[260] මම වෙරි වුනෙමි ...

මද්දහන් උණුසුමට මොළය රත්වෙන වෙලාවෙහි , කාර්යබහුල කාර්යාල මේසයේ ලිපිගොනු පිරිවරාගෙන , මොන සාහිත්‍යයක් ලිවිය හැකිදැයි කෙනෙකුට සිතෙන්නට පුලුවන. චිත්ත රූප මැවීම ! එය කැමැත්තක්, ආස්වාදයක්, ඇබ්බැහියක් යන මට්ටම් වල හිඳ ලෙඩක් දක්වා වර්ධනය වන අවස්ථාවන්හිදී චිත්ත රූපය කොතරම් බලවත්දැයි කියන්නේ නම් , එය චිත්‍රපට රූප රාමු පෙලක් වේග ධාවනය වන්නා සේ පෙනෙන්නට පටන් ගනියි. ඒ දුවන්නේ මගෙ හිතේ ඇඳෙන බයිස්කෝප් එකය.

මා සිහින දකින්නියක් විය හැකිය. එහෙත් මම මමත් , මගේ හීන වලටත් , හීන දැකීමෙන් කොතෙකුත් වෙහෙසපත් නොවන ජීවිතයටත් මහත්සේ පෙම් බඳිමි.

රහමෙර කොයි වගේදැයි බලන්නට රස බලා ඇතත් , උගුරෙන් පහලට නොගිය නිසාත් , පානයක් කර නැති නිසාත් , වෙරි වීම හෝ මත් වීම ගැන මට පුලුල් අදහසක් නැතිය. එහෙත් හදට වදින ගීයක ආනුභාවයෙන් දෑස් අද්දර මගේම චිත්ත රූප වේග ධාවනය වන මානසිකත්වය ආරූඪ වන කල්හි, ශරීරයට බලපවත්වන ගුරුත්වය අඩු වන විටදී , මමත් එක්තරා අන්දමකින් වෙරි වෙමි. හෙවත් මත් වෙමි. ඉදින් ගීතයකට මා වෙරි කිරීම කළ හැකිය. 

පසුගිය සතියෙහි ගිනි මද්දහනෙහි , සිදාදියේ කාෂ්ඨ අවුවේ , රිය තුලදී මට වෙරි වුනේය. ඊට හේතු භූත වූ කාරණා අතර , ප්‍රීතියෙන් ඉපිල ගිය මනසකුත්, මගේ ප්‍රීතිමත් ආශ්චර්‍යයෙන් උදම් වන ප්‍රිය හදකුත්, ඒ ශරීර ස්කන්ධ අතරින් හෙමි හෙමිහිට ගුවනට මුසු වූ ගීතයකුත් අඩංගුව තිබුනේය.

අද මේ සටහන ලියවෙන්නේ , මගේ ප්‍රීතිමත් මනස ගැනවත්, ඒ ප්‍රීතියට සමාන ප්‍රීතියෙන් පොහොර දැමූ ප්‍රිය හද ගැනවත් නොවේ. ගීතයක් නිසා වෙරි වී මගේ සිත තුළ ධාවනය වූ බයිස්කෝප් එක ගැනය. 

ගිනි මද්දහනේ පාර අයිනේ එකෙළ මෙකෙළ වෙන කොල්ලෙකි. වෙලාව බලන්නේය. ජංගම දුරකතනය බලන්නේය. ආයිත් පාර බලන්නේය. කවුරු හෝ එන මග බල බලා මහ දවල් කල් මරන්නේය.


දිවා දාහයෙන් අකර්මන්‍ය වූ සිදාදියේ එක කොනක කඩි ගුලක් ඇවිස්සෙයි. කඩින්ට කිසි සේත්ම සමාන කළ නොහැකි තර්ම් වෛවර්ණවත් ගැටිසීයන් රංචුවක් එක් පටු පාරකින් මහ පාරට මුදා හැරෙයි.   බොහෝ ඇස් එදෙසට හැරෙයි. දෑසින් දැක් විඳගනු වස් වේගය බාල වන රථවාහනද , ගමන බාල කරන තරුණ ඇස්ද අතරෙන් අපේ කතානයක කොල්ලාගේද ඇස් නිකම් ඉන්නවාට එදෙසට යොමු වෙයි.  ජීවිතේ අහම්බයකි.

මෙතෙක් කොල්ලා මග බැලූ දෑස් , ඒ මල් පෙරහැරෙහි නැති බව නිසැක වුවද , ඇසකට 'අසිරිය' යනු අමාවක්මැයි ! 

අහංකාර කොල්ලන් , කෙතෙක් සොඳුරු වුව, ලඟින් යන කෙල්ලන් දෙස කෙලින් නොබලති. දුර තියා ඇස් අයා , හද දල්වා බලා හිඳින තියුණු ඇස් , පරතරය කෙටි වෙද්දී , නොසැලකිල්ලත්, අහම්බයත් , අහංකාරයත් ආරූඪ කරගනී... කතා නායක කොල්ලාටද , මේ මල් පෙරහැර ලංව එද්දී ඒකෙ වගක් නැති වගක් පෙන්නන්නට හිතෙයි. අහක බලාගෙන , හිත ඇතුලෙහි කුතුහලය යටපත් කොට යලිත් ජංගම දුරකතනයත්, ඔරලෝසුවක් නුරුස්නායෙන් විමසන කොල්ලා වැරදීමක් වගේ පෙන්නාගෙන , අහම්බෙන් වගේ ආයෙත් මල් පෙරහැරට හැරෙන්නේ ඉච්චාවටය!

සඳක් ! මල් අතරෙහි , නිවි නිවී පත්තු වෙන තරු එලි දෙකකින් , පපුව මත අකුණු සලකුණක් සටහන් වෙන්නේය! ජීවිතේ අහම්බයක්!  සඳ රැජිණිය , කොල්ලා , මුහුණට මුහුණ දකින එක නිමේශයෙක , ලෝකය සහ ලෝකයෙහි ඇති සියලුම ඔරලෝසු දීර්ඝ විරාමයක් ගන්න තීරණය කරයි.

හදවතින් ඈ අත්පත් වන. හදවතින් ඈ ලුහුබඳින, හදවතින් ඈවම ඉල්ලා හඬන ඒ දිගු මොහොත , සැබවින්ම පොළොවෙන් අඟල් කිහිපයක් ඉහළින් ඇවිදයන , ඔහුගේ ලෝකයෙහි එක් නිමේෂයකි. 


සඳෙහි එක කැල්මෙන් , කොල්ලාගේ සිතෙහි සැණකෙලියක් ඇරඹෙන්නේය.දෑසත් හදවතත් අන්ද මන්ද වී ගොස් , පෙරහැරෙහි උත්කර්ශය මතින් කොලු හදවත පන්තේරු නැටුමක් නටන්නේය. මොහොතක සැණකෙලිය අහවරය ! ඔරලෝසු යලි දුවන්නට වෙයි. ජීවිතය  යලි නතර වූ නිමේශයෙන් පටන් ගත යුතුමය. එහෙත් කොල්ලාගේ සිතෙහි රඟන රැජිණිය අහක බලා,  ජීවිතයත් උත්කර්ශයත් පැහැර ගෙන ඉදිරියට ඇදී යන්නීය. ඇදී යන පෙරහැර මත්තේ මොහොතක සොවින් හැපෙන කොල්ලාගේ හදවත මත සඳවතියගේ මුදු පියසටහන් එහෙත් සීරුවෙන් ඇවිද යන්නීය.



ජීවිතයෙන් බැහැරව ගිය එම මොහොත ආස්වාදනය කරන පිරිමි හදවත බිඳකට වැලපෙන්නේය. ඒ බිඳ සැණකෙලියෙහිද , උත්කර්ශයෙහිද, දැවුමෙහිද , පසුතැවුමෙහිද සම අයිතිය හිමි කොටගෙන හිඳියි. ඒ මොහොතෙහිදී,  ඔහු ඔහු නොවේ. ඔහු නොවන්නේද නොවේ. එහෙත් ඒ මොහොත ඇත්තේ වෙනමම ලෝකයකය.  ගැහැණු ඇස් දෙකක් හා පිරිමි හදවතක් මැද්දෙන් ක්ෂණික රිදී ඉරකින් සටහන් කල අකුණු පහරක් බඳු එම මොහොතෙන් පමණක් සුසැදි  ලෝකයකටය.

නැටුමෙහි ආවේගයත්, අහම්බයෙහි උත්කර්ශයත්, පෙරහැරෙහි පන්තෙරු සැණකෙලි නදත් , කෙමෙන් වියැකී යයි. දාහයත්, රථවාහන නාදයත් , දෙනෝ දාහක් මිනිසුනගේ වෙහෙසකර මුහුණුත් කෙමෙන් වේදිකාවට අවතීර්ණ වෙයි. 

එදෙසම බලාගෙන 
, නිමා වෙමින් පවතින සැණකෙලි බිමක , තරු එළි පමණක් ශේෂ කොට සැඟව ගිය සඳ රැජිණිය මත්තෙහි සිත පැටලී වික්ෂිප්තව හිඳින ඔහුගේ දෑත් අල්වා ගන්නා , ඔහුගේ පියවි ලොවෙහි පෙම්බරිය 'අනේ සොරි ලේට් වුනා' කියා නිදහසට කරුණු කියනවා විය හැකිය.



මල් පෙරහැරෙහි පන්තේරු නාදයත්, බිම වැටුනු නිල් තරු එලිත්, මකා දමමින් ඔහුගේ බරැති අඩි සටහන් , පෙර මොහොතෙහි ගිය පෙරහැරෙහි සළකුණු මකා දමනවා විය හැකිය.   ඒ මෘදු පියවර,  භෞතිකමය සීමාවෙහි බොහෝ දුර වුවත්, හොර පූසියකගේ සීරුවෙන් යුතුව , ඒ පිරිමි හද කුටීරයෙහි කාටවත් නොපෙනුනු මුල්ලක තවමත් ඇවිද යනවා විය නොහැකිද?


මල් පෙරහැර එන්නා සේ හිඳිමි
ඔබ මහද පුරා ඇවිදින සුව විඳිමි
ගැල් පෙරහැර යන්නා සේ නිදමි
ඔබ අහක බලා ගිය පසු දුක් විඳිමි

ඒ දුක  නිමක් නැති
එනමුදු කමක් නැති
යලි හිත හදාගමී
සදහට පතා එමී
හඹ එමී සදා ඔබම පතමී....

නිල් තරු බිම වැටිලා සේ දුටිමී
ඔබෙ නෙතු සඟලේ එලි සේරම දුටිමි
නිල් එලි පෙල දැවෙනා සේ දුටිමි
ඔබ ඉවත බලා ගිය දුක හා ගැටෙමී

සඳ ‍රැජිනිය වඩිනා සේ දුටිමි
හිත ඇතුලෙන් පන්තේරු නැ‍ටුම් නටමි
පෙරහැර මා හැර ගිය බව දුටිමි
ඔබ මා ලඟ නැවතී ඇති බව දුටිමී

ඒ සැප නිමක් නැතී
තාමත් පමා නැතී
ඔබෙ සිත බදාගමී
සදහට සිනා සෙමී
සිනා සෙමී සදා ඔබම පතමී

නිල් තරු බිම වැටිලා සේ දුටිමි
ඔබෙ නෙතු සඟලේ එලි සේරම දුටිමී
සඳ ‍රැජිනිය වඩිනා සේ දුටිමී
හිත ඇතුලෙන් පන්තේරු නැ‍ටුම් නටමී

ගැල් පෙරහැර යන්නා සේ නිදමී
ඔබ අහක බලා ගිය පසු දුක් වින්න්හ්දිමි
පෙරහැර මා හැර ගිය බව දුටිමි
ඔබ ඉවත බලා ගිය දුක හා ගැටෙමි

ඒ දුක නිමක් නැතී
එනමුදු කමක් නැතී
යලි හිත හදාගමී
ඔබෙ සිත බදා ගමී
හඹා එමී සදා ඔබම පතමී

මල් පෙරහැර එන්නා සේ දු‍ටුවා
ඔබ මහද පුරා ඇවිදින සුව වින්දා
පෙරහැර මා හැර ගිය බව දු‍ටුවා
ඔබ අහක බලා ගිය පසු දුක් වින්දා
 

ගීතය අහන්න මෙතනින්

30 දෙනෙක් කියූ අදහස්..:

හා පැටික්කි (MS) said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මුල් පේලියෙන්ම මගේ මතකෙට සිංදුව ආවා අක්කා.....

ඒත් මං ඇහෙන නිසා අහන විශේෂ ආසාවක් නැති සිංදුවක් කීවට තරා ගන්ට එපා ඇ.......

Pramudi said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

සංගීත් ගේ මම ආසම සින්දුව.
"ඒ දුක නිමක් නැතී..එනමුදු කමක් නැතී.."

Pasan said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හප්පා.. මෙලෝ දෙයක් තේරුනේ ‍නෑ . ඒත්.. අනේ මන්දා අප්පා මෙව්වා නන්.. :-D

Red Riding Hood said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඒ සින්දුව මේ ලිපිය නිසා ගොඩාක් ලස්සන වෙලා කියලා තමා මට හිතෙන්නේ අක්කේ..

Beetle said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

රිය තුලදී මට වෙරි වුනේය. ඊට හේතු භූත වූ කාරණා අතර , ප්‍රීතියෙන් ඉපිල ගිය මනසකුත්, මගේ ප්‍රීතිමත් ආශ්චර්‍යයෙන් උදම් වන ප්‍රිය හදකුත්, ඒ ශරීර ස්කන්ධ අතරින් හෙමි හෙමිහිට ගුවනට මුසු වූ ගීතයකුත් අඩංගුව තිබුනේය...

Now you are talking :)

ItalyDilan said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

සිංදුව ලස්සනයි මම කැමති සිංදුවක්,,කතාව නොතේරුනු තැන් ගොඩයි

මධුරංග said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මම ඔය සැවැන්දරී ඇල්බම් එකටම ආසයි.
ලස්සන ගීත සෙට් එකක් !

එස්. ඒ. said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

සංගීත්ගෙ සින්දු ගොන්නෙ තියෙන ලස්සනම ඒවයින් එකක්.. මම දන්න විදිහට නම් මේකෙ තනුව ඉන්දියානු ශිල්පියෙක්ගෙ.

(පදටික යමුණා මාලිනී මහත්මියගෙද කොහොද... ඒක නම් හරියටම මතක නෑ. මම වැරදිනම් කවුරුහෝ නිවරදි කරත්වා...)

නිසුපා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මමත් ආසම ගීයක්.මෙච්චර ගඹුරින් කවදාවත් හිතලා නෑ හැබැයි.මේ ලිපිය නිසා තව ගීතයට ආසා හිතුනා.

නිශ් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

උඩින් ලියපු ටික හිතේ රූප ටිකක් මැවුවා...........

මම සිංදුවල පද වැල් රසවිදින්නෙ නෑ ගොඩක් විට.
මේකත් මම කැමති ගීතයක්. ඒත් පද වැලට එබිල බැලෙව්වෙ මේ සටහන.

Nadun Herath said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අද උදෙසන නෙවත කියෙව්වා. ලස්සනය්. මටත් ඔයාට වගේ සින්දු වලට මත් වෙන්න පුළුවන් නම් :)

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@හා පැටික්කි (MS)

හා පෑටික්කියේ
අයියෝ කිසි තරහක් නෑ අප්ප්පා...... එක එක්කෙනාගෙ රසවිඳීම විවිධයිනේ..... ආස ගීයක් කිව්වොත් ඊලඟට ලියන්නම්කෝ .....

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ප්රමුදි
ඔව් ඔව්. මම නම් සෑවෑන්දරී ඈල්බම් එකටම ආසයි.....

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

පසා
මොකක්ද අනේ.. හෑමදාම කියනවා තේරෙන්නෙ නෑලු....... මම තරහයි මේ මල්ලි එක්ක. .... 

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

රෙඪ්. රයිඩින් හුඪ් 
ස්තූතියි යාලු..... අගය කලාට......

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

Beetle
Shhhhhhhhhhhhhhhhh!!!!!!!!!!!!!!

:) :)

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඩිලාන් 

හයියෝ... ආයි කියවන්නකෝ.......

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මධුරන්ග 

ඔව් මල්ලි...... මමත් මාර ආසයි..... 

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඈස් ඒ

ස්තූතියි යාලු .... කරුණු දුන්නාට ... ස්තූති

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

නිසූපා
ස්තූතියි නගෝ.... ඔහොම කියන එක දහිරියක්.....

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates


නිශ් 

ස්තූතියි... මෙ මගෙ බයිස්කෝප එකට ඔයාලා කෑමති උනාට..... 

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

නදුන් 

රසවින්දාට ගොඩාක් ස්තූතියි.... මත් වෙන්න ඉතින් සින්දුම ඕනෙද ? අර මම කිව්වෙ රහමර.... ඊක්..නෑ නෑ ඈයි පිය හදක් ? හෙ හෙ . 

Ravi said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ජිවිතයේ එක් සොඳුරු නිමේශයක්....නැවත කිසිදිනක අත් විඳිනට ලැබේයයි කිසිසේත් අපේක්ෂා කල නොහැකි, කෙදිනක හෝ එලෙස වූවද ඒ හුදු අහම්බයක් හෝ දෛවයේ සරදමක්මැ විනා අන් කිසිවක්ම නොවන්නා වූ එක් සොඳුරු නිමේශයක්...

මෙලෙස අප චිත්තාභ්‍යන්තරයෙහි, රාත්‍රියෙහි එකවරක් දැල්වී, සදහටම සැණෙලි මෙන් නිවීයන උල්කාවන් මෙන් එසේත් නැතහොත් ගෙමිදුල නිවීයාමට ආසන්න අග්නි ජාලාවෙක භෂ්මාවශේෂ අතුරින් එක්වරම සැඳැඇ අඳුරට නික්මී මියයන ගිණි පුළිඟු රැසක් මෙන් ඉපිද එකෙනෙහිම ජීවිතක්ෂයට පත් වූ සොඳුරු හැඟුම්, නොගිණිය හැකි පමණ වූ සොඳුරු හැඟුම්, කොපමණ වේද?

/ ඊට හේතු භූත වූ කාරණා අතර , ප්‍රීතියෙන් ඉපිල ගිය මනසකුත්, මගේ ප්‍රීතිමත් ආශ්චර්‍යයෙන් උදම් වන ප්‍රිය හදකුත්, ඒ ශරීර ස්කන්ධ අතරින් හෙමි හෙමිහිට ගුවනට මුසු වූ ගීතයකුත් අඩංගුව තිබුනේය /

මේ වදන් පෙළින් ඔබ අදහස් කරන්න මා වටහාගත් අන්දම නිවැරදි වන්නේද මා පිය නැඟෙනියනි? ....හෙහ්, හෙහ්,

"/ අද මේ සටහන ලියවෙන්නේ , මගේ ප්‍රීතිමත් මනස ගැනවත්, ඒ ප්‍රීතියට සමාන ප්‍රීතියෙන් පොහොර දැමූ ප්‍රිය හද ගැනවත් නොවේ.ගීතයක් නිසා වෙරි වී මගේ සිත තුළ ධාවනය වූ බයිස්කෝප් එක ගැනය.

/"

ඉදින් තොප බයස්කෝප් එක ගැන ලියා අවසානය. එසඳ තොපගේ ප්‍රීතිමත් මනස සහ එමෙන්මැ ඊට පොහොර යෙදූ ප්‍රීතිමත් හද පිළිබඳව කියැවීමට උදක්මැ අපේක්ෂා සහගතවැ කල් හරින්නෙමි. :) :)

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

රවි අයියා...

ඉදින් මා බයිස්කෝපය ලියා අවසානය.. ජීවිතය එතෙකින් නිමානොවේ..... අභියෝග ගහන කටු කොහොල්පිරි ,එහෙත් ඉහල අහස මලින් සුසෑදි මාවතක් දිස් වෙයි.... 

බොහෝ උස අතු මත්තෙහි පිපි මල් , කටු කොහොල් පරයා ඈවිද එන දෙපා දෑක මහ මගට බර වෙයි... කටු නොතකා උඩ පෑන්නහොත් මිසක මල් නෙලිය නොහේ... 

මල් හිතෑති හෙයින් , හෑකි තරම් පොලවට පාත් වන මල් උදෙසා  උඩ පෑන්නහොත් දිනුම්ය. ගල් බොරලු පිරි මගෙහි කුඩා සුදු වෑලි සහිත ඉසව්වක් එනතුරු කල් මරන්නෙමි... එතෙකුදු පෙනෙනු ඈත්තේ මා ඈවිද යන වග පමණකි. හොඳට හිස හරවා බලන තොපලා වෑන්නවුන්ට පමණක් උඩහින් නොදෑක්කා වගෙ හොරට එල්ලෙන මල් වෑල් පෙනෙන්නේය.... අහෝ මෙතරම් සූක්සම මිතුරන් වාසනාවක්මෑයි.. ඒත් උන්ට කට පියන් ඉන්ට බෑරි හෑටියක් !  :) 

ජවනිකාව අවසන්ව නෑත්තේය 

Ravi said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ජීවිතය බොහෝ දුර ගමනෙක් බව සැබවි. එමඟ දෙපස බොහෝ සෙයින් මල් පිපී ඇත්තේය. මඳක් නැවතී ඉසිඹුවක් ගනුව නැඟනියනි...අනන්තය තෙක් විහිද ඇති මල් යාය කොතරම් මනස්කාන්ත ද?.....

එකල්හි ඔබ සිත්ගන්නා යම් මලක් වේද ඒ නෙලාගැන්මට තැත් කිරීම කෙලෙසක නම් වරදක් වේද?...එහෙත් සිහි තබා ගනුව..බොහෝ මල් අග රුදුරු කටු ඇත්තේය.

එහෙත් එක් වරක් කටුවලින් රිදුම් දුන් නියාවෙන්මැ මල් නෙලීමට බිය වන්නෝ ජීවිතයේ කිසිවක්මැ නොවිඳින්නෝය.මල් නෙලූ සතුට මෙන්ම කටු වලට හීරී දැනුනු වේදනාවද ජීවිතයේ විඳීමක්මය.එසඳ උපේක්ෂා සහගතව ජීවිතය විඳින්නට ඔබට මගේ හෘදයාංගම වූ සුබ පැතුම් !!!

/ ජවනිකාව අවසන්ව නෑත්තේය  /

Exactly, Life never ends , is it ever?....

What would be there waiting for you beyond the next bend?....or after yonder hill?....who ever knows...so my dear keep faith & be always ready to embrace life as it may be only once.....because most wonderful things happen only once..... :) :)

ඔබ නොදු‍ටු ලොවක් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අපෝ සිංදුවලින් වෙරි වෙලා වැඩක් නෑ අප්පා...බාගෙයක්වත් ගහලා වෙරි වෙලා ඕනේ සිංදුවක් කියන්න

හිරුහිමාවී said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හරිම අපුරු පොස්ටුවක් යාලු :)
මමත් වෙලාවකට සින්දු නිසා වෙරි වෙනෝ..:)

හිරුහිමාවී said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මමත් වෙලාවකට සින්දු නිසා වෙරි වෙනවා..:)
අපුරු පෝස්ටුවක් යාලු :)

Pisakkaatuwa said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මට මේ ගීතය ගැන මුලින්ම කියුවේ මගේ බොස්. ඒ මිට අවුරුදු 6 කට විතර කලින්. ඒ දවස් වල එයා හිටියේ හරිම සතුටින්.
එහෙනම් ඉතින් මගෙත් සුභ පැතුම්! හික්.

Pisakkaatuwa said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මට මේ ගීතය ගැන මුලින්ම කියුවේ මගේ බොස්. ඒ මිට අවුරුදු 6 කට විතර කලින්. ඒ දවස් වල එයා හිටියේ හරිම සතුටින්.
එහෙනම් ඉතින් මගෙත් සුභ පැතුම්! හික්.

Post a Comment

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->