Wednesday, September 12, 2012
[269] ටෙලිවිෂන් මතක
දවසේ බොහෝ වේලා සිටගෙන සිටීමෙන් , දුර ඇවිදීමෙන් සහ විවිධාකාර කාර්යාල පීඩාවන්ගෙන් වෙහෙස පත් වූ මම සුපුරුදු ලෙස බිම වාඩි වී ඇඳට හිස ගසා නොකල්පනාවෙන් මනස සන්සුන් වන්නට ඉඩ හරිමින් සිටියෙමි. හිරු අස්තංගතව අහසේ පැහැය වියැකෙන අයුරුත් , අඳුර සමග නිවසෙන් පුරුදු පරිදි නික්මෙන සාම්බ්‍රානි සුවඳත් , පහල කුස්සියෙහි මා වෙනුවෙන් සැදෙන තේ ජෝගුව කැලැත්තෙන ටක ටක හඬත් දවසට බොහෝ හුරු පුරුදු අවසානයක් සටහන් කරන්නට විය.
රූපවාහිනියෙන් දීර්ඝ විරාමයක් ගෙන සිටි අපේ අම්මා මේ දවස් වල හරියටම හයයි තිහට , මට ඉක්මනට තේ හැදීමෙන් අනතුරුව ටෙලිවිශනය වෙත දුවගෙන එන්නීය .
"ඔශින්.. ඔශින්... ඔශින් ... ඔශින්... පලමු වන හා දෙවන ලෝක සංග්‍රාමයන් දෙක අතර තුර කාලයෙහි... ජපානයේ සිදුවූ සමාජ ආර්ථික සංස්කෘතික පරිවර්තන .. ඔශින් වෘතාන්තය පිටුපසින් දිවෙයි... ආදියේ සිට සිරිලක හා ජපානය අතර....... සමසංස්කෘතික සබැඳියාවෙන්... ජපානයේ එන් එච් කේ ආයතනය.. මේ සිංහල දෙබසින් තවද රසවත් වූ ඔශින්... ඔබ සැමගේ පහන් සංවේගය උදෙසා ... මෙසේ.... පිරිනැමෙන වගයි..."
දශක දෙකකට එහා කණට ඇසී හුරුව තිබූ , කොටස් හයසිය ගණනාවකදී නොකඩවා ඇසූ මේ දෙබස් ඛණ්ඩය කණට පැටලෙද්දී කටපාඩමින් මා මුවද මුමුණන්නට වූ අයුරු මම විස්මයෙන් අත්විඳිමින් සිටියෙමි. ඉහතින් කියැවෙන ලද ටයිටස් තොටවත්තයන්ගේ බරසාර වදන් වලින් එකකුදු එදා කුඩා අප අසා සිටියේ මෙලෝ හරයකින් නොවේ. එහෙත් උප විඥාණයෙහි සදාතනික වාක්‍ය කණ්ඩයක් වශයෙන් පැලව සිටි මේ වැකිය අසමින් මනසින් දශක දෙකක් එහා කුඩා සන්දියට මම අද සැබවින්ම ගමන් කරමින් සිටියෙමි.
දශක ගණනාවකට පෙර රූපවාහිනී අහිමි ලමා කාලයක් උරුම වූ වැඩිහිටියෝ , එකල්හි දුව පැන කෙලි දෙලෙන් වතුපිටි ලඳු කැලෑ පීරූ හැටි ගැන පාරම්බාන්නෝය. එකලින් මඳ කාල විරාමයකින් මෙකල උපත ලද අපේ පරම්පරාව රූපවාහිනී යන්තරය හා හා පුරා කියා හඳුනාගත් පරම්පරාව විය යුතුය. ඔෂින්, හත්පණ, සිංදු බිංදු , වෙද හාමිනේ, දොස්තර හොඳහිත , හා හා හරි හාවා අපේ කුඩා සන්දිය විචිත්‍රවත් කලා පමණක් නොව අද වෙනතුරුද හිස් මොල තුල සදාතනික ඉඩක් වෙන්කරගෙන සිටින්නේය.
මාරු කර බලන්නට, චෑනල් වෙනස් කරන්නට ගොස් දබර වෙන්නට චැනල්ද , චැනල් මාරු කරන්නට 'රිමෝට්' ද නොතිබූ එකල්හි ඊට වඩා හිත වදකලේ වෙනත් පැනයකි. හිස නිලංකාර වන තරම් විචිත්‍රත්වයෙන් අනූන කාටුන්, නාට්‍ය සහ ඉවරක් නැති විවිධ රසාංග අතුරෙන් , මාපියන්ගේ කෝටු පාර නොලබා නැරඹිය හැකි උපරිම වැඩසටහන් ගණන කොපමනද , සහ ඒ වැඩසටහන් මොනවාද යන්නයි. ටෙලිවිශන් පරම්පරාවේ අසම සම උන්නතියෙහි රස බලන්නට අපගේ පෙර යෞවනය පින් කොට තිබුනි.
සුරඟන කතා කරලිය, ගලිවරය, සිංදු බිංදු යුගය විරාමයක් ගනිද්දී, මායා බන්ධන , රොබින් හුඩ් , ඕශන් ගර්ල් පෑමිණියේය.. පිස්සු පූසා බෑලූ අපි සූර පප්පා වෙත නෑඹුරු වූයෙමු. මුතුහරින් , මනෝහාරී වෙත සම්ප්‍රාප්ත වීමු. නමයයි පහෙන් කදමල්ලට අවතීර්ණ වූයෙමු. මායා බන්ධන ගිලිහී නෙට්වර්ක් දඟයින් එද්දී, සූරපප්පා සමුදී ඉඟුරුපාන් මල්ලිලා එද්දී, කදමල්ලෙන් පසුව අටපට්ටම එද්දී , ටෙලිනාට්‍ය වසන්තය වියැකෙමින් මෙගා නාටක අරක් ගනිද්දී වාසනාවකට මෙන් මගේ ලෝකයෙන් ටෙලිවිශනයද සමුගත්තේය. පරිගණකයත් ජංගම දුරකතනයත් රූපවාහිනියේ තැන ගත්තෝය.
ලන්දේ දුව නොපැන, පවුලේ පස් දෙනා එක සාලයෙහි වාඩිවී, කමින් බොමින් ප්‍රීති වෙමින් කාටුන්, නාට්‍ය,ගීත සහ නොයෙක් විශේෂාංග රසවිඳි පරම්පරාවේ රස මතක කොතෙක් කීවත් මට නම් නීරස නොවේ. අක්කර තුන්කාලක ගෙමිදුලකින් පර්චස් දහසයක මහල් නිවසකට සම්ප්‍රාප්ත වෙද්දී විසල් නිවසක උදාරම් බවත් , ළමා හදවතක් අයැද සිටින කෙම්බිමක අහිමිකමත් මීට වසර විස්සකට පෙර එක වර අපි තුරුල් කරගතිමු.
සෙල්ලම් කරන්නටගෙමිදුලක් අහිමි වූ අපේ හදවතෙහි ඉඩ ටෙලිවිශනය තහවුරු කරගත්තේ එසේය.
ටෙලිවිශන් උණ වැලඳී තිබුනේ ළමා අපට පමණක් නොවීම වාසනාවක් විය. අම්මාද තාත්තාද අප තරම්ම රූපවාහිනී ලෝලීන් වීම සහනයක් විය. කොතෙක් දුර ගමන් ගියද ඇතැම් දිනවල රාත්‍රී අටයි තිහ යනු ගමනක් උදෙසා කැප කල හැකි පැය භාගයක් නොවීය. සියල්ලන් එක සුමේට , 'අයියෝ අටහාරට නාට්යය යනවා, ඉක්මනට යමූ' කියා මොර දෙද්දී , සියලු වැදගත් වැඩ පසෙකලා තාත්තාට සිදුවූයේ පවුල් හමුදාව රැගත් රිය ලෑල්ලට පාගමින් ගෙදර වෙත ඉගිලෙන්නටය.
අටයි තිහ වෙද්දී කොහේ සිටියත් , මොනවා කරමින් සිටියත් , ගෙදර මෑද සාලයේ අපි සියල්ලෝම ටෙලිවිශනය ඉදිරියේ විජ්ජාවකින් මෙන් පහළ වූයෙමු. මහ මග අතර මගකදී නම් , නාඳුනන නිවසකට වැදී හෝ, කඩසාප්පුවකට රිංගාගෙන හෝ, මග හැරීමට නියමිත ටෙලිනාට්‍යය නැරඹීම අම්මාත් තාත්තාත් අපිත් පසුබට නොවූයෙමු.
තාත්තාගේ අනෙක් විනෝදාංශය වූයේ හොඳ එවුවා අතරින් වඩාත් හොඳ නාට්‍ය VHS - ටේප් වල රෙකෝඩ් කිරීමයි. විදුලිය විසංධි වූ දිනෙක , එහෙමත් නැතිනම් ගමනක් නිසා මග හැරෙන දිනෙක පටිගත කිරීමක් , නුවර කීර්ති වීඩියෝ ස්ටෝර්ස් වෙතින් පටිගත කරවාගෙන ගෙනැවිත් අපට බලන්නට ඉඩ සලස්වන්නට ඔහු අමතක නොකලේය.
නිවාඩු කාලය එන තුරු අප සිටියේ ඇඟිලි ගණිමිනි. අක්කාගේත් , අයියාගේත් මගේත් බොහෝ රසබර අත්දැකීමක් වූයේ උදෑසන සිට හවස් වෙන තුරුම එක හුස්මට , මෙසේ පටිගත කොට තැබූ වී එච් එස් නාට්‍යමාලා නැරඹීමයි. අදටත් පුස් කමින් සුරැකිව තිබෙන , කන්දෙ ගෙදර, යශෝරාවය , දූදරුවෝ පලමු කොටස් සියය , පුංචි ඉත්තැවා, බෝඩිම වැනි අමතක නොවන සොඳුරු රස නලු කුඩා අප හදවත් තුලට මහා සෞන්දර්යයක්, හාස්‍යයක්, සංවේදීකමක් මෙන්ම ලාලිත්‍යයක් ඔබ්බන්නට සමත් වූයේය.
අවාසනාවකට මෙන්, ලඳු දෙනි වෙල් එලි දිගේ වසු පැටවුන් පස්සේ ඔට්‍ටු දිවූ ලපටි මතක මට නැත. එහෙත් කුඩා සංදියේ නොමැකෙන මතක මත රූපවාහිනියත්, එහි එකල්හි රජ කල පොහොසත් සෞන්දර්යයත් , එයින් මා ලපටි මනසෙහි පැල වූ අංකුර සාහිත්‍යයත් , අද වන විට මහා ගසක් තරම් නොවූවත් කුඩා පැලටියක් තරමට හෝ වැඩී සිටින 'අත හුරු පන්න්හිඳත්' උදෙසා ටෙලිවිෂන් මතක මහා පරිමාණයෙන් වගකිය යුතු වන්නේය.
මේ ගැනයි මේ ලිපිය..
ඉතිහාස කතන්දර,
ලස්සන වටින නිර්මාණ(චිත්‍රපට)
Subscribe to:
Post Comments (Atom)
ලේසියෙන් පිටු පනින්න
<--http://www.bloggertricksandtoolz.com/ -->
ලස්සන ලිපියක් , ලිපිය කියවද්දි අයෙත් අතීතයට ගියා වගෙ දැනුනෙ , ඉස්සර බලපු ට්ව් වැඩසටහන් දැන් බලන වැඩසටහන් වලට වඩා අපෙ මතකයෙ රැදෙන්නෙ දැන් කාලෙ බලනවාට වඩා වැඩි ආසාවකින් පොඩිකාලෙ බලපු නිසා කියලයි මට හිතෙන්නෙ , මෙ බ්ලොග් එක විටින් ව්ට කියෙව්වට ලියන්නෙ අද උදේ උගන්වන්න පන්තියට ආපු මිස් කියල දැනගත්තෙ දැන් , ඒ ගැන බොහොම සතුටුයි..
ReplyDeleteමේ ප්‍රෝග්‍රෑම්ස් ටිකනං මාරම ගති...
ReplyDeleteබෝඩිම වගේ නාට්ටි වල හාස්‍ය රසය දැං නාට්ටි වල නෑ...
ඒ කාලේ ආයේ එනවනං..
ආයෙත් ඒ සුන්දර අතීතයට එක්කරගෙන ගියා වගේ දැනෙනව ඔබේ සටහනින් ..
ReplyDeleteස්තුතියි
නියම නාට්‍යය සෙට් ටික.කියලා වැඩක් නෑ.
ReplyDeleteනියමෙට ලියල තියනවා
ReplyDeleteදැන් තියෙන්නේ ගූ ගොඩවල්, නමුත් එක හොඳ දෙයක් උනා. විදුලි බිල අඩුවුනා... රෑට නිව්ස් බලන්න විතරි ටී වී එක දාන්නේ.
ReplyDelete//මහ මග අතර මගකදී නම් , නාඳුනන නිවසකට වැදී හෝ, කඩසාප්පුවකට රිංගාගෙන හෝ//
ReplyDeleteමෙන්න මේක නම් මම ඇත්තටම කලා... ඉස්සර රූපවාහිනියේ ටිං ටිං ගියේ බ්‍රහස්පතින්දා හවස 6ට.. මම එදාට ප්‍රැක්ටිස් ඉවර වෙලා කෝච්චියේ ගෙදර යනකොට 7.30 වෙනවා.. එදාට බස් එකේ හිටගෙන ඇවිත් කොට්ටාවේ මහගෙදරට ගිහින් ටිං ටිං බලලා ආපහු බස් එකේ ගෙදර යනකොට 8 වෙනවා... කාපු කට්ට මතක් උනා මේක කියවද්දි... මට අදටත් කාටූන් ටිකයි, ළමා කතා ටිකයි කටපාඩම්... පුංච් ඉත්තෑවා, පුංචි ඇත් පැටියා ඇයි අර සුරංගනා කතා ටික....
ඇත්තටම මම කල්පනා කලෙත් ඔය ඔෂීන් එකේ හදුන්වාදිම ඇයි මට මේ තරම් කටපාඩම් කියලා.... බලද්දි මම විතරක් නෙවෙයි නේ...
අද නම් ටීවී එක දාන්නේ ඇත්තටම ඔෂීන් සහ කාටූන් ටික බලන්න විතරයි මම...
යෝධයන්ගේ කාලේ ඉවරයි වත්ද ?
ReplyDeleteළමා කාලයේ මතකයන් අවදි කලා.ස්තුතියි ඔබට.
ReplyDeleteලිපිය කියවගෙනයද්දි ආයෙත් අතිතය මතක් වුනා..... මම ආසකරනම ඔෂින්,සසුරන්,ඔෂන් ගර්ල්,ඇමසන්,නයිට් රයිඩර්,මන්කී මැජික්,සුරංගනා කතා, හා හා හරි හාවා,ගල් ඉවර්,දොස්තර හොඳහිත, ටාසන්, මැග ඉවර්, ඉස්පෙල් බයින්ඩර් I - II , රෝබින්සන් අන්දරය, සීනා, හර්කියුලිස්, ස්ටාර් ගේට්, මහා භාරතය, රාමායණය... තව තව.... ම්ම්ම් දැන් ලමයින්ට එවා බලන්න පින නැහැ.... ඒ අතින් අපි වාසනාවන්තයි කියලත් හිතෙනව...
ReplyDeleteමං හිතන්නේ මේ කියන කාලෙ වෙන්න ඇති මහාභාරත් ටෙලිඩ්‍රාමා එක ගියේ.මගේ අම්මයි තාත්තයි මේක ගැන කොච්චර කියවනවාද කිව්වොත් මං යූ ටියුබ් එකෙන් ටෙලිඩ්‍රාමා එකේ එපිසෝඩ් 94ම බැලුවා.ඇත්තටම ඒක හුගක් ලස්සනයි.මේ පෝස්ට් එක කියෙව්වාම අපි ගැන දුක හිතෙනවා.අද ටෙලිවිෂන් එකේ මොනවද වැඩකට ඇති දෙයක් තියෙන්නෙ.අපේ ගෙදර ටෙලිවිෂන් එකක් ඇත්තෙවත් නැහැ.ගෙදර කාටවත් ඕනැත් නැහැ.අවශ්‍ය දෙයක් තිබුණොත් අපි ඉන්ටනෙට්වලින් බලනවා.
ReplyDeleteස්තූතියි ඔබට ආපසු පුංචි කාලෙට අරන් ගියාට.මම ආසම තවත් නාට්‍යක් තිබ්බා."ඉන්ගම්මාරුව".රූපවාහිනියේ ගියේ.මමත් ලිව්වා පුංචි කාලේ බලපු ටීවී සීරීස්,කාටූන් සෙට් එකක් ගැන.මෙන්න ලින්ක් ටික
ReplyDeleteඉස්සර බලපු ටීවි සිරිස් සහ කාටූන්
http://epola.blogspot.com/2011/07/blog-post_26.html
පිස්සු පූසා
http://epola.blogspot.com/2011/07/blog-post_5974.html
දොස්තර හොද හිත
http://epola.blogspot.com/2011/07/blog-post_4951.html
තවත් පරන කාටූන් සෙට් එකක්
http://epola.blogspot.com/2011/08/blog-post.html
බෝඩිම මම අදටත් කැමති හාස්‍ය පිරි ටෙලි නාට්‍යක්.. ඒ වගේ එවා දැන් නෑ..
ReplyDeleteඇත්තටම මම බොහොම කැමති මාතෘකාවක්. අසූව දශකේ ඉපදිච්ච අපි සෑහෙන්න පිං කරලා තියෙනවා කියලා හිතෙනවා. ටීවි එකේ ගිය පරණ ටෙලි මතක් වෙද්දී, පරණ වැඩසටහන් මතක් වෙද්දී හිත ඉබේටම අතීතෙට යනවා. ගෙදර කට්ටිය එක්ක වටවෙලා ටීවී බලපු හැටි මතක් වෙනවා. කලබල කාලෙ, ජනෙල් වලට පත්තර අලවලා ටීවි එකේ එලිය පිටට පේන්නේ නැති වෙන්න ටීවි බලපු හැටි මතක් වෙනවා :-) දිලා ඔය දාපු ලිස්ට් එකට මම හරිම කැමතියි. තව එක දෙකක් එකතු කරන්නම් මම කැමතිම ඒවා.
ReplyDeleteචාපා හිටපු රතු රෝස
ඉඳි ආප්ප කතාව හෙවත් චකබ්ලාස්
සුසීමා
බයෙන් බයෙන් බලපු දඩයම
හර්බට් රංජිත් පීරිස් ගේ අන්තිම ඩ්‍රාමා එක “හිරු තනි වෙලා“
යසපාලිත නානායක්කාරගේ සිරාම කොමඩි. “යසපාලිත නිර්මාණයක් - රස සාගයක්“ කියලා ඇඩ් දැම්මේ ඒ දවස් වල.
පෝස්ට් එකක් පිරෙන්න ලියතෑකි ලියනවනං ලිස්ට් එක. ඒත් මේ ඇති.
දුක තියෙන්නේ පරණ ඒවා ආපහු බලාගන්න ක්‍රමයක් නැති එක. සමහර ඒවා හරියට සංරක්ෂණය වෙලා නැති එක.
මම “හිරුතනිවෙලා“ DVD එක ගත්තා. සමහර ඒවා නං හොයා ගන්න නෑ. රතුරෝස එහෙම රූපවාහිණී සංස්ථාවේවත් නෑලු කොපියක්. කොටින්ම ඒක හදපු රන්ජන් සිල්වා මහත්තයා ගාව තිබ්බ කොපියත් පුස් කාලාලු. මං කොහෙන්දෝ දැන ගත්තේ. හරියට මතක නෑ.
ඒවා අතීතෙටම එකතු වෙලා ඉවරයි. එක අතකට ඒක හොඳයි.
ඒවා මතක් වෙනකොට සිද්ද වෙන්නේ අද තියෙන මෙගා ටෙලිත් එක්ක මල පනින එක විතරයි :( අපි නිකං ලේ නරක් කර ගන්නවා.
හැබැයි පොඩි ඔත්තුවක් දෙන්නං... :)
ඩයලොග් ටීවී එකේ තියෙනවා "රිදී TV" කියලා චැනල් එකක් චැනල් 68ද කොහෙද. නාගොඩවිතානලා කාණ්ඩේ කරන එකක්. ඒකේ යනවා පැරණි රසාංග සෑහෙන්න. මේ දවස් වල අම්මයි මායි රෑට ඒ චැනල් එක බලන්න පුරුදු වෙලා ඉන්නේ. පිංසිද්ද වෙන්න ඕන ඒ කාන්ඩෙට එව්වා සංරක්ෂණය කලාට. ඒ වගේම තමුන්ටත්, ඒ ලස්සන අතීතේ මතක් කරාට.
දිග වැඩි නං සොරි වෙනඩෝන... කොච්චර වුනත් පරණ ඒවට මිනිස්සු ආසයි. සාක්ෂි මං ලියපු පරණ ලිපියක තියෙන ප්‍රතිචාර.
මෙන්න මෙතන.
http://sithangi.blogspot.com/2011/07/blog-post.html
ඩියර් සිස්ටර්... ඔල්ඩ් ඊස් ගෝල්ඩ් මචං!!!
ගයාශාන්...
ReplyDeleteහා හා... මේක නම් හරිම අහම්බයක්... හරිම සතුටුයි.... එහෙනම් මගේ බ්ලොග් එක කියෙව්ව ලමෙකුත් මගෙ පන්තියට එනවා ... සන්‍තෝසේ බැහැ.
අතීතය ඇත්තෙන්ම පැනි රසයි. අනුන්ගේ හෝ අතීතය දිග හරිනකොට ඒවා කියවන එක ඊටත් වඩා පැනි රසයි. පුලුවන් නම් හොයාගෙන කියවන්න ඉන්ද්‍රනාථ තේනුවර මහත්මයා ලියන මගේ මතක බ්ලොග් එක.... ඇත්තෙන්ම මම වඩාත් ආස කරන බ්ලොග් එකක්. ගම්පෙරලිය කියවනවා වගේ හැඟීමක් දැනෙන්නෙ. :)
අබේ...
ReplyDeleteබෝඩිමේ තනිකඩ බෝඩිමේ
ජීවිතේ කරදර අනෙ සිතේ
සෝ තැවුල් රැඳී නැතේ
නැ කියා අතේ සතේ
මේ නැවුම් විනෝද ජීවිතේ :) :) :)
මහේශ්
ReplyDeleteස්තූතියි ..... අතීතය ගැන සටහන් කීපයක්ම ලියන්න හිතේ තියනවා.... :)
ධම්මික
ReplyDeleteකියල වැඩක් නෑ නේන්නම්.... ඒවා ගේ නාට්‍ය නම් ආයි එන්නෙ නෑ.... අන්තිමේට බැලුව ලස්සනම නාට්‍යය ආනන්ද අබේනායක මහත්මයාගෙ ජීවිතයට ඉඩ දෙන්න :)
යසිරු
ReplyDeleteස්තූතියි යාලු....
මාතලන්
හෙ හෙ... හපෝ මම නම් නිවුස්වත් බලන්නෙ නැහැ. :)
හිරු
හෙ හෙ. හිරූ ... ඇත්තෙන්ම අපේ ලෝකෙ ඇතුලෙ මේ චරිත ජීවත් වෙනවා... ඒකයි අපිට එයාලව මෙච්චර හුරු. නේද?
හසිත
මටත් හිතෙනවා. යෝධයින් වඳ වුනා වගේ යෝධ නිර්මාණ වඳ වෙනවා.. මට හිතෙනවා තාක්ෂණය රහිත බටහිර බොහෝ නිර්මාණ තුල තියෙන ශක්තිය නිර්මාණශීලීත්වයයි. අපි අපේ දූපතේ දුප්පත්කම නිසා තැවි තැවී නිර්මාණශීලීඉත්වයත් මොට කරගන්නවා. අනික් අතට වෙලඳ වටිනාකමක් නැති නිර්මාණශීලීඉත්වයට තියන අගය අඩු නිසා නිර්මාණශීලි පුද්ගලයටත් සිද්ද වෙනවා තටු අකුලන් පැත්තකට වෙන්න. ආනන්ද අබේනායක ඒ ඇතින් නියම වීරයෙක්...
ඇනෝ
ReplyDeleteස්තූතියි.... :)
කුශී
අපි නම් ගොඩක් වාසනාවන්තයි.. මොකද උන්නති ලක්ෂයේ හොඳම සාරය අපි ලබා ගත්තා . ඒකෙන් අපේ ලමා ලෝකය ලස්සන උනා.
වර්ශා
ඇත්තටම අද ලමයින්ටත් ටෙලිවිශන් එපා වෙලා. එයාලා අන්තර්ජාලෙට ඇබ්බැහි වෙලා. එත් එතනින් හරි අපේ ලෝකෙ පරන ලස්සන දේවල් එයාල දකිනවා නම් මට හිතෙනවා එයාලත් වහ වැටෙයි.
මැඩගස්කාර් කාටුන් එකෙ තාමත් මම ආසම ඒකෙ 2D පලවෙනි චිත්‍රපටයට :)
පූසා
ආහා ඉන්ගම්මාරුව... ශා... කියල වැඩක් නෑ... මුඩුක්කු සංස්කෘතිය කැත නැතුව බලන් ඉන්න , ඒ හදපු නිර්මානය ඇත්තෙන්ම සුපර්බ් !!!! මිනිස්සුන්ට ඇයි බැරි ඒ තරම් කැපවෙන්න දැන් ????
ස්තූතියි අර ලින්ක්ස් වලට ඇ :::::::)))))
දිනේශ්
බෝඩිම VHS ඕනේනම් මගේ ගාව ඇත :) හැබැයි පුස්ද සමග :)
මේ සඳහන් කරල තියෙන ටෙලිනාට්‍ය ටිකනම් ඉස්තරම් . මේ ටෙලිනාට්‍යවල නැවත විකාශනත් තාමත් ආසාවෙන් බලන්න පුළුවන් .දැන්නම් එකම ටෙලිනාට්‍යක්වත් බලන්නෙ නෑ . ඒව බලනකොට කලකිරෙනව .
ReplyDeleteලස්සන ලිපියක් අපිව නැවතත් අතීතයට රැගෙනෙ ගියා .
ආයිම ටීවි එකේ ඔශින් යනවා. මේ පෝස්ට් එක පරණ මතක ආයිම අවදි කළා. ටයි මාමා තරම් අපිට හොඳ දේවල් ගෙනා වෙනත් අයෙක් නැතිව ඇති.
ReplyDeleteඒ කාලේ නිර්මාණ රස වින්ද නිසාදෝ මන්දා මට නම් දැන් යන කාටූන් ටෙලි නාට්‍ය රස විඳින්න අමාරුයි.
මීට වඩා පරණ ටෙලි නාට්‍ය කීපයක් බැලුවා මතකයි.
ස්තූතියි මේවා මතකයට ගෙනාවාට...
ඇත්තෙන්ම හරිම අහම්බයක් , ඒ වගෙම .
ReplyDelete""[186] දිගම දිග ඇත්ත කතාවක් !!!!!!!!!
ඒකා නම් යස්ස පැටියෙක්.... වදකාරයෙක්.... මගෙ නහර වල ලේ ඉහලම උෂ්ණත්වයට පත් කිරීමේ සමත් වූ දඟ මල්ලක්""
- මිස්ගෙ මෙ කතාව කියවපු දවසෙ ඉදන් මිස්ගෙ සිසුවෙක් වෙන්න ආසාවෙන් හිට්යෙ අහම්බෙකින් හරි එ ආශාව ඉශ්ට උනා ඒ ගැන ගොඩක් සතුටුයි.ඒ වගේ දගමල්ලක් නොවී හොදම සිසුවෙක් වෙන්න උත්සාහ කරන්නම්කො ,ඇත්තෙන්ම කාගෙ නමුත් අතීත කතාවක් කියවද්දි හරිම සතුටක් දැනෙන්නෙ, මගෙ මතක බ්ලොග් එක මාත් ආසාවෙන් කියවන බ්ලොග් එකක් මිස්.. :) :)
තම වාසිය ලැබෙන තුරා
ReplyDeleteපුරු පුරු ගා කෙඳිරි ගගා
බිම පෙරළී වකුටු වෙලා
පහුරු ගායි පූෂා
පිශ්ෂ මූ පිශ්ෂ මූ ඤාව්ව්ව්ව්ව්ව්ව්
අපි හැමෝම අපේ අතීතයට ආදරෙයි. ඒක ස්වාභාවික දෙයක්. තව අවුරුදු 10 කින් 20 කින් අපේ පොඩිඑවුනුත් මේ වගේම සොනික්, ස්කුබි ඩූ ,,බෙන්ටෙන් ගැන කතා කරයි. මේ ලිපිය කියවද්දි වචනවලට නැගිය නොහැකි ආශ්වාදජනක හැඟීමක් මගේ හිතෙත් ඇතිවුනා. මේ අතීතකාමයයි.
ReplyDeleteආනන්ද අබේනායක ගැන කතාවට එකඟයි. ස්වර්ණවාහිනියේ ගිය අහසින් වැටුණා කතාවෙන් තමා මම එයා ගැන දැනගත්තේ. දැන් යන අප්පච්චී කතාවත් නියමයි :)
ReplyDeleteමේක නම් සුපිරි පෝස්ට් එකක්. මොකද අර ඔයා කිව්වා වගෙ එක පරම්පරාවක් වෙල් එලියේ දුව පැන ඇවිදපු හැටියි, මා දං බෝවිටියා කාපු හැටියි දැන් පරම්පරාවට අහිමි වීම ගැන දුක් වෙවී ඉඳිද්දී ඔයා ඊ ලඟ පරම්පරාවක් ගැන මේ වගෙ පෝස්ට් එකක් දාපු එක ලොකු වෙනසක්.
ReplyDeleteජීවිතේ මල් ගුරුතුමියක් කියලා මම දන්නෙ දැන්නෙ. අපි දෙන්නත් එහෙමයි!
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
ඔෂීන් ඒ කාලේ ආසාවෙන් බැලුවා... දැන් නම් ඒකෙ ගියෙ මොනාද කියලත් මතක නෑ හැබැයි...
ReplyDeleteගිම්.... ගොඩක් ස්තූතියි නගා..... නාට්‍ය ගැන නම් අද නාට්‍ය ගැන ඇත්තෙන්ම හරිම දුකයි. මිනිස්සු නිර්මාණ කරද්දි මොල ඇතුලෙ වැඩෙන්නෙ සල්ලි විතරද කොහෙද
ReplyDeleteප්‍රියා
ටයි මාමා අපෙ ලමා කාලෙ ලස්සන කල දෙවියෙක් වෙන්න ඕනෙ. ස්තූතියි අයියා කියෙව්වට
ගයාශාන්
ආහා... ඔය කිව්වට මම හරිම සැරයි ඈ... :) හෙ හෙ. හොඳට ඉගෙන ගන්ඩකො... වරදින්නෙ නැහැ කවදාවත්... :)
චානක
ස්තූතියි
රතු රජරට
අතීතකාමය කියන්නෙ මම හිතන්නෙ මගේ ජීවිතයෙ ආස්වාදයක්... ඒත් ඒක පිස්සුවක් නොවෙන්නෙමොන තරම් ගැහැට තිබ්බත් මම වර්තමානයට අතීතයට වඩා තැනක් දෙන නිසා... :) ස්තූතියි
හසිත
ආනන්ද අබේනායක කියන්නෙ මීට වඩා ඉදිරියෙන් අන් අයට මග පෙන්විය යුතු කෙනෙක් මම හිතන්නෙ....
ඩූඩ්
ස්තූතියි යාලු සතුටුයි මගෙ අදහස හඳුනා ගත්තාට
ජය... අහ් මම ගුරුතුමියක් තමා... ඒකනෙ ඔය ගයාශාන් වගෙ ඈයො මගෙ පන්තිත් එද්දි මගෙ බ්ලොග් කියවන්නෙ :)
අලුත් මල්ලි
හෙ හෙ... මම ඔශින් ආයිත් බලන්නෙ නැ... ඒත් ... ඔශින් ගැන තියන මතක එහෙමමයි
හම්මේ ටී.වී. බලනවා කියලා ඔහොමත් බලනවද දෙයියනේ ?
ReplyDeleteමේ කරුණ සත්‍යාපනය කරමි. ඇසෙන් දුටු සාක්ෂි කරුවෙකි.
ReplyDelete