Friday, August 06, 2010

[96] තරුවැල් ගොතා - සඳ කැන් මතින් - සතපන්න පුතු හැකිනම් .....


~'~
සුපුන් සිහිනේ නිදන් පුතුනේ, 
දෙව් විමන් අතරේ...
පුතුගේ දෙනෙතේ  කැලුම් ඉතිරේ, 
පැතුම් මල් සුපිපේ...
සේද වන් කිරිසිනා පුතු මුවේ ඈ‍ඳෙනා, 
සුන් කරයි මා වේදනා...

රන් විමන් දු‍ටුවේද මන්දිර පුතුනි ඔබ සිහිනේ?
නන් සැපෙන් පිරවීද නිදි දුව ඒ සිහින විමනේ?


මපුතු සිහිනේ අඳින දෙවිඳේ,  
මුලා නොකරන් මා පුතුන්...
නොමැත සුව නිදියහන් පුතු හට, 
නොම මවනු මැන ඒ දසුන්...
තරුවල් ගොතා සඳ කැන් මතින්, 
සතපන්න පුතු හැකිනම්...

දෙව් ලඳුන් පිරිවර අරන් වැඩියේද මවු සිහිනේ..?
මා පුතුන් දෝතින් අරන් නැලවීද ඈ ගීයෙන්..?


ඇගේ දෙ අතේ නිදන් පුතුනේ, 
නොම සොයනු අවදිව මවුන්...
සුව නොමැත මා පහස ඇගෙ මෙන්, 
රලු උනේ උරතල බරින්...
මාලොව පහන් කල රන් පුතුන් ඔබ, 
රකිමි දිවි හිමියෙන්......
~'~




මගේ කිරිකැටියෝ.... ඔය ලස්සනට නිදියන ඇස් දිහා බලන් මා දැන් කොපමන වෙලාද? විටෙක් හීනියට හිනා වෙන, විටෙක මූණ ඇඹුල් කරන ඔය මූනේ ලස්සන මට කොච්චර බලං හිටියත් ඇති වේවිද? ඔය ඇස් වලින් මට පේනව පැටියෝ ඔයා දකින ලස්සන හීන ... ඒත්.. ඒත්... දෙවියන් වහන්ස , මගේ රන් කැටියාගේ හීන අස්සේ මවන්න නම් එපා රන් මන්දිර, සුව යහන්... පින් සිදු වේවි.. මගේ අහිංසකයට ඒ හීනෙ ඉස්ට කරන්න බැරිව හූල්ලන ඇඬුම්බර තාත්තෙක් මම...දෙවියන් වහන්ස, අර ඈත පේන තරු එක් කර හඳ කැන් පෙරී එන රන් තොටිල්ලක නලවන්න මේ අහිංසක කුරුලු පැටියව...


රන් කැටියෝ.. මගෙ අත් රළුයි... මේ සරීරය ගොරහැඩියි...හිත බෝම දැඩියි තමයි.. බැරි අමාරුවෙන් තනි අතින් ඇදගෙන යන මේ ජීවිතේ නිසා, මේ ගෙවන දුකටම මගේ උරපතු ගෙවිල මගේ කුරුලු පැටියෝ... මගේ උණුහුම ඔය ඈත දෙව්විමනේ ඉඳන් උඹව තුරුල කරං ඉන්න දේව දූතිගෙ තරම් සිනිඳු නැති බව ඇත්ත...උණුහුම් නැති බව ඇත්ත..  ඉතින් මගේ රං කැටියෝ... අවදි නොවෙන් දැන්මම... ඒ උණුහුමේ තව නිදියන්න... තරු තොටිල්ලේ හෙමි හෙමිහිට නැලවෙන්න... 
මේ දුක උහුලන් නුඹව සිප ගන්න තාත්තට ඔය කිරී හීන බලන මුව පොඩිය දිහා තව ඩිංගක් බලන් ඉන්න... 



ගායනය : සංගීත් විජේසූරිය 
මේ කිරි කැටියගේ හීනෙ බලං ඉන්න තාත්ත තවමත් ආදරයෙන් කුරුලු පැටියට මේ නැලවිලි ගීය කියන හැටි අහන්න මෙතැනින්.....

10 comments:

  1. ඔය සින්දුව දැක්කාම මට මේකත් මතක් වුනා.....

    නිය පෙළ සිඳලයි දෑත පාන්නේ
    තුරුළට ගන්නට ආදරයෙන්
    දැලිපත සිඳ ලයි කොපුල පාන්නේ
    මුව සිප ගන්නට ආදරයෙන්

    මව් නැති යාමේ මා උර මඬලේ
    දෙතොල් හොවයි කිරි සුවඳ සොයා
    දහදිය සුවඳක් දැණුනි ද පුතුනේ
    දෙරණට මුමුණන නුඹ වෙනුවෙන්

    නිදි නැති යාමේ මා ළය තුරුලේ
    කැලූම් ගෙනෙයි මුදු සිනහ පපා
    උණුසුම් සුසුමක් දැණුනිද පුතුනේ
    පවනට මුමුණන නුඹ වෙනුවෙන්

    ගැයුම - වික්ටර් රත්නායක

    ReplyDelete
  2. නියමයි අක්කෙ

    ReplyDelete
  3. හද ආද‍රයෙන් පිරිමදින සුන්ද‍ර ගීතයක්.සංගීත්ගෙ ලයාන්විත හඩ රවීන් රාම්ජී ගේ මියැසිය එකතු වී මවන මනස්කාන්ත හීනයක්.මගෙ ජීවිතේට හ‍රිම සමීපයි.ස්තුතියි සහොද‍රී...

    ReplyDelete
  4. අහ්,,, හේමලයෝ... මේකත් හරි ලස්සන සින්දුවක් නේ.. හරිම අපූරුයි

    හසිත මල්ලි: ස්තූතියි... ලස්සන සින්දු තියේ නම් කියන්න...

    සිතිවිලිමන්ඩිය: ඔව් ... හරිම සොඳුරු ගීයක්... අර්ථය හරිම ලස්සනයි.... දුක හිතෙනව... නේද?

    ReplyDelete
  5. කිරි කැටියෝයෝයෝයෝයෝයෝයෝයෝයෝයෝයෝයෝයෝ

    ReplyDelete
  6. මොකෝ ලමයෝ... කාටද ඔය කිරි කැටියෝ කිය කිය කියන්නේ?? හී හී

    ReplyDelete
  7. ස්තුති අක්කා, මම ඇවිදින පාරෙ මට හම්බ වුණු තවත් මුතු ඇටයක්.

    ReplyDelete
  8. මගේ මූණු පොතේ මෙය පබිලිස් කලෙමි.

    ReplyDelete
  9. ස්තූති මේ පැත්තෙ ඇවිත් ගියාට රවා මල්ලියා...

    අනුරාධ මල්ලො... ස්තූතියි.... :-)

    ReplyDelete
  10. මුලු සින්දුවම එක අනුවක් අඩු නැතිව දිග ඇරලා තියෙනවා මෙතන.., මම දන්නේ නෑ මොන හේතුවන් නිසාද කියලා මේ සින්දුව මුලින් ම අහනකොට මගේ ඇස් වලට එක ක්ෂණයකට කඳුලු පිරුණා..!! මම දන්නේ නෑ අදටත් ඒ ඇයි කියලා..!!!

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->