Friday, January 29, 2010

වංචාවෙන් පටන් ගත් මගේ කවි ඉතිහාසය…


පුංචි කාලයේ මගෙ අම්මපා තුන් හිතකින් එක හිතක කොනකවත් තිබුනෙ නැහැ මට මොකෙක් හරි වෙන්න ආසාවක්. තවමත් මම අහස පොලව ගැටලලා කල්පනා කොරනවා අමාරුවෙන් හරි එහෙම පැතුමක් තිබ්බවද්ද කියල මතක් කර ගන්න! නැහැ නොවැ ! මම හිතන්නේ මට ඕනැ උනේ පණ්ඩිතයෙක් වෙන්න.. අම්මපා මොන විෂයෙන් උනත් මම පඬි ටෝක්ස් දෙන්න නම් උපන් හපනී… හිහ්….

මම අද ලියන්න හිතුවෙ එක්තරා කාලයක අපේ අම්මට මා ලවුව කවි ලියවන්න තිබුන උමතු ආසාව ගැන.. මම ඒ ගැන උපහාසයෙන්ම ලියනව නෙමෙයි… මොකෝ එයාගේ ඒ ආසාවට පින් සිදු වෙන්නට 1993 ඉඳලා අද වෙනකන් ( අද කිව්වට ඇත්තටම කවි ලියන එක 2004 විතර නතර වෙලා බවයි අද මට පොත බැලුවම තේරුනෙ) ලියපු කවි 200ක විතර තඩි පොතක් මා සතුව තියෙන්නෙත් ඇයට පින් සිදු වෙන්න…. හැබැයි ජීවිතෙ කවි ලියන්න ඕනෙ කියල පරමාර්ථයක් නම් මට නොතිබුන බව මම අවංකවම කියන්න වෙනව!

මගේ කවි ඉතිහාසය හිනායන ඒ වගේම වංචාකාර ආරම්භයක් කිවුවොත් වැරදි නැහැ… ජීවිතේ පුංචි පුංචි සිදුවීම් තවමත් මතකයෙ එහෙමමයි…

මම තුන වසරෙ ඉන්නකොට අපේ අම්මට හරි පිස්සුවක් තිබුන එයාගෙ ලෝකයෙ ඉන්න යාලුවන්ගෙ දුවල පුත්තු කරන හැම දෙයක්ම මා ලවාත් අත් හදා බලවන්න! ඉතින් දවසක් අම්ම මට බල කලා ඉස්කෝලයෙන් ඉල්ලල තියන කවි තරඟයකට ‘අම්මා’ ගැන කවියක් ලියන්න… මම ඉතින් හිර ගෙයට දාන්න යනව වගේ අකමැත්තෙන් නහකුණු ගාන්න පටන් ගත්ත බෑ කියලා.. එළුවෙක් වගේ “බෑ” කිය කිය කනිපින්දම් කිවුවත් වැඩක් උනේ නැහැ. අපේ අම්මි කිව්වොත් ඉතින් කිව්වම තමා… අපෝයි………….

ඒ වෙනකොට මගේ සහෝදරී නම් කවි ලියන්නියක්… ඉතින් අම්මිගෙ බල කිරීමට එයා එකඟ උනා මම වෙනුවෙන් කවි ලියන්න… ඉතින් ඔන්න එය කවි කියනවා ගමයා වගේ.. මම ලියනවා…. හිහ් හිහී….. කවි 9ක් ලියුව සොයුරියට පින් සිද්ද වෙන්න… ඉතින් එයාගෙ ඩියුටි ඕෆ්! ‍රැ 8.30 ට පුරුදු ටෙලි නාට්‍යය මම බලන්නෙ පු‍ටු සෙට් එකට තියන ටීපෝවෙ යට බඩ ගා ගෙන.. ඉතින් එහෙම ඉන්න ගමන් මට හදිස්සියෙම හිතුනා කවි 9ක් තියන එක හරි නැහ, ඒ නිසා 10ක් වෙන්න තව එකක් ලියන්න ඕනා කියල. ඉතින් බොහොම අමාරුවෙන් මම 10 වෙනි කවිය ලියුව. ඒක දැකපු අපෙ අම්ම පුදුම උනා විතරක් නෙමෙයි පස්වනක් ප්‍රීතියටත් පත් වුනා මගෙ කවි හැකියාව ගැන.. ඉතින් එදායින් පස්සෙ මටත් චුට්ටක් ආසා හිතුන කවි ලියන්න…

මට හිතෙනවා මම කවි ලියන එක විතරක් නෙමෙයි ඒ කාලෙ ජීවිතේ ගොඩක් දේවල් කලේ අනිත් මිනිසුන්ගේ සතුට දකින්න, ඒ අයගෙ ප්‍රශංසාව ලබන්න ආසාවෙන් කියලා…මම හරී ආසයි තව කෙනෙක් මාව අගය කරනවට ඒ කාලෙ… ඒ ප්‍රශංසාව මාව ජීවත් කරනව… ඉතින් ඔන්න ඔහොමයි මම කිවිඳියක් වෙන්න අත්පොත් තිබ්බේ… ඊට පස්සෙ මගෙ රස උල්පත මා විසින්ම තියුණු කරන ලදුව , බොහෝ කවි තරඟ වලට මම කවි ලියුවා…නිදහස් කවිත් ලියුවා ගොඩාක්…සමහර එවා සමස්ත ලංකා ජයග්‍රහණ වලට පවා පාත්‍ර උනා.. ඔන්න ඔහොම අවුරුද්දක් විතර යනකොට අර මම කුලුඳුලේ අක්කිගෙ අදහස් සොරා ගත් කවි 9යි මගෙ කවියයි සමග ලීව ‘අම්මා’ කවියට ඒ තරඟයෙ තුන් වෙනි තැන ලැබුනා… එත් ඒ වෙනකොට මමම බිහි කරගත් කවි සිතුවිලි අතින් මනසින් මම බොහෝ දුර ගිහින් උන්නා….

එත් ජීවිතෙ අද වෙනකන්ම , මම මගෙන් තවම ප්‍රශ්න කරනව… ‘ඇත්තටම මට කවි ලියන්න ඇහැකිද?’ , ‘ මගේ එහෙම ප්‍රතිභාවක් තියනවද?’ , සමස්ත ලංකා නෙමෙයි මොන ජාතික මට්ටමට ගියත් අදටත් මම අතරමං මේ ප්‍රශ්නයෙදි.. මොකද අද වෙනතුරුවත් මමත් ලෝකයත් දෙකම උපරිමයෙන් එකවර සැහීමට පත් වෙන එක කවියක් ලියන්න මට අද වෙනකනුත් බැරි උනා.

ඒ කෙසේ වෙතත් මගේ අහිංසක කවි 200 එකතුව හෙමි හෙමිහිට බ්ලොග් ගත කරන්න මට හිතුනා… සමහර එවුවා මම ලියනකොට මට අවුරුදු 7යි.. ඉතින් මගේ අත්දැකීම් නැති නොමේරූ කවි හිත එදා හිටියෙ (ඒ වගෙම අදටත් ඉන්නේ) බොහොම ප්‍රාථමික මට්ටමක.. ඉතින් මේක කෙලින්ම දත්ත ගබඩාවක් වගෙයි… අඩු ලුහුඬුකම් බොහොම මේ අහිංසක කවි ලියනකොට මගෙ වයසත් එක්කම පල කරන්න මම හිතුවෙ ඒ උපහාසය චුට්ටක් හරි සමනය වෙන්නයි….

4 comments:

  1. දන්නවද අදටත් මම මම ලියන දේ ගැන අතෘප්තිමත්. හේතුව අත්දැකීමෙන්ම මම මගේ හොඳම කවිය ලියැවෙන්නේ අනාගතයේය කියන නියතය අදහන බව දන්නා නිසා.
    අපි කරන ලියැවුම ගැන එකත්පස්වූ සාධාරණව තීරණයකට එන්න බැහැ සහෝදරී මම හිතන්නේ අපි කාටවත් බෑ..!
    හොඳම දේ අපේ කොටස අපි කරලා එය විමසීම සඳහා ඉදිරිපත් කරන එක විතරයි. "එළ, පට්ට, බෙට්ට වගේ ගොන් කොමෙන්ට් ඉදිරිපත් නොවී නියමිත ලෙසින් අපේ නිර්මාණය ඇගයේ නම් එයම අපිට ඉස්සරහට යන්න හොඳ පිටුවහලක් වේවි.
    ජය!
    ස්තූතියි.!

    ReplyDelete
  2. ලිශාන් කියන දේ ඈත්ත...
    කවිය කියන දේ රස දෑනෙන හෑටි ගෑන නිවෑරදිව විචාරයක් පල කරන්න හෑකියෝ අල්පයි... ලස්සනයි, ෆට්ට , එල වගේ දේවල් වලින් ලොකු කික් එකක් එනව තමයි. ඒත් අපි හෑදෙන්නෙ , අපේ දේවල් හදා ගන්නෙ කොහොමද එතකොට.... මූනු පොතෙන් හමු වුන , ඔය වගේ අවංක විචාර ලියන 4 දෙනෙක් ඉන්නවා . එක්කෙනෙක් අපේ සචී පනාවල අක්කා,ඩෝසන් ප්‍රීති මහත්මයා,ශ්‍යාමන් හේමකොඩි අයියා සහ ඉන්දික ගුණවර්ධන අයියා... මේ වගේ කිහිප දෙනෙකුත් මට හමු වුනා මූනු පොතෙන්. ඔවුන් ලියූ දේවල් වලින් මම මහත් සේ පෝෂණය වුනා.

    සයිබරයේ කවි ලියන, ලියනු හෑකි නොහෑකිදෑයි අත් හදා බලන අති විසාල ජනකායක් ඉන්නවා දෑන් ලිශාන්. ඒත් ඔවුන්ට තිබෙන බරපතලම අඩුව තමයි නිසි විචාර කල හෑකි රසික පිරිසක් නොමෑති කම.

    ReplyDelete
  3. ලිශෝ... උබට මේ කවිය පේනවනම් ,

    කවට කවක් නැත
    මෙහෙම කවක් නැත
    කවෙහි රසක් ඇත?
    කාට මොකෝ වෙත?

    ඔක්කොම හොඳලූ
    හොඳ කවි මගෙලූ..
    කවුරුත් යාලූ
    නැත වරදක් ලූ

    හොඳ ඔහෙ තියපිය
    නරකක් කියපිය
    අද නොව , හෙට මට
    කවියෙක් කියපිය !

    හිහ් හිහ් හී....

    ReplyDelete
  4. ඇත්ත. අනික් අතට ඒ අඩුවේ බරපතල කම තවත් වැඩිවෙනවා.., හිතවත් කමට පිට කසන අයගෙන්.., අවංකව ම මම හිතන්නේ වැරැද්ද වැරැද්ද විදියට දකින නරුම හිත් තියෙන වුන් එක්කලා ජීවත් වෙන එක සැපක් කියලා.., මොකද හිතවහ් කමට පිට කසන්න ගත්තා අසාදන වැඩිවෙනවා..!!
    [ මම හිතන්නේ ම්ම කියපු දේ තේරෙන්න ඇති ;)]

    BTW► මරු කවිය. [ටොක්ක හරි තැනටම ඇනලා තියෙනවා]

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->