Wednesday, October 15, 2014

[314] සුදු ලී වැටකින් වටවූ පිට්ටනිය සහ සිඟිති Mystique කොලනිය


දැන් මම සාඩම්බර කෝච්චි දරුවෙක් බවට පත්ව සිටින්නෙමි. කෝච්චියත් ඒ හා බැඳුනු ජීවිතත් දෙස බලා ඉන්න එකත් හරි අපූරු වැඩකි.. 

උදෑසනම රත්මලාන දුම් රිය නැවතුම වෙත තෙරෝද රියෙන් යන්නේ දුර වැඩි හෙයිනි.  එතැන් පටන් දවසේ රේස් එක ඇරඹෙයි. රේස් දුවන ගමන් රේස් දුවන අනික් උන් දෙස විපරම් කිරීම හරිම ආසා හිතෙන සෙල්ලමකි. ඔක්කෝම එක හැල්මට දුවති. දුවන්නේ පෝලිමට එක් වෙන්නටය . ටිකට් ගන්නටය . නුදුරේ එන දුම් රියෙහි එල්ලෙන්නටය. ඊට පසු හොඳ තැනක් අල්ලා ගන්නටය . මඳ ප්‍රමාදයක් පාඩු ගොඩකට හේතු කාරණ වෙයි. ජීවිතේත් ඒ වගේ නොවැ.

දුම් රියට නගින ගැහැණු අප නම් , පාඩුවේ සින්දුවක් අහගෙන යනවා විනා කුමක් කරන්නද ?. පිරිමි ඈයෝන්ට නම් තියනවා නොවැ ගැහැණු ලමයින් දිහා බලන්නට !  

ගැහැණු ලමයින් වේවා , නැන්දලා වේවා , දුම් රියේ යන හැමෝටම ආගන්තුක අමුත්තන් හඳුනා ගැනීමේ පුදුම ඉවක් තිබෙයි. ඒවා ට ලක් වෙවී , වට පිට බල බලා , ට්‍රැෆික් නැති කෝච්චි පාරෙන් වැඩට හා ගෙදර යාමට ලැබීම නම් භාග්‍යයකි.(කෝච්චියට ජය වේවා !) 


කවදත් වාගේ පූර්විකාව කතාවකට වඩා දික් වෙයි. 

දුම් රිය ගල්කිස්ස පසු කරයි.. ඇසිල්ලෙන් මා දුටු දසුනෙන් මවිත වෙමි. ගල්කිස්සත් දෙහිවලත් අතර ඉතා කොළ පැහැති හරි හුරුබුහුටි පිට්ටනියක් පසු වෙයි. ඒ ලස්සන කුඩා පිට්ටනිය කුමක්ද ? ඒ පිට්ටනිය වටේට ලී තීරු පේලියට හිටවා ගැසූ කොට වැටකි. [ඒවාට කියන්නේ පිකට් ෆෙන්ස් නේද? ] ඒ පිට්ටනිය වටා සුන්දර කුඩා ගම්මානයක් වාගේ එකකි. බටහිර පන්නයේ උස් වහලයන්ගෙන් සුසැදි සුදෝ සුදු හුරුබුහුටි කුඩා ගෙවල් ගොන්නකි.  සිත කුතුහලයෙන් පිරෙයි. මේ පුංචි කොලනිය කුමක්ද ? මා එන්ගලන්තයට හෝ උතුරු අයර්ලන්තයට ගියාවත්ද? මා සිහිනයක්වත් දකිනවාවත්ද ?  මා මනෝ ගසන අතරතුර , එහා පැත්තේ හිටගෙන ජැක් ගසන මැදිවියේ මහතා , මා දකින්නේ සිහිනයක් නොවන බවත් , ඒ සිටින්නේ උතුරු අයර්ලන්තයේ නොව ශ්‍රී ලංකාවේ පොදු ගමනාගමනයෙහි යෙදෙමින් බවත් සනාථ කරයි. 

අද සවස මා දුම් රියට ගොඩ වන්නේද ඒ කුඩා සිඟිති ගම් පියැස්ස දෙස හොර බැළුම් හෙලන්නට නොතිත් ආශාවෙනි . වාසනාවට දුම් රිය තදබද නොවූයේය. ඉතා සාමකාමී  හැන්දෑවකි. ඉරිදාවක ගල්කිස්සට යා යුතුද?. ගොස් ඒ ගම්මානය කුමක්දැයි සොයා බලා එන්නද ? ඇත්තටම ඒ මට විතරක් පෙනෙන ,මලවුන් වෙසෙන අද්භූත ගම්මානයක්ද ?  යද්දී එතැන ගම්මානයක් නැති මුඩු බිමක් හෙම නම්  !!!!! මට මොනවා හිතෙයිද ? කොහොමට හිටීවිද ?

හොඳයි , ගම්මානය හමු වුවොත් ????? අහෝ එතැනින් මගේ කුතුහලය සන්සිඳවෙනවා නොවේද ? . එපමණක් නොව එතෙකින් ඔබ්බට , මට සිහින මවන්නට , අරුම පුදුම අභව්‍ය කතා ගොතමින් මනෝ ලොවක සැරිසරන්නට තරම් සෑහෙන , කුඩා ගමෙහි ෆැන්ටසිය අහවර වෙයි. යථාර්තය දිස්වෙයි. ඒ සිඟිති රාජධානිය පසු වන වාරයක් පාසා එබී බලා හිතෙන් ගොතන කතාව නිම වී , දුටු වනම දැනුවත් බවෙහි ඕලාරිකත්වයට නතුව අහක බලාගන්නට මට සිදුවෙයි. අරුමය ඉවර වෙයි. කොටින්ම මේ බ්ලොග් පෝස්ට් එකම ලැජ්ජා හිතෙන තාලේ අමන විහිලුවක් බවට පත් වෙයි.

මා එහි නොයන්නට තීරණය කරමි. 


ඔබට Big Fish  මතකද ? Tim Burton ගෙතූ , කොතෙක් නැරඹුවත් එපා නොවන , ඒ අරුම පුදුම නිර්මාණය. කතන්දර කියන , කතන්දර වලම ජීවත් වන , එඩ්වඩ් බ්ලූම් ! එඩ්වඩ්ට හමුවන කාල් නමැති අසාමාන්‍ය උසින් යුත් යෝධ මිනිසා ! 


කාල් සමග නගරයට යන අතර තුර , එඩ්වඩ්ට වන අරණ තුලින් හමුවන Spectre නම් සොඳුරු කුඩා ගම්මානය මතකද ? මේ කුඩා දසුනෙන් මා සිත දිව යන්නේ Spectre වෙතය. එහිදී එඩ්වඩ්ට ආලයෙන් බැඳෙන ජෙනී මතකද ?  වියපත් වනතුරුම එඩ් කෙරෙහි ආලයෙන් සිට , සිය ගරා වැටුනු නිවසත් සමගම දිරා ගොස් ,  මන්තරකාරියක වූ කුඩා ජෙනී ! 



ගමට පැමිණෙන අමුත්තන් හට ආපසු යා නොහැකි වන ලෙස , ලණුවක එල්ලා තියන සපත්තු ! නිරන්තර සිනා මුසු මුහුණු. පද කිහිපයකින් ඔබ්බට කිසිදු කවියක් ගොතා ගත නුහුණුව සිත් තැවුලට පත් වූ ශ්‍රේෂ්ඨ කිවි නොදර් වින්ස්ලෝව්. !යුද සමයෙහි එඩ්ගේ සහයට එන දෙමුහුන් සොයුරියන් !

 දුම් රිය නැවතුම් පහක් පසුවන කෙටි දුරෙහි , මගේ සිත බොහෝ ඈතට ඇදී යයි.

 මේ කුඩා තණ පිට්ටනිය සහ ගෙවල් පෙල දකින මම නොදැනුවත්වම මහා සිහින ආවලියකම පැටලෙමි. 

දැන් ඉතින් ඔබේ වාරය ! ඔබ තේරීමක් කළ යුතුව තිබෙයි. නිරන්තර ගාලු දුම් රිය මගෙහි යන එන ඔබට අරුමයක් නොවූ මේ සුන්දර සිඟිති රාජ්‍යය සැබවින්ම කුමක්දැයි ඔබ මට හෙලි කරනවාද නො එසේ නම් මට රිසි තරම් නානා විප්‍රකාර වැල්වටාරම් ගොතන්නට ඉඩ දී ඔබේ යතාර්තය ඔබේ හිතටම ගුලි කරගන්නවාද ? 

අහ්... අමතක වූවා නොවැ. දැනටමත් ඒ සිඟිති දිවයිනට තිබෙනවා නමක් ....   ඔබ මොකද හිතන්නේ 'Mystique ' කියන නම ගැන .. ?

දැන් ඉතින් ඔබේ වාරය !

"That was my father's final joke, I guess. A man tells his stories so many times that he becomes the stories. They live on after him. And in that way he becomes immortal"

Tim Burton - Big Fish (2003) 


18 comments:

  1. /* පාඩුවේ සින්දුවක් අහගෙන යනවා විනා කුමක් කරන්නද ? */

    වෙල්කම් ටු ද ක්ලබ් කිව්වා!

    මෙය පූරුවේ පිනක් පලදීමකි. මාත් දැන් වසර දහයක් තිස්සේම ගමන කෝච්චියෙනි. බස් එකේ, වෑන් එකේ යනවා මෙන් නොව කෝච්චි ගමනේ ප්‍රයෝජන රාශියක් ඇත.

    1. කල්පනා කරන්නට හැක - මුලින් මා කළේ අනේ අච්චර අපුරුවට විනාඩි දහයෙන් වැඩට ගිය මට වුණු ඇබැද්දිය කියා හීල්ලීමයි.

    2. කවි ලියන්නට හැක - ඊලඟට මා කරන්නට පටන් ගත්තේ මෙයයි. සෑහෙ කවි තොගයක් ලියා දැම්මෙමි.

    3. ලිපි ලියන්ට හැක - මගේ සිව් වසරක් මරදානේ පොත තනිකරම ලිව්වේ කෝච්චියේ දී ය. තවත් එවැනි පොත් දෙකකට අවශ්‍ය දේවල් ලිව්වෙමි.

    3. කතන්දර ලියන්නට හැක - ආරම්භයේ සිට 2012 දක්වාම මා කතන්දර ලිව්වේ කෝච්චියේ දී කෙලින්ම ලැප්ටොප් එකටය. උදේට එකක් ලියමි, කලින් දා ලියූ ඒවා සංස්කරනය කරමි. හවසට උදේ ලියූ එක සංස්කරණය කර තව එකක් ලියමි. මෙතරම් ප්‍රොඩක්ටිව් ලිවීමක් තවත් මෙලොවේ නැත.

    මගේ ලැප්ටොප් එක 2012 දී කැඩුණු පසු එය හදාගන්නට කම්මැලිකම නිසා මා කළේ පොත්වල අත් අකුරින් කතන්දර ලිවීමයි. එය පෙර තරම් ප්‍රොඩක්ටිව් නැති වුණත් අත් අකුරෙැ ගැන යලි උනන්දුවක් ඇති කරන ක්‍රියාවකි.

    දැන් ඉතිං බ්ලොග්වලින් පැන්ෂන්අරගත් නිසා කරන්නේ මෙන්න මේවාය.

    4. නිදා ගැනීම (ඉතා පහසුයි!)
    5. පොත් කියවීම (ටික වේලාවකින් අංක 4 ක්‍රියාව ඇරඹේ!)
    6. ෆෙස් බුකියේ සැරිසැරීම (වැඩියෙන්ම හිත යන්නේ මෙයටයි)

    ඕල් ද බෙස්ට් ෆෙලෝ ට්‍රැවලර්!

    ReplyDelete
    Replies
    1. අවුරුදු 5, 6 තිස්සේ කෝච්චියේ මම කරන එකම දෙය අංක 5යි.

      Delete
    2. අනේ ඉතිං අපේ කකාට වේචිචි දෙයක්.. සිස්සත්වේ පාස් වෙලා.. මෙන්න මේ වගේ ඔය කොහේ හරි ටිකක් තඩි බාන්නකෝ කම්මැලි කම යන්න...

      Delete
    3. හෙහ් හෙහ්.. ඕයිකට තව කෑල්ලක් එකතු කරමු. මම කෝච්චියෙ යද්දි ගොඩක් වෙලාවට කරන්නෙ හොර බළලෙක් වගෙ අනික් මිනිස්සුන්ගෙ රි ඇක්ශන්ස් බලන් යන එක :) හෙහ් හෙහ්.... පොත් කියවන්න බෑ. රස්නෙයී අ වෙලාවට. අනික හිටගෙන හෙහ් හී....

      Delete
  2. මොනව හිතන්නද නම හොදයි

    ReplyDelete
    Replies
    1. තව හිතන්න. මම දෙන්නම් තව වාරයක් උත්සහ කරන්න :)

      Delete
  3. අර පිලුමෙ කතාවඇර වෙන මක්ක වත් තේරුණ් නෑනෙ...
    නිකං එහෙං ලියල ආයෙ වෙන තැනකිං ලියල ආයෙ තව තැනකිං ලියල වගේ...
    අනේ මංද...
    මගෙ සර්කිට් අවුල්ද දන්නෑ....
    පහුගිය දවස් ටිකේම පොටි ෂෝට් එක්කුත් තිබ්බ ඒ හන්දද මංද

    ReplyDelete
    Replies
    1. එහෙනම් ආයිත් හිතන්නකො.මේ වගෙ බරසාර ලිපි ආයිත් කියෙව්වම තේරෙනව :) ශුවර් නැතිනම් අර මාත් එක්කම පරණ ඔෆිස් එකෙ හිටිය සුදු මිස්ගෙන් අහන්නකො. මිසුත් එක පාරකට වඩා කියවල තමා ලිපි තේරුම් ගන්නෙ :) හෙහ් හෙහ්

      Delete
  4. Cockington Green is a model village display in Canberra, Australia.
    See some photos here

    ReplyDelete
  5. කෙටියෙන්ම කියනවා නම්, මම ඕක දැකලා නෑ. හොඳම දේ කෝච්චියෙ ගිහිං ඔයාට පෙනුණ ටික බලන එක. ඊට පස්සෙ හොඳම දේ ගෙදර ඇවිත් ඔය වගේම හිතෙන එක. ටත් වඩා සුන්දරම දේ මම හොරෙන් ගිහිං ඔය කොලණියෙ වෙන දේවල් හොයාගන්න එක. ඒත් මම කැමතිම දේ ඒ ගැන දැනගෙන ඔයාට නොකියා ඉන්න එක. ඇත්තටම මම ඒකට තමයි කැමතිම!!

    ReplyDelete
    Replies
    1. අන්න ඒක නම් හොඳ අදහසක්... ඒත් කරුමෙ කියන්නෙ එතන මොන වගෙ තැනක්ද කියලා දැණ් ටික ටික මට පැහැදිලි වේගෙන යන එක :(

      Delete
  6. ///////එහා පැත්තේ හිටගෙන ජැක් ගසන මැදිවියේ මහතා , මා දකින්නේ සිහිනයක් නොවන බවත් , ඒ සිටින්නේ උතුරු අයර්ලන්තයේ නොව ශ්‍රී ලංකාවේ පොදු ගමනාගමනයෙහි යෙදෙමින් බවත් සනාථ කරයි. //////////////

    ඔක්කොටම වඩා හිත ගියේ මේ කොටසට. හීනයක් දකින්නවත් නෑනේ මේ හාදයෝ එක්ක.

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ අනේ... හීනෙටත් එනව බාදා කරන්න ,.. හෙහ් හෙහ්... කෝච්චි තමයි කෝච්චි ආ....

      Delete
  7. කකා කියලා තියෙන දේ සමග එකග වන බව මුලින් ම කිව යුතුයි.

    නිදා ගැනීම පහසුයි... ඊටත් වඩා නිදා නොගෙන සිටීම ඉතාම අපහසුයි. ඒ කියන්නේ වාහනයකට නැග්ග ගමන් ම නින්ද යනවානේ..........................

    ReplyDelete
    Replies
    1. ඩ්‍රයිව් කරන්න නම් එපා එහෙනම් :)

      Delete
  8. "ඒ සිඟිති රාජධානිය පසු වන වාරයක් පාසා එබී බලා හිතෙන් ගොතන කතාව නිම වී , දුටු වනම දැනුවත් බවෙහි ඕලාරිකත්වයට නතුව අහක බලාගන්නට මට සිදුවෙයි. අරුමය ඉවර වෙයි. කොටින්ම මේ බ්ලොග් පෝස්ට් එකම ලැජ්ජා හිතෙන තාලේ අමන විහිලුවක් බවට පත් වෙයි. "

    You are getting matured!
    like that!!

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->