොරි, ඔයා මේ රූට් එකෙ නෙමෙයි නේද යන්නෙ ? වෙරි සොරි, මටත් අමතක වුනා.. අන්කල් අනේ මන් මෙතනින් බහින්නම්. අන්කල්ටත් පරක්කුයි. මම හිතුවෙ අන්කල් මාව හන්දියෙන් බස්සාවි කියලා. කරදර වෙන්න එපා. මන් මෙතනින් බහින්නම්"


අන්කල් කෙසේ වෙතත් තරිණි කලබල වුනා. බැංකුව ඉදිරි පිට අනුන්ගේ වාහනේකින් බහින්න තරිණිගෙ කොහොමත් කැමැත්තක් නෑ. ඈ ඒ බැංකුවෙ විධායක නිලධාරිණියක්.


"අනේ තරිණි , අවුලක් නෑ. මන් අද ටිකක් කලින් ආවෙ. මට මෙතනින් ශෝට් කට් එකක් තියනවා කඩුවෙලට. ඒක නෙමෙයි, ඔයාවගෙ ලස්සන කෙල්ලෙක්ට ශාන්ත වගෙ ගොඩාක් වැඩිමල් කෙනෙක් කොහොමද අප්පා සෙට් වුනේ.. අපී තරුණ කාලෙ මන් ඔය වගෙ සීන් වලට කියන්නෙ තැඹිලි ගෙඩි වල වහපු නාකි කපුටො කියලා"


"උඹ තමයි නාකි කපුටා"
තරිණි හිතෙන් එහෙම කියමින් දත්මිටි කෑවා...


"අනේ අන්කල් මොනවද මේ කියන්නේ. ශාන්ත මට හරිම ආදරෙයි. එයා පොඩි බබෙක් වගේ. දැක්කනේ අපි බිත්ති පුරා ගහල තියන අපේ ලව් ලෙටර්ස්..කාඩ්ස්.අපි දෙන්නා හරී ආදරෙන් ඉන්නේ"


තරිණි බැංකුවට ලංවෙන වාහනේ දැක නොසන්සුන් වෙමින්ම කියලා දැම්මා...


"අන්කල් මාව ඔතනින් බස්සවන්න. ප්ලීස්"


"හරි හරි තරිණි...ඔන්න මෙතනින් ඩ්‍රොප් කරන්නම්... හෙට උදේ ලැස්ති වෙලා ඉන්න එහෙනම් 7ට "
කියමින්ම අන්කල් තිරිංගය තද කලා. බහින්න සූදානම් වුනු තරිනිගෙ අත උඩින් අත තිබ්බ රණසූරිය අන්කල්


"ඕනෙ දෙයක් තියනවනම් මට කියන්න ... අපි ඉන්නව උදව් කරන්න හොඳේ" කියමින් ගැඹුරු බැල්මක් හෙලුවා..


"තැන්ක්ස් අන්කල්"

~'''~

වේගයෙන් අත ඇදගත් තරිණි වාහනෙන් බැස්සෙ අමනාපෙන්. ඒත් මනුස්සකමට සිනහ වූ ඈ කඩිමුඩියෙන් බැංකුවට ගොඩ වුනා.. තරිණි ඒ සිද්දිය හිතෙන් අමතක කරලා දාන්න හිතුවා. ඇයටම වරෙක හිතුනා තමන් මේ බොරුවට බය වෙනවා කියලා...


"මේ මනුස්සයා මගෙ තාත්තගෙ වයසෙ කෙනෙක්. ඇත්තටම මනුස්ස කමටද කවුද දන්නේ"
කියා හිත හදාගත් තරිණි ශාන්තට කෝල් එකක් ගත්තා.


"හෙලෝ බබා. ඔයා ඔ‍ෆිස් ආවද?"


"ඔව් ශාන්ත. අනෙ අර මනුස්සයා මගෙ බ්‍රාන්ච් එක ගාවටම ඩ්‍රොප් කලා. අයියෝ ලැජ්ජාවේ බැ අනේ... ආයෙ නම් මෙතෙන්ට දාන්න එපා කියන්න ශාන්ත. බබා. මම ස්කූල් වැන් එකක් හරි ඔ‍ෆිස් වෑන් එකක් හරි සෙට් කරගන්න බලන්නද?"


තරිණි එයාගෙ අකැමැත්ත නොකියා අඟවමින් ශාන්තගෙන් ඇහැව්වේ දැන්වත් ශාන්තට තේරේවා මගෙ හිත කියා පතමින්...


"ම්ම්ම්.. අපි බලමු බබා. එතකල් අන්කල් එක්ක යන්නකෝ.. ඇයි ප්‍රශ්නයක්ද බබා?"


"නෑ නෑ ශාන්ත. මොනව උනත් අනුන්ගෙ වාහනෙක හැමදාම නැගල යන එක හොඳ මදිනෙ.. නේද.."


එහෙම කියමින් තරිණි සංවාදෙ අවසන් කලා... ඒ විතරක් නොවෙයි, කෙනෙක් තරිණිගෙ අත ඇල්ලුවා කීමත් ශාන්තට යක්ශාවේශ වෙන්න ප්‍රමාණවත් බව තරිණි දැන හිටියා.. ශාන්තගෙ ආදරය සහ හදිසි කෝපය කොතරම් බලවත්ද දන්නා තරිණිට දැනුනෙ අනාගතය ගැන කිව නොහැකි බියක්...


වතාවක, තමන්ට අසැබි විහිලුවක් කල විශ්ව විද්‍යාල සිසුවෙකුට පල කළ ශාන්තගේ හදිසි කෝපයේ ප්‍රතිපල වශයෙන් සිසුවාට නවතින්නට වූයේ රෝහලකයි...ඔහු බලවත් නාවික නිලධාරියකු වූ නිසාත් එහි වරද අනෙකා අත වූ නිසාත් සිද්ධිය එතරම් දුර ගියේ නැහැ. කෙසේ වෙතත් ඒ සිද්ධියෙන් පසුව තරිණි බොහෝ ප්‍රවේසම් වූවා. නොමනා මිනිසුන්ගෙන් අතවර විඳ ශාන්තට කියා කෝප ගන්වනවාට වඩා තරිණි කළේ අනතුරෙන් ඈත් වෙන එක.


මේ කාරණාව නිසාම කාලයාට ඉඩදී ඉවසන්නට තරිණි තීරණය කලා. 'මම බොරුවට බය වෙලාද කොහෙද' තරිණි හිත සැහැල්ලු කර ගත්තා... 'කෝකටත් අතේ දුරෙන් උන්නම හරි'


පසුවදාත් උදාවුනා.


"තරිණී...ඉක්මන් කරන්න... අන්කල් ආවා.... ඉක්මනට එන්න බබා. අන්කල්ට පරක්කු වෙනවා... "


තරිණි ඉහල මාලයෙ ඉඳන් ආවෙ අකැමැත්තෙන්. ඒත් මොනව කරන්නද.. අන්තිමට ඉන්න ගෙයිනුත් දොට්ට දාවි... ඒත් මෙහෙම බල කරන්නෙ ඇයි ? අසරණ හැඟීමෙන් තරිණි එලියට ආවා...


"මොකෝ තරිණි උදේම මැලවිලා..?"


රණසූරිය අන්කල් ජැන්ඩි පහට ඇඳන් ඉන්න තරුණ පහේ ශර්ට් එක දැක්කම තරිණිට යටි හිතෙන් හිනා යන්නත් ආවා...


නාකි මනමාලයා !
තරිණි හිතුවෙ එහෙම... ශාන්ත එදත් ශාන්තවම බලා උන්නා...


"ඉතින් තරිණි... ඊයෙ පරක්කු උනෙ නෑ නේද? "


අන්කල් කතාවට මුල පිරුවා..


"නෑ අන්කල්...  අනේ අන්කල් අද ඔ‍ෆිස් එක ගාවට එන්න ඕනෙ නෑ... මාව මගින් බස්සන්න... අන්කල් කරදර වෙන්න එපා... "
තරිණි ඒ ටික කිව්වේ, අන්කල්ගේ ලිෆ්ට් එක තමුන්ට කරදරයක් බව නොකියා කියමින්ම....


"අයියෝ ළමයො, ඕක මොකක්ද... මේ ඒක නෙමෙයි.. ශාන්ත නයිට් ඩියුටි ගියාම ඔයාට ඔය ගෙයි අස්සෙ ඉන්න බය නැද්ද ආ? ''


අපි නොදන්න චෙස්... !
තරිණිට ගණදෙවි නුවන ආවා....


"තනියම? පිස්සුද අන්කල්... මම තනියම නෙමෙයි ඉන්නෙ. මගෙ කසින් සිස්ටර් කෙනෙක් එක්ක. ඇයි අන්කල් දැක්කෙ නැද්ද එයා එනවා.. එයා ඉන්නෙ සිලෝන් ශිපින් එකෙ..."
තරිණි උදේම බේගලයක් ඇදබෑවා...


"ආ එහෙමද? ඔයා මොකක් හරි ප්‍රශ්නයක් වුනොත් මට කෝල් එකක් දෙන්නකො"
එසේ කියමින්ම ගියරය මාරු කරමින් ඔහු වෙන කතාවකට අවතීර්ණ වුනා..


"තරිණිට කැම්පස් එකෙ කොල්ලෙක් හිටියෙ නැද්ද? ඔයා හරි මල්ටි ටැල්න්ටඩ් කැ‍රැක්ටර් එකක්නේ.. ශා... මට නම් හරි ආඩම්බරයි ඔයා ගැන.. "


"නෑ අන්කල්..."
තරිණි මඳ සිනාවෙන් බිම බලා ගත්තා...


"ඒ වුනාට කොල්ලො දාස් ගානක් පස්සෙන් නම් එන්න ඇති නේද? තරිණි මේ පාර ට්‍රැ‍ෆික්. මම අතුරුගිරිය පාරට දාල ගියාට කමක් නෑනෙ..."

"කමක් නෑ අන්කල්. ඒත් අන්කල් ඔයා මේ ඕෆ් රූට් මාව ඩ්‍රොප් කරන්න එන්න ඕනෙ නෑ.."


තරිණි දැඩි එහෙත් කාරුණික බැල්මෙන් කියාගෙන ගියා..


"අයියෝ ඕක මොකක්ද ලමයො..."


එසේ කියමින් අන්කල් ඒ වැහැරුනු අත තරිණිගෙ අත උඩින් තිබ්බා,තිබ්බා මෙන්ම අත තමුන්ගේ බාහුව දෙසට ඉහලට ඇදී එන්නටත් වැඩි වෙලාවක් ගත වූයේ නැහැ..


තරිණිගෙ කන් දෙකින් ගිනි පිටවෙන්නට වුනා.. අසරණකමත් , බියත් , කෝපයත් , දුකත් මිශ්‍ර වූ කලබලයකින් තරිණි ඈත් වෙන්නට උත්සහ කලා..


අන්කල්... මේ...


කිසිත් කියා ගත නොහැකිව තරිණි අසරණ කමින් අත ඉවතට ගන්න උත්සහ කළා.

ගොනා හැරුනෙ කෙහෙල් පැලේට.. මම හිතුව හරි..
තරිණිට දැනෙන්නට වුනේ නොකිව හැකි කෝපයක්.. ආවේගයක්..
දෑත පුපුරු ගසන අයුරෙන් තරිණිට හිතුනෙ මහ පාර කියල බලන්නෙම නැතුව කණේ පාරක් දෙන්න...


"තරිණි.. ඔයා වගෙ ලස්සන කෙල්ලෙක්... __"


සිය අත ඩැහැගන්නට මාන බලන අත පමණක් නොවෙයි,  ශරීරයටම මාන බලන ඇස් දෙකෙනුත් මෑත් වෙමින් ,  මේ ඇඹලයාගේ වමත විතරක් නෙමෙයි ,  අනෙක් අතත් සුක්කානමෙන් අතැරිලා යන්න පහරක් දෙන්න ඕනෙ වුනත් ,තරිණිට දෙපාරක් සිතන්නට සිදු වුනා... මිනිහා මට මීට වඩා කරදරයක් කළොත් !!! තරිණි බියෙන් සලිත වුනා.. ශාන්තගේ කෝප සහගත මුහුණ, කුලී ගෙවල්, මේ හැම දෙයක්ම ඈට මැවී පෙනුනා එක මොහොතක් තුලදී.. හදවත නොව දෙවියන් දුන් මොළය පාවිච්චි කළ යුතු අවස්ථාවක් එලඹ ඇති බව ඈට වැටහුනා.තරිණි ආයාසයෙන් කෝපය මැඩ ගත්තා...


"අන්කල්... මේ ඉස්සරහින් මාව බස්සන්න..."
ඔහුගේ මුහුන නොබලා තරිණි තිර හඬින් කිව්වා...


'ඇයි තරිණි..ඉන්න මම ඔ‍ෆිස් එකට දාන්නම්.. බහින්න එපා ලමයො'


තරිණි ගමන් කරන වාහනේ දොර ඇරියෙ ඕනෙ එකක් වෙන්න කියල හිතාගෙන. මෙතන ආව අතපත ගාන්න ! හහ් !!!


"අන්කල් මාව බස්සන්න! "
එවර තදින් ඒ වචන කියවෙද්දි ඊට මොහොතකට පෙර ඉහල ආව සිතුවිලි වල එතී තිබුන,  ගෙවල් සෙවීම , ශාන්තගේ අති දරුණු කෝපය වගෙ සාධක මොහොතකට යටපත් වුනා...


"ඉන්න ඉන්න.. ළමයො..මොකද මේ.. "


තවමත් හුරතල් වෙන්නට හදන මහලු සල්ලාලයාගෙන් මිදී තරිනි ගමන් කරන් වාහනයෙන්ම එලියට අඩිය තැබුවා...


හෙමිහිට නතර වෙන වාහනය මහ මග රිය පෙල මැදදීම, හරි හැටි නවතින්නටත් පළමුවම සිය ෆයිල් මිටියත් බැගයත් තරකොටගෙන , පාර මැදම එලියට බට තරිණි බසයකට අත දිගු කලේත් අසිහියෙන්... ගැහැණියක් මෙතරම් අසරණ වෙනවාද?


නැගෙන කඳුලු සෙමෙන් වාවාගත් ඈ බැංකුවට ගොඩ වූයේ ‍තෝන්තුවාවෙන්...


කියාගන්නට නොහැකි අසරණකමකින් හිත පෙලද්දි ඇගේ ජංගම දුරකථනයෙන් කරකැවුනේ ශාන්තගේ නොම්මරය .ඒත් අංකය යලිත් විසන්ධි කල ඈ තවත් නොම්මරයක් කරකැවුවා..


~``~


'දිල් අක්කා....'


උදේ පාන්දරම තරිණිගෙන් කෝල් එකක්. නෝ ජොබ් කොම්පෑනියෙ නිසා මම එවෙලෙත් ඈඳේ...


" ආ තරිණි නගෝ.. කෝමද.. හෆ්ෆා.. මොකො මේ උදේම කෙල්ලගෙන් කෝල් එකක් මට .. හෑ?? "


"අක්කේ.. "


තරිණිගේ ස්වරයේ අසරණකමින්ම මට කුමක්දෝ දෙයක් වැරදී ඇතැයි සිතුනා..


"ඇයි නගෝ... මොකද ප්‍රශ්නේ... ශාන්තවත්... එක්ක ප්‍රශ්නයක්ද??? ''


මම බොහෝ අපහසුවෙන් වචන කීපයක් ගලපගත්තා...


"අනේ නෑ අක්කේ. අක්ක දන්නවනේ ශාන්තගෙ ප්‍රශ්නයක් නෑ.. කුලි ගෙදරයි අවුල..."


"ඇයි නගෝ..අලුත් ප්ලේස් එකක් නේද ඔය ?.මට කියන්නකො.. අඬන්න එපා.."


තරිණිගෙ කතාව අහගෙන උන්නු මට සුසුමක් හෙලුවේ මේකට විසඳුමක් කියල කියන්න පුලුවන් මොකක්ද කියා ගන්න බැරුව...


අන්තිමේ මම හිතේ වද දුන්නු ප්‍රශ්නෙම ඇහැව්වා..


"නගා දැන් මේක ශාන්තට කියනවද?"


"අනේ අක්කේ... "


තරිණිට ආයෙත් ඇඬෙන්න ලඟයි..


"නෑ ..අක්කේ.. ශාන්තට මේක කිව්වොත් අර මිනිහගෙ අත කපනවා. ශුවර්. අක්ක දන්නවනෙ ශාන්ත මට කොච්චර ආදරේද කියලා.. වෙන මිනිහෙක් ඔහොම කලා කිව්වොත් හෙම මරාවි ඒ මිනිහව. අක්කට මතකනේ කෑම්පස් ප්‍රශ්නෙ?? ශාන්තට මාව විස්වාසයි... ඒත් මේක ලොකු ප්‍රශ්නයක්නෙ අක්කේ. බදු ගිවිසුම් ලියල සති තුනක් ගියෙ නෑ. ආයෙ ගෙවල් ප්‍රශ්න. ගෙවල් හොයන්න ලේසි නෑ.. බඩු අදින්න... දුක් විඳින්න... හපෝ..බලන්නකො අක්කෙ.මේ නාකි සල්ලාල ප්‍රශ්න... ශාන්තට කියන්න බෑ අක්කෙ... ඒත් මේකට මොකක් හරි කරන්නම ඕනෙ... "


මම මොහොතක් කල්පනා කලා.. අනේ දෙවියනේ තාත්තගෙ වයසෙ මිනිස්සු ! ගෑටවර ඉලන්දාරි ඉන්න තාත්තල නේද මේ ???


හ්ම්ම් ඔව් නන්ගි.. ප්‍රශ්නෙ මට තේරෙනවා... ඒත් .. අනේ මන්දා.. පරිස්සමෙන් කරන දෙයක්... බයේ බැහැ
... මේ මිනිහ මොකාට ද එන්නෙ කියල ආයෙ අහන්නත් දෙයක් නෑනෙ... නේද? තනියම නම් කීයටවත් ගෙයි ඉන්න එපා.. ඇතුලෙන් ලොක් තියනවද ගෙයි දොරවල? නැතිනම් හයි කරව ගන්න .. ඉක්මනට ට්‍රාන්ස්පෝට් එකක් හොයා ගන්න... ශාන්තට කියන්න බැංකුවෙ ඈයො විහිලු කලා කියලා  ලිෆ්ට් ගන්න බෑ කියලා... සල්ලි ගියත් කමක් නෑ, ත්‍රිවිල් එකක්වත් ටික දවසකට සෙට් කරගන්න. එක්කො ශාන්තව කලින් ලැස්ති කරවගෙන දෙන්නත් එක්කම යන්න.. එතකොට ලිෆ්ට් දුන්නත් අවුලක් නෑ.. තරහ කරගන්න එපා. ඒත් තනියම මුලිච්චි නොවී ඉන්න... ශාන්තට කියන්නෙ කොහොමද නගෝ මේක??


ඔයාලටවත් තේරෙනවද මේකට මීට එහා මොකද කරන්නෙ කියලා... හැබැටම ?????????

~''''~


නම් සහ ගම් මනංකල්පිතයි.... 


ප.ලි.


මේ මගෙ 200 වෙනි ලියමන....  සංසාරේ අපි නිම්වළල්ල පුළුල් වූයේ ඔබ- අන් කිසිවෙක් නොවෙයි,  මේ මනුස්සකම 50000 වතාවකටත් වඩා යමින් එමින් බෙදා ගත් ඔබ නිසා.... මා අදටත් මේ බ්ලොග් අඩවිය කිනම් වර්ගයේ එකක්දෑයි දන්නේ නෑ. එහි කවි නොමඳව ලියවුනා. ඉස්කෝල ජීවිතේ කතා ලියවුනා.... පොත් විත්ති, ගී විත්ති , චිත්‍රපට ගැන ලියවුනා.. සමන්මලී අක්කගේ විත්ති ලියවුනා... රස්තියාදු ගමන් ගැන ලියවුනා.. ඉතින් මේ ලියමන හොද්දක් වගේ තමයි.... ඒත් මේ හැම තැනකම මට තවරන්න උවමනා වූයේ එක දෙයයි.... මිනිසුන් අතින් ගිලිහුනා සේ පෙනෙන , ඒත් ගිලිහී නොයන මනුස්සකමයි.... අර මට කවි ලියන්න බෑ කියුව මිත්‍රයටත් මට කියන්න තියෙන්නේ 'ටෙස්ටින්ග් 200 ! ටෙස්ටින්ග් 200!' කියලාම තමයි. :-)


වසර එකහමාරක්  (2010 ජනවාරි සිට 2011 අගෝස්තුව තෙක්) මේ මිනිස්කම බෙදාහදා ගනිමින් 50000 වතාවකට වඩා ආගිය , 300 කට ආසන්න මිතුරුදම් තහවුරු කළ, ලිපි දෙසියයකට වඩා කියවා අදහස් බෙදාගත් , ඔබට ස්තූතියි.... 200 වන දිගෑරුම සමග මගේ අන්තිම කැමැත්ත ලියූ විජට්ටුවකුත් දකුණු පැත්තෙ එල්ලන්න අමතක කළෙ නෑ..


Saturday, August 27, 2011

[199] ඒ සාන්තුවර තෙම අතේ වළල්ලක් පැළඳ සිටියේය!


තවත් කතාවක්...

දවස (මතක නෑ)
ඒත් සිද්දිය නම් හොඳට මතකයි...

සිද්දියට සම්බන්ධ අය අඳුනන්නෙ නෑ. වෙලාව : ගිනි මද්දහනේ..


කොල්ලුපිටියෙ එක්තරා අතුරු පාරක ලොරියක් නවත්තලා.. ලොරියෙ ඉදිරිපස කොටස හරියෙ මිනිසුන් දෙතුන් දෙනෙක් බිමට යොමාගත් විමසුම් ඈස් ඈතිව කතා බහක... ලොරියේ පිටිපස දිසාවෙන් ලොරිය කරා, මාවතේ ඈවිදගෙන එන මට හිතුනෙම ලොරියෙ ටයර් එකෙ පෑච් එකක් යන්න ඈති කියලයි. වෙන මොනව බලන්නද ?

හෙමි හෙමීට ලොරිය ලඟටම මම ඈවිදගෙන ආවා... ලංකාවෙ මිනිස්සුන්ගෙ තියන සහජ කුතුහලය මටත් තිබෙන නිසාවෙන්ම මාත් එතනින් පාස් වේගෙන යද්දි පොඩ්ඩක් මූණ දැම්මා.. මම හිතුවා බොහොම වැරදියි.... ලොරියෙ කිසි වරදක් නෑ. ඒත් ලොරිය ස්ටාට් කරලා.. ඒත්.... හිතාගන්න බෑරි දසුනක් මගෙ ඇස් ඉස්සරහා...

බොහෝම දුක හිතෙන දසුනක්. මගෙ පපුව කීරි ගැහිලා ගියා... සිරුරේ එක ලොම් ගසකුදු ඉතිරි නොවූ, ඉතාමත් දුක් සහගත පෙනුමෙන් ,  සමේ ලෙඩකින් මියෑදෙන්නට ඔන්න මෙන්න වැනි , ගැටවර කෙසඟ බලු පෑටවෙක් ලොරිය පාමුල. දෙවියනේ !!! ඔහු සිය දිවි නසාගන්නටයි ලැහැස්තිය ! වාහන වල යට නිදා සිටින සතුන් කොතෙක් දැක තිබෙන මම , දංගෙඩියට හිස තබන්නෙකුට නොදෙවෙනි බැල්මෙන් සහ ආවේගයෙන් ලොරි රෝදයකට බෙල්ල තබා, ජීවිතය සිය කැමැත්තෙන් කෙළවර කර ගන්නට තීරණය කල සතෙකු මා මින් පෙර නම් කිසි දිනෙක දැක නැහැ. !

අහම්බයෙන් නිදා ඉන්නා නොව වාහනය පණ ගැන්වූ මොහොතේ දිව විත් රෝදයට බෙල්ල තැබූ බවම පසක් වන්නේ , උක්කුටියෙන් මෙන් දිගාවී 'අවසන් හුස්ම' හෙලන්නට සූදානම්ව, ඔහු සිටින හද කීරි ගැසෙන ඉරියව්වෙන් !

පෙම්වතිය පිටු පෑවාවත්ද? මව්පියන් අහිමිව අතරමං වූවාවත්ද? රෝගයෙන් දුබල වූ සිරුරේ වේදනාව ඉවසා ගත නොහැකි වූවාවත්ද? සිය ජීවිතයෙන් පලිගන්නට උවමනාව අවේගශීලි තීරණයකට එලඹුනාවත්ද ? එසෙත් නැති නම් ජීවත් වීමෙන්ම වෙහෙසව වෙරෝනිකා මෙන් කෙලවරක් දකින්නට සිතුනාවත්ද?

ලොරියේ අසල වටව සිටින මිනිසුන්ට මෙය විමතියක්! ප්‍රශ්නයක් ! මට වගෙ ,  ඌ මේ වෙලාවෙ මොනව හිතනව ඇත්ද කියල මහ පොලව ගැටලන්න නෙමෙයි ඔවුන්ගෙ උවමනාව උනේ... ඔවුන්ට උවමනාව තිබුනේ එකම දෙයක්, බිහිසුණු මරණයක් මතින් රෝදය පදවා නොගොස් , හැකි ඉක්මනින් සිය ආරම්භ කල ගමන යාම !

අසරණයා නම් මෙය ඉතා හොඳින් සිතා මතා ගත් දැඩි තීරණයක් හැඩයි ! සිය සිත බිඳකිනුදු වෙනස් කොට නොගත් හෙතෙම දෑසුත් පියා ගත්තේ , හද කකියවන දසුන නිසා බොහෝ දෙනාගේ අවධානය එවෙත යොමු කරවමින්...

"දැන් මොකෝ කරන්නේ? ගමන යන්නෙ කොහොමද? මේ ලෙඩ මල්ල අයින් කරන්නෙ කොහොමද බන් මෙතනින් ?"
රියදුරා ඒ මේ අත යමින් කල්පනා කරනවා . විටෙක දුකෙනුත් විටෙක විමතියෙනුත් විටෙක තරහිනුත් ඔහු වික්ෂිප්තව අසරණ දෑසින් අප දිහා බලනවා...

"කෝටුවක් ගෙනෙන්.. "
රියදුරාගෙ අත වැසියා අසල ගසකින් කුඩා හීනි කෝට්ටක් කඩා දුන්නා. වෙන මොනව කරන්නද? ඔහුගේ දෑස් වල ලියවුනෙ එහෙම.

"චීස්! "
කූන් කූන් හඬින් නගන කෙඳිරියෙන් මම යලිත් වසා හුන් දෑස් ඇරියේ ඒ දසුන දරන්නට නොහැකි නිසාවෙන්ම..

එහෙත් පරාජිතයා සිය තීරණයෙහිම එල්බ ගෙන! මියා යා මිස මා මෙතැනින් නොනැගිටිමි... මට මැරෙන්න දීපල්ලා මිනිසුනේ... ඔය රෝදෙ කරකවා නුඹේ ගමන නුඹ පලයල්ලා ! මට 'වධ' නොදී මෙහෙම !!! මට ඉවරයක් වෙන්න දීපල්ලා !

මරණීය චේතනාව කොතරම් බිහිසුණු පවක් දැයි මා ඔහුට කෙසේ වටහා දෙන්නද ? ජීවත් වීමෙන් ඔහු ලද වේදනා කිනම් ආකාරයක ඒවාදැයි , මෙසේ මියෙන්නට තතනන්නේ කිමදැයි ඔහු මට කෙසේ නිදහසට කරුණු පවසන්නද? වටව සිටින කිහිපදෙනාට ඈතින් මාද යන ගමන පසෙකලා මේ දසුන දෙස බලා සිටින්නට වූයේ කිසිවක් සිතා ගත නොහැකිව...

අසල තිබූ පුද්ගලික ආයතනයකින් කොලු කෙල්ලන් පංතියකට පසුව විසිරෙන්නට වූයේ ඒ අතරතුර.. වාහන තදබදයට , දඟලන කෑගසන ගෑටවුන් ගෑටිස්සියන්ගෙ කලබලයත් එකතු වුනේ පරිසරය එකම කලබගෑනියක් කරමින්. එයින් පිටවෙන මේ ලමාලපටි එකා දෙන්නාත් වටවුනේ මෙතන වෙන්නේ මොකක්දැයි බලන්නට.

හිස පොවා බලා යන මේ පිරිස මැද්දෙන් , ඊට වඩා පරීක්ෂාකාරී ඇස් දෙකක් ඉදිරියට පීරාගෙන එන්නට වූවා... හිස පොවා නොබලමින් ඒ ඇස් දෙක බිමටම- ලොරි රෝදයටම යොමා ගත් ඇස් දෙකින් ඉදිරියට පැමිණියේ කිසිත් හැඟීමක් පළ නොකරමින්.

පසෙකින් එල්ලෙන බෑගය පිට මෑද්දට කොට ගනිමින් පහත් වූ ඒ රන්වන් පැහැති දෑත තමා වෙත ඇදී එනයුරු දුටු පරාජිතයා , යලිත් කෝටු පාරක් කන්නට බියෙන් මෙන් දෑස් සහ හිස හකුලමින් රෝද දාරයේ මුහුණත් සිරුරත් සඟවා ගත්තේ බියෙන්ද, ලජ්ජාවෙන්ද අසරණකමින්දැයි මා අදටත් දන්නේ නැහැ.

ඒ රන් පැහැති දෑත් වලින් වැර වෑයමින් ඔසවා ගන්නා ලද පරාජිතයා සෙමෙන් පාර අයිනේ පඳුරක් අසලට ගෙන යන ලදුව , තෑන්පත් වූවා.. බලු පැටවා හීනියට කෙඳිරිලි නගන්නට වුනා.. එය දකිමින්ම එතැන නැවතුනු මගෙ පපුවේ යමක් හිර වෙන්නාක් සේ මට දැනෙන්නට වුනා.. එතනට වටවී උන් අනෙක් අයටත් එසේම දැනෙන්නට ඇති..

බ්‍රේස්ලට් , ෆ්රෙන්ඩ්ශිප් බෑන්ඩ් සහ වලලු පිරුනු ඒ රන්වන් අතක් සිය සාකුවෙන් ලේන්සුවක් ඇද, පරාජිතයා වෙත රඳවාගත් දෙනෙතින්ම , ඒ සිරුර වසා ගත් නේක විධ ලෙඩ දුක් දද කුෂ්ඨ පිලිබඳ හෑගීමෙන් තොරවම සිය දෑත් පිස දමනු ලෑබුවා.. අනතුරුව ඒ ලේන්සුවම හතරට පහට නවා අසරණ පරාජිතයා වෙත ගිය ඔහු, නිහඬවම සෙමෙන් ඒ පරාජිත හිස ඔසවා කොට්ටයක් ලෙස තෑබුවේ වචනයකුදු නොතෙපලමින්...

"ආයෙ හෙම මැරෙන්න හදන්න එපා"
ඔහු හිතෙන් එහෙම කියන්න ඇති..

පණ ගන්වන ලද ලොරිය මතු කළ දූලි වලාව මැකී යද්දී , මෙතෙක් වේලා මා මෙන්ම වික්ෂිප්තව හිඳි නරඹන්නන්ගෙන් හිස් වූ වේදිකාව  යලිත් නතර වූ තැනින් ජීවිතය පටන් ගනිද්දී,මා ඒ සාන්තුවරයා ගිය දෙස හැරී බැලුවා..

පිට මැද්දෙන් එල්ලුනු ලෑප්ටොප් බෑගය යලිත් පපුව හරහට වෑටෙන්නට දමාගත් මේ කඩවසම් කොලු ගැටයා , දිවි නසාගැනීමේ වරදින් මුදනා ලද පරාජිතයා වෙත සෙනෙහසින් දිගුකළ දයාවේ හස්තයෙන්ම , සිය අවුල් වූ දිගු දඟකාර කෙස් වැටිය සකසමින් අපට පිටුපා නිහඬවම වේගයෙන් පිය ඔසවනු මා බලා සිටියා...

The Saint was wearing a bangle on his wrist,
Instead of a halo over his head,
And a bracelet,......and a friendship band too,
Nevertheless he was a saint indeed,
In the truest sense of that word..


(Creative contribution for the lovely English verse by Mr.Ravi Weerasinghe)

Wednesday, August 24, 2011

[198] අබිරහස් කතාවක් !

ජීවිතේ මහ අබිරහසක් !
නොවිසඳුන, හිතා ගන්න බැරි, හේතු නොපෙනෙන , සිද්දි දාමයක අද මේ මොහොතෙ එක් අවස්ථාවක අපි ජීවත් වෙනවා. හෙට වෙනකොට ඒ කිසි දෙයක් එතැන නෑ, තිබුන පෙර විධියෙන්. අගතියට හෝ උන්නතියට කාරණා සඟවමින් දලඹුවා සමනලයෙක් වෙලා !!We are simply a part of a Chain Reaction of this living world!



ආගම්, කේන්දර, අනාවැකි, පේන , දාර්ශනිකයින් , මනෝ විද්‍යාව, වෙදකම් යනාදී එකී මෙකී නොකී ශාස්ත්‍ර වලින් ඇත්තෙන්ම ඔවුන් කරන්නට තනන්නේ මොනවාද? උත්තර හොයන්න ... මොනවටද? මේ ලෝකය පිලිබඳ නොවිසඳුන අබිරහස් වලට !! කාලය අවකාශය , සමාන්තර විශ්ව, පිටසක්වල ජීවීන්, .. පොළව උඩ පේන අබිරහස් උත්තර නැති දාහකුත් ප්‍රශ්න වලින් ඔබ්බට යන්නට කැමති තවත් සමහරු මේ ප්‍රශ්න තවත් දිග්ගස්සගෙන උදේ හිටන් රෑ වෙන තුරු මේ ගැන හිතන්න ලෑස්තියෙන්...


ඒත්.. මේ එක් එක් රාමුව තුලින් අපිට පෙන්වන උත්තර ?? ඇත්තෙන්ම ඒවා උත්තරද? මට හිතෙන්නෙ 'නෑ' යන්නයි. ඒවා උත්තර වෙනුවට Interpretations (අර්ථ නිරූපණ) . උදාහරණයක් හැටියට ලෝකයේ ආරම්භය ! එක් එක් ආගම් වල, දර්ශන වල, විද්‍යාත්මක න්‍යායන්හි එක් එක් අයුරෙන් මේ සිද්ධිය අර්ථ ගන්වනවා. ඒ ඒ අර්ථ ගැන්වීම් ඒ ඒ කාලයට , පුද්ගලයාට , අවස්ථාවට සහ පරිසරයට සාපේක්ෂයි..


එතකොට මේ උත්තර හෙවිල්ල, හොයන ලද උත්තර බොරුවක්ද? ඇත්තෙන්ම මේ උත්තර වල සත්‍ය අසත්‍යතාවය සහ ඒ උත්තර වල තිබෙන බර ගැඹුර කෙරෙහි නිතර ප්‍රශ්නාර්ථයෙන් බැලීම කෙතෙක් දුරට අපට ජීවත් වීම උදෙසා යහපත් ප්‍රතිපලයක් ඉටු කරනවද යන්න සලකා බැලීමෙන් මේ අවුල ලිහා ගත හැකි බවයි මගේ හැඟීම.අපිට ඉදිරිජීවිතය මේ තිබෙන ප්‍රමාණයෙන් පොඩ්ඩක් හෝ ඉහළට ඔසවා තබන්නට හේතු වෙන ඕනේම හොඳ දෙයක් ඕනෑම දර්ශනයකින් උකහා ගන්නට අපට හැකිනම්.. මේ මතවාද වල ඇලෙන්නෙ ගැටෙන්නෙ නැතුව ජීවත් වෙන්න පුලුවනි.


දැන් ඒ කියන්නෙ මේ හැමදේම වෙන්නෙ ලෝකෙට ඕනෙ හැටියටද?


ඒක තමයි අබිරහස,අප විහින් වෙනස් කරගන්නා තීරණ , අප කරන නොකරන දේවල්, එය තීරණය වෙන්නේ අප පෙර කළ කර්ම නිසා යයි බොහොමයක් දෙනා සිතනවා. ඒත් මම දන්න පමණින් බුදු දහමෙ නම් කියන්නෙ පංච නියාම ධර්මයන්ම මෙයට බලපාන බවයි.කම්ම නියාමය ඉන් එකක් බවයි. දැන් මෙහෙම කියද්දි කෙනෙක් මගෙන් අහන්න පුලුවනි , 'හරි, ඔබ කොහොමද ඔප්පු කරන්නෙ ඔබේ මතය හරි කියලා? ' එතකොට මට කියන්න වෙන්නෙ , 'මම ඒක දන්නෙ නෑ. මම දන්න එකම දේ ඒ මාතෘකාව පිලිවඳ තිබෙන දහසකුත් එකක් පැහැදිලි කිරීම් අතරින් මම මේ පැහැදිලි කිරීමට මනාප බවත් එය මගේ රාමුවට අනුව සාධාරණ කියා හිතෙන බවත්'


සොයන්නන් සහ වලඳන්නන්..Which One ?


මේ ලෝකේ 99% විමුක්තිය සොයා යාමට කරදර නොවන්නන්. විද්‍යාඥයින් වේවා ආගමික ශාස්තෲන් වේවා නව නිපැයුම් කරුවන් වේවා, ලෝකයේ පැවැත්ම වෙනුවෙන් දායක වෙමින් ඔවුන් මේ සංකීර්ණ ප්‍රශ්න වලට තම නෑණ පමණින් පිලිතුරු හොයනවා.ඒ පිරිස ලෝක ජනගහනයෙන් 1%ක් වෙන්න පුලුවනි. ශේෂය , බොහෝ විට ඒ සොයන ලද දේ වලඳන්නන් වන්නට පුලුවනි.


ඒ කියන්නෙ අපිට ලෝකෙ වෙනස් කරන්න බෑ.. ලෝකෙ යන විදියට අපි යන්න ඕනෙද ?


මම හිතන්නෙ නම් නෑ. සොබාදහම හරි අපූරු චක්‍රයක්. ගහ කොල මේ විදියට පරිසරයට අනුව උස් වෙන්නෙ කොට වෙන්නෙ කොහොමද? ඉර පායන්නෙ කොහොමද ? හඳ පායද්දි වඩදිය බාදිය එන්නෙ කොහොමද? ඇත්තෙන්ම මේ අබිරහස් වලට මොකද මේ වෙන්නෙ. කොහොමද මේවා වෙන්නෙ. ලෝකෙ එහෙම වෙන්නෙ කවුරු පාලනය කරලද? ඇත්තෙන්ම අපි මේව හොයන්නම ඕනෙද? හොයන දේට මට හිතෙන්නේ Interpretations මිසක විසඳුම් නම් ලැබෙන එකක් නෑ. හැමදේම සාපේක්ෂ නිසා.



ජීවිතේ තේරුම් ගනිද්දි මේ විෂය නොවෙන කාරණා එක්ක ඔට්ටු වීමේ ඵලය මොකක්ද? ඊට වඩා අපි අපේ ජීවිතය දිහා බලන එක හොඳ නැද්ද? අපිට අපේ ශරීරය වැඩෙන එක පාලනය කරන්න බැහැ. අපිට අපි අවට මිනිසුන් ගහකොල සතා සීපාවුන් හෝ වෙන යම් කිසිම දෙයක් පාලනය කරන්න හෝ වෙනස් කරන්න බැහැ. ඒත් අපේ ශ්‍රම ශක්තියෙන් ලෝකය පවත්වාගෙන යාමට දායක වෙන්න පුලුවන් , එය කායික ශ්‍රමය හෝ මානසික ශ්‍රමය වෙන්න පුලුවන්. ලෝකය යන විදියකට ගියාවේ, අපිට ඒක වෙනස් කරන්න බැහැ කියා කෙනෙකුට සිතේවි. ඒත් ඒක එහෙම සිතෙන එක ගැන වරදක් කියන්නත් බෑ. මොකද ඒ අය ඉන්නෙ අර 99% වෙන්න පුලුවනි. යම් හෙයකින් ඔබට සිතෙනව නම් 'නැහැ, මෙහෙම ඉඳල බෑ. අපිට තේරෙන දේ අපි ලෝකෙට දෙන්න ඕනෙ. අපි තව හොයන්න ඕනෙ' කියලා, ඔබ ඉන්නෙ අර 1% වෙන්න පුලුවනි.


මම එදා ඉඳන් අද වෙනකල් හිතනව මේ ලෝකෙ මේ ක්‍රියාවලින් වෙන්නෙ කොහොමද, කියන එකට වඩා සිද්ද වෙන්නෙ මොකක්ද කියන එක.. මොකක්ද මේ සිද්ද වේගෙන යන්නෙ? හිතාගෙන හිතාගෙන හිතාගෙන ගියහම මට හිතුනෙ මේ ලෝකෙ මේ හැමදෙයක්ම සිද්ද වෙන්නෙ 'පැවැත්ම රැක ගන්න' . ගහකොළ , සතාසීපාව, මිනිස්සු ,ඇල දොළ , අහස... බලන්න මේ හැමදේකම තියෙන්නෙ එකම රහසයි... 'පැවැත්ම රැක ගැනීම' .. ඇයි අපි ඉගෙන ගන්නෙ? ඈඳුම් අඳින්නෙ? කසාද බඳින්නෙ? ආදරෙ කරන්නෙ? රස්සා කරන්නෙ ? ගෙවල් හදන්නෙ? මැරෙනකල් ජීවත් වෙද්දි, මේ මිහිතලය උඩ පුංචි ඉඩක අපෙ පැවැත්ම තහවුරු කරගන්න නොවෙයිද? වතුර ගලන්නෙ පහත් තැනින්.. වතුර නැති පලාත් වල ගස් හැදෙන්නෙ කටු එක්ක පඳුරු.. තමුන්ගෙ පැවැත්ම සුරක්ෂිත කරන්න හැම දෙයකටම තිබෙනවා පුංචි ඉවක්.. ඇත්තෙන්ම මේ මිහිතලයම, සොබාදහමම , හැම සතා සීපාවම කරන්නේ පැවතීම සඳහා යුද්ධයක් ! බලවතා දුර්වලයාව යටපත් කරනවා. අනුභව කරනවා. ගහක මුල් අදින්නෙත් සිය මහ පොළවේ වපසරිය හැකි තදින් මිහි මත පිහිටුවන්න. රාජාලියෙකු ගඟක මාළුවෙකු අනුභව කරන්නේ සිය කුසගින්න නිවා ගෙන තව එක් දිනක් හෝ වැඩිපුර ජීවත්වීමේ බලාපොරොත්තුව පවත්වා ගන්න.


ඒත්.. ඒත්...අපිට උවමනා විදියට , වෙනස් කරන්න බෑරි, ඒත් තාවකාලිකව අලුත්වැඩියා කරන්න විතරක් පුලුවන් සරීරයක් එක්ක, ඒ වගෙම අපට අවනත නැති සොබාදහමක ජීවත් වෙන අපිට ඇත්තෙන්ම පාර මාරු කරගන්න පුලුවන් කිසිම දෙයක් නැද්ද මේ ලෝකෙ ? ඇත්තෙන්ම නැද්ද ? තියනව ! අපෙ හිත !!!! හිත !!!! හිත !!!!!! චිත්ත පරම්පරාවල් ! අර කතාවටත් කියනවනෙ යුද්ධය හා සාමය දෙකම පවතින්නෙ මිනිස් හිතේ කියලා.. 


Monday, August 22, 2011

[197] මහින්දාගමනයෙන් ඔද වැඩුනු සිනමාscope :-)



අද මම ලියන ලිපිය කොටින්ම මහින්දාගමය ගැන.සහ කොටින්ම මහින්දාගමනය වගේමයි... හොඳේ... පටන් ගන්න කැමතියි මගෙ  පිස්සු රචනා මූඩ් එකෙන්.  ලියමනේ මැද්දෙදි මම කැමතියි පීලි පැනලා සීරියස් වෙන්න. කමක් නෑනේ. ඒකට මම සමාවට කරුනු දෙන්නම ලිපිය අවසානයේදි... හොඳේ...


අද මට වෙච්චි දේ සහ සිනමාසාලා ඉන් Kandy


මහින්දාගමනය බැලුවා. සිනමාපටය පිලිබඳ අබමල් රේණු භාගයකවත් හැඟුමක් නැතිව එහි යාමේ මූලිකම පරමාර්ථයම වූයේ මගේ මව ඒ ගැන දැක්වූ උනන්දුව. ඔන්න නුවර තියන අපූරු චිත්‍රපටසාලා ගැන දන්න උදවිය දන්නවා ඔය ඩොල්බි ඩිජිටල්, වායුසමීකරණ, කුශන් පු‍ටු, සහ පුළුල් තිර යනාදි කිසිම පහසුකමක් ගැන බලාපොරොත්තුවක් නැතුවයි අප නුවර නම් ‍ෆිල්ම් හෝල් එකකට යන්න ඕනෙ. හොඳ තත්වයෙ (ලිබර්ටි ,සැවෝයි, මැජෙස්ටික්, සිනෙමැක්ස්) වගෙ තැන් නම් ඉතින් මෙහෙ නැහැ. ඔක්කොම ඉවසන්න පුලුවන්, ඉස්සර තිබුන ලොකුම ප්‍රශ්නෙ මකුණො.දැන් නම් මකුණො නෑ. හපෝයි ‍ෆිල්ම් එක බලල සතියක් විඳවනවා මකුණු විස නිසා ඉස්සර නම්.


බ‍ටු තවාන


ඔන්න කොහොමෙන් හරි වාඩි වෙන්න වුනු පු‍ටුවට වම් පසින් ඉඳගෙන හිටියෙ බ‍ටු තවානක් ;-) හැ ඒ මොකක්ද? පුංචි පැටවු පේලියකුයි මට වම් පසින් උන්නේ.කට්ටියම අවුරුදු පහ හය වගෙ වයසේ පොඩ්ඩෝ. ඉතින් එක ගෝසාවයි පටන් ගන්න කලියෙන්.. වට පිට බැලුව මට පෙනුනේ සිනමාසාලාවේ ජනකායෙන් බහුතරයම පුංචි පොඩ්ඩන් බවයි.


වැඩිහිටියන්ට පමණයි පූර්ව ප්‍රචාරණ??


දැන් ඔන්න ‍ෆිල්ම් එක පටන් ගන්න විනාඩි පහ දහයක් කලින් එන, වෙලඳ ප්‍රචාරකයන්ගේ සහ චිත්‍රපට ප්‍රචාරකයන්ගේ වේලාව ආවා...  දෙවියනේ... මේ පොඩි දරුවන් ඉස්සරහා දිගෑරෙන මත්පැන් පාන, කුජීත බාල ගනයේ අනඟ දසුන් යද්දී (ඉස්සරහට එන්න තියෙන චිත්තරපට) මටත් පු‍ටුවෙ ඉඳන් ඇඹරෙන්නයි සිද්ද වුනේ. පොඩි උන් කුචු කුචු කියනවා. සද්ද නවතිනවා. හපොයි. සිනමා ශාලා හිමියන් මීට වඩා පරෙස්සම් උනොත් හොඳ නැද්ද හැබෑට? පවුලේ සැමට එකට සිට නරඹන්න කියා පෝස්ටර් ගහන, චිත්‍රපට ධාවනය වෙද්දි , පොඩ්ඩක් සංයමයෙන් යුතු පූර්ව ප්‍රචාරණ පමණක් පෙන්වන්න. නැතිනම් දෙමාපියන්ට දෙවරක් හිතන්න සිද්ද වේවි චිත්තරපටියෙ නම් දානකල් දරුවො තියාගෙන එලියෙ ඉන්නවද කියලා.


වැඩිහිටියන්ට පමණයි


ඇත්තෙන්ම මේ සටහන චිත්‍රපටය ගැන හෝ කුඩා දරුවන් ගැන පමණක්ම නොවෙයි. මේ සටහන පූර්ව ප්‍රචාරණ පිලිබඳව ලියවෙන්න යන දෙයකුත් නොවෙයි.  ලමා චිත්‍රපට, ලමයින් යොදා වැඩිහිටියන්ට තැනූ චිත්‍රපට, වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට යනාදී විවිධ චිත්‍රපට වර්ගීකරණය විය යුත්තේ ලිංගික දර්ශන පිලිබඳව සැලකීමෙන් පමණක්ද යන්න එක් කාරණයක් හැටියට මා ඉස්මතු කරන්න කැමතියි. මගේ නම් පුද්ගලික අදහස , මහින්දාගමනය යනුත් වැඩිටියන්ගේ දරා ගත හැකි පරිණත මනසට වඩා සුදුසු, එනම් සංවේදි සිතැත්තන්ට සහ විශේශයෙන්ම කුඩා දරුවන්ට නැරඹීමට නුසුදුසු ප්‍රකෝපකාරී දසුන් අඩංගු චිත්‍රපටයක් කියායි.


ඇයි ඒ ?


එහි පෙන්වන ගහ මරා ගැනීම්,කපන කොටන දර්ශන,නාගයකු කඩුවෙන් කොටා දැමීම, යක්ශ ඇදහිල්ලට යොමුව සිටින අග බිසවුන් වහන්සේ පුහුලක තැවරුනු ලේ නලලේ තවරා ගැනීම, තුවාල දර්ශන, වනයේ සාවෙකුට පිහියක් විසි කොට දඩයම් කරන ගැහැනියක් කන් දෙකින් මිය ගිය සාවා ඔසවාගෙන යාම, කුරුල්ලෙකු හී පහරකින් ඇද වැටීම (මේ කිහිපයක් පමණයි) මේ දර්ශන ඉදිරිපත් කොට ඇති ජුගුප්සා උපදවන,සිත් බොහෝ කැලඹෙන සුලු ආකාරය කොතරම් මා සිත සසල කලාදැයි යන්න ඔබට එක්තරා විහිලුවක් වන්නට පුලුවනි. එහෙත් එම දර්ශන දැකීමෙන්, මට පසෙක හිඳ හුන් අහින්සක පැටියා 'අනේ, අම්මේ පවූ අර හාවා, අනේ අම්මේ බයයි' කියමින් අර අපහසුවෙන් තිගැස්මෙන් නරඹනු දු‍ටු මට දැනුනේ කිව නොහැකි තරම් සංවේගයක්. මා ඇපොකැලිප්ටෝ නැරඹුවාට මා එය කුඩා දරුවෙක්ට නම් සුදුසු බව කියන්නේ නෑ ලිංගික දර්ශන නොමැති වූ පමණින්. මන්ද කුඩා දරුවෙක්ගේ අහිංසක පිරිසිදු මනසකට බොහෝ හානිකර වූ,  බියජනක දර්ශන , අපුල සහගත දෑ, ලේ වැගිරීම්,සෘණ ආකල්ප ඇතුලු වන දසුන්, ග්‍රාම්‍ය කතා විලාශ කුඩා දරුවෙක්ගේ ඇස ගැසිය යුතුයැයි මම නම් නොසිතන නිසා.


සිනමා සදාචාරය වැනසෙන්නේ 'අක්ෂරයෙන්' පමණක්ද?


අක්ෂරය යනු 'ඊයා..ජරා' ගනයේ කුණුහරුප චිත්‍රපටයක් යයි කියන ඊනියා සුචරිතවාදින් මා දැක තිබේ. අක්ෂරය යනු 'සුපර්බ්' සිනමා නිර්මාණයකැයි කියන, හඳගම කාටවත් බැරි සෙල්ලමක් දැමුවා යයි කියා තමුන් පොර වෙන, පොරවලුත් මා දැක තිබේ. ඒ ගැන මගේ පුද්ගලික අදහස නොකීමේ හේතුවත් පෙර කී වැකි දෙකෙහිම ගැබ්ව තිබේ.


ලංකාවේ මිනිසුන් තුල ඇති අවම මොකක්දෝ එකක්ද මේ? බොහෝ රටවල මෙවන් දර්ශන අඩංගු චිත්‍රපට පූර්ව නිවේදන සහිතව (උදා" සංවේදී දර්ශන , ලමුන්ට සහ සංවේදි සිත් ඇති අයට නැරඹීමට අපහසු දර්ශන ඇති බව)  කල් තියා දැනුම් දෙනවා. ඒ වගෙම මේ වන සතුන් යොදා ගැනීමේදීත්, මේ සතුන් ඇත්තටම මිය ගියාද හෝ ඒවා නිරූපණ පමනක්ද යන්න මා දන්නේ නෑ. එහෙත් පරිසරය උඩ තබාගෙන රුක් රෝපන දින කරන, පොලිතින් අහුලන සංස්කෘතියක ඉන්න අපට මේ දර්ශාන පිලිබඳ දැනුවත් වෙන්නටවත් අයිතියක් බොහෝ විදෙස් චිත්‍රපටනම් ලබා දෙනවා. ඔවුන් එය සඳහන් කරනවා චිත්‍රපටය අවසානයේවත් අඩුම ගනනේ මේ සතුන් නිරූපණ සඳහා පමනක් යොදා ගත් බව , මේ සතුන් සැබවින්ම මරා නොදමන ලද බව (එසේ නොකලා නම් )  මම නම් දන්නේ නෑ ඒ සදාචාරය නම් අපේ රටට කවදා ඒවිද කියා..


සිය රඟපෑම වෙනුවෙන් ගාස්තුවක් නොලැබූ , නිර්වින්දනය වී හෝ සිය නිසග සත්ව භාවය සිනමාපටයක් වෙනුවෙන් කැපකලාට ඒ හාවාට, ඌරාට පොඩි හෝ ක්‍රෙඩිට් එකක් දීම යුතුකමකැයි, මොලේ කුරුවල් වූ මට සිතේ


දර්ශනයක් තාත්වික වන්නේ, තීව්‍ර වන්නේ පෙන්වන්නා තුල හෙණ ගහන්නාක් මෙන් තිගැස්මක් පමණක් ඇතිවීමෙන් නම්, මින් මනත මා  තාත්වික දර්ශන නොබලා සිටින්නට තීරණය කරනවා.  මා දන්නා තාත්විකත්වය බොහෝ විට මා දැක තිබෙන්නේ බොහෝ සංයමයෙන්  රූප භාවිතාවෙන්, සංගීතය, ආලෝකය යනාදී තව බොහෝ උපකාරකයන් අනුසාරයෙන් කෙමෙන් තීව්‍රත්වයට ඔසවා තැබූ දර්ශන කියා කියන්නටත් කැමතියි.




චිත්‍රපටියකට ගලා යාමක් අනවශ්‍යද?


මුලින් කී කාරණාවට මා ආයෙමත් ආවොත්, චිත්‍රපටය ඇරඹෙන්නේම මහා පීඩාකාරී ගෝසාවකින්. ඒ අශෝක රජ සමයේ යුද්ධයකින්. ඒ අල්ල පනල්ලේම විනාඩි බාගයක්වත් ගත වන්නට මත්තෙන් සාමණේර හිමි නමක් දැක වහා සත්‍යාවබෝධය ලබන අශෝක අධිරාජ්යයන් සිනමා පටයට සම්බන්ද කරගෙන තිබෙන මහා දඩිබිඩිය , මේ චිත්‍රපටයට ඉතා දුර්වල ප්‍රවේශයක් ලබා දෙනවා කියලයි මට හිතෙන්නේ. එය ප්‍රවේශයකට වඩා කඩා බිඳගෙන ඇවිත් සියල්ල වනසා විනාඩියෙන් අතුරුදන් වන වල් අලියෙක් වගේ මහා කලබගැනියක් බව මට දැනුනා. 


මට හිතෙනවා මෙහි අධ්‍යයක්ශක වරයා අප අතීත කතාව මනා අධ්‍යනයකින් පසුව මෙය නරඹන්නට ආයුතු යැයි පූර්ව නිගමනයක් සිටීමෙන් , බොහෝ දෑ එක අල්ලට ගෙන බෙදන්නට ගොස් වැඩේ අනාගෙන නම් තිබෙන බව..සිනමාපටයක තිබිය යුතු,  දර්ශනයෙන් දර්ශනයට ඇති ගලා යාම ගැන නම් මෙහි සිතා වත් පලක් නැහැ. අනේ මන්දා මේ ඇදකුද මෙතරම්ම පේන්නේ අපූරු විදෙස් චිත්‍රපට නැරඹීමෙන් මොලේ කුරුවල් වී තිබීම නිසාම විය හැකියි. මම සිනමා විෂය අධ්‍යනය කර නම් නෑ. ඒත් මිනිස් සිත් සන්තානයෙහි ඇති වන කැලඹිලි ගැන මට වචනයක් කියන්නට අයිතියක් ඇතැයි මා සිතනවා. අඩු ගානේ පෑ තුනක් පුරාවට මා වින්ද දුකේ නාමයෙන් :-)


වයලන්ස් (violence) වලින් පසු එකපාරටම දහම් සිසිල


චිත්‍රපටයේ අගභාගය පිලිබඳව මට නම් සතු‍ටු විය හැකි හොඳම දේ , අර මුලින් පෙන්වන ගෙල සිඳීම්, කැපීම්, කෙටීම් , තුවාල, ලේ දර්ශන වලින් එක පයින්ම මිදී, දහම් සිසිලෙන් ලතෙත් දෑ දකින්නට ලැබීමයි. එක අතකින් ඒ මුලින් දකින දසුන් සමුදායෙන් සිදුවන මානසික කලබගැනියට පසුව සැබවින්ම සිහිල දැනෙන බණ පදයක් සමග මඳක් හෝ ගලනය වන කතාවක් ඉදිරිපත්කලාට මා අධ්‍යක්ෂකවරයාට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.. නැතිනම් මගේ මනසට පවා ඒ ඝෝෂාව දරන්නට අපහසු වී තිබූ නිසා.


දොඩම් ගොඩ සහ හිස බේරා ගැනීම


සිද්ධීන් ගොඩක් දොඩම් ගොඩ බදා ගත් අයුරෙන් වමාරන්නට යාමෙන්, ඉතා දුර්වල සංස්කරණයෙන් සහ ආධුනික කැමරාකරණයෙන් වෙහෙස වූ,  මා සැබවින්ම කලකිරිය යුත්තේ,  එක එක ජාතියේ හොඳ හොඳ චිත්‍රපට බලා මනස කුරුවල් කරගත් මා ගැනද, එසෙත් නැතිනම් නිර්මාණශීලිත්වය සැබවින්ම තිබියදී මූල්‍යමය හෝ වෙනත් බලපැම් වලින් මිරිකී හිතේ හැටියට දෙයක් කිරීමට ඉඩ සහ ඉස්පාසුවනොලැබෙන නිර්මාපකයින් ගැනද , එසෙත් නැතිනම් ඇත්තෙන්ම මේ හිඩැස් වලින් දුප්පත් සිනමාවක් අමාරුවෙන් ඇපෲව් කරන මගේ මවු රට ගැනදැයි මටම සිතා ගන්නට නොහැකි වුනා.


ගැලවුම්කරුවන් කිහිපදෙනෙක්


චිත්‍රපටයේ  ජීවමය ගුණය රකින්නට  සිය නොමඳ රංගන හැකියාව නොමසුරුව ප්‍රදානය කල දිල්හානී ඒකනායක , දුලීකා මාරපන, හේමසිරි ලියනගේ, තොරොම්බල් වෙලෙන්දාගේ චරිතය පණ පොවන නම නොදන් නළුවා සහ ජයනි සේනානායක ට මාගේ තුතිය. සැබවින්ම ඇ‍ඟෙන්ම රඟපානවා මා නම් දු‍ටුවේ ඔවුන්ම පමණකි.


ඉතිහාස ටොපිය


ප්‍රේක්ශකයාට ඉතිහාස කතාවක් නැමති ටොපිය දුන් පසු එහි රංගනය, කැමරාකරණය,ප්‍රබල රංගනය , සංස්කරණය මෙන්ම සිනමා ප්‍රකාශනය සහ ගලායාම ගැන කොහෙත්ම තකන්නේ නැතැයි මේ නිර්මාපකයන් උපකල්පනය කර ඇතිවාක්ම මෙනි. අනෙක් අතට බැලූ කල අපට වඩා දහස් ගණනක් හොඳ චිත්‍රපට නරඹා, චිත්‍රපට නිපදවා, නිසග හැකියා ඇති නිර්මාපකයින්ට මේ වෙලා ඇත්තේ අහවල් එකක්දැයි අපටම විමතියක් උපදී.


මෑත ඉතිහාසයෙන්


තවමත් මෑත ඉතිහාසය , සැබෑ විදනීය සිනමාපටයක් කියා දෙයක් නිපදවූයේ 'සිකුරු හතේ' තුලින්ම පමණකි යන විස්වාසය මා තුල පවතී. ඒ 2008හි බව මම සංවේගයෙන් සිහි කරන්නෙමි. මචං චිත්‍රපටය අමතක නොකරමි. එහෙත් ඒද සිකුරුහතේ තරම් නම් නොවේ. ආගන්තුකයා ද මා යම්තාක් දුරට කතා රසය අත්විඳි චිත්‍රපටයකි. 'ආකාස කුසුම්' අවාසනාවට මට මිස් වී ගියේය. ඒ නිසා ඒ ගැන නම් නොදනිමි.


කෝකද රහස?


පුරහඳ කලුවර, අස්වැසුම, පවුරු වලලු යුගය මම මහත් තෘප්තියෙන් සිහිකරමි. ගම්පෙරලිය , රේඛාව , දුහුල් මලක් , හඳයා මට සිහිපත් වේ. 1998 දී පමණ එකක් නෑර, සෙනසුරාදා රාත්‍රියට නැරඹූ, ලෙස්ටර් ජේම්ස් පීරිස් අභිනන්දන සිනමා නිර්මාණ දැක්ම මා ලංකාවේ සිනමාව දු‍ටු පලමු ජනේලය විය.  එමෙන්ම lake house , memoirs of a geisha, big fish, forrest gump, apocalypto,lost in translation යනාදී නම් කියා ඉවරයක් කළ නොහැකි , මාහැඟි නිර්මාණ තුල ඔවුන් මිනිස්කම අභිබවා ගිය අධිමානසික මෙහෙයක් කලාවත්දැයි කුතුහලයෙන් තවමත් පසුවෙමි.


එහි තිබූ රූප රාමු උදෙසා මිලියන ගණන් වියදම් වී දැයි කුතුහලය මා සිත පෙලයි. මුදල් කෙල කෝටි ගණනක මිල අධික නිර්මාණත් නොවී , නැ‍ටුම් දර්ශන සහ සමූහ දර්ශන සඳහා වාර්තාගත වියදම් පොත් වල නොලියවා,  ස්වභාවික දර්ශන තල මත  , ටොපියකට වඩා දෙයක්, කොටින්ම අංග සම්පූර්ණ සමබල ආහාර වේලක්ම දෙන්නට ඔවුන් සමත් වූ  රහසට එක එක අහුකොන් මම හොයා ගන්නට වෙහෙසෙමි. ඉවසීම , සංයමය, කැපවීම, අධිෂ්ඨානය, කාලය ගැනීම, මූල්‍යමය නිදහස, දේශපාලනික බලපෑම්,සිතීමේ නිදහස.... මට මෙයාකාරයෙන් වචන කිහිපයක් ඔලුවට විත් එක මත එක හැප්පී නතර විනි.


ප.ලි.
මම ඔබට පොරොන්දුවක් වීමි. මේ ලිපිය මහින්දාගමනය වගේම වෙනු ඇතැයි ශපථ කලෙමි. එසේය. එක් අන්තයකින්  පටන් ගෙන අනෙක් අන්තයෙන් ඉවර කරන්නට , බ්ලොග් එකක් විතරක් ලියා පණ්ඩිතකම පෙන්වන මටද අයිතියක් තිබේ. එනිසා වයලන්ස් එකෙන් පටන් ගෙන දහම් සිසිලෙන් අප තෙමා ලූ මහින්දාගමනය ගැන සරලව පටන් ගෙන සීරියස් මූඩ් එකෙන් අහවර කළෙමි.


Friday, August 19, 2011

[196] LOVE නිසා නිවනක් නැති සොබාදහමට ආදරයෙන්..

කොණ්ඩ කිරිල්ලියක්ට බස් එකෙ වෙච්චි ඇබැද්දි සහගත දුක්බර සංවාදෙට හොරෙන් ඇහුන්කන් දුන්නට, (ඇත්තෙන්ම කිව්වොත් ඒක ඇහෙන තරමට සද්දෙන් වුන දෙයක් නිසා මට කරන්න දේකුත් නෑ) ඊට පස්සෙ අද වෙනතුරුත් එච්චර අමුතු දෙයක් ඔලුවට ආවෙ නෑ කියාගන්න ලියාගන්න. ඒත් අද උදේ මීඩියා ෆයර් එකෙන් බාපු සින්දු ගොඩාරියෙ එක හා සමාන සින්දු තුනක් ඇහිලා අනේ මන්දා මොනවදෝ ලියවෙන්න ගත්තා..
"
මගේ හිතේ දුකක් කියා දෙයක් නෑ
බලාපොරොත්තුවක් කියා දෙයක් නෑ..
ආදරේ කියා අලුත් දෙයක් නෑ.
වින්ද වේදනා හදේ තවත් නෑ
"
එහෙම කියද්දි , ඔය කියන තරම්ම දුකක් නෑමදැයි අනේ මට හිතෙන්න ගත්තා... වේදනාවක් නම් ඒක, මතක් නොකර ඉන්න තාක් අපිට පුලුවන් හිත තද කරගෙන ඉන්න. ඇත්තෙන්ම අපිට ප්‍රායෝගිකව කරන් වෙන්නෙත් ඒකම තමයි. එහෙම නොවී, ඒ කල්පනාවෙම ගිලුනොත් හෙම සිද්ද වෙන්නෙ අපි මානසික පිස්සො වෙන එක. කල්පනා කරලම අපිට පුලුවනි ඕනෙ නම් තොන්ඩුවකට බෙල්ල දා ගන්නත්. ඒත් ජීවිතේ එතෙන්ට යන එකට වඩා හපන් කම එතෙන්ට නොයා ජීවත් වෙන එක. 

එහෙම බැලුවම මේ ගීය අපිට කියන සිතුවිල්ල හිතේ පැල කරගන්න එක නුවණට හොඳයි. ඉතින් ඔන්න මගෙන් අහන්න එපා මේකෙන් කරන්න හදන්නෙ හිත රවට්ටනවා වගෙ එකක් නොවෙයිද කියලා. කැමති අයට කැමති තේරුමක් ගන්න හැකි... 


මම පුද්ගලිකව ගන්න කැමතියි මේ තේරුම; හිතේ ගැඹුරුම පතුලේ තියන වේදනාවන් එක්ක දුක් විඳිමින්, කඳුලු වගුරුවමින් ජීවත් වෙවී , හැම දේම කඩා වට්ටගෙන ජීවිතේ අත්හරින්න පුලුවනි. ඒත් ඒක හපන් කමක් නෙමෙයි . අවංක සත්‍ය ප්‍රේමයකින් අපි පැරදුනා නම් , ඉතින් අපි අවංකව ජීවත් වුනා නේ.වෙන්න තිබුන දෙයක් වෙන්න ඇති කියල හිත හදාගෙන කැ ගහල මේ ගීය කියල හිත හැල්ලු කරගෙන , ජීවිතේ ඉතුරු දේවල් වලට හිත යොදවන්න පුලුවන් නම් ඒක ලොකු හපන් කමක්. කොච්චර ගැඹුරු උනත් ආදරේ අහිමි වුනා කියලා අපි ගැඹුරු ලිඳකට පනින්න ඕනෙ නෑ නේද ගැඹුර ඔප්පු කරන්න ?
"
පියඹා , යනවා මා ආකාසයේ
අවසානයි ප්‍රේමාදරේ
ගිරවෝ , කොවුලෝ ,
මිදුනා මා ආදරෙන් ...
"
මෙන්න ඊලඟට ඇහුන ගීය... ආදරෙන් මිදෙන්න නම් එච්චර පහසු නැහැ. අනේ මන්දා ගිරවු , කොවුල්ලු , ගහ කොල , සතා සීපාවුන් මතකයෙට එන්නෙම ආදරේ අවසාන උනාමද මන්දා.. නෑ අපි එච්චර නිර්දය විදියට නොබලා ඉමු. ඒත් ගහකොල සතා සීපාවුන්ගෙන් ගම්‍ය වෙන අවට පරිසරය අමතකම වී යන තුරුම ආලය කෙරෙහි තදින් ඇලී ගැලෙන එක කොයිතරම් හොඳද මන්දා... 


එහෙම ගැලෙන්නත් හේතු තියනවා.. සමහර විට ජීවත් වීම උදෙසා ආදරය මිස අන් කාරණාවක් නොවෙන තරම්ම බාහිර ලෝකයෙන් පීඩාවට පත් වෙලානම් ඔබ ඉන්නේ, ආදරය ඔබට මහාමෙරක් වෙන්නට පුලුවන්.. (ඒත් අමතක කරන්න නරකයි, මහමෙර උනත් කවුද දන්නෙ කඩා වෑටෙන්නෙ නෑ කියලා. පොඩි පස්කන්දක් වගෙ නෙමෙයි මහමෙර කඩා වැටෙනකොටනම්.. නේද?)  

එක්කෝ අනවධානය නිසා, ආදරය ඔබෙ ජීවිතේට ඒ තරම්ම වැදගත් නිසා, ඔබට අවට දේ ගේදොර , නෑසියන්, ගහකොල, සතාසීපාවුන් පමණක් නොවෙයි ඉගෙනුම , කැම බීම පවා අමතක වෙන්නට පුලුවනි. මේක හොදද නැද්ද කියා මම විවේචනය නොකර ඉන්නම්. ඒත් එය දීර්ඝ කාලීනව ප්‍රායෝගිකද නැද්ද කියලා නම් හිතන්න පුලුවනි නේද?

ආලය යම් හෙයකින් බිඳුනොත් , ප්‍රතිපලය භයානකයි.. ඔබ නොසලකා හල බොහෝ දේත් අහිමි වී ති
බෙන්නට පුලුවන් මේ වන විට... එහෙම වුනොත් දැනෙන තනිකම සුලුප‍ටු නෑ. බිඳී යන්නට සූදානමින් සිටින ආදරවන්තයා හෝ වන්තිය , ඔබේ තනිකම එතරම් තකන එකක් නෑ. එතකොට ??? ඔබ තනිවේවි.  

හිතන්න ඔබේ ආලය එහෙමම පැවතියා.. ඒත් ජීවත් වෙද්දී, අත්හල බොහෝ දේ ඔබව අසරණ කරාවි. කවුද දන්නේ සමහර විට අත් හල දේ වෙනුවෙන් යම් දාක ඔබෙ ආදරවන්තයාම/ වන්තියම ඔබව අසරණ කරාවිද කියා .. එතකොට...

ඒ නිසා ගිරවුන්ට ,කොවුලන්ට හැමදාම ආදරේ කරමුද?

"
කුරුලු ගීත මට ඇසුනා
ඇලේ දොලේ මල් පිපුනා
ලඳකට පිදුවාට වඩා
සතුටක් මට ඉන් දැනුනා... 
"
මේ කුරුලු ගී හැමදාම ඇසේවා... ගහේ කොලේ මල් හැමදාම පෙනේවා... ලඳකට/මිනිසෙකුට ආදරේ කියන වචනයට වඩා ප්‍රායෝගික වූ සෑනසීමක් කොහේ හෝ ඇති.. 

' වර්ගයා බෝ කිරීමේ සොබා දහම් නීතියට අනුගත වන්නට තරම් කොම්පැටිබල් වූ විරුද්ධ ලිංගිකයෙකු සමග එකතු වී , පෘථිවිය මත ස්ථාවරත්වය ගොඩනගන අතර තුර , සුන්දර සතු‍ටුදායක යුග ජීවිතයක් මට හිමි වේවා'  ... අපි එහෙම පතමු නේද?

"
කුරුල්ලන්ට ගී හදන්න
ගහට කොලට පාට දෙන්න
වීසි කලෙමි , හදේ තිබුන
ආදරයයි , කරුණාවයි
කාටවත් නොදී...
"
ආදරය කරන තාක් නිවනක් නැති සඳ තරු මල් අහස ගැනත් , විරහව දැනෙන තාක් අමතක වන ගහකොල සතා සීපාවන් කුරුල්ලන් ගැනත්  , මාද සිතමින්ම, සොබා දහම ආදරයත් විරහවත් සමග මේ තරම් ලඟ කිම දැයි සිතන්නට ඔබට විසාල අක්කර ගානක් සිතීමේ ඉඩ ඉතුරු කරමින් අදට මම නවතින්නම්....


Wednesday, August 17, 2011

[195] ආදරනීය ආදරය හෙවත් මායා බන්ධන !!!!!!

කොණඩ කිරිල්ලියේ... කවුද නුඹේ ප්‍රේමවන්තයා..?
කොණ්ඩෙ කපනවාද ? කොණ්ඩෙ බඳිනවාද ? කියාපන් එයා ??


සී ටි බි බස් එකේ හරියට ඉඳගන්නවත් ඉඩක් පාසුවක් නෑ. ඒත් මද්දහනේම කොහෙන් උනත් හොඳ ඇෆ් ඇම් එකකින් ගීත‍යක් ඇහෙන්නට වුනා...




මට අනෙක් පස ඉඳගෙන ඉන්න තරමක් සංකර පහේ දඟකාර කෙලි පොඩ්ඩක් ජංගම දුරකථනයක නොම්මරයක් ගලපනවා මට ඇස් කොණෙන් පෙනුනා.. අනුන්ගේ දේට කණ් දෙන්නට ආසාවක් නැතත් ඇගේ රුවට නොගැලපෙන අසරණ කටහඬින් 'හෙලෝ' කියද්දී (ෆෝන් එකට) මම එක මොහොතක් මේ නැගණිය දෙස බලා යලිත් ඉවත බලාගත්තා...


ෆෝන් එකෙ හඬ අඩු කරන්න ඕනේ එක්කෝ. එක්කෝ අර දැන් කාලෙ කොලු කෙල්ලො වගෙ කටටයි කණටයි තියරියෙන් රහස් කොඳුරන්න ඕනේ. ඒ දෙකම නැතුව හිතේ තියන නිදහස් අදහස් එලිපිට කිය කියා වතේ හැඟීම් අවට තවරන්න තැනක් නොවෙය් ගමට යන බස් එක... ඒත් ඉතින් තමුන්ගෙ නිදහසනේ... 


මගේ කණ ඉතින් නිදහසින් ප්‍රයෝජන ගනිමින් සම්පූර්ණ සංවාදෙටම සවන් දෙන්නට වුනේ ඇගේ අසරණ ස්වරය නිසාමයි...

 ශම්මි : නිසල් (බොරු නමකි).. ඇත්ත කියන්න... ඔයා මට ආදරේද ?
නිසල් : ඔව් මම ආදරෙයි.. මෙතන ආදරේ පිලිබඳ කිසිම ප්‍රශ්නයක් නෑ... මම ඔයාට ආදරෙයි. මම දන්නවා ඔයාත් මට ගොඩාක් ආදරෙයි. මට වෙන කාගෙන්වත් එහෙම ආදරයක් ලැබෙන්නෙ නෑ
ශම්මි : එහෙනම් ඔයා මගෙන් ඈතට යන්න හදන්නෙ ඇයි නිසල්?
නිසල් : මම දන්නෙ නෑ ... මම හොඳටම අවුල් වෙලා... ඔයාට තේරෙන්නෙ නෑ. කිව්වට වැඩකුත් නෑ
ශම්මි : ඇයි නිසල් එහෙම කියන්නේ....
නිසල් : ( නොරුස්නා ස්වරයෙන් ) ඔය මම කිව්වෙ... ඔයාට තේරෙන්නෙ නෑ
ශම්මි: මට කොහෙ හරි වැරදුනාද ?
නිසල් : මම දන්නෙ නෑ ශම්මි... මම දන්නෙ නෑ....  මට මේ මොකවත් තේරෙන්නෙ නෑ...
ශම්මි : අනේ මම ලස්සන මදිද ? මම පෝසත් නැති නිසාද ?
නිසල් : ඔයා එහෙම හිතනව නම් ඔයාට හොඳටම වැරදිලා... ඒකනෙ ..ඔයාට මාව තේරෙන්නෙ නෑ.. ඔයා දැන ගන්න ඔයාට මාව ඔයා කෙරෙහි ඇද බැඳ තියා ගන්න පුලුවන් එකම හුය 'ආදරේ ' විතරමයි....
ශම්මි : අනේ... මොකක්ද මේ අපිට වුනේ....
නිසල් : මම දන්නෙ නෑ...
 


මම අසා සිටියෙමි... නිසල් හා ශම්මි  අද කොතැනදැයි මා දන්නේ නැත... එහෙත් ගැහැණියක වශයෙන් හෝ , ගණිතය උගත් මිනිසෙකු වශයෙන් හෝ , ජීවිතයේ සංසිද්ධීන් විමසා සමගාමී සමීකරණ කිහිපයකට 'ජීවිතය' ලඝු කල නොහේ... 




ආදරේ... එයට බොහෝ අරුත් ඇතිවා විය හැකිය... එහෙත් එක් සාධාරණ සරල ගණිතමය අවුලක් නිසා වෙන් මේ සිද්ධිය මට ආයෙමත් සිතන්නැයි, පෝස්ටුවක් ලියන්නැයි බල කර සිටියේය

එයා දන්නවලු මම එයාට ගොඩාක් ආදරෙයි කියා.... එයාව ඈද බෑඳ තියා ගන්න පුලුවන් එක ම දේත් ආදරේලු.... ඒත් එයා යනවලු... .... 


එදා බස් එකෙන් බහිද්දිත් අදත් මේ සමීකරණය ගලපගන්නට මෙතෙක් මහන්සි වූ මා මනස මටම සිනහ නගනවා... අර විල් තලයේ හිටිය රන්වන් මාලුවා ගෙම්බාට මෙහෙම කියනවා...

වචන පුතා..ඕවා වචන ! ඇස් ඇරලා බලපන් .... ජීවිතේ දිහා .. බුදු හාමුදුරුවො කිව්ව දොරටු තුනම දිහා.... සිත දිහා , කය දිහා , වචන දිහා... ජීවිතේ සංකීර්ණ නෑ.. සරලව හිතපන්.කියපන්. කරපන්...
හිත පේන්නෙ නෑ. හිතේ එවුවම වචන වෙනවද කියන එක බලන්න නම් අමාරුයි.. ඒත් වචනෙම ක්‍රියාවත් වෙනවද බලපන්.. 

ජීවත් වෙන එක අමාරු දෙයක් වෙන්නෙ බාහිරෙන් එන ප්‍රශ්න නිසා නෙමෙයි,    ජීවිතේ ඇතුලතින් හදා ගන්න ප්‍රශ්න නිසයි ජීවිතේ කරදරයක් වෙන්නේ.

දිවුල්ගනේ එහෙන් දිනුම් පදයක් ගයනවා... දිනුම් පදේ එක පදයක එක අකුරක් මා හිතුමතේ වෙනස් කලා... 


ඔන්න කියන්නෙපා කිරිල්ලියේ නොකිව්වාය කියා
ඔය ලෙන්ගතුකම් නෑ දෑවැදි ඉල්ලුවොතින් එයා....  

තිස්ස දොඩන්ගොඩ අයියා ලියූ අපූරු සමීකරණය මට හිතුනා පෝස්ට් එක ඇතුලටම දාන්න...
දුකට හේතුව...

∑(ආදරේ) ≠ ∫(දිනපතා ආදරේ) 


ඇත්ත අයියන්ඩී.... හරිම ඇත්ත....ඒ නිසාම මෙන්න මේ දේත් ඇත්ත වෙන්නැඇති නේද ?



Monday, August 15, 2011

[194] මගේ රස්තියාදු ගමන් 3

නුවර සිරි බලලා ඊලඟට පේරාදෙණි බස් එකේ නැගලා ගැටඹේ  ක්‍රීඩාංගනය ගාවින් බැස්සෙ ඉතින් පයින්ම ගාටන්න බලාගෙන... රාත්‍රිය කානිවල් එකට ගැටඹේ ක්‍රීඩාංගණය වෙන් වෙලා. හරිම කලබලයි එතන. මේ වතාවෙ කවදාවත් නොබලපු කානිවල් එකත් බලන්නයි හිත.. බලමුකෝ.. නේද ? :-)

මේ බුදු පිලිමය තියෙන්නෙ පෙරහැරට දිය කපනා තොට පන්සල අසලයි. නුවරට එන උදවියගෙ සිත් පහන් වෙන දසුනක්.. 


දිය කපනා තොට පන්සල අසල නව බුදු රුව

ඒ පන්සල බොහොම ඓතිහාසික වැදගත්කමක් තියන ස්ථානයක්. මීට වසර කීපයකට උඩදි නම් බොහෝම කුඩා පන්සලක් තිබුනු එතැන දැන් නම් පිලිවෙලකට සකස් වෙලා...


දිය කපනා තොට
ගැටඹේ පාලමත් බෞද්ධ කොඩි වලින් සැරසිලා...පාලම උඩ හිටගත් මට පෙනුනු ගඟේ දර්ශන ඉතින් නුවරට නිතර නො එන අයට තමයි ඉතින් වැදගත්. උදේ හවා පේන අපට නම් නොවෙයි.. නේද :-) ? 

ගැටඹේ පාලම උඩ
 ඔන්න ඉතින් ඒ විදියට ඇවිදගෙන ගන්නෝරුව පාරේ එද්දි මහවැලි ගඟේ වතුර පාර නම් ටිකක් සැර බවයි පෙනුනෙ.... ඔය රූප වල ඉදිරිපසෙන් තියන පාරට තමයි ජෝර්ජ් ඊ ද සිල්වා මාවත කියන්නේ. 

ගඟ දිගේ
 මම ඇවිදගෙන යන්නේ කොලඹ මාතලේ බස් යන ගන්නෝරුව මාර්ගයේ. වෙනදාට ඇවිදින්නේ නම් ඔය ග‍ඟෙන් එහා පාරේ... අද කරන්න හදන්නෙ යටිහලගලින් දොඩම්වල පාරට සේන්දු වෙන්න. 

ගඟ දිගේ
මේ තිබෙන්නේ පොහොය සීමා මාලකය.ඔයාල දන්නවද ඒ ගැන?මමත් මේ පණ දාගෙන හෙව්වා ඔයාලට ලියන්න. ඒත් මාත් දන්නෙ නෑනේ... :( ලැජ්ජයි නේද ? නුවරත් ඉඳගෙන ? :-) 
පොහොය සීමාව
අලුතෙන්ම දැනගන්න ලැබුනු ආරංචියක් තමයි මේ ගඟ හරස් කරලා කුඩා විදුලි බලාගාරයක් තනන්නට යනවාය කියන කතාව,බලනකොට කතාව බොරුමත් නොවෙයි වගේ. බලන්නකො මේ ගඟ හරස් කරලා වැලි මුට්ට දාන හැටි... අනේ මන්දා.. මේලස්සන ගඟ අපට නැති වේවිද ???? 

වැලි මුට්ට :(
  ඔන්න ඔහොම එද්දි මේ ගංගා දර්ශනත් සමගම යටිහලගලින් දැන් මම හෙල්ලෙන/එල්ලෙන/ වැල් පාලමෙන් එගොඩ වෙන්නයි ලෑස්තිය...
මේ තියෙන්නෙ සංගිලි පාලමක්. සම්පූර්ණයෙන් යකඩ කඹ වලින් එල්ලා තිබෙන මේ පාලම මීට වසර කිහිපයකට පෙර අලුත් වැඩියා කලා.. එක්දහස් අටසිය බර ගණන් වල හැදූ එකක් බවයි දැනගන්ට තියෙන්නෙ. 


හෙල්ලෙන/එල්ලෙන/වෑල්/සංගිලි පාලම
පාසල් කාලයේ මගෙ සහෝදරයාත් මාත් අපගෙ අපූරු යෙහෙලියෙකුත් (නම කිව්වොත් එයාට ලැජ්ජ හිතෙවිද දන්නෙ නෑනේ) මේ පාලම හොල්ලමින් උඩට පල්ලෙහාට දිව්වා මතක් කර කර පාලම උඩ හිටන්ම ගඟ රූපගත කරගන්නටත් මම අමතක කලේ නෑ.
පාලම උඩ
පාලම අලුත්වැඩියා කළ කාලේ  ගම්වැසියන්ට එගොඩ මෙගොඩ වෙන්න  ගඟේ දමා තුබුනු පාරුව පැද්ද හැටි ! ඒ අපූරු කාලේ ආයෙ කවද එයිද ? 

රස්තියාදු ගමන අවසන් වුනේ ගමේ පන්සලට ගොඩ වෙන්න සිතුවිල්ලකුත් ඇති කරමින්. ඒත් ඒ ඒකට වෙලාව නොවෙයි...


අනෙ මන්දා .. රස්තියාදුව පටන් ගත්තා විතරද මන්දා :-) ! 

මග හොඳට තිබේ නම්...  
කකුල් හයියත් තියේ නම්
කිම බස් වල යන්නේ  
පයින්ම යා !!!

චියස් !

Friday, August 12, 2011

[192] මගේ රස්තියාදු ගමන් 2

සතියකට විතර පස්සෙ ආයෙමත් කිසිම හේතුවක් නැතුව නුවර යන්න තියා ගත්තෙ වෙන කිසිම දේකට නොවෙයි.රස්තියාදු ගැහිල්ල නිසාමයි. (ඇයි කොල්ලොන්ට විතරද රස්තියාදුව කැප?) නේද ?  :-)


 ගල්කිස්සට නම් අඩු ගානෙ මුහුදු වෙරළක් තිබ්බා.. මගෙ තනියම ගත වෙන මුහුදු සැන්දෑ ගැන, මම වෙරළෙ හැදුව වැලි මාලිගා ගැන ඔයාල කියවල ඇතිනේ.. ;-) නුවරට කොහෙද මූදු ? ඒත් නුවරට තියනවනෙ ඊට වඩා අපූරු තැන් .. :-)




Kandy City Centre හි ඉදිරි දොරටුව
පෙර හැර උණුසුමෙන් නුවර කොටින්ම කියනව නම් කැලඹිලා.. නුවරුන් විතරක් නෙවෙයි ලක්වැසියන්ගෙන් අරික්කාලක් මෙහෙද මන්දා. නුවරට සැණකෙලි ඉතින් පෙරහැර කාලෙටනේ... ඉතින් කිසි හාවක් හූවක් නැති නුවර දැන් නම් ටිකක් දොඩමලු වෙලා..


වෙන අවුරුදු වල තිබුන අතොරක් නැති මුර කුටි ගණනාවකින් පස්සේ එලඹෙන දලඳා මාලිගාව තෙක්ම තිබුනු හැම මාර්ග බාධකයක්ම අයින් වෙලා. පරීක්ෂා කිරීමේ කුටිත් ඇත්තෙම නෑ.. පොලිසියෙනුත් අඩුයි වෙනදට වඩා. පෙරහැර ගමන් මගේ කඩ සාප්පු ලහි ලහියේ රෑ තියෙන්න යන කුඹල් පෙරහැරට ලැහැස්ති වෙන්නේ වටපිටවත් නොබලමින්. ගනුදෙනු කරුවන්ට වඩා අද වැදගත්කම පෙරහැර මගේ අසුන් පනවන්නටයි..


කොයිකටත් කියලා ඇවිදගෙන යනකොට සිටි සෙන්ටර් එකට ගොඩ වුනේ බැංකු කටයුත්තකට. ඒත් ඊට එහායින් තිබුනු අපූරු අලුත් වෙලඳ කුටියක් දිහෑවට මගෙ ඇස් යොමු වුනා... දලඳා මාලිගාවෙන් සකස් කළ සමරු භාණ්ඩ වෙලඳසලක්. (ඔය  තියෙන්නේ පල්ලෙහායින්)


මාලිගාවේ සමරු කුටියෙන් කොටසක්
ඇත්තෙන්ම කොච්චර අපූරුද ? සංචාරකයින්ට පෙරහර තොරතුරු, පොත්පත්, සමරු සටහන් , සිහිවටන එකම තැනකින්. ඒ විතරක් නෙමෙයි අපූරු ඡායාරූප එකතුවකුත් !!! අපිට උවමනා ඡායාරූපය එවෙලෙම මුද්‍රණය කරල දෙන්නත් සේවක පිරිස සැදී පැහැදී ඉන්නවා..


එවෙලේම මුද්‍රණය කොට දෙන පෙරහැර ඡායාරූප
මම ඉතින් දක්ෂ ඡායාරූපකරණයක් දන්න කෙනෙක් නෙමෙයිනේ. ඒත් සාක්ෂි වශයෙන් රූප කිහිපයක් අරගන්න මම අමතක නොකලේ මේ වතාවේ නුවර එන්න බැරිවෙන උදවියට අඩු ගානේ මේ විදියටවත් නුවර සිරි දකින්න සලස්සන්න. ඉතින් දුර්වල ඡායාරූපකරණයට සහ දුර්වල කැමරාවට සමාවෙලා පින්තූර ටික බලන්නකෝ :-)


ප්‍රදර්ශනයට තබා තිබෙන ඡායාරූප


මගෙ හිත තදින් පැහැර ගත් පින්තුරයක්
 අපූරු චිත්‍ර කිහිපය නරඹමින් අඩ හෝරාවක් විතර එතන ගත කළ මට පෙරහැර බලන්න එන දස්ස ඡායාරූප නගාලාට සහ මල්ලිලාට වැදගත් වෙන පණිවුඩයකුත් ඇස ගැසුනා.. ඔන්න ඔයාලගෙ අවස්ථාව! :-)


ඡායාරූප තරඟයක් මෙන්න
ඔන්න ඉතින් එතන ටික වෙලාවක් කැරකි කැරකි ඉද්දි තමයි මට මාලිගාවට යන්න අදහසක් පහළ වුනේ... ගොඩ දවසකින් ගියෙත් නෑ. සෙනඟ නම් හරියට. ඒ අවු අස්සෙ පෙරහැරට ලැහැස්ති වෙන හස්තිරාජයින්ව එක පෙළට එක්ක එනවා දලඳා හාමුදුරුවන් වන්දවන්න. ඒක නරඹන්නත් සෙනඟ ගොඩයි. මාත් ඉතින් හැමදාම වගේ පරණ මාලිගාවට මල් පූජා කරලා අලුත් මාලිගාවට ගියේ බුදුන් වඳින්න. මගෙ ප්‍රියතම ස්ථානයක් තමයි අලුත් මාලිගය. අද නම් එතනත් හොඳටෝම සෙනග.


තේවාව පවත්වන ස්ථානය
තේවාව වෙලාව කියන්නේ මම අහන් ඉන්න ආසම නාදයක්.. ඒ නාදය අහමින් ඕනැම වෙලාවක් මාලිගාවේ ඉහල මාලයේ හිඳගෙන ඉන්නට පුලුවන්.. තේවාවේ තිබෙන අපූරු ගුප්ත මාධූර්යය අද නම් මට අහන්න වුනේ නෑ. ඒ තේවාව වෙලාව නොවන නිසා..


හස්තිරාජයින්ගේ දල  බුදුන්වහන්සේට සෙවණ දෙමින් වහලයේ එල්ලෙන අයුරු මම දැක්කේ අද.


ජීවත් වෙනකලුත් - දම්වැල්,  මිය ගියත් - දම්වැල්
පෙරහර බලන්න එන ඔබ දලඳා වඳින්නත් හිතා ගෙන ඉන්නවනම් සවස 3 වෙනවිට දලඳා වැඳුම් අහවර කරගන්න ඕනේ. තුනෙන් පසු ඔබට දලඳා මාලිගා භූමියට ඇතුල් වන්නට බැහැ. හිතේ තිබෙන තවත් ලොකු ආසාවක් තමයි මේ පෙරහැරට සූදානම් වන චාරිත්‍ර වාරිත්‍ර සියැසින්ම දැක බලා ගැනීම. බලමුකෝ ඉතින්.. නේද ? some day some way :-)


වෙනද වගේ නිස්කාන්සුවෙ වඳින්න නම් වෙනදාකම එන්න වෙනවා. අද දිවයිනේ දස දෙසින් ඇදුනු බැතිමතුන් දහවල් 2 වෙනවිට පෙරහැර මාර්ගයේ අසුන්ගෙනත් අහවරයි. ඉතින් බොහොම අමාරුවෙනුයි ආයෙමත් ඔර්ලෝසු කණුව වෙත පාර හදාගෙන ආවෙත්.
ඡායාරූප ගන්න හත් පැයක් ගන්න මට වඳින අලියෙකු ගන්න බැරි වුනත් වඳින්න ඔන්න මෙන්න වගෙ එකක් ගන්න පුලුවන් උනා.. :) හිනා වෙන්න හෙම එපා හොඳේ . (හිනා වුනත් මට පේනවයැ. මට මොකෝ) :-)




ඔන්න ඉතින් තවත් ඡායාරූප නම් ගොඩයි. ඉතින් නුවර ඉඳන් වෙනද එන පාර වෙනුවට අතුරු පාරක් ‍තෝරගෙන පයින්ම ගමන එන්නයි ලෑස්තිය  ගෙදෙට්ටම. දිය කපනා තොට පන්සල, හල්ලොලුව එල්ලෙන පාලම සහ පොහොය සීමා මාලකය පසු වෙන යටිහලගල මාර්ගයේ, බඩ ඉරිඟු කරලකුත් හපමින්  එන්නයි අද හිතේ තියෙන්නෙ. සටහන දිග වැඩි නිසා ඊලඟ ලිපියෙන් ඒ විස්තර :)


රස්තියාදුව පටන් ගත්ත විතරයි. අනේ මන්දා කොහෙන් නවතීවිද කියලා :-)


ඇවිදින්න පණ තියෙන කකුල් දෙකකුත් , 
අවට දකින්නට ආසාවෙන් නලියන ඇස් දෙකකුත් , 
කාන්සි වෙලාවට අහන්ඩ අයි පොඩ්ඩෙකුත් ඉන්නවා නම් , 
බස් කුමට , 
මෙ මනරම් නුවර සිරි විඳ විඳ , 
පයින්ම ගාටනු මිසක :-)

චියස් !!!

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->