Saturday, September 06, 2014

[311] සුදු ඇඳගත් සඳ

 
 

සුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනට 
රිදවුනු සිත ගෙන යයි කඳුලැලි ගං ඉවුරට  
ඔබ ආ හැටි සමුගන්නට අවසන් සැන්දෑවට 
ඒ ගං ඉවුරට  ...

බාධක බිඳ නුඹ ජය ගන්නට බැරි වුනි මට 
ඇයි දැයි දොස් පවරන සඳ සිත  
නුඹෙ වරදද මගෙ වරදද ?
එය මා දන්නේ නැත 

නුඹ මා ලොව කලුවර කොට පැන ගිය පලියට  
කෙලෙසක දොස් පවරමි නුඹ හට 
කිසි කෙනෙකු නොදුන් ආදරයක් 
නුඹ මට දුන් කොට ..

 සඳට විරාජමාන වන්නට තවත් දවසක් දෙකක් ඉතිරිව තිබෙයි. එතෙක් ඉවසා සිටීම අපහසු හෙයින්දෝ වළාකුලු එක දෙකක් සුලඟට ඈත් මෑත් වන ඇසිල්ලෙන් සඳ සිය කිරි සිනහා එළි එක දෙකක් මහ පොළව වෙත එවයි. බිම බලාගෙන ඉසිකෝ මන් හද දරාගෙන චමත්කාරී රැය ඉවසා වදාරන කාලකණ්නි පොළොවටත් සුලඟටත් ඒ සඳ පෙනෙයි. ඒ හීල්ලීම් සඳට වගක් නැත. සඳට පෙනෙන්නේ  නුදුරෙහි එන රාත්‍රී පොහෝ සැණකෙලියට ලෝකයම සැදී පැහැදී සිටින වග පමණකි. 

හෙට උදාවන සුපුරුදු අරුණාලෝකය මිස අහස ගුගුරා එන අනපේක්ෂිත මහ වැහි කෝඩයක ලකුණු , ප්‍රේමාන්ධ වූ සඳට නොපෙනෙයි. දිගු කාලයක් එකට හිටි එකාකාරී පුරා වස් ගණනාවක අවසන , පොළව සඳ සමග ගනුදෙනු අත් හරින්නේය. එහෙත් ඒ පෙනෙන හැටි පමණකි.  අහසත් සඳත් කිසි ලෙසකින් උනුන් හැරයන්නෝ නොවෙති. ගතවන දිවා විරාමයෙන් ඉක්බිති ඔවුනොවුන්ට රාත්‍රිය කියා උන්ගේම මොහොතක් මග බලා සිටී.

එහෙත් , එක් දිනෙක, 

සඳ නලලත සිපගෙන , උදෑසන අඳුරුතම පැය සටහන් කරමින්, අහස වේදිකාවෙන් බැස යන සුපුරුදු අන්ධකාර හෝරාවය . වෙන කවරදාටත් වැඩියෙන් උණුසුමෙන් , සෙනෙහසින් , ආලයෙන් මෙන්ම හද කම්පා කරවන තරම් මෘදු හඬින් ' ආදරෙයි ' කියා අහස මුමුණයි. සඳට එය වටහාගත නොහැකි වෙයි. අහසටද වටහා දෙන්නට තරම් කිසිවක දැනුවත් බවක් නැත්තේය. විස්තර කළ නොහැකි මූසල වෙන්වීමේ ඉඟියකින් , නොහොත් ඉවකින් , අහසත් සඳත් යටි සිතෙන් බීත වී සිටිති. . අහසත් සඳත් නො එන රැයක් තිබේද ? උනුන් සිප වැලඳ නොගන්නා දිනයක් ඒද? නැත . උන් යටි හිතට ක්යා හිත හදා ගන්නේ එහෙමය .

හිමිදිරි සීතල තුරල් වෙන පාන්දර , සඳ සෙමෙන් මුහුණ අඳුරු කරගනී.  එලැඹෙන නුදුරෙහි අහසත් සඳත් එකම රාත්‍රියක නිසි නිවිසැනසිල්ලේ නොබියව විරාජමාන වන පොහෝ සැණකෙලිය සිහිපත් කරමින් සඳ තැවුල් මුහුණ සිනා වතින් පිසදා ලන්නීය. අහස සිය රළු පරළු, හැඟීම් විරහිත යයි පෙනෙන , එහෙත් බොහෝ දුක් හා රිදුම් තැවුල් දරා ඉවසන දැඩි මුහුණින් උදා දොරකඩ වෙත පියමනී. පසු පස්සේ වැටෙන සඳ , අහස් ගැටියෙහි ඇතිල්ලෙමින් සමු ගැන්මේ සිහිවටනය නොකියා ඉල්ලමින් එකෙල මෙකෙල වෙයි. වෙනදා මෙන් එය පමා නොවෙයි. ඇසි පිය හෙලන ඇසිල්ලෙන් , සිය විසල් අහස් තලයෙන් එක් බිඳිත්තක් වන් කුඩා සඳට ඉවැසීමෙන් යුත් එක් නළල් හාදුවක් උණුසුමින් තෑගි දෙන අහස , කම්මුල් හරවමින් , ප්‍රති සිහිවටන ඉල්ලා සිටියි. එය සැබෑ සමුගැන්මක් තරම්ම සංවේදී වූයේ , හැඟුම් හා ඉව , සදෘශ්‍ය විචල්‍යයනට වඩා ප්‍රබල නිසාද?

'Love you'  ඉතාමත්ම චමත්කාරජනක සන්ධ්‍යා හමුවීම් එක දෙකක අතිශය රොමෑන්තික ආදර කඳු මුදුන් දැක පහන් වෙද්දි පමණක්ම , හඬ බිඳී මෘදු සරින් විසිරුනු එම වදන් , එදා අඳුරු පැහැගත් කාල මීදුම් එතෙන මූසල හිමිදිරියේද , ඒ මුදු සරින්ම ගිලිහුනේ,  අවසන් වතාවට යැයි සඳටවත් අහසටත් නොසිතෙන්නටම ඇත. 

'පරිස්සමෙන් යන්න. මේ දවස් ටික පරිස්සමෙන් ඉන්න' 
සඳ , වෙන කවදාටත් වඩා මෝරා ගිය වැඩිහිටිකමකින් , තමන්ට වඩා බොහෝ දැනුම් තේරුම් ඇති අහසට දැනමුතුකම් දෙයි.  ආදර බැල්මකින් , කුඩා සඳට ප්‍රතිචාර දක්වමින් සමුගෙන යන අහස , හිමිදිරිය පෙනි පෙනී ආයිත් හැරී එයි. යා යුතු යැයි හද නොපිලිගන්නේද? 

' වහින්න වගේ නේද ? ඇයි ඒ ?' පිලිතුරු නැති පැනයකට උරිස් හැකිලෙන සඳ වෙත යලිත් එන අහස , යලිත් හාදුවක් තබා හිමිදිරිය වෙත හැරී යන්නේය . 

මෙදින පවසමි  ,
සහසැස් මිසක , එ'සුදු සොමි රැස් හෝ , එ'සඳ වැලඳ ගත් අහස හෝ එදිනෙන් පසු යලිත් නොවැලැඳැගත්තෝය. ඉනික්බිති එලැඹි රාත්‍රීන්හි වට මහ වැසිද , ඉන් තෙත්බරිව විසුණුව ගිය වේදිකාවද නිමිති කොට සඳ සහ අහස නාඳුනන්නන්ගේ මානයට ගෙන ගියෝය.  

නාඳුනන අතෝරයන්ගේ බල පරාක්‍රමයන්ට පින් සිදු වන්නට , සුදු ඇඳගත් සඳ , වැස්සේ තෙත්බරියන් වෙමින් , තෙමී ලෙඩ හදා ගන්නේ යැයි තරවටු අසමින් , වස්සානය අවසන් වෙතැයි සිතන්නීය, පෙරුම් පුරන්නීය . අහසෙන්ද ගැරහුම් ලබන්නට තරම් සඳට අමාවකම හිමි වන්නීය. මහ වැස්සෙන් පසු අහසද එම අහසමමැයි පතන්නිය. 

තවමත් රාත්‍රීන්හි සඳ එබෙන්නීය. කලා පුරන සඳ වෙනදාටත් වඩා දිලෙන්නේ යැයි පවසන්නේ කෙබඳු සිතකින්ද? ලෝකයක් එලිය කළ යුතු යැයි සඳ බිහි කළ හිරු , පිලිණ ගති. වැසි දියෙන් ආතුර සිතින් , සඳ , රාත්‍රියෙහි අන්ධකාරය , අහසක් නැති කැඩී බිඳි සුන් බුන් වූ වේදිකාවෙහි තවමත් දිදුලවන්නේ එහෙයිනැයි අහසට සිතා ගත නොහැකි වීම විස්මයක් නොවේ. 

 
සිතුම් සුලඟක ඇමිණී

හැඟුම් කෙම්බිම් සරමී
සුසුම් පැහැ තවරමිනී
කවක් සඳ මුව මිමිණී ... 


‍රැස් දෙන ඉරට ලං විනි
ලත් හිරු ‍රැසින් මත් විනි
මල් සර විතෙන්  විස ඉනි
නෙත් අඳ සඳක් ඇවිලිනි    ... 




සුපෙම් අහසක් අහිමි
සොවින් සඳ මියැදෙමිනි
සසර හුරු ඇස් හැඟුනි 
යලි අහසෙ  සඳ උපනි..





මැකී යලි සඳ පිපුනී
පිපී සඳ බොඳ නොවිනී
මසින් මස මෝරමිනි
සඳින් අහසද උපනි....


සහසැස් සිඹින අහිමි
අහිමිව නොහෙනු හඬමි
හැඬු නෙත් සිඹින ම'හිමි
හිමි නුඹ අහිමි නොහෙමි....

වරෙක සුනිල් එදිරිසිංහයන් , ඉතාමත්ම වේදනාබර ආයාචනාවක් , ලිහිණි කුරුල්ලන් වෙත ගෙන හැර පාන්නේ , සිත ගත් ප්‍රියයාණන් සොයා පියඹා ගොස් , මා මිය යන බවක් හෝ පවසා, ප්‍රේමණීයයා තමන් බලන්නට ගෙන්වා ගන්නැයි කියාය . එය මරණ තර්ජනයක් පෙන්වා සිතුම් ඉටු කරගැනීමකැයි අර්ථ දක්වන්නේ කවුරුන්ද?  

අහිමි කමේ ආලාපයන් මත්තේ සඳට පායා නොසිටිය නොහැක්කේය. අන්ධකාර රාත්‍රියට කුඩා සඳ පහන එලි දෙන්නට පිලිණ දී ඇත්තේය . අහසෙන් මුවා වී සඳ කෙසේ පායන්නද ? වළාකුලක හැංගීගත් සඳෙහි , තවත් ගැඹුරට හෑරී ගිය සදාතනික ආවාට වල එක්තැන්ව පැලැහෙන ලුණු රසැති රතු කඳුලු නිරතෘවම , සුදු රැස් දහරින් සෞම්‍යව පවතිතැයි , දූත ලිහිණියෙකුගේද නිගමනය වනු ඇත.
 
බොහෝ කවීන්ගේ රස නහර පුබුදුවා ලූ , හැඟුම් ප්‍රස්තුත සැපැයූ මුත් , සඳ එයින් ලැබූ පහන් හැඟුමක් නැත්තේය. පැහයක් හැඩයක් හෝ දිග පළලක් නොමැත්තේ මුත් , සඳට වැතිර සිනාසෙන්නට තරම් විසල් හද කුහරයකට හිමි කම් කී අහස වෙත සඳ හැංගූ කවියක් නැත !  

අතීතය ප්‍රත්‍යාවර්තී ලෙස යලි උදා වෙයි. එහෙත් ජීවිතය උදා වන්නේ එකම එක් වරකි. ප්‍රත්‍යාවර්තී අතීතය කෙසේ ඇවිත් ගියද , යලිදු ජීවිතය යන නම ඊට දිය නොහැක්කේය. 


 ප.ලි
සුදු ඇඳගෙන ගීය : මගේ රචනාවක් නොවේ. එය කරුණාරත්න දිවුල්ගනේ ගයන්නකි. මෙන්න ගීතයේ සබැඳිය

22 comments:

  1. මිස් රෝමෑන්තික වෙලා ද ආයෙත්..

    ReplyDelete
  2. සඳවත යට හමුවුණු එදවස විල්දිය මත,
    නළලත සිප සමුගත්දින මතකයෙ තව ඇත,
    හදවත ගැහෙනා තුරු හිඳ සිඳුරල පෙල මත,
    නෙතුමත ඇඳි සුපුල් රුවක අරුමය නොමැකෙත,

    ReplyDelete
  3. //"අතීතය ප්‍රත්‍යාවර්තී ලෙස යලි උදා වෙයි. එහෙත් ජීවිතය උදා වන්නේ එකම එක් වරකි. ප්‍රත්‍යාවර්තී අතීතය කෙසේ ඇවිත් ගියද , යලිදු ජීවිතය යන නම ඊට දිය නොහැක්කේය"//

    මේකනම් මමත් තදින්ම විශ්වාස කරන දෙයක්

    ReplyDelete
  4. "ගහ කොල සියක් මල් පිපිලා තියෙන විට...
    අහසට සිනාසෙන්නට හැකිනේ නුඹට...
    ඇති තෙක් විඳින්නේ කරදර දුක් ගැහැට...
    ඉර හඳ පුරුදු සේ එනවා නුඹ ලඟට... "

    ReplyDelete
  5. වින්දනීයි,
    අතීතයද අන්තයකි, අනාගතයද අන්තයකි, මිනිසුන් හැමදාමත් ඉන්න මොහොත අමතක කර අන්තයක ජීවත් වෙති, ඔවුන් එබැවින් මළවුන් හෝ නුපන් වුන් සේම ජීවත් වෙති, ජීවත් වන මොහොත මිය ගොස් අතීතය උදාවන කල ඒ මොහොතම ඉදිරි පිම්මක් පැන අනාගතයද උදා කර දෙති, අතීතය අලුත් හැඩයකින් අනාගතයේදී මුණ ගැසේවි , ඒ එකම සිද්දි දාමයක් අලුත් චරිත ටිකක් සමග, නමුත් ඔබට එය නොවහටහේ මන්ද චරිත ඔබට අලුත් නිසාවෙනි, ජීවිතය නම් හිදින මොහොත මිස අතීතයද අනාගතයද නොවන්නේය, සිහින තුලද ජීවිත ඇත, එහෙත් දෙනෙත් අර බැලූ කල ඔවුන් සමුගෙනය, යතාර්ථය එළිපත්තේ මල අතීතයත් නුපන් අනාගතයත් ගැන කවර නම් කතාවක්ද,

    එහෙත් මෙය වින්දනීයය.

    ReplyDelete
  6. කාලෙකිම් හිතට දැනෙන ආදරණිය සටහනක් කියෙවුවේ..ඇත්ත අක්කේ, අතීතය ඉදලා හිටලා අපේ ජීවිත වලට ආයෙ ආයේ එනවා..

    ReplyDelete
  7. //එහෙත් ජීවිතය උදා වන්නේ එකම එක් වරකි. ප්‍රත්‍යාවර්තී අතීතය කෙසේ ඇවිත් ගියද , යලිදු ජීවිතය යන නම ඊට දිය නොහැක්කේය.//

    එදා සඳමැයි අදත් අහසේ
    අතීතය මියැදිලා රහසේ
    "ජීවිතය" යනු අතීතයමයි
    වදන් ගලපා කියනු කෙලෙසේ

    එදා සිට දක්වාම අද දින
    සොඳුරු මතකය මසිත පුබුදන
    නැවුම් හැඟුමෙන් සඳ නැගී එයි
    ජීවිතය මෙන් ලබා නව පණ

    එදා විඳි සංවේදනාවන්
    නොවෙද අද "මම" යැ‍යි කියන්නේ?
    අතීතය මිය ඇදුණු දිනමයි
    ජීවිතය සහ සඳ උපන්නේ

    ReplyDelete
  8. This is a remarkable creation .. I appreciate your thoughts.. I think you like Moon,Innumerable stars, Colourful Evening and so on...... Am I correct? Right From the Word Go you are a nature lover...

    ReplyDelete
  9. අතීත මන්දස්මිතයක් මත හිත වර්තමානයේ හිත ගැවසුණ රොමෑන්තික සටහනක්...
    හැගුම්බර පබැදුමක්...
    ජයවේවා

    ReplyDelete
  10. කාලෙකින් ආදර්නීය සටහනක් කියවුවෙමි . නැවත පන ලැබුවෙමි .

    ReplyDelete
  11. @මිත්‍රයා
    .
    මම ඉතින් කොහොමත් රොමෑන්තික නොවැ. :) ලෝකයට ආදරය කිරීමත් රොමෑන්තික බාවයක් තමා :)

    ReplyDelete
  12. රවි අයියා...

    ඔයා ඉතින් කවියා නේ... :)
    සඳට නිවනක් නැත :)

    ReplyDelete
  13. ඉවාන් පවුලූශා

    ඔව්. මට නම් එහෙමම තමා වෙලා තියෙන්නේ. අපෙන් වෙච්චි දේ , අපිට වෙනවා. අපිට වෙච්චි දේ අපි අතින් ආයි වෙනවා. මේ චේන් එක කැඩුවොත් අපි දිනුම්. වාසනාව කියන්නෙ ඒකටද මන්දා ....

    ReplyDelete
  14. තිස්සයියේ

    ඉර හඳ කියලා එක එක ඉරවල් හඳවල් වෙලා මට ඇථි වෙලා.
    ඔබ දන්නවා මට දැන් තියෙන්නෙ එක අහසයි කියලා.
    ඉතින් ඒ අහස හැර ගිහින් , ලැබෙන අහසක් නැහැ.
    ජීවිතේ මෙහෙමම ගෙවිලා යයි

    ReplyDelete
  15. සොමි යා

    වත්මනෑහි යලි පරාවර්තනය වන්නේ අතීතයෙහි සිදුවූ දෑ නම්???

    අනාගතය කෙරෙහි බිය නූපදීද?

    ReplyDelete
  16. දිනේශ් මල්ලි

    ඔව් . ගොඩ කාලෙකින් ලිව්වේ. කොටින්ම ගොඩ කාලෙකින් ඔලුව බිත්තියෙ හැප්පුනේ :)

    ස්තූතියි. මේක හරි පැරණි මිතුදමක් නොවැ :)

    ReplyDelete
  17. තිසර

    මට වචන නැත...
    මා දහස් වදනින් ලියූ දේම , ඔබ හතර පද තුනෙහි ගැබ් කොට ඇත.
    අනගිය !!!!!!!!

    ReplyDelete
  18. thushan

    thanks alot for your words :) yes I LOVE nature. I see nature in every life :)

    ReplyDelete
  19. මහේශ්
    ස්තූතියි :) හැගුම්බර වුනා. ඉතින් ලියවෙනවා.

    වේදනාවේ
    සැහැසි ඵල ලෙස
    කුඩා කවියක්
    බිහිව ඇත !

    ReplyDelete
    Replies
    1. මේ ලෝකේ මිනිසුන්ගේ සිනහා කදුලු එනවා යනවා එපමණයි ජීවිතේ....

      Delete
  20. සිහින දකින්නා

    ස්තූතියි. ආයෙත් එන්න :)

    ReplyDelete
  21. මේ ලොකේ මිනිසුන්ගේ සිනහා කදුලු එනවා යනවා එපමණයි ජිවිතේ...........

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->