[259] හිංසාව වපුරන්නන්ට සෙනෙහසින්


සත්තු මරන එක පව්ය. සත්තුන්ට උපරිම ආයු කාලයම ජීවත් වෙන්න තියනවා නම් ඒක හොඳය. ඒ වගේම එක සතෙක් තව සතෙකු සිය කුසගින්න නිවා ගන්නට යොදා නොගන්නවා නම් තවත් හොඳය. එතකොට මේ ලෝකය ලේ හැලීම් නැති සුන්දර තැනක් වෙන බවත් ඇත්තකි.

ගල ගහන්නා වගේ , වෙඩි තියන්නා වාගේ මෙහෙම ලියමනක් අරඹන එක කොච්චර කැතද? ආඩාතාඩේ පටන් ගෙන , එහෙන මෙහෙන් ඉඟියක් දෙකක් ලියා,  ලතාවට හැඩ රවුම් කොට ලියමනක් පටන් ගන්නේ නැතුව , අමු අමුවේ සමහර දේවල් ලියාගෙන ලියාගෙන යන එක, සාහිත්‍ය රීතියකට එකඟ නැති වෙන්ඩ පුලුවනිය. ඒත්.... ඒත්.... සමහර දේවල් අපේ ඇස් ඉස්සරහා දකින ඇහෙන තාලය මීටත් වඩා අමුය ..කැතය... අද ලියන්නේ අන්න ඒ දේ ගැනය...

ඔහේ නිස්කාරනේ රස්සාව කරගෙන පඩියක් අරගෙන ,  අනික් ගෑනු ලමයි වගේ ඉන්න බැරි එක මට තියන ලෙඩකි. මොකක් හරි සමාජයේ කොනක් අවුස්සගන්නට හිතෙන එක , අමුතු දේකි. මටත් නිකම් ඉන්න බැරි හැටි... ! 


අවුරුදු දෙකහමාරක් තිස්සේ මම 'සංසාරේ අපි' ඇතුලේ දුක , කෝපය . නොසතුට, විඳවීම් ලියා ඇත්තෙමි. ඒත් ඒවා ලියා තිබෙන්නේ කරකවා රවුම් කොට ව‍යංගයෙන් මිස , වෛරය , හිංසනය නොතැවරෙන්නටය. ආසන්න තෙවසරක මෙම නිර්ණායකය පොඩ්ඩකට එහෙ  මෙහෙ කරන්නට අද දහවල් සිදුවූ සංවාදයක් බල කර සිටී... 

සමාජ ජාල අතර සීග්‍රයෙන් , කලින් කලට වැල‍ඳෙන ආසාත්මිකතාවන් තිබේ.... මේ දවස් වල ඉහලින්ම පැතිරෙන්නේ ෆොටෝ මේනියාවය. ලංකාවේ තිබෙන ඇතැම් අන්තගාමී මතවාද , දර්ශන ෆෙස්බුක් තුලද සීග්‍රයෙන් ඉඩ ලබා වෑපිරෙමින් ගෙන සිටියි. ජුගුප්සා ජනක දර්ශන, හද කකියවන දර්ශන, ලේ රත්වන දර්ශන , ලේ පිපාසිත දර්ශන ඔස්සේ  වැපිරෙන්නේ දයානුකම්පාව , සෝකය ,  ජාත්‍යාලය, අගමාලය සහ තම දර්ශනය යයි සිතන්නෝ එක මවුස් බට්න් (Mouse Button) පහරින් මේ දර්ශන share  කරගෙන කරගෙන යන්නෝය.
 


දකින්නෝ මොන මානසිකත්වයෙන් සිටියත් ශෙයා කරන්නාට ඇති පල කිම? එකම අරමුණ ලෝකය හොඳ තැනක් කිරීම හෙයිනි. තම ආගම අන් ආගමින් කොයිතරම් හොඳ තැනක වැජඹෙන්නේදැයි තහවුරු කරගැනීම පමණි. දකින්නා කුඩා දරුවෙක් වුවත්, සංවේදී මනසක් ඇතියෙකු වුවත්. රෝගියෙකු වුවත් , ලේ පිපාසිත මිනීමරුවෙකු වුවත් ශෙයා කරන්නාට කම් නැත.

සමාවන්න... මෙහි ලියන්නේ මගේ මතයකි... ඔබේ මතයට මෙහි ඉඩ තිබේ....

මගේ මතය 1

විලෝපීයතාවය !

මේ ගැන කතා කිරීමත් භයානකය. සතුන් මරන එක ඒ කියන්නේ හරිද? ඔබ එක සැණෙන් අහනු ඇත...

මම කියන්නේ මේකය. හරි වැ‍රැද්ද තිබෙන්නේ කුමන සාපේක්ෂ රාමුවේද? කොටියෙක් සාවෙකු මස් කොට කන විට එය සොබා දහම් රීතිය යයි දැකීම, මේ සොබාදහම් දාමයේ විලෝපීයතාවය යයි දැකීම අමනුස්ස කමක්ද? හූනෙක් සමනලකු අල්ලාගෙන කන විට අප සමනලයා වෙනුවෙන් ඉදිරිපත් වන්නෙමුද?

බෝ කොට , ජාන විකෘත කොට මිනිසුන් කරන මස් වෙලඳාම හරිද ?
එය ඔබේ දෙවන පැනය වනු ඇත ....

මිනිස් සතා සොබා දහම විකෘත කරමින් විලෝපීයතාව එක්කත් ඕනෑ නැථි අත් හදා බැලීම් කර තිබෙන එක ඇත්තය . සහ ඒක සහමුලින්ම ගොන් කමකි.


බෝ කිරීම සොබා දහමේ සමතුලිතතාව බිඳිනවාද නොබිඳිනවාද යන්න සලකා බැලීම වටී... සුලඟ වරාමල් ගෙන ගොස් වරා ගස් ජනපද නිර්මාණය කරයි. සමනලයකු පරාග වාහකයකු වෙයි. බ්‍රොයිලර් සහ ගව ඝාතන පමණක් සාහසික මරණ වන කල්හි? සා මුවන්? ගෝණුන්? මාලුන්? හාල්මැස්සන්? කරෝල වන මාලුවන්? කූනිස්සන්??

සත්ව කරුණාව පතුරනු වස් හරකුන්ගේ ගෙල සිඳින හද කීරිගැසෙන දර්ශන දැක , ආගමාලයෙන් ජාති ආලයෙන් ඔද වැඩී ශෙයා බට්න් ඔබන ඔබට පුලුල් දැක්මක් තිබෙනවාද? නැතහොත් ඔබ එය වපුරාගෙන වපුරාගෙන යන්නේ , පිස්සුවෙන් කොමෙන්ටු ලියනේ ආවේගයන් නිසාද? සැබෑ අවබෝධයෙන්ද?

මා සතුන් මැරීම අනුමත නොකරමි. එහෙත්  බාගෙට ගෙල කැපෙන හරකුන් වෙනුවෙන් පමණක් නොව ඒ අනුමත නොකරන මැරීම් බොහෝ පරාසයකට විහිද යයි... එකම දෙය නම් විලෝපීයතාව සහ මිනීමැරුම් මා පටලාගෙන නැත.  අනියම් සැමියා සමග එක් වී සිය සැමියාගෙ අතපය වෙන වෙනම කපා සිලි මලු වල බහා පස් යට නිදන් කරන බිරියත් මැරීමේ පාපයට යටත් වෙයි...

මැරීමේ විපාක මරන්නා මෙන්ම, මැරූ මස් කන්නාත් , එදෙස බලා හද අවුලවා ගන්නාද , ඒවා පතුරන ශෙයා කරන්නාද දැරිය යුතු වෙයි... ඒ මගේ මතයය. ඔබේ මතයට ඉඩ තිබේ...

මගේ මතය 2

හරකුන් එලුවන් බෙලි කැපෙන දර්ශන, හි‍ටු කියා ශෙයා කරන ඔබෙන් වෙන සමාජ සේවය මා දකින්නේ ලේ දර්ශන , ලේ වැගිරීම් , සාහසිකත්වය , විනාශය , මරණ දර්ශන , විනාශකාරීතවය වපුරන වාහක වීමේ තත්වය මිස අනෙකක් නොවේ...

එයින් මස් කන්නා මස් නොකන්නට පෙලඹෙන්නේ නැද්ද? ඔබ අසනු ඇත...

ඇතැම් විට පෙලඹෙනු ඇත ... එහෙත් සාහසිකත්වය නුහුරු මනසකට , ඔබ සාහසිකත්වය සාමාන්‍යකරණය (Generalizing) කරනවාද විය හැකිය...කුඩා දරුවකු ගන්න... ඔහු හය හතර දන්නේ නැතැයි සිතමු. රූපය පමණක් නෙත ගැටේ යයි සිතමු... මෙවන් රූප දකින මනසකට එය සාමාන්‍ය දෙයක් වීමේ හැකියාවක් නැත්ද? එසේ නැතහොත් ලේ සහ හිංසාකාරී දර්ශන කෙරෙහි අසීමිත මානසික බියකින් පෙලෙන තත්වයක් දක්වා වර්ධනය වන්නට තරම්, කුඩා යටි සිත ඇතැම් විට දුර දිග නොයාවිද? ඔබට එසේ නොවේ යයි කීමට ඇති සහතිකය කුමක්ද?

මගේ මතය 3

කසුරි (දිනමිනෙහි වටරවුම ලියූ ලේඛකයා) කියු දේ මම භාවනාවක් සේ අදහමි.. ලෝකය සුන්දර තැනක් වන්නේ අයහපතෙහි ආදීනව , කෲරත්වය , සාහසිකත්වය පිලිබඳ ජනතාව දැනුවත් කිරීමෙන්ද? මම එය පිලි නොගනිමි. මම නිතරම විස්වාස කරනුයේ සාහසිකත්වය නිතර දකින්නට දකින්නට , මුලින් ඇස් වසා කන් වසා ගන්නා පුද්ගලයා , දෙවනුව එය තනි ඇහෙන් නරබන්නටත් , තෙවනුව ඇස් දෙකම හැර එය නරඹන්නටත් , සිවු වනුව එය දැස් දල්වා කුතුහලයෙන් නරඹන්නටත් ඉදිරිපත් විය හැකිය.



දුර්ලභ අවාසනාවත් අවස්තාවකදී සාමාන‍ය වූ කෲරත්වය, පිපාසයක් දක්වා වර්ධනය වන්නටත් මේ සාහසික දසුන්ම හේතු භූත වීමේ හැකියාවක් තිබිය හැකිය! මන්ද , ඔබේ ස්ටේටස් අප්ඩේට් කියවන දහස් ගණනක් අතරේ මේ හැම වර්ගයෙහිම අය සිටිය හැකි නිසාවෙනි...

මගේ මතය 4

මා අදහන තව දෙයකි... මිනිසෙකුගේ හදවත හෝ ලෝකය සුන්දර තැනක් විය හැක්කේ දුර්ගුනයෙහි ආදීනව නිතර ඇසගැසීමෙන් නම් , කියවීමෙන් නම්, සතියේ පුවත් පත් වල කැපුම් කෙ‍ටුම් ඇනුම් මැරුම් , නඩු කියවන හැම දෙනෙක්ම, කුනු කරෝළ වාගේ 'දෙයියෝ සාක්කි' කියවන හැම රටවැසියෙක්ම ,  ලෝකය බොහෝ යථා අයුරෙන් දු‍ටු ඉතා යහපත් අය විය යුතුය. 



ෆෙස් බුක් එකේ ජාතිමාමක රූප රාමු දකින ඔබ නිර්මාංශී , සත්ව කරුණාවෙන් ඉපිල ගිය උදවිය විය යුතුය. මගෙ පව්කාරකමටද මන්දා , ඔය බාගෙට බෙලි කැපෙන භයානක දර්ශන අහම්බෙන් හෝ ඇස ගැසී තිගැස්සෙන මම අංග සම්පූර්ණ,  සත්ව කාරුණික මහත්මියක් කිරීමට ෆෙස් බුක් එකට සහ ජාති මාමක ඔබට තවම බැරි වී තිබේ...  !!!!!!

වැපිරිය  යුත්තේ යහ ගුණයය.  ඇස් හුරු විය යුත්තේ යහපතටය... යහපතට ඇබ්බැහි වන්නගේ හදවත තුල අයහපත ඉබේම වැලලී යයි... එනිසා මා හිතන විදියට අනුව නම් ශෙයා විය යුත්තේ, හදවත නිවන සනසන , හදවත සුභවාදී හැඟීම් වලින් සලිත කරවා වෙනස් කරවන සුලු දෑ බවය. 


සත්ව හිංසාව නොව, මා අදහන අයුරෙන් පැතිරිය යුත්තේ සත්ව කරුණාවය. සත්ව ඝාතනය නොව සතුන් කෙරෙහි ආදරයය. එවන් දේ දකින මනසක කුකුලෙකුගේ රුව පි‍ටුපස චිකන්  කැල්ලක් පෙනීමේ ඉඩ අඩුය. වැපිරිය යුත්තේ හොඳ මිස නොහොඳ නොවන බව මම අදහමි.යලි යලිත් කියමි... එහෙත් මෙය සංවාදයට විවෘතය.

මට යලිත් කසුරිගේ වටරවුම සිහිවේ. එහි ඇත්තේ නපුර අයහපත නොව , මහපොලව මත සිදුවූ සොඳුරු මිනිස්කම තැවරුනු යහපත් සිදුවීම්ය. මා සිතන්නේ එය කියවන මනසක පැල වන්නේ තමා කළ යුතු දැ මිස නොකල යුතු දෑ නොවේ... ලෝකය ප්‍රශංසා කරන හොඳ දේ කියවන්නට කියවන්නට 'හොඳ ' යන්න මිනිසෙකුගේ හදවත තුල සාමාන්‍ය දෙයක් බවට පත්වේ... සාමාන්‍යකරණය පොදු දහමකැයි මම අදහන බැවිනි.සෙල්ලම් තුවක්කට හුරු වූ සිඟිත්තා , ලොකු ලමයකු වෙද්දී තුවක්කුවෙන් වෙඩි තියන රූප රාමුවක් දකී නම් , තුවක්කුව අතපත් තැනදී මනස තුල රූප රාමුව ක්‍රියාකාරකමක් දක්වා දුර යා හැකිය. මේ මට හිතෙන හැටිය... 



සමාප්ති සටහන

මෙය ආවේගයෙන් ලියූ සටහනක් නොවේ... දහවල් හද දවන රූප රාමුවක් ඔස්සේ , ආගමාලය වපුරන නොමේරූ උත්සහයක් පෙන්වා දෙන්නට ගොස්, ආගම්වාදියා කියා ඒබලයකුත් ගසාගෙන , උණුසුම් සංවාදයකින් ඇතිවූ ආවේගය නිවූ පසු, හෙමීට යලිත් සිතා බලා ලියන සටහනකි.

බාගෙට බෙලි කැපෙන ඝාතනය පමණක් සත්ව හිංසාව යනුවෙන් දකින සමාජයකට මා එරෙහි වෙද්දී , මා අබෞද්ධයෙකැයි කෙනෙකු ඇඟිල්ල දික් කරයි නම් , මා නිරාගමිකයෙකැයි කියයි නම් , ඔහුගේ තර්කය අනුව මා සාර්ථක අබෞද්ධයෙක් වෙමි. අන්තගාමී වෙනවාට වඩා මට ඒක හොඳය. කිසිදු ආගමකට වෛරී සිතින් යම් දෙයක් අප කරයි නම් , එය අපේ නොහොබිනා කම විනා අන් දෙයක් නොවේ....

බාගෙට බෙලි කපන්නන්, උණු වතුර බාල්දි වල එබෙන හාවුන් පව් කියා වැලපෙන්නන් හට ලෝකය යථා ඇසින් දකින්නට මම ඇරයුම් කරන්නෙමි.

එක - ලෝකයෙහි ආහර දාමයන් තිබේ... හතර වසර ආරම්භක විද්‍යාව පාඩම් යලිත් කියවන්න.
දෙක - ලෝක ධර්මය අනුව විලෝපීයතාව කියා දෙයක් තිබේ.... Predation විකිපීඩියාවෙන් සොයාගෙන කියවන්න.
තුන - මේවා වෙනස් කල හැකි , විකෘත කළ හැකි දේවල් නොවේ..
හතර - මරණීය වේදනාව කාටත් පොදුය... අහිංසක ඇස් ඇති ගවයාට විතරක් නොවේ...
පහ - සත්ව කරුණාව පතුරන්නට හිංසාව පැතිරවීමෙන් මට අනුව නම් , වැඩක් නැත. එයින් ලෝකය යහපත් තැනක් නොවේ... ඒ වෙනුවට හිංසාව සහ අකරුණාව වැපිරීමට ඔබට දායක විය හැක.
හය - ශෙයා බට්න් ඔබ ඔබා සත්ව කරුණාව , ආගම් සංසන්දන , සහ ජාතයාලය වපුරන ඔබ ගේ හදවත කොච්චර සෙන්ටිමීටර ගාණක් පළල් දැයි සොයා බලන්න.

හත - ඝාතනයට එරෙහි වන්න. ඊට වෙනත් ලේබල් ගාවා නොගන්න. හිංසනයට එරෙහි වන්න. 


අඳුරට සාප නොකොට , අඳුර ශෙයා කරනු වෙනුවට , පහනේ ආලෝකය තැන තැන ගෙනයන ගිනිකූරු හිසක් වන්න.

දවල් ඇති වූ දුර්දම නිශ්පල විවාදයකට මගේ සමාප්ති සටහන ලියමින් ඔබේ මතයෙහි සමාරම්භය සටහන් කරමි..

ස්තූතියි

වැඩක් වෙන අයුරෙන් , Productive විදියට එරෙහි වෙන්න. 

14 දෙනෙක් කියූ අදහස්..:

පූසා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ෆේස්බුක් තුලට එක් එක් ආගම් වලට අපහාස කරමින් පොටෝ දමන්නෝ, ශෙයාර් කරන්නෝ රට රකිනා දේශප්‍රේමීන්ය. සතුන් මරනා පොටෝ දමන්නෝ, ශෙයාර් කරන්නෝ දෑ හිතකාමි නිර්මාංශිකයෝය. උන්ගේ අනුන්ට බලෙන් පටවන්න හදනා උන්ගේ ආගමික 'ඇදහීම්' ගැන ප්‍රශ්නකරන්නෝ සියල්ලෝම ආගම් වාදියෝය, ජාති වාදියෝය!

Pasan said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මේව්වා නන් අනේ මන්දා.. කාටහරි ඇනුම් පදයක් කියන්නැතුව පාඩුවෙ පොතක් පතක් බලාගෙන මෙයාට ඉන්න බැරි හැටියක්..:-D

(මොනවා උනත් කියලා තියන කතාව නන් සහතික ඇත්ත. මං නන් ඔය පොටෝ ෂෙයාර් කරන උන්ට මුකුත් කියන්නෑ.. උන් හොදයි අපි නරකයිනේ.... )

Sabith said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ආ..ඔයත් NGO වලින් සල්ලි අරං දේශද්‍රෝහී කුමන්ත්‍රන කරන්න පටන් අරං නේ :D

රුචා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

සමහර මිනිසුන්, සතුන් මැරීම ගැන බණ දෙසති, සත්ව ඝාතන සහිත ෆොටෝ ශෙයා කරමින් ඒ ගැන දේශනා ද පවත්වති. පිරිස ඉදිරිපිට මස් කෑමෙන් වැළකී සිටී. නමුත් සැබෑ ජිවිතේ දී කුකුල් මස් හා මාළු පමණක් ආහාරයට ගනී.

තවත් සමහරෙක්, සතුන් නොමරති නමුත් සතුන් මැරීම ගැන බණ නොකියති.සත්ව ඝාතන සහිත ෆොටෝ ශෙයා නොකරති හා ඒ ගැන දේශනා ද නොපවත්වයි. මස් මාළු අනුභව කරති

මා ඉහත කී දෙවැනි කණ්ඩායම නියෝජනය කරන එක මිනිසෙකි. හෝ සතෙකි.

එතකොට මෙය කියවන ඔබ...!!!

Dayal Bathee said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

කියෙව්වා, නැවත ඇවිත් කියවන්නම්

මධුරංග said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අපොයි.. ඔවු. දැන් ෆේස්බුක් එකේ ශෙයාර් කිරීම් වැහි වැහැලා.

Fathima Reeza said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

පව් ද පිං ද හරි ද වැරදි ද හිංසාව ද අහිංසාව ද මේ වැනි තර්කය පැත්තකින් තියලා, පුළුල් හදවතින්, මිනිස් ලොව වඩාත් සුන්දරවත් කරන්නට, දයාව කරුණාව අත් විඳින්නට.. මෛත්‍රීය , කරුණාව ,එකමුතුව , උපේක්‍ෂාව වැනි ආකල්පය හදවතින් ම ශෙයා කරමින්, පරාර්ථය කාවැද්දීමට සමත්වෙමු!

හරී said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මගේ මතයත් මෙයට ඉතා ආසන්නය.. එහෙයින් එකතු කිරීමට දෙයක් නැත..

Nadun Herath said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හොද විශ්ලේෂණයක් :)

ධමිමික ස‍‍දරැවන් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඉහත මත වලට වලට නම් සම්පූර්ණයෙන්ම එකග විය හැකිය.දේශය අස්ථාවර කිරීමේ තිරිසන් චේතනාවෙන් ජාත්‍යාලයෙන් උදම් වූ ජාතියක් බවට පත් කිරීමට සමාජ ජාල වෙබ් අඩවි මගින් ගන්නා ප්‍රයත්නය අපට ඕනෑවට වඩා පැහැදිලි වේ.තවත් ජාතියක් විසින් සතුන් කෘර ලෙස මරා දැමීම දැක්වෙන ජායාරූප ඕනෑ තරම් අපට සොයා ගත හැක.එලෙස ෆොටෝ ෆේෂ්බුක් වැනි සමාජ ජාල අඩවි වලට ඇතුලත් කරන්නේ සිංහල ජාතියේ සිත් තුල අදාල ජාතිය කෙරෙහි වෛරයක් ඇති කිරීම සදහා පමණය.ඒ හැර සත්ත්ව ඝාතනයෙන් තොර ලොව සුන්දර ලොවක් බිහි කිරීමට නොවේ.

ජාත්‍යාලයෙන් උදම් වන අපේ උදවිය ලිපියේ සදහන් කල පරිදි දිගට හරහට ෂෙයා කරයි.

සමාජයේ සිදුවන වැරදි මාධ්‍යය මගින් නිරන්තර අනාවරනය කිරීම මගින් තව තවත් දූෂිත බව සමාජය තුල වැඩිවේ.

කෙසේ වෙතත් මට සතුටක් දැනෙන්නේ මෙවැනි ලිපියක් පල කර ඔබේ මතය හෙලි කරීමට ගත් උත්සහාය නිසයි.ඔබේ මතය තුලින් ඇත්ත නිරූපණය වේ.මගේ පෞද්ගලික මතයට අනූව ඔබ 100% ක්ම නිවැරදිය.

බ්ලොග් අවකාශය තුල හැසිරිය යුත්තේ මෙවැනි ලිපිය.එසේත් නැතිනම් කොහේටවත් නැති කවියක් හෝ කුණහරප කතාවක් නොවිය යුතුය.

Wasana Sewwandi said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

පළමුකොට, පන්සලක් පල්ලියක් දක්කිද්දි හුනස්නෙන් නැගිටිමින් බොරු භක්තියක් මූණ පුරා අලවාගෙන අමුතුම බාලක් නටනා සමාජයක මෙවන් මාතෘකාවක් පිළිබදව එලිපිට කතා කිරීම පිළිබඳව "ජීවිතේ මල්" ඔබට තිබුනු ධෛර්ය අගය කරමි.

ඔබ ලියා තිබූ සියල්ලක් සමග එකගවෙමි... වෙනසක් කරන්නට හෝ ප්‍රශ්නයක් අසන්නට ඉඩක් නැති තරමට ලිපිය පරිපූරණය. කුකුළා මැරුවාට පව් නැත, නමුත් උකුණා මැරීම පව්ය සහ හරකා මැරීම ඊටත් වඩා පවුය ලෙස පවු වර්ගීකරනය කරමින්, මස් කන එක පවුය..ඒත් මස් හොදි කෑවට කමක් නැත කියා ලොකුවෙන් කියන සමාජයක, බුදුන්ටත් නොතේරෙන බණ දෙසන්නෝ සිටිනා කලියුගයක ... හරකාට උනුවන සිත බස් රථයක් තුල අපයෝජනයට ලක්වෙන පුංචි ළදැරියක් වෙනුවෙන් උණු නොවන සඳ එහෙව් සමාජයක් පිළිබඳව සිතා ලේ කෝප කර ගැනීම ඇත්තෙන්ම තේරුමක් නැත ...
එක් දෙයක් පමනක් කියමි, මෙ මාගේ මිතුරෙකු නැගූ පැනයකි... මාංශ භක්ෂනය ආහර දාමයේ එක් අංගයක් නම්.. කුකුලන් සීයක් මරනවාට වඩා එක අලියෙකු මැරීම සුදුසු නොවන්නේද ... පුලුවන් නම් ඩයිනසෝරයෙකු ආහර දාමයට එකතු කර කුකුළන් සීයකගේ පණ බේරිම වටින්නේ නැත්ද... එක මොහොතකට මම නිරුත්තර කිරීමට ඒ පැනය සමත් විය ...

තවතවත් මෙවැනි දෑ ලියන්නට .. උඩුගං බලා පිහිනන්නට "ජීවිතේ මල්".. ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා .. !!

RanDil said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

සහතික ඇත්ත. ඔය වගේ දේවල් දකින්න බැරි කමට මං නං දෙයක් කලා. ඒක බොහොම දුරට සාර්ථකයි.

මං දන්න යාලුවන්ටත් කියලා තියෙන්නේ මට ඇක්සිඩන්ට් වෙච්චි එව්වා, මරණ පරීක්ෂණ, තව ඔයා කියලා තියෙන වගේ එව්වා නං මේල් එවන්න එපා. ඔයාලාත් බලන්න එපා කියලා. සාමාන්‍යකරණය වෙනවා වෙනුවට මං කිව්වේ, හිත්වල තියෙන සංවේදිකම නැති වෙනවා කියලා. ඔය ඇඟ හිරිවට්ටන දේවල් බය නැතුව බලන්න පුළුවන් කම විරකමක් නං මගේ බයගුලු සංවේදිකම මට හොඳා කියලා තමයි මට හිතෙන්නේ. හොඳ ලිපියක් දිල්

sAm (සෑම්) said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

කලකිරෙනවා අෆ්පා !

Gimhani said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හොද විග්‍රහයක් . එකගයි කරුණු සමග . අඟනා ලිපියක් .

Post a Comment

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->