Tuesday, July 20, 2010

ජීවිතය අකුරු කල ජයසේන ජයකොඩි නම් අපූරු මිනිසා...

 
ලංකාවේ ගත් කතුවරු අතරේ ඔහුට වඩා හරබර ලේඛකයන් ඉන්නට ඇත. ඉන්නවාද ඇත. එහෙත් බුදුසමය , නවකතාව සහ නිර්මාණශීලිත්වය එතරම්ම සුමට ලෙස එකට කැටි කල අසහාය මිනිසෙකු මා තවත් දැක නැත. ජයසේන ජයකොඩි නම් ඒ අපූර්ව මිනිසා අපෙන් සමුගෙන ගොස්ය! ඔහු මිහිපිට නිවන පසක් කල බව නිසැකය. ඔහු ලියූ අමිල අද්විතීය ග්‍රන්ථ ඊට දෙස් දෙයි. එහෙයින් කිසිවක් ඔහු වෙනුවෙන් මට පතන්නට ඉතිරිව නැත.


ජීවිතයේ රස සුවඳ කැටි කල අපූරු බස් වහරක් ඔහු සතු විය. පය ගසා සිටින පොලවේ පස් උඩ නිරායාසයෙන් පැලවෙන ලදලු ඇති පැලෑටි කීපයක් සේ ඔහු ගොඩ නගන කතාන්තරයක චරිත අපේ හිත් තුල අපටත් හොරා වැඩෙන්නට ගනී. රාහුල හාමුදුරුවන් තුල ඇති නොසැලෙන බෝසත් ලක්ෂණ , ඒ වටා භ්‍රමණය වූ කමලාවතී, සිඤ්ඤප්පු, යසපාල, දයාපාල, උපේඛා තෙරණිය, සුමේධා තුල ජීවත් වූ පුහුදුන් මිනිසුන් අපේ හදවත් අරක් ගති. කොටින්ම මා ගැන කියනවා නම්, මම ඒ නවකතා මාලාව තුල ජීවත් වූයෙමි. එයින් ජීවිතය උගත්තෙමි. පුහුදුන් මිනිස් ගති වලට සමාව දෙන්නට මා උගත්තේ ඔහු ලියූ රාහුල හාමුදුරුවන් ඇසුරු කොට ගත් කර ගත් පොත් පෙලිනි.මම එය නිසැක කොට කියමි.


ප‍ටු , අතාත්වික දාර්ශනික ලෝකයක සිරව සිටි මම ඉන් මිදී පුහුදුන් සිත් සහිත මිනිස් සතුන් දෙස දයාවෙන් බලන්නට ඔහු නිසා උගත්තෙමි.ගොලු  දයාපාල උපේකා තෙරණියට අතවර කල මොහොතේ රාහුල තෙරණුවෝ ඔහුව ගස් බැඳ පොලිසි ගෙන නොගොස් දයා කරුණාවෙන් ඔහුව හික්මවූ සේක. දැහැමියෙකු කල සේක.(පිච්චමල පොත් පෙලෙහි 4 වැන්න - උපේකා) මෛත්‍රියට මෙලොව කල නොහැකි දෙයක් නැති බව මම උදක්ම අදහනුයේ ඔහු ලියූ මෙ කතාන්තර වලට පින් සිදු වන්නටය. එය අදටත් මා තුල දහමක්ව ඇත.




ඔහු තුල ජීවත් වූයේ ගත් කතුවරයකුගෙන් ඔබ්බට ගිය ජීවිතය දිනූ මිනිසෙක් බව මම කියමි. නො එසේව එතරම්ම සජීවිව ජීවිතය කැටි කොට යලිදු අකුරු කරන්නට ඔහුට නොහැකි බව මාගේ විස්වාසයයි. ඔහු සතුව අපූර්ව ව්‍යංගයක් ඇත. ලියවෙන එක් එක් දෙබසක් පාසා ඒ ව්‍යංගය අපට කියා දෙන්නේ අතිශය ගැඹුරු සංකල්පයකි.


ඔහුගේ රාහුල හාමුදුරුවන් ගැන ලියූ නවකතා 8 හි , රාහුල තෙරුණුවන් යනු පන්සලේ වූ පිච්ච පඳුර විය. ඒ පිච්ච පඳුර ඇසුරෙන් ඔහු තෙර නමකගේ නොසැලෙන අකම්පිත ලෝකෝත්තර ගුණය නිරතුරුව විදහා දැක්වූ අපූරුව විඳින්නට නම් ඔබ ඒ කියවිය යුතුමය.


රාහුල හාමුදුරුවන් ඇසුරු කොටගත් නවකතා 8 ( හැකිනම් සොයාගෙන කියවන්න)
1. පිච්චමල
2.අරලියමල් ආරාමය
3. මහමෙර
4.උපේකා
5. පින්කෙත
6. සිල් සුවඳ
7. සුදු නෙලුම
8. තෙර තරණය
ඔබට ජීවිතය උගත හැක ....... ජීවත් වන්නට, පුහුදුන් සිත් ඉවසන්නට උගන්නා අතරතුර එක හුස්මට කියවන්නට හැකි නවකතා 8 කින් ඔබ බුදු දහමද නොදැනුවත්වම උගනී....


අමාවැස්ස, ගෝතම ගීතය, අනඳ හිමි, මහ මිහිඳු හිමි, යසෝදාව, සත් සයුර, ගිහි ගෙදර, නුරා ගින්න යනාදී මේ පොත් පෙලෙහි ඇත්තේ බුදුසමය ඇසුරු කොටගත් සිදුවීම ප්‍රතිනිර්මාණය කිරීමකි. එහිදී චිත්ත රූප මවන සුලු අයුරින්, කතා රසය උද්දීපනය කරන ඔහු, ඉන් බුදු දහමට හෝ ඒ චරිත වලට කිසිදු හානියක් නොකරන්නටද වග බලා ගත්තෙහිය.


මනුස්සාත්ම, අඹුදරුවෝ, රෝස ක‍ටු යනාදී කෘතීන් තුලින් මේ පුහුදුන් සමාජය වර්තමානයෙහිද අකුරු මත නිර්මාණය කරන ඔහු එකම පරාසයක නමුදු විවිධ පැතිකඩ ඔස්සේ කියවන්නට වැඩැති දෑ බිහි කරන්නට යුහුසුලු විය.


ගත් කතුවරයානෙනි, ඔබ හැර ගිය පසු මේ ඔබ උදෙසා ගයන ගුණ ගැයුමක්  නොවේ. ඔබ වන් සොඳුරු මිනිසෙකු මියෙන්නට පෙර ජීවිතයේ බොහෝ දේ පසක් කර සිටින්නට ඇත යන්නට ඔබ ලියූ දෑම දෙස් දෙයි. එනිසා අමුතුවෙන් ගයන්නට දෙයක් නැත. ඒත් ඔබ ලියූ දෑ තව දහස්  දෙනෙකුටවත් කියවන්නට පාර කියන්නට මට අවැසිය. ජීවිත රසය සොය සොයා නොතිත් පිපාසයෙන් හරවත් දෑ ගවේශණය කරන දස දහස් දෙනෙකුටවත් දකින්නට  මේ පොත් පත් ගැන ලියා තබන්නට මට අවැසිය.


බෝසත් චරිතය නානාප්‍රකාර වෙසින් කුඩා කල පටන් උගත් මා හට ඒ අප්‍රමාණ භක්තිය ශ්‍රද්ධාව ජනිත වූයේ 'අමා වැස්ස' තුලින් පමණකි.රති ගින්නෙන් පැලැහෙමින් වියරු වැටී දිව යන මිනිස් වග දෙස දයා කරුනා තෙත් වූ දෑසින් බලන්නට මා උගත්තේ "නුරා ගින්න" තුලිනි. රූපය නිසා මාන්නයෙන් උඩඟුව ජීවිතයම අඳුරේ හෙලා ගත් මාගන්ධිය ගැන මට අදද චිත්ත රූප මැවිය හැකි තරම් 'ගෝතම ගීතය' මා සිත වසඟ කර ගත්තේය.




ලිඛිත බස් වහර තුල සාර්ථක වූ ලේඛකයන් කී දෙනෙක් සිටී දැයි මම නොදනිමි. බුදු සමය ඇසුරු කොටගත් චරිත කතා සජීවිව ලියන කී දෙනෙකු සිටී දැයි මම නොදනිමි. චිත්ත රූප මවන සුලු , අතිශය සිත් බඳින වහරකින් ව්‍යක්ත සිංහලය මනා සේ හසුරුවමින්, බුදු සමය වර්තමානය උදෙසා නවකතාවක් කොට ඉන් පාඨක හදවත ඇද බැඳ ගත් මා දන්නා එකම ලේඛකයා ජයසේන ජයකොඩි පමණි.


ගත් කතුවරයාණෙනි, ඔබ අමරණීය නැත.මන්ද ඔබ අත්හැරීම හුරු කල අයකු බව නිසැක නිසාය. ඒත්  ඔබ ලියූ දෑ සදාතනිකය. ජීවිතය සුමට ලෙස අකුරු කල ඔබ වැන්නෙකු ලියූ දෑ ඇඟිල්ලෙන් ඇන පෙන්වන්නට මට අවැසිය. ඒ කරා තව සිත් දහසක්වත් ගෙනයන්නට මට අවැසිය. ඔබ වෙනුවෙන් මා කරන එකම පැතුම එයයි. ඔබ ඔබේ අරමුණ කරා ගොස් ඇති බව නිසැකය. නො එසේනම් ඊට අවැසි කුසල මහිමය මම පතමි. හැකිතාක් ඔබ ලියූ දෑ අනුනට දකින්නට මම පාර කියමි...


මගේ ප්‍රියතම ලේඛකයාණෙනි... ඔබේ ප්‍රාර්ථනා සඵල වනු උදෙසා මම මේ පින් අනුමෝදන් කරමි...

17 comments:

  1. සුන්දර මිනිසෙක් ගැන ලියැවුනු අගනා ලිපියක්....

    ReplyDelete
  2. අපොයි දෙය්යනේ. ඔය පොත් අටෙන් එකක්වත් මම කියවලා නෑනේ. :(

    ReplyDelete
  3. මයියා ට මතකයි මයියා පොඩි කාලේ අමාවැස්ස කියවලා අඩලා තියෙනවා, මැතකදි එතුමා ගේ පොතක් කියැවීමට නොලැබුනත්, නැවත අමාවැස්ස කියවු වොත් මයියා පොඩි කාලේ විදිහටම සOවේදී වෙයි කියලා මයියා ට හිතෙනවා, ම්යියා ගෝතම ගීතයත් කියවලා තියෙන්වා, ම්යියා අමාවැස්සට වඩා කැමතියි,,,ඔහු වෙනුවෙන් මෙවන් සටහනක් තැබු ජීවීතේ මල් ට ගොඩක් ස්තූතියි

    ReplyDelete
  4. අමුතුම ආරක සංවේදි පොත් පෙළක කතුවරයා...

    ඔහුට ද නිවන් සුව ම පතමු...

    ReplyDelete
  5. මනුස්ස ජීවිතය හා ඒහා බැඳුනු සිතිවිලි සමුදායන්..අකුරු හරහා මනසට පොවාළු මිනිසා..
    ඔබට නිවන් සුව අත් වෙවා...

    රූපං ජීරති මච්චානං..
    නාම ගොත්තං න ජීරතී...

    ReplyDelete
  6. වටිනා මිනිසෙක්.... ගැන වටිනා සටහනක්...

    ඔබට නිවන් සුව පතනවා මහතානෙනි....

    ReplyDelete
  7. විශිෂ්ඨ කතන්දර කරැවෙක්. කොහොමත් ඔහුගේ මුල්කාලීන නිර්මාණ වලටයි මම වඩා කැමති.
    වැදගත් සටහනක්.

    ReplyDelete
  8. @හේමලයා.
    ඇත්තටම වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම සොඳුරු මිනිසෙක්. මට ඔහු හමු වී නෑ. ඒත් ඔහුගේ පොත් එකක් හෝ දෙකක් හැරුනු කොට සියල්ල මා කියවා තිබෙනවා. ඒම ප්‍රමානවත් ඔහු හඳුනාගන්නට,.,,

    @ අනුරාධ මල්ලි
    ජීවිතේ දරා ගන්නට, දුක් තුල නොකිඳී ජීවත් වෙන්නට විසාල පන්නරයක් මම මේ පොත් තුලින් ලැබුව මල්ලි.. පුලුවන් නම් ජයසේන ජයකොඩිගේ අර ලිපියේ ලියූ පොත් හොයාගෙන කියවන්න. සරසවි පොත් හලේ තිබෙනවා.

    @මයියා
    ගෝතම ගීතය , අමාවැස්ස තරම්ම සංවේදි වන පොත් දෙකක් තමයි සත්සයුර සහ අනඳ හිමි.. හැකි නම් සොයාගෙන කියවන්න...

    @ චේජනා
    ඔව්... අමුතුම ආරක්. ඔහුගේ පොත් 99% කියවූ මම දැකපු එක් දෙයක් තමයි එක හා සමාන සිදුවීම් ඒ පොත් වල යලි යලි ලියවෙනවා. ඒත් අන්තිමේට බලං ගියහම ඔහු ලියූ නූතන නවකතා වල පවා පාදක වූ ගොඩක් සිදුවීම් ජාතක පොතේ හෝ බුදු සමයෙන් උකහා ගත් එවුවා,

    @ මාරයා
    ඔහුගේ මෙහෙය අමිලයි... ඔහු නිසැකවම මගපල ලද්දෙකැයි මට හිතෙනව...

    @පිස්සා
    ඔව් ඔහු මා දු‍ටු වටිනාම මිනිසෙක්. කවදා හෝ ඔහු දැක හමුවන්නට මගේ සිහිනයක් තිබුනා. ඒත් මම තැවෙන්නේ නෑ. මන්ද මා ඔහු ලියූ දැයින් ඔහු දු‍ටු නිසා.

    @ චාමි
    ඔව් ..ඔහු අති විශිෂ්ට කතා කරුවෙක්... ඔහු ලියූ අරලිය මල් ආරාමය අපූරු ටෙලියක් සේ නිමැවූ ඔහු පුත් ප්‍රසන්න ජයකොඩිත් මෙහිදී සිහි කල යුතුමයි.. මා මනසේ මවා හුන් රාහුල තෙරනුවන්, කමලාවති, සුමේධා, සිඤ්ඤප්පු යනාදින් ඒ අයුරින්ම ප්‍රති නිර්මාණය කල අති සාර්ථක ටෙලි නාට්‍යයක් ග්ඩ නගන්නට ඔහු සමත් වුනා.

    ReplyDelete
  9. බොහොම පිං මිත්‍රයා මම මේ පොත් ලිස්ට් එක හොයා ගන්න නොහැකි කමෙන් සිටියේ....

    ReplyDelete
  10. මෙකෙ පලවෙනි පොත් දෙක මෙන්න මෙ සයිට් එකෙ තිබ්බා http://www.o3wall.com/

    ReplyDelete
  11. එල්. රත්නතිලකApril 5, 2012 at 9:37 AM

    මට හිතුනේ මමත් රාහුල හාමුදුරුවෝ වටේ හිටපු එක චරිතයක් කියලයි. ඒ තරමට මම ඒ පොත්වලට සම වැදුනා. ගැඹුරුයි කියනා බුදු දහම ඕනෑම පුද්ගලයෙකුට තේරුම ගන්න හැකි ආකාරයට ඉතාම සරලව පැහැදිලි අයුරින් සමාජයට තේරුම් කරලා දෙන්නට හදපු ප්‍රයත්නයක් .

    ReplyDelete
  12. මම දැකපු අඟනා ලෙඛකයෙක්

    ReplyDelete
  13. මම දැකපු අඟනා ලෙඛකයෙක්

    ReplyDelete
  14. මේ පොත් වල PDF ෆයිල් තියනව නම් එවන්න ප්ලීස්ග මං ලග පිච්ච මල අරලිය මල් ආරාමය මහමෙර නම් තියෙනව. අනිත් ටික හොයල දෙන්න ප්ලීස්

    ReplyDelete
  15. එකල බුදුසමය අදටත් ජීවමාන කරන අමාවැස්ස ඇතුලු අනෙක් නවකතා සහ අද සමාජයේ කෙමෙන් හීන වී යන දැහැමි දිවිය විශිෂ්ට ලෙස විහිදුවාලන රාහුල තෙරුනුවන්ගේ අගනා චරිතයෙන් හැඩ වුන පිච්චමල නවකතා පෙල මා මෙතෙක් ලාංකීය නවකතාවන්ගේ දුටු අනගි නිර්මාණයන්.ජයසේන ජයකොඩි සර් කියන්නෙ මෙරට ලේඛන කලාවේ සදා නොමැකෙන නාමයක් බව පැවසීමට ඔහුගේ පොත් කියවන්නා වූ පාඨකයාට නොරහසකි .තාක්ෂණය සමග රැදෙන අද සාමාජයේ තරුණ පිරිසට හැකි නම් මේ පොත් කියවන්න ඒක ජීවිතයට ගන්න පුලුවන් විශාල වටිනාකමක් වයස අවුරුදු 20 ක් වන විශ්වවිද්‍යාල ජීවිතයේ මුලම අදියරේ සිටින මට එතුමාගෙ නවකතා වලින් ලබා ගත් දැනුම,ජීවිත යතාර්ථ අවබෝධය ගොඩක් වටිනවා.එතුමා ජීවතුන් අතර නැතිවුනත් මේ පොත්වල අකුරු අතරේ රාහුල හිමිගෙ ඒ චරිතය තුල එතුමා මේ ජීවිතය පිලිබදව තැබූ අවබෝධය,යතාර්ථය විනිවිද දකිමින් කියවන්නා වූ පාඨකයාට හොදින්ම වැටහෙනු ඇත.

    ReplyDelete
  16. එකල බුදුසමය අදටත් ජීවමාන කරන අමාවැස්ස ඇතුලු අනෙක් නවකතා සහ අද සමාජයේ කෙමෙන් හීන වී යන දැහැමි දිවිය විශිෂ්ට ලෙස විහිදුවාලන රාහුල තෙරුනුවන්ගේ අගනා චරිතයෙන් හැඩ වුන පිච්චමල නවකතා පෙල මා මෙතෙක් ලාංකීය නවකතාවන්ගේ දුටු අනගි නිර්මාණයන්.ජයසේන ජයකොඩි සර් කියන්නෙ මෙරට ලේඛන කලාවේ සදා නොමැකෙන නාමයක් බව පැවසීමට ඔහුගේ පොත් කියවන්නා වූ පාඨකයාට නොරහසකි .තාක්ෂණය සමග රැදෙන අද සාමාජයේ තරුණ පිරිසට හැකි නම් මේ පොත් කියවන්න ඒක ජීවිතයට ගන්න පුලුවන් විශාල වටිනාකමක් වයස අවුරුදු 20 ක් වන විශ්වවිද්‍යාල ජීවිතයේ මුලම අදියරේ සිටින මට එතුමාගෙ නවකතා වලින් ලබා ගත් දැනුම,ජීවිත යතාර්ථ අවබෝධය ගොඩක් වටිනවා.එතුමා ජීවතුන් අතර නැතිවුනත් මේ පොත්වල අකුරු අතරේ රාහුල හිමිගෙ ඒ චරිතය තුල එතුමා මේ ජීවිතය පිලිබදව තැබූ අවබෝධය,යතාර්ථය විනිවිද දකිමින් කියවන්නා වූ පාඨකයාට හොදින්ම වැටහෙනු ඇත.

    ReplyDelete
  17. එකල බුදුසමය අදටත් ජීවමාන කරන අමාවැස්ස ඇතුලු අනෙක් නවකතා සහ අද සමාජයේ කෙමෙන් හීන වී යන දැහැමි දිවිය විශිෂ්ට ලෙස විහිදුවාලන රාහුල තෙරුනුවන්ගේ අගනා චරිතයෙන් හැඩ වුන පිච්චමල නවකතා පෙල මා මෙතෙක් ලාංකීය නවකතාවන්ගේ දුටු අනගි නිර්මාණයන්.ජයසේන ජයකොඩි සර් කියන්නෙ මෙරට ලේඛන කලාවේ සදා නොමැකෙන නාමයක් බව පැවසීමට ඔහුගේ පොත් කියවන්නා වූ පාඨකයාට නොරහසකි .තාක්ෂණය සමග රැදෙන අද සාමාජයේ තරුණ පිරිසට හැකි නම් මේ පොත් කියවන්න ඒක ජීවිතයට ගන්න පුලුවන් විශාල වටිනාකමක් වයස අවුරුදු 20 ක් වන විශ්වවිද්‍යාල ජීවිතයේ මුලම අදියරේ සිටින මට එතුමාගෙ නවකතා වලින් ලබා ගත් දැනුම,ජීවිත යතාර්ථ අවබෝධය ගොඩක් වටිනවා.එතුමා ජීවතුන් අතර නැතිවුනත් මේ පොත්වල අකුරු අතරේ රාහුල හිමිගෙ ඒ චරිතය තුල එතුමා මේ ජීවිතය පිලිබදව තැබූ අවබෝධය,යතාර්ථය විනිවිද දකිමින් කියවන්නා වූ පාඨකයාට හොදින්ම වැටහෙනු ඇත.

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->