Monday, August 29, 2011

[200] උදව්වක් ... ඇත්ත කතාවක් සහ අකරතැබ්බයක් !

තරිණියි ශාන්තයි ආයෙමත් කුලී ගෙවල් හොයා යන්නට වුනා.. ඉරිද පත්තරේ.. ඉන්ටනෙට් එකේ, අඳුනන්නන්ගේ පණිවුඩ... ඔය හැම විදියටම.. ශාන්තට වඩා තරිණිට මේක බරක්.. ලබන මාසෙන් පස්සෙ ?? ආයෙමත් බඩු ඇදිල්ල.. ආයෙමත් අස් කෙරිල්ල.. ශාන්ත හිටියට , බඩු ඉස්සිල්ල , තැබිල්ල ඇරුනම ඉතුරු කොටසට එයා දායක වෙන්නෙ නෑ. ඒ ටික තනියම කරන්න එපැයි. ඊට කලින් වාසයට සුදුසු ගෙයක් හොයන්නත් එපැයි.. !!!! රස්සාව, අලුතෙන්ම විවාපත් වූ ජෝඩුවගෙ පරස්සාව සහ ඉගෙනීම් කටයුතුත් සමගම වාසස්ථානයත් මාරු කරන්න වෙනව කියන්නෙ සොරිම තමයි...


එක් ඉරිදාවක තරිණි පත්තරය දිගෑරගෙන පටන් ගත්තා ආයෙමත් පුරුදු කෙරුවාව! කසාදෙන් පස්සෙ කලේම ගෙවල් හොයන එකයි , ගෙවල් බලන එකයි , තැන් මාරු කරන එකයි. ඉන්න නිවෙසට සමුදෙන්න හේතුව වුනෙ ජල ප්‍රශ්නයක්.  සත්තු මැරිල දවස් ගණන් කුණු වෙන වතුර බොන්න කාටද පුලුවන් ...


පදිංචි නිවෙසට කිලෝමීටර කිහිපයක් යාබදවම මාලබේ ඉසවුවේ ගෙයක් ගැන ඔත්තුවකට තරිණි දුරකථන ඇමතුමක් ගත්තා...


"හෙලෝ, මේ _____ පත්තරෙ දැන්වීමට කතා කරන්නෙ"


"ඔව් කියන්න"


"මම තරිණි.  ඇසිස්ටන්ට් බෑන්ක් මැනේජර් කෙනෙක්, මහත්තය නේවි එකේ. අපිට මේ තැන ගැන පොඩි විස්තර ටිකක් කියන්න පුලුවනිද?"


වියත් ඉන්ගිරිසියෙන් අමතන එක, බැංකුවක පරිපාලන නිලධාරිණියක් වූ තරිණිට අමුතු දෙයක් නොවෙයි.ගේ ගැන ඇහුන විස්තර ටිකත් ගුණදායකයි. කුලියත් පහසුයි. මහපාරටත් ඉතාම සමීපයෙන්. වෙන මොනවද ඕනෙ ඉතින් !




"හොඳයි මිස්ටර් රණසූරිය, මම මහත්තයත් එක්ක එන්නම් ඉක්මනින්ම, එතකල් මෙතැන ගැන අවසන් තීරණයක් නොගෙන ඉන්නවද? "


"ම්ම් මෙහෙමයි තරිණි , අපි ගෙවල් දෙන්නෙ හොඳට හොයල බලලා. ඇත්තෙන්ම මේ අපෙ පරණ හිටිය ගෙදර. ඊට එහායින් තමයි අපෙ අලුත් ගෙදර ඒ ලැන්ඩ් එකෙම තියෙන්නෙ. ඉතින් අපි හුඟල් සිලෙක්ටිව්. ඔයාල කවුද කින්ද මන්ද අපි දන්නෙ නෑනෙ. ටිකක් ඔයාලව රෙකමෙන්ඩ් කරන්න පුලුවන් කවුරු හරි ඉන්නවද?"


ඇත්ත. අද කාලෙ කොහොමද කෙනෙක්ව විස්වාස කරන්නෙ. තරිණිට දැනුනෙ තරහක් නෙවෙයි සතුටක්.


" මිස්ටර් රණසූරිය, අපි ගේ ගන්න ඩිසයිඩ් කලොත් මට පුලුවන් මගෙ බැන්ක් එකෙ කෙලින්ම මැනේජින් ඩිරෙක්ටර්ගෙන්ම ලියුමක්, එහෙම නැතිනම් කෝල් එකක් දෙන්න. මගෙ මහත්තය නේවි එකෙ. එයා ___ ඇමති තුමා එක්ක කෙලින්ම ඩීල් කරන ජොබ් එකක් කරන්නෙ. එයා ලව්වම රෙකමෙන්ඩේශන් එකක් දෙන්න හැකි. ඇත්ත මේ කාලෙ කොහොමද කෙනෙක්ව විස්වාස කරන්නෙ. ඔයා හරි"


තත්පර කීපයක් ගත වුනා.


"නෑ.. නෑ.. මට තේරෙනවා ඔයා කතා කරද්දිම. ගොඩක් වැදගත් කපල් එකක් බව. ඔයාල එන්නකො. ඇවිත් බලන්න. අපිටත් ඕනෙ ඔය වගෙ වැදගත් අය. අපෙ දුවටයි පුතාටයි පරිස්සමෙන් ආශ්‍රය කරන්න පුලුවන් හොඳ යන්ග් දෙන්නෙක්."


"ආ අන්කල්.. අපි එන්නම්"


තරිණි ටෙලිපෝනය තිබ්බෙ සන්‍තෝසෙන්. එදා හවස ශාන්ත ගෙදර එද්දිම , තරිණි ඉල්ලුවා , එන අතරමග තියෙන මේ ඉසව්ව දිහා බලාගෙනම එන්න කියලා... එයා පිට තාප්පෙන් තැන බලල ගෙදර ආවෙත් හරිම සතුටෙන්.


"ශා බබා. එතන නම් හරිම ශෝක්. ඔයාට වැඩට යන්නත් ලේසි. හරිම සේෆ් වගෙ"


දෙන්නටම හිතුනෙ ප්‍රශ්නෙ විසඳුනා කියලයි.


~"""~
දවස් ගත වුනා.. තරිණියි ශාන්තයි අලුත් ගේ පොඩ්ඩට බොහොම සතුටු වුනා.. රණසූරිය ජෝඩුවත් අඳුනගත්තා.. රණසූරිය අන්කල් ආයෙමත් දින කිහිපයකට පස්සෙ තරිණිට කෝල් එකක් ගත්තා.


"ආ තරිණි, දැන් හරි නේද, එහෙනම් කවද්ද ඇග්‍රිමන්ට් සයින් කරන්නෙ? "


"හරි අන්කල්.. අපි එදා කන්ෆර්ම් කලා වගෙම කරමු.ප්‍රශ්නයක් නෑ "


"ඔයාල දෙන්නා තාම ජීවිතේ අලුතෙන් පටන් ගන්න කපල් එකක්නෙ. ආන්ටිත් හරි සතු‍ටුයි ඔයාල එනවට. ඔයාල අවුරුද්දක ඇඩ්වාන්ස් හොයන්න ඕනෙ නෑ. අපි හිතුවා මාස 6ක විතරක් ගන්න. "


තරිණිට දැනුනෙ කිව නොහැකි සතුටක්...


"අනේ අන්කල්.. ගොඩාක් ස්තූතියි. අපි වාහනේටත් සල්ලි හිරකරල උන්නේ.ලොකු උදව්වක් අන්කල්... "


" ආ ඒක මොකක්ද... ඔයාල හැදෙන ලමයිනේ...තරිණි ඔයා කොහෙද ඉස්කෝලෙ ගියෙ? කැම්පස් ගියාද? ශා ඔයා හරිම ෆෝවඩ් කෙල්ලෙක්නේ තරිණි.. මගෙ වයිෆුත් හරියට ඔයාට පැහැදිලා.. "


"මම කැලණියෙ කැම්පස් අන්කල්. ගම ගාල්ලෙ. හෙ හෙ. මම බැංකු රස්සා කලාට __සර්ගෙ ගෲප් එකෙ ඩාන්සර් කෙනෙක් අන්කල්. ‍ෆ්‍රීලාන්ස් සින්ගින් ඇන්ඩ් චෙලෝ ප්ලේ කරන්න ටීච් කරනවා. මගෙ ක්ලාසසුත් කරන්න අන්කල්ලගෙන් පර්මිශන් ගන්නයි උන්නේ. ආ අන්කල් ශාන්තත් ඔහොම හිමිජ්ජා වගෙ උන්නාට එයා පී එච් ඩි එකකට රෙජිස්ටර් වෙලා ඉන්නේ.. හේ හේ.. "


" හානේ.. හැබෑට!!! ඒත් මට හිතුනා... දැක්කම... .....  ශා ඔයා මාරයිනේ ...මාර කෙල්ලෙක්නේ ඔයා දෙයියනේ.. බැංකු කාරියෙක්ට කොහෙන්ද ඔය වගෙ වෙලාවක් තියෙන්නෙ ආ... "


අන්කල් ගෙත් තරිණිත් අතර ඇති වුනේ නිහැඬියාවක්... නිහැඬියාව තරිණිට දෙයාකාරයකින් ඇල්ලුවෙ නෑ. එකක් බැංකු වෙලාවෙ අනවශ්‍ය දිග කෝල් ගන්න එක ප්‍රශ්නයක්. අනික වල්පල් කියවන්න වෙලාව නෙමෙයි ඒක. අනික අන්කල් සමග පළමු කෝල් එක අරන් සම්බන්ධ වුනේ තරිණි උනාට , ඉන් එහා ගනුදෙනු හැකිතාක් ශාන්ත සමගම කෙරෙන්න අවස්ථාව දෙන  එක යහපත් කියා තරිණිට නිකමට සිතුන නිසා. තරිණි ඉක්මනින් හඬ අවධි කලා.


" අන්කල් ... මාව හම්බ වෙන්න කස්ටමර්ස්ලා කීප දෙනෙක් බලාගෙන ඉන්නේ. ටිකක් බිසිනේ. දන්නවනේ බැංකු. අන්කල් ශාන්තට කෝල් කරන්න, හදිසි ඕනෙ වෙලාවක, දන්නෙ නැද්ද, මේවායෙ කෝල් ආන්සර් කරන එකත් අමාරුයි බිසි අවර්ස් වල, මෙන්න අන්කල් නම්බර් එක ශාන්තගෙ... 077........ "
තරිණි එක හුස්මට කියාගෙන ගියා...


"ආනේ සොරි තරිණි... හරි හරි.. මන් කෝල් කරන්නම්. හරි එහෙනම් අපි හම්බ වෙමු... ඔයා ඕනෙ ක්ලාස් එකක් කරන්න තරිණි ගෙදර..අපෙන් ප්‍රශ්නයක් නෑ....හරි එහෙනම් ...බායි"


"ඕකේ අන්කල්... තැන්ක්ස් වෙරි මච්..."
තරිණි නොසන්සුන් හැඟීමෙන් ඒත් ප්‍රසන්නව කතාව නිමා කලා.  ඒත් හිතේ පොඩි අප්‍රසාදෙකුත් දැනෙන්නට වුනේ කටපුරා 'අන්කල්' කියා ඒ මහලු මිනිසාට අමතද්දීත් ඔහු එක වතාවක්වත් 'දුව' කියා නොකියූ නිසා වෙන්න ඇති.




~"""~ 


කාලය ගත වුනා. තරිණිලා රණසූරිය අන්කල්ලගෙ ගෙදර තැන්පත් වුනා. ඔය අල්ල පනල්ලෙම ශාන්ත තීරණය කලා කාරෙක විකුණන්න. දැන් ඉතින් මාස කීපෙකට තරිණිලාට කාරෙකක් නෑ. රණසූරිය අන්කල් එතෙන්දිත් පිහිටට ආවා. අන්කල්ගේ ගෙදර වාහන තුනක් තිබුනා. එකක් අති සුඛෝපභෝගී එකක්. අනෙක් දෙකම පැරණි කොරොල්ලා වැගන් මොඩ්ල් දෙකක්. එකක් ආන්ටිගෙ වාහනේ. අනික තියන් ඉන්නෙ ලොකු පුතාට දෙන්න. ලොක්කා ඉස්කෝලෙ 13 වසරේ උන්නේ.


"තරිණි, ශාන්තට කියන්න හදිසියක් වුනොත් හෙම කුලී වාහන හොයන්න නම් ඕනෙ නෑ. මේ එකක යන්න කියලා."


"ආනේ අන්කල්, තැන්ක්ස් සෝ මච් ..."
තරිණි සහ ශාන්ත කිව්වේ හදවතින්ම පින් දෙමින්.


තරිණිටත් ශාන්තටත් ශාන්ත කාලයක්ම උදා වුනා. රණසූරිය පවුල ඔවුන් දෙන්නට ලෙන්ගතු වුනේ දෙමාපියන් වගේ.


තරිණිත් ශාන්තත් උදේ නැගිට්ටාම තේ හදන් පැයක් විතර එලියෙ පඩියේ ඉඳගෙන කතා කර කර තේ බොනවා.. රණසූරිය අන්කල් , තරිණිගෙ රෝස පාට නයිටිය උන්ඩි වුන කකුල් දෙක දිහාබලා ගෙන ඉරිසියාවෙන්දෝ මන්දා දවසක් උදේක මෙහෙම කියනවා,


"අනේ අප්පා, මුන් දෙන්නා අවුරුදු 16-17 ලවර්ස්ලා දෙන්නෙක් වගෙනෙ ලව් කරන්නේ."
කියලා... ඉක්මනින් කකුල් දිග හැර නයිටියෙන් පතුල දක්වාම වසාගත් තරිණි නුරුස්නා බැල්ම සමග අහක බලා ගනිද්දී ශාන්ත ශාන්ත ලෙසම සිනා වුනා...


තරිණි දෙන්නගේම කෝප්ප දෙකත් අරන් නැගිට්ටෙ නොසන්සුන් සිතෙන්...


'ශාන්ත තරිණි කොහොමද දැන් වැඩට යන්නේ??'


අන්කල් බොහෝම දයාවෙන් විමසද්දී ශාන්ත පිලිතුරු දුන්නා.


"බස් එකේ තමා අන්කල්. තාම හොඳ වාහනයක් සෙට් වුනෙ නෑනේ.. "


"ම්ම්ම්... අපෙ අනික් කාරෙක ගැරිජ් දාලා. ඒක හැදුනම ඔයාල අලුත් වාහනයක් ගන්නකල් ඒක පාවිච්චි කරන්න. ආන්ටි නම් කලින්ම යනවනේ... ලොකු දෙන්න එක්කගෙන. මම යන්නෙත් තරිණි යන වෙලාවටනෙ. එයාට පුලුවන් මා එක්ක යන්න"


රණසූරිය අන්කල්ගෙ හඬ තුල තරිණි මොකක්දෝ අකැමති සඥාවක් දැක්කා.. ඒත් ශාන්තට එහෙම නොහිතුනු හැඩයි...


"ආනේ තෑන්ක්ස් අන්කල්...__"


තරිණි තුවායත් කරේ දාගෙන කඩිමුඩියේ එලියට ආවේ නර්තනයෙන්ම උපන් රඟපැමේ උපරිම හැකියාවම දාලා, අපූරු අහිංසක මූණක් හදාගෙන.


'අනේ අන්කල්. ශාන්තගෙන් අහන්න්කෝ මට ලෑස්ති වෙන්න යන වෙලාව ..හී හී අන්කල්ට අනිවාර්යෙන් පරක්කු වෙයි. මන් එක වෙලාවකට ලැස්ති වෙන්නෙ නෑ. අන්කල් යන්න'
දත්සෙට් එක එලියෙ දාගෙන හිනා වෙමින්, ඇතුලෙන් තරහින් පුපුරමින් තරිණි කිව්වේ ශාන්තට තේරේවා කියා පතමින්..


'ඉතින් බබා දැන් දුවන්නකෝ.. ඉක්මනට ලැස්ති වෙන්නකෝ... හා හා... අන්කල් එක්ක යන්න. බස් එකෙ යන්නෙ මොකටද'
කියමින් ශාන්ත කියනවිට තරිණිට ආව තරහ නම් කියල වැඩක් නෑ.


"අනේ මෙහෙමත් පිස්සෙක්.. තමුන්ගෙ ගෑනිව යවන්නෙ අනුන්ගෙ වාහන වල. අපිට වාහන නැතිනම් බස් එකෙ යනවනෙ. මොටද අනුන්ගෙවාහන. ඒ මදිවට අහල පහල ඉන්නෙ මේ ගොල්ලො අඳුනන අය. ඒ මිනිස්සු මොනව හිතාවිද. හනේ මගෙ මිනිහට මොලේ නැද්ද..."


මේ වගෙ දේවල් වල එච්චර සාම්ප්‍රදායික පැත්ත නොබලන තරිණිම මෙච්චර සුලු දේකට මෙතරම්ම අකමැති වෙන්නෙ, ඒ පුද්ගලයාට තිබෙන අකැමැත්ත නිසා බව ඈටම වැටහුනා...


දැන් ඉතින් මක් කරන්නද? ලෑස්ති වෙලා එලියට බහිද්දිත් වෙනද වගෙම ශාන්තගෙ නලල සිඹලා තරිණි එලියට බැස්සේ හරිම අකැමැත්තෙන්...


"එන්න තරිණි"
බොහෝම ගෞරවයෙන් ඉදිරිපස දොර ඇරලා තරිණිව නග්ග ගත් රණසූරිය මහත්තයා පාරට ඉගිලෙද්දී තරිණි අසරණව වීදුරුවෙන් හිස එලියට දමා ශාන්තට අත වැනුවා...


"ඉතින් තරිණි... කොහොමද?"


අන්කල් ඉතාමත් ලෙන්ගතු බැල්මක් පාමින් වාහනය පදවමින්ම කතාවක් පටන් ගත්තා.. කන්‍තෝරු ෆයිල් මිටිය මත දෑතත් බැඳගෙන පිලිමයක් මෙන් නිසලව, දොරට ඇලීගෙනම වාඩිවී හිටි තරිනි දැඩි බැල්මෙන් මඳ සිනා වුනා...


"ඉතින් කියන්නකො ලමයො , කොහොමද ඔය දෙන්නා මීට් වුනේ... "


තරිණි කාරුණික බැල්මෙන් ශාන්තගෙත් තමන්ගෙත් ආදර අන්දරේ අතීතයට ගියා.. නොරුස්නා හැඟුම් පහවෙන්නට වුනා.. කැම්පස් යන කාලෙදිම කැම්පස් එකේ ආරාධිත දේශනයක් වෙනුවෙන් සංවිධාන බර කරටගත් තරිණි සම්බන්ධීකරණය කරමින් නාවුක සෙන්පතියාණන්ගේ දෙවන සහයකයා වූ ශාන්ත සමග ලංවූ පෙම්පුවත ඉතා සැකෙවින් කියන අතරතුර අන්කල් අනපේක්ෂිත අතුරු ප්‍රශ්නයක් නැගුවා...


"ඔයාල බැඳල කොච්චර කල්ද?"


ආයෙමත් නොසන්සුන් වෙන හිත සන්සුන් කරමින් තරිණි උත්තර දුන්නා


"මාස 6 යි අන්කල්"


තරිණි වටපිට බැලුවා.. දෙවියනේ... අන්කල් බැංකුව ගාවටම මාව ගෙනත් දාලා... !

"අනේ අන්කල් සොරි, ඔයා මේ රූට් එකෙ නෙමෙයි නේද යන්නෙ ? වෙරි සොරි, මටත් අමතක වුනා.. අන්කල් අනේ මන් මෙතනින් බහින්නම්. අන්කල්ටත් පරක්කුයි. මම හිතුවෙ අන්කල් මාව හන්දියෙන් බස්සාවි කියලා. කරදර වෙන්න එපා. මන් මෙතනින් බහින්නම්"


අන්කල් කෙසේ වෙතත් තරිණි කලබල වුනා. බැංකුව ඉදිරි පිට අනුන්ගේ වාහනේකින් බහින්න තරිණිගෙ කොහොමත් කැමැත්තක් නෑ. ඈ ඒ බැංකුවෙ විධායක නිලධාරිණියක්.


"අනේ තරිණි , අවුලක් නෑ. මන් අද ටිකක් කලින් ආවෙ. මට මෙතනින් ශෝට් කට් එකක් තියනවා කඩුවෙලට. ඒක නෙමෙයි, ඔයාවගෙ ලස්සන කෙල්ලෙක්ට ශාන්ත වගෙ ගොඩාක් වැඩිමල් කෙනෙක් කොහොමද අප්පා සෙට් වුනේ.. අපී තරුණ කාලෙ මන් ඔය වගෙ සීන් වලට කියන්නෙ තැඹිලි ගෙඩි වල වහපු නාකි කපුටො කියලා"


"උඹ තමයි නාකි කපුටා"
තරිණි හිතෙන් එහෙම කියමින් දත්මිටි කෑවා...


"අනේ අන්කල් මොනවද මේ කියන්නේ. ශාන්ත මට හරිම ආදරෙයි. එයා පොඩි බබෙක් වගේ. දැක්කනේ අපි බිත්ති පුරා ගහල තියන අපේ ලව් ලෙටර්ස්..කාඩ්ස්.අපි දෙන්නා හරී ආදරෙන් ඉන්නේ"


තරිණි බැංකුවට ලංවෙන වාහනේ දැක නොසන්සුන් වෙමින්ම කියලා දැම්මා...


"අන්කල් මාව ඔතනින් බස්සවන්න. ප්ලීස්"


"හරි හරි තරිණි...ඔන්න මෙතනින් ඩ්‍රොප් කරන්නම්... හෙට උදේ ලැස්ති වෙලා ඉන්න එහෙනම් 7ට "
කියමින්ම අන්කල් තිරිංගය තද කලා. බහින්න සූදානම් වුනු තරිනිගෙ අත උඩින් අත තිබ්බ රණසූරිය අන්කල්


"ඕනෙ දෙයක් තියනවනම් මට කියන්න ... අපි ඉන්නව උදව් කරන්න හොඳේ" කියමින් ගැඹුරු බැල්මක් හෙලුවා..


"තැන්ක්ස් අන්කල්"

~'''~

වේගයෙන් අත ඇදගත් තරිණි වාහනෙන් බැස්සෙ අමනාපෙන්. ඒත් මනුස්සකමට සිනහ වූ ඈ කඩිමුඩියෙන් බැංකුවට ගොඩ වුනා.. තරිණි ඒ සිද්දිය හිතෙන් අමතක කරලා දාන්න හිතුවා. ඇයටම වරෙක හිතුනා තමන් මේ බොරුවට බය වෙනවා කියලා...


"මේ මනුස්සයා මගෙ තාත්තගෙ වයසෙ කෙනෙක්. ඇත්තටම මනුස්ස කමටද කවුද දන්නේ"
කියා හිත හදාගත් තරිණි ශාන්තට කෝල් එකක් ගත්තා.


"හෙලෝ බබා. ඔයා ඔ‍ෆිස් ආවද?"


"ඔව් ශාන්ත. අනෙ අර මනුස්සයා මගෙ බ්‍රාන්ච් එක ගාවටම ඩ්‍රොප් කලා. අයියෝ ලැජ්ජාවේ බැ අනේ... ආයෙ නම් මෙතෙන්ට දාන්න එපා කියන්න ශාන්ත. බබා. මම ස්කූල් වැන් එකක් හරි ඔ‍ෆිස් වෑන් එකක් හරි සෙට් කරගන්න බලන්නද?"


තරිණි එයාගෙ අකැමැත්ත නොකියා අඟවමින් ශාන්තගෙන් ඇහැව්වේ දැන්වත් ශාන්තට තේරේවා මගෙ හිත කියා පතමින්...


"ම්ම්ම්.. අපි බලමු බබා. එතකල් අන්කල් එක්ක යන්නකෝ.. ඇයි ප්‍රශ්නයක්ද බබා?"


"නෑ නෑ ශාන්ත. මොනව උනත් අනුන්ගෙ වාහනෙක හැමදාම නැගල යන එක හොඳ මදිනෙ.. නේද.."


එහෙම කියමින් තරිණි සංවාදෙ අවසන් කලා... ඒ විතරක් නොවෙයි, කෙනෙක් තරිණිගෙ අත ඇල්ලුවා කීමත් ශාන්තට යක්ශාවේශ වෙන්න ප්‍රමාණවත් බව තරිණි දැන හිටියා.. ශාන්තගෙ ආදරය සහ හදිසි කෝපය කොතරම් බලවත්ද දන්නා තරිණිට දැනුනෙ අනාගතය ගැන කිව නොහැකි බියක්...


වතාවක, තමන්ට අසැබි විහිලුවක් කල විශ්ව විද්‍යාල සිසුවෙකුට පල කළ ශාන්තගේ හදිසි කෝපයේ ප්‍රතිපල වශයෙන් සිසුවාට නවතින්නට වූයේ රෝහලකයි...ඔහු බලවත් නාවික නිලධාරියකු වූ නිසාත් එහි වරද අනෙකා අත වූ නිසාත් සිද්ධිය එතරම් දුර ගියේ නැහැ. කෙසේ වෙතත් ඒ සිද්ධියෙන් පසුව තරිණි බොහෝ ප්‍රවේසම් වූවා. නොමනා මිනිසුන්ගෙන් අතවර විඳ ශාන්තට කියා කෝප ගන්වනවාට වඩා තරිණි කළේ අනතුරෙන් ඈත් වෙන එක.


මේ කාරණාව නිසාම කාලයාට ඉඩදී ඉවසන්නට තරිණි තීරණය කලා. 'මම බොරුවට බය වෙලාද කොහෙද' තරිණි හිත සැහැල්ලු කර ගත්තා... 'කෝකටත් අතේ දුරෙන් උන්නම හරි'


පසුවදාත් උදාවුනා.


"තරිණී...ඉක්මන් කරන්න... අන්කල් ආවා.... ඉක්මනට එන්න බබා. අන්කල්ට පරක්කු වෙනවා... "


තරිණි ඉහල මාලයෙ ඉඳන් ආවෙ අකැමැත්තෙන්. ඒත් මොනව කරන්නද.. අන්තිමට ඉන්න ගෙයිනුත් දොට්ට දාවි... ඒත් මෙහෙම බල කරන්නෙ ඇයි ? අසරණ හැඟීමෙන් තරිණි එලියට ආවා...


"මොකෝ තරිණි උදේම මැලවිලා..?"


රණසූරිය අන්කල් ජැන්ඩි පහට ඇඳන් ඉන්න තරුණ පහේ ශර්ට් එක දැක්කම තරිණිට යටි හිතෙන් හිනා යන්නත් ආවා...


නාකි මනමාලයා !
තරිණි හිතුවෙ එහෙම... ශාන්ත එදත් ශාන්තවම බලා උන්නා...


"ඉතින් තරිණි... ඊයෙ පරක්කු උනෙ නෑ නේද? "


අන්කල් කතාවට මුල පිරුවා..


"නෑ අන්කල්...  අනේ අන්කල් අද ඔ‍ෆිස් එක ගාවට එන්න ඕනෙ නෑ... මාව මගින් බස්සන්න... අන්කල් කරදර වෙන්න එපා... "
තරිණි ඒ ටික කිව්වේ, අන්කල්ගේ ලිෆ්ට් එක තමුන්ට කරදරයක් බව නොකියා කියමින්ම....


"අයියෝ ළමයො, ඕක මොකක්ද... මේ ඒක නෙමෙයි.. ශාන්ත නයිට් ඩියුටි ගියාම ඔයාට ඔය ගෙයි අස්සෙ ඉන්න බය නැද්ද ආ? ''


අපි නොදන්න චෙස්... !
තරිණිට ගණදෙවි නුවන ආවා....


"තනියම? පිස්සුද අන්කල්... මම තනියම නෙමෙයි ඉන්නෙ. මගෙ කසින් සිස්ටර් කෙනෙක් එක්ක. ඇයි අන්කල් දැක්කෙ නැද්ද එයා එනවා.. එයා ඉන්නෙ සිලෝන් ශිපින් එකෙ..."
තරිණි උදේම බේගලයක් ඇදබෑවා...


"ආ එහෙමද? ඔයා මොකක් හරි ප්‍රශ්නයක් වුනොත් මට කෝල් එකක් දෙන්නකො"
එසේ කියමින්ම ගියරය මාරු කරමින් ඔහු වෙන කතාවකට අවතීර්ණ වුනා..


"තරිණිට කැම්පස් එකෙ කොල්ලෙක් හිටියෙ නැද්ද? ඔයා හරි මල්ටි ටැල්න්ටඩ් කැ‍රැක්ටර් එකක්නේ.. ශා... මට නම් හරි ආඩම්බරයි ඔයා ගැන.. "


"නෑ අන්කල්..."
තරිණි මඳ සිනාවෙන් බිම බලා ගත්තා...


"ඒ වුනාට කොල්ලො දාස් ගානක් පස්සෙන් නම් එන්න ඇති නේද? තරිණි මේ පාර ට්‍රැ‍ෆික්. මම අතුරුගිරිය පාරට දාල ගියාට කමක් නෑනෙ..."

"කමක් නෑ අන්කල්. ඒත් අන්කල් ඔයා මේ ඕෆ් රූට් මාව ඩ්‍රොප් කරන්න එන්න ඕනෙ නෑ.."


තරිණි දැඩි එහෙත් කාරුණික බැල්මෙන් කියාගෙන ගියා..


"අයියෝ ඕක මොකක්ද ලමයො..."


එසේ කියමින් අන්කල් ඒ වැහැරුනු අත තරිණිගෙ අත උඩින් තිබ්බා,තිබ්බා මෙන්ම අත තමුන්ගේ බාහුව දෙසට ඉහලට ඇදී එන්නටත් වැඩි වෙලාවක් ගත වූයේ නැහැ..


තරිණිගෙ කන් දෙකින් ගිනි පිටවෙන්නට වුනා.. අසරණකමත් , බියත් , කෝපයත් , දුකත් මිශ්‍ර වූ කලබලයකින් තරිණි ඈත් වෙන්නට උත්සහ කලා..


අන්කල්... මේ...


කිසිත් කියා ගත නොහැකිව තරිණි අසරණ කමින් අත ඉවතට ගන්න උත්සහ කළා.

ගොනා හැරුනෙ කෙහෙල් පැලේට.. මම හිතුව හරි..
තරිණිට දැනෙන්නට වුනේ නොකිව හැකි කෝපයක්.. ආවේගයක්..
දෑත පුපුරු ගසන අයුරෙන් තරිණිට හිතුනෙ මහ පාර කියල බලන්නෙම නැතුව කණේ පාරක් දෙන්න...


"තරිණි.. ඔයා වගෙ ලස්සන කෙල්ලෙක්... __"


සිය අත ඩැහැගන්නට මාන බලන අත පමණක් නොවෙයි,  ශරීරයටම මාන බලන ඇස් දෙකෙනුත් මෑත් වෙමින් ,  මේ ඇඹලයාගේ වමත විතරක් නෙමෙයි ,  අනෙක් අතත් සුක්කානමෙන් අතැරිලා යන්න පහරක් දෙන්න ඕනෙ වුනත් ,තරිණිට දෙපාරක් සිතන්නට සිදු වුනා... මිනිහා මට මීට වඩා කරදරයක් කළොත් !!! තරිණි බියෙන් සලිත වුනා.. ශාන්තගේ කෝප සහගත මුහුණ, කුලී ගෙවල්, මේ හැම දෙයක්ම ඈට මැවී පෙනුනා එක මොහොතක් තුලදී.. හදවත නොව දෙවියන් දුන් මොළය පාවිච්චි කළ යුතු අවස්ථාවක් එලඹ ඇති බව ඈට වැටහුනා.තරිණි ආයාසයෙන් කෝපය මැඩ ගත්තා...


"අන්කල්... මේ ඉස්සරහින් මාව බස්සන්න..."
ඔහුගේ මුහුන නොබලා තරිණි තිර හඬින් කිව්වා...


'ඇයි තරිණි..ඉන්න මම ඔ‍ෆිස් එකට දාන්නම්.. බහින්න එපා ලමයො'


තරිණි ගමන් කරන වාහනේ දොර ඇරියෙ ඕනෙ එකක් වෙන්න කියල හිතාගෙන. මෙතන ආව අතපත ගාන්න ! හහ් !!!


"අන්කල් මාව බස්සන්න! "
එවර තදින් ඒ වචන කියවෙද්දි ඊට මොහොතකට පෙර ඉහල ආව සිතුවිලි වල එතී තිබුන,  ගෙවල් සෙවීම , ශාන්තගේ අති දරුණු කෝපය වගෙ සාධක මොහොතකට යටපත් වුනා...


"ඉන්න ඉන්න.. ළමයො..මොකද මේ.. "


තවමත් හුරතල් වෙන්නට හදන මහලු සල්ලාලයාගෙන් මිදී තරිනි ගමන් කරන් වාහනයෙන්ම එලියට අඩිය තැබුවා...


හෙමිහිට නතර වෙන වාහනය මහ මග රිය පෙල මැදදීම, හරි හැටි නවතින්නටත් පළමුවම සිය ෆයිල් මිටියත් බැගයත් තරකොටගෙන , පාර මැදම එලියට බට තරිණි බසයකට අත දිගු කලේත් අසිහියෙන්... ගැහැණියක් මෙතරම් අසරණ වෙනවාද?


නැගෙන කඳුලු සෙමෙන් වාවාගත් ඈ බැංකුවට ගොඩ වූයේ ‍තෝන්තුවාවෙන්...


කියාගන්නට නොහැකි අසරණකමකින් හිත පෙලද්දි ඇගේ ජංගම දුරකථනයෙන් කරකැවුනේ ශාන්තගේ නොම්මරය .ඒත් අංකය යලිත් විසන්ධි කල ඈ තවත් නොම්මරයක් කරකැවුවා..


~``~


'දිල් අක්කා....'


උදේ පාන්දරම තරිණිගෙන් කෝල් එකක්. නෝ ජොබ් කොම්පෑනියෙ නිසා මම එවෙලෙත් ඈඳේ...


" ආ තරිණි නගෝ.. කෝමද.. හෆ්ෆා.. මොකො මේ උදේම කෙල්ලගෙන් කෝල් එකක් මට .. හෑ?? "


"අක්කේ.. "


තරිණිගේ ස්වරයේ අසරණකමින්ම මට කුමක්දෝ දෙයක් වැරදී ඇතැයි සිතුනා..


"ඇයි නගෝ... මොකද ප්‍රශ්නේ... ශාන්තවත්... එක්ක ප්‍රශ්නයක්ද??? ''


මම බොහෝ අපහසුවෙන් වචන කීපයක් ගලපගත්තා...


"අනේ නෑ අක්කේ. අක්ක දන්නවනේ ශාන්තගෙ ප්‍රශ්නයක් නෑ.. කුලි ගෙදරයි අවුල..."


"ඇයි නගෝ..අලුත් ප්ලේස් එකක් නේද ඔය ?.මට කියන්නකො.. අඬන්න එපා.."


තරිණිගෙ කතාව අහගෙන උන්නු මට සුසුමක් හෙලුවේ මේකට විසඳුමක් කියල කියන්න පුලුවන් මොකක්ද කියා ගන්න බැරුව...


අන්තිමේ මම හිතේ වද දුන්නු ප්‍රශ්නෙම ඇහැව්වා..


"නගා දැන් මේක ශාන්තට කියනවද?"


"අනේ අක්කේ... "


තරිණිට ආයෙත් ඇඬෙන්න ලඟයි..


"නෑ ..අක්කේ.. ශාන්තට මේක කිව්වොත් අර මිනිහගෙ අත කපනවා. ශුවර්. අක්ක දන්නවනෙ ශාන්ත මට කොච්චර ආදරේද කියලා.. වෙන මිනිහෙක් ඔහොම කලා කිව්වොත් හෙම මරාවි ඒ මිනිහව. අක්කට මතකනේ කෑම්පස් ප්‍රශ්නෙ?? ශාන්තට මාව විස්වාසයි... ඒත් මේක ලොකු ප්‍රශ්නයක්නෙ අක්කේ. බදු ගිවිසුම් ලියල සති තුනක් ගියෙ නෑ. ආයෙ ගෙවල් ප්‍රශ්න. ගෙවල් හොයන්න ලේසි නෑ.. බඩු අදින්න... දුක් විඳින්න... හපෝ..බලන්නකො අක්කෙ.මේ නාකි සල්ලාල ප්‍රශ්න... ශාන්තට කියන්න බෑ අක්කෙ... ඒත් මේකට මොකක් හරි කරන්නම ඕනෙ... "


මම මොහොතක් කල්පනා කලා.. අනේ දෙවියනේ තාත්තගෙ වයසෙ මිනිස්සු ! ගෑටවර ඉලන්දාරි ඉන්න තාත්තල නේද මේ ???


හ්ම්ම් ඔව් නන්ගි.. ප්‍රශ්නෙ මට තේරෙනවා... ඒත් .. අනේ මන්දා.. පරිස්සමෙන් කරන දෙයක්... බයේ බැහැ
... මේ මිනිහ මොකාට ද එන්නෙ කියල ආයෙ අහන්නත් දෙයක් නෑනෙ... නේද? තනියම නම් කීයටවත් ගෙයි ඉන්න එපා.. ඇතුලෙන් ලොක් තියනවද ගෙයි දොරවල? නැතිනම් හයි කරව ගන්න .. ඉක්මනට ට්‍රාන්ස්පෝට් එකක් හොයා ගන්න... ශාන්තට කියන්න බැංකුවෙ ඈයො විහිලු කලා කියලා  ලිෆ්ට් ගන්න බෑ කියලා... සල්ලි ගියත් කමක් නෑ, ත්‍රිවිල් එකක්වත් ටික දවසකට සෙට් කරගන්න. එක්කො ශාන්තව කලින් ලැස්ති කරවගෙන දෙන්නත් එක්කම යන්න.. එතකොට ලිෆ්ට් දුන්නත් අවුලක් නෑ.. තරහ කරගන්න එපා. ඒත් තනියම මුලිච්චි නොවී ඉන්න... ශාන්තට කියන්නෙ කොහොමද නගෝ මේක??


ඔයාලටවත් තේරෙනවද මේකට මීට එහා මොකද කරන්නෙ කියලා... හැබැටම ?????????

~''''~


නම් සහ ගම් මනංකල්පිතයි.... 


ප.ලි.


මේ මගෙ 200 වෙනි ලියමන....  සංසාරේ අපි නිම්වළල්ල පුළුල් වූයේ ඔබ- අන් කිසිවෙක් නොවෙයි,  මේ මනුස්සකම 50000 වතාවකටත් වඩා යමින් එමින් බෙදා ගත් ඔබ නිසා.... මා අදටත් මේ බ්ලොග් අඩවිය කිනම් වර්ගයේ එකක්දෑයි දන්නේ නෑ. එහි කවි නොමඳව ලියවුනා. ඉස්කෝල ජීවිතේ කතා ලියවුනා.... පොත් විත්ති, ගී විත්ති , චිත්‍රපට ගැන ලියවුනා.. සමන්මලී අක්කගේ විත්ති ලියවුනා... රස්තියාදු ගමන් ගැන ලියවුනා.. ඉතින් මේ ලියමන හොද්දක් වගේ තමයි.... ඒත් මේ හැම තැනකම මට තවරන්න උවමනා වූයේ එක දෙයයි.... මිනිසුන් අතින් ගිලිහුනා සේ පෙනෙන , ඒත් ගිලිහී නොයන මනුස්සකමයි.... අර මට කවි ලියන්න බෑ කියුව මිත්‍රයටත් මට කියන්න තියෙන්නේ 'ටෙස්ටින්ග් 200 ! ටෙස්ටින්ග් 200!' කියලාම තමයි. :-)


වසර එකහමාරක්  (2010 ජනවාරි සිට 2011 අගෝස්තුව තෙක්) මේ මිනිස්කම බෙදාහදා ගනිමින් 50000 වතාවකට වඩා ආගිය , 300 කට ආසන්න මිතුරුදම් තහවුරු කළ, ලිපි දෙසියයකට වඩා කියවා අදහස් බෙදාගත් , ඔබට ස්තූතියි.... 200 වන දිගෑරුම සමග මගේ අන්තිම කැමැත්ත ලියූ විජට්ටුවකුත් දකුණු පැත්තෙ එල්ලන්න අමතක කළෙ නෑ..


54 comments:

  1. හප්පා .... කියන්න දෙයක් නැත.මිනිස්සු කොයිබටද යන්නේ ?

    ReplyDelete
  2. චික් අර නාකි මොටාගේ දත් ටික ගලවන්න විදිහක් නැති හැටි. ඔහොම තමයි ගැහැණු අසරණ වෙන්නේ . තමන්ගේ ප්‍රශ්නයක් බය නැතුව ස්වාමියට කියන්න බැරි කම තරම් අන්ත අසරණ කමක් වෙන නැහැ . මොන දේ වුනත් වාහනේට නම් නගින්න එපයි කියන්න . බැංකුවේ මිනිස්සු කතා හදනවා වගේ බොරුවක් කියල හරි ඉක්මනට van එකක් හොයාගන්න හරි කියන්න .

    200 ට සුබ පැතුම්

    ReplyDelete
  3. Come,live with the doors of the senses guarded watchfully mind ful,carefully mindful with the ways of the mind well watched,possessed of a mind that is awake and observing.
    may you have good health long life and attain supreme bliss of NIBBANA

    ReplyDelete
  4. එයා කරපු ලොකුම වැරැද්ද ඕනවට වඩා අර පවුලත් එක්ක සම්බන්ද තියාගත්ත එක.අනික අර මිනිහ එක්ක වාහනේ යන්න තීරණය කරපු එක.දැන් ඕවා කියල වැඩක් නෑ.

    තනියම ගෙදර ඉන්න හිතන්නවත් එපා කියන්න,වැන් එකක යන්න තියනව නම් හොදා හයර් එකකට හරි.කොහොමත් මහත්තයට හිමීට විස්තරේ කියන එක හොදා කියල මට නම් හිතෙන්නෙ,වැඩ දුර දිග යන්න කලින්.

    මට ඕනේ අර නාකි මනමාලයට හොම්බට එකක් දෙන්න.වනචරය.

    දිගටම ලියන්න ජය!!!

    ReplyDelete
  5. /...මේ හැම තැනකම මට තවරන්න උවමනා වූයේ එක දෙයයි.... මිනිසුන් අතින් ගිලිහුනා සේ පෙනෙන , ඒත් ගිලිහී නොයන මනුස්සකමයි.../

    ඒ කාරිය බොහෝ අගේය. දිගින් දිගටම ඒ සමාජමය කර්තව්‍යය වඩාත් හරවත්ව හා සාර්ථකව ඉටුකරන්න අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ඔබට ලැබේවා!

    ගල්මල් අඩවියෙන් සුබ පැතුම්!

    ReplyDelete
  6. 200ට සුභ පැතුම්...

    ගෑනියෙක්ගෙ ප්‍රස්න කියන්න බැරි මිනිහෙකුත්, මිනිහට ප්‍රස්න කියන්න බෙරි ගැනියෙකුත් එකට ජීවත් වෙන්නෙ කොහොමද..

    ReplyDelete
  7. නාකි විසේ ඇති අන්කල් කාරයෙක් දෙන්න තිවුනේ මුණ අනිත් පැත්ත යන්න පාරක්..

    දැන් ඉතින් ටික කාලෙකට අන්කල්ව මඟඇරලා තමන්ටම කියලා ගෙයක් දොරක් හදා ගන්න තමයි තියෙන්නේ... බිත්ති හතර බැඳලා පදිංචි උනත් තමන්ගේ තැනක්නේ..

    අක්කණ්ඩිගේ 200 වෙනි ලිපියට සහා මෙතේ ආපු ගමනටත් ඉදිරියට යන්න තියෙන ගමනටත් මගේ හදපිරි සුභපැතුම්!!

    ReplyDelete
  8. මගෙත් උණුසුම් සුභපැතුම් සහෝදරී. ඔයා ලියන ඒවා හරිම ලස්සනයි. කියවගෙන යන්න ආසයි. දිගටම මේ විදිහට බ්ලොග් එක කරගෙන යන්න.

    මොකද එකපාරට අන්තිම කැමැත්තක් ලිව්වෙ?

    ReplyDelete
  9. මුලින් ම සුභ පැතුම් 200ට..,
    දෙවෙනුව මේ කතාවේ හරය ඇත්තක් නම් අරූට දෙකක් අනින්න තිබ්බා.., මොකද ඉන්න බුවාගේ කුලී ගේක උනත් ඉනේ නිකම් නෙවී නේ.., සල්ලී දීලා නේ..! ඒක නිසා..!
    ඔහොම නාකි ඔටුවෙක් එක ගමක ඉඳලා කෙල්ලෙක්ට බැලමක් දාලා කෙල්ලගේ අයියලාගෙන් වැදුනා පැණි පනින්න.
    .
    පලි: දැන් අහන්න එපා කවුද ඒ අයියලා කියලා!!

    ReplyDelete
  10. මගේ දයාබර වූ හිමිසඳ,
    ඔබට කෙලෙසක පවසන්නෙම්ද මම මෙපවත?
    හද පෙලෙන හිත දවන මේ මහා දුක,
    කියාගත නොහැකිය මට ඔබ සමඟ,

    However can I tell you all this?
    Sorrow & sadness swirling inside my mind,
    It really makes me miserable,
    That I can't unburden all this with you,

    The only thing worse than a sorrow consuming you inside is the inability to share it with someone you love,

    ................................................................

    My congratulations, Nangi, on your 200th post,
    Its definitely not an easy feat by whatever yardstick.
    Specially writing a blog like yours,
    Where you try to analyse that elusive enigma called "the human mind"

    I really enjoyed reading your reflections,
    They actually stimulated my thoughts,
    And made me wonder happily along,
    hitherto unexplored pathways in my mind
    that even I was unaware of existing,

    Best Wishes Jiivithe Mal!!!

    ඔබේ ජීවන ගමන් මඟ දෙපස මල් දහසක් පිපේවා!!!

    ReplyDelete
  11. ඔයාගේ 200 වෙනි පෝස්ට් එකට මගෙනුත් සුබ පැතුම්....:)

    අර නාකි මනමාලයට මම එහෙම නම් දෙන්නේ හොම්බ තැලෙන්ට. ශාන්තට මුකුත් ඉතුරු කරන්නේ නෑ.

    ඇයි ගොඩාක් පිරිමි වයසට ගියාම මෙහෙම වෙන්නේ? අද කාලේ කොල්ලෝ මෙහෙම නරක නෑ.

    හප්පා කතාව කියවනකොට පුදුම තරහක් ආවේ....

    ReplyDelete
  12. මුලින්ම අක්කට හදවතින්ම සුභ පතනවා අපිත්......!!!! තවතවත් මෙවන් ලිපි ලියැවේවා කියලා.....!!!!!

    කතාව ගැන නම් හිතුනේ. ඔය මුකුත් වගක් නොකිය අයියට අන්කල් එක්ක යන්න අකමැති කිව්වට බස්සන්නැ ඔපිස් එකටම ගෙනියනවා වගේ මොන මොනවා හරි කියලා නොයා ඉන්න එක. එක්කෝ දවස් කීපයක් කලින් ‍මඟ ඇරලා වැඩට යන එක. වෙන මොනවා කරන්නද නාකි මනමාල සීයට........ අතක් පයක් බැදන් ගෙදර තියනවා හැර.

    ReplyDelete
  13. මිනිස්සුන්ට උදවුකරන මුවාවෙන් මෙහෙම ඉන්න වසලයො රටේ කොච්චර නම් ඉන්නවද? කොහොමත් ජීවිත 2කට මොන හේතුවකට හරි 3න් වැනියෙක් එබිකම් කරන්න නොදී ඉන්න එක නම් මොළේ ඇති වැඩක් !!

    ReplyDelete
  14. සුභ පැතුම් අක්කේ , තව තවත් වටින දේවල් ලියන්න හැකි වේවා :)

    ReplyDelete
  15. සමාජයේ තවත් පැතිකඩක් පෙන්වා දීම පිං කමක් .. මම ලේසියෙන් බ්ලොග් කියවන කෙනෙක් නෙමෙයි.. මට මේ ලින්ක් එක දුන්නේ ඉන්දික සහෝදරයා .. මම හිතුව මේකේ ලොකු වටිනා කමක් ගැබ් වෙලා තියෙනවා කියල ... මගේ සිතුවිල්ල හරියට හරි ... මෙය ඉදිරිපත් කල සහෝදරියගේ සියලු කටයුතු සාර්ථක වේවා !!! සමාජයට වැඩ දායක දෙයක් කිරීමට ශක්තිය ලැබේවා !!!

    ReplyDelete
  16. 200ක්? සුබපැතම් මගෙනුත්..
    මිස් නියම දුක්ගන්නාරාල කෙනෙක්..

    ReplyDelete
  17. 200ක්... අමාරු වැඩක්. ඒත් පහු කරපු කණුවක්. සුභ පැතුම් උපරිමෙන්ම :D

    ඔය වගේ අංකල්ලා ඕන තරම් ඉන්නවා. ෂේප් එකේ වෙන තැනක් සැට් කොරගන්න එක හොඳයි වගේ.

    ReplyDelete
  18. ඔන්න දෙසිය වෙනි ලිපිය කියවන තුන්සියවෙනි ලුහුබඳින්නා මමයි...

    මිනිස්කම මල් දමක අමුණන
    නුඹට නිති සවි දිරි ලැබේවා...
    තවත් සහසක් අකුරු සියපත්
    ජීවිතේ මල් මැද පිපේවා...

    ඔන්න එහෙනම් මකුළු පැංචිගෙන් සුබපැතුම්... :)

    ReplyDelete
  19. ශා... ජීවිතේ එක එක කණු පහු වෙනවා.. ඒත් මම පෙර උන්නු දිලාම තමයි. ජීවිතේ එක මොහොතකින්වත් පිටිපස්සට ගියෙ නෑ. යන්නෙත් නෑ. දිලාගෙ වෙනස ඒකයි. එහෙවු දිලාගෙ 200 වෙනි ලිපිය කියන්නෙ මහ ලොකු කණුවකුත් නෙමෙයි. ඒත් මේ වචන ලියල ගිය හෑමෝම මම මෙතෙක් ලිව්ව ලිපි දෙසීයෙන් එකක් හෝ අගය කරන නිසයි මේ ලියා යන්නේ කියන කාරණාව මම හොඳින් දන්නවා...

    තීර්ථ යාත්‍රිකයා ඔන්න ඔබයි පලවෙනියා

    හරී ඔයා නම් හෑමදාම ඈවිත් යනව නේද ඉස්සර සිටම

    බින්දි අක්කා... සන්තෝසයි.. සංසාරේ අපි ආදරයෙන් පිලිගන්නවා...

    ඈනෝනිමස් නමුත් ලස්සන කොමෙන්ටුවක් ජීවිතයට ලියා ගිය ඔබට බොහොමත්ම පින්...

    නදී ... ඒක නේන්නම්.. බලමුකො මොකද වෙන්නෙ කියලා.. මම කියන්නම්කො ඔයාලග පනිවුඩ තරිණිට..

    ගල්මල් .. ස්තූතියි... ඔබ මෙහෙ ඈවිත් යනවට හරිම සතුටුයි..

    තනිකඩ ජීවිතේ ... හ්ම්ම්හ්ම්ම්... ඒත් ඉතින් විවාහ ජීවිත හෑම එකම එකම අච්චුවෙ ක්‍රයිටිරියා වලට යටත් වෙන්නෙ නෑ නේද

    සුදු හන්සි නගා.. ස්තූතියි නගේ... ගොඩාක්...

    බ්ලොග් ගඩොල් මල්ලි : ගොඩක් ස්තූතියි සුබ පෑතුමට

    ලිශාන් .. ආ මට හිතා ගන්න හෑකි කවුද ඒ කියාලා...:)

    රවි අයියා... ස්තූතියි... අනේ අපූරු කොමෙන්ටුවක්... කවියක් වගේ... ගොඩක් පින්

    පොඩ්ඩි.. හා හා තරහ ගන්නෙපා.. ස්තූතියි සුබ පෑතුමට නගෝ

    හා පෑටික්ස් ස්තූති නන්ගියෝ..
    .
    ඉන්දික. ඔව් අප්පා.. එහෙම අධමයොත් ඉන්නවා...

    චම්මා... ස්තූතියි හොඳේ

    තරින්ද ස්තූතියි.. ආදරයෙන් සාදරයෙන් සංසාරෙ අපි වෙත පිලිගන්නවා...

    රොශාන් පුතා... ආව්.. මුල කල සිටම මගෙ බ්ලොගෙ සිටි ඔයා.. බිට් පන්තිය.. හෙ හෙ.. ඒ හෑම දේම මතක් වුනා පුතා... ස්තූතියි

    හරේ.. ස්තූතියි සුබ පෑතුමට...

    මකුළු පෑන්චි..ඔනා රෙකෝඩ් තියලා ..ශා ශා.. සන්තෝසයි...

    සංසාරෙට ආව ඔබ හෑමට නොවක් තුතිය !!!!

    ReplyDelete
  20. 200 ට සුබ පැතුම් අක්කේ.... :)

    ReplyDelete
  21. මීට එහා කරන්න දෙයක් ඉතුරු කර නොගෙන මුලදිම වහෙන් ඔරෝ නොකියා මේ මේ හේතු නිසා මම අංකල් සමඟ යන්න කැමති නෑ කියල තිබ්බනම් ...

    දැන් මොකෝ කරන්නෙ. ශාන්තට මේක කියන්නම වෙනවා. එයාට නොකිවුවොත් ප්‍රශ්නෙ තවත් සංකීර්ණ වෙනව. ඒත් කොහොමද කියන්නෙ ? 64ම දාල ශාන්තව ශාන්ත දාන්ත විදිහට තියාගෙන කතාවෙ සැර බාල කරල හෙමීට හෙමීට කියමු.

    ====

    200ට උණුසුම් සුබ පැතුම්. අන්තිම කැමැත්තත් ඉටු වේවා !!!

    ReplyDelete
  22. හැට පැන්නත් වඳුවෝ බිමින් යන්නේ නැතෙයි කියනවා නේ ..ඔය වගේ සමහරු ඉන්නවා ..

    සීයා මන මාලයා නාකි ඉලන්දාරියා කියන රිං ටෝන් එක ෆෝන් ට්කට දාගත්තා නම් හරි මෑන්ස්ට ඇහුනම එපා වෙයි ..

    200ට සුබ පැතුම් අක්කේ ..!! හදවතින්ම සුබ පැතුම් ..

    ReplyDelete
  23. මාත් කියන්නෙ චානක කිව්ව දේමයි..එහෙම තමා හරි..ඔයාගේ 200 ට සුභම සුභ පැතුම්......!!!!

    ReplyDelete
  24. 200 වෙනි පෝස්ටුවට මුලින්ම සුභ පතන්නම් දිල්... ඇත්තටම සතුටුයි.. දවසින් දවස අළුතින් පටන් අරගෙන බොහෝම ටික කාලයකදී නවතින සිය දහසක් බ්ලොග් අතරේ ලිවීම අත හරින්නෙ නැතිව මේ තරං ලස්සනට වැඩේ කරගෙන යන එකට...

    තව තවත් ලියන්නට ශක්තිය හා ධෛර්ය වගේම හේතු නිමිතිත් පහළ වේවා..!

    මේ ප්‍රශ්නෙදී ආයේ කතා දෙකක් නැහැ පළමුවෙන්ම කරන්න ඕන ශාන්තට කියන එක. ඒක මේ දක්වාත් නොකිව්වා කියන්නේ ඔයාගේ යාළුවා සෑහෙන වරදක් දැන දැන කරනවා කියන එකයි.
    ශාන්ත ඒකට ගන්න පියවර ගැන හිතලා නොකියා ඉන්නවා කි‍යන්නේ උත්තරයක් නෙවෙයි. මොකද ඔය දේ ශාන්තගේ කනට වෙන විදියකින් හරි..සමහර විට අර අංකල් කාරයාම මේ දෙන්නා බිඳවන්න ‍කියන කේලමක් නිසා හරි වැටුන දවසට අංකල් නෙවෙයි වැරදිකාරයා වෙන්නේ තරිණි...

    ඕනනං ඕකේ සැර බාල කරලා කියන්න පුළුවන්... අංකල් ටිකක් මනමාලයා කියලා වටින් පිටින් ආරංචියක් ආවා කියලා ශාන්තට කිව්වනං මිනිහම ඔය ගමන නවත්තාවි.

    මට තව ප්‍රශ්නයක් තියෙනවා..අර ශාන්ත ඇත්තටම නේවි කාරයෙක්ද නැත්තං වෙන මොකෙක් හරිද කියලා... රටේ තොටේ සිද්ධ වෙන දේවල් දන්නේ නැති උගුඩුවෙක්ද ඒකා..ලේලිව මාමා එක්ක තියලා යන්න බැරි කාලෙක මේ සල්ලිය බාගේ තියෙන සෙල්ලක්කාර ගෙවල් අයිතිකාරයා එක්ක ගෑනිව යවන්න තරං ඌ පොල් බූරුවෙක්ද..? නේවි කාරයෙක් නං ටිකක් හරි මිනිස්සු ගැන දැන ගෙන ඉන්න ඕන. එහෙමත් නැත්තං ඒකා බබෙක් වෙන්න ඕන.

    අපේ මිනිස්සුත් මොනවා හරි පුංචි වාසියක් තියේනං ඕනම දෙයක් කිසිම වග විභාගයක් නැතිව කරේ දා ගන්නවා...අන්තිමේදී කෙල උනාම නහින්න හදනවා.

    මෙයාලා ගියේ කුලියට ගෙයක් ගන්නනං ඒක ඒ ගානට කරගෙන හිටියාම මදෑ..තමන්ගේ ආටෝපේ ඕනවටත් වඩා කියන්න යන්නේවත්.. වැඩි ඇයි හොදයිකංවත් මොකටද..?

    මාත් දැන් අවුරුදු ගානක ඉඳලා කුලී ගෙවල්වල බෝඩිංවල ඉන්න කෙනෙක් හින්දා මම හොදටම දන්නවා එහෙම අයත් එක්ක ඉන්න. තමන්ගේ මුදල වෙලාවට ගෙව්වා..ගේ දොර පිළීවෙලකට තියා ගත්තා..අයිතිකාරයා එක්ක ගනුදෙනු අවම කලා..වැඩේ ඉවරයි. මොකටද මිනිස්සුන්ට අපේ දේවල් ඇතුලට රිංගන්න දෙන්නේ...

    ඒ හින්දා දැන්වත් ගෙවල් අයිතිකාරයගෙන් ලැබෙන සුළු සුළු වාසි ගැන කෑදර නොවී සහ බොරුවට ශාන්ත අරූව මරයි වගේ හේතු ඉස්සරහට දාගෙන පවුල කැඩෙනකල් බලං ඉන්නේ නැතිව හිමිහිට ඕක කියන්නයි කියන්න අර මං කිව්ව විදියටවත්.

    සමා වෙන්න ඕන මගේ කොමෙන්ටුව දිග වැඩි සහ සැර වැඩි උනනානං..ඒත් මේ මෝඩ ඩබල ගැන දැක්කම මේක නිකංම කියඋනා.නැහැ නැහැ ලියඋනා.
    වැරදිලාවත් මේ දෙන්නා දිලාගේ බ්ලොග් එක කියවන්නේ නැහැ නේද..? නැත්තං අංකල්ට කෙසේ වෙතත් මට බඩුම තමා..:D

    ReplyDelete
  25. 200ට සුභපැතුම් දිලෝ...

    “ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ“ කියල තියෙනව නේ.. ඒ වගේ ගේ කුලියට දුන්න අය අතේ දුරින් ආශ්‍රය කරා නම් හරි.. ඒත් ඉතිං දැං කරන්න දෙයක්න නෑනේ.. මේකෙන් ඉස්රහට පාඩමක් ඉගන ගන්න තමා තියෙන්නේ.. දැං කරන්න තියෙන හොඳම දේ තමා ශේප් එකේ වෙන තැනකට ශිෆ්ට් වෙන එක..

    ReplyDelete
  26. සුභ පැතුම් නංගි.ඉදිරියටත් මේ වගේ ලියන්න ලැබේවා..

    අම්මෝ බයානක වැඩක්නෙ වෙන්න යන්නේ.මාත් මාරයා අයියාගෙ කතාවට එකඟයි. ශාන්තට ඕක මොන විදිහකින් හරි කියන්න ඕනෙ. ඇත්තටම් අන්කල් එන්නෙ මොකාටද කියලා ශාන්තට තේරෙන්නෙ නැද්ද අප්පා..:((

    ReplyDelete
  27. හනේ අප්පේ.......... වෙලා තියෙන දෙයක්........... ශාන්තට කියන්නම වෙනවා..... නොකියා ඉන්න එක ලොකු අවුලක්.... අඩුම ගානේ මුල පටන්ම "අනේ පනේ අර අංකල්කාරයා නං මහා මනමාල පාටයි. සික් විතරක් නාකියා..... නාකි විසේ ඉහට උසේ" කියලා දැනුනු සිතුවිලි කියලා තිබ්බා නං ශාන්ත එයාට ඒ කාර් එකේ යන්න කියන්නේ නැහැ. පුළුවන් තරම් තනි නොවී ඉන්න එක තමයි කරන්න ඕනෑ............


    (මේ මේක ගොතපු කථාවක් නේද බනෝ?)

    ReplyDelete
  28. 200 ට සුබ පැතුම් දිල්.

    ඔය කතාව සැර බාල කරල හරි ශාන්තට කිව්වෙ නැතොත් මහා විනාසයක් වෙලා තමා නවතින්නෙ. මතක ඇතුව සැර බාල කරන්න කියන්න නැත්තම් ඒත් නතරවෙන්නෙ විනාසෙකින්.

    ReplyDelete
  29. දික් අක්කගේ බ්ලොග් එකේ ඉදිරි ගමනට මගේ සුබ පැතුම් !!!!!

    අම්මෝ මෙහෙමත් නාකි මනමාලයෙක්. මට නම් හිතෙන්නේ මේ ගැන කොල්ලට කියන එක හොදයි.ලොකුවට නෙමෙයි හීනියට වගේ. ඔය චාටුවෙන් එහෙම. එආ අපිට වැඩිය ගෑනු උදවිය හොදට දන්නවනේ.


    තනියම නම් ගෙදර ඉන්නම හොද නෑ. අම්මා .... පල්ල !!!! ඔය වගේ එකෙක් මල හම්බුනා නම් ඇත්තමයි අත කඩනවා. නාකියා. !!!

    ReplyDelete
  30. දික් අක්කගේ බ්ලොග් එකේ ඉදිරි ගමනට මගේ සුබ පැතුම් !!!!!

    අම්මෝ මෙහෙමත් නාකි මනමාලයෙක්. මට නම් හිතෙන්නේ මේ ගැන කොල්ලට කියන එක හොදයි.ලොකුවට නෙමෙයි හීනියට වගේ. ඔය චාටුවෙන් එහෙම. එආ අපිට වැඩිය ගෑනු උදවිය හොදට දන්නවනේ.


    තනියම නම් ගෙදර ඉන්නම හොද නෑ. අම්මා .... පල්ල !!!! ඔය වගේ එකෙක් මට හම්බුනා නම් ඇත්තමයි අත කඩනවා. නාකියා. !!!

    ReplyDelete
  31. ශාන්තට බයින්න බැරි උනානේ.
    අම්මාපල්ල මේ වගේ බූරුවෙක්. ඇත්තටම උට තේරුම් ගන්න ශක්තියක් නද්ද. කවුද යකෝ තරුණ බිරිඳක්ව මේ වගේ නාකියෙක් එක්කලා යවන්නේ.මට ශාන්තවත් අහු නොවේවා කියලා පතනවා.

    අක්කා මේ ගැන ඒ අක්කට කියලා ඇති කියලා හිතෙනවා. කිව්වේ නැත්නම් ඉක්මනටම කියන්න අක්කේ. මොකද ශාන්ත මේක දැනගන්න කොට පෙරහැර ගිහින් තියෙයි !!!!!

    මූට හිට් වෙන්න ටොක්කක්වත් අයින්න තිබ්බනම්.....

    ReplyDelete
  32. හසී නගෝ... ස්තූතියි

    මකරෝ...

    සන්නිවේදනයේ අඩු පාඩු නිසයි ගොඩක්ම මේ වගෙ දේ වෙන්නේ.... නේද... අන්තිම කැමැත්ත... හී හී

    සඳරුවා
    අපෝ ඔව් මල්ලි. ලෝකෙ දෙවි දෙවතාවුන් වගෙ උතුම් සහෝදරයො, වැඩිහිට්යො අතරෙ මේ වගෙ අමනයො ඉන්නවා...

    නෙතාරා
    ස්තූතියි නගා ප්‍රතිචාරෙට

    මාරයියා
    ඔයාගෙ කතාව දිගු උනාට වටිනවා. ප්‍රායෝගිකයි. ලෝකෙ ඔහොම අප්‍රසන්න දේවල් වෙනවා අප්පා... බලමුකො ඈ ගන්න තීරණෙ මොකක්ද කියලා.. මම බැලුවෙ මේ කොමෙන්‍ටු ටික එක් කරල ඈට යවන්නයි :)
    ආ ස්තූතියි සුබ පැතුමට හොඳේ

    සෝලෝ
    ස්තූතියි හොඳේ....
    ඔව් මල්ලි. ලෝකෙ හරිම විසමයි දැන් නම්... අම්මෝ .. එපා වෙනව නේද මේවා අහද්දි...

    නිසුපා.
    ඔයා නොවරදවාම ඇවිත් යනව නේද? හරිම සතු‍ටුයි අක්කා... ස්තූතියි ....
    ඔව් ඔව්.. මේකට නම් මොනව හරි කරන්නම ඕනෙ අක්කෙ... :)

    රන්දිකා අක්කේ...
    ඔව් අක්කේ... කෙල්ලට සිද්ද වෙනවා කොහොම හරි මේක හබියට කියන්න.. නේද? බලන්න අප්පා ලෝකෙ හැටි...

    ඇනෝ
    ස්තූතියි

    නිශ්
    ස්තූතියි සුබ පැතුමට... හෙ හෙ.. ඔව්.. කියන්නම වෙනවා නිශ්...

    මධුරංග මල්ලි
    හප්පා මේකාගේ සැර ! :) හි හි.. ශාන්තට කියන්න ඕනෙ මෙයාලගෙන් පරිස්සම් වෙන්න කියලා , තරිණිට අන්කල්ගෙන් පරිස්සම් වෙන එක කෙසේ වෙතත් :)

    ප්‍රතිචාර ලිව්ව, සුබ පැතුව ඔයාල හැමෝටම ස්තූතියි !!
    දිලා aka ජීවිතේමල්

    ReplyDelete
  33. 200 ට සුභ පැතුම් අක්කා! මිනිස්සු විවිධාකාරයි.

    ReplyDelete
  34. ඉස්සෙල්ලම දිල් අක්කගේ 200 වෙනි පෝස්ටුවට සුබ පතනවා.... බ්ලොග් අවකාශේ ආව ගියෝ නැති විදියේ බ්ලොග් එකක් කිරීම සම්බන්දයෙන්.

    ලිපිය සම්බන්දයෙන් නම් ඕක ශාන්තට කියන එක තමයි හොඳම් දේ.. මම නම් මගේ කෙල්ල මොනම දෙයක් හරි මට නොකිය ඉදල පස්සෙ දැනගන්න එක තරම් අකමැති දෙයක් වෙන නෑ...
    ඔලුවෙන් වැඩ කරන්න කියන්න... ඌරගේ මාලු ඌරගේ ඇගීඉම තියල කපල දැම්මොත්...

    ReplyDelete
  35. ශාන්තටත් අන්කල් ඒ ට්‍රන්ස්පොර්ට් එකට සෙට් වීම වගේ වැඩක්...

    ReplyDelete
  36. ලෝකයේ හැමදෙනාම අපි ආදරයෙන් බලාගන්න, අපිව ආදරයෙන් බලාගන්න අය වගේ නෙමෙයිනෙ.. කතාව පුරාවට මමනම් දැක්කෙ කාර්යය බහුලත්වය නිසාදෝ එකිනෙකාගේ අදහස් හුවමාරු කරගන්න වෙලාව මදිකමින් ඇති වුණ වරදක්... තරිණි අකමැති බව පෙන්නද්දිත්, ශාන්තට ඒදේ වැ‍ටහෙන්නෙ නැතිනම් තරිණිට හෙමින් සැරේ කියන්නම වෙනවා ශාන්තට... :)
    °°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
    ඉඩෝරයෙන් ඉරිතැලිච්ච
    නිමක් නොමැති ජීවිතයනට
    බිඳක් ලෙසින් සිහිල් පොදක්
    වස්සානෙට ඔබ වහින්න...
    කෘෂ වී ගිය ගිනි කතරට
    නිමක් නැතිව සුවඳ දෙන්න
    ~සංසාරේ අපි~ හැමදත්
    ජීවිතේ මල් පිපෙන්න...!!!!

    හදවතින්ම සුබ පැතුම් අක්කියෝ...!!!

    ReplyDelete
  37. http://sansarayeapi.blogspot.com

    කවුද අප්පා මේ සංසාරේ. ඕකේ තියන එක පොස්ට් එකක් කියවල මම හිතුවා දිලා බියුටි කචල් කෝස් එකක්වත් කරලද කියල ගෙදර ඉන්න ටිකේ. හික්. කවුරු වුනත් ඔයාගේ නම පාවිච්චි කරලා හිට් දෙක තුනක් දාගන්න කරපු වැඩක වෙන්න ඇති.

    ReplyDelete
  38. ඉස්සෙල්ල කමෙන්ට් එක දැම්මට දන්නේ කතාව කියෙව්වේ. දැන් ඔය තරිනි හෝ කවුරු හරි වෙන ඔය ඇත්ති බැංකුවේ නේද වැඩ කරනවා කිව්වේ. එහෙම එකේ බැරි වෙයිද දන්නේ නෑ කාර් එකකට ලීස් පාරක් දාගන්න. එහෙම වුනොත් ඉතින් අවුලක් නැති වෙයි මම හිතන්නේ. එතකොට මයි කාර්, my petrol. යාලුවට කියන්න මහත්තැන්ට ටිකක් බර කරලා කියන්න කියල කාර් එකක් ගන්න. අනික ඔය වෙච්ච දේවල් ඒ විදියටම නොකිය වුනත් පුළුවන් නේ රිලා මොටා වන් වේ රෝඩ් එකේ රෝන්ග් සයිඩ් එන්න සිග්නල් දානවා කියල වෝර්නින්ග් පාරක් දීල තියන්න. එතකොට ඉතින් ගහමරා ගැනීම් වලින් තොරව ප්‍රශ්නේ සාමකාමීව විසදගන්න හැකි වෙන බව මගේ නිගමනයයි.

    ReplyDelete
  39. යාළුවට ඕක තනියම ගොඩ දාගනන් පුළුවන් දෙයක් නේ.. ඔය ගෙවල් අයිතිකාරයෝ භයයි ගෙදර දාලා යනවට. ඒ මොනව වුනත් කට හා අත පාවිච්චි කරලා පාඩමක් දෙන්න කියන්න.

    ReplyDelete
  40. 200 වන පෝස්ට් එකට මගෙන් සුබ පැතුම් නංගි. අර නාකි මනමාලයාට කන පැලෙන්න දෙන්න හිතයි. මේ වගේ අමනයො හින්දා අද බස් එකක වත් යන්න නෑ. උන්ට වෙනම අපායක් හදන්න වෙයි යම රජ්ජුරුවන්ට.

    ReplyDelete
  41. ඔව් ඔව් මං අනිවා එනවා නඟේ. සමහර විට වැඩ අස්සෙ කමෙන්ට් කරන්න බැරි වුනත් අනිවා කියවන එකනම් කරනවවා....:)))

    ReplyDelete
  42. දිල් සහෝදරීට මගෙනුත් සුභ පැතුමක්. නිකම්ම නෙවෙයි නෝක්කාඩුවකුත් එක්ක. මෙච්චර අගේට ලියන එකේ පොතක් වත් පළ කලොත් නරකද ? අපරාදේ හැකියාව...

    අවංකව සතුටුයි... ඉදිරියටත් මේ වගේ නෙවේ, මීටත් වඩා හොඳට ලියන්න ශක්තිය හා වාසනාව ලැබේවා... ජය !

    ReplyDelete
  43. ඉස්සෙල්ලම සමාවෙන්න උත්තර ලියන්න වෙච්චි පරක්කුවට
    හූනා
    ස්තූතියි මල්ලි.... ඒක නම ඇත්ත... මිනිස්සු හරිම විවිධයි.. විෂමයි/.... නේද?

    පිස්සා
    අද නම් පිස්සු හැදිලා වගෙ මෙයාට ! ස්තූතියි මල්ලි සුබ පැතුවට .ශාන්තට කීම නුවණට හුරු බවයි මාත් පසුව දැනුම් දුන්නේ....

    නිති
    සහෝදරී.. අනේ ගොඩාක් ස්තූතියි.. ඔයාගෙ හදවතෙ තියන ලෙන්ගතු කම කවියකින්ම බෙදාගත්තාට ...ස්තූතියි...

    ඇනෝ..
    මාත් ඒක බැලුවා..... මේ ගැන දැනුවත් කල ඇනෝට ස්තූතියි. ඒත් ඉතින් මට ඒ ලින්ක් එකෙන් නම් වැඩක් නෑ.. මොකද ඒක බලපු ගමන්ම ඕනෙ කෙනෙකුට තෙරෙනවා ඒක ලියන්නෙ නම් ජීවිතෙ මල් නෙමෙයි කියලා :)

    දෙවෙනි ඇනෝ...
    ඒක තමයි... මේ හැට පැන්න මිනිස්සු හැසිරෙන හැටි බලන්ට අප්පා... තමුන්ගෙ දුවලගෙ වයසෙ ලමයින් බේරිල ඉන්නෙ කොහොමද අප්පා ...

    බුරු අක්කා...
    හෙ හෙ.. මම කියන්නම්කෝ... :)

    චන්දි
    ස්තූතියි ගොඩාක්....... ඒක නේන්නම් අප්පා.. :)

    නිසුපා'
    ඔබට ගොඩාක් ස්තූතියි සහෝදරී :)

    චතුරංග මල්ලි
    ස්තූතියි මල්ලි... මම හිතන්නෙ පොතක් ලියන්න නම් මගෙ හැකියාව තව දියුණු වෙන්න ඕනෙ... ස්තූතියි ගොඩාක්... :)

    ReplyDelete
  44. සුභපැතුම්!!! ඔන්න ඔය වෙලාවට තමයි අර හැඳිමිටේ නුවන පාවිච්චි කරන්න ඕනෙ.
    මැණික්

    ReplyDelete
  45. Akke mata nam hithenne Shanthata kiyannama amaru nam aduma tharame Tharinige demapiyo sahodarayek ekka wath oya kathawa kiyannama one..Hebei daksha kamak thiye nam Shanthata kelin nokiya wahen oro angeuwanam wediya hondai...Anika e route eke inna yaluwo ekka katha karala kohoma hari travel karanna widihak lesthi kara ganna one....Aniwaryen e minissu gawa additional keys athi eka nisa godak parissam wenna one..mama nam oya nakiyawa wishwasa karannema ne...Husband forces kiyala dena denamath ohoma karanna awanam???Tharinita ikmanin godak precautions ganna wenawa...Ara kiuwa wage sulu sulu labha,ikman lesi,kammelikama wage dewal anarthayak mai genne....

    ReplyDelete
  46. මුලින්ම 200ට මගෙන් සුභ පැතුම්...!!!!

    මේක කියෙව්වහමනම් මටත් අම්බානෙකට තද උනා. දැන් එන්න එන්නම වැඩි වෙන්නේ නාකි මනමාලයො තමයි.

    ReplyDelete
  47. පිස්සු හැදෙනවා නේ!

    ReplyDelete
  48. 200 ට මුලින්ම සුබ පැතුම්

    මම නම් හිතන්නේ මහත්තයට කිව්වා නම් හරි ... කවදා හරි ඕක දැනගත්ත දාට මහත්තයා දරුණු වෙන්නේ නෝනාට

    ReplyDelete
  49. මෑණික්
    ඔව්..... ඒත් ගෑහෑනියක් මේ වගෙ තෑනකදි පුදුම විදියට අසරණ වෙන්නෙ.

    ඈනෝ
    ඔව් ඔබ හරි.. හෑම ප්‍රශ්නෙකමට විසඳුමකුත් තියනවනේ . නේද ? :)

    කින්නරාවී
    ස්තූතියි සුබ පෑතුමට ..... ඔය මෑදි වයසෙ උදවඉය් දෙකොටටසක් මම දකිනවා. සමහරු අපි වගෙ ලමයි, තරිණි වගෙ ලමයි දිහා දරුවන්ට වගෙ සලකන උතුම් අය. හපෝ එකෙක් දෙකෙක් ඉන්නවා නාකි මනමාලයෝ :)

    සබිත්
    පිස්සු හෑදෙනව නේන්නම් :)

    වෑප්
    ස්තූතියි ......

    ඔව් මහත්තයා පස්සෙ දෑනගත්තොත් වයිෆ්ව සෑක කරන්නත් ඉඩ තියනව :)

    ReplyDelete
  50. ඇත්තටම මම නම් හිතන්නේ මහත්තයට මේ ගැන කියන එක හොදයි. මේක සමහර විට වෙන විදිහකට එය දැන ගෙන අර අක්කගෙ පවුල් ජීවිතේටත් එක බලපාන්න ඉඩ තියනව...... 200 සුබ පැතුම් :)

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->