Friday, February 14, 2014

[302] ජීවිත කංකාරිය



කලකට පසු තනිවම නුවර මගට බැස්සෙමි . එකක් දලඳා මාලිගාවට සිරිපා ගමන වෙනුවෙන් කළ බාරය ඔප්පු කිරීමටය. අනෙක රස්තියාදුවක් යාමටය . 

දලඳා මාලිගාවට ඇතුලු වන තැන පෙර නොවූ විරූ කලබලයකි. කොලු කෙල්ලන් පිරිසක් 'ජෝන්ගේ සත්තු වත්ත' වේදිකා නාට්‍යයේ ටිකට් විකුනති. රුපියල් තුන්සියයක් දීමට අතේ මිටේ මුදල් හිඟය . ඒ නිසා බොරුවක් කීවෙමි. 'මම ඕක බලල තියනව මල්ලි' . මට උවමනා වූයේ නොමනා තරම් ලඟට පැමිණ ටිකට් විකුණන්නට උත්සහ කරන ලාබල තරුණයාගෙන් ගැලවෙන්නටය. දලඳා හාමුදුරුවන් වෙත අසරණව බලමින් මුසාවාදය වෙනුවෙන් මම පව් සමා කර ගනිමි. 

මට සුදු නෙලුම් මල් වට්ටියක් උවමනාය. මල් විකුණන ඇත්තන් ජෝන්ගේ සත්තු වත්ත වගේම බේරෙන්නට අමාරුය . එතන භයානක යුද්දයකි. මල් ගන්නා වඩාගෙන කඩය තුලට ගෙන නොගියොත් පුදුමය. එතැනිම මගේ ශ්‍රද්ධාව හීන වන්නට පටන් ගනී. හිතුවක්කාර කමින් මම කොනේම ඇති කඩය තෙක්ම ගමන් ගනිමි. වඩාත්ම අහිංසක මුහුණක් ඇති , මට මල් ගන්නැයි බල නොකල කඩයට ඇතුලු වී මල් ඉල්ලමි. හිතවන්ත සහ ඉවසිලිවන්ත මහත්මයා එහි ඇති වට්ටියකටම මල් වට්ටිය හදා දී , 'එනකොට පුලුවනි නම් වට්ටිය ගෙනත් දෙන්න මිස්' කියා කරුණාවෙන් කී හෙයින්ම හීන වී ගිය ශ්‍රද්ධාව යලිත් ටිකක් වැඩී ආවේය. 

සෙරෙප්පු වගේ දේවල් අමතක වීමේ ලෙඩය තදින්ම ඇති හෙයින් මම සෙරෙප්පු දෙක ඉටි කොළයක ලාගෙන බෑගයෙහිම රුවා ගන්නේ තාර පාරේ සිටය. ඒ මගේ පහසුවටය. දෑතට ගත් මල් වට්ටියට දෑන් පිට රැඳි බෑගය නිසා පහසුය. මම මාලිගාවේ දොරටුව පෙනි පෙනී දිගු කොරිඩෝරයේ යලිත් දුරක් ගමන් ගන්නේ දෙවන මුර කුටිය මුණ ගැසෙන තුරුය. දෙවන මුර කුටියෙන් අණක් නැගෙයි. සෙරෙප්පු කවුන්ටරයෙන් තියල යන්න. එතැනත් බල කිරීමකි. මම යලිත් ආ මහ දුර ගෙවාගෙන කවුන්ටරයට විත් සෙරෙප්පු තබා ආපසු යමි. 

මාලිගාවට ආයේ වැරදි වෙලාවකය. සෙනග හෝ ගාලාය. කුමක් කරම්ද. ඉඳහිට ලැබෙන නිවාඩුව නෙව! මම සෙනග පීරමින් පරණ මාලිගාවේ සඳලුතලයට ඇදෙමි. එහි දෙගුණයක් සෙනගය. ඒ මදිවාට මහ විසාල රූපවාහිනි දෙකක් මල් ආසනයදෙපසින් එල්ලෙයි. එහි ඉරිදා පොළ තරම්ම කලබලයකි. සෙනගක් එහි නතර වී ටීවී එකෙන් පෙරහැර බලති. ඉතිරි සෙනග , නතර වී සිටින සෙනගත් තල්ලු කරගෙන ඇඹුල් වූ මුහුණින් මල් අසුන වෙත ලඟා වන්නට පොර කති. මමද ඒ ගොඩෙහි ගසාගෙන යමින් සිටියෙමි. අවසානයේ මල් ආසනය වෙත ලඟා වී මල් එක එක පුදා කොනකින් අපහසුවෙන් වාඩි ගතිමි. 

දෙනෙත් පියාගෙන තෙරුවන් සිහි කළෙමි. මගේ සිතුවිල්ල මටවත් නෑසෙන තරමට කචබචය වැඩිවී තිබේ. මට අපහසුවක් දැනෙයි. හැකි ඉක්මනින් මා එතැනින් එලියට යමි. සෙරෙප්පු කවුන්ටරයට ලං වන විට එතන අවනඩුවකි. විදේශික කතුන් කිහිප දෙනෙකු මුහුණ අඳුරු කරගෙනය. 'අපි තණකොල ගොඩේ තියල ගිය සෙරෙප්පු නැතිවෙලා . ඒවා මෙහෙ තියෙයි කිව්වා.. ' 

ඔවුන්ගේ කතාව අසන්නට සිටියා නම් දලඳා හාමුදුරුවන් වැඩ වසන , කලකට ඉහත ඉතා මනරම් සිත නිවන තවන ස්ථානයක් වූ මේ පූජනීය භූමිය මට එපාම එපා වන්නට ඉඩ තිබුනි. ඒ නිසා මම හැකි ඉක්මනින් එතැනින් ඉවත් වීමි. මාලිගාව මේ තරම් මුදලට යට වූ , වාණිජමය තිප්පලක් බවට පත් කිරීම බුදුන් වහන්සේට කරන කිනම් වර්ගයේ අපහාසයක්දැයි මට නොතේරෙයි. සමහර විට මට පේන හැටි වැරදි වෙන්නට පුලුවන. 

දෙවසරකට පෙර මම හිඳ සිට බ්ලොග් පෝස්ට් එකක් ලියූ අයිස්කිරිම් පිලිකන්නේ එතැනම හිඳගෙන අදත් කෝනෙටෝවක් ලෑටි ගාමින් සිටිමි. එදාත් මෙදාත් අතර මහ වෙනසක් නැතැයි කියන්නාක් මෙන් මා ඉඳගෙන මොහොතක් ගත වෙත්ම ඉතා තරුණ යුවලක් මා අසලින්ම වාඩි වෙති. අද තරුණිය ඇපල් සෝඩා එකක් බොන අතරතුර කොල්ලා උඩ එල්ලා ඇති මහ රූපවාහිනිය දෙස කට ඇරගෙන බලා සිටියි. ඒ නම් පෙර වසරට වඩා වෙනසකි. පෙර මෙන් නිහඬ තැනක් නොවූ එය දැන් විසාල ප්‍රචාරණ රූපවාහිනි දෙකකට වාසභවනය වී තිබේ. එහි කේ සී සී අධිපතිතුමන්ගේ සිරිපා පිලිසකර වැඩසටහනේ විශේෂ අවස්ථා නොනැවතී ධාවනය වෙයි. 

ඉස්සර මෙන් අයිස්කිරිමක් ලෑටි ගාමින් නිදහසේ ඉන්නට එතන අවකාශයක් නැත්තේය. ජීවිතය මොන තරම් කාර්ය බහුලද කියා මට සිතෙයි. රාජකාරිය දේවකාරිය පමණක් නොව ශරීරයේ රෝම කූපයක් දක්වාම දිව යන කංකාරියක්ද වී තිබේ. ජීවත්ව සිටින්නේ රස්සාව කිරීමටදැ‍යි සිතෙයි. පවුල යන්න නාමික කාරණාවක් වී තිබේ. ජීවිතයේ බොහෝ වැදගත් තීරණ මග හරිමින් ජීවත් වීම යනු වෘත්තිය සාර්ථකත්වය ලඟා කර ගැනීම යයි සිතන යාන්ත්‍රික ගැහැනියක වීමට මට කිසිදු ආශාවක් නැත්තේය. එහෙත් සිදුව ඇත්තේ එය නොවේද? 

 මම වික්ෂිප්තව සිටිමි. කාලයට පින් සිදු වන්නට ජීවිතයේ සොඳුරු බොහෝ දේ අහිමිව තිබේ. මිතුරන්ට මගේ කාර්යබහුලත්වයටත් වඩා මගේ කොයි වෙලේත් අසහනයෙන් පසුවන ගතිගුණය වදයක් වීම අරුමයක් නොවේ. සතුටෙන් සිටීමට නොදන්නා , අනුන් අගැයීමට නොදන්න මිනිසුන් අත‍රෙහි වාණිජ අරමුණු පමණක් හිස දිවෙන නිසාවෙන් ආතුරව මෙසේ ලියමි. අරුමයක් නොවේ ... ලෝකයම වාණිජ අලෙවි පොලක් මිස අනෙකක් නොවේ.

6 comments:

  1. කාලෙකින් දිලාව දැක්කා...

    ReplyDelete
  2. අවුරුදු ගාණක් නුවර හිටියත් මම දළදා මාළිගාවට ගියේ දෙතුන් වරක් විතරයි. හේතුව ඕකම තමයි. ඊට වැඩිය හොඳයි අර රජපිහිල්ල මාවතේ වැවයි මාළිගාවයි හොඳට පේන තැනට ගිහින් පැයක් විතර ඉඳලා එන එක. ඊට වඩා 'සමීප' අත්දැකීමක් ඕනේ නම් වැව රවුම පාරේ බංකුවක් වුණත් හොඳයි. සෙරෙප්පු, ගැලපෙන ඇඳුම්, මල් වට්ටි ප්‍රශ්න මොකවත් නෑ. වෙන්න පුළුවන් ලොකුම කරදරේ කාක්කෙක් ඔළුවට බෙට්ටක් දාන එක තමයි.

    ReplyDelete
  3. මේ සෙනග සිටි දවස සහ විදෙස් යුවල තනකොල ගොඩේ තැබූ පාවහන් යුගල සමබන්ධ සිදුවීමක් වෙද්දි මමත් පසුගිය දවසක දලදා මාලිගාවේ සිටියා. හරියටම කියනවනම් පෙබරවාරි පලමුවෙනිදා හවස තේවාව වෙලාවේ.

    ReplyDelete
  4. ඇයි මිස් දැන් සෙරෙප්පු දෙක බෑග් එකක දාගෙන යන්නත් තහනම්ද? කවුන්ටරේ කියන්නෙ සල්ලි හොයන්න නිර්මාණය කරපු දෙයක් මිසක් වන්දනාකරුවන්ට යහපතක් කරන්න හදපු දෙයක් නෙවි. මොකද සෙරෙප්පු නැවත ලබා ගන්නා විට ආධාරයක් කරන ලෙස කියන නිසා. කීප දෙනෙක් ආධාර නොකළත් එම කාර්යය පින්තකා කරන දෙයක් නම් ආධාර නොදෙන අයට ඒ වෙනුවෙන් බලපෑම් නොකළ යුතුයි නේද?

    ReplyDelete
  5. මං දැන් මිත්‍යාදෘෂ්ඨික වෙලා..

    ReplyDelete
  6. මාළිගාවට යන්ට ඕන නියමිත වෙලාවක් තියනව බං. උඹ මේ දවල් දානෙ වෙලාවෙ ගිහිල්ල හරි යනවද? ඒ වෙලාවෙ එතන සාන්ත ජෝන්ගේ වීදියේ කඩේ..මාළු වෙළඳාම..මාළු වෙළඳාම ...අන්න ඒ වගේම තමයි...

    පෝය හරි, නිවාඩුවක් හරි, සති අන්තයක් නැතුව දවල් දෙකට වගෙ පලයං. හිතේ හැටියට උඹට පසඟ පිහිටුවා හෝ දණ්ඩ නමස්කාරයෙන් හෝ දොහොත් මුදුන් දී හෝ නිද්‍රාස්කාරයෙන් වැන්දැහැකි.

    ඔය අන්තිමට කියපු වැඳුම් ක්‍රමය මම හොයාගත්තෙ. පිටිපස්සට වෙලා අර මුල්ලක් අල්ලගෙන ලී බිත්තියට හේත්තු උනහම වැඳගෙනම පොඩි නින්දකුත් ගැහුවැහැකි. අන්න ඒ වැඳුම් ක්‍රමයටයි නිද්‍රාස්කාරයෙන් වැඳීම කියන්නෙ....තේරුණෙයි ඔහෙට?

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->