Wednesday, October 15, 2014

[314] සුදු ලී වැටකින් වටවූ පිට්ටනිය සහ සිඟිති Mystique කොලනිය


දැන් මම සාඩම්බර කෝච්චි දරුවෙක් බවට පත්ව සිටින්නෙමි. කෝච්චියත් ඒ හා බැඳුනු ජීවිතත් දෙස බලා ඉන්න එකත් හරි අපූරු වැඩකි.. 

උදෑසනම රත්මලාන දුම් රිය නැවතුම වෙත තෙරෝද රියෙන් යන්නේ දුර වැඩි හෙයිනි.  එතැන් පටන් දවසේ රේස් එක ඇරඹෙයි. රේස් දුවන ගමන් රේස් දුවන අනික් උන් දෙස විපරම් කිරීම හරිම ආසා හිතෙන සෙල්ලමකි. ඔක්කෝම එක හැල්මට දුවති. දුවන්නේ පෝලිමට එක් වෙන්නටය . ටිකට් ගන්නටය . නුදුරේ එන දුම් රියෙහි එල්ලෙන්නටය. ඊට පසු හොඳ තැනක් අල්ලා ගන්නටය . මඳ ප්‍රමාදයක් පාඩු ගොඩකට හේතු කාරණ වෙයි. ජීවිතේත් ඒ වගේ නොවැ.

දුම් රියට නගින ගැහැණු අප නම් , පාඩුවේ සින්දුවක් අහගෙන යනවා විනා කුමක් කරන්නද ?. පිරිමි ඈයෝන්ට නම් තියනවා නොවැ ගැහැණු ලමයින් දිහා බලන්නට !  

ගැහැණු ලමයින් වේවා , නැන්දලා වේවා , දුම් රියේ යන හැමෝටම ආගන්තුක අමුත්තන් හඳුනා ගැනීමේ පුදුම ඉවක් තිබෙයි. ඒවා ට ලක් වෙවී , වට පිට බල බලා , ට්‍රැෆික් නැති කෝච්චි පාරෙන් වැඩට හා ගෙදර යාමට ලැබීම නම් භාග්‍යයකි.(කෝච්චියට ජය වේවා !) 


කවදත් වාගේ පූර්විකාව කතාවකට වඩා දික් වෙයි. 

දුම් රිය ගල්කිස්ස පසු කරයි.. ඇසිල්ලෙන් මා දුටු දසුනෙන් මවිත වෙමි. ගල්කිස්සත් දෙහිවලත් අතර ඉතා කොළ පැහැති හරි හුරුබුහුටි පිට්ටනියක් පසු වෙයි. ඒ ලස්සන කුඩා පිට්ටනිය කුමක්ද ? ඒ පිට්ටනිය වටේට ලී තීරු පේලියට හිටවා ගැසූ කොට වැටකි. [ඒවාට කියන්නේ පිකට් ෆෙන්ස් නේද? ] ඒ පිට්ටනිය වටා සුන්දර කුඩා ගම්මානයක් වාගේ එකකි. බටහිර පන්නයේ උස් වහලයන්ගෙන් සුසැදි සුදෝ සුදු හුරුබුහුටි කුඩා ගෙවල් ගොන්නකි.  සිත කුතුහලයෙන් පිරෙයි. මේ පුංචි කොලනිය කුමක්ද ? මා එන්ගලන්තයට හෝ උතුරු අයර්ලන්තයට ගියාවත්ද? මා සිහිනයක්වත් දකිනවාවත්ද ?  මා මනෝ ගසන අතරතුර , එහා පැත්තේ හිටගෙන ජැක් ගසන මැදිවියේ මහතා , මා දකින්නේ සිහිනයක් නොවන බවත් , ඒ සිටින්නේ උතුරු අයර්ලන්තයේ නොව ශ්‍රී ලංකාවේ පොදු ගමනාගමනයෙහි යෙදෙමින් බවත් සනාථ කරයි. 

අද සවස මා දුම් රියට ගොඩ වන්නේද ඒ කුඩා සිඟිති ගම් පියැස්ස දෙස හොර බැළුම් හෙලන්නට නොතිත් ආශාවෙනි . වාසනාවට දුම් රිය තදබද නොවූයේය. ඉතා සාමකාමී  හැන්දෑවකි. ඉරිදාවක ගල්කිස්සට යා යුතුද?. ගොස් ඒ ගම්මානය කුමක්දැයි සොයා බලා එන්නද ? ඇත්තටම ඒ මට විතරක් පෙනෙන ,මලවුන් වෙසෙන අද්භූත ගම්මානයක්ද ?  යද්දී එතැන ගම්මානයක් නැති මුඩු බිමක් හෙම නම්  !!!!! මට මොනවා හිතෙයිද ? කොහොමට හිටීවිද ?

හොඳයි , ගම්මානය හමු වුවොත් ????? අහෝ එතැනින් මගේ කුතුහලය සන්සිඳවෙනවා නොවේද ? . එපමණක් නොව එතෙකින් ඔබ්බට , මට සිහින මවන්නට , අරුම පුදුම අභව්‍ය කතා ගොතමින් මනෝ ලොවක සැරිසරන්නට තරම් සෑහෙන , කුඩා ගමෙහි ෆැන්ටසිය අහවර වෙයි. යථාර්තය දිස්වෙයි. ඒ සිඟිති රාජධානිය පසු වන වාරයක් පාසා එබී බලා හිතෙන් ගොතන කතාව නිම වී , දුටු වනම දැනුවත් බවෙහි ඕලාරිකත්වයට නතුව අහක බලාගන්නට මට සිදුවෙයි. අරුමය ඉවර වෙයි. කොටින්ම මේ බ්ලොග් පෝස්ට් එකම ලැජ්ජා හිතෙන තාලේ අමන විහිලුවක් බවට පත් වෙයි.

මා එහි නොයන්නට තීරණය කරමි. 


ඔබට Big Fish  මතකද ? Tim Burton ගෙතූ , කොතෙක් නැරඹුවත් එපා නොවන , ඒ අරුම පුදුම නිර්මාණය. කතන්දර කියන , කතන්දර වලම ජීවත් වන , එඩ්වඩ් බ්ලූම් ! එඩ්වඩ්ට හමුවන කාල් නමැති අසාමාන්‍ය උසින් යුත් යෝධ මිනිසා ! 


කාල් සමග නගරයට යන අතර තුර , එඩ්වඩ්ට වන අරණ තුලින් හමුවන Spectre නම් සොඳුරු කුඩා ගම්මානය මතකද ? මේ කුඩා දසුනෙන් මා සිත දිව යන්නේ Spectre වෙතය. එහිදී එඩ්වඩ්ට ආලයෙන් බැඳෙන ජෙනී මතකද ?  වියපත් වනතුරුම එඩ් කෙරෙහි ආලයෙන් සිට , සිය ගරා වැටුනු නිවසත් සමගම දිරා ගොස් ,  මන්තරකාරියක වූ කුඩා ජෙනී ! 



ගමට පැමිණෙන අමුත්තන් හට ආපසු යා නොහැකි වන ලෙස , ලණුවක එල්ලා තියන සපත්තු ! නිරන්තර සිනා මුසු මුහුණු. පද කිහිපයකින් ඔබ්බට කිසිදු කවියක් ගොතා ගත නුහුණුව සිත් තැවුලට පත් වූ ශ්‍රේෂ්ඨ කිවි නොදර් වින්ස්ලෝව්. !යුද සමයෙහි එඩ්ගේ සහයට එන දෙමුහුන් සොයුරියන් !

 දුම් රිය නැවතුම් පහක් පසුවන කෙටි දුරෙහි , මගේ සිත බොහෝ ඈතට ඇදී යයි.

 මේ කුඩා තණ පිට්ටනිය සහ ගෙවල් පෙල දකින මම නොදැනුවත්වම මහා සිහින ආවලියකම පැටලෙමි. 

දැන් ඉතින් ඔබේ වාරය ! ඔබ තේරීමක් කළ යුතුව තිබෙයි. නිරන්තර ගාලු දුම් රිය මගෙහි යන එන ඔබට අරුමයක් නොවූ මේ සුන්දර සිඟිති රාජ්‍යය සැබවින්ම කුමක්දැයි ඔබ මට හෙලි කරනවාද නො එසේ නම් මට රිසි තරම් නානා විප්‍රකාර වැල්වටාරම් ගොතන්නට ඉඩ දී ඔබේ යතාර්තය ඔබේ හිතටම ගුලි කරගන්නවාද ? 

අහ්... අමතක වූවා නොවැ. දැනටමත් ඒ සිඟිති දිවයිනට තිබෙනවා නමක් ....   ඔබ මොකද හිතන්නේ 'Mystique ' කියන නම ගැන .. ?

දැන් ඉතින් ඔබේ වාරය !

"That was my father's final joke, I guess. A man tells his stories so many times that he becomes the stories. They live on after him. And in that way he becomes immortal"

Tim Burton - Big Fish (2003) 


Thursday, October 09, 2014

[313] බස් එකේ විරිදු කී කුඩා දැරිවිය ...


 දවස අද බොහෝ දිගය . දුම්රිය සේවකයන්ගේ හිතුවක්කාර වර්ජනය නිසාවෙන් මහ මග බස් රථ උදෑසන ගෑටුවේ ඉබි ගමනින්ය . ඒ අස්සේ පාරේ වලවල්ය. වැස්සය . උදේ කියන්නේ මේ වගේ එකකට නම් නෙවේය . 

 දවස ගෙවී ගියේත් ඉබි ගමනින්ය. ඒ වැඩ අටෝරාසියක් ඉගෙන ගන්නා මගේ සංක්‍රාන්ති කාලයේ හැටිය.  
මොනවා කරන්නද ? අලුත් රැකියාවක්. ඉගැන්නිල්ලට දෙවෙනි නැත. 

දවස ගෙවී ගොස් පහයි තිහ වැදෙද්දී උදේ සිට මහ මග ඇල්ලු අඩවු ඔක්කෝම අමතක කොට ගෙදෙට්ට පැනගැනීමේ මහාභිලාෂයෙන් මොරටුව බසයට නැග ගතිමි.  කෙමෙන් කෙමෙන් පීරි යන සෙනගට ඔච්චමට මෙන් , අහස කලු වෙවී වැස්සක් පෙන්නා නොපෙන්නා යයි. සිටගෙන දෙපා කෙඩෙත්තුවෙන් පෙලෙමින් සාරියකිනුත් සැරසී සිටින මට අද නම් එපාම කරපු දවසක්ම වූයේය. ඒ මදිවාට කනට ගසා ගන්නට ගී කියන ඇබ දෙකත් නැත. දුරකතනයේ බැටරි බැහැලාය. චාජරය ගෙදර අමතක වුනේය ! හපොයි මෙහෙමත් දවස් ! 

වැල්ලවත්ත පසු කොට දෙහිවල පාලම පන්නා ගැනීම එවරස්ට් නැග නිරුපද්‍රිතව ගෙදරට ලඟා වීම තරම්ම දීර්ඝ වෙහෙස කර කටයුත්තක් වන්නේ බස් ඩ්‍රැයිවර මහතුන්ටය, එය බලා ගෙන , බසය ඇතුලේ දහඩිය දුගඳ , උණුසුම් දාහය යනාදී කුණප ඉවසා සිටින අපට දෙතිස් මහා කෙඩෙත්තුවම සෑදීම අරුමයක් නොවේ.  

වැඩ ඇරී වෙහෙසව බසයට ගොඩ වෙන වෙලාව යනු, මානසිකත්වය ඉතාම නරක වෙලාවකි. වැරදීමකින් කකුල පෑගුනත් , පෑගූ තැනැත්තා දවා හලු කරන්නට තරම් කෝපයක් එයි. කවුරුන් හෝ හදිසි තිරිංග තදවීමකින් ඇණ්න්ගේ හැපුනත් මරාගෙන මැරෙන්නට සිතෙයි. වෙහෙස විසින් අප කැරලිකාර කොකු කාරියන් කරන්නේ හවස් යාමයටය. එහෙත් මට වාරියපොල නංගී කෙනෙක් වීමටත් බැරිය. 


බස් රථය දෙහිවල පසු කරද්දී චුරු චුරු වැස්සක් ඇද හැලෙන්නට වෙයි. හපොයි, බාගෙට ඇර තිබූ ජනෙල් එක දෙකත් වැසෙයි. මිනිසුන්ට හුස්ම නොගෙන සිටිය හැකිද ? බැරිය. හරියට ආදරේ නැතුව ඉන්න බැරිවා වැනිය . ගල්කිස්ස ලං වෙද්දී වැස්ස තුරල් වෙයි. වීදුරු එක දෙක ඇරී දුර්ගන්ධ වාතය එලියට පැන ගනියි. අපට සැනසිල්ලක් දැනෙයි. 

පුංචි මල් වැස්සක් වාගේ ඕන්න ඇය බසයට ගොඩ වුනාය . 

විරිදු රබානක් අතින් ගෙන ,කුඩා හම් බෑගයක් කරේ ඇලයට එල්ලා ගත් අවුරුදු දහ පාලොහක ලමිස්සියකි. මම ගෙල දික් කොට ඈ පසුපසින් එන අන්ධ තාත්තා හෝ අම්මා සෙවුයෙමි. එක්කෝ අක්කාගේ ගවුම් කොනෙහි එල්ලී එන හොටු පෙරාගත් මල්ලී සෙවූයෙමි. නැත ! ඈ තනියම. අරුමයකි. ඈ මේ ගොම්මන් වෙලාවේ තට්ට තනියම බසයට නැග ඇත්තේ විරිදු කියන්නටය.  කීයක් හෝ සොයා ගන්නට කොතරම් අරුම රැකියාවක්ද ? වෙසෙසින්ම මල් වයසේ කෙල්ලෙකුට ??? බසයේ මැදට විත් විරිදු රබානට තට්ටුවක් දාගෙන ඇය ආසනයකට වාරු ගනිමින් උගුර කට පාදයි. මගේ පුදුමය එන්න එන්නම වැඩි වෙයි. 

ඈ හරි පිරිසිදුය . පිලිවෙලකට සායක් හැට්ටයක් ( දුප්පත් කමේ කුඩා කඩතොලු තිබුනත්) හැඳ රබර් සෙරෙප්පු කුට්ටමක් ලාගෙන කොණ්ඩය ගොතා සිටින ඇයගේ වැඩි සුකුරුත්තන් බවක් නැත. මහා වේලෙන දුප්පත්කමකුත් නැත.  

ඈ හඬ අවදි කරන්නීය. වැහි බීරුම කපාගෙන ඇගේ අපස්වරයෙන් ගැයෙන ගීතය මට ලතා මංගේෂ්කාර්ගේ මධුර හඬ ගෙනෙන මිහිර නොගෙනා බව කිවමනා නොවේ. එහෙත් කිසිදු වෙවිලිල්ලකින් තොරව දෙනෝ දාහක් බලා සිටින බසයේ හරි මැද සිටගෙන ගී ගයන්නට තරම් ඈට කොතරම් නම් ආත්ම ශක්තියක් තිබිය යුතුද ? පොඩ්ඩක් හෝ ඇහැට කණට පෙනෙන දුප්පත් දැරිවියන් අවකලුන්ගේ ග්‍රහණයට නතුව සුසුම් ලද්දී, ගෙයි දොර මුල්ලේ අනාථව හඬා වැටෙද්දී , මෙහෙකාරකම් කරද්දී , මේ පැන්චී හරි අපූරු ජීවනෝපායක් හොයා ගෙන නොවේද ? කක්කුස්සි වත්තේ චුට්ටිලා මානව හිමිකම් වෙනුවෙන් අරගල කරද්දී , අම්මා තාත්තා නැතැයි ඇත්ත ( විය යුතුය!) කියා , රබානක් වයා ජීවත් වෙන මග සොයා ගන්නා මේ පැන්චීට ඇති දහිරියෙන් බින්දු කාලක්වත් මට තිබේද ? බසයේ සියලු දෙනා ඈ දෙසම බලා සිටිති. ඈ තවත් විරිදුවක් ගයා , බුහුටි අයුරෙන් ඇඟිල්ල මත රැඳවූ රබාන කරකවමින් ශ්‍රාවකයන්ගේ ආධාර වෙනුවෙන් පැමිනෙන්නීය. ඉදින් මේ ආධාර ගෙන බසයෙන් බසින ඈ ගැනත් මට කල්පනා වෙයි. 

කුඩා ලෑලි පැල් කොටයක ගඩොලු දෙක තුනක් මත මුට්ටියක් තියා , දවසේ එකම රෑ බත සරි කරන විරිදු කාරී. ඈ අසල අත් මදිමින් බලා ඉන්නා කුඩා මල්ලී. කූප්පි ලාම්පුවේ එලියෙන් රබාන පිසදමන විරිදු කාරී. පසුදා පාසල් යන්නට ගෙදර වැඩ කරන විරිදු කාර දැරිවී.  කුඩප්පාත් අම්මාත් රණ්ඩු වෙන පැල් කොටයෙන් ඈත්ව මුහුද දෙස බලා සුසුම් ලන විරිදු කාර පැන්චී. මල්ලිලා නිදි කොට , ගල්කිස්ස හෝටලයේ එලි දෙස බලාගෙන ගංජා සුරුට්ටුවක් අදින විරිදු කාරී.

මම කල්පනා දාමය එතැනින් බිඳ දමමි. කල්පනාවන් දුර ගෙන යාමට මට අයිතියක් නැත.  මම මා වෙත නෙත් හෙලා සිටිමි. රැකියාව නිමවී නිවසට විත් කකුල් උඩ තාබාගෙන තේ බිබී , දුරකතනයෙන් මිතුරන් අමතමින් , කාලය කාදමන මම ! මමම උයා , මමම එය ගිල දමා බඩ උඩ දමාගෙන ගොරවමින් නිදන මම ! අන්තර්ජාලයේ සැරිසරා මෙසේ බ්ලොග් පෝස්ට් එකක් ලියා , සිතැඟි වලින් ලොව පෙරලන්නට ප්ලෑන් ගසන මම !

මට හුස්මක් පිට වෙයි ....

යලිත් මා පියවි සිහියට එමි. කාටවත් නොපෙනෙන්නටඈ වෙත ගොස් , රහසින් ඇගේ කණට කොට , කුඩා යමක් කියන්නට මට සිත් වෙයි . 'පැන්චියේ , ජීවිතේ මොකක්දැයි උඹට තේරෙන හැටියට මටත් කියා දීපන් !' 

එහෙත් ඈ තවත් බසයක් සොයා බැස ගොසිනි. මා තවම අසුනෙහි හිඳ නැවතුම එනතුරු තැවුල් සිතිනි. 



Wednesday, October 08, 2014

[312] බැක් ටූ කලම්බෝ කලම්බෝ ජීවිතයට !




 ජීවිතය ප්‍රත්‍යාවර්තී ලෙස යලි උදා වෙතැයි නොබෝ දිනෙක මම ලියුවා මතකය. මේන්න කියූ ලෙසින්ම ජීවිතයේ තුන් වෙනි වතාවටත් මම කලම්බෝ ජීවිතයට ආගමනය වී සිටිමි. මගේ තීරණ වල හැටි එහෙමය . එහි කිසිම කමසෙයියාවක් නැතැයි කෙනෙකුට මතු පිටින් බලද්දී හිතෙයි. ඒත් ඒ මතුපිටින්ය . ඇතුලතින් කිඳා බැලුවොත් තැනින් තැන බොහෝ විද්වත් වැඩිහිටි සංවාද , තවත් විටෙක කුරුටු ගෑ ස්වොට් (SWOT) ඇනලිසිස් පවා තිබෙනවා දැකිය හැක්කේ එහෙමත් කෙනෙකුටය ! 

ඔයින් මෙයින් ඒ කෙසේ වෙතත් , ආයෙමත් ඇනෙක්සි ජීවිතයකට අවතීර්ණ වූයෙමි. ඒත් මේ වතාවේ , නිස්කලංක, ගහකොලින් සුසැදි , නිහඬ වටපිටාවක , අහස සිඹින තුන් වෙනි තට්ටුවකට සිහිල් තැනක නැංගුරම් ලන්නට වාසනාවන්ත වීමි. මගේ මුල්ම කොලඹ බෝඩිම වූ රජගිරියේ සුනීතා ඇන්ටිගේ නවාතැනෙහි ,ඇගේ පින්බර ආදරනීය අම්මා කෙනෙකුගේ වැනි දයාබරත්වයත් අන්කල්ගේ තාත්තා ගතියත් මධ්‍යයේ වුවද ,  පාරට නුදුරු දුහුවිලි වලින් වැසී යන නිවසෙහි උණුසුමෙහි තිබූ පීඩාවත් සිතට එයි. උණුසුම දරාගත නොහැකිව රෑ එකට පවා නාන එක ඉවසන් හිටි ඇන්ටිලාට මගේ ප්‍රණාමය! 

මෙවර මගේ ඇනෙක්සි ජීවිතය කුඩා කාමරයකට සීමා නොවී හින්චිත්තන් ගේ පොඩිත්තක් දක්වා වර්ධනය කර ගතිමි. කුඩා නිවසකට අවැසි පොඩි පොඩි ගෘහ හා විදුලි භාණ්ඩ ටික මා සපුරා ගන්නේ නුවර ගතකළ තුන් අවුරුදු රැකියාවෙන් කළ ඉතිරියට පින් සිදු වන්නටය !  

නැවේ රැකියාවෙනුත් සමුගෙන සිය වයස්ගත බිරින්දෑගේ බයිපාස් සැත්කමෙන් දුර්වල වූ හදවත සුවපත් කරමින් ඈ හා දවසම ගෙදෙට්ට වී ගත කරන වයස්ගත යුවලක් මට අනෙක් පස නිවසෙහි වෙසෙති. ජීවිතයේ සැඳෑ සමයෙහි ඔවුන්ගේ සතුට , ස්කයිප් හරහා මුණුබුරන් දැකීමය . ජීවිතය ගැන පහන් හැගුම් යලිත් මතුව එන්නට, අනාතුර ( අඩු ගානේ ටිකක් හෝ අනාතුර) මිනිසුන් වට කරගෙන සිටීම යහපතකි.  

බසයෙන් බැස ඇවිද එන කුඩා දුර ප්‍රමාණයෙහි ෆුඩ් සිටිය ඉදිරිපස හිඳ සිටින තරුණ මවත් , ඈ ඇකයෙහි , 'අම්මාට හරි හම්බ කරගන්නට නිමිති සපයන' රූබර පොඩිත්තාත් පසු කර යමින් මට දැන් සුසුම් හෙලිය හැකිය. ඉඳ හිට ඇගෙන් හඳුන් කූරු පැකැට්ටුවක් ගන්නේ බුදු පහන් දල්වන්නට නොව , සාරි වල වාටි පුච්චන්නටය. 

පසු ගිය සති අන්තය ජීවිත කාලයේ නිවාඩු තිබූ දුලබ සති අන්ත වලින් එකක් වූයේය ! ඒකට පින් සිදු වන්නට , ගෙදරින් ගෙනා හාරසියයක් පමණ කතා පොත් කොටස අස් කරමින් මම තෘප්තිමත් වරුවක් ගෙවූයේ කලකට පසුවය . 




ජීවිතය මෙසේය. ප්‍රත්‍යාවර්තී ලෙස යලි උදා වී ඇත්තේ කෙබඳු කලක්දැයි නොදනිමි. කඳු මුදුනට නැග ජීවිතයේ උස බැලීමි. (ඔබට මතකද?) එය බොහෝ උස් කඳු අතරෙහි චූල කඳු මුදුනක් බව සැබවි. උත්සහය විසින් මා තෘප්තිමත් ව්‍යවසායිකාවක කොට ඇත්තේය. ජීවිතය දෙස අමනාපයෙන් නොව පහන් සිතින් බලා සිටිමි. නොමැකෙන මුහුණු ඇතිනම් එකකි. එය බිත්තියෙහි අලවා තැබිය යුතු නැත්තේය . එය නිබඳ හද මුද්‍රාවක රවුමට නෙලා තිබේ. 

මම ජීවිතය දෙස බලා සිටිමි. ජීවිතයේ උස බලන්නට කඳු නැග බැලූ අවසන , දිග පළලත් බලනු රිසිව ගංගාව දිගේ ගල්පර වල හැපී , නැගිටිමින් , පිහිනා යන්නට උගනිමින් සිටිමි. තනිව පිහිනීම සැබවින්ම මා අරඹන්නට දශක තුනකුත් ඉක්ම යනතුරුම සිටි බව පසක් කොට සිටිමි. මෙතෙක් මව් ඇකයෙක කිරි දරුවෙක් මෙන් ජීවිතය යදිමින් හඬා වැටුනු බව පමණක් පසුතැවිල්ලෙන් සිහිපත් කරමි.  

එම්බා ජීවිතය , මෝය කටෙහි බලා හිඳින්න , මා පිහිනන්නට උගෙන , පිහිනාගෙන කවදා හෝ සයුර දකින්නට , මේ දුර ගෙවා ගෙන එන්නෙමි. 
 

Saturday, September 06, 2014

[311] සුදු ඇඳගත් සඳ

 
 

සුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනට 
රිදවුනු සිත ගෙන යයි කඳුලැලි ගං ඉවුරට  
ඔබ ආ හැටි සමුගන්නට අවසන් සැන්දෑවට 
ඒ ගං ඉවුරට  ...

බාධක බිඳ නුඹ ජය ගන්නට බැරි වුනි මට 
ඇයි දැයි දොස් පවරන සඳ සිත  
නුඹෙ වරදද මගෙ වරදද ?
එය මා දන්නේ නැත 

නුඹ මා ලොව කලුවර කොට පැන ගිය පලියට  
කෙලෙසක දොස් පවරමි නුඹ හට 
කිසි කෙනෙකු නොදුන් ආදරයක් 
නුඹ මට දුන් කොට ..

 සඳට විරාජමාන වන්නට තවත් දවසක් දෙකක් ඉතිරිව තිබෙයි. එතෙක් ඉවසා සිටීම අපහසු හෙයින්දෝ වළාකුලු එක දෙකක් සුලඟට ඈත් මෑත් වන ඇසිල්ලෙන් සඳ සිය කිරි සිනහා එළි එක දෙකක් මහ පොළව වෙත එවයි. බිම බලාගෙන ඉසිකෝ මන් හද දරාගෙන චමත්කාරී රැය ඉවසා වදාරන කාලකණ්නි පොළොවටත් සුලඟටත් ඒ සඳ පෙනෙයි. ඒ හීල්ලීම් සඳට වගක් නැත. සඳට පෙනෙන්නේ  නුදුරෙහි එන රාත්‍රී පොහෝ සැණකෙලියට ලෝකයම සැදී පැහැදී සිටින වග පමණකි. 

හෙට උදාවන සුපුරුදු අරුණාලෝකය මිස අහස ගුගුරා එන අනපේක්ෂිත මහ වැහි කෝඩයක ලකුණු , ප්‍රේමාන්ධ වූ සඳට නොපෙනෙයි. දිගු කාලයක් එකට හිටි එකාකාරී පුරා වස් ගණනාවක අවසන , පොළව සඳ සමග ගනුදෙනු අත් හරින්නේය. එහෙත් ඒ පෙනෙන හැටි පමණකි.  අහසත් සඳත් කිසි ලෙසකින් උනුන් හැරයන්නෝ නොවෙති. ගතවන දිවා විරාමයෙන් ඉක්බිති ඔවුනොවුන්ට රාත්‍රිය කියා උන්ගේම මොහොතක් මග බලා සිටී.

එහෙත් , එක් දිනෙක, 

සඳ නලලත සිපගෙන , උදෑසන අඳුරුතම පැය සටහන් කරමින්, අහස වේදිකාවෙන් බැස යන සුපුරුදු අන්ධකාර හෝරාවය . වෙන කවරදාටත් වැඩියෙන් උණුසුමෙන් , සෙනෙහසින් , ආලයෙන් මෙන්ම හද කම්පා කරවන තරම් මෘදු හඬින් ' ආදරෙයි ' කියා අහස මුමුණයි. සඳට එය වටහාගත නොහැකි වෙයි. අහසටද වටහා දෙන්නට තරම් කිසිවක දැනුවත් බවක් නැත්තේය. විස්තර කළ නොහැකි මූසල වෙන්වීමේ ඉඟියකින් , නොහොත් ඉවකින් , අහසත් සඳත් යටි සිතෙන් බීත වී සිටිති. . අහසත් සඳත් නො එන රැයක් තිබේද ? උනුන් සිප වැලඳ නොගන්නා දිනයක් ඒද? නැත . උන් යටි හිතට ක්යා හිත හදා ගන්නේ එහෙමය .

හිමිදිරි සීතල තුරල් වෙන පාන්දර , සඳ සෙමෙන් මුහුණ අඳුරු කරගනී.  එලැඹෙන නුදුරෙහි අහසත් සඳත් එකම රාත්‍රියක නිසි නිවිසැනසිල්ලේ නොබියව විරාජමාන වන පොහෝ සැණකෙලිය සිහිපත් කරමින් සඳ තැවුල් මුහුණ සිනා වතින් පිසදා ලන්නීය. අහස සිය රළු පරළු, හැඟීම් විරහිත යයි පෙනෙන , එහෙත් බොහෝ දුක් හා රිදුම් තැවුල් දරා ඉවසන දැඩි මුහුණින් උදා දොරකඩ වෙත පියමනී. පසු පස්සේ වැටෙන සඳ , අහස් ගැටියෙහි ඇතිල්ලෙමින් සමු ගැන්මේ සිහිවටනය නොකියා ඉල්ලමින් එකෙල මෙකෙල වෙයි. වෙනදා මෙන් එය පමා නොවෙයි. ඇසි පිය හෙලන ඇසිල්ලෙන් , සිය විසල් අහස් තලයෙන් එක් බිඳිත්තක් වන් කුඩා සඳට ඉවැසීමෙන් යුත් එක් නළල් හාදුවක් උණුසුමින් තෑගි දෙන අහස , කම්මුල් හරවමින් , ප්‍රති සිහිවටන ඉල්ලා සිටියි. එය සැබෑ සමුගැන්මක් තරම්ම සංවේදී වූයේ , හැඟුම් හා ඉව , සදෘශ්‍ය විචල්‍යයනට වඩා ප්‍රබල නිසාද?

'Love you'  ඉතාමත්ම චමත්කාරජනක සන්ධ්‍යා හමුවීම් එක දෙකක අතිශය රොමෑන්තික ආදර කඳු මුදුන් දැක පහන් වෙද්දි පමණක්ම , හඬ බිඳී මෘදු සරින් විසිරුනු එම වදන් , එදා අඳුරු පැහැගත් කාල මීදුම් එතෙන මූසල හිමිදිරියේද , ඒ මුදු සරින්ම ගිලිහුනේ,  අවසන් වතාවට යැයි සඳටවත් අහසටත් නොසිතෙන්නටම ඇත. 

'පරිස්සමෙන් යන්න. මේ දවස් ටික පරිස්සමෙන් ඉන්න' 
සඳ , වෙන කවදාටත් වඩා මෝරා ගිය වැඩිහිටිකමකින් , තමන්ට වඩා බොහෝ දැනුම් තේරුම් ඇති අහසට දැනමුතුකම් දෙයි.  ආදර බැල්මකින් , කුඩා සඳට ප්‍රතිචාර දක්වමින් සමුගෙන යන අහස , හිමිදිරිය පෙනි පෙනී ආයිත් හැරී එයි. යා යුතු යැයි හද නොපිලිගන්නේද? 

' වහින්න වගේ නේද ? ඇයි ඒ ?' පිලිතුරු නැති පැනයකට උරිස් හැකිලෙන සඳ වෙත යලිත් එන අහස , යලිත් හාදුවක් තබා හිමිදිරිය වෙත හැරී යන්නේය . 

මෙදින පවසමි  ,
සහසැස් මිසක , එ'සුදු සොමි රැස් හෝ , එ'සඳ වැලඳ ගත් අහස හෝ එදිනෙන් පසු යලිත් නොවැලැඳැගත්තෝය. ඉනික්බිති එලැඹි රාත්‍රීන්හි වට මහ වැසිද , ඉන් තෙත්බරිව විසුණුව ගිය වේදිකාවද නිමිති කොට සඳ සහ අහස නාඳුනන්නන්ගේ මානයට ගෙන ගියෝය.  

නාඳුනන අතෝරයන්ගේ බල පරාක්‍රමයන්ට පින් සිදු වන්නට , සුදු ඇඳගත් සඳ , වැස්සේ තෙත්බරියන් වෙමින් , තෙමී ලෙඩ හදා ගන්නේ යැයි තරවටු අසමින් , වස්සානය අවසන් වෙතැයි සිතන්නීය, පෙරුම් පුරන්නීය . අහසෙන්ද ගැරහුම් ලබන්නට තරම් සඳට අමාවකම හිමි වන්නීය. මහ වැස්සෙන් පසු අහසද එම අහසමමැයි පතන්නිය. 

තවමත් රාත්‍රීන්හි සඳ එබෙන්නීය. කලා පුරන සඳ වෙනදාටත් වඩා දිලෙන්නේ යැයි පවසන්නේ කෙබඳු සිතකින්ද? ලෝකයක් එලිය කළ යුතු යැයි සඳ බිහි කළ හිරු , පිලිණ ගති. වැසි දියෙන් ආතුර සිතින් , සඳ , රාත්‍රියෙහි අන්ධකාරය , අහසක් නැති කැඩී බිඳි සුන් බුන් වූ වේදිකාවෙහි තවමත් දිදුලවන්නේ එහෙයිනැයි අහසට සිතා ගත නොහැකි වීම විස්මයක් නොවේ. 

 
සිතුම් සුලඟක ඇමිණී

හැඟුම් කෙම්බිම් සරමී
සුසුම් පැහැ තවරමිනී
කවක් සඳ මුව මිමිණී ... 


‍රැස් දෙන ඉරට ලං විනි
ලත් හිරු ‍රැසින් මත් විනි
මල් සර විතෙන්  විස ඉනි
නෙත් අඳ සඳක් ඇවිලිනි    ... 




සුපෙම් අහසක් අහිමි
සොවින් සඳ මියැදෙමිනි
සසර හුරු ඇස් හැඟුනි 
යලි අහසෙ  සඳ උපනි..





මැකී යලි සඳ පිපුනී
පිපී සඳ බොඳ නොවිනී
මසින් මස මෝරමිනි
සඳින් අහසද උපනි....


සහසැස් සිඹින අහිමි
අහිමිව නොහෙනු හඬමි
හැඬු නෙත් සිඹින ම'හිමි
හිමි නුඹ අහිමි නොහෙමි....

වරෙක සුනිල් එදිරිසිංහයන් , ඉතාමත්ම වේදනාබර ආයාචනාවක් , ලිහිණි කුරුල්ලන් වෙත ගෙන හැර පාන්නේ , සිත ගත් ප්‍රියයාණන් සොයා පියඹා ගොස් , මා මිය යන බවක් හෝ පවසා, ප්‍රේමණීයයා තමන් බලන්නට ගෙන්වා ගන්නැයි කියාය . එය මරණ තර්ජනයක් පෙන්වා සිතුම් ඉටු කරගැනීමකැයි අර්ථ දක්වන්නේ කවුරුන්ද?  

අහිමි කමේ ආලාපයන් මත්තේ සඳට පායා නොසිටිය නොහැක්කේය. අන්ධකාර රාත්‍රියට කුඩා සඳ පහන එලි දෙන්නට පිලිණ දී ඇත්තේය . අහසෙන් මුවා වී සඳ කෙසේ පායන්නද ? වළාකුලක හැංගීගත් සඳෙහි , තවත් ගැඹුරට හෑරී ගිය සදාතනික ආවාට වල එක්තැන්ව පැලැහෙන ලුණු රසැති රතු කඳුලු නිරතෘවම , සුදු රැස් දහරින් සෞම්‍යව පවතිතැයි , දූත ලිහිණියෙකුගේද නිගමනය වනු ඇත.
 
බොහෝ කවීන්ගේ රස නහර පුබුදුවා ලූ , හැඟුම් ප්‍රස්තුත සැපැයූ මුත් , සඳ එයින් ලැබූ පහන් හැඟුමක් නැත්තේය. පැහයක් හැඩයක් හෝ දිග පළලක් නොමැත්තේ මුත් , සඳට වැතිර සිනාසෙන්නට තරම් විසල් හද කුහරයකට හිමි කම් කී අහස වෙත සඳ හැංගූ කවියක් නැත !  

අතීතය ප්‍රත්‍යාවර්තී ලෙස යලි උදා වෙයි. එහෙත් ජීවිතය උදා වන්නේ එකම එක් වරකි. ප්‍රත්‍යාවර්තී අතීතය කෙසේ ඇවිත් ගියද , යලිදු ජීවිතය යන නම ඊට දිය නොහැක්කේය. 


 ප.ලි
සුදු ඇඳගෙන ගීය : මගේ රචනාවක් නොවේ. එය කරුණාරත්න දිවුල්ගනේ ගයන්නකි. මෙන්න ගීතයේ සබැඳිය

[310] ස්වප්න කතිකාවතක සිරව සිටිමි


 මගේ ලෝකය බිහිව ඇත්තේ සිහින වලිනැයි විටෙක සිතෙයි. ජීවිතේ ගෙවෙන හැම මොහොතකම මුණ ගැසෙන හැම ඇස් දෙකක් අස්සේම දිලිසෙන කුඩා සිහින පෙනේ. එවැනි දිලිසුමක් මා දැක නැත්තේ , එක්කෝ බීමත් හෝ උන්මත්තක මිනිසුනගේ දෑස් වල පමණකි.

ඇතැම් සිහින ඉතා කෙටි එහෙත් රතිඤ්ඤාවක වේගෙන් හිත තුලින් මතුව සැණෙන් විදාරණය වන දැඩි සිතුවිල්ලක්ම පමණකි. පරිසරයෙන් ලැබෙන අනුබලය හෝ අදහිරිය මත සිහින යථාර්තයක් වීමේ හැකියාව තීරණය වෙයි.

ඇතැම් සිහින නිදා නොනිදා මෙන් කල්ප කාලාන්තරයක් හද පතුලේ සැඟව සිටියි. එක්කෝ එය දිගු කලක් තිස්සේ හෙමින් උස යන රූස්ස ගසක් සේ වැඩී , පෙර කී දැඩි අභිලාෂයක් විලසින් සිතෙන් පිට දමයි.

ඒ කෙසේ වෙතත් , මිනිසුනගේ විවිධ චර්යා දෙස ලංව බැලූ කල , සිහින දකින්නන් , සිහින හඹා යන්නන් , සිහින නොදැක ජීවිතාභිලාෂයන් සැබෑ කරගැනීමට යත්න දරන්නන්ද හමුවෙයි. 

පුද්ගලිකව , සිහින දැකීම පිලිබඳ මගේ අදහස නම් එය නිර්මානකරණයෙහි ඉතා හිතකර ප්‍රවණතාවක් වන්නේ යම් සේද , සැබෑ ජීවිතයේ කටුක බව ඉදිරියෙහි මනා සන්තුෂ්ටි මාර්ගයක්ද වන බවකි. සිහින ලෝකයක පූර්ණ කාලීන වශයෙන් සැරිසරන්නේ , උන්මත්තකයන්ය . එහෙත් ජීවිතයට සුන්දරත්වයද එක් කොට ගත හැකි බවක් විස්වාස කළ හැක්කේ නිර්මාණශීලි සිහින දකින්නන්ට පමණකි.

දුම් රියෙක නැගී යන යුවලකි. තරුණිය හිස් බැල්මෙන් කවුලුවෙන් පිටත බලාගෙනය. ඇය මොනවා සිතනවා ඇද්ද? මට ඒවා සොයා බලන්නට සදාචාරාත්මක අයිතියක් නැත්තේය. එහෙත් එසේ සිතා බලද්දී එක්තරා මිහිරකුත් දැනෙයි. මොහොතකට ඇයගේ සිත වන්නට ඇත්නම්... ! ඇය පසෙකින් ඇගේ පෙම්වතා විය යුතු තරුණයෙකි. ඒ නිගමනය තහවුරු වන්නේ, තරුණිය ඔහුගේ වැලමිටෙන් අල්ලාගෙන සිටින අයුරෙනි. අයිතිය හඟවන සංඥාවක් . තරුණයාගේ කට බාගෙට ඇරී තිබෙයි. ඔහු ආසනයට හේත්තු වීගෙන නින්දකය.. ! මිහිරිතම වංගු ගණනාවක් , බිම්ගෙවල් අතලොස්සක් පසු වෙයි. මම තව තවත් තරුණියගේ මනසට සමපාත සිතුවිලි ධාරාවක් ජණනය කරගනු වස් මනස නිද්‍රෝපගත කරවමි. සිහින දකින්න්නියකගේ මනසින් මට එලියට එනු අපහසු බව මම පසක් කරගනිමි.

මොහොතකට ඒ සියලු වංගු සහ බිම්ගෙවල් පසු වූ ගමන මම ආපසු කරකවාගෙන යමි.

තරුණිය තරුණයාගේ උරහිසට හේත්තු වී එලිය බලාගෙන සිටියි. ඇගේ වමත ඔහුගේ සුරතෙහි පැටලී තිබේ. ඇගේ සුරතින් තරුණයාගේ සුරතද තදින් අල්ලා සිටී. ඇයගේ කෙහෙ රැලි සුලඟේ ලෙල දෙද්දී තරුණයා නිදහස් වමතින් ඒවා කොතෙක් ඇගේ කන් පිටුපස්සේ රැඳවුවද ඒවා රිසිසේ යලිත් සුලඟත් සමග එලියට පනිති. අහක බලා සිටින ඇගේ මුහුණ ඔහු නොනවත්වා තමා වෙත හරවා ගන්නට තැත් කරයි. ඇය මවා ගත් නොමනාපයකින් සහ අඩ සිනාවකින් ඔහුගෙන් මිදෙන්නට තැත් කරයි. තරුණ සිත්වලට කොතෙක් නම් සිහින අස්සේ මත් විය හැකිද. ? නොදුටුවා සේ පුවත්පතකට එබීගෙන හිඳින මම සිතමි. බිම්ගෙයක් පසු වෙයි. අන්ධකාරය පෙම්වතුන්ට බියකරු ආශිර්වාදයකි. බිම්ගෙයින් පසු ආලෝකවත් වෙන පරිසරයට තරුණියගේ රතුවූ ලැජ්ජාබර මුහුණ ගෙන එන්නේ සුන්දරත්වයකි. 

එහෙත් මේ මහපොළවෙන් උඩ මා දකින සිහිනයකැ‍යි පමණක්ම කියන්නෙමි.  සිහින ලොවක ජීවත් වීම මහපොළව තුල කොතෙක් සාධාරණදැයි මම දැණ් නොවිමසමි. ලෝකයට සිහින දකින්නන් මෙන්ම , සිහින නොදැක යන්ත්‍ර මෙන් ජීවිතය හඹා යන්නන්ද අවැසිය. සිහින දකිමින්ම ජීවිතය ගොඩ දා ගත හැකි මධ්‍ය ලක්ෂ්‍යය සෙවීම මගේ ජීවිතයේ සිහිනයද? 


යුස්ටයින් ගෝඩර් 'සොෆීගේ ලෝකය' පොතේ පවසන ආකාරයට , කුඩා දරුවෙකු මෙන් හැම දෙයක් කෙරෙහිම විමසිලිමත් වෙන එක , පුදුම වෙන එක වගෙම ජීවිතේ හැම සිදුවීමක්ම ආස්වාදනය කරන එක,  අපි වයසින් මුහුකුරා ගිය මිනිස්සුන් ගැහැණුන් වෙද්දි උවමනාවෙන්ම මග හරිමු . 

ජීවිතේ පුරුද්දක් වෙන එක මොන අපරාධයක්ද?  මට සිතෙන්නේ එහෙමය , මන්ද ගතවන මිනිත්තුවක් පාසා ජීවිතය විස්මයන්ගෙන් පිරී පවතින බැවිනි.

Thursday, August 14, 2014

[309] ආතුර හීන



ජීවිතය නිහඬ වී සිටී...
දෙබැම ඉහළ නංවා
වරෙක කුහුලින් මුසපත්ව
දොඩමලු වන්නටද අර අඳී...

මුහුණත් පුලුටු කර ගෙන
මා උරිස්සට ඉහළින්
පෙර වැසි වට දිනට එබීගෙන
තවමත් සිහිවටන පිරි මදී...

ජීවිතය , නුඹ නිදා නොවැටී
මාද දෑත දී නැගිටුවනු නොහැකිද?
අනපේක්ෂිත ශිශිර නිද්‍රාවෙන්
ඔත්පල මට යලි නැගෙන්නට කියා දෙන්.
.

Thursday, July 10, 2014

[308] පූස් rescue මිශන් හෙවත් අනාරක්ෂාවේ සුරක්ෂාව




ඒ එක්දාස් නවසිය අනූ අට අවුරුද්දය . අපේ ගෙවල් ඉස්මත්තේ එක්තරා අයාලේ යමින් සිටි බලු මවකට පැටවු රොත්තක් හම්බුනේ ඒ කාලේය. පැටවු සමග බලු මාතාව සුරතල් කරන්නට බොහෝ සෙනග සැදී පැහැදී සිටියද උන් අයාලේ ලොකු මහත් වූ පසු නිරායාසයෙන්ම වද කරදරයකැයි ඒ සෙනග උන්ව පන්නා ගත්තෝය . ඒ නිසාවෙන්ම පෙරකී බලු පැටවුන්ගෙන් දිවි ගලවාගෙන ඉතිරි වූ එකම පැටවා , දිනෙක වාහනයෙහි දමාගෙන වෙනත් පෙදෙසකින් තබා එන්නට  වුනේය. 

පින් පව් කෙසේ වෙතත් ඉන්නා තැනක දිවි බේරාගෙන ජීවිකාවක් කර ගනිතැයි සිතනවාට වඩා අන් යමක් කළ හැකි නොවූයේය. මේ සිද්දියේ නිරීක්ෂකයකු පමණක් වූ මට මේ සිද්දිය හිතට වැදුනාද නොවැදුනාද කියා මතක නැත. ඒත් අහුවෙන හැම පණ්ඩිතමානී අදහසම කතාවක් හෝ කවියක් කොට ලිවිය යුතු යැයි ශපථ කොට සිටියාක් මෙන් මම පඬි වදන් ලියන්නට කැස කවාගෙන සිටි යුගයකි ඒ.

එහෙයින් 'අනුකම්පාව වෛරය හා ශෝකය' යනුවෙන් මම කුඩා කෙටි කතාවක් ලිව්වෙමි. එහි කතා නායිකාව වන  මමද මූලිකව මේ බලුපැටවුන්ට අනුකම්පාවෙන් අහර දෙන්නේ මුලින්ය. එහෙත් වරෙක මේ බලු පැටවුන් ගැන උපදින්නේ තරහකි. ඒ මගේ හොඳම ගවුමක් ඉරාදමනලද නිසාය. අවසනදී උන්ගේ වදයෙන් බේරෙන්නට බැරිව  මහමග දමා යද්දී ඒ සියල්ල අමතකව යලිත් ආත්ම ලැජ්ජාව සහ ශෝකය ඉස්මතු වෙයි. සැබෑ කතාවේ නොමැති ලුණු ඇඹුල් දමා මා කතාව අවසන් කරන්නේ මහමග දමා හැරී එද්දී ලොරියකින් පැගෙන තද තිරිංග නාදයක් සමගිනි. ඒවා සිද්ද වූ දේවල් නොවේ.

කතාන්දරයක් ලිවීමේදී සත්‍ය සිද්ධියම වාර්ථා කරනවා වෙනුවට සිදුවීම විචිත්‍රවත් කොට කතාවක් ගොඩ නැගිය යුතු යැයි , කතුවරයකු කියා තිබූ පඬි වදන මා එකල අසා නොතිබුනි. එහෙත් වැඩිමනත් ආටෝප සාටෝප වලින් මනස ඔද්දල් වී නොතිබූ කුඩා මල් වයසේ , කියවන ඇසෙන දකින හැම දේම පිවිතුරු සුදු රෙදිකඩකට පෑදි දිය උරා ගන්නා සේ ලිවීමට සුදුසු දෑ නිරවුල්ව ගලා ආ යුගයකි ඒ. 


ඒ ලියූ කෙටි කතාව දින කිහිපයකට පසුව අපේ ගෙදරට අසු වී , අපේ ගෙදර උදවිය , මගේ ලපටි සිත මෙතරම් තැලුනු බවක් නොහැඟුනේයැයි විස්සෝප වූවාද මතකය. එහෙත් මා එතරම්ම (කතාවේ ලියු තරම්ම ) මානසික වූවාදැයි මට එච්චර නිනව්වක් නැත්තේය. (මට හිතක් පපුවක් නැතිද?) 

එකල්හි ලියූ බොහෝ දෑ තුල මට හුරුබුහුටි විචිත්‍රත්වයක් පෙනෙයි. ඒ කොතරම්ද කියතොත් ඒ මල් යෞවනය කෙරෙහි මහත් වූ ආලයක් හට ගනී. සුදු ගවුම් , පොත් පත් , කවි , මල් වයසේ විරුද්ධ ලිංගික ආකර්ෂණයේ කුඩා අතුරු පල කොතරම් සොඳුරුදැයි සිතෙයි. ( බස් පොලේ දැක් හිත් මලෙහි මියගිය මගේ ප්‍රථම ප්‍රේමය යන ලිපිය මා මුල්ම කාලයේ ලියූ එබඳු මතකයකි)

මේ හැම වල් පලයක්ම අද මේ දිග අරිමින් මා කියන්නට තෙපර බාන්නේ මොනවාදැයි ඔබ අසනු ඇති.

දවස් පහකට මත්තෙහි අපේ පාලු විසාල ගෙදරට අලුත් සද්දයක් එකතු වුනේය. වහලය උඩ සීලිමෙන් සිඟිති පූස් කෙඳිරිලි ගොඩක් එක උදේක එකපාරම මතු වුනේය. අහෝ පාලු කලුවර සීලිම , පූස් තිඹිරිගෙයක් වී ඇති අරුම ! ඉතින් කුමක් කරන්නද ? 


පූස් කෙඳිරිල්ල මෝරා පොඩ්ඩක් වැඩිමහල් ඤාව්වක් බවට පත්වෙන්නට ගියේ දවස් කීපයකි. ඉතින් අපිට මේ දවස් ටිකේ නින්දක් නොතිබූ බව කියන්නත් දෙයක්ද ? දවස් දෙකතුනක් ගිය තැනේදී පූස් ඤාව් කිහිපයකින් එකක් පමණක් සිවිලිම උඩ ඉතිරිව තිබෙයි. අහෝ එක් සහෝදරයෙක් / හෝ සහෝදරියක් අතරමං කර අනික් ඈයින් සිවිලිමෙන් මහපොළවට බැස ගිහින්ය ! අම්මා කොයි  ? අම්මා සොයා අප වට පිට පීරුව මුත් පලක්  වූයේ නැත . ටික දිනක් ගිය තැනදී අපට ආරංචි වෙන්නේ පූස් අම්මා අපේ නිවස අවට වසන කමකට නැති බලු රොත්තට අසු වී මිය ගොස් සිටි බවකි. ඇතැම් විට ඈ මිය යන්නට ඇත්තේ සිය අවසන් පැටවා සිවිලිමෙන් බස්වාගෙන එන්නට යන අතර මග විය හැකිය .

දැන් පූස් පැටියා තනිවී සිවිලිම උඩය ! පිරිමි නැති අපේ ගෙදර සිවිලිමට නගින්නට කිසිවෙක් නැතිය. පූස් අඳෝනාව අසා සිටින්නට අමාරු තරම් දුකය . දිනක් දෙකක් තුනක් කල හැකි දෙයක් නොමැතිව තැවිල්ලේ ගෙවී යයි. නොදු‍ටු පූස් පැටවා සිවිලිම දෙවනත් කරමින් කුඩා සිදුරු වෙත මුහුණ තියමින් ඤාව් කියන එකෙත් ඉවරයක් නැත . දැන් මෙයට කරන්නේ කුමක්ද ? කිසිවෙකු නග්ගා පූස් පැටවා බිමට බස්වා ගනු හැරුනු කොට පිලියමක් නැත. එසේ නොකලහොත් එක්කෝ කන්නට නැතිව ඌ මියෙනු ඇත.

අවසානයේදී මට පිහිටට එන්නේ මගේ කාර්යාල මිතුරන් දෙන්නෙකි. ඔවුන් දෙන්නාත් පටවා ගෙන අද දහවලෙහි මම ගෙදර ආවෙමි. පූස් පැටවාගේ හැඬිල්ල ඉවරයක් නැත. ඉණිමග සොයාගෙන , දූවිලි වලින් බේරෙන්නට ටීශර්ට් දෙකක්ද අන්දවා මම ඔවුන් දෙදෙනා සිවිලිමට නගිනු බලා සිටියෙමි. පැයකට ආසන්න කාලයක් තිස්සේ දස වද විඳිමින් , උලුකැටද ගලවමින් , අඩව් ඇල්ලීමෙන් අනතුරුව මේ ත්‍රස්තවාදී හිතුවක්කාර අසරණයාව බිමට බස්සාගන්නට මගේ මිතුරන් දෙන්නා සමත් වූහ.

කලුම කලු පුලුන් බෝලයක් අස්සේ කොල පාට බෝංචි ඇට දෙකක් ගැසූ අයුරෙන් දිලිසෙන ඇස් දෙකත් , මැක්කන්ගෙන් පිරුනු බියපත් කෙසඟ සිරුරත් දකිද්දී, තව දිනක් දෙකක් ඇතුලත පූස් පැටවාගේ ඉරණම තීරණය වන්නට තිබූ බව පෙනී ගියේය. සාගින්නේ සිටියද කිරි බිඳක්වත් තොල ගාන්නට තවම හුරු නැති හෙයින් , අම්මා නැති අසරණයා අපේ කකුල් සූරමින් තවත් පැයක් දෙකක් සිය හෝන්දු මාන්දුවෙන් මිදෙමින් සිටියේය.

සැබෑ ප්‍රශ්නය උද්ගත වන්නේ දැන්ය. මෙයාට දැන් මොකද කරන්නේ ? ඔන්න ප්‍රශ්නය. ගෙදර තබා ගැනීම කිසි සේත් කළ නොහැක්කේ පූසෙකු ඇති කිරීම කිසිදා අප නිවසේ සිදු නොවන බව දන්නා හෙයිනි.අනෙක් අතට පූස් අම්මාට වූ ඉරණමම පූස් පැටවාට අත්වීමද එයින් නොවැලැක්විය හැක්කේය. දැන් ගැලවුම් කාර මිතුරන් දෙදෙනාත් ගැටලුවකට මැදි වී ඇති සේය. මාද එම ගැටලුවම පෙරදැරිව තැවෙමින් සිටියෙමි. 


පිලිතුරක් නැති තැන , කරන්නට තිබූ එකම දෙය කරනවා මිස අපට වෙන විසඳුමක් නොතිබුනේය. එහෙත් එහි ධණ සෘණ , යහපත අයහපත එක එක අතට පෙරලා විශ්ලේෂණය කර බලන්නේ නම් , නානාප්‍රකාර ප්‍රතිචාර ලබා දිය හැකි වුවද , අපද අසරණ වූ ඒ අවස්ථාවෙහි කුඩා මිතුරාව , ආරක්ෂාකාරී තණපඳුරු ගොන්නක් තුල සඟවා එනු මිස අන් කළ හැක්කක් නොවූයේය. 

අනාථයෙක් වූ කල , සුරක්ෂිතතාවයද අනාර්ක්ෂිත වන අතර , බියකරු අවදානම් කලාපයක තනිවීමද සුරක්ෂාවක් සේ තාවකාලිකව දැනෙනු ඇත.  ජීවිතය යනු රැකගනු උදෙසා අරගල කල යුතුව තිබෙන්නේ තිරිසන් සිඟිත්තෙකුට පමණක් නොවේ. මනුසත් මහල්ලෙකුගේද ඉරණම එයමය. 

දැන් ඔබේ අදහස් දැක්වීමේ කාලයයි. 


අමනාප නොවන්න . කළ හැකි උපරිමය වූයේ නුඹ සාගින්නෙන් හා තනිකමෙන් මුදා ගෙන මහ පොළවට ඇරලීම පමණකි.

Saturday, May 31, 2014

[307] ඉටි බෝලය 'කියැවීමෙන්' අනතුරුව .....

අවුරුද්දේ එක් කලෙක උෂ්ණය සමග වසංගතයක් සේ පැතිර එන හෝහපුටු හමුදාවක වේගයෙන් , පොත් පත් ධනස්කන්ධයක් මා අරක් ගෙන සිටී. සිතෙහි ප්රීතිය නිමක් නැත. නොකියැවූ පොත් ගොන්නක් දැකීම වේදනාවකි. කියැවීමේ ආශාවට කාලය නමැති මාර දූත තෙම නිරතුරු බාධා පමුණුවන හෙයින් , තව තවත් පොත් කෙරෙහිම සිත අලවා සිත දැඩි කොට ගෙන සිටින්නෙමි.

දහසය වසරක් තිස්සේ මගේ පොත් රාක්කයෙන් අතුරුදන්ව තිබූ 'ඉටි බෝලය' නමැති ගී ද මෝපසාං ගේ දිගු කෙටි කතා එකතුව වෙනුවෙන්ම මේ සටහන ලිවිය යුතු යැයි සිතීමි.


මම මේ පොත කියවන්නට ලැබෙන්නේ 1998 දීය. ඒ අපේ අක්කාගේ කියැවීමේ මනා රසිකත්වයට පින් සිද්ද වෙන්නටය. 1998 මගේ 15 වන උපන්දිනයට එතරම් ශ්‍රේෂ්ඨ පොතක් මා තෑගි ලබන්නේ එසේය. ඒ මා ප්‍රථමයෙන් ඉටි බෝලය 'කියවන' වතාවය. යම්තම් බස හසුරුවා හතර පදයක් ගැට ගසා ලන්නට තරම් සීමිත භාෂා ඥාණයකින් පමණක්ම සන්නද්ධව සිටි මට පරිවර්තන ලෝකයෙහි පතාක යෝධයකුගේ අපූර්ව නිර්මාණයක් කියවන්නට ලැබෙන්නේ එසේය. ඒ කේ ජී කරුණාතිලක සූරීන්ය.

පොත මගේ කුඩා එකතුවෙන් අතුරුදන්ව දැන් වසර දහසයකි. ඒ දහසය වසර තිස්සේම ඉටි බෝලය මට නොයෙක් වර මතක් වූයේය. නොයෙක් පොත් ප්රදර්ශන වලදී මේ පොත මා හොයා අසා බැලූ වාර ගණන නිමක් නැතිය. මේන්න 2014 දී මට මේ පොත පැරණි පොත් එකතුවකට පින් සිදුවන්නට ආයෙත් ලැබෙන්නේය.

ඉටි බෝලයට මා අසක්ත වූයේ නව යොවුන් වියේ , වැඩිමනත් යමක් නොදන්නා කුඩා කෙල්ලක් හැටියටය. ඊයේත් අදත් ඉටි බෝලය මා නැවත කියවන්නේ කාලයත් සමග බොහෝ සමාජ සංසිද්ධීන් හමුවේ තැලී ගැටී වියපත්වී කරකුට්ටන් වූ සිත් ඇත්තියක සේ යැයි අවංක මට කීමට සිදුවෙයි. ඉටි බෝලය නැවත කියැවීමේදී , එහි වූ සොඳුරු අහුමුලු ස්පර්ෂ වෙද්දී දැනෙන සාහිතමය රසය සහ සොයා ගැනීමේ නව ප්රහර්ෂය වචනයෙන් කිව නොහැකි තරම්ය.

බොහෝ දෙනා නගන පොදු ප්රශ්නයක් නම් , මා කියැවූ පොත් නැවත කියවන්නේ මන්ද යන්නයි . කියැවූ පොත් යනු එක් වරකදී එක් අයුරකින් 'කියවා ගත්' ලේඛනයක් වූ පමණින් ඉවත දැමිය හැක්කක් නොවේ. නැවත කියැවීමේ සන්තෑසියට බරපතල වශයෙන්ම ලක්ව තිබුනේ ජයසේන ජයකොඩි මහතාණන්ගේ 'පිච්චමල ' සිට 'සුදු නෙලුම' දක්වා පොත් 8යි. පසුගිය දශක එකහමාර තිස්සේ ඒවා නැවත කියවූ වාර ගණන සිය ගණනක් විය යුතුය. කියවන කියවන වාරයක් පාසා නොදුටු සොඳුරු යටි අරුතක් , උපහැරණයක් , නොතේරී තිබූ යමක් හිසට සන් කරයි. සිත සහ ලෝක ස්වභාවය මේ යයි වටහා ගන්නට මෙතරම් සොඳුරු සරල වෙනත් නවකතාවක් මට හමුවී නැත්තේය.

2006 පමණ වනතුරුම මේ සන්තෑසිය එහෙමම සිද්ද වූයේ ඔය පොත් ටිකටය. එහෙත් ඒ 'ජෙරල්ඩ් ඩරල්ගේ මගේ පවුලයි අනෙක් සත්තුයි , කුරුල්ලෝ සිව්පාවෝ සහ නෑදෑයෝ , දේව උද්යානය හමුවන තෙක්ය. දැන් ඒ පොත් තුනට නිවනක් නැත්තේය. මේ පොත් තුනෙන් එකක් මගේ ඇඳ ඉහත්තාවේ නොමැති දිනයක් නැත්තේය. නිදන්නට පෙර ගන්න බෙහෙත් අවුසදයක් මෙන් , අහම්බෙන් පෙරලෙන පිටුවක් දෙකක් යල්ත් ,යලි යලිත් සිය දහස් වතාවක් කියැවූවද රස නොනැසී ඇති හෙයින් , නින්ද එන තුරු කියවමින් රස විඳිමි. එය දැන් යාවජීව කාරියක් වී පුරුද්දක්ම වී තිබෙන්නේය.,

අද හැන්දෑවේ සිට මට ඉටි බෝලයෙහි ගැඹුර විද්යමාන වීමට පටන් ගෙන ඇත්තේය. මෙතෙක් නොදුටු ස්පර්ශයකින් ගී ද මෝපසාං දකිමින් සිටිමි.

1998 උපන්දිනයේදී අක්කා මේ පොත තෑගි දෙද්දී ඒ පොතේ මෙහෙම ලියා තිබ්බා මතකය.. 

'ඉටි බෝලය' _________ වුවත් ඔබ කිසිදා ඉටි බෝලයක් නොවන්න.... 

ඉටි බෝලය යනු අසාධාරණයට ලක් වූ , අනුන් උදෙසා තම ප්‍රාණ පරිත්‍යාග කිරීමෙන් ගැරහීමම පමණක් ලැබූ අසරණ ස්ත්‍රියකැයි පමණක් මට 1998 දී ගම්‍ය වූ බව ඇත්තකි. ජීවිතය ලෝකය , ගැරහුම් අවමන් , හැඬුම් වැලපුම් යන්නෙහි ඊට එහා ගිය අතිශය සියුම් සංවේදනාවන් ඝැබ්ව ඇතයි විචක්ෂණ මනසින් බලන්නට මම බුහුටි නොවීමි.  

එහෙත් ඉටි බෝලය සතු මානව හිතවාදීත්වය ? ඇගේ දැඩි මතවාදීත්වය ... අනුන් වෙනුවෙන් සිය ප්‍රතිපත්තින් මෙන්ම ජීවිතයද කැප කළ උදාරත්වය ? මට ඉටි බෝලයක් නොවිය යුතුයැයි කී අක්කා, මට එසේ නොවන්නැයි කීවාද ? එසේ නොවන්නැයි අදහස් නොකලාද ? එය දන්නේ ඈ පමණි .. 

ඉටි බෝලය තරම් විවාදශීලි අදහස් නොදරන්නැයි ඈ කීවා වෙන්නට පුලුවන . ඉටි බෝලය මෙන් සාධාරණ නොවන්නැයිද කීවා වන්නට පුලුවන. ඉටි බෝලය මෙන් නොවිකිණෙන්නැයිද කීවා වන්නට පුලුවන. එක්කෝ ඒ කිසිවක් නොසිතා ඉටි බෝලය වාගේ සමාජයෙන් නරක ලේබයට පත්වූ ගැහැනියක නොවන්නැයි කිවා වෙන්නට ඇත.  (මට ගණිකාවකගේ අකැප ආදරය සිහි වෙයි)

අද කියවන ඉටි බෝලය තුල විදාරණය වන සර්ව සාම්‍ය සමාජ විෂමතාව , තරඟකාරීත්වය , කුහක කම , අවස්ථාවාදිත්වය මේ කී නොකී දහසකුත් එකක් මානව ලක්ෂන එක් දිගු කෙටිකතාවක ගී ද මෝපසාං කැටි කළේ කෙසේදැයි මට විමතිය නවත්වා ගත නොහැකි. ඊටත් එහා ගිය විමතිය පහළ වන්නේ , ගී ද මෝපසාං අවසන මානසික ආතතියෙන්ම දිවි නසා ගැනීමය. මේ තරම් ජීවිතය අතැඹුලක් සේ දැකීමේ ඥාණයකින් හෙබි ඔහු ජීවිතයෙන් පලා යන්නේ ඇයි? ජීවිතාවබෝධය සහ ලිවීමේ හැකියාව අතර විසල් පරතරයක් තිබේද? 

ලියන දෑ ජීවිතයක ගැබ්ව නැතිද?  ජීවිතයත් ලිවීමත් යනු දෙකකැයි සිතේ. ජීවිතය උවමනාවට වඩා ඇනලයිස් කිරීමට යාමේ අතුරු ප්‍රතිපලය ගී ද මෝපසාං ජීවිතයෙන් වන්දි ගෙවීමද ? 

Sunday, March 23, 2014

[306] යාත්‍රා කළ වැලි කැට

.
 .
වෙරළෙන් ඈත දියඹෙ ගැඹුරට
 තුරුල් වී පෙම් කෙලින මූදට
නැලවි නැලවී එපා වෙන විට
ගාට ගාටා ඇදෙයි වෙරළට ..

පිහිනගන්නට නොදත් වැලිකැට
කැන්දගෙන ගොස් දියඹෙ ඈතට
ක්ෂිතිජ රේඛා පෙන්වු පලියට
මූද රැඳෙවිද උන්ගෙ තනියට ?

මෙතෙක් ගතවූ කල්ප කාලෙට
මූදු දෙව්ලොව දොරටු හරිනට
යාත්‍රා කළ වෙරළෙ වැලි කැට
නතර වූයේ බඹ ගණන් යට ...




Thursday, March 20, 2014

[305] ජීවිතේ රඟහලක්



 ආලය ... 

පෙති ඇහැරී නොමැති වුව , 
පිපී අවසන් මලක , 
නටු අගෙහි එල්ලී ගත් 
දාහයෙන් ශේෂ පිණි බිඳුවකි.. 

අතීතය ... 

 හීනි සුලඟටත් සසැලෙන 
දුබල පෙති ගිලිහුනෝතින් 
විදාරණය වන නිරුවත 
වියැලි හද රේණු අහුරකි.. 

වසන්තය .. 

එන වසන්තයටත් බඹරු විත් 
යන තුරුත් , හිස ගසා සැඟවගත් 
පොහොට්ටුවක අකල් නිද්‍රාව 
ජීවිතයෙන් ඉපැදුනු මරණයකි ...


 2014 - 3 - 20

Friday, March 14, 2014

[304] අභව්‍ය වෘක්ෂ තරණය සහ හස්ති දමනය

ඒක මහ පුදුමයකි. කවදාවත්ම අමතකම නොකළ යුත්තකි. එය එසේ වූයේ කෙසේද ? 

දවසේ අඳුරුතම පැය හෙවත් හිරු නැගීමට ආසන්නතම යාමයයි. කෙටිකලක පටන් මට මේ වෙලාවට එලාමයක් තිබ්බා මෙන් ඇහැරෙයි. මගේ දෙපයට ඉස්සරහින් ඇත්තේ ආකාස බැල්කනියට යන දොරයි. ජනෙල් කවුලු තුනෙන් එකක් ලීය ඇදේ ගොස් මට දැන් වසා ගත නොහැකිය.  දැන් එය බීතජනක ලෙසින් ඇරී තිබෙයි. මගේ සිත හා දෑස අවදිව ඇතත් නින්දත් එහෙන් මෙහෙන් හොල්මන් කරයි. 

ජනේලය ඉදිරිපසින් අලුපාට හෙවනැල්ලක් චලනය වෙන්නා වගේ පෙනෙයි.  කුඩා කල සිට මම අඳුරු භීතිකාවක් ඇත්තියක්මි. දැන් එය චුට්ටක් සමනය වී ඇතත් සම්පූර්ණයෙන්ම සුව වී නැත්තේය. හදිසියේම සිතට බියක් සැපත්වෙයි. හොරෙක්ද? මම අඩියට දෙකට ජනේලය වෙත ගියා නොව ඉගිල්ලුනෙමි. දඩාං හඬින් ජනේලය කෲර ලෙස වසා දමමි. බිය වෙච්චි වෙලාවට ගෙදර කවුරු හරි සද්දයක් දමා ඇහැරවීම හිතට සැනසීමකි. අඳුරට බිය නිසා විදුලි බුබුලක් දල්වා නිදන මා , විදුලි බුබුල වෙත ඇදී එන කෘමියන් වර්ගයකටද දක්වන්නේ ඒ හා සමාන බියකි. එනිසා ජනේලය හොරෙකුට තබා සමනලයෙකුටවත් ආ නොහැකි පරිද්දෙන් වසා තැබිය යුතුය. 


 මම ඇඟ මැලි කඩමින් යලිත් ඇඳ වෙත හැරෙමි.  අවුවට ඇදේ යන ආකාස බැල්කනි දොරටුව අගුල දැමීම ඇතෙකු තල්ලු කරනවා වැනි ලොකු වැඩකි. ඒ නිසා සොරෙකුටවත් මුලු අනිවත්තම ඇහැරවීමෙන් තොරව ඒ දොර විවර කරගත නොහැකිය. ඒ නිසා අගුල නොදමා දොර නිරන්තරයෙන් අඩවල් කොට පමණක් තබන්නට මම නිර්භය වෙමි. එහෙත් අද ! දොර කිරි කිරි හඬින් විවර කිරීමට දරන උත්සහයක් ! නිදිමතත් , මේ සිහිනයක්දැයි සැබෑවක්දැයි තෝරාගත නොහැකි කමත් මැද්දේ මම වශීකෘතව සෙමෙන් ඇරෙන දොර දෙස බලා සිටියෙමි. ගෙවී ගිය ජීවිතයේ සැම වතාවකම සිදුවූ අයුරෙන් , අසීරු හැම වතාවකම සිදුවූ අයුරෙන් , අසාමාන්‍ය ජවයක් ශක්තියක් ගතට උණා එනු දැනුනි. මම එක පිම්මට දොර වෙත පැන මුලු වෙර යොදා එය වසා දමන්නට තැත් කලෙමි. මට කෑගසන්නට අමතක වූයේය. දෙයියනේ බැල්කනියේ හොරෙක්.! දොර වැසිය නොහැකිය. දොරත් උලුවස්සත් හරස් කොට මේ ඇත්තේ කුමක්ද? අලි හොඬයකි !!!!! මම ඊට පයින් ඇණගෙන ඇණගෙන ගියෙමි. හොඬවැලෙහි අග තෙතමනයෙන් ගත සලිත වෙද්දී මම මාරාවේශයෙන් හොඬවැල පයින් තලු කොට දොර වසා දමන්නට සමත් වීමි. බුදු අම්මේ අනූ නමයෙන් බේරුනා,මම දහඩිය උතුරුවමින් සැනසුම් සුසුම් හෙලමින් ඇඳට කඩා වැටෙමි ! 

----



මම සීත තැනිතලා බිමෙක හරි මැද තනිව සිටින රූස්ස යෝධ ජීවන වෘක්ෂයක් පාමුල තනිව සිටිමි.  මූසල පාලුවක් හා අඩ අඳුරක් හාත්පස වෙලාගෙන ඇත. සිතෙහි නලියන දැඩි අභිලාශයක් ඇතිව මම උඩ බලාගෙන තුරු මුදුන වෙත නෙත් යොමා සිටිමි. තුරු මුදුනට නැගීම ඒ අභිප්‍රායයි.එහෙත් එය හීනයක් නොවේද ? අඳුරට තරම්ම බියක් මට ඇත්නම් ඒ උස් තැන් කෙරෙහිය. එහෙත් එය කඳුගැට වලට බලපාන්නක් නොවේ. එහෙත් මා ඉණිමං නැගීමේ සහ ගස් නැගීමේ අසමත් වීම උපතින්ම ගෙන ආවෙමි. 

එහෙත් මෙවර අධිෂ්ටානය බොහෝ දැඩිය. ගස වටේ යමින් මම බදා ගත නොහැකි තරම් මහත බඳ නිරික්සමි. නොහැක්කක් නොමැත්තේය. කවුදෝ මොළ කුහරය අස්සෙන් හඬක් කොඳුරයි. 

මම පලමු කරුවට නගිමි. වෙවුලන දෙපා නොතකමින් , රැකෙම්වා හෝ මියෙම්වායි අදිටනින් දෙවන කරුවටද පය තබමි.  තෙවන ,.. සිව් වන.... හුස්මක් කටක් නොගෙන . දෙපා වලට උණා ඇති යෝධ දහිරිය නිසාවෙන්ම, ගමන නොනවතමි. තව තවත් උද්වේගය දැඩි වෙයි. බිය පලා යයි. මට දැන් දැන් තුරු මුදුනත ලා දළු ඇසට හසු වෙයි. අතු පතර පනිමින් තුරු මුදුන සිඹින තුරු මට ඉවසුමක් නැත.. 


 මම හාත්පස නරඹමින් වශීකෘතව සිටියෙමි.  සැතපුම් ගණනාවක වපසරියක් අරක් ගත් මේ තුරු මුදුන් වියන සිසාරා මම හාත්පස ඈත නරඹමින් හුස්ම පවා අමතකව හිඳිමි. සීතල මිහිදුම් තිර , ලා අඳුර , වලාකුලෙන් ගැබ්බර අහස මිස අන් කිසිවක් කිසිවෙක් නැත්තේය. 'ඇද්ද බලා ගත්තා' තුරු මුදුන මට ඔලොක්කුවට සිනහ සෙන්නාක් මෙනි. ඕලාරික තැනිතලාවට මගේ උදානය අසන්නට උනන්දුවක් නැත්තේය. අධිෂ්ඨානයේ මිහිරි පල නෙලා ඇති මුත් , නෙලූ අමා ඵලයෙහි නීරස මන්දගාමී අතුරුපල දකිද්දී එය හිතට වේදනාවකි. තෘප්තියත් අතෘප්තියත් සමෝසමේ පැතිර යන චිත්ත ස්වභාවයෙන් විපිලිසරව මම උඩ බිම බලමි. දෙවියනි මා මීටර සිය ගානක් ඉහල ! උවමනාව දැඩිව ආ කල , බිය අමතකව තිබිණ. එහෙත් දැන් ? මා වඩා ගෙන පරෙස්සමෙන් පහළට ගෙන යන්නේ කවුරුන්ද? 

දෙවියන් මට අහස පෙන්වන්නට එක්ක ආවේය. එහෙත් දෙවියන් අහසේ නවතිද්දී අඳුරට පෙර මා පොලොවට තනිව යා යුතු වේ.  බිය, ගත වෙලා ගනී. තුරුමුදුනෙහි සදාකාලික නවාතැන් ගත නොහැක්කේය. මගේ ප්‍රාණ සම මිතුරියක් ඉන්ද්‍රජාලයකින් මෙන් ගස මුල පහළව සිටින්නීය. ඈ දකිත්ම මා ගත සිඳී ගිය දිරිය යලිත් වැඩී එනු මට දැනින. 

ජීවිතයක් හිලව් කොට තබා , අහස දැකීමේ ජයග්‍රහණය උදෙසා හඹා ආ තෘප්තියත් , එය තනිව දරාගැනීමේ අමිහිරි අතෘප්තියත් විඳ අවසන්ය. දැන් මා මිය යා යුතුය. නොහොත් හැර යා යුතුය. කොහෙන් කෙළවර වුවද එය මරණයකි.  

සියල්ල අතහැරීමෙන් උණා ආ නිර්භය හැඟුම් පෙරදැරිව අතු එකින් එක අල්ලාගෙන මම බිමට බසිමි. දෙවියනි , මගේ භීතිකාව පලා ගොසිනි. මෙන්න මා ගස පාමුළ ! මිතුරිය බර අඩි තබමින් ඉදිරියෙන්ද , මම නිහඬව හෘද සංවාදයක යෙදෙමින් පසුපසින්ද තවත් ලෝකයකට සංක්‍රමණය වෙමින් සිටිමි. 



----
සැබවි .. දෙකම සිහින ය. එහෙත් එය සිහිනයෙන් දුටු 'සැබෑව' යැයි මම පවසමි. 

Monday, February 17, 2014

[303] ආදර සිතියම..

 .
ජීවිතේ .. 
පාට විසිරුනු සිතුවමක් 
දැවෙන අහසත් 
තෙමෙන පොළොවත් 
එකට යාවුන සිතියමක් .... 

ආදරේ 
ඒ සිතියමේ එක් නිම්නයක් .. 
අහඹු හමුවක 
මතක සළකුණු 
ඉපිද මිය යන සිහිනයක්... 

නුඹ මගේ 
තාල ගිලිහුණු කවි පෙලක් .. 
පැරණි නගරෙක 
ශිලා ලිපියෙක 
ලියා කටුගෑ පද වැලක්...
.

Friday, February 14, 2014

[302] ජීවිත කංකාරිය



කලකට පසු තනිවම නුවර මගට බැස්සෙමි . එකක් දලඳා මාලිගාවට සිරිපා ගමන වෙනුවෙන් කළ බාරය ඔප්පු කිරීමටය. අනෙක රස්තියාදුවක් යාමටය . 

දලඳා මාලිගාවට ඇතුලු වන තැන පෙර නොවූ විරූ කලබලයකි. කොලු කෙල්ලන් පිරිසක් 'ජෝන්ගේ සත්තු වත්ත' වේදිකා නාට්‍යයේ ටිකට් විකුනති. රුපියල් තුන්සියයක් දීමට අතේ මිටේ මුදල් හිඟය . ඒ නිසා බොරුවක් කීවෙමි. 'මම ඕක බලල තියනව මල්ලි' . මට උවමනා වූයේ නොමනා තරම් ලඟට පැමිණ ටිකට් විකුණන්නට උත්සහ කරන ලාබල තරුණයාගෙන් ගැලවෙන්නටය. දලඳා හාමුදුරුවන් වෙත අසරණව බලමින් මුසාවාදය වෙනුවෙන් මම පව් සමා කර ගනිමි. 

මට සුදු නෙලුම් මල් වට්ටියක් උවමනාය. මල් විකුණන ඇත්තන් ජෝන්ගේ සත්තු වත්ත වගේම බේරෙන්නට අමාරුය . එතන භයානක යුද්දයකි. මල් ගන්නා වඩාගෙන කඩය තුලට ගෙන නොගියොත් පුදුමය. එතැනිම මගේ ශ්‍රද්ධාව හීන වන්නට පටන් ගනී. හිතුවක්කාර කමින් මම කොනේම ඇති කඩය තෙක්ම ගමන් ගනිමි. වඩාත්ම අහිංසක මුහුණක් ඇති , මට මල් ගන්නැයි බල නොකල කඩයට ඇතුලු වී මල් ඉල්ලමි. හිතවන්ත සහ ඉවසිලිවන්ත මහත්මයා එහි ඇති වට්ටියකටම මල් වට්ටිය හදා දී , 'එනකොට පුලුවනි නම් වට්ටිය ගෙනත් දෙන්න මිස්' කියා කරුණාවෙන් කී හෙයින්ම හීන වී ගිය ශ්‍රද්ධාව යලිත් ටිකක් වැඩී ආවේය. 

සෙරෙප්පු වගේ දේවල් අමතක වීමේ ලෙඩය තදින්ම ඇති හෙයින් මම සෙරෙප්පු දෙක ඉටි කොළයක ලාගෙන බෑගයෙහිම රුවා ගන්නේ තාර පාරේ සිටය. ඒ මගේ පහසුවටය. දෑතට ගත් මල් වට්ටියට දෑන් පිට රැඳි බෑගය නිසා පහසුය. මම මාලිගාවේ දොරටුව පෙනි පෙනී දිගු කොරිඩෝරයේ යලිත් දුරක් ගමන් ගන්නේ දෙවන මුර කුටිය මුණ ගැසෙන තුරුය. දෙවන මුර කුටියෙන් අණක් නැගෙයි. සෙරෙප්පු කවුන්ටරයෙන් තියල යන්න. එතැනත් බල කිරීමකි. මම යලිත් ආ මහ දුර ගෙවාගෙන කවුන්ටරයට විත් සෙරෙප්පු තබා ආපසු යමි. 

මාලිගාවට ආයේ වැරදි වෙලාවකය. සෙනග හෝ ගාලාය. කුමක් කරම්ද. ඉඳහිට ලැබෙන නිවාඩුව නෙව! මම සෙනග පීරමින් පරණ මාලිගාවේ සඳලුතලයට ඇදෙමි. එහි දෙගුණයක් සෙනගය. ඒ මදිවාට මහ විසාල රූපවාහිනි දෙකක් මල් ආසනයදෙපසින් එල්ලෙයි. එහි ඉරිදා පොළ තරම්ම කලබලයකි. සෙනගක් එහි නතර වී ටීවී එකෙන් පෙරහැර බලති. ඉතිරි සෙනග , නතර වී සිටින සෙනගත් තල්ලු කරගෙන ඇඹුල් වූ මුහුණින් මල් අසුන වෙත ලඟා වන්නට පොර කති. මමද ඒ ගොඩෙහි ගසාගෙන යමින් සිටියෙමි. අවසානයේ මල් ආසනය වෙත ලඟා වී මල් එක එක පුදා කොනකින් අපහසුවෙන් වාඩි ගතිමි. 

දෙනෙත් පියාගෙන තෙරුවන් සිහි කළෙමි. මගේ සිතුවිල්ල මටවත් නෑසෙන තරමට කචබචය වැඩිවී තිබේ. මට අපහසුවක් දැනෙයි. හැකි ඉක්මනින් මා එතැනින් එලියට යමි. සෙරෙප්පු කවුන්ටරයට ලං වන විට එතන අවනඩුවකි. විදේශික කතුන් කිහිප දෙනෙකු මුහුණ අඳුරු කරගෙනය. 'අපි තණකොල ගොඩේ තියල ගිය සෙරෙප්පු නැතිවෙලා . ඒවා මෙහෙ තියෙයි කිව්වා.. ' 

ඔවුන්ගේ කතාව අසන්නට සිටියා නම් දලඳා හාමුදුරුවන් වැඩ වසන , කලකට ඉහත ඉතා මනරම් සිත නිවන තවන ස්ථානයක් වූ මේ පූජනීය භූමිය මට එපාම එපා වන්නට ඉඩ තිබුනි. ඒ නිසා මම හැකි ඉක්මනින් එතැනින් ඉවත් වීමි. මාලිගාව මේ තරම් මුදලට යට වූ , වාණිජමය තිප්පලක් බවට පත් කිරීම බුදුන් වහන්සේට කරන කිනම් වර්ගයේ අපහාසයක්දැයි මට නොතේරෙයි. සමහර විට මට පේන හැටි වැරදි වෙන්නට පුලුවන. 

දෙවසරකට පෙර මම හිඳ සිට බ්ලොග් පෝස්ට් එකක් ලියූ අයිස්කිරිම් පිලිකන්නේ එතැනම හිඳගෙන අදත් කෝනෙටෝවක් ලෑටි ගාමින් සිටිමි. එදාත් මෙදාත් අතර මහ වෙනසක් නැතැයි කියන්නාක් මෙන් මා ඉඳගෙන මොහොතක් ගත වෙත්ම ඉතා තරුණ යුවලක් මා අසලින්ම වාඩි වෙති. අද තරුණිය ඇපල් සෝඩා එකක් බොන අතරතුර කොල්ලා උඩ එල්ලා ඇති මහ රූපවාහිනිය දෙස කට ඇරගෙන බලා සිටියි. ඒ නම් පෙර වසරට වඩා වෙනසකි. පෙර මෙන් නිහඬ තැනක් නොවූ එය දැන් විසාල ප්‍රචාරණ රූපවාහිනි දෙකකට වාසභවනය වී තිබේ. එහි කේ සී සී අධිපතිතුමන්ගේ සිරිපා පිලිසකර වැඩසටහනේ විශේෂ අවස්ථා නොනැවතී ධාවනය වෙයි. 

ඉස්සර මෙන් අයිස්කිරිමක් ලෑටි ගාමින් නිදහසේ ඉන්නට එතන අවකාශයක් නැත්තේය. ජීවිතය මොන තරම් කාර්ය බහුලද කියා මට සිතෙයි. රාජකාරිය දේවකාරිය පමණක් නොව ශරීරයේ රෝම කූපයක් දක්වාම දිව යන කංකාරියක්ද වී තිබේ. ජීවත්ව සිටින්නේ රස්සාව කිරීමටදැ‍යි සිතෙයි. පවුල යන්න නාමික කාරණාවක් වී තිබේ. ජීවිතයේ බොහෝ වැදගත් තීරණ මග හරිමින් ජීවත් වීම යනු වෘත්තිය සාර්ථකත්වය ලඟා කර ගැනීම යයි සිතන යාන්ත්‍රික ගැහැනියක වීමට මට කිසිදු ආශාවක් නැත්තේය. එහෙත් සිදුව ඇත්තේ එය නොවේද? 

 මම වික්ෂිප්තව සිටිමි. කාලයට පින් සිදු වන්නට ජීවිතයේ සොඳුරු බොහෝ දේ අහිමිව තිබේ. මිතුරන්ට මගේ කාර්යබහුලත්වයටත් වඩා මගේ කොයි වෙලේත් අසහනයෙන් පසුවන ගතිගුණය වදයක් වීම අරුමයක් නොවේ. සතුටෙන් සිටීමට නොදන්නා , අනුන් අගැයීමට නොදන්න මිනිසුන් අත‍රෙහි වාණිජ අරමුණු පමණක් හිස දිවෙන නිසාවෙන් ආතුරව මෙසේ ලියමි. අරුමයක් නොවේ ... ලෝකයම වාණිජ අලෙවි පොලක් මිස අනෙකක් නොවේ.

Tuesday, February 11, 2014

[301] රාත්‍රිය

 


ලොවම නිදන අමාවක අඳුරෙහි
නුඹටත් හොරෙන්
නුඹ වෙලාගෙන,
මොහොතක්ම පමණක් වැලඳ ගන්නට
රාත්‍රියක් වී මම එමි..

සොඳුර ,
පිලිගන්න ..
අවසන් වැලඳ ගැන්ම ...

නිදා සිටි කොඳ මල ඇහැරී ඇති
ඔබ නිදිදැයි හොරෙන් විමසා බලනු ඇති
මගේ සීතල හඳුනා ගෙන ඇහැරෙන්න..
නොදුටුවා සේ දෑස් පියා පසු වන්න...

ඉච්චාකාර සඳ තුරු මුදුනෙන් එබී
තුරු සෙවණ අපෙන් හිස් යැයි සැනසෙනු ඇති
තුරු හිස නොපිපි මල් ඇතිදැයි බලා එන්න
අවසන් සිනහවෙන් රාත්‍රියට එය පවසන්න ...

Monday, February 03, 2014

[300] වන මැදින් සිරිපා පිණිපා කොට..

බස් එකේ විනීතව නුවර පැමිණෙන සෙනග
වැව රවුමේ .. රෑ සංචාරේ
ගියත් ගියායින් එහෙවු ගමනක් නම් ගියේ නැත. අවුරුද්දක් තිස්සේ ප්ලෑන් ගැසුවෙමු. අන්තිමේ 13 රෑ වෙනතුරුම එකදු ප්ලෑනකුදු ක්‍රියාත්මක නොවුනේය. ඒකෙත් හැටි ! හැබැයි සන්තෝසේ බැරිය ! ප්ලෑන් ගසන්නට , කඩන්නට මෙන්ම ප්ලෑනක් නැති නිසාවෙන්ම තුටුවන්නට මේ ගමන් සගයින්ට හැක්කේය.

ඇතමුන්ගේ විනීත චායාරූප
12 දා රෑ වනවිටත් ප්ලෑනක් නම් තිබ්බේම නැත්තේය. එන්නේ කවුද නැත්තේ කවුදැයි දැන ගන්නේ උදෑසන සෝරෝවාගේ ඇමතුමෙනි.

හැටන් දුම් රිය ස්ථානය
 
හැටන් දුම් රිය සිථානයේ බසයේ සිට
බසයේ කල් මැරීම
එහෙනම් හවස දැන් එන්නෙ කොහොමද?  සෝරෝවා මගෙන් අසයි.

මම දන්නෙ නැහැ. එන විදියකට එනවලා . ගෙදර නැවතියෑකි.  සෝරෝට මගෙන් දැනගන්ට ලැබෙන්නේ එච්චරකි.


බස් එක පිටත් වෙන්නේ 10.30 ලු ????
දස අතේ බනිමින් පනුවාට , ඉනෝශාට හසීට සහ සීනයාට කෝල් දෙමින් අවසානයේ හවස 4ට කොටුවෙ 'කො' යන්න යට කට්ටිය මුණ ගැහෙන බවත්, එන විදියකට නුවර එන බවත් තීරණය වෙයි.  ඉනෝශාට කවදත් වාගේ වෙලාවටම වැඩ කිරීමට හිතෙයි. ඒ නිසා රෑ 9 වෙද්දී කට්ටිය නුවරය !
  
වැඩ ඇරී සඳුදා ගෙදර එන මට සිරිපා ගමනට අත්‍යවශ්‍ය ටෙනී සපත්තුව ඇත්තේ ගෙදර නොව ඔපිසියේ බව සිහි වුනාය. තිරෝද රියක නැගී ඔපිසියට රෑ 9ට සැපත්ව මුරකරු අන්දමන්ද කරවන මා , ඔපිසිය ඇරවා , සපත්තුව ගනිමි.  එයත් ගෙන 9ට සැපත්ව සිටින නඩය පිලිගන්ට නුවර යමි.
පොංගල් බත් ලැබුනි
ඔයින් මෙයින් කල්ප ගානක් තිස්සේ ඉනෝශාගේත් මගේත් හිතේ කැකෑරුනු සිහිනයක් සැබෑ වෙයි. රෑ දෙගොඩ හරියේ නුවර රස්තියාදුව ! කෙල්ලන් දෙන්නෙකුට කිසිසේත් තනියම කරන්ට බැරි මේ වැඩය , ආරස්සාවට ඉන්නා කොල්ලන් තුන්දෙනාට පින් සිදුවන්නට ඉටු වුනේය.



සිරිපා වනජීවී කාර්යාලෙන් වන ගමන ඇරඹෙයි
නඩේ ගුරාගේ අණ පිලිපදිමින්, ...
බඩගිනිය. මුස්ලිම් හෝටලය වහන්ට ඔන්න මෙන්නය. වේටරයාට බැගෑපත්ව කන්ට තියන ඕනෙම දෙයක් ගේන ලෙස ඉල්ලමු. යීස්ට් රොටි කීපයකුත් අල හොද්දකුත් , මාලු හොදිත් ලැබුනි. කොල්ලන් තුන් දෙනාට සිරිපා යන්නට මස් මාලු නොකා පේවෙන්නට අවැසි නැත. මන්ද අප උන් වෙනුවෙන් ඒ වතාවත ඉටු කල නිසාය. ඉනෝශා සතියක්ද , හසී දින තුනක්ද , මම එක දවසක්ද එය ඉටු කළෙමු. කැලේ යන අපට දෙයියන්ගේ පිහිට ඉල්ලන්ට එපැයි.

රාජමලෙයි කෝවිල සහ ගම්මානය

මුස්ලිම් හෝටලයෙන් කා බී , වීදි බට අප , ෆුඩ් සිටියට ගොඩ වැදී අයිස්ක්‍රිම් කීපයකින් බඩේ අඩු තැන් පුරවා ගනිමු. වැවරවුමේ තැබිලි එලි පිටවෙන ලාම්පුවට මත් වන ඉනෝශා ට urban chik නම තබන්නේ සිහිනයාය .
යහමින් ගම්මුන් අපට සංග්‍රහ කලෝය
ඇය නුවර වැවරවුමේ අසිරියෙන් මත් වී ෆොටෝ ගසාගෙන ගසාගෙන යන්නීය.නුවර බේබදු මාර්ග සංචාරකයන්ගෙන් මේ අසරණ ගැහැනු ලමුන් තිදෙනා බේරාගෙන කොල්ලෝ තිදෙනා සමග අපේ නිවසට ගාටගතිමු.
ගම් වැසියන්ගේ සොඳුරු සිනහව සමග 
නිදා සිටින අම්මා ඇහැරවා , ගේ පුරා ලයිට් දමා , බැණුම් අසා ගමනට මහත් ප්‍රීති සහගත ආරම්භයක් ගත්තෙමු.  කෙසේ වෙතත් පාන්දර එකේ සිට තුනයි පනහ තෙක් කෙටි කුකුල් නින්දකින් ඇහැරී මූණ කට බාගෙට හෝදා ගන්නා අප එන බස් එකක නැග ගන්නෙමැයි සිත හදාගෙන මගට බසින්නෙමු. (මන්ද මට තෙරෝද රියකට පාන්දර එන්නැයි කියන්නට අමතක වූ හෙයිනි) පයින්ම නුවර යාම හැර වෙන විකල්පයක් නැත.
 
යටිකූරියා මල් - පනුවාගේ සහ රැන්ඩිගේ සොයා ගැනීමකි
නුවර පේනමානය තෙක්ම බසයක් එන්නෙ නැත. වාසනාවට නුවරට කිලෝමීටර භාගයක් තබා තෙරෝදරියක් පැමිණෙයි. සය දෙනාම කිටි කිටියේ නංවා ගන්නට තරම් කාරුණික වූ රියැදුරු නිසාවෙන්ම 5.30ට පිටත් වන හැටන් බසයට විනාඩි හතරකට පෙර නැග ගත්තෙමු.
වෙලාව උදෑසන 8ය. ! හැටන් නගරයෙන් බැස ගන්නා අපට බඩගිනිය. රුපියල් අසූවයි ! උදේ කෑම ඕනෙ තරම් කන්න බුෆේ බුෆේ ! සවනට මී වක්කරන්නා බඳුය. හසි නගාට දැනුන කුඩා කරකැවිල්ලත් කෑම එක්කම සුව වෙයි. බුෆේ එකෙන් පසුව නල්ල තන්නියට බස් සෙවූයෙමු. සිහිනයාට වතුර නැති නිසා කාන්තා ටොයිලට් එකකට රිංගන්නට වූයේය. වෙනත් කාන්තාවන්ට සිහිනයාගෙන් විය හැකි අතවර අවම කරනු වස් , ඔහු පිටට එන තුරු කිසිදු කාන්තාවකට ඒ ප්‍රදේශයට ලංවීමට අපි ඉඩ නොතැබීමු.
සමනල තැන්නේ ගිමන් හරිමින්
හැටන් දුම් රිය පොළ අසල නල්ලතන්නි බසයක් තිබේ . එහෙත් එහි කිසිවකුත් නැත. ටිකක් විමසා බලද්දී පසක් වන්නේ එම බසය පිටත් වන්නේ 10.30 ට බවයි. පැය දෙකක් !!!  බසයට නැගි අප අදහිරිය වන ඒ කියුම හමුවේ අප බසයෙන් යලිත් බසින්නෙමු. ලංගමේ මහත්වරු එයට ඉඩ දෙන්නේ නැත. ඒ බසයට සිටි මගීන් පස් දෙනා අහිමි කරගැනීමට ඔවුන් අකැමතිය. එනිසා බසය 9/30ට පිටත් වීමට එකඟ වුනි.තෛපොන්ගල් දිනය නිසා අතර මගදී කෙසෙල් කොලේක පොංගල් කිරිබත්ද බසයට ලැබුනේය. අහා රස!


මරේ වතුයාය ඔස්සේ සොඳුරු දසුන්
11.30 වන විට රැන්ඩිගේ නඩය සොයා , නුවර නඩය නල්ලතන්නියේ බැස ගතිමු. සිරිපා වන ජිවී කාර්යාලය තෙක් ගමන් ගන්නා අපට මුණ ගැසෙන රැන්ඩි අපට වන ගමන් පිලිබඳ උපදෙස් මාලාවක් සපයනු ලැබුවේය. මෙතැන් පටන් අපේ නඩේ ගුරා රැන්ඩිය.


සමනල තැන්නේදී පෙනෙන සිරිපා කඳු මුදුන
වනජිවි කාර්යාලය අසලින් මරේ වතුයාය ඔස්සේ දැන් අප නිහඬව එකා පසුපස්සේ එකා බැගින් ගමන් ගනිමින් සිටිමි. මනහර තේවතු යාය මැද්දෙන් රැන්ඩිගේ කතා බහ අතරෙන් , විවේකයක් නොදීම අප නඩේ ගුරා එක හැල්මේ අපට කඳු නග්ගවයි.  අපට හතිය! සෑහෙන වෙලාවක් නාහෙන් හැඬීමෙන් සහ කෑම බෑගයට අණ හිතුමතේ අත පෙවීමෙන් අප ගිමන් නිවා ගතිමු.

සමනල තැන්න
රාජමලෙයි කුඩා ගම්මානය , වන අඩවියට පිවිසුම් දොරටුවෙහි හමුවන මනුෂ්‍ය වාසයයි. තෛපොන්ගල් නිමිත්තෙන් සංචාරක අපට සංග්‍රහ කිරීමට ඔවුන් මහත් සන්තෝෂයෙන් ඉදිරිපත් වෙති.  යහමින් කහ බතින් සහ රසවත් මාලි පිණි වලින් සප්පායම් වන අප කටුක වන ගමන අරඹමු. රැන්ඩිගේ අණ අනුව කට පියාගෙන සිටීම මහත් ආයාසයකින් පුහුණු වෙමින් අප පැය දෙකක පමණ ගමනකින් මනහර සමනල තැන්නට ආසන්න වෙමු.
වන මං ඔස්සේ
සමනල තැන්නේ පැයක් පමණ විඩා හරින අපට ජූජක බමුණාගේ කෝලමත් රූගත කිරීමට අවස්ථාව ලැබේ. (වීඩියෝව මග එනවා)  . මනාසේ රුධිර ගමනාගමනය ක්‍රමවත් කරගැනීමෙන් පසුව අප තවත් පැයක් දෙකක පමණ ගමනකින් , අඳුර වැටෙන්නට ඔන්න මෙන්න කියා හරිත සොඳුරු වන පියස කෙළවර කරමින් ඉඳිකටුපානට සැපත් වන්නෙමු. කෝඩුකාර කසුන් 1 , කසුන් 2 සහ හසී නගා කැන්දාගෙන රැන්ඩි ඉඳිකටු පානේ ඉඳිකටු අමුණන්නට පල්ලම් බසිද්දී ඉතුරු අප බිස්කට් ගබඩාවෙන් හතරෙන් එකකට පමණ වග කීවේ මහත් නිර්ලෝභී සිතිනි.
කූඩැල්ලන් ඇසුරේ
කලුවර වැටීගෙන එයි. රාත්‍රී 8 පමණ වෙද්දී කෙමෙන් කෙමෙන් වැඩිවන සෙනග මධ්‍යයේ අප උඩ මලුවට සැපත් වීමු. සෙනග වැඩිවන්නේ තව රෑ වෙද්දීය. ඊට පපෙර විශ්‍රාම ශාලාවේ වර්ග මීටර දෙකක පමණ කුඩා කොටුවක් අප වෙනුවෙන් වෙන් කරගන්නට රැන්ඩි සමත් වෙයි.   දස දෙනෙකුගේ නඩයෙන් නව දෙනෙකුම ඔය කුඩා අගු පිලෙහි ගුලී ගැසී පැය තුනක් නිදා ගත්තේ මෙසේය. එවෙලේ එලියට පැමිණි බයිට් පැකැට්ටුව අමතක කළ නොහැක්කේය.

ඉඳිකටු පාන
උඩ මලුව පෙර කවදාටත් වඩා ශාන්තය. සෙනග අඩුය. ඉනෝශා නගා ගෙනා වැටකෙයා මල් පූජා කරන්නට  හසීටත් මටත් ඉඩ ලැබුනේය.

රෑ එකොළහ පමණ වෙනතුරු සීතලේ ගැහෙමින් ගුලුවී නිදියන අපට ඉර සේවය හෙට බලාපොරොත්තු විය නොහැකි බව ශබ්ද විකාශනයෙන් ඇසෙයි. අදහිරියට පත් වන අප යලිත් පහළට කරුණා කිරීමට තීරණය කලෙමු.


උඩ මලුව - මහ සෙනග
සීතල හැමදේටත් වඩා ඉහලින් නැගී සිටියි. මඳ දුරක් පහළට බසින අපට එක අඩුවක් මතක් වෙයි. කට දන ලුනුමිරිස් සහ රොටී මෙවර සප්පායම් වූයේ අඩුවෙනි. කට්ටියක් රොටී කද්දී තවත් කට්ටියක් බංකුවේම ගුලිවී නිදති. පැයක පමන තවත් කෙටි නින්දකින් යලිත් නඩය සාම චෛත්‍යය තෙක්ම හැල්මේ කරුණා කලෝය.


ගුලිවී නිදන නඩය
පසුගිය සිරිපා සැසියෙහි සින්දු කියා බිස්නස් වැඩි කරදුන් කඩය ඉදිරියෙහි අපේ පුරුදු ගී ගායනා කොට අලෙවි ප්‍රවර්ධන සත්කාරයක් කිරීමට අපි අමතක නොකළෙමු. ඒ කුඩා සංගීත සංදර්ශනය නැරඹීමටම විදේශික කතුන් පිරිසක් සිය කාලයෙන් විනාඩි දහයක් පමන අප වෙනුවෙන්ම වැය කළෝය . 
සීතල උල්පත් වතුර
සාම චෛත්‍යය අසලදී යලිත් අපට නිදිමත හැදුනි.. සීතලද අධිකය. සාම චෛත්‍යයේ පිටත අගුපිලෙහි පැදුරු කොට්ට රේන් කෝට් එලා ගන්නා අපි යලිත් පාන්දර වන තුරු ගුලිවී නින්දට වැටුනි. යලිත් අප ඇහැරෙන්නේ පාන්දර පහයි තිහටය. ඒ ඇටකටු කීරි ගස්වන අධික සීතල නිසාවෙන් නින්ද තවත් නොයන නිසාමය. බිම වැටී සිටි ඇටකිචි ගෙඹි සැකිල්ලක් රැන්ඩි සාක්කුවේ රුවා ගනියි. වනජීවී නිලධාරීන්ට දෙන්නටයැයි කීවාට , ඒ ගෙඹි සුප් හැදීමටදැයි සාක්ෂි නැත්තේය.

යන යන තැන නිදාගත් පනූ
උදෑසන 9 වෙද්දී නල්ල තන්නි බස් නැවතුමට එද්දී හොඳ ගණන්ය. එහෙත් නොසැලී නුවරටම බසයේ යාගත යුතුය.  නල්ලතන්නියෙන් හැටන් යන බසයේ දස දෙනාගේ නඩය එල්ලුනෙමු. හිටගෙනම හැටන් තෙක් කරුණා කරමු. අපේ හිතැති නඩය ශෝකී ලෙස දැන් දෙකට කැඩෙන වෙලාවය . කසුන් 1 සහ සිහින හැටන් වලින් කොලඹ බසයට නැග්ගෝය. අපි හැටන් වලින් නුවර බසයක් ගතිමු. මුල් හෝරාව නිදාගෙනද අවසන් හෝරාව පණුවාගේ ගීත සමුච්චයකින්ද සමන්විත වෙයි.

අපිත් නිදා ගත්තෙ නැතුවා නොවෙයි
බසයේ මිනිස්සු හැරි හැරී බලති. පණුවා මෙලෝ සිහියක් නැතිව අවසන් අසුන් කොනෙහි ගී කියයි. සෝරෝ ද අවසිහියෙන් මෙන් තාල අල්ලයි. අපි ගීතයේ අරුත් විමසමින් හිකි හිකි ගාමින් සිටිමු. 
ශූටින් වලට පෙර උපදෙස් - සමනල තැන්න
මුල්ගම්පලින් අපේ සොඳුරු අඩල් චාරිකාව අවසන් විය. රැන්ඩි අපෙන් සමුගත්තේය. රැන්ඩල්ස් හිල් දුම්‍රිය නැවතුමේ පනුවාත් රැන්ඩිත් එකිනෙකා වැලඳගනිමින් ගමන නිම වෙයි.
සොඳුරු දසුන්
ගියාත් ගියායින් එහෙවු අඩල් ගමනක් ගියේ නැත.  මේ ලියන්නේ සිරිපා ගොස් පැමිණි බාරය ඔප්පු කිරීමට පැයකට පෙරය. පෙනී යන තාලෙට හැම අවුරුද්දේම සිරිපා සැසිය එන්න එන්නම අඩල් වූයේය. ඒ තරම්ම විනෝදබර වූවේය. එන පාර නම් මොනවා (නො) වේද කියා මෙහෙම බලද්දී සැකය. ඒත් ගමනක උපරිමම සතුට ඒකය.

මරේ කවද්ද තේ වත්තක් ගත්තේ ??? :)

සොඳුරු දසුන්
 ගමන නම් අවසන්. ආයෙත් අවාරෙ සිරිපා යන්නත් සැලසුමක් තිබෙයි. ගමන පුරා නොයෙක් දෑ කියා දුන් , අපව වන මං ඔස්සේ පරෙස්සමෙන් එක්කාගෙන ගිය රැන්ඩිට ස්තූතියි. මේ සුන්දර පරිසරය ගැන ලිපියක් ලිව්වෙ බොහොම පැකිලීමෙන්. මන්ද ලිව්ව පමණින් මෙහි ගොස් සොඳුරු සොබා දහම වනසන , සහ එහි ව්‍යාපාර අරඹා ගම්මුන් ටුවරිස්ට් ඒගන්ට්ලා කොට ගමේ මිනිසුන්ගේ ස්වභාවික ජීවිතය අවුල් කරන අයත් ඉන්න නිසා. ඒ නිසා මෙන්න වැන්දා , පරිසරේට ආදරේ නැතිනම් පරිසරය පැත්ත පලාතේ නොයන්න. ආදරේ වැඩිනම් ඒත් නොයන්න. පරිසරයේ තමනුත් එක සතෙක් බව දෑනේ නම් පමණක් යන්න. 

ගිය අවුරුද්දේ වීඩියෝ දසුන් තාම පරණ ෆෝන් වලය. මෙන්න 2013 සිරිපා ගමනේ රූගත කිරීම ... 

මෙවර රූගත කිරීමේ විඩියෝව එන අවුරුද්දේ බලාපොරොත්තු වන්න. :)




මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->