Friday, July 16, 2010

උන් වැ‍රැදි නැත !! "මා" සෙවීමේ මෙහෙයුම!

ලෝකයම නිදි ගත් මේ අලුයම මම ඇහැරගෙන සිටිමි... එකදු හීන් හඬකුදු නොනැගෙන හාත්පසින් ඒ නිහඬතාවය බි‍ඳෙන්නේ ඇහැරුන කුරුල්ලෙකුගෙන් හෝ රෑසි නාදයකින් පමණි. මම ඒ නිහඬතාවය යැයි සිතූ හඬට කන් දෙමි.. ලෝකය නිදි යැයි සිතූ මුත් සැබැවින්ම රාත්‍රි ලෝකයක් ඇහැරගෙන සිටින්නා නොවේද ? මඳක් ඇස් පියා ගත් විට මට ගවුවක් පමණ එහායින් උමතුවෙන් අඬා බහින මහවැලි නදියේ හෝ හඬත්, එකිනෙකින් වෙන්ව ගත් රෑසි නාද සමූහයත් , එයින් අතරින් පතර බුරා හැලෙන සත්ව සංහතියක අඬහැරයත් ඇසෙන්නට ගනී....

 ලෝකය නතර නොවීය.. ඊට කන් නොදුන් මා සිත දුව යද්දී ලෝකය තුල නැගෙන අඬහැරය මට නො ඇසී ගියා නොවේද ? නතර වී හුස්මක් ගන්නට මම මේ අලුයම් නිහඬතාවයට ලංවෙමි... එහි නිහඬ බවක් මා දු‍ටුවේ මා සිත තුල නැගුන ගෝසාව ඉක්මවිය හැකි බවක් සොබා දහමට නොවූ හෙයිනි.. මා නතර වන විට මට නිහඬතාවය යැයි මා සිතූ සිතුවිල්ලේ ගෝසාව හෙමි හෙමින් නැග එනු දැනේ... මට වටහා ගත නොහැකිය...

ඉව පාරේ යමින් මස් ක‍ටුවක් සොයන සුනඛ පෝතකයකු මෙන් , මම අරුත සොයමි - ජීවිතය සොයමි....(උපමාව සොඳුරු නැත.. සමා වන්න ) ඉව වැරදී මග හසර අමතකව ගිය  මංමුලා වූවක අයුරින් , යලි හැරෙමි.. අඩ හැරුමකින්, යලිත් ඉව වැටේ.. ඉව පාර මේ යැයි වෙනතක යමි... තවද වැ‍රැදේ.. යලිදු හැරෙමි.. ආපසු නොව.. වෙනතක... ! මකුලු හුයෙක එක් කොනෙකින් ඇ‍රැඹි ජංජාලයක අතරමං වූ සේ උඩටත් පහලටත් උතුරටත් දකුණටත් මුලටත් මැදටත් යමින් එමින් මම 'මා සොයමි' ... එහෙත් එක ‍රැහැනකින් තව ‍රැහැනකට එයින් තවෙකකට ගියද කොහිත් ඇත්තේ මා සෙවුව අරුතදැයි නොදැන මම මංමුලාව පසු වෙමි...

ගතවන හැම තත්පරයක් පාසා මා සිටින්නේ අතීතයට එබීගෙන දැයි මම අසමි..මගෙන්ම අසමි! එහෙත් මම පිලිතුරු නොදකිමි... මට උත්තර නැත... අහෝ මේ අලුයම මා මේ කියන්නේ මොනවාද ?

මගේ ජීවිතය විලක් වැනිය.. එහි එක් පසෙක බොර දිය නැගෙන විට , කොලු කුරු‍ටුවන් ගල් ගසා ඉවුරු බිඳ එය බොර කරන විට, අනෙක් ඉවුර නිසංසලේ නැලැවිල්ලේ සිනහසෙයි. මේ එකම විලමදැයි දහසක් අය අසති ! උන් වැ‍රැදි නැත ! එක් කොනෙක පිපි පියුම් හැලී, තඹර ගිලිහෙන විට , පැලෑටි අක්මුල් සි‍ඳෙන විට අනෙක් ඉවුරුබඳ සමන් පිච්ච මල් කිණිති විල් දියට නැමී හාත්පස සුවඳවත් කරන හැටි.මේ එකම විලමදැයි දහසක් අය අසති ! උන් වැ‍රැදි නැත ! ඒ විලේ එක් ගැඹුරුම පතුලක රුවන් මුතු පබලු දියට කැලැතී පිරිමැදෙන විට නොගැඹුරු ඉවුරු අසබඩ හෝහපු‍ටුවන් වසුරු පිඩකට රොද බඳිනුද මේ විල් දියම ඉවසා සිටියි...මේ එකම විලමදැයි දහසක් අය අසති ! උන් වැ‍රැදි නැත !!

රාත්‍රිය මා සොයා එයි... දහවල පුරාවට විඩා බර වී , තරු ඇසට පිටදී දාහය නිහඬවම දරා උන් විල් තලය සිය කැලැඹුමින් මිදී නිසංසල වෙයි...  සඳ කිනිති එබෙන විට කුමුදු මල් කොහිදැයි එක එක සොයමින් විල් දිය හෙමින් කැලැත්තී එ'මල් එක එක ඇහැරවයි.. මේ සුයාමයයි.. නිහඬ ලෝකය, නිදි ගත් ලෝකය- එකදු මොහොතකටවත් ඇස නාරින විසකුරු ලෝකය, නිදන යාමයයි.. ඒ සොඳුරුතම යාමය නම්- නිහඬතාවය ඇස් අරිමින් , රාත්‍රිය තුල සිත මඳකට නතර වන යාමයයි.. ඒ යාමය සිතූ තරම්ම නිහඬ නැති යැයි සිතේ...

ලෝකය ඇහැරෙන්නට පෙර මේ ගෝසාව පිරුනු රාත්‍රිය මම දකිමි.. විදුලි පහන් වසා දමා මම අඳුරට එබෙමි.. ගන නිල් ආලෝකය තුලින් අන්දකාරය මට පැහැදිලි වෙයි.. ගන්ධබ්බයින් කරක් ගසන හිස් අහසට ඇස් තියුණු කරමින් මම එබෙමි... එයින් හඬක් නැග එයි.. ගුම් හුම් හෝ හඬක් එයි.. ඒ අස්සෙන් කොහේදෝ වැටෙන වතුරක්, රෑසි හඬ දාස් ගණනක් හෝ ගා නැග එයි.. මම ඊට බිය වෙමි... යලිත් හිතට දුවන්නැයි කියමි... නතර නොවන්නැයි කියමි.. බලා නොහිඳ යන්නැයි කියමි.. යලිත් යමි.. ඉව පාරේ යමි... ඒත් ,.. මම තවමත්   "මා සොයමි "

මේ අලුයම් නිහඬතාවයට මා පමණක් නොව, මා නතර වී බලා ඉන්නා දකින සොබාදහමද බියව ඇති සේය .. මේ දැන් වැස්සක් වැටෙන්නට විය! නිහඬතාවය වැස්ස විසින්ද වැස්ස නිහඬතාවය විසින්ද අත්පත් කොට ගෙන සිටී... මගේ හිත මට මතක් වෙයි....

ලිව්වේ - අලුයම 1.36 ට

12 comments:

  1. මටත් දැන් හරියටම වෙලාව අලුයම 1.36
    හ්ම්ම්ම් කිසිම සද්දයක් නෑ

    ReplyDelete
  2. නිහඬතාවය........ඉවසා සිටිය නොහැකිම හඬ......

    ReplyDelete
  3. අපි හැමෝම අපි තුලත්, අනුන් තුලත්, කොටින්ම නෙට් එකෙත් හොයන්නෙ ඕකම තමා. ඒකම තමා අපේ පැවැත්මත්.

    ReplyDelete
  4. මමත් හොයන්නේ ඕක තමා... ඒත් හොයා ගන්න බැරි තරම් දුරක ගිහින් වගේ...

    ReplyDelete
  5. එතකොට මේ රෑ පාන්දරම... මේ වෙලාවෙම... මේ වගේ මානසික තත්වයක ඉඳන් නේද.... මගෙ හිත හදන්න මාව සනසන්න ඔයා මහන්සි උනේ......??????

    ඔයා හරි අක්කි....''ඔයාගෙ ලෝකයෙන් බැහැර වෙන්න කවුරු හරි සූදානම් වෙනවා නම් ඔයා තේරුම් ගන්න....එයා, ඔයා වගේ අති දුර්ලභ කෙල්ලක් ලබන්න පින් නැති මිනිහෙක්''.......මේ ඔයා මට කිව්ව දේම... මම ඔයාට කියනවා....

    ReplyDelete
  6. ජීවිතයේ හමුවන සියලුම බාධක ජයගෙන ඉදිරියටම යාමව අවැසි ශක්තිය නිරතුරුවම ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

    ReplyDelete
  7. @ නිමන්ති අක්ක
    ඔව් අක්කේ ...නිහඬතාවය අපිට බොහෝ දේ කියා දෙනව....

    @ හේමලයා...
    නිහඬතාවයට අපි බයයි.... ඒ ඇයි දන්නවද ? අපේ හදවතේ හඬ ටික වෙලාවකින් අපිට ඇහෙන නිසා. කව්දාවත්ම අපි කන් දෙන්න කැමති නැති...

    @චාමි
    අපි මොකක්ද හොයන්නේ ? ඒ හොයන්දේ තියෙන්නේ අත ලඟ නෙමෙයිද?

    @පිස්සා
    ම්ම්... ම්ම්.... ඒත් හොයන දේ අත ලඟ.. එකම දේ අපි බය නැතුව ඇස් ඇරල නොබලන එක...

    @නෙතාර
    එහෙම තමයි නංගි.. අනුන්ගේ දේකදි මේ මූඩ් මොකක් උනත් එයා වෙනුවෙන් අපි මහන්සි වෙනව.අපේ සැනසීම අපි ලං කර ගන්න ඕනේ මූලිකම දේ අපි අපිව අඳුනගන්න ඕනේ...

    @රජිත්
    thanks රජිත් :-)

    ReplyDelete
  8. උන් වැරදි නැත්නම් අපිද වැරදි??????

    ReplyDelete
  9. අනේ මලයො... නැතුව නැතුව... :-D up to some extent we are also in some misunderstanding about our lives anuraaDha malli.

    ReplyDelete
  10. අතීතය ගැන සිතමින් කල් ගත කරනවාට වඩා අතීතෙයන් ලද අත්දැකීම් තුලින් වර්තමානය තුල ජීවත් වී අනාගතය සාර්ථක කර ගැනීම මැනවි..

    ReplyDelete
  11. අපොයි.... මේ ප‍රදේසක්කාර බාසාවකින් ලියලා. මට මෙලො හත් ඉලව්වක් තේරෙන්න්නෙ නෑ නෙව.

    ReplyDelete
  12. මිත්‍රයා..
    ඔව් මම අතීතය සිතින් හලල ගොඩක් කල් මල්ලි... ඒත් අතීතය විදුලියක් වගේ සිහියට එන්නෙත් නැතුව නෙමෙයි....

    අනුරාධ මල්ලි,... අනේ ඉතින් අපි පරපු‍ටුවොනේ.. දන්නවනේ...හී හී

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->