Saturday, May 15, 2010

මනස අඩපණ වීමත් මනස ඇද වැටීමත් යනු එකමද ?



(කට හම යනකන් ජීවිතය හම ගැසූ කයි කතන්දර 7)


මනස අඩපණ වීමත් මනස ඇද වැටීමත් යනු එකමද ?

මා කියමි "නැත" කියා... "ඇයි?" ඔබ පෙරලා අසන වග මා දනිමි.... මම කියන්නම්... මේ කතා කරන්නට යන්නේ අති සියුම් මනෝ භාවයක් නිසාවෙන් මා ලියන දෑ අඩුපාඩු සහගත විය හැකියි. මන්ද මේ ලියන මොහොතේ මා පවා මින් එකකින් පෙලෙන නිසා.

ප්‍රශ්න වලින් හිත අවුල් වීමක් වන්නේ අප සිතන පතන මෘදු නම්‍යශීලී ජීවිතය වෙනසකට ලක් වෙන නිසා. එහි අප කලින් අනාවැකි කීමට නොහැකි වූ සිදුවීමකින් අප සසල වන නිසා. ඒ සසල වීම තුල අපේ මනස තිගැස්සෙනවා... සිදුවීමේ ප්‍රතිපල වලින් අපි තිගැස්සෙනවා. තිගැස්ම තාවකාලිකයි... වරින් වර එය සිහි වන වාරයක් පාසා තිගැස්සෙන නමුත් තිගැස්ම එක්කෝ විනාඩියයි දෙකයි.. අප තිගැස්ම යටපත් කොට යලිත් පුරුදු ජීවිතයට අවතීර්ණ වෙනවා... සුපුරුදු ජීවිතය තුල කතා බහ කරනවා. කනවා. බොනවා.. රස්සා කරනවා...ජීවත් වෙනවා.. ජීවිතය හොයාගෙන යනවා. හිතා මතා හෝ ජීවිතය කාර්යබහුල කර ගන්නවා.. තිගැස්මට වැඩි ඉඩක් දෙන්නට අකැමති නිසා. තිගැස්මෙන් සලිත වන්නට හිතට ඉසුඹුවක් දෙන්නට අපි සූදානම් නැහැ. හිත රවට්ටගන්නවා වගෙයි.. මනස හරියට අඩපණ කරන ලද සතෙකු වගේ. හරහ වැටී ඉන්නවා නොවේ. ගමන් කරනවා ඉදිරියට. සමහර විට මම අර කලින් ලිපියක ලීවා වගේ අප අඩපණ වීම ඉදිරියේ අධි ක්‍රියාකාරී වෙනවා. අධි ක්‍රියාකාරීත්වය තුල අපි යකඩයින් වෙනවා. වැඩ කරනවා. එය ශක්තිය යැයි විදහා පානවා. එය ශක්තිය වන්නට ඇති.. එය නොවන්නටද පුලුවන්. මනස විසින් මෙහෙයවමින් ගොඩ නගන විරුද්ධ බලවේගයක් වන්නට පුලුවන්.

මනස ඇද වැටීම යනු කුමක්ද? ඇද වැ‍ටුන මනස ක්‍රියාකාරී වන්නේ කලාතුරකින්. ඒ වෙනුවට ඇද වැ‍ටුන මනස කුසීත කරවනවා අපව.. අප තුල ඇති මන්ද ක්‍රියාකාරීත්වය පවා හීන කරවනවා.. දවස ගෙවා දැමීම ප්‍රශ්නයක් වනවා.. කරන්නට දෑ නැති කමින් නොවෙයි... කරන්නට දෑ බොහෝ තිබුනත් ඒ කරන්නට හිත හදා ගන්නට නොහැකි වන තරමට අප තුන්වන බලවේගයක වහලුන් බවට පත් වෙනවා.. ඒ බලවේගය කුමක්දැයි වචනයෙන් කියන්නට නොහැකියි. ඊට නිර්වචනයක් මා සතු නැහැ.


ඇද වැ‍ටුනු මනස ඊට හේතු හොයනවා. ඇද වැටීමෙන් ගොඩ එන්න දඟලනවා මිස අවුල් වූ මනස තුල කාර්යබහුල වීමේ අවදානම ගන්න සතු‍ටු නැහැ. මේ සියුම් මනෝ භාවය ඔබත් අත්විඳ තිබේදැයි කියන්න.  ආත්මානුකම්පාව රජයන්නේ අප අඩපණව සිටින විට නොව අප ඇද වැටී කුසීතව සිටින විටය... ඇද වැටීමේ ආදීනව තුල හොඳ ආදීනව දැකිය හැක්කේ අල්ප වශයෙනි.. මන්ද පසුතැවිල්ල , පශ්චත්තාපය තුල අප සිටින්නේ බොහෝ අසරණ මනසකින් මිස ඇත්ත ඇති සැටියෙන් දැකිය හැකි මනසක නොවේ... මනස අඩපණ වුවහොත් පණ ගසා එන අධි ක්‍රියාකාරීත්වය සහ ඊට අනුගත වන චිත්ත ඒකාග්‍රතාව තුල අප ශකිතිමත් වනු, අපේ ශක්තිය දැකීමෙන් ආත්ම තෘප්තියට පත් වනු මිස අප ගැනම ආත්මානුකම්පාව පහල වනු දැකිය නොහැකිය. එහෙත් ඇද වැ‍ටුන මනසක අප දකින්නේ ආත්මානුකම්පාවය.

ගොඩ ඒමක් නැද්ද ඉතින්? පිස්සුද? ගොඩ ඒමක් තිබේ... තමාට ආදරය කරමින් තමා ගැන තෘප්තිමත් වන්න. තම වැරදි පෙනෙද්දී වුවත් මොහොතකට ඒවා පසෙක ලා තමාට ඉස්සෙල්ලාම ආදරය කරන්න.. එයින් තමා ගැන තම ශක්තිය ගැන තිබූ අවිස්වාසය පහ කර ගන්න. ඉන් තු‍ටු වන්න. ඒ සතුටට තමා හා ජීවත් වන්නට දෙන්න... දුක් කම්කටොලු පසෙක ලා සිත නිවා ගන්න... සිත සතු‍ටු වන දෑ කරන්න... මතක තබා ගන්න .. ඔබේ සිත ඇද වැ‍ටුනොත් ඉන්නේ ඔබ ගිලන් වූ සිතක් සමගය.. එයට ගිලනෙකුට මෙන් උපස්ථාන කරන්න. සිත සමග මිතුරු වී සිතත් සමගම සංවාදයේ යෙදෙන්න.. අතීතය සිතින් හලන්න. එහි නීරස දෑ මකා දමන අයුරින් එහි රසවත් දෑ මෙනෙහි කරමින් සිතට සුව වන්නට ඉඩ දෙන්න. ඇද වැටී ඉන්න සිත පණ ගසා එන්නට පෙර අඩුම ගානේ අඩපණ වූ මට්ටමටවත් ‍රැගෙන එන්න. අඩපණ වූ සිතට මඳින් මඳ ශක්තිය  කාන්දු වන විට ප්‍රබෝධමත් වෙන්න.. ඒ ප්‍රබෝධය සිත්හි දරා ගෙනා හෙමි හෙමින් වැඩට බහින්න... ජීවත් වෙන්න.. සිනහසෙන්න. තමා සිනහසෙන හැටි බලා සතු‍ටු වෙන්න...

සිනහසෙන ජීවිතය , ඔබ තුල ඇති ශක්තිය උලුප්පමින්,  ඔබේ පාලනය ඔබේ හදවතටවත් බුද්ධියටවත් නතු නොවී ඔබ අතටම යලිත් ‍රැගෙන දෙනු ඇත.. ජීවිත ඔරුව මේ තරණය කරන්නේ නිසල විලක් වන් භවයක් නොවේ.. ජීවිත ඔරුව මේ පැද යන්නේ කුණා‍ටු දියසුලි නැගෙන බි‍ඳෙන ‍රැලි අතොරක් නැති භව සයුරකය... එහි නිහඬ බව බි‍ඳෙනු දැක නොසන්සුන් වීමෙන් ඇද වැටීමෙන් අප ඔප්පු කරනුයේ අප ජීවිතය පසක් නොකල බව පමණි. ජීවිතය එයයි... එහි ඇති ගෝසාව පුහුදුන් මේ සිතට හුරු කල යුතු වෙමු. රල බි‍ඳෙන භව මුහුදට වෙර බැඳ පලක් නැත. රලට නොබියව රල බිඳුනත් ගැඹුරු බව අත් නොහරින භව සයුර දෙස බලා සිනහසෙනු මිස... !

10 comments:

  1. අක්කි...ගොඩාක් දේවල් තේරුම් ගන්න ටිකක් අමාරුයි මට..එත් මේ දැන් හිතට ආපු දෙයක් කියන්නම්.....
    නමින් 'සිංහයො' උනාට වෙලාවකට අපි දෙන්නම ඇදගෙන වැටෙන්නෙ 'හාවො' දෙන්නෙක් වගේ..

    ReplyDelete
  2. මම හිතන්නේ ඔයා මේ විස්තර කරන්නේ 'depression' කියන තත්වය කියලයි...

    ReplyDelete
  3. නෙතාර නංගා

    අපි සිංහයො වගෙ ඉද්දි උනත් සිංහයින්ටත් බය , දුක , නොසැනසුම ආතතිය දැනෙන බව අමතක වෙනවා.. යම් හෙයකින් දැනුනොත් අපි පෙරලා අපව ප්‍රශ්න කරනවා. එහෙත් සිංහයින්ටත් බය දැනෙන බව අප පිලිගන්නවා නම්, එහෙත් එය නිවැරදි විය යුතු ධර්මතාවයක් මිස දුර්වලතාවයක් නොවන බව අප තේරුම් ගන්නවා නම් , අප ඇද වැටෙන්නේ නැතුව ඉක්මනින් යලිත් පණ ගසා එනවා නොවේද ?

    යසෙල
    ඔබ හරි යාලුවේ... මනස අඩපණ වන්නේ ආතතිය නිසා යැයි මා හිතුවා. ඒ ආතතිට සමනය නොවෙන විට එය ඇද වැටීමක් දක්වා දුර යා හැකියි.. එය අවපීඩනයයි... වෛද්‍ය විද්‍යාත්මකව මා නිවැරදිදැයි මා දන්නේ නැහැ ඒත්..... මේ මට හැඟුන විදිය....

    ReplyDelete
  4. මණැස යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද? අවුල් වූ, හෝ ව්‍යාකූල වූ සිතක්ද? බටහිර වෛද්‍ය විද්‍යාව මේ වගේ තත්වයකට මේ කාලවකවානුවේ දෙන්නේ Citalopram/fluoxetine වැනි ඖෂධයක්. එයින් මේ තත්වය සුව වෙන්නේ නැහැ. ජීවිතය අවසන් වෙන තෙක් සමහර වෙලාවට බෙහෙත් ගන්න වෙනව. psychotherapy වගේ දේවලුත් නිර්දේශ කරනව නමුත් ඒකත් කිසිම තීරනාත්මකව වෙන්නෙ නැහැ. බොහෝ දුරට රෝගියා සමග සානුකම්පිකව කථා කිරීමෙන් බොහෝ දුරට සුවයක් ඇතිවෙනව. මම එක ප්‍රශ්නයක් අහන්නම්. ඔබ බෞද්ධයෙක් නොවෙයි නම් කමක් නැහැ, බෞද්ධයෙක් නම් මේ ගැන හොඳට කල්පනා කරල බලන්න. කිසාගෝතමී අසිහියෙන් තම දරුවාගේ මල සිරුරත් සමග බුදු හිමි ලඟට ගියාම බුදු හිමියන් කොහොමද කල කී දේවල් සිහි කරන්න.ඔබේ ප්‍රශ්නයට පිලිතුර එහි ගැබ් වී තිබෙනවා. අපි බුද්ධාගම ඇදහුවට බුදු හිමියන්ගෙ චරිතය දිහා බලන්නෙ නැහැ. අනිමිසලෝචන පූජාව උන්වහන්සේ කලේ අපට කලගුණ සැල්කීමේ වටිනා කම උගන්වන්න. අපි ඒව විභාග වලට විතරක් ලියන්න ඉගෙන ගන්නව. මමත් බොහොම කල් යනකල් බටහිර ක්‍රමයටම රෝගීන්ට වෙදකම් කලා. බුදුදහම ගැන උනන්දුවෙන් කියවන කොට තමයි අපි කරන්නෙ අතීසාරයට අමුඩ ගැසීමක් කියල තේරුනේ. මම පොතක කියෙව්ව ටිබෙට් රටේ මානසික රෝගීන් ඉන්නෙ අතේ ඇඟිලි වලින් ගනින්න පුලුවන් සංඛ්‍යාවක් කියල. ගොඩාක් ලිව්වට අමනාප වෙන්න එපා. මම පුලුවන් විදියට සත්‍යය ප්‍රකාශ කරනවා. තෙරුවන් සරණයි.

    ReplyDelete
  5. මම සිතන ආකාරයට නම් ආත්මානුකම්පාව තරම් තමන්ට සතුරෙක් වන කිසිවක් නෑ මිස්..

    දකින්න
    ජීවිතය
    හදවතින් හෝ මනසින් නොව
    හදවත හා මනස එක්කොට....

    දැනේවි
    ජීවිතය
    ජීවත් වන බව
    තමන් තුලම..

    දැනේවි
    ජීවිතය
    ජයගතහැකි බව...

    ආත්මානුකම්පාව වෙනුවට
    ආත්මාභිමානය ළඟා වේවි..

    ReplyDelete
  6. These are all nature. One thing is for sure now you are begging to feel what things are there in the nature and what could happen in the ones life. It is good to understand where are you standing at the moment which will allow you to get some kind of control over your situation, even though you can't properly control the situation you are able to see your status.
    I think you should try to understand these things and try see reality of everything through these small functionalities of ones mind or life. Then it will allow you, if you get it correctly, to get enlighten which is to move towards nirwana.
    Anonymous

    ReplyDelete
  7. මානසිකව ඇද වැටුනු අවස්ථා මට නම් තියෙන්නේ අතේ ඇඟිලි ගානටත් වඩා අඩු අවස්ථාවන් ගණනක් වුනත් එහෙම වුනහම මගේ හිතට නිතැතින්ම එන වාක්‍යයක් තියෙනවා.

    "falling down is not defeat. Defeat is when you are refuse to get up."

    මෙතෙන්ට කොයිතරම් ඒක ගැලපෙනවද දන්නෙ නැති වුනත් මට හිතුනා ලියන එක හොඳයි කියලා.

    ReplyDelete
  8. මනස.... මම දැන් මෙතන වුනාට මගේ මනස තියෙන්නේ ගොඩක් දුර ඒනිසා මටත් හරියට දෙයක් හිතා ගන්න බැහැ...

    ReplyDelete
  9. මම මෙක කලින් දැක්කත් දැනුයි සටහනක් දාන්න හම්බ වුනෙ.

    මනස අඩපණ කරහැකි රසායනික බෙහෙත් වලින්
    මනස වට්ටන්න බැහැ රසායනික බෙහෙත් වලින්

    උදාහරන:- මානසික රොගියෙකු උදෙසා ඇති බෙහෙත් හා එහි ක්‍රියාකරිත්වය අධ්‍යනය කරන්න. මෙය මා හොදින් දනි.

    මනස අඩපණ වෙන්නෙ භාහිර සාධක වලින්
    මනස ඇද වැටෙන්නෙ මනස තුලින්ම ඇති වන සාධක තුලින්..

    උදාහරණ:- මනස අඩපණ කිරිමට මහන්සිය, අතතිය වැනි භාහිර සාධකයන් මගින් ව්‍යුත්පන්න වන දෙවල් වලට. නමුත් මනසෙ ඇද වැටිම සිදුවන්නෙ බොහොවිට බාහිර සාධක සමග තම ප්‍රවාහය සමග ගැටෙන විටදි.. මෙයින් සමහර දැ දරා ගත හැකිය

    මනස අඩපණ වන විට හැකියවන් දුර්වල වෙනවා..
    මනස ඇද වැටනු විට මාර්ගයට යොමු උනොත් හැකියාව විශීෂ්ටත්වයට පත් වෙනවා.

    මනස අඩපණ වන එක ඉතාම කෙටි කාලිනව වරින් වර සිදුවෙනවා.
    මනස ඇද වැටෙන එක පුද්ගල ස්භාවය අනුව සමහර විටක ජිවිතකාලයම දක්වා තිබෙනවා.

    ReplyDelete
  10. @ සරත් ගුණතුංග මාමා
    ඔබ මේ කල සියලු උදව් වලට ස්තූතියි....
    ඔබා කීවා හරි...ස්තූතියි.... මට සහන් එලියක් ඔබ දුන්/දෙන උපදෙස්....
    පින් සිදු වේවා!

    @මිත්‍රයා
    ඔබ හරියටම හරි..... ආත්මානුකම්පාව යනු භයානක ව්‍යාධියක්....
    ඒක නෙමෙයි මිත්‍රයෝ...
    කවි ලියන එක නවත්තන්න එපා.... මේ තියෙන්නේ හරවත් ගැඹුරු කවි...ලියන්න දිගටම

    @ano
    it is very clear where i stand my friend... but the real problem is how to get out of it. im glad i have found an excellent solution. im very happy to proceed with it. the confusing mind status will clear up soon.

    @ royly
    මානසිකව ඇද වැ‍ටුනු අවස්ථා නම් යාලුවේ නැති වෙන තරමට හොඳයි..ඒත් සැබෑ ජීවිතයේ එහෙම නැහැ නොවැ. එක් එක් අය අවස්ථා වලට ප්‍රතිකිරියා කරන්නේ ඒ ඒ අයගේ අවබෝධය සහ පරිණතියට සාපේක්ෂව නොවේද? ඇත්ත ඇද වැටීම පරාජයක් වන්නේ අප නැගිටීමට මැලි කරන විටයි. ඇද වැ‍ටුන මනසකට දැනෙන ලොකුම ව්‍යාකූලත්වය තමා නැගී සිටීමට ඇති කුසීත බව... ඒත් හැකි ඉක්මනින් එය වටහා ගන්නේ නම්, ඇද වැ‍ටුනු පොලවටම වාරුවී හෙමි හෙමින් නැගිට්ටිය හැකියි...

    @වත් අක්කා
    ඔව් හිතා ගනන් බැරි තරම් දුරක මනස අතරමං වී සිටින විට මටත් දැනී තිබෙන්නේ ඔහොම තමා :-)

    @රවා
    ඔබ හරියටම හරි... ඇද වැටීම පැන නගින්නේ මනස තුලින්මයි.. ඒත් අනේ මන්දා රවා, මට නම් හිතුනේ අඩපණ වූ මනස හිරි වැටී ඉන්නාක්මෙන් ජීවිතයට මුහුණ දෙනවා යයි කියායි. ඒත් මට හිතුනේ ඇද වැ‍ටුන මනස කුසීතව සිටින බවකුයි..අනේ මන්දා... මා වැරදිද මන්දා
    කෙසේ නමුත් ඔබේ නිර්වචනය සැසඳීම හරි පැහැදිලියි.. සාර්ථකයි.. මා එයින් උගත්තා ගොඩාක් දෑ..

    මට ලියූ හැම දෙනාටම ස්තූතියි

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->