Wednesday, August 24, 2011

[198] අබිරහස් කතාවක් !

ජීවිතේ මහ අබිරහසක් !
නොවිසඳුන, හිතා ගන්න බැරි, හේතු නොපෙනෙන , සිද්දි දාමයක අද මේ මොහොතෙ එක් අවස්ථාවක අපි ජීවත් වෙනවා. හෙට වෙනකොට ඒ කිසි දෙයක් එතැන නෑ, තිබුන පෙර විධියෙන්. අගතියට හෝ උන්නතියට කාරණා සඟවමින් දලඹුවා සමනලයෙක් වෙලා !!We are simply a part of a Chain Reaction of this living world!



ආගම්, කේන්දර, අනාවැකි, පේන , දාර්ශනිකයින් , මනෝ විද්‍යාව, වෙදකම් යනාදී එකී මෙකී නොකී ශාස්ත්‍ර වලින් ඇත්තෙන්ම ඔවුන් කරන්නට තනන්නේ මොනවාද? උත්තර හොයන්න ... මොනවටද? මේ ලෝකය පිලිබඳ නොවිසඳුන අබිරහස් වලට !! කාලය අවකාශය , සමාන්තර විශ්ව, පිටසක්වල ජීවීන්, .. පොළව උඩ පේන අබිරහස් උත්තර නැති දාහකුත් ප්‍රශ්න වලින් ඔබ්බට යන්නට කැමති තවත් සමහරු මේ ප්‍රශ්න තවත් දිග්ගස්සගෙන උදේ හිටන් රෑ වෙන තුරු මේ ගැන හිතන්න ලෑස්තියෙන්...


ඒත්.. මේ එක් එක් රාමුව තුලින් අපිට පෙන්වන උත්තර ?? ඇත්තෙන්ම ඒවා උත්තරද? මට හිතෙන්නෙ 'නෑ' යන්නයි. ඒවා උත්තර වෙනුවට Interpretations (අර්ථ නිරූපණ) . උදාහරණයක් හැටියට ලෝකයේ ආරම්භය ! එක් එක් ආගම් වල, දර්ශන වල, විද්‍යාත්මක න්‍යායන්හි එක් එක් අයුරෙන් මේ සිද්ධිය අර්ථ ගන්වනවා. ඒ ඒ අර්ථ ගැන්වීම් ඒ ඒ කාලයට , පුද්ගලයාට , අවස්ථාවට සහ පරිසරයට සාපේක්ෂයි..


එතකොට මේ උත්තර හෙවිල්ල, හොයන ලද උත්තර බොරුවක්ද? ඇත්තෙන්ම මේ උත්තර වල සත්‍ය අසත්‍යතාවය සහ ඒ උත්තර වල තිබෙන බර ගැඹුර කෙරෙහි නිතර ප්‍රශ්නාර්ථයෙන් බැලීම කෙතෙක් දුරට අපට ජීවත් වීම උදෙසා යහපත් ප්‍රතිපලයක් ඉටු කරනවද යන්න සලකා බැලීමෙන් මේ අවුල ලිහා ගත හැකි බවයි මගේ හැඟීම.අපිට ඉදිරිජීවිතය මේ තිබෙන ප්‍රමාණයෙන් පොඩ්ඩක් හෝ ඉහළට ඔසවා තබන්නට හේතු වෙන ඕනේම හොඳ දෙයක් ඕනෑම දර්ශනයකින් උකහා ගන්නට අපට හැකිනම්.. මේ මතවාද වල ඇලෙන්නෙ ගැටෙන්නෙ නැතුව ජීවත් වෙන්න පුලුවනි.


දැන් ඒ කියන්නෙ මේ හැමදේම වෙන්නෙ ලෝකෙට ඕනෙ හැටියටද?


ඒක තමයි අබිරහස,අප විහින් වෙනස් කරගන්නා තීරණ , අප කරන නොකරන දේවල්, එය තීරණය වෙන්නේ අප පෙර කළ කර්ම නිසා යයි බොහොමයක් දෙනා සිතනවා. ඒත් මම දන්න පමණින් බුදු දහමෙ නම් කියන්නෙ පංච නියාම ධර්මයන්ම මෙයට බලපාන බවයි.කම්ම නියාමය ඉන් එකක් බවයි. දැන් මෙහෙම කියද්දි කෙනෙක් මගෙන් අහන්න පුලුවනි , 'හරි, ඔබ කොහොමද ඔප්පු කරන්නෙ ඔබේ මතය හරි කියලා? ' එතකොට මට කියන්න වෙන්නෙ , 'මම ඒක දන්නෙ නෑ. මම දන්න එකම දේ ඒ මාතෘකාව පිලිවඳ තිබෙන දහසකුත් එකක් පැහැදිලි කිරීම් අතරින් මම මේ පැහැදිලි කිරීමට මනාප බවත් එය මගේ රාමුවට අනුව සාධාරණ කියා හිතෙන බවත්'


සොයන්නන් සහ වලඳන්නන්..Which One ?


මේ ලෝකේ 99% විමුක්තිය සොයා යාමට කරදර නොවන්නන්. විද්‍යාඥයින් වේවා ආගමික ශාස්තෲන් වේවා නව නිපැයුම් කරුවන් වේවා, ලෝකයේ පැවැත්ම වෙනුවෙන් දායක වෙමින් ඔවුන් මේ සංකීර්ණ ප්‍රශ්න වලට තම නෑණ පමණින් පිලිතුරු හොයනවා.ඒ පිරිස ලෝක ජනගහනයෙන් 1%ක් වෙන්න පුලුවනි. ශේෂය , බොහෝ විට ඒ සොයන ලද දේ වලඳන්නන් වන්නට පුලුවනි.


ඒ කියන්නෙ අපිට ලෝකෙ වෙනස් කරන්න බෑ.. ලෝකෙ යන විදියට අපි යන්න ඕනෙද ?


මම හිතන්නෙ නම් නෑ. සොබාදහම හරි අපූරු චක්‍රයක්. ගහ කොල මේ විදියට පරිසරයට අනුව උස් වෙන්නෙ කොට වෙන්නෙ කොහොමද? ඉර පායන්නෙ කොහොමද ? හඳ පායද්දි වඩදිය බාදිය එන්නෙ කොහොමද? ඇත්තෙන්ම මේ අබිරහස් වලට මොකද මේ වෙන්නෙ. කොහොමද මේවා වෙන්නෙ. ලෝකෙ එහෙම වෙන්නෙ කවුරු පාලනය කරලද? ඇත්තෙන්ම අපි මේව හොයන්නම ඕනෙද? හොයන දේට මට හිතෙන්නේ Interpretations මිසක විසඳුම් නම් ලැබෙන එකක් නෑ. හැමදේම සාපේක්ෂ නිසා.



ජීවිතේ තේරුම් ගනිද්දි මේ විෂය නොවෙන කාරණා එක්ක ඔට්ටු වීමේ ඵලය මොකක්ද? ඊට වඩා අපි අපේ ජීවිතය දිහා බලන එක හොඳ නැද්ද? අපිට අපේ ශරීරය වැඩෙන එක පාලනය කරන්න බැහැ. අපිට අපි අවට මිනිසුන් ගහකොල සතා සීපාවුන් හෝ වෙන යම් කිසිම දෙයක් පාලනය කරන්න හෝ වෙනස් කරන්න බැහැ. ඒත් අපේ ශ්‍රම ශක්තියෙන් ලෝකය පවත්වාගෙන යාමට දායක වෙන්න පුලුවන් , එය කායික ශ්‍රමය හෝ මානසික ශ්‍රමය වෙන්න පුලුවන්. ලෝකය යන විදියකට ගියාවේ, අපිට ඒක වෙනස් කරන්න බැහැ කියා කෙනෙකුට සිතේවි. ඒත් ඒක එහෙම සිතෙන එක ගැන වරදක් කියන්නත් බෑ. මොකද ඒ අය ඉන්නෙ අර 99% වෙන්න පුලුවනි. යම් හෙයකින් ඔබට සිතෙනව නම් 'නැහැ, මෙහෙම ඉඳල බෑ. අපිට තේරෙන දේ අපි ලෝකෙට දෙන්න ඕනෙ. අපි තව හොයන්න ඕනෙ' කියලා, ඔබ ඉන්නෙ අර 1% වෙන්න පුලුවනි.


මම එදා ඉඳන් අද වෙනකල් හිතනව මේ ලෝකෙ මේ ක්‍රියාවලින් වෙන්නෙ කොහොමද, කියන එකට වඩා සිද්ද වෙන්නෙ මොකක්ද කියන එක.. මොකක්ද මේ සිද්ද වේගෙන යන්නෙ? හිතාගෙන හිතාගෙන හිතාගෙන ගියහම මට හිතුනෙ මේ ලෝකෙ මේ හැමදෙයක්ම සිද්ද වෙන්නෙ 'පැවැත්ම රැක ගන්න' . ගහකොළ , සතාසීපාව, මිනිස්සු ,ඇල දොළ , අහස... බලන්න මේ හැමදේකම තියෙන්නෙ එකම රහසයි... 'පැවැත්ම රැක ගැනීම' .. ඇයි අපි ඉගෙන ගන්නෙ? ඈඳුම් අඳින්නෙ? කසාද බඳින්නෙ? ආදරෙ කරන්නෙ? රස්සා කරන්නෙ ? ගෙවල් හදන්නෙ? මැරෙනකල් ජීවත් වෙද්දි, මේ මිහිතලය උඩ පුංචි ඉඩක අපෙ පැවැත්ම තහවුරු කරගන්න නොවෙයිද? වතුර ගලන්නෙ පහත් තැනින්.. වතුර නැති පලාත් වල ගස් හැදෙන්නෙ කටු එක්ක පඳුරු.. තමුන්ගෙ පැවැත්ම සුරක්ෂිත කරන්න හැම දෙයකටම තිබෙනවා පුංචි ඉවක්.. ඇත්තෙන්ම මේ මිහිතලයම, සොබාදහමම , හැම සතා සීපාවම කරන්නේ පැවතීම සඳහා යුද්ධයක් ! බලවතා දුර්වලයාව යටපත් කරනවා. අනුභව කරනවා. ගහක මුල් අදින්නෙත් සිය මහ පොළවේ වපසරිය හැකි තදින් මිහි මත පිහිටුවන්න. රාජාලියෙකු ගඟක මාළුවෙකු අනුභව කරන්නේ සිය කුසගින්න නිවා ගෙන තව එක් දිනක් හෝ වැඩිපුර ජීවත්වීමේ බලාපොරොත්තුව පවත්වා ගන්න.


ඒත්.. ඒත්...අපිට උවමනා විදියට , වෙනස් කරන්න බෑරි, ඒත් තාවකාලිකව අලුත්වැඩියා කරන්න විතරක් පුලුවන් සරීරයක් එක්ක, ඒ වගෙම අපට අවනත නැති සොබාදහමක ජීවත් වෙන අපිට ඇත්තෙන්ම පාර මාරු කරගන්න පුලුවන් කිසිම දෙයක් නැද්ද මේ ලෝකෙ ? ඇත්තෙන්ම නැද්ද ? තියනව ! අපෙ හිත !!!! හිත !!!! හිත !!!!!! චිත්ත පරම්පරාවල් ! අර කතාවටත් කියනවනෙ යුද්ධය හා සාමය දෙකම පවතින්නෙ මිනිස් හිතේ කියලා.. 


15 comments:

  1. කොහේ හරි හිර වෙලාද ඉන්නෙ.. නැත්නම් නිකන් ලියුවද... කොහොමහරි හොද ලිපියක්.

    ReplyDelete
  2. ඒ ඒ අර්ථ ගැන්වීම් ඒ ඒ කාලයට, පුද්ගලයාට, අවස්ථාවට සහ පරිසරයට සාපේක්ෂයි..

    -නමුත් තිලෝගුරු බුදුපියාණන් කිව්වෙ සර්වකාලීන දෙයක් නේද? ඒක කිසිම දේකට සාපේක්ෂ නෑ. උදාහරණයක් හැටියට ලෝකේ තැටියක් කියලා පරසක්වල ගහපු කට්ටිය අන්තිමේ දී ගැලීලියො ගැලිලිගෙන් සමාව ගත්තෙ ප්‍රසිද්ධියේ.

    ඒත් බුදු පියාණන් දේශණා කල දේවල් සියල්ල නිවැරදියි වගේම සර්වකාලිකයි. ඒවා එදාටත් වඩා සත්‍ය බව නිවැරදි බව අදයි තහවුරු වෙන්නෙ.

    දෙවෙනි කාරණාවනම් ඇත්ත. හැමෝම කරන්නෙ පැවැත්ම රැකගන්න යන එක. ඒකෙන් වෙන්නෙ හැමෝම දුකට පත්වෙන එක. එහෙනම් පැවැත්ම නැති කරන්න වෙනවා. පැවැත්ම නැති කරන්න නිර්වාණය අවබෝධ කරගන්න වෙනවා. නිර්වාණය අවබෝධ කරගන්න ධර්මය දකින්න වෙනවා. ධර්මය හොයාගෙන යද්දි ඔය තියෙන හැම ගැටලුවක්ම විස‍ඳෙන්න ගන්නවා නුල් බෝලේ ලිහෙනවා වගේ. මං හරිද?

    ReplyDelete
  3. මෙයාටත් හිතෙන දේවල්, මේ ‍සේරම හිතුවෙත් හිතෙන්ම නේද නංගී, ඔයා හරි හැමදේම හැමදාම හැම කෙනාම කරන්නේ පැවැත්ම රැක ගන්නම තමයි

    හිත තමයි එකම දේ පාර මාරු වෙන්න තියෙන. හොඳට පාර දෙපැත්ත බලලා, පනින්න ඕනි. ඉස්සරහින් තව කවුරු හරි පාර පනියිද කියලාත් බලලාම පාර පනින්න ඕනි....................

    ReplyDelete
  4. ටිතත් වෙලා යද්දි කම්මැලි හිතුන කියවන්න...

    ReplyDelete
  5. අපි නිදා ගත්තම අපේ හිතට වෙන්නෙ මොකක්ද ?

    ReplyDelete
  6. Who are we?......Whats the purpose of living?

    අපි ජීවත් වෙන්නෙ ඇයි?......මේ ජීවත් වෙන එකේ පරමාර්ථය මොකක්ද?....මේ තරම් වෙහෙස වෙල රැකියාවල් කරල උයල පිහල කාල බීල දරුවො හදල ලොකු මහත් කරල අපි අන්තිමට කරන්නෙ මොකක්ද?......මැරිල පොලවට පස් වෙලා යන එක එහෙම නැත්නම් අළු වෙලා උයන එක........එහෙම නේ?......ඔය දෙකෙන් පරිබාහිර දෙයක් වෙන්නෙ නැහැනෙ......

    මෙන්න මේ බොහොම සරල ප්‍රශ්න කීපයට පිළිතුරු තමයි, මිනිස් වර්ගයා දෙපයින් නැගී සිට බිමට හැරවී තිබුණු හිස ඔසවා කෙලින් එක හෙලා බැලීමට හැකියාව ලැබුනු දා පටන්, වසර මිලියන ගනනක් තිස්සේම සෙවීමට තැත්කලේ...අද ද තැත් කරනුයේ.........එදා යාන්තමට, මිහිදුම් සළු ඉරා දමමින් එබෙන හිරු කිරණ සේ, තම අර්ධ තිරශ්චීන මනසේ අසීරුවෙන් උපදවාගත් සිතුවිලි මාත්‍රයේ සිට අද වර්තමානය දක්වා අප පැමිණ ඇති දුෂ්කර ගමන් මාර්ගය අතර තුරදී අප පිළිතුරු සොයා ගත් ගැටළු බොහෝය.....එසේම සොයාගත් පිළිතුරු නැවත සංශෝධනය කිරීමට බල කෙරුනු ගැටළු ද බොහෝය.මෙතෙක් අපට පිළිතුරු සොයා ගත නොහැකිව තවමත් අපට අභියෝගයක්ව පවතින ගැටළු ද බොහෝය.

    මේ සියළු ගැටළු වලට අවසන් පිළිතුර සොයාගන්නට අපට කෙදිනක හෝ හැකි වේද?

    එසේ වූ දිනයක මිනිස් වර්ගයාගේ පැවැත්ම අවසාන වන බවට මතයක් පළකෙරුනු කෙටි කතාවක් කලකට පෙර කියවූවා සිහියට නැඟුනි. මට මතක අයුරු Issac Asimovගේ කතාවක් විය යුතුය. එහි සඳහන් පරිදි මුළු මිනිස් වර්ගයාම එක් ඉතාමත්, අපට සිතාගැනීමට පවා නොහැකි පමණ දියුණු පිටසක්වල ජීවීන් කොටසකගේ පර්යේෂණයක නියැදියක් පමණි.

    මිනිසුන් තමන් කවුද?.....ජීවත් වීමේ පරමාර්ථය කුමක්ද? යන්න නිවැරදිව වටහා ගන්නා දින පර්යේෂණය අවසාන වන බැවින් එකෙනෙහිම මුලු මහත් මිනිස් වර්ගයාම පෘථිවියෙන් තුරන් වී යන බව එම කතාවේ තේමාව විය.

    කවුද දන්නෙ මල්?.......සමහරවිට ඇත්ත වෙන්ටත් බැරි නැහැ නේද?

    The Truth Is Certainly Stranger Than Fiction..........

    ReplyDelete
  7. ගොඩාක් දුර හිතන්නේ නැතුව බුදු රජාණන්වහන්සේ කීවා වගේ ඒ මොහෙතේ ජීවත් උනා නම් හරි.

    @indi
    :D

    @Chanaka Aruna Munasinghe,
    හිතත් නිදි.

    ReplyDelete
  8. @ Podi Kumarihami

    හිත නිදිනම් හීන දකින්නෙ කොහොමද ?

    ReplyDelete
  9. හීන පේන්නේ අඩ නින්දෙදි. එතකොට හිත නැගිටලා....හොඳට නින්ද ගියාම හීන පේන්නේ නෑ. එතකොට හිත නිදි....:D

    ReplyDelete
  10. @ Podi Kumarihami

    එතකොට නිරෝධ සමාපත්තියට සමවැදුනම හිතට මොකෝ වෙන්නෙ

    ReplyDelete
  11. නිරෝධ කියන්නේ ශූන්‍යතාවයට නේද? ඒ අවස්තාවේ හිතක් තියෙන්ට බෑ. ඔයා මෙතන හිත කියන්නේ මොකක්ද?

    Thinking is only a small aspect of consciousness. Thought cannot exist without consciousness, but consciousness does not need thought.

    Enlightenment means rising above thought.
    ඔයා නිරෝධ සමාපත්තිය කියන්නේ මෙන්න මෙතනට.

    ReplyDelete
  12. @ Podi Kumarihami

    නිරෝධ සමාපත්තිය කියන්නෙ රූපස්කන්ධය අක්‍රීය කරන අවස්ථාවක්. අනාගාමී වෙච්ච කෙනෙක්ටත් පුලුවන්ලු නිරෝධ සමාපත්තියට සමවදින්න.

    ReplyDelete
  13. HELP!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ගෙදර කවුරුත් නැද්දෝ?????:D;D:D:D:D:D

    ReplyDelete
  14. ඇත්ත කතාව අක්කේ :)

    ReplyDelete
  15. මට මේ කතාව තේරුනේ නෑනේ අක්කේ.
    මේ පුංචි හිතට (මගේ හිත) මේ දේවල් බර වැඩියි අක්කේ. පොඩ්ඩක් සරලව පහලින් කමෙන්ට් කරන්න.

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->