Sunday, January 31, 2010

මිලින කොඳ මලට..

විල් තල ‍රැයක පිපි කොඳ මල් පරදු කල
ඔබ වත මැවෙයි සුරතල් සිනහව ලකල
අද නිහඬවම ඔබ සමුගෙන නිදන  කල
ඔබ කොයි? අඳුරු ‍රැය බැබලුව කුමුදු මල


නෙත් යුග දෙමින් හස කිංකිණි  මල් මුකුලූ
අවිහිංසක මුවින් මුදු රස බස් තෙපලූ
ඔබ අද නිදයි දිගු සිහිනෙක වී තුරුලූ
නංගෝ කිමද නිදි? පෙර හද කල එකලූ


උදයේ පිපෙන මල් මුතු පිණි සුලඟ ගැන
ගහ කොල කුරුල්ලන් නිම් නැති අහස ගැන
පොඩි ලදැරියක ලෙස ලංවී, ලොවම ගැන
නිතරම ඔබ අහුව සුරතල් බොලඳ පැන..


මතුරා බොලඳ බස් නිරතුරු දඟ පෑව
සපුරා සොඳුරු හස මල් සිත ඔප ලෑව
උතුරා යන කඳුලු අද නෙත ගෙන ආව
අතුරා යන්! සුවඳවත් මගෙ හිත ගාව


හිමිදිරි අරුණ ගන නිල් කොට ගගන රිදී
සිහිලැල් පවන් යයි වා තල සමග ඇදී
මෙලොවට ඔබගෙ සිනහාවෙන් අරුත නොදී
පොඩි නෙතු පියා ඔබ අද ඇයි තවම නිදී?


මහමායා මවුගෙ ඇකයෙන් පිය මැන්න
පරවුන කුමුදු මල් සුවඳම සිහි වෙන්න
ඔබෙ මුදු බොලඳ වත සිනහව දැක ගන්න
නංගෝ එක් වරක් යලි මට හිනැහෙන්න


2001/2/22 දා හදවත් ආබාධයකින් මරු තුරුල්ලෙ සැඟව ගිය, පුංචි කුමුදු නංගී....ඔබ සිනහව තවමත් මතක තියේ....

2 comments:

  1. ලස්සනයි....වචන නැහැ මට..


    http://blogs.sinhalabloggers.com/add-blog
    මෙතනින් සිංහල බ්ලොග්‍ර්ස් ලට එකතු වෙන්න පුලුවන්.

    ReplyDelete
  2. ස්තූතියි රවා...
    මම බ්ලොග් එක sinhala blogger ekata ඇඩ් karanna request කරලා ටික දවසක්... බලමුකො...

    මිනිස්කම දිගටම බෙදා ගන්න..... :-)

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->