Saturday, May 29, 2010

අතීතයෙන් කවියක්...


අනේ මම සුලං පොද උනා නම්
මුව මතින් නොදැනෙන්නට
නුඹ අසලින්ම දැවටිගෙන
එහෙනම් මම ඇදී යනවා නොවෙද?

අනේ මම කුමුදක් උනා නම්
සඳ ඇබින්දක් පෙරෙන විට
ලජ්ජා බරින් මුව ඔසවා ගෙන
එහෙනම් මම හිනහ නොවේවිද?

සැඩ සුලං ‍රැලි නොකැලඹී නම්
සැඩ ඉරෙන් මා නොදැවුයේ නම්
අනේ මම තවමත් අරුමැක්කේ පිපුන
සමන් පිච්ච කැකුලක් නොවෙද ?


~~~~
ජීවිතේ මල්... හදි හදිසියෙම ලිවුවේ ... හවස 5.00 ට මැයි 29 වෙනිදා

Saturday, May 22, 2010

"විදූ" .. බලාපොරොත්තු තැබිය හැකි හඳගමගේ නිර්මාණයක්...!



ලාංකීය චිත්‍රපටි හෝදා පාලු වූ මේ සමයෙහි ....බලාපොරොත්තු තැබිය හැකි , මග බලා සිටිය හැකි අපූරු නිර්මාණයක් විය හැකි යයි මේ සිතේ..."විදූ" - අශෝක හඳගම නවතම සිනමා නිර්මාණය... ඔබත් මෙය නරඹා බලන්න......

ගීතය නම් අපූරුයි... ඒත් පසුගිය සමයේ මුලින්ම ගීත ප්‍රචාරණය කල ඇතැම් චිත්‍රපට ගීතයේ ඇති අපූර්වත්වය නිර්මානයේ පල නොකල නිසා, ගීතය මතම නිර්ණය කිරීමත් අපහසුයි... ඒත් අශෝක හඳගම බලාපොරොත්තු කඩ කිරීම් වලට අපව අවම වශයෙන් ලක් කල නිර්මාණශීලී කලාකරුවෙකු නිසා, ඔව්, බලාපොරොත්තු තැබිය හැකියයි සිතේ...

මා කලින් පෝස්ට් කිහිපයක ලියුව,දරුවෙකුගේ හැකියාව හඳුනා ගැනීම ගැන අපූර්ව පණිවිඩයක් මේ සොඳුරු ගීය තුල අන්තර්ගත වී තිබේ යැයි සිතේ.. අපූරුයි....
මා ආසාවෙන් බලා සිටිනවා මේ නිර්මාණය එලියට එන තුරු.... 

මෙයට සම්බන්ධ පෝස්ට්
විභාගේ තමයි අපේ අභාගේ
මැරුනේ හීනය විතරක් නෙමෙයි.. මැරුනේ මමයි

කාන්තා අයිතිවාසිකම්?? යුතුකම්???


 

Tuesday, May 18, 2010

සොඳුරු අහස ලඟ....

 ....



නිහඬ ඇස් කතා කල විට
පිලිතුරක් නැතිව මම
නිදැල්ලේ පිබිදෙන හැඟුමකට
ඇසිල්ලක් පාව යන්නට ඉඩ දෙමි....

පාව ආ සිතුවිල්ල
සොඳුරු ඇස් ලඟ නතරව
මොහොතක් හති ලමින්
වැතිරෙයි ඉසුඹුවක් සොයමින්....

ඉසුඹු ලන මොහොතක
ලතෙත් වී ගිලිහෙන දයා දිය දැක
නිවෙන්නෙමි යලි යලිදු
සැනහෙමින් සෙනෙහසට බැ‍ඳෙමි තව තවද

කියන්නෙමි හැමදාමත් ලෙස
මේ සෙනෙහස සීනයක්  මිස
සැබවක් නොවන වග සිතා උන්
මියෙන්නට සිටි සඳ  මම......

ගිරි කුලක් මත පායා උන්නෙමි කලෙක
මන්දාකිණියක මංමුලාව උන්නෙමි කලෙක
විඩාවෙන් නතරව උනිමි තව කලෙක
ඉමක් නැති අභ්‍යවකාශයක.......

නිරන්තර සිහින මැවු සිහිල
නිරන්තර හීන දු‍ටු උණුසුම
දෙකම එක සේ පිරි සොඳුරු අහස ලඟ
අද මම හිඳිමි නතරව.....

සඳට උරුම කියන අහස
අහසෙන් හෙවන වන සඳ මඩල
සඳත් අහසත් තරම
සොඳුරු නැත  ලොව ඇති දෙයද සොඳුරුතම ...!

Saturday, May 15, 2010

මනස අඩපණ වීමත් මනස ඇද වැටීමත් යනු එකමද ?



(කට හම යනකන් ජීවිතය හම ගැසූ කයි කතන්දර 7)


මනස අඩපණ වීමත් මනස ඇද වැටීමත් යනු එකමද ?

මා කියමි "නැත" කියා... "ඇයි?" ඔබ පෙරලා අසන වග මා දනිමි.... මම කියන්නම්... මේ කතා කරන්නට යන්නේ අති සියුම් මනෝ භාවයක් නිසාවෙන් මා ලියන දෑ අඩුපාඩු සහගත විය හැකියි. මන්ද මේ ලියන මොහොතේ මා පවා මින් එකකින් පෙලෙන නිසා.

ප්‍රශ්න වලින් හිත අවුල් වීමක් වන්නේ අප සිතන පතන මෘදු නම්‍යශීලී ජීවිතය වෙනසකට ලක් වෙන නිසා. එහි අප කලින් අනාවැකි කීමට නොහැකි වූ සිදුවීමකින් අප සසල වන නිසා. ඒ සසල වීම තුල අපේ මනස තිගැස්සෙනවා... සිදුවීමේ ප්‍රතිපල වලින් අපි තිගැස්සෙනවා. තිගැස්ම තාවකාලිකයි... වරින් වර එය සිහි වන වාරයක් පාසා තිගැස්සෙන නමුත් තිගැස්ම එක්කෝ විනාඩියයි දෙකයි.. අප තිගැස්ම යටපත් කොට යලිත් පුරුදු ජීවිතයට අවතීර්ණ වෙනවා... සුපුරුදු ජීවිතය තුල කතා බහ කරනවා. කනවා. බොනවා.. රස්සා කරනවා...ජීවත් වෙනවා.. ජීවිතය හොයාගෙන යනවා. හිතා මතා හෝ ජීවිතය කාර්යබහුල කර ගන්නවා.. තිගැස්මට වැඩි ඉඩක් දෙන්නට අකැමති නිසා. තිගැස්මෙන් සලිත වන්නට හිතට ඉසුඹුවක් දෙන්නට අපි සූදානම් නැහැ. හිත රවට්ටගන්නවා වගෙයි.. මනස හරියට අඩපණ කරන ලද සතෙකු වගේ. හරහ වැටී ඉන්නවා නොවේ. ගමන් කරනවා ඉදිරියට. සමහර විට මම අර කලින් ලිපියක ලීවා වගේ අප අඩපණ වීම ඉදිරියේ අධි ක්‍රියාකාරී වෙනවා. අධි ක්‍රියාකාරීත්වය තුල අපි යකඩයින් වෙනවා. වැඩ කරනවා. එය ශක්තිය යැයි විදහා පානවා. එය ශක්තිය වන්නට ඇති.. එය නොවන්නටද පුලුවන්. මනස විසින් මෙහෙයවමින් ගොඩ නගන විරුද්ධ බලවේගයක් වන්නට පුලුවන්.

මනස ඇද වැටීම යනු කුමක්ද? ඇද වැ‍ටුන මනස ක්‍රියාකාරී වන්නේ කලාතුරකින්. ඒ වෙනුවට ඇද වැ‍ටුන මනස කුසීත කරවනවා අපව.. අප තුල ඇති මන්ද ක්‍රියාකාරීත්වය පවා හීන කරවනවා.. දවස ගෙවා දැමීම ප්‍රශ්නයක් වනවා.. කරන්නට දෑ නැති කමින් නොවෙයි... කරන්නට දෑ බොහෝ තිබුනත් ඒ කරන්නට හිත හදා ගන්නට නොහැකි වන තරමට අප තුන්වන බලවේගයක වහලුන් බවට පත් වෙනවා.. ඒ බලවේගය කුමක්දැයි වචනයෙන් කියන්නට නොහැකියි. ඊට නිර්වචනයක් මා සතු නැහැ.


ඇද වැ‍ටුනු මනස ඊට හේතු හොයනවා. ඇද වැටීමෙන් ගොඩ එන්න දඟලනවා මිස අවුල් වූ මනස තුල කාර්යබහුල වීමේ අවදානම ගන්න සතු‍ටු නැහැ. මේ සියුම් මනෝ භාවය ඔබත් අත්විඳ තිබේදැයි කියන්න.  ආත්මානුකම්පාව රජයන්නේ අප අඩපණව සිටින විට නොව අප ඇද වැටී කුසීතව සිටින විටය... ඇද වැටීමේ ආදීනව තුල හොඳ ආදීනව දැකිය හැක්කේ අල්ප වශයෙනි.. මන්ද පසුතැවිල්ල , පශ්චත්තාපය තුල අප සිටින්නේ බොහෝ අසරණ මනසකින් මිස ඇත්ත ඇති සැටියෙන් දැකිය හැකි මනසක නොවේ... මනස අඩපණ වුවහොත් පණ ගසා එන අධි ක්‍රියාකාරීත්වය සහ ඊට අනුගත වන චිත්ත ඒකාග්‍රතාව තුල අප ශකිතිමත් වනු, අපේ ශක්තිය දැකීමෙන් ආත්ම තෘප්තියට පත් වනු මිස අප ගැනම ආත්මානුකම්පාව පහල වනු දැකිය නොහැකිය. එහෙත් ඇද වැ‍ටුන මනසක අප දකින්නේ ආත්මානුකම්පාවය.

ගොඩ ඒමක් නැද්ද ඉතින්? පිස්සුද? ගොඩ ඒමක් තිබේ... තමාට ආදරය කරමින් තමා ගැන තෘප්තිමත් වන්න. තම වැරදි පෙනෙද්දී වුවත් මොහොතකට ඒවා පසෙක ලා තමාට ඉස්සෙල්ලාම ආදරය කරන්න.. එයින් තමා ගැන තම ශක්තිය ගැන තිබූ අවිස්වාසය පහ කර ගන්න. ඉන් තු‍ටු වන්න. ඒ සතුටට තමා හා ජීවත් වන්නට දෙන්න... දුක් කම්කටොලු පසෙක ලා සිත නිවා ගන්න... සිත සතු‍ටු වන දෑ කරන්න... මතක තබා ගන්න .. ඔබේ සිත ඇද වැ‍ටුනොත් ඉන්නේ ඔබ ගිලන් වූ සිතක් සමගය.. එයට ගිලනෙකුට මෙන් උපස්ථාන කරන්න. සිත සමග මිතුරු වී සිතත් සමගම සංවාදයේ යෙදෙන්න.. අතීතය සිතින් හලන්න. එහි නීරස දෑ මකා දමන අයුරින් එහි රසවත් දෑ මෙනෙහි කරමින් සිතට සුව වන්නට ඉඩ දෙන්න. ඇද වැටී ඉන්න සිත පණ ගසා එන්නට පෙර අඩුම ගානේ අඩපණ වූ මට්ටමටවත් ‍රැගෙන එන්න. අඩපණ වූ සිතට මඳින් මඳ ශක්තිය  කාන්දු වන විට ප්‍රබෝධමත් වෙන්න.. ඒ ප්‍රබෝධය සිත්හි දරා ගෙනා හෙමි හෙමින් වැඩට බහින්න... ජීවත් වෙන්න.. සිනහසෙන්න. තමා සිනහසෙන හැටි බලා සතු‍ටු වෙන්න...

සිනහසෙන ජීවිතය , ඔබ තුල ඇති ශක්තිය උලුප්පමින්,  ඔබේ පාලනය ඔබේ හදවතටවත් බුද්ධියටවත් නතු නොවී ඔබ අතටම යලිත් ‍රැගෙන දෙනු ඇත.. ජීවිත ඔරුව මේ තරණය කරන්නේ නිසල විලක් වන් භවයක් නොවේ.. ජීවිත ඔරුව මේ පැද යන්නේ කුණා‍ටු දියසුලි නැගෙන බි‍ඳෙන ‍රැලි අතොරක් නැති භව සයුරකය... එහි නිහඬ බව බි‍ඳෙනු දැක නොසන්සුන් වීමෙන් ඇද වැටීමෙන් අප ඔප්පු කරනුයේ අප ජීවිතය පසක් නොකල බව පමණි. ජීවිතය එයයි... එහි ඇති ගෝසාව පුහුදුන් මේ සිතට හුරු කල යුතු වෙමු. රල බි‍ඳෙන භව මුහුදට වෙර බැඳ පලක් නැත. රලට නොබියව රල බිඳුනත් ගැඹුරු බව අත් නොහරින භව සයුර දෙස බලා සිනහසෙනු මිස... !

Monday, May 10, 2010

මලෙහි නිදා ,මලක් වූ කින්නරී..






මලක් ඉඳියි නිදැල්ලේ
හාත්පස නැලැවෙන ඇසිල්ලෙක
සවන් පිරෙන බමර ගුමු ගීයක
අරුත් පසිඳින කින්නරී... ඈ තැවිල්ලේ....

න‍ටුවෙන් ගිලිහෙනු දුකක් නැතී
ගිලිහී ‍රැ‍ඳෙනුයෙ පුදසුනක නම්
න‍ටු අගින් දුක් කඳුලු වෑහේවි
විරහවෙන් මිස පසුතැවීමෙන් නොව....සත්තමයි....

නිදි බි‍ඳෙන ඇස් වෙහෙස මුත්
ඇහැරී හෙමි හෙමින් ඇස් දෙමි තවත්
ඉවසිල්ලේ මග බලමි අරුණ කොයිබදැයි
කින්නරී - අසරණී නිදයි මලෙහි තවමත්......

න‍ටු අගින් නොනෙලන හැඩ බලන
බමර ගුමුවෙන මත් නොවෙන
කින්නරී මල් සුව‍ඳෙම ගැලෙන , ලොබ බඳින
ඈ මලක් වී සිතේ.... මල් ගොමුවම උරුම....

සීරුවෙන් න‍ටු අගින් නෙලන
පුදසුනක අබිසෙස්  සිහින දකින
කින්නරියක් නොව ඈ මලක සැටි කියන
මලකි ඈ .. මල් ගොමුවම උරුම ...!


                                                                            `````ජීවිතේ මල් `````   2010-5-10   දින 7.40 ට....

Tuesday, May 04, 2010

මට පිස්සු...(ද කොහෙද..!)


මම මේ screen saver එකේ එන සබන් බුබුලු දිහා බලං ඉන්නව.. දාහක් වැඩ තියෙද්දි... තුන්දාහක් අශනය පෙරෙද්දි, සින්ග්‍රිසිය ඇරිය මොනා හරි විකාර ටිකක් ලියන්න.. ඔලුව කෙලින් තියා ගන්න අමාරු මුත්, හිත හදා ගෙන දැන් හෙට වැඩේට ලෑස්ති වෙනව.. වෙන මක් කොරන්නද? ජීවිතේ මල්... ලෝකෙටම බණ කියන ජීවිතේ මල්..උඹේ හිත හරි දුර්වලයි.... කොහේ ඉඳන්දෝ මේ  වචන ආයෙ ආයෙත් දෝංකාර දෙනව.. හිත ශක්තිමත් යැයි මා පවා හිතන් උන්නු ජීවිතේ මල්... නින්ද හොරා ගෙන... සිනහව මිහිදන් කරගෙන ....  මොකෝ නුඹට උනේ ජීවිතේ මල්?? මා පවා එය අහනව! මාත් එය හොයනව... ජීවිතේ මල්... කවුද මොකද කලේ.... ??

මුකුත් නොවිච්ච..කවුරුත් මුකුත් නොකී, නොකරපු.... අනේ මෙහෙම නිකම්මද උනේ?? ඔව්..නිකම්මයි උනේ!

වියවුල් ලිපි ලියන දෙවනි වතාව... තුන් වතාව ඒවිද ලඟදීම? දන්නෙ නැහැ...
සමාවෙන්න...සංසාරේ අපි හි ජීවිතේට වැඩක් ඇති දේ ලියන ජීවිතේ මල් ට ජීවිතේ ලිහා ගන්න බැරිව ලත වෙනව... අවුල් වියවුල් වෙලා නිසාම බලි කුරු‍ටුත් ලියවෙනව..කවුරු හෝ මේවා නොකියවා මගේ පොත් පි‍ටු අස්සේ හැඟවුනා නම්, මේවා හූල්ල හූල්ල කියවන්නේ මා විතරයි නොවැ...

බිලි‍ඳෙකු හඬයි
දණ නොගා
අත් පොඩි දිගු කොට
තරු ඇස් දල්වමින්
ජීවිතය යදියි...

Saturday, May 01, 2010

මටම මා අහිමිව... වසන්තය කුමට මට ?






වසන්තයේ අවසන් මල් කිනිති
අහුලමින් ඇවිදි සීරුවෙන...

වට පිට නොබලන දෙ ඇස
හොරගල් ගනින අරුම...

පිණි විසුල තණ පත්
මදහසින් ඉවසයි රලු දෙපය..

මිණි නො‍රැඳි හිස් දෙ අත
මිටින් ගුලි කොට සඳුන් හර ..

නැණ රුවන් නිදන බිම
වැතිර හති ලන ප්‍රාණය...

වසන්තය දිය කල
කඳුලු බොර වූ ඇස් මත...

බොහෝ දුර ඇවිදි පා
අඳියි වෙහෙසක සලකුණ...

මිණි නැණ කිරුල මත
ක‍ටු ඔ‍ටුනු අබිසෙස් විය...

ඔ‍ටුනු අහිමිය
නැණ මිණි කුමට මට?

නිවන අහිමිය
වසන්තය කුමට මට?

දෙපා අහිමිය
වෙහෙස සෙස් වී කුමට මට?

මටම මා අහිමිව
වසන්තය කුමට මට ?


::::පසුවදන::::

මේ නොලීවොතින් එය අඩුවකි.... ජීවිතයේ මුහුණ දෙන සමහර සිදුවීම් විසින් තුරුණු විය වෙත ගෙන ආවේ වෙහෙස , පසුතැවීම පමණි... එහෙත් නැණ මිණ , ඔප නොලූ විලස රලු බොරලු පිරි මහ පොලව මත වැතිර හිඳින විට, ආත්මය ගලක් මිස ගසක් වී මල් නොපූදියි...  වසන්තය ගෙවෙයි... ඒ තුල වෙහෙස මිස අනෙකක්, මතක තැබිය යුතු  අතීතයක් නොවෙයි.... වේ නම් ඒ එක් කල නැණ මිණි පමනකි... එපමණි...එපමණකි......

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->