" මගේ අම්මල තාත්තල කවදාවත් මාව හුරතල් කරල නෑ. පොඩිම පොඩි කාලෙ වුනත්. එයා හරි සැරයි. නපුරුයිදත් මන්දා. හැමතිස්සෙම දුන්නෙ අවවාද.දෙයක් කිව්වොත් සැරෙන්. මම එයාට බයයි. මම කවදාවත් එයත් එක්ක විහිලු කරල නෑ. එයා හිනා යන දෙයක් කිව්වොත් අපි හිනා වෙන්න ඕනෙ නිසා හිනා වෙනවා. ඒත් එයා කවදාවත් අපිට සැහැල්ලුවෙන් හැසිරෙන්න ඉඩ දුන්නෙ නෑ. අපිට කෑගහල හිනා වෙන්න දුන්නෙ නෑ. අපි එයාලට අමුත්තො වගේ හිටියේ.
ගෙදර කිසිම තීරණයක් අපි දැන උන්නෙ නෑ. අපිට අහන්නවත් අයිතියක් තිබ්බෙ නෑ. ගෙදර තීරන බෙදා ගැනුනෙ ගෙදර ලොකු අයිය එක්ක විතරයි. මම ඇතුලු නන්ගිල මල්ලිල සහ අක්කාට ඒ අයිතිය තිබ්බෙත් නෑ. ඒ නිසා ගෙදර කනපිට පෙරලුනත් බරක් දැනුනෙත් නෑ අපිට. මොකද එයාල හැමතිස්සෙම හැන්ගුවා මේවා අපෙන්. අපි අපේම ලෝක වල ජීවත් වුනේ. කන්න බොන්න එකතු වුනත් ඒ කාලය හරිම අප්‍රියා සහගත වුනා. අපිට හිනා වෙන්න දුන්නෙ නෑ. කාල ටික වෙලාවක් කෑගගහ හිනා වෙන්න , සතුටෙන් ඉන්න දුන්නෙ නෑ. අපි හෑමෝටම සිද්ද වුනේ කෑගහනව කියල බෑනුම් අහ අහ කාමර වලට රිංග ගන්න. "
හ්ම්ම්ම්... මට මුණ ගැහුන තවත් යාලුවෙකුගේ කතාවක්. ඒත් මේ කතාව පිටිපස්සෙ තියෙන්නෙ විසාල ඛේදවාචකයක් කියල මට හිතුනේ එයාගෙ වර්තමාන ජීවිතයෙ තියන පැටලුම් දැක්කම. එයා හරිම සංකීර්ණ මානසිකත්වයක ඉන්නේ. සමාජෙන් වෙන් වෙලා, හැංගිලා. එයාගෙ ප්‍රශ්න එයා කා එක්කවත් බෙදා ගන්නෙ නෑ. ඈත්තටම එයත් එක්ක කතා බහ කලාට පසු මටම පුදුමයි එයා මට මෙපමණවත් විවෘත වුන එක.
මේ අම්මගෙ තාත්තගෙ සැබෑ උණුහුම ආදරේ සෙනෙහස ලෙංගතුකම වෑඩිහිටි වියට පැමිණෙද්දි අහිමි වෙන එක් හදවතක දුක්බර කතාවක් විතරයි.. තව නොකියවුන කතා කී දාහක් ඇද්ද?
මේ යාලුවා ආදර සම්බන්ධ කීපෙකම පැටලුනා. ඒත් මේ මල්ලි, හරියට පෙම්වතියගෙන් ආදරේ බලාපොරොත්තු වෙනවා. හැබැයි මම කියන්න ඕනේ, මේ මල්ලි ආදරේදි හරිම අවංක , හරිම ලස්සනට ආදරේ ප්‍රකාශ කරන කෙනෙක්. ඒත් එයා ඒ හා සමානම ආදරයක් බලපොරොත්තු වෙනවා අනෙකගෙනුත්. එයයි වරද. ආදරේට වැඩියෙ හුරතලේ බලාපොරොත්තු වෙනවදත් මන්දා. ඒත් මේ මල්ලි හරිම ආදරනීය කෙනෙක්. හරිම හොඳ කෙනෙක්.
අපි ඉපදෙනකොට අපෙ අම්ම අපිව තුරුලු කරගන්නව සෙනෙහසින්. ඒත් සමහර අම්මලා තාත්තලා කරදඬු උස්මහත් වෙද්දි දරුවන්ව හුරතල් කරන එක නවත්වනව. එතකොට දරුවෙකුට දැනෙන මානසික පාලුව මෙතෙකැයි කියල කියන්න පුලුවනිද? කරදඬු උස්මහත් වෙද්දි තාත්ත දුවෙකුගෙන් ඈත් වෙනව නම්, අම්ම පුතෙකුගෙන් ඈත් වෙනව නම් මම හිතන්නෙ එතනින් තමයි දරුවන් නරකම ආදර්ශය ගන්නෙ. ආදරේ සම්බන්ධව. ආදරේ එතනින් එහාට ඔවුන්ට විඳින්න ලැබෙන්නෙ නෑ. දකින්නෙත් නෑ. ලමයි ලොකු වෙද්දි අම්මල තාත්තල තමුන්ගෙ කාර්‍යබහුල ජීවිතේ පිට දමල මේ යුතුකමෙන් මගහරිනවා. ආදර දැනෙන්න දෙන එක දරුවන්ට. කොටින්ම ඔවුන්ට එකිනෙකාට (අම්මාට සහ තාත්තාට) ආදරය කරන්න පවා අමතක වෙනවා.
මම මේ ලියන දේ නම් බොහෝ විට විවිධ මතවාදවලට හේතු වෙන්න පුලුවනි. ඒත් මම නම් හිතනවා දරුවෙකු ආදරය (අන්‍යානෙය) ආදරය හඳුනා ගත යුත්තේ අම්මා තාත්තා ඇසුරෙන් කියා.
අද කාලෙ අපෙ පරිසරයෙ සමහර අම්මලා තාත්තලා දරුවෙකු ඉස්සරහා අඩු ගානේ ලඟින් ගෑවෙන්නවත් ඉඳ ගන්නෙ නෑ. අතින්වත් අඩු ගානෙ අල්ලන්නෙ නෑ. අඩු ගානෙ අලුත් අවුරුද්දටවත් වැලඳ ගැනීමක්, හිසවත් සිඹීමක් කරන්නෙ නෑ. ඒ නිසාම දරුවන්ට අම්මගෙයි තාත්තගෙයි ආදරේ පෙනෙන්නෙ හරි බොල් දෙයක් හැටියට. කොටින්ම කියනව නම් පිරිමියෙක් තමා ආදරය කරන ගැහැනියට දැක්විය යුතු ලෙන්ගතු කම, ගැහැනිය තමා ආදරය කරන පිරිමියට දැක්විය යුතු ලෙන්ගතු කම, දරුවෙකුට උගන්වන්න පුලුවන් හොඳම ගුරුවරු දෙන්නා අම්මයි තාත්තයි. එයාල එකිනෙකාට පෙන්වන ප්‍රකාශ කරන සෙනෙහස දරුවන්ට පෙනෙන්නෙ නෑති කොට එයාල ඒව ඉගෙන ගන්නෙ කොහෙන්ද ? හරසුන් හින්දි චිත්‍රපටි වලින්, පත්තර වල මල් කතා වලින්, චිත්‍ර කතා වලින් නෙමෙයිද? අනෙක් දරුණුම මූලශ්‍රය තමයි 'යාලුවන්' - කොටින්ම නුහුරු අත්දැකීම් වලින් කුල්මත් වුන යාලුවන්... අම්මේ තාත්තේ මේ ගැනත් හිතුවාද ?
අම්මගෙයි තාත්තගෙයි ලස්සන ආදරේ තරම් දරුවෙකුට ආදරේ ගැන දෙන්න පරමාදර්ශයක් තවත් කොයින්ද? අම්මගෙයි තාත්තගෙයි ප්‍රේම වෘතාන්තය ආදරෙන් දවස ගෙවෙන හැටි තරම් දරුවෙකුට වටින ආදර පාඩමක් තවත් තිබිය හැකිද?
දුවෙකුට කොල්ලෙකුට හිත යනවනම්, පුතෙකුට කෙල්ලෙකුට හිත යනව නම් , හිත ගිය ඕනෙ වැලි ගොඩක මාලිගා නොහදා හිතගිය දේ ආදරේද වෙන දෙයක්ද කියල විමසල බලන්න අම්මගෙ තාත්තගෙ උදව්ව තියනවනම් කොයි තරම් අපූරුද?
ආදරේ ඇරඹෙන්නෙ කොහොමද , හිත යන්නෙ කොහොමද , ඒ ඒ දේට නිසි කාලය මොකක්ද ? , තෑන නොතැන හැසිරීම් රටා මොනවද කියන මේ පාඩම අද බහුතරයක් දරුවො ඉගෙන ගන්නෙ තමුන්ම නිරීක්ෂණය කරලා එලැඹෙන මෝඩ නිගමන වලින්. එක්කෝ ටෙලිනාට්‍යයකින්. චිත්තරපටියකින්. මේක හොඳද? ඇයි අම්ම තාත්තට බැරි මේ සරල දේවල් ගැන කතා කරන්න. ආදරේ හිතෙන හැටි, ආදරේ කරන හැටි, එයින් දැනෙන දේවල්.යනාදිය. දරුවන්ට මේ වැටහීම නැති වෙද්දි තමුන්ට තමුන්ගෙ සීමාවල් තනියම තීරණය කරගනන් වෙනව. එක්කො සහකරුවාට නොදැනුවත්වම අනවශ්‍ය දේට පවා අවනත වෙන්න වෙනවා. ඔක්කොම වෙලා හමාර වෙනකල් තමුන් දන්නෙ වත් නෑ. ආදරේ සුප් හොද්දක් කියල මම කිව්වෙ නිකම්ද?
ඉතින් අම්මෙ තාත්තෙ, මේ කාර්‍යබහුල ජීවිතෙ අස්සෙම අපිට කියා දෙනවද ආදරේ...? ඔයාලගෙ ආදරේ නොදැකපු අර මල්ලි වගෙ උදවියට ජීවිතේම පැටලෙනවා ආදරය කරන්න නොදන්න කමෙන්. ආදරෙ එක්ක ජීවිතේම වරද්ද ගන්න පෙලඹෙන්න කලියෙන් අපිට ආදරේ විඳින්න කියල දෙන්න. අපිට ඔයාල දෙන්නගෙ ආදරේ පරමාදර්ශයක් කරන්න.
ආදරය රැඳෙන්නෙ කලුවරේ කාමරයක් ඇතුලෙ නොවෙන බව අපිට උගන්වන්න. එදාට මේ රටේ අතින් අල්ලගෙන යන පෙම්වතුන් දිහා වැඩිහිටියො රවා නොබලාවි. එදාට ඒ රැවුම් වලින් බේරෙන්න හිරිමල් කොල්ලො කෙල්ලො හෝටල් කාමර වලට නොදුවාවි.නුවර වැවරවුමේ බංකු වල කලු තාර ගාල පෙම්වතුන්ව අසල හෝටල් කාමර වලට අඳුරු බොක්ස් කුටි වලට අද්ද ගන්න මුදලාලිලට ඉඩ හදන්නෙ ඈයිද?
ආදරේ පාඩම් , තැන නොතැන, අම්මල තාත්තල ආදර්ශයෙන්ම දරුවන්ට කියා දෙන කාලෙක අපිට බස් සීට් මුල්ලේ රති කෙලි නොපෙනේවි. ආදරේ කියන්නෙ ගරහන්න හෝ හංගන්න දෙයක් නොවෙන බව දරුවො පසක් කරන තැන ආදරේ අපි ලෝකෙ පුරාම දකීවි. ආලින්දයේ , මහ පාරේ , කඩ සාප්පු වල, මුහුදු වෙරළේ හැම තැනම, 'අන්න පුතේ අර කපල් එක ආදරේ කරන ලස්සන!' කියල අපිට පෙන්වන්න පුලුවන් හෙටක් හැදේවි.