තවත් කතාවක්...
දවස (මතක නෑ)
ඒත් සිද්දිය නම් හොඳට මතකයි...
සිද්දියට සම්බන්ධ අය අඳුනන්නෙ නෑ. වෙලාව : ගිනි මද්දහනේ..
කොල්ලුපිටියෙ එක්තරා අතුරු පාරක ලොරියක් නවත්තලා.. ලොරියෙ ඉදිරිපස කොටස හරියෙ මිනිසුන් දෙතුන් දෙනෙක් බිමට යොමාගත් විමසුම් ඈස් ඈතිව කතා බහක... ලොරියේ පිටිපස දිසාවෙන් ලොරිය කරා, මාවතේ ඈවිදගෙන එන මට හිතුනෙම ලොරියෙ ටයර් එකෙ පෑච් එකක් යන්න ඈති කියලයි. වෙන මොනව බලන්නද ?
හෙමි හෙමීට ලොරිය ලඟටම මම ඈවිදගෙන ආවා... ලංකාවෙ මිනිස්සුන්ගෙ තියන සහජ කුතුහලය මටත් තිබෙන නිසාවෙන්ම මාත් එතනින් පාස් වේගෙන යද්දි පොඩ්ඩක් මූණ දැම්මා.. මම හිතුවා බොහොම වැරදියි.... ලොරියෙ කිසි වරදක් නෑ. ඒත් ලොරිය ස්ටාට් කරලා.. ඒත්.... හිතාගන්න බෑරි දසුනක් මගෙ ඇස් ඉස්සරහා...
බොහෝම දුක හිතෙන දසුනක්. මගෙ පපුව කීරි ගැහිලා ගියා... සිරුරේ එක ලොම් ගසකුදු ඉතිරි නොවූ, ඉතාමත් දුක් සහගත පෙනුමෙන් , සමේ ලෙඩකින් මියෑදෙන්නට ඔන්න මෙන්න වැනි , ගැටවර කෙසඟ බලු පෑටවෙක් ලොරිය පාමුල. දෙවියනේ !!! ඔහු සිය දිවි නසාගන්නටයි ලැහැස්තිය ! වාහන වල යට නිදා සිටින සතුන් කොතෙක් දැක තිබෙන මම , දංගෙඩියට හිස තබන්නෙකුට නොදෙවෙනි බැල්මෙන් සහ ආවේගයෙන් ලොරි රෝදයකට බෙල්ල තබා, ජීවිතය සිය කැමැත්තෙන් කෙළවර කර ගන්නට තීරණය කල සතෙකු මා මින් පෙර නම් කිසි දිනෙක දැක නැහැ. !
අහම්බයෙන් නිදා ඉන්නා නොව වාහනය පණ ගැන්වූ මොහොතේ දිව විත් රෝදයට බෙල්ල තැබූ බවම පසක් වන්නේ , උක්කුටියෙන් මෙන් දිගාවී 'අවසන් හුස්ම' හෙලන්නට සූදානම්ව, ඔහු සිටින හද කීරි ගැසෙන ඉරියව්වෙන් !
පෙම්වතිය පිටු පෑවාවත්ද? මව්පියන් අහිමිව අතරමං වූවාවත්ද? රෝගයෙන් දුබල වූ සිරුරේ වේදනාව ඉවසා ගත නොහැකි වූවාවත්ද? සිය ජීවිතයෙන් පලිගන්නට උවමනාව අවේගශීලි තීරණයකට එලඹුනාවත්ද ? එසෙත් නැති නම් ජීවත් වීමෙන්ම වෙහෙසව වෙරෝනිකා මෙන් කෙලවරක් දකින්නට සිතුනාවත්ද?
ලොරියේ අසල වටව සිටින මිනිසුන්ට මෙය විමතියක්! ප්‍රශ්නයක් ! මට වගෙ , ඌ මේ වෙලාවෙ මොනව හිතනව ඇත්ද කියල මහ පොලව ගැටලන්න නෙමෙයි ඔවුන්ගෙ උවමනාව උනේ... ඔවුන්ට උවමනාව තිබුනේ එකම දෙයක්, බිහිසුණු මරණයක් මතින් රෝදය පදවා නොගොස් , හැකි ඉක්මනින් සිය ආරම්භ කල ගමන යාම !
අසරණයා නම් මෙය ඉතා හොඳින් සිතා මතා ගත් දැඩි තීරණයක් හැඩයි ! සිය සිත බිඳකිනුදු වෙනස් කොට නොගත් හෙතෙම දෑසුත් පියා ගත්තේ , හද කකියවන දසුන නිසා බොහෝ දෙනාගේ අවධානය එවෙත යොමු කරවමින්...
"දැන් මොකෝ කරන්නේ? ගමන යන්නෙ කොහොමද? මේ ලෙඩ මල්ල අයින් කරන්නෙ කොහොමද බන් මෙතනින් ?"
රියදුරා ඒ මේ අත යමින් කල්පනා කරනවා . විටෙක දුකෙනුත් විටෙක විමතියෙනුත් විටෙක තරහිනුත් ඔහු වික්ෂිප්තව අසරණ දෑසින් අප දිහා බලනවා...
"කෝටුවක් ගෙනෙන්.. "
රියදුරාගෙ අත වැසියා අසල ගසකින් කුඩා හීනි කෝට්ටක් කඩා දුන්නා. වෙන මොනව කරන්නද? ඔහුගේ දෑස් වල ලියවුනෙ එහෙම.
"චීස්! "
කූන් කූන් හඬින් නගන කෙඳිරියෙන් මම යලිත් වසා හුන් දෑස් ඇරියේ ඒ දසුන දරන්නට නොහැකි නිසාවෙන්ම..
එහෙත් පරාජිතයා සිය තීරණයෙහිම එල්බ ගෙන! මියා යා මිස මා මෙතැනින් නොනැගිටිමි... මට මැරෙන්න දීපල්ලා මිනිසුනේ... ඔය රෝදෙ කරකවා නුඹේ ගමන නුඹ පලයල්ලා ! මට 'වධ' නොදී මෙහෙම !!! මට ඉවරයක් වෙන්න දීපල්ලා !
මරණීය චේතනාව කොතරම් බිහිසුණු පවක් දැයි මා ඔහුට කෙසේ වටහා දෙන්නද ? ජීවත් වීමෙන් ඔහු ලද වේදනා කිනම් ආකාරයක ඒවාදැයි , මෙසේ මියෙන්නට තතනන්නේ කිමදැයි ඔහු මට කෙසේ නිදහසට කරුණු පවසන්නද? වටව සිටින කිහිපදෙනාට ඈතින් මාද යන ගමන පසෙකලා මේ දසුන දෙස බලා සිටින්නට වූයේ කිසිවක් සිතා ගත නොහැකිව...
අසල තිබූ පුද්ගලික ආයතනයකින් කොලු කෙල්ලන් පංතියකට පසුව විසිරෙන්නට වූයේ ඒ අතරතුර.. වාහන තදබදයට , දඟලන කෑගසන ගෑටවුන් ගෑටිස්සියන්ගෙ කලබලයත් එකතු වුනේ පරිසරය එකම කලබගෑනියක් කරමින්. එයින් පිටවෙන මේ ලමාලපටි එකා දෙන්නාත් වටවුනේ මෙතන වෙන්නේ මොකක්දැයි බලන්නට.
හිස පොවා බලා යන මේ පිරිස මැද්දෙන් , ඊට වඩා පරීක්ෂාකාරී ඇස් දෙකක් ඉදිරියට පීරාගෙන එන්නට වූවා... හිස පොවා නොබලමින් ඒ ඇස් දෙක බිමටම- ලොරි රෝදයටම යොමා ගත් ඇස් දෙකින් ඉදිරියට පැමිණියේ කිසිත් හැඟීමක් පළ නොකරමින්.
පසෙකින් එල්ලෙන බෑගය පිට මෑද්දට කොට ගනිමින් පහත් වූ ඒ රන්වන් පැහැති දෑත තමා වෙත ඇදී එනයුරු දුටු පරාජිතයා , යලිත් කෝටු පාරක් කන්නට බියෙන් මෙන් දෑස් සහ හිස හකුලමින් රෝද දාරයේ මුහුණත් සිරුරත් සඟවා ගත්තේ බියෙන්ද, ලජ්ජාවෙන්ද අසරණකමින්දැයි මා අදටත් දන්නේ නැහැ.
ඒ රන් පැහැති දෑත් වලින් වැර වෑයමින් ඔසවා ගන්නා ලද පරාජිතයා සෙමෙන් පාර අයිනේ පඳුරක් අසලට ගෙන යන ලදුව , තෑන්පත් වූවා.. බලු පැටවා හීනියට කෙඳිරිලි නගන්නට වුනා.. එය දකිමින්ම එතැන නැවතුනු මගෙ පපුවේ යමක් හිර වෙන්නාක් සේ මට දැනෙන්නට වුනා.. එතනට වටවී උන් අනෙක් අයටත් එසේම දැනෙන්නට ඇති..
බ්‍රේස්ලට් , ෆ්රෙන්ඩ්ශිප් බෑන්ඩ් සහ වලලු පිරුනු ඒ රන්වන් අතක් සිය සාකුවෙන් ලේන්සුවක් ඇද, පරාජිතයා වෙත රඳවාගත් දෙනෙතින්ම , ඒ සිරුර වසා ගත් නේක විධ ලෙඩ දුක් දද කුෂ්ඨ පිලිබඳ හෑගීමෙන් තොරවම සිය දෑත් පිස දමනු ලෑබුවා.. අනතුරුව ඒ ලේන්සුවම හතරට පහට නවා අසරණ පරාජිතයා වෙත ගිය ඔහු, නිහඬවම සෙමෙන් ඒ පරාජිත හිස ඔසවා කොට්ටයක් ලෙස තෑබුවේ වචනයකුදු නොතෙපලමින්...
"ආයෙ හෙම මැරෙන්න හදන්න එපා"
ඔහු හිතෙන් එහෙම කියන්න ඇති..
පණ ගන්වන ලද ලොරිය මතු කළ දූලි වලාව මැකී යද්දී , මෙතෙක් වේලා මා මෙන්ම වික්ෂිප්තව හිඳි නරඹන්නන්ගෙන් හිස් වූ වේදිකාව යලිත් නතර වූ තැනින් ජීවිතය පටන් ගනිද්දී,මා ඒ සාන්තුවරයා ගිය දෙස හැරී බැලුවා..
පිට මැද්දෙන් එල්ලුනු ලෑප්ටොප් බෑගය යලිත් පපුව හරහට වෑටෙන්නට දමාගත් මේ කඩවසම් කොලු ගැටයා , දිවි නසාගැනීමේ වරදින් මුදනා ලද පරාජිතයා වෙත සෙනෙහසින් දිගුකළ දයාවේ හස්තයෙන්ම , සිය අවුල් වූ දිගු දඟකාර කෙස් වැටිය සකසමින් අපට පිටුපා නිහඬවම වේගයෙන් පිය ඔසවනු මා බලා සිටියා...
The Saint was wearing a bangle on his wrist,
Instead of a halo over his head,
And a bracelet,......and a friendship band too,
Nevertheless he was a saint indeed,
In the truest sense of that word..
(Creative contribution for the lovely English verse by Mr.Ravi Weerasinghe)
Instead of a halo over his head,
And a bracelet,......and a friendship band too,
Nevertheless he was a saint indeed,
In the truest sense of that word..
(Creative contribution for the lovely English verse by Mr.Ravi Weerasinghe)
ඇහින් දැක්කා වගේ චිත්තරූප මැවුනා..සැබැවින්ම ඇස් අග්ගිස්ස තෙත් කළා... සංවේදී කථාව ඔයාගේ බ්ලොගේ මුල් කොමෙන්ටුවට පාර කිව්වා නංගියේ.... ඔබට ජය...!!!
ReplyDeleteKush කිවා වගේම කතාව නොදැක්කා උනාට ලග ඉදගෙන ඒ අත්දැකිම වින්දා වගේ හිත කිරි ගැහෙන්න ගත්තා මගේත්
ReplyDeleteබොහොම සංවේදීයි අක්කා......... ඒ වගේම සතුටුයි. පිට ඔපේට නැතුව ඇත්තටම සත්තුන්ට ආදරේ මිනිස්සුත් ඉන්නවා කියලා දැනුනම......
ReplyDeleteහිතට දෑනෙන්න ලියලා තියන්වා...බොහොම ලස්සනයි.
ReplyDeleteඅයියෝ... කොල්ලත් අමතකයිද?
ReplyDeleteඇත්තටම අක්කෙ ඔයා අපිට ඒ කතාව ලස්සනට මවල පෙන්නුව. අපිත් එතන හිටිය වගේම තමයි. ඔය වගේ උතුම් මිනිස්සු අපි අතරෙ ඉන්නව අක්කෙ.
ReplyDeleteසතුන්ට හදවතක්, දැනීමක් නෑ කියන අයට ඒ අයට හදවතක් තියෙනවද කියලා හොයලා බලන්න වටින කතාවක් අක්කියෝ..ඇස් දෙකට කඳුළු ඉනුව සංවේදි කතාවක්... වේදනාව කොයිතරම්ද මැරෙන්නට හිත හදාගන්න තරම්... :(
ReplyDeleteඑක් කාලෙක මටත් ඔය වගේ අත්දැකීමක් ලැබුණා...
The Saint was wearing a bangle on his wrist,
ReplyDeleteInstead of a halo over his head,
And a bracelet,......and a friendship band too,
Nevertheless he was a saint indeed,
In the truest sense of that word,
දිනපතාම වගෙ, දෙනෝ දාහක් අතරෙ මේ වගේ සාන්තුවරු මුණගැහෙනව, අපි කවදාවත් බලාපොරොත්තු නොවෙන බාහිර ස්වරූපයන්ගෙන්,
බාහිර ස්වරූපය නෙවෙයි වැදගත් ඇතුලාන්තය.........අපූරු කතාවක්.....මල්,
ඒ වගේ උතුම් මිනිස්සු තවමත් ඉන්නවා එහෙනං!
ReplyDeleteදිල්ටත් යුතුකමක් තිබ්බා ඔය ඔක්කොම වෙනකම් බලං ඉන්නෙ නැතුව බවුවට පොඩි හරි උදවුවක් කරන්න.
ReplyDeleteසමහර දේවල් කරන්න හරි ලේසියි.. කරන්න හිත හදාගන්න අමාරුයි. හුඟක්ම ඒ ගණයට වැටෙන්නෙ නරක දේවල්. ඒත් ඒ වගේ සමහර හොඳ දේවලුත් තියනවා.... මේකත් ඒ වගේ.
ReplyDeleteබල්ලො..පූසො..නෙවේ වෙන ඕනෙම සතෙක් කරදරේක වැටිල ඉන්නව දැක්කාම මම නම් ඕනෙම තැනක දි උදව් කරන්න ඉදිරිපත් වෙනවා...මෑතකදි උස තාප්පෙකටත් බඩ ගෑවා කුරුල්ලෙක් බේරගන්න...(දන්නෝ දනිතී) හ්ම්ම්...පුදුම සතුටක් ලැබෙනව එහෙම දෙයක් කලාම....ඒත් මනුස්සයො දුස්ඨයි.....එයාල උදව් අරන් අත හපල කනවා...
ReplyDeleteමේ වගේම තවත් කතාවක්
ReplyDeleteබල්ලා ගොඩගත් කෙල්ල
http://reargate.blogspot.com/2010/11/blog-post.html
හැබෑටම ඔය කියන ලොරියේ රිවස් ගියර් කියල එකක් තිබිලම නැද්ද පොඩ්ඩක් පස්සට ගන්න.
ReplyDeleteලියා තියනවා ගින්දර වගේ ..! මමත් ඉතින් කාට ආදරේ නොකරත් මේ බල්ලොන්ට පූසොන්ට නම් ආදරෙයි මොන ලෙඩේ තිබ්බත් උන්ව දැක්කම මගේ පප්හුව හෝස් ගාල යනවා
ReplyDeleteලස්සනට ලියාතියන බව කෝමද නොකියා යන්නේ ..
කුශ්
ReplyDeleteඔන්න ආදරයෙන් සාදරයෙන් සංසාරේ අපි වෙත පිලිගන්න අවසරයි ! බොහොමත්ම ස්තූතියි ප්‍රතිචාරෙට ! හැමදාම මනුස්සකම බෙදා ගනිමු ...
දේවා මල්ලි
ස්තූතියි මල්ලි :-)
හා පැටික්කි නගා...
ඇත්තෙන්ම මේ සමාජෙ වැඩිහරියක් ඉන්නෙ මනුස්සකම් දන්න හොඳ මිනිස්සු නංගි. පත්තර වල පුවත් වල උලුප්පන්නෙ නරක දේ විතරනෙ. එනිසයි අපි පොදු ආකල්පෙක ඉන්නෙ මින්ස්සු නරකයි කියලා.. ඇත්තෙන්ම මිනිස්සුන් සතුන්ට ආදරෙයි.
අසංක
බොහොම ස්තූතියි යාලු
තනිකඩ ජිවිතෙ....
???????
කසුන්
ස්තූතියි මල්ලියා.... ඔව්... මේ ලෝකෙ දෙවිදේවතාවුන් වැනි මිනිසුන් එමට ඇත... අප මිනිස්සුන්ට පොදුවේ ආදරය කරන කල්හි, මිනිසුන් අපට පෙරලා ආදරේ වෙනු ඇත...
නිති
ස්තූතියි මගෙ නගෝ.... ඔව්.. මේක ඇත්ත..... හැමෝටම (ගහකොලට පවා) හැඟීම් තියනවා...
රවි අයියා
ඉතාමත්ම ස්තූතියි.. මම සතුටුයි ඒ මුලු පැදියම මේ ලිපිය ඇතුලට ඔබන්න . කමක් නැද්ද...?
ඇහුවා.. ඔන්න කරනවා හොඳේ... :-)
මකරා
හි හි.. මාත් අමනයෙක් නේද නිකම් උඩ බලන් උන්නු ? :-)
සකුස්
ඔව් මල්ලි.. අපි උනත් සමහර තැන් වලදි පස්ස ගහනවා.. නේද???
නතාරා..
අනේ හරිම හොඳයි නගෝ.... ස්තූතියි කොමෙන්‍ටුවට
සඳරුවා..
ස්තූතියි සඳරුවෝ.... උභ ලිව්ව අවතාර වලට හොල්මන් වෙලාද කොහෙද ඒ අල්ල පනල්ලෙ මේක ලියවුනෙ :-)
බල්ලා ගොඩගත් කොල්ලා...... :D
ReplyDeleteමේ වගේ මිනිස්සු මිනිස්කමට අරුතක් දෙනවා.
මටත් මතක් වුණේ චාමි මුත්තගෙ බල්ලා ගොඩගත් කෙල්ලගෙ කතාව. මේක තමයි පුරුෂ ලිංග වර්ෂන් එක. ස්ත්‍රී වීව් එකෙන්...
ReplyDeleteඑතන ඔය කොල්ල ට්‍රයි කරන කෙල්ලෙක්වත් හිටියද දන්නෙ නෑ නේ? ;-)
අපොයි, කිසිම ප්‍රශ්නයක් ඇත්තේම නැත. ඔබ කැමති පරිදි කල මැන......හෙහ්, හෙහ්,
ReplyDeleteචාමි ... අයියො ඊයෙ මකරත් පෙන්නුව ඔය කතාව. ඕක මන් ආදි කාලෙ කියෙව්වේ... හෙ හෙ.. මේ කොල්ලයි ඒ කෙල්ලයි සෙට් කරමුද? :)
ReplyDeleteහරේ
හිකිස්.... යා යා... අරකත් කියන්න බෑ... හෑබෑයි එහෙනම් ලකුනු කෝටියක් වෑටෙන්ඩෑති
රවි අය්යා
ඔන්න කොලා.... :)
ඇත්තටම ඇස් දෙකට කඳුලු ආවා, ලස්සනට ලියලා තියනවා ......
ReplyDeleteමාත් සත්තුන්ට හරි ආදරෙයි .....
ඒත් පොඩි උන් දෙන්නා නිසා ගෙදර සත්තු හදන්න විදියක් නැහැ ...
බාහිර පෙනුම විතරක්ම දිගටත් පලලටත් හසුකරගන්න මිම්මට නොදකින ගැඹුරක් ද ඇති බව ඒත්තු ගැන්වූ වටිනා පොස්ට් එකක්.
ReplyDeleteඔබේ පොස්ට් බොහෝමයක්ම කියවා පසුව ඇවිත් කොමන්ට් කරන අදහසින් ගියත් මොන මොනවා හෝ හේතුවකින් මඟ ඇරී යනවා. ඒත් අද රාජකාරිය අතර දී වුනත් එහෙම කරන්න හිත දෙන්නේ නැහැ. බොහෝම ස්තුතියි මේ පොස්ට් එක හරහා බෙදූ වටිනා පණිවුඩයට. ජය!
ඒ කොලු ගැටයාට පිං!
ReplyDeleteඅනේ අවන්කවම මට නං ඔහොම කරන්න හැකියාවක් නෑ. අපි වගේ අය නිසා ඒ දරු පැටියගෙ වටිනාකම වැඩි වෙනව.
අපූරුවට ලියපු කතාවක්!
අදමයි මම ඔයාගේ බ්ලොග් එක බලන්න ආවේ, හරිම සංවේදියි. ඇත්තටම සතෙක් ගැන හිතේ ආදරයක් තියෙන කෙනෙක් ඒ සතා මොන විදියද කියලා බලන්නේ නෑ. මේ වගේ සංවේදී හිත් හරිම අඩුයි. හරිම ලස්සනට කතාව ගලපලා තියෙනවා..
ReplyDeleteපන්සල් හන්දිය ...
ReplyDeleteස්තූතියි ප්‍රතිචාරෙට.. කතාව හිතට වෑදෙන්නෙ ඈත්තෙන්ම සන්වේදි හිත් තියන අයටයි :)
ගල්මල්
ඔබට ගොඩක් ස්තූතියි.... මා දන්නවා.. සංසාරේට ඊලඟ ලිපියෙන් 200 පිරෙනවා..ස්තූතියි
පොත්ගුල්ලෝ
:) ඈත්තෙන්ම මටත් ඒ ගට්ස් තිබ්බෙ නෑ එවෙලේ... මේක අපේ යුගයේ අපේ කාලයේ කතාවක් :) නේද?
ප්‍රාර්ථනා
සන්වේදිකම මිනිස්සුන්ගෙ හිත් පතුලෙ එම විදියට නොනෑසී තියන එක ගෑන දෑනෙන්නෙ කිව නොහෑකි සතුටක්... ජය වේවා !
ඒ සහෝදරයට යහපතක්ම වේවා... :)
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteබොහොමත්ම සංවේදී සටහනක්
ReplyDelete( අනේ අක්කේ සමාවෙයන් කමෙන්ටු පටලවන් පිස්සු කෙලිනවට මේ පිස්සට... )
ඇත්තටම මනුස්සයෝ ඉන්නවා කියලා හිතට හරි තෙතමනයක් දැනුනා. ඇත්තටම දිල් සහෝදරීට ගොඩක් ස්තුතියි මේ වගේ අත්දැකීම් බෙදාගන්නවට. මට හිතුනේ ඒ බලු කුක්කා යන්නෙම නැතුව ඉන්නවා නම් ඇයි කාටවත් ඌව අයින් කරන්න හිතුනේ නැත්තේ කියලා. සමහර විට ඌ හොරිකඩයෙක් නිසා වෙන්න ඇති...
ReplyDeleteබල්ලගේ පැත්තෙන් හිතුවොත්... ඌ ඒ රන්වන් දෑතට ආදරය කරනවා ඇත්ද ? මැරෙන්න නොදුන් එකට වෛර බැඳගෙන ඇද්ද ???
ඇස්වලට කදුලක් ආව හරිම සංවේදි කතාවක් හිතා ගන්න බැරි අවසානයක්. ඔයා කතාව ලියාගෙන ගිහින් තියෙන්නේ අපිට අනිත් ඔක්කෝම අමතක කරවලා. ඒකට සමවැදෙන්න පුළුවන් තරම් ලස්සන විදිහකට. කොහොම හරි ඒ කතාව ඇත්තටම ජිවිතේට ලොකු පාඩමක් කියා දුන්නා.
ReplyDeleteමං දැනට කියවල තියෙන බ්ලොග් වලින් කියපු හැම කතාවකටම වඩා මට මේ කතාව අමතක නොවන සිහිවටහනයක්. බොහෝම ස්තුතියි. මේ අද්දැකීම අපි එක්ක බෙදා ගත්තට.
මම මේ මගෙ බ්ලොග් එක නිසා වරුනාව කියනව නම් නෙමෙයි. ඒත් පස්සෙන් පහු හරි මගෙ බ්ලොගේ අහු උනාම කියවල යන ඔයාල එසෑනින් නොවෙතත් ඔයාල කියවූ සෑනින් අකුරක් කොටල යන එක මගෙ හිතට හරිම සතුටක් ගේනවා.
ReplyDeleteසංසාරේ අපි , දෛනික බ්ලොග් ජර්නලයක් නොවී, පැරනි ලිපි 'එදත් අදත් කවදත් නොම පැරණි ' වන වෙබ් අවකාශයක් වන්නේ , මෙය කියවා යන ඔබ නිසා....
ලිවීමෙන් මා සමු ගන්වන්නට කැස කවන විවිධාකාර බලවේග කොතෙක් හිස කැක්කුම් ඇති කළත් මට නොලියා සිටිය නොහැකියි. ඒ ඔබ හැමට පින් සිදු වන්නටයි...
ස්තූතියි