දවස අද බොහෝ දිගය . දුම්රිය සේවකයන්ගේ හිතුවක්කාර වර්ජනය නිසාවෙන් මහ මග බස් රථ උදෑසන ගෑටුවේ ඉබි ගමනින්ය . ඒ අස්සේ පාරේ වලවල්ය. වැස්සය . උදේ කියන්නේ මේ වගේ එකකට නම් නෙවේය .
මොනවා කරන්නද ? අලුත් රැකියාවක්. ඉගැන්නිල්ලට දෙවෙනි නැත.
දවස ගෙවී ගොස් පහයි තිහ වැදෙද්දී උදේ සිට මහ මග ඇල්ලු අඩවු ඔක්කෝම අමතක කොට ගෙදෙට්ට පැනගැනීමේ මහාභිලාෂයෙන් මොරටුව බසයට නැග ගතිමි. කෙමෙන් කෙමෙන් පීරි යන සෙනගට ඔච්චමට මෙන් , අහස කලු වෙවී වැස්සක් පෙන්නා නොපෙන්නා යයි. සිටගෙන දෙපා කෙඩෙත්තුවෙන් පෙලෙමින් සාරියකිනුත් සැරසී සිටින මට අද නම් එපාම කරපු දවසක්ම වූයේය. ඒ මදිවාට කනට ගසා ගන්නට ගී කියන ඇබ දෙකත් නැත. දුරකතනයේ බැටරි බැහැලාය. චාජරය ගෙදර අමතක වුනේය ! හපොයි මෙහෙමත් දවස් !
වැල්ලවත්ත පසු කොට දෙහිවල පාලම පන්නා ගැනීම එවරස්ට් නැග නිරුපද්‍රිතව ගෙදරට ලඟා වීම තරම්ම දීර්ඝ වෙහෙස කර කටයුත්තක් වන්නේ බස් ඩ්‍රැයිවර මහතුන්ටය, එය බලා ගෙන , බසය ඇතුලේ දහඩිය දුගඳ , උණුසුම් දාහය යනාදී කුණප ඉවසා සිටින අපට දෙතිස් මහා කෙඩෙත්තුවම සෑදීම අරුමයක් නොවේ.
වැඩ ඇරී වෙහෙසව බසයට ගොඩ වෙන වෙලාව යනු, මානසිකත්වය ඉතාම නරක වෙලාවකි. වැරදීමකින් කකුල පෑගුනත් , පෑගූ තැනැත්තා දවා හලු කරන්නට තරම් කෝපයක් එයි. කවුරුන් හෝ හදිසි තිරිංග තදවීමකින් ඇණ්න්ගේ හැපුනත් මරාගෙන මැරෙන්නට සිතෙයි. වෙහෙස විසින් අප කැරලිකාර කොකු කාරියන් කරන්නේ හවස් යාමයටය. එහෙත් මට වාරියපොල නංගී කෙනෙක් වීමටත් බැරිය.
බස් රථය දෙහිවල පසු කරද්දී චුරු චුරු වැස්සක් ඇද හැලෙන්නට වෙයි. හපොයි, බාගෙට ඇර තිබූ ජනෙල් එක දෙකත් වැසෙයි. මිනිසුන්ට හුස්ම නොගෙන සිටිය හැකිද ? බැරිය. හරියට ආදරේ නැතුව ඉන්න බැරිවා වැනිය . ගල්කිස්ස ලං වෙද්දී වැස්ස තුරල් වෙයි. වීදුරු එක දෙක ඇරී දුර්ගන්ධ වාතය එලියට පැන ගනියි. අපට සැනසිල්ලක් දැනෙයි.
පුංචි මල් වැස්සක් වාගේ ඕන්න ඇය බසයට ගොඩ වුනාය .
විරිදු රබානක් අතින් ගෙන ,කුඩා හම් බෑගයක් කරේ ඇලයට එල්ලා ගත් අවුරුදු දහ පාලොහක ලමිස්සියකි. මම ගෙල දික් කොට ඈ පසුපසින් එන අන්ධ තාත්තා හෝ අම්මා සෙවුයෙමි. එක්කෝ අක්කාගේ ගවුම් කොනෙහි එල්ලී එන හොටු පෙරාගත් මල්ලී සෙවූයෙමි. නැත ! ඈ තනියම. අරුමයකි. ඈ මේ ගොම්මන් වෙලාවේ තට්ට තනියම බසයට නැග ඇත්තේ විරිදු කියන්නටය. කීයක් හෝ සොයා ගන්නට කොතරම් අරුම රැකියාවක්ද ? වෙසෙසින්ම මල් වයසේ කෙල්ලෙකුට ??? බසයේ මැදට විත් විරිදු රබානට තට්ටුවක් දාගෙන ඇය ආසනයකට වාරු ගනිමින් උගුර කට පාදයි. මගේ පුදුමය එන්න එන්නම වැඩි වෙයි.
ඈ හරි පිරිසිදුය . පිලිවෙලකට සායක් හැට්ටයක් ( දුප්පත් කමේ කුඩා කඩතොලු තිබුනත්) හැඳ රබර් සෙරෙප්පු කුට්ටමක් ලාගෙන කොණ්ඩය ගොතා සිටින ඇයගේ වැඩි සුකුරුත්තන් බවක් නැත. මහා වේලෙන දුප්පත්කමකුත් නැත.
ඈ හඬ අවදි කරන්නීය. වැහි බීරුම කපාගෙන ඇගේ අපස්වරයෙන් ගැයෙන ගීතය මට ලතා මංගේෂ්කාර්ගේ මධුර හඬ ගෙනෙන මිහිර නොගෙනා බව කිවමනා නොවේ. එහෙත් කිසිදු වෙවිලිල්ලකින් තොරව දෙනෝ දාහක් බලා සිටින බසයේ හරි මැද සිටගෙන ගී ගයන්නට තරම් ඈට කොතරම් නම් ආත්ම ශක්තියක් තිබිය යුතුද ? පොඩ්ඩක් හෝ ඇහැට කණට පෙනෙන දුප්පත් දැරිවියන් අවකලුන්ගේ ග්‍රහණයට නතුව සුසුම් ලද්දී, ගෙයි දොර මුල්ලේ අනාථව හඬා වැටෙද්දී , මෙහෙකාරකම් කරද්දී , මේ පැන්චී හරි අපූරු ජීවනෝපායක් හොයා ගෙන නොවේද ? කක්කුස්සි වත්තේ චුට්ටිලා මානව හිමිකම් වෙනුවෙන් අරගල කරද්දී , අම්මා තාත්තා නැතැයි ඇත්ත ( විය යුතුය!) කියා , රබානක් වයා ජීවත් වෙන මග සොයා ගන්නා මේ පැන්චීට ඇති දහිරියෙන් බින්දු කාලක්වත් මට තිබේද ? බසයේ සියලු දෙනා ඈ දෙසම බලා සිටිති. ඈ තවත් විරිදුවක් ගයා , බුහුටි අයුරෙන් ඇඟිල්ල මත රැඳවූ රබාන කරකවමින් ශ්‍රාවකයන්ගේ ආධාර වෙනුවෙන් පැමිනෙන්නීය. ඉදින් මේ ආධාර ගෙන බසයෙන් බසින ඈ ගැනත් මට කල්පනා වෙයි.
කුඩා ලෑලි පැල් කොටයක ගඩොලු දෙක තුනක් මත මුට්ටියක් තියා , දවසේ එකම රෑ බත සරි කරන විරිදු කාරී. ඈ අසල අත් මදිමින් බලා ඉන්නා කුඩා මල්ලී. කූප්පි ලාම්පුවේ එලියෙන් රබාන පිසදමන විරිදු කාරී. පසුදා පාසල් යන්නට ගෙදර වැඩ කරන විරිදු කාර දැරිවී. කුඩප්පාත් අම්මාත් රණ්ඩු වෙන පැල් කොටයෙන් ඈත්ව මුහුද දෙස බලා සුසුම් ලන විරිදු කාර පැන්චී. මල්ලිලා නිදි කොට , ගල්කිස්ස හෝටලයේ එලි දෙස බලාගෙන ගංජා සුරුට්ටුවක් අදින විරිදු කාරී.
මම කල්පනා දාමය එතැනින් බිඳ දමමි. කල්පනාවන් දුර ගෙන යාමට මට අයිතියක් නැත. මම මා වෙත නෙත් හෙලා සිටිමි. රැකියාව නිමවී නිවසට විත් කකුල් උඩ තාබාගෙන තේ බිබී , දුරකතනයෙන් මිතුරන් අමතමින් , කාලය කාදමන මම ! මමම උයා , මමම එය ගිල දමා බඩ උඩ දමාගෙන ගොරවමින් නිදන මම ! අන්තර්ජාලයේ සැරිසරා මෙසේ බ්ලොග් පෝස්ට් එකක් ලියා , සිතැඟි වලින් ලොව පෙරලන්නට ප්ලෑන් ගසන මම !
මට හුස්මක් පිට වෙයි ....
යලිත් මා පියවි සිහියට එමි. කාටවත් නොපෙනෙන්නටඈ වෙත ගොස් , රහසින් ඇගේ කණට කොට , කුඩා යමක් කියන්නට මට සිත් වෙයි . 'පැන්චියේ , ජීවිතේ මොකක්දැයි උඹට තේරෙන හැටියට මටත් කියා දීපන් !'
එහෙත් ඈ තවත් බසයක් සොයා බැස ගොසිනි. මා තවම අසුනෙහි හිඳ නැවතුම එනතුරු තැවුල් සිතිනි.
ජීවිතය යනු අප සිතන තරම් සුන්දර නොවේ. එසේම එය අප සිතන තරම් අසුන්දර ද නොවේ. ජීවිතයේ ඒ සුන්දරත්වය හෝ අසුන්දරත්වය විඳීමට, තම රිසි පරිදි තෝරාගෙන විඳීමට ,කිසිවකුගෙන් තහනමක් නැත. තහනමක් තිබියද ඒ අයට පෑහෙනා දුහුවිල්ලක් තරමට හෝ මායිම් කලයුතු නොවේ.එහෙත් එක් කරුණක් පවසන්නෙමි. ජීවිතය විඳීමට ( ඒ අසුන්දර හෝ සුන්දර විය හැක, ඒ පිළිබඳව කිසිවක් නොපවසමි ) නම් කොළොම් පුරයටම සැපත්විය යුතුමය. මහනුවරදී දිනපතා තුන් රෝද රියකින් නිවෙස බලා යන නුඹට කිසිදිනෙක මෙවන් විරිදුකාර ගැටිස්සියන් හමුවනු නැත.!!!
ReplyDelete100% agree
Deleteජීවිතය සුන්දර හෝ අසුන්දර නොවේ. එය අරුමැසිය. ගතවන හැම මොහොතකම විස්මයක් තිබේ. එයට තුන් රෝද රියෙන් කිලෝමීටර් තුනක් වන ලන්දට පලා යාම ප්‍රමාණවත් නොවේ.
බාල මහලු තරුණ , ගඳ සුවඳ , දුප්පත් පොහොසත් හුදී ජනී ජනයා සමග එකට දුක සහ සැප අනුභව කර බැලිය යුතුමය .
මේ එබඳු අවස්ථාවක් නැවත ජීවිතයට උදා වූ කාලයකි ... :)
සංසාරේ අපි
ReplyDeleteඕක ඉතින් කියන්නත් දෙයක්යැ . උඩහින් ලොකුවට තියෙන්නෙ දිලිසි දිලිසි :)
Deleteජිවිතේ කියන අකුරු තුනේ තේරුම හරියටම දන්නේ ඒත් එක්ක පොර බදින අය.. දරුණු විදිහටම පොර බදින අය...
ReplyDeleteහරියටම හරි ! පොර බැදීම සුන්දර දෙයක් එහෙම බැලුවාම
Deleteවයසට යනවාද මන්දා?
ReplyDeleteඕක හැමදාම වෙනවනෙ :)
Delete//////////'පැන්චියේ , ජීවිතේ මොකක්දැයි උඹට තේරෙන හැටියට මටත් කියා දීපන් !' /////////
ReplyDeleteඇත්තමයි......ජීවිතය හොයාගන්න පුළුවන් වෙන්නේ සමාජයෙන්මයි....මහ පාරෙන්මයි..අඩුවක් නැතිවම ඒය සොයා ගත හැක.
ඔව් ජීවිතේ කියන්නෙ ප්‍රස්නම තමා.
Deleteනැතිවුනොත් රික්තයක් වගේ දැනෙනවා
ඒක නම් ඇත්තම ඇත්ත.. මහ පාරේ තියනවා ජීවිතය ....
Deleteතිස්සයියා. අනෙ මන්දා අප්පා මේක මගෙ දෛවෙ ... :)
Deletekeeyakwath dunne nedda oya?
ReplyDeleteදුන්නා. ඒ විස්තර මෙහෙ ලියන එක හරි නෑනෙ
Deleteජීවිතේ..හරි අමුතු පුදුම කතන්දරයක්...
ReplyDeleteඉතින් ඒකම නොවැ මේ ජිවිතේ ලස්සන ! :)
Deleteයලිත් මා පියවි සිහියට එමි. කාටවත් නොපෙනෙන්නටඈ වෙත ගොස් , රහසින් ඇගේ කණට කොට , කුඩා යමක් කියන්නට මට සිත් වෙයි . 'පැන්චියේ , ජීවිතේ මොකක්දැයි උඹට තේරෙන හැටියට මටත් කියා දීපන් !'
ReplyDeleteමේ ලිපියේ මම ආසම කොටස.
- පැරණි මිතුරෙක්
:-)
Deleteපැරණි මිතුරා නොනමකින් ( ඇනෝ) ආවෙ ඇයිද ? කමක් නෑ කියවා රස වින්දනේ .... :)
කතාව නම් හරිම රසවත්.... ඒ වගේ ම රචනා විලාශයත් හරිම රසවත්.... අපි මෙච්චර දවස් මේ පැත්තට ආවේ නැත්තේ ඇයි කියලා හිතුණා. කොහොම හරි දැන් ආවනේ......................
ReplyDeleteස්තූතියි යාලුවේ...
Deleteඅපි මහලු වයසේ....
කමක් අනෙ දැන්හරි එන්නකෝ :)
මල්
ReplyDeleteMadam dan ra 12.30 i. Puluwan thram blog eka kiyawala thamai nida ganne..😊😊😊😊
ReplyDelete