Thursday, August 30, 2012

[267] මගෙ හිත ගත් පොතක් 7 - හලෝ හලෝ

 http://3.bp.blogspot.com/-5dDMxveWIHE/T-XnngPcw3I/AAAAAAAADRE/MAkvBMfp3yc/s1600/Dil1276.jpg

මහ වැස්සකට අර ඇඳි ව්‍යාජ අකුණු මත සන්තුෂ්ටිය සටහන් කරමින් දවස් කිහිපයක් කාර්යබහුල රාජකාරි ජීවිතයට කැප කළෙමි. 

අනතුරුව මම යලිත් ආවේ වැස්සක් බලාපොරොත්තුවෙන් ආයෙත් ලියන්නටය.  

අද මගේ විස්තර විභාගයට භාජනය වන අසරණ පොත වන්නේ 'හලෝ හලෝ' ය. 

චේතන් භගත් නම් අපූර්ව අපේ කාලයේ රචකයාගේ පොත් වලට වහ වැටුනාට , ඒ ගැන දුකක් නොවන්නේ චේතන්ගේ පොත් පරිවර්තනය කරන්නටත් , දක්ෂ පරිවර්තකයකු කැපවී සිටින නිසාය.  

හෙලෝ හෙලෝ පොතෙහි පවතින රසය සම්භාව්‍ය බරසාර (ලේසියෙන් කියෙව්වාට නොතේරෙන) ආකෘතියෙහි නොවේ. කොටින්ම මේ ලියන බාසාව තරම් බරසාර අමාරුවක් පොත කියවන්නාට නොදැනේ. :) 

කෝල් සෙන්ටර් එකක්... එක් රාතිරියක් තුල එහි සිටින කොලු කෙල්ලන් රැලකට මුහුණ දෙන්නට සිදුවෙන හදිසි අකරතැබ්බ , පුදුම උපදවන සිදුවීම් , සහ ඉතාමත් සුන්දර හින්දි අවසානයකින් සමන්විත One Night At the Call Centre පොතට දිය හැකි හොඳම සහ සරලම නිර්වචනය නම් 'එක හුස්මට' යන්නයි.  

ගලායාමෙන් අනූන , පිටුවෙන් පිටුව කුතුහලය ඉව වහා යන මේ පොත , සරල කතාන්දර ලියැවුනු බොහෝ පොත් අභිබවා මා පුද්ගලිකව ඉදිරියෙන් තබන්නට මනාපයි. ඊට හේතුව , එය කියැවීමෙන්ම ඔබට පසක් වේවි. 

ඉන්ග්‍රිසි පොත් පත් කියවීමට දක්වන කම්මැළි කමත් , කියෙව්වාට එච්චර රහක් නොදැනෙන ව්‍යාධියත් නිසාවෙන් , මුල් පොත පසුව ලැබුනත් කියවන්නට උනන්දුවක් දැනුනේ නැහැ. 

අනෙක් කාරණාව නම් , රහ දැනෙනවා නම් ආයිත් සූප්පු කරන්නට සහ පොත් දෙකෙහි හරි වැරදි ලකුණු කරන්නට අනවැසි තරම් අපූරු පරිවර්තනයක් දිලිප විසින් කොට තිබෙන නිසා.  

කියවන්නට තරම් රසවත් වග විභාග විස්තර නැති එහෙත් කෙටි සරල බොහෝ අරුත් දෙන අපූරු වාක්‍ය ශෛලියකින් ලියැවුනු 'හෙලෝ හෙලෝ' පොතට ඔබත් පෙම් බඳිනු නො අනුමානයි :-) 

පොත : හලෝ හලෝ
පරිවර්තක: දිලිප ජයකොඩි
පොත ලිව්වෙ : ඉන්දීය ලේඛක චේතන් භගත්  
මුල් පොත : One Night at the Call Center

Tuesday, August 21, 2012

[266] මගෙ හිත ගත් පොතක් 6 - තුන් තකතිරුකං කරපු කෙනෙක් මං


ඉශ් , ගෝවින්ද , ඕමි... කොටින්ම බිස්නස් පිස්සෙක්..., ආගම් පිස්සෙක්.. සහ ක්‍රිකට් පිස්සෙක්.... 

මේ තුන්දෙනා එකතු  වෙලා හැදෙන සුසංයෝගයේ තේරුම මොකක්ද? තේරුම තමා මේ තුන්දෙනා යාලුවො තුන් දෙනෙක්ය කියන එක. එච්චරක් නෙවි, නිකම්ම ඉන්න එක හොඳ නැති නිසා, මොකක් හරි කරලා මිනිහෙක් වෙන පිස්සුවත් තියන නිසා මේ තුන්දෙනා අතගහනවා බිස්නස් එකකට. කෝවිල් භූමියක කඩ කාමරයක දානවා ක්‍රිකට් බඩු විකුණන ශොප් එකක්... 

එයාලගෙ ජීවිත තුන ගලාගෙන යන්නෙ පොඩි පොඩි සිදුවීම් එක්ක නෙවි.., දේශපාලන මතවාද... ක්‍රිකට් උණ සහ බිස්නස් මේනියාව.. මේතුන සමෝසමේ ගමන් ගන්නේ නොහිතන අන්ත වලට...  

3 Mistakes of My Life - චේතන් භගත් මේ පොතට නම දෙන්නෙ එහෙම... මොන මිස්ටේක්ද? ගෝවින්ද්ගෙ ජීවිතේ වෙන මිස්ටේක්ස් තුන මොනවද? දේශපාලනේ ක්‍රිකට් සහ බිස්නස් මික්ස්ෆෘට් එකේ ප්‍රතිපලයක් හැටියට සහ ගෝවින්ද්ගෙ ජීවිතේ වෙන මිස්ටේක්ස් තුනේ ප්‍රතිපල හැටියට මේ අඹ යාලුවො තුන්දෙනාගෙ ජීවිත එක මොහොතකදි එකපාරෙන් වෙනස් වෙනවා. 

මේ පොත අතට ගත්තොත් නම් අබිං කෑව වගේ... කියවන්න ගත්තොත් උදේ දවල් රෑ නැහැ , කියවලම මිස පස්ස නම් බලන එකක් නෑ. ඔබ ක්‍රිකට් පිස්සෙක් නම් මේ පොත පුරාම තියන ක්‍රිකට් පිස්සුවෙන් ඔබේ පිස්සුවෙ දෙගුණ වෙන එක පුදුමයක් නෙවි..  

ලේඛකයා... ගැන  

චේතන් භගත් කියන්නෙ අපේ කාලයෙ ලේඛකයෙක්.. ඔහු ගැන කියනවා නම් ඔහු යාන්ත්‍ර ඉංජිනේරු උපාධිධරයෙක්... හොංකොං දේශයෙහි ආයෝජන බැංකුකරුවෙක් වශයෙන් රැකියාවකට බැඳුනු ඔහු පසුකාලයෙහි පූර්ණ කාලීන ලේඛන වෘත්තියටම බසින්නේ ඔහුගේ මේ ත් ඇදගන්නා සුලු ලිවිමේ හැකියාවට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර නිසාවෙන්...


ඔබටත් පුලුවන් ඔහුගෙ නිල වෙබ් අඩවියට ගොස් ඔහු ගැන කියවන්න . 

ඔහුගේ නිල ෆේස් බුක් පේජ් එක බලන්න..

පරිවර්තකයා ගැන...

චේටන්ටම ජාඩියට මූඩිය සේ ගැලපෙන පරිවර්තකයකු වශයෙන් දිලීප ජයකොඩිත්, චේතන්ගේ සහ අපේ කාලයේ ඊමේල් පරම්පරාවේ හද ගැස්ම සමග මනාසේ කලතා මේ පොත ලියන්නට දිලිප ගත් වෑයමත් මගේ මතය අනුව නම් අති සාර්ථකයි...  

සැප්තැම්බරයේ දිලීපගේ අලුත් පරිවර්තන එලි දැක්වෙන තුරු ඇඟිලි ගනින්නේත් ඒ නිසයි... චේතන්ගේ සැහැල්ලු සහ නාට්‍යමය බස හැසිරවීම එලෙසින්ම උකහා ගෙන , තනි අමු පරිවර්තනයක් නොවී සිංහල සහ ඉන්ග්‍රිසි අපේ තාලයට හැසිරවූ ඉතා රසවත් නිර්මාණයක් ලෙස 'තුන් තකතීරු කම් කරපු කෙනෙක් මං'  පොත මට හඳුන්වන්නට පුලුවනි. 

මේ පොත නොකියවීමත් එක්තරා තකතීරුකමක් වෙන්න පුලුවන්.... එච්චරට රසවත්... ඔබත් කියවල බලන්න එහෙනම්...  

මෙන්න විස්තර 
 පොත : තුන් තකතිරුකං කරපු කෙනෙක් මං 
කර්තෘ: චෙතන් භගත් (Chetan Bhagat)
මුල් පොත : The 3 Mistakes of My Life
ප්‍රකාශනය: ෆාස්ට් පබ්ලිශින්  
මිල: රු 425


Monday, August 20, 2012

[265] මගෙ හිත ගත් පොතක් 5 - අමුතු ඉලන්දාරියා

අද මම කියන පොත යම් විවාදයට තුඩු දුන් පොතක්.. කොටින්ම මේ මාතෘකාවත් එක්තරා ටැබූ සබ්ජෙක්ට් එකක්.. මම දන්නෙ නෑ මේ ලන්කාවෙ ටැබූ සබ්ජෙක්ට් ටැබූ පිලිවෙතින්ම ක්‍රියාත්මක වෙනවද කියලා. ඒ නිසා ටැබූ සබ්ජෙක්ට්ස් පිලිබඳ මගේ මතවාදය වෙනස් එකක්.. මේක ලිවව කියලා මම බ්ලොග් සින්ඩිකේටර වලින් ඉවත් වුනත් ඉතින් මොනව කරන්නද? 

ශ්‍යාම් සෙල්වදුරෙයි කියන්නෙ සුවිශේෂී ශ්‍රී ලාංකික ලේඛකයෙක් .. ඔහු සුවිශේෂී වීමෙහි පළමු හේතුව වන්නේ ඔහුගේ ලිවීමේ හැකියාව. ඔහු ලාංකීය ඉන්ග්‍රිසි ලේඛකයෙක්. ඔහුගේ උසස් බස හැසිරවීම තුල තිබෙන සුවිශේෂී ගුණය මනා සේ උකහා ගන්නට සමත් පරිවර්තකයින්ටම ඔහුගේ පොත හසු වීම ඔහුගේ භාග්‍යයක්.

ඔහු පිලිබඳව අනෙක් විශේෂත්වය තමයි ඔහු සමලිංගිකයෙක් වීම.  ඇත්තෙන්ම මම ඒක විශේෂත්වයක් හැටියට දකින්න කැමති නෑ. ඒත් විශේෂත්වය තමයි ඔහු ප්‍රසිද්ධියේ ඔහුගේ ලිංගික නැඹුරුව පිලිබඳව පෙනී හිටින එක. මම සමලිංගිකත්වය හරි දෙයක් හෝ වැරදි දෙයක් හැටියට දකින්න උත්සහ ගන්නෙ නැහැ. මගෙ ස්ට්‍රේට් නේචර් එක මේ ලෝකෙ හැමෝටම තියෙන්න ඕනෙ, ඒක තමා හරි, අනික් උන වැරදි කියන මතයේ මම නැහැ. ඒත් ශ්‍යාම් සෙල්වදුරේයිට තිබෙන ඒ නිර්භීත කම නිසා, ඔහුගේ ලිවීමේ කෞශල්‍යය සමලිංගිකත්වයෙන් නිග්‍රහයට පත්කරන්නට ඔහු ඉඩ තබන්නෙ නැහැ.

කාලයක් මම ඔය ගේ-ලෙස්බියන්- බ්ලා බ්ලා හැම මිනිහා දිහාම අප්පිරියාවෙන් බැලුවා. ඒත් මම පස්සෙ හිතුවෙ නම් ඒ මිනිස්සුන්ගෙ චොයිස් එක ඇත්තටම ඒගොල්ලො හිතා මතා ඇති කරගත්තු දෙයක්ද එහෙම නැතිනම් ස්වභාවික දෙයක්ද කියලයි...ඒ කොයි හේතුවෙන් උනත් උනුත් මේ ලෝකෙ ජීවත් වෙන්න එපැ‍යි. උන්ව පිලිකුල් කරලා වෛර කරලා සමාජෙන් කොන් කරන එක මනුස්ස කමක්ද? අනෙක් අතට සමහරුන් ඔය නැඹුරුව්ට ඔපසුකාලීනව යොමු වෙන්නෙම පරිසරය විසින් අනෙක් මිනිසුන් විසින් අපහරණයට හෝ පෙලඹීමටල් ලක් කිරීමෙන් වෙන්න පුලුවන්... 

 මේ එක එක කාරණා නිසා විවිධ මට්ටම් වලින් සමරිසියන් බිහිවීමට අපි සොබාදහමට දොස් නගා පලක් නැහැ. උන්ට දොස් නගා පලකුත් නැහැ. අපට එහෙම වීමට අවශ්‍ය නැතිනම් , අපට උන්ගෙන් අනතුරක් බලපෑමක් පෙනෙනවා නම් ඉවත් වීමයි..

ඒ කොහොම උනත් අද කියන්න යන පොතෙහි කතා නායකයා ශ්‍යාම්ම තමයි. ඔහුගේ ලමාකාලය , එකල රටෙහි පැවති භීෂණය, මෙන්ම ඔහු තුල පවතින සමරිසි හැඟුම් දාමයන් සමාජය , මාපියන් සහ සිය පරිසරය විසින් කොතෙක් දැඩි ලෙස වාරණය කරන අයුරුත් එයින් ඔහුගේ ජීවිතය තුල පැන නගින කැලඹිල්ලත් කියවීමෙදී ඔබේ සිත තුල වුවත් සමරිසියන් කෙරෙහි ඇතිව තිබෙන ජුගුප්සාව අනුකම්පාවකට පරිවර්තනය වේවි. 

ශ්‍යාම් ගේ කුඩා කාලයත් , කුඩා කාලයේ පටන් ඔහුගේ තිබෙන ගැහැණු දැව්‍රිවියකට තිබෙන ළමා ආශාවනුත් , ඒ ආශාවන් තුලින් දෙමාපියන් හඳුනා ගන්නා ඇතැම් රිසි කමුත් තුලින් කතාව ගලා යන්නේ අතිශය සානුකම්පිත අයුරින්. පොතක් කියවීමෙන් විය යුත්තේ කියවන්නාගේ මනස තුල සිය ආකල්පමය තිගැස්මක් සහ පරිණතියක් ඇතිවීම නම් මේ පොත කියවීම තුලින් එය මනාව ඉටුව තිබෙන බවක් මම පුද්ගලිකව දකිනවා. 
ඒ පොත අවුරුදු පහලොවෙ දාසයෙහි පොඩි උන්ට නම් මම අනුමත කරන්නෙ නැහැ. මෙබඳු දේ කියවීමටත් කියවීමෙන් ජීවිතය ආරූඪ නොකර ගෙන සිටීමටත් යම් කිසි පැසුණු මනසක් අවැසි බවයි මගේ හැඟීම.  වුරුදු තිහ පසු වීත් නොපැසෙන මනස් තිබෙන බවත් අවුරුදු දාසයේ දාහතේ ඇතැම් කොලු කෙල්ලනුත් ජීවිතය දෙස සමබරව බැලීය හැකි වීමත් විය හැකියි. මෙබඳු පොතකින් ඔබ තුල ජනිත විය යුත්තේ අවබෝධයක් , අනුකම්පාවක් පමණයි. 

 ඔහු අමුතු ඉලන්දාරියෙක්... ඔහු ඇත්තෙන්ම අමුතු ඉලන්දාරියෙක්. අමුතු වූ පමණින් ඔහු සමාජයෙන් පිලිකුලෙන් පහකළ යුතුද? එය බහුතරයක් වූ විරුද්ධ ලිංගික ආකර්ෂණයෙන් යුතු බලවත් ප්‍රජාවක් විසින් කළ යුතු දෙයක්ද? 

මා සමරිසියෙකු හෝ එබන්දකට ලෙහෙසියෙන් පෙලඹවිය හැකි චරිතයක් නොවේ.  එහෙත් එසේ වූ පමණින් මා 'අමුතු ඉලන්දාරියා'හි නිර්මාණ හැකියාව අගය නොකර සිටිය යුතුද? ශ්‍යාම් සෙල්වදුරෙයිගේ අගය ඔහු සමරිසියෙකු වීමෙන් උලුප්පවිය යුතු හෝ ලඝු කළ යුතු නොහේ... 

සමරිසියන් සමාජයේ සමච්චලයට විහිලුවට හෝ පිලිකුලට ලක් විය යුතු තරම් වරද කරන්නවුන් නම්, අප ඊට කලින් මාපියන් කපා කොටා මරන දරුවන් , දරුවන් දූෂණය කරන මාපියන් (බිඳුනු බිලින්දා පොත කියවන්න) , අංගුලිමාලයින් යනාදී එකී මෙකී නොකී ප්‍රජාවද ඊට පෙර බැහැර කළ යුතු වෙමු. 

මා පුද්ගලිකව අදහන දෙය නම් , පොතකින් ගීතයකින් චිත්‍රපටයකින් චිත්‍රයකින් හෝ කිනම් හෝ දෙයකින් , එය විඳින්නාගෙ අමනස තුල මෙතෙක් නොදැල්වුනු ආස්වාදයක් ආලෝකයක් හෝ පරිණතියක් පහළ කළ යුතු බවයි. 'අමුතු ඉලන්දාරියා' ඊට සමත් වූ හෙයින් අසම රිසි මා විසින් , කවුරුත් ගසන අසාධාරණ ලේබල වලට බිය නොවී ශ්‍යාම් සෙල්වදුරෙයි අගය කළ යුතු බව තීරණය කළෙමි. 

[264] මගෙ හිත ගත් පොතක් 4 - උභයජීව


ඉක්තියැන්දර් කියන්නේ අමුතුම  ජීවියෙක්... එයා උපදින්නෙ සල්වාතර්ගෙ අත්හදාබැලීම් වල ප්‍රතිපලයක් වශයෙන් .. සල්වාතර් කියන අමුතු විද්‍යාඥයෙක්... 

වතුර යටදී වරල් වලිනුත්  , ගොබිමදී පෙනහලු වලිනු හුස්ම ගන්න ඉක්තියෑන්දර් කියන්නෙ, ඒත් ලේමස් වලින් හෑදිච්චි ජීවියෙක්.... 

ඉතින් ඉක්තියෑන්දර්ට එක දවසක්දී මේ ජීවිතේ ලොකු වෙනසක් වෙනවා... ඒත් ඒ වෙනසත් එක්කම මිනිස්සුන්ගේ ඈස් ගෑටෙන මේ අපූරු සත්වයා පිලිබඳ ඈමුන්ට ඈති වන්නෙ බියක්..  ඈතමුන්ට කෑදර සිතක්... 

ඉතින් ඉක්තියෑන්දර් මේ හෑම බාධකයක්ම ජය අරගෙන දිනාවිද? 

මේ කතාව හරිම රසවත්... මම මුලින්ම කියෙව්වෙ  පොඩි කාලෙ , ඊ ඈල් සේනානායක  ලයිබ්‍රරියෙන් අරන් කියෙව්ව මේ පොත මාව හරිම අපූරු චමත්කාර ජනක ලෝකෙකට ගෙන ගියා කිව්වොත් නිවෑරදියි.පහුගිය අවුරුද්දෙ පොත් ප්‍රදර්ශනයෙන් ගත් පොත් වලින් මම ඉස්සෙල්ලම කියෙව්වෙ මේ පොත. දශක එකහමාරකට විතර ඉස්සර ඇති වෙච්ච සොඳුරු මතකය ආයිත් අලුත් වුනා කිව්වොත් නිවැරදියි.


ඒ රසය ලොකු බරසාර ගෑඹුරු රසයකට වඩා , සරල ඉගෙනුමකෑයි කීම වඩා නිවෑරදියි... 


5 වෙනි පොත...: අමුතු ඉලන්දාරියා ගැන ...

Friday, August 17, 2012

[263] මගේ හිත ගත් පොතක් 3- වෘකයන්ගේ අඩවිය හෙවත් වයිට් ෆෑන්ග්

මේ තියෙන්නෙ තවත් ජැක් ලන්ඩන්ගෙ ප්‍රාතිහාර්යයක්.... 

මෙහි දෙවෙනි ලිපියෙ පොතෙහි තිබුනෙ ගෘහවාසයෙන් වනවාසය කරා ඇදෙන බක් නම් බල්ලාගෙ කතාව.  

ඒත් අද මම මේ කියන පොතෙන් මතුවෙන්නෙ කැලයෙහි ඉපිද ගම්වාසයකට බලෙන් අල්වාගෙන එනු ලබන සහ එතෙකින් නොනැවතී සිය ජීවිතයේ විවිධ අසාමාන්‍ය ඉසවු පසු කරන වෘකයෙකුගේ කතාවක්...

ආරියවංශ රණවීරයන්ගේ තරම්ම තියුණු පරිවර්තන හැකියාවක් තුලින් මේ පොත ඔප්නැංවී නැතත්, ජැක් ලන්ඩන් මතු කළ කතා රසය මෙයිනුත් මතු වෙනවා.  කතාවෙහි දැනෙන සංවේදී බව සහ සත්වයකුගේ මනස තුල ගැහෙන හැඟුම් සමුදාය ජැක් ලන්ඩන් යලිත් සිය සුපුරුදු සොඳුරු ශෛලියෙන් මුදා හැර තිබෙනවා. 

නොයෙක් තාඩන පීඩන මැදින් වයිට් ෆෑන්ග් සිය ජීවිත නෞකාව පැද යන්නේ කුණාටු බහුල ජීවිත සමුදුරක.  



ඔබ වනපෙත අඩගසයි පොතට පෙන් බැඳි කෙනෙක් නම් , එම පොතටත් අනිවාර්යයෙන් කැමති වේවි. 

ඒත් අවංකවම මගේ  පැතුම වන්නේ කවදා හෝ ආරියවංශ රණවීරයන්ගේ පරිවර්තනයක් වශයෙන් වයිට් ෆෑන්ග් දෑකීමයි. 

පොතෙහි නම : වෘකයන්ගේ අඩව්ය හෙවත් වයිට් ෆෑන්ග්  
කර්තෘ: ජැක් ලන්ඩන්
පරිවර්තනය : ගංගා නිරෝෂිණි සුදුවැලිකන්ද
මිල: රු 400
විජේසූරිය පොතක් 

Thursday, August 16, 2012

[262] මගේ හිත ගත් පොතක් 2- වනපෙත අඬගසයි


අද මම ලියන පොත , මට ජීවිතය කියා දුන් හොඳම පොත් ගොන්නෙනුත් හොඳම එක යයි මම කියන්නට පෑකිලෙන්නෙ නෑහෑ. තවත් කිවහොත් , පහුගිය පොත් ප්‍රදර්ශනයෙන් මම ගත් පොත් ගොන්නෙන් මගෙ හිතට වෑඩියෙන්ම ඈල්ලුව පොතත් මේකයි. 

මේ පොතෙහි සම්පූර්ණ කතාවම ගෙතෙන්නෙ බල්ලෙක් වටා. ගෘහස්ත සැපහසුවේ හැදෙමින් හිටි 'බක්' ගෙ ජීවිතේ වෙනස්ම ඉසව්වකට ඈදී යන්නෙ ඔහුව පැහැර ගැනීමත් සමග. අනතුරුව හිම කරත්ත අදින බලු සේනාවක නිත්‍ය රාජකාරියට කැපවන බක්ව කියැවීමෙන් මා ජීවිතය යනු මේ යයි ඉගෙන ගත්තා කිවහොත් නිවැරදියි.  

ජැක් ලන්ඩන් යනු මගේ ලෝකයෙහි වීරවරයකු බවට පත් වන්නේත් එනිසායි. 



 බක් සිය ජීවිත කාලය පුරාවට මුහුණ දෙන අනේක විධ දුක්ඛ දෝමනස්සයන්, ත්‍රාසජනක අත්දෑකීම් මෙන්ම බියකරු , ආවේගශීලි සිදුවීම් මත්තෙහි ජැක් ලන්ඩන් බල්ලෙකුගේ හදවතට මෙතරම් ආරූඪ වූයේ කිනම් ප්‍රාතිහාර්යයකින්දැයි සිටා ගන්නට පවා නොහැකි තරම්. 1903 ලියැවුනු මේ කතාව සියවසකටත් වඩා පැරණියයි මට නම් දැනුනෙවත් නැහැ. පැරණි වන්නට වන්නට රසයෙන් උතුරා යන තරම් හුස්ම ගන්නා සතුනගේ හදගැස්ම මෙහි ලියවී තිබෙනවා. ජැක් ලන්ඩන් යනු කොතරම් දාර්ශනික හැඟීම් සහ ජීවිතය දුටුවෙකුදැ‍යි මට සිතෙනවා.
පොතෙහි මුල් පිටු කිහිපය වෙන් වනෙන ජැක් ලන්ඩන්ගේම ජිවිත කතාව පිලිබඳවයි. එය කියවන ඔබට ජැක් ලන්ඩන් කළ මේ ප්‍රාතිහාර්යයත් ඒ පසුපස ඇති ජැක්ගේ ජීවිත අත්දැකීමුත් ගැන හොඳ වැටහීමක් ලැබේවි. 

පොත් මෙන්ම ජීවිතය කියවන්නෙකු විසින් මේ පොත නම් ගිලිහී යා යුතු නැතැයි මම නම් තරයේ විස්වාස කරනවා.  

ඔබ හැගීම් කියවීමට ලොල් වූවෙක් නම්,ඔබ මේ පොතට යලි යලිත් පෙම් බඳීවි. ඔබ සොයන්නේ දෙබස් බහුල සරල නවකතාවක්නම් , රිලැක්ස් වීමට කියවීමට පොත් පමණක් නම් මේ පොත ඔබීවිදැයි මා දන්නේ නැහැ. මෙහි දෙබස් අඩුයි. එහෙත් මට නම් එහි එක පේලියකවත් කියැවීමට කම්මැලි ගතියක් දැනුනේ නැහැ. ඒ කොයි වර්ගයේ කියව්වනෙකු ලෙස ඔබ මෙතෙක් ගොනු වී සිටියත්, ජැක් ලන්ඩන්ගේ ලිවීම් ශෛලිය මනා සේ එබ්බුනු, ඕනෑම සත්ව ප්‍රාණියෙකුගේ ජීවිතයේ හුස්ම තැවරුනු,  බල්ලෙකුගේ ඇස් දුටු ලෝකයක් ගැන වලින් ලියැවුනු 'වනපෙත අඬගසයි' පොත ඔබට මහත් වූ ජීවිතාලෝකයක් සපයාවි. 

මිනිසුන් කියන්නේ වෙනම කොට්ටාසයකැයි උදුමවා ගත් හිස මා බිමින් තැබුයේ මේ පොත කියැවීමෙන් සහ 'අරණකට පෙම් බැඳ' කියැවීමෙන්. . 

ආරියවංශ රණවීරයන් මිස අනෙකකුට නම් ජැක් ලන්ඩන් කියූ දෑ සිංහලෙන් ඔබට වටහා දෙන්නට දරන්නට වන්නේ බොලඳ ප්‍රයත්නයක් පමණයි.  එතරම් ගැඹුරු යයි මට හැඟෙන හැඟුම් මාලාවන් ජැක් ලන්ඩන්ගේ හදවත කියැවූවාක් මෙන් ආරියවංශ රණවීරයන් සිංහල අකුරු වලට හරවා තිබෙන බවක් මා කියන්නේ එය පරිවර්තනයකැයි නොහැඟෙන තරම් කතාව, එය ලියැවුනු ස්වභාවික ගලායාම සහ සරු බස විසින් මා වශී කළ නිසයි. 

පොත : වනපෙත අඬගසයි
කර්තෘ : ජැක් ලන්ඩන්  
පරිවර්තක: ආරියවංශ රණවීර 
දයාවංශ ජයකොඩි විය යුතුයි.(හරියට මතක නැහැ)

Wednesday, August 15, 2012

[261] මගේ හිත ගත් පොතක් 1- සාරභූමි

අද ඉඳලා පොඩි පහේ කෙටි ලියමන් කිහිපයක් ලියාගෙන යන්න මට හිතුනා. බරසාර එව්වා පැත්තක තියලා , මගෙ හිත ගත්තු පොත් ගැන දවස ගානෙ ලියාගෙන යන්න මට හිතුනේ , බීට්ල් (අකුරු බ්ලොග් එක ලියන) යාලුවා ලිව්ව පෝස්ට් එකක් දැකලා.

මම කැමති හැම පොතටම ඔබ කැමති වෙන එකක් නැති වෙයි. ඒත් හොඳ පොතක දෙකක වගතුග බොහොම වටින පිරිසකුත් ඇති. හේතුව තමයි ලඟ ලඟ එන පොත් සැණකෙලිය. මම එහෙ රස්තියාදුවෙ ගිය ගමන් විස්තර හෙම මතක ඇතිනෙ. ගත්තු පොත්, රස්තියාදුවෙන් මුණ ගැහිච්චි ඩේවිඩ් අන්කල් හෙම?

ඉතින් මේ පාරත් රස්තියාදුව ජයටම කරන්නයි මගෙ නම් ලෑස්තිය. ඒකට ලැස්තිවෙන ඔයාලට , මගෙ ලෝකෙ හිත තදින්ම ඩැහැගත්තු පොත් ගැන ලියන පලමු සටහන මේ....

අද ලියන පොත මට ලැබුනෙ 1999දී. අපේ අක්කා (පුරසඳ)  1999
මගෙ උපන්දිනේට තැගි කළ පොත තමයි මේ... 

පින්තූරෙ තියන ඉන්ගිරිසි පොත නෙවි. ඒකෙ සිංහල පොත.

පොතේ නම : සාර භූමි
කතුවරිය: පර්ල් ඇස් බක්
ඉන්ග්‍රිසි පොත: ගුඩ් අර්ත්
පරිවර්තකයින් : ඌරාපොල හේමාලෝක හිමි , හේමපාල විජයවර්ධන
මිල: අලුත් මිල නම් දන්නෙ නෑ. මගෙ ගාව තියන පොතෙ මිල අවු 13කට කලින් මිල නෙව. :)


කතාව 


වං ලුං නමැති ගොවියෙකු චීනයේ කෙත් වතු සහ සිය පවුල් ජීවිතය සමග දෝලනය වෙන විපර්යාසයන්ට මුහුණ දෙන විදිය තමා මේ පොතේ ලියලා තියෙන්නෙ. අවු 13කට කලින් උනත්, මේ පොත කියවද්දි මම ඇත්තටම චීනයේ ගොවි ජනපදයක දින කිහිපයක් ජීවත් වුනා කිව්වොත් නිවැරදියි. ඒ තරම් සජීවී අයුරෙන් චිත්ත රූප මැවෙන විදියට මේ පොතේ කතාව ගලාගෙන යනවා.

දුප්පත්කම, නියඟය , ආදරය, අසහනය, වස්තුව , බලය , තණ්හාව මෙන්ම මානව දයාවත් සමෝසමේ කතාව සමග ගලාගෙන යනවා. වංලු සිය බිරිය ඕලෑං නිවසට කැඳවා එන තැනෙහි පටන් , ඔවුන් දරුමල්ලන් හදා වඩාගෙන , නොයෙක් ස්වභාවික ව්‍යසනයන්ට මුහුණ දෙමින් සිය තරුණ සහ මහ
ලු විය කරා පියවරින් පියවර ඇදෙන අයුරුත් , හදිසියේ ඇති වන කැ‍රැල්ලක ප්‍රතිපල වශයෙන් වංලුං හදිසි ධවතකු මෙන්ම නව බිරියකුත් සමග අලුත් ජීවිතයකට අව්තීර්න වන අයුරුත් මෙහි සටහන් වෙනවා.

මේ කාලය තුල ගලා යන වෛරය , දුක , ශෝකය , මෙන්ම ආශාවන්ද සැබෑ ලතෙත් මානව දයාවකින් යුතුව පර්ල් ඇස් බක් , සාර භූමි'හි පින්තාරු කොට තිබෙනවා.

මේ හෙයින්ම 1931 ලියැවුනු මේ දුලබ සාහිත්‍ය නිර්මාණයට පුලිට්සර් සම්මානයත්  , 1931 සහ 1932 වසර වල ඇමෙරිකාවේ ඉහළම පොත් අලෙවි වාර්තාවත්, එමතු නොව, 1938 වර්ෂයේ පර්ල් ඇස් බක්ට නොබෙල් සාහිත්‍ය ත්‍යාගයත් හිමි වීමට මං පෙත් විවර කරදීමට තරම් මේ කෘතිය හේතු වී තිබෙනවා.


ලෝක සාහිත්‍යයේ බොහෝ සංවේදී ලියැවීම් අතරින් , සියවසකට ඉහත පමණ ලියැවුනු මේ පොත විසින් , දශකයකට ඉහත පමණ මා මනසේ ඇති කළ මානව හිතවාදී කම්පනය අදත් මා සිතේ නොමැකී පවතිනවා. 

Monday, August 13, 2012

[260] මම වෙරි වුනෙමි ...

මද්දහන් උණුසුමට මොළය රත්වෙන වෙලාවෙහි , කාර්යබහුල කාර්යාල මේසයේ ලිපිගොනු පිරිවරාගෙන , මොන සාහිත්‍යයක් ලිවිය හැකිදැයි කෙනෙකුට සිතෙන්නට පුලුවන. චිත්ත රූප මැවීම ! එය කැමැත්තක්, ආස්වාදයක්, ඇබ්බැහියක් යන මට්ටම් වල හිඳ ලෙඩක් දක්වා වර්ධනය වන අවස්ථාවන්හිදී චිත්ත රූපය කොතරම් බලවත්දැයි කියන්නේ නම් , එය චිත්‍රපට රූප රාමු පෙලක් වේග ධාවනය වන්නා සේ පෙනෙන්නට පටන් ගනියි. ඒ දුවන්නේ මගෙ හිතේ ඇඳෙන බයිස්කෝප් එකය.

මා සිහින දකින්නියක් විය හැකිය. එහෙත් මම මමත් , මගේ හීන වලටත් , හීන දැකීමෙන් කොතෙකුත් වෙහෙසපත් නොවන ජීවිතයටත් මහත්සේ පෙම් බඳිමි.

රහමෙර කොයි වගේදැයි බලන්නට රස බලා ඇතත් , උගුරෙන් පහලට නොගිය නිසාත් , පානයක් කර නැති නිසාත් , වෙරි වීම හෝ මත් වීම ගැන මට පුලුල් අදහසක් නැතිය. එහෙත් හදට වදින ගීයක ආනුභාවයෙන් දෑස් අද්දර මගේම චිත්ත රූප වේග ධාවනය වන මානසිකත්වය ආරූඪ වන කල්හි, ශරීරයට බලපවත්වන ගුරුත්වය අඩු වන විටදී , මමත් එක්තරා අන්දමකින් වෙරි වෙමි. හෙවත් මත් වෙමි. ඉදින් ගීතයකට මා වෙරි කිරීම කළ හැකිය. 

පසුගිය සතියෙහි ගිනි මද්දහනෙහි , සිදාදියේ කාෂ්ඨ අවුවේ , රිය තුලදී මට වෙරි වුනේය. ඊට හේතු භූත වූ කාරණා අතර , ප්‍රීතියෙන් ඉපිල ගිය මනසකුත්, මගේ ප්‍රීතිමත් ආශ්චර්‍යයෙන් උදම් වන ප්‍රිය හදකුත්, ඒ ශරීර ස්කන්ධ අතරින් හෙමි හෙමිහිට ගුවනට මුසු වූ ගීතයකුත් අඩංගුව තිබුනේය.

අද මේ සටහන ලියවෙන්නේ , මගේ ප්‍රීතිමත් මනස ගැනවත්, ඒ ප්‍රීතියට සමාන ප්‍රීතියෙන් පොහොර දැමූ ප්‍රිය හද ගැනවත් නොවේ. ගීතයක් නිසා වෙරි වී මගේ සිත තුළ ධාවනය වූ බයිස්කෝප් එක ගැනය. 

ගිනි මද්දහනේ පාර අයිනේ එකෙළ මෙකෙළ වෙන කොල්ලෙකි. වෙලාව බලන්නේය. ජංගම දුරකතනය බලන්නේය. ආයිත් පාර බලන්නේය. කවුරු හෝ එන මග බල බලා මහ දවල් කල් මරන්නේය.


දිවා දාහයෙන් අකර්මන්‍ය වූ සිදාදියේ එක කොනක කඩි ගුලක් ඇවිස්සෙයි. කඩින්ට කිසි සේත්ම සමාන කළ නොහැකි තර්ම් වෛවර්ණවත් ගැටිසීයන් රංචුවක් එක් පටු පාරකින් මහ පාරට මුදා හැරෙයි.   බොහෝ ඇස් එදෙසට හැරෙයි. දෑසින් දැක් විඳගනු වස් වේගය බාල වන රථවාහනද , ගමන බාල කරන තරුණ ඇස්ද අතරෙන් අපේ කතානයක කොල්ලාගේද ඇස් නිකම් ඉන්නවාට එදෙසට යොමු වෙයි.  ජීවිතේ අහම්බයකි.

මෙතෙක් කොල්ලා මග බැලූ දෑස් , ඒ මල් පෙරහැරෙහි නැති බව නිසැක වුවද , ඇසකට 'අසිරිය' යනු අමාවක්මැයි ! 

අහංකාර කොල්ලන් , කෙතෙක් සොඳුරු වුව, ලඟින් යන කෙල්ලන් දෙස කෙලින් නොබලති. දුර තියා ඇස් අයා , හද දල්වා බලා හිඳින තියුණු ඇස් , පරතරය කෙටි වෙද්දී , නොසැලකිල්ලත්, අහම්බයත් , අහංකාරයත් ආරූඪ කරගනී... කතා නායක කොල්ලාටද , මේ මල් පෙරහැර ලංව එද්දී ඒකෙ වගක් නැති වගක් පෙන්නන්නට හිතෙයි. අහක බලාගෙන , හිත ඇතුලෙහි කුතුහලය යටපත් කොට යලිත් ජංගම දුරකතනයත්, ඔරලෝසුවක් නුරුස්නායෙන් විමසන කොල්ලා වැරදීමක් වගේ පෙන්නාගෙන , අහම්බෙන් වගේ ආයෙත් මල් පෙරහැරට හැරෙන්නේ ඉච්චාවටය!

සඳක් ! මල් අතරෙහි , නිවි නිවී පත්තු වෙන තරු එලි දෙකකින් , පපුව මත අකුණු සලකුණක් සටහන් වෙන්නේය! ජීවිතේ අහම්බයක්!  සඳ රැජිණිය , කොල්ලා , මුහුණට මුහුණ දකින එක නිමේශයෙක , ලෝකය සහ ලෝකයෙහි ඇති සියලුම ඔරලෝසු දීර්ඝ විරාමයක් ගන්න තීරණය කරයි.

හදවතින් ඈ අත්පත් වන. හදවතින් ඈ ලුහුබඳින, හදවතින් ඈවම ඉල්ලා හඬන ඒ දිගු මොහොත , සැබවින්ම පොළොවෙන් අඟල් කිහිපයක් ඉහළින් ඇවිදයන , ඔහුගේ ලෝකයෙහි එක් නිමේෂයකි. 


සඳෙහි එක කැල්මෙන් , කොල්ලාගේ සිතෙහි සැණකෙලියක් ඇරඹෙන්නේය.දෑසත් හදවතත් අන්ද මන්ද වී ගොස් , පෙරහැරෙහි උත්කර්ශය මතින් කොලු හදවත පන්තේරු නැටුමක් නටන්නේය. මොහොතක සැණකෙලිය අහවරය ! ඔරලෝසු යලි දුවන්නට වෙයි. ජීවිතය  යලි නතර වූ නිමේශයෙන් පටන් ගත යුතුමය. එහෙත් කොල්ලාගේ සිතෙහි රඟන රැජිණිය අහක බලා,  ජීවිතයත් උත්කර්ශයත් පැහැර ගෙන ඉදිරියට ඇදී යන්නීය. ඇදී යන පෙරහැර මත්තේ මොහොතක සොවින් හැපෙන කොල්ලාගේ හදවත මත සඳවතියගේ මුදු පියසටහන් එහෙත් සීරුවෙන් ඇවිද යන්නීය.



ජීවිතයෙන් බැහැරව ගිය එම මොහොත ආස්වාදනය කරන පිරිමි හදවත බිඳකට වැලපෙන්නේය. ඒ බිඳ සැණකෙලියෙහිද , උත්කර්ශයෙහිද, දැවුමෙහිද , පසුතැවුමෙහිද සම අයිතිය හිමි කොටගෙන හිඳියි. ඒ මොහොතෙහිදී,  ඔහු ඔහු නොවේ. ඔහු නොවන්නේද නොවේ. එහෙත් ඒ මොහොත ඇත්තේ වෙනමම ලෝකයකය.  ගැහැණු ඇස් දෙකක් හා පිරිමි හදවතක් මැද්දෙන් ක්ෂණික රිදී ඉරකින් සටහන් කල අකුණු පහරක් බඳු එම මොහොතෙන් පමණක් සුසැදි  ලෝකයකටය.

නැටුමෙහි ආවේගයත්, අහම්බයෙහි උත්කර්ශයත්, පෙරහැරෙහි පන්තෙරු සැණකෙලි නදත් , කෙමෙන් වියැකී යයි. දාහයත්, රථවාහන නාදයත් , දෙනෝ දාහක් මිනිසුනගේ වෙහෙසකර මුහුණුත් කෙමෙන් වේදිකාවට අවතීර්ණ වෙයි. 

එදෙසම බලාගෙන 
, නිමා වෙමින් පවතින සැණකෙලි බිමක , තරු එළි පමණක් ශේෂ කොට සැඟව ගිය සඳ රැජිණිය මත්තෙහි සිත පැටලී වික්ෂිප්තව හිඳින ඔහුගේ දෑත් අල්වා ගන්නා , ඔහුගේ පියවි ලොවෙහි පෙම්බරිය 'අනේ සොරි ලේට් වුනා' කියා නිදහසට කරුණු කියනවා විය හැකිය.



මල් පෙරහැරෙහි පන්තේරු නාදයත්, බිම වැටුනු නිල් තරු එලිත්, මකා දමමින් ඔහුගේ බරැති අඩි සටහන් , පෙර මොහොතෙහි ගිය පෙරහැරෙහි සළකුණු මකා දමනවා විය හැකිය.   ඒ මෘදු පියවර,  භෞතිකමය සීමාවෙහි බොහෝ දුර වුවත්, හොර පූසියකගේ සීරුවෙන් යුතුව , ඒ පිරිමි හද කුටීරයෙහි කාටවත් නොපෙනුනු මුල්ලක තවමත් ඇවිද යනවා විය නොහැකිද?


මල් පෙරහැර එන්නා සේ හිඳිමි
ඔබ මහද පුරා ඇවිදින සුව විඳිමි
ගැල් පෙරහැර යන්නා සේ නිදමි
ඔබ අහක බලා ගිය පසු දුක් විඳිමි

ඒ දුක  නිමක් නැති
එනමුදු කමක් නැති
යලි හිත හදාගමී
සදහට පතා එමී
හඹ එමී සදා ඔබම පතමී....

නිල් තරු බිම වැටිලා සේ දුටිමී
ඔබෙ නෙතු සඟලේ එලි සේරම දුටිමි
නිල් එලි පෙල දැවෙනා සේ දුටිමි
ඔබ ඉවත බලා ගිය දුක හා ගැටෙමී

සඳ ‍රැජිනිය වඩිනා සේ දුටිමි
හිත ඇතුලෙන් පන්තේරු නැ‍ටුම් නටමි
පෙරහැර මා හැර ගිය බව දුටිමි
ඔබ මා ලඟ නැවතී ඇති බව දුටිමී

ඒ සැප නිමක් නැතී
තාමත් පමා නැතී
ඔබෙ සිත බදාගමී
සදහට සිනා සෙමී
සිනා සෙමී සදා ඔබම පතමී

නිල් තරු බිම වැටිලා සේ දුටිමි
ඔබෙ නෙතු සඟලේ එලි සේරම දුටිමී
සඳ ‍රැජිනිය වඩිනා සේ දුටිමී
හිත ඇතුලෙන් පන්තේරු නැ‍ටුම් නටමී

ගැල් පෙරහැර යන්නා සේ නිදමී
ඔබ අහක බලා ගිය පසු දුක් වින්න්හ්දිමි
පෙරහැර මා හැර ගිය බව දුටිමි
ඔබ ඉවත බලා ගිය දුක හා ගැටෙමි

ඒ දුක නිමක් නැතී
එනමුදු කමක් නැතී
යලි හිත හදාගමී
ඔබෙ සිත බදා ගමී
හඹා එමී සදා ඔබම පතමී

මල් පෙරහැර එන්නා සේ දු‍ටුවා
ඔබ මහද පුරා ඇවිදින සුව වින්දා
පෙරහැර මා හැර ගිය බව දු‍ටුවා
ඔබ අහක බලා ගිය පසු දුක් වින්දා
 

ගීතය අහන්න මෙතනින්

Sunday, August 05, 2012

[259] හිංසාව වපුරන්නන්ට සෙනෙහසින්


සත්තු මරන එක පව්ය. සත්තුන්ට උපරිම ආයු කාලයම ජීවත් වෙන්න තියනවා නම් ඒක හොඳය. ඒ වගේම එක සතෙක් තව සතෙකු සිය කුසගින්න නිවා ගන්නට යොදා නොගන්නවා නම් තවත් හොඳය. එතකොට මේ ලෝකය ලේ හැලීම් නැති සුන්දර තැනක් වෙන බවත් ඇත්තකි.

ගල ගහන්නා වගේ , වෙඩි තියන්නා වාගේ මෙහෙම ලියමනක් අරඹන එක කොච්චර කැතද? ආඩාතාඩේ පටන් ගෙන , එහෙන මෙහෙන් ඉඟියක් දෙකක් ලියා,  ලතාවට හැඩ රවුම් කොට ලියමනක් පටන් ගන්නේ නැතුව , අමු අමුවේ සමහර දේවල් ලියාගෙන ලියාගෙන යන එක, සාහිත්‍ය රීතියකට එකඟ නැති වෙන්ඩ පුලුවනිය. ඒත්.... ඒත්.... සමහර දේවල් අපේ ඇස් ඉස්සරහා දකින ඇහෙන තාලය මීටත් වඩා අමුය ..කැතය... අද ලියන්නේ අන්න ඒ දේ ගැනය...

ඔහේ නිස්කාරනේ රස්සාව කරගෙන පඩියක් අරගෙන ,  අනික් ගෑනු ලමයි වගේ ඉන්න බැරි එක මට තියන ලෙඩකි. මොකක් හරි සමාජයේ කොනක් අවුස්සගන්නට හිතෙන එක , අමුතු දේකි. මටත් නිකම් ඉන්න බැරි හැටි... ! 


අවුරුදු දෙකහමාරක් තිස්සේ මම 'සංසාරේ අපි' ඇතුලේ දුක , කෝපය . නොසතුට, විඳවීම් ලියා ඇත්තෙමි. ඒත් ඒවා ලියා තිබෙන්නේ කරකවා රවුම් කොට ව‍යංගයෙන් මිස , වෛරය , හිංසනය නොතැවරෙන්නටය. ආසන්න තෙවසරක මෙම නිර්ණායකය පොඩ්ඩකට එහෙ  මෙහෙ කරන්නට අද දහවල් සිදුවූ සංවාදයක් බල කර සිටී... 

සමාජ ජාල අතර සීග්‍රයෙන් , කලින් කලට වැල‍ඳෙන ආසාත්මිකතාවන් තිබේ.... මේ දවස් වල ඉහලින්ම පැතිරෙන්නේ ෆොටෝ මේනියාවය. ලංකාවේ තිබෙන ඇතැම් අන්තගාමී මතවාද , දර්ශන ෆෙස්බුක් තුලද සීග්‍රයෙන් ඉඩ ලබා වෑපිරෙමින් ගෙන සිටියි. ජුගුප්සා ජනක දර්ශන, හද කකියවන දර්ශන, ලේ රත්වන දර්ශන , ලේ පිපාසිත දර්ශන ඔස්සේ  වැපිරෙන්නේ දයානුකම්පාව , සෝකය ,  ජාත්‍යාලය, අගමාලය සහ තම දර්ශනය යයි සිතන්නෝ එක මවුස් බට්න් (Mouse Button) පහරින් මේ දර්ශන share  කරගෙන කරගෙන යන්නෝය.
 


දකින්නෝ මොන මානසිකත්වයෙන් සිටියත් ශෙයා කරන්නාට ඇති පල කිම? එකම අරමුණ ලෝකය හොඳ තැනක් කිරීම හෙයිනි. තම ආගම අන් ආගමින් කොයිතරම් හොඳ තැනක වැජඹෙන්නේදැයි තහවුරු කරගැනීම පමණි. දකින්නා කුඩා දරුවෙක් වුවත්, සංවේදී මනසක් ඇතියෙකු වුවත්. රෝගියෙකු වුවත් , ලේ පිපාසිත මිනීමරුවෙකු වුවත් ශෙයා කරන්නාට කම් නැත.

සමාවන්න... මෙහි ලියන්නේ මගේ මතයකි... ඔබේ මතයට මෙහි ඉඩ තිබේ....

මගේ මතය 1

විලෝපීයතාවය !

මේ ගැන කතා කිරීමත් භයානකය. සතුන් මරන එක ඒ කියන්නේ හරිද? ඔබ එක සැණෙන් අහනු ඇත...

මම කියන්නේ මේකය. හරි වැ‍රැද්ද තිබෙන්නේ කුමන සාපේක්ෂ රාමුවේද? කොටියෙක් සාවෙකු මස් කොට කන විට එය සොබා දහම් රීතිය යයි දැකීම, මේ සොබාදහම් දාමයේ විලෝපීයතාවය යයි දැකීම අමනුස්ස කමක්ද? හූනෙක් සමනලකු අල්ලාගෙන කන විට අප සමනලයා වෙනුවෙන් ඉදිරිපත් වන්නෙමුද?

බෝ කොට , ජාන විකෘත කොට මිනිසුන් කරන මස් වෙලඳාම හරිද ?
එය ඔබේ දෙවන පැනය වනු ඇත ....

මිනිස් සතා සොබා දහම විකෘත කරමින් විලෝපීයතාව එක්කත් ඕනෑ නැථි අත් හදා බැලීම් කර තිබෙන එක ඇත්තය . සහ ඒක සහමුලින්ම ගොන් කමකි.


බෝ කිරීම සොබා දහමේ සමතුලිතතාව බිඳිනවාද නොබිඳිනවාද යන්න සලකා බැලීම වටී... සුලඟ වරාමල් ගෙන ගොස් වරා ගස් ජනපද නිර්මාණය කරයි. සමනලයකු පරාග වාහකයකු වෙයි. බ්‍රොයිලර් සහ ගව ඝාතන පමණක් සාහසික මරණ වන කල්හි? සා මුවන්? ගෝණුන්? මාලුන්? හාල්මැස්සන්? කරෝල වන මාලුවන්? කූනිස්සන්??

සත්ව කරුණාව පතුරනු වස් හරකුන්ගේ ගෙල සිඳින හද කීරිගැසෙන දර්ශන දැක , ආගමාලයෙන් ජාති ආලයෙන් ඔද වැඩී ශෙයා බට්න් ඔබන ඔබට පුලුල් දැක්මක් තිබෙනවාද? නැතහොත් ඔබ එය වපුරාගෙන වපුරාගෙන යන්නේ , පිස්සුවෙන් කොමෙන්ටු ලියනේ ආවේගයන් නිසාද? සැබෑ අවබෝධයෙන්ද?

මා සතුන් මැරීම අනුමත නොකරමි. එහෙත්  බාගෙට ගෙල කැපෙන හරකුන් වෙනුවෙන් පමණක් නොව ඒ අනුමත නොකරන මැරීම් බොහෝ පරාසයකට විහිද යයි... එකම දෙය නම් විලෝපීයතාව සහ මිනීමැරුම් මා පටලාගෙන නැත.  අනියම් සැමියා සමග එක් වී සිය සැමියාගෙ අතපය වෙන වෙනම කපා සිලි මලු වල බහා පස් යට නිදන් කරන බිරියත් මැරීමේ පාපයට යටත් වෙයි...

මැරීමේ විපාක මරන්නා මෙන්ම, මැරූ මස් කන්නාත් , එදෙස බලා හද අවුලවා ගන්නාද , ඒවා පතුරන ශෙයා කරන්නාද දැරිය යුතු වෙයි... ඒ මගේ මතයය. ඔබේ මතයට ඉඩ තිබේ...

මගේ මතය 2

හරකුන් එලුවන් බෙලි කැපෙන දර්ශන, හි‍ටු කියා ශෙයා කරන ඔබෙන් වෙන සමාජ සේවය මා දකින්නේ ලේ දර්ශන , ලේ වැගිරීම් , සාහසිකත්වය , විනාශය , මරණ දර්ශන , විනාශකාරීතවය වපුරන වාහක වීමේ තත්වය මිස අනෙකක් නොවේ...

එයින් මස් කන්නා මස් නොකන්නට පෙලඹෙන්නේ නැද්ද? ඔබ අසනු ඇත...

ඇතැම් විට පෙලඹෙනු ඇත ... එහෙත් සාහසිකත්වය නුහුරු මනසකට , ඔබ සාහසිකත්වය සාමාන්‍යකරණය (Generalizing) කරනවාද විය හැකිය...කුඩා දරුවකු ගන්න... ඔහු හය හතර දන්නේ නැතැයි සිතමු. රූපය පමණක් නෙත ගැටේ යයි සිතමු... මෙවන් රූප දකින මනසකට එය සාමාන්‍ය දෙයක් වීමේ හැකියාවක් නැත්ද? එසේ නැතහොත් ලේ සහ හිංසාකාරී දර්ශන කෙරෙහි අසීමිත මානසික බියකින් පෙලෙන තත්වයක් දක්වා වර්ධනය වන්නට තරම්, කුඩා යටි සිත ඇතැම් විට දුර දිග නොයාවිද? ඔබට එසේ නොවේ යයි කීමට ඇති සහතිකය කුමක්ද?

මගේ මතය 3

කසුරි (දිනමිනෙහි වටරවුම ලියූ ලේඛකයා) කියු දේ මම භාවනාවක් සේ අදහමි.. ලෝකය සුන්දර තැනක් වන්නේ අයහපතෙහි ආදීනව , කෲරත්වය , සාහසිකත්වය පිලිබඳ ජනතාව දැනුවත් කිරීමෙන්ද? මම එය පිලි නොගනිමි. මම නිතරම විස්වාස කරනුයේ සාහසිකත්වය නිතර දකින්නට දකින්නට , මුලින් ඇස් වසා කන් වසා ගන්නා පුද්ගලයා , දෙවනුව එය තනි ඇහෙන් නරබන්නටත් , තෙවනුව ඇස් දෙකම හැර එය නරඹන්නටත් , සිවු වනුව එය දැස් දල්වා කුතුහලයෙන් නරඹන්නටත් ඉදිරිපත් විය හැකිය.



දුර්ලභ අවාසනාවත් අවස්තාවකදී සාමාන‍ය වූ කෲරත්වය, පිපාසයක් දක්වා වර්ධනය වන්නටත් මේ සාහසික දසුන්ම හේතු භූත වීමේ හැකියාවක් තිබිය හැකිය! මන්ද , ඔබේ ස්ටේටස් අප්ඩේට් කියවන දහස් ගණනක් අතරේ මේ හැම වර්ගයෙහිම අය සිටිය හැකි නිසාවෙනි...

මගේ මතය 4

මා අදහන තව දෙයකි... මිනිසෙකුගේ හදවත හෝ ලෝකය සුන්දර තැනක් විය හැක්කේ දුර්ගුනයෙහි ආදීනව නිතර ඇසගැසීමෙන් නම් , කියවීමෙන් නම්, සතියේ පුවත් පත් වල කැපුම් කෙ‍ටුම් ඇනුම් මැරුම් , නඩු කියවන හැම දෙනෙක්ම, කුනු කරෝළ වාගේ 'දෙයියෝ සාක්කි' කියවන හැම රටවැසියෙක්ම ,  ලෝකය බොහෝ යථා අයුරෙන් දු‍ටු ඉතා යහපත් අය විය යුතුය. 



ෆෙස් බුක් එකේ ජාතිමාමක රූප රාමු දකින ඔබ නිර්මාංශී , සත්ව කරුණාවෙන් ඉපිල ගිය උදවිය විය යුතුය. මගෙ පව්කාරකමටද මන්දා , ඔය බාගෙට බෙලි කැපෙන භයානක දර්ශන අහම්බෙන් හෝ ඇස ගැසී තිගැස්සෙන මම අංග සම්පූර්ණ,  සත්ව කාරුණික මහත්මියක් කිරීමට ෆෙස් බුක් එකට සහ ජාති මාමක ඔබට තවම බැරි වී තිබේ...  !!!!!!

වැපිරිය  යුත්තේ යහ ගුණයය.  ඇස් හුරු විය යුත්තේ යහපතටය... යහපතට ඇබ්බැහි වන්නගේ හදවත තුල අයහපත ඉබේම වැලලී යයි... එනිසා මා හිතන විදියට අනුව නම් ශෙයා විය යුත්තේ, හදවත නිවන සනසන , හදවත සුභවාදී හැඟීම් වලින් සලිත කරවා වෙනස් කරවන සුලු දෑ බවය. 


සත්ව හිංසාව නොව, මා අදහන අයුරෙන් පැතිරිය යුත්තේ සත්ව කරුණාවය. සත්ව ඝාතනය නොව සතුන් කෙරෙහි ආදරයය. එවන් දේ දකින මනසක කුකුලෙකුගේ රුව පි‍ටුපස චිකන්  කැල්ලක් පෙනීමේ ඉඩ අඩුය. වැපිරිය යුත්තේ හොඳ මිස නොහොඳ නොවන බව මම අදහමි.යලි යලිත් කියමි... එහෙත් මෙය සංවාදයට විවෘතය.

මට යලිත් කසුරිගේ වටරවුම සිහිවේ. එහි ඇත්තේ නපුර අයහපත නොව , මහපොලව මත සිදුවූ සොඳුරු මිනිස්කම තැවරුනු යහපත් සිදුවීම්ය. මා සිතන්නේ එය කියවන මනසක පැල වන්නේ තමා කළ යුතු දැ මිස නොකල යුතු දෑ නොවේ... ලෝකය ප්‍රශංසා කරන හොඳ දේ කියවන්නට කියවන්නට 'හොඳ ' යන්න මිනිසෙකුගේ හදවත තුල සාමාන්‍ය දෙයක් බවට පත්වේ... සාමාන්‍යකරණය පොදු දහමකැයි මම අදහන බැවිනි.සෙල්ලම් තුවක්කට හුරු වූ සිඟිත්තා , ලොකු ලමයකු වෙද්දී තුවක්කුවෙන් වෙඩි තියන රූප රාමුවක් දකී නම් , තුවක්කුව අතපත් තැනදී මනස තුල රූප රාමුව ක්‍රියාකාරකමක් දක්වා දුර යා හැකිය. මේ මට හිතෙන හැටිය... 



සමාප්ති සටහන

මෙය ආවේගයෙන් ලියූ සටහනක් නොවේ... දහවල් හද දවන රූප රාමුවක් ඔස්සේ , ආගමාලය වපුරන නොමේරූ උත්සහයක් පෙන්වා දෙන්නට ගොස්, ආගම්වාදියා කියා ඒබලයකුත් ගසාගෙන , උණුසුම් සංවාදයකින් ඇතිවූ ආවේගය නිවූ පසු, හෙමීට යලිත් සිතා බලා ලියන සටහනකි.

බාගෙට බෙලි කැපෙන ඝාතනය පමණක් සත්ව හිංසාව යනුවෙන් දකින සමාජයකට මා එරෙහි වෙද්දී , මා අබෞද්ධයෙකැයි කෙනෙකු ඇඟිල්ල දික් කරයි නම් , මා නිරාගමිකයෙකැයි කියයි නම් , ඔහුගේ තර්කය අනුව මා සාර්ථක අබෞද්ධයෙක් වෙමි. අන්තගාමී වෙනවාට වඩා මට ඒක හොඳය. කිසිදු ආගමකට වෛරී සිතින් යම් දෙයක් අප කරයි නම් , එය අපේ නොහොබිනා කම විනා අන් දෙයක් නොවේ....

බාගෙට බෙලි කපන්නන්, උණු වතුර බාල්දි වල එබෙන හාවුන් පව් කියා වැලපෙන්නන් හට ලෝකය යථා ඇසින් දකින්නට මම ඇරයුම් කරන්නෙමි.

එක - ලෝකයෙහි ආහර දාමයන් තිබේ... හතර වසර ආරම්භක විද්‍යාව පාඩම් යලිත් කියවන්න.
දෙක - ලෝක ධර්මය අනුව විලෝපීයතාව කියා දෙයක් තිබේ.... Predation විකිපීඩියාවෙන් සොයාගෙන කියවන්න.
තුන - මේවා වෙනස් කල හැකි , විකෘත කළ හැකි දේවල් නොවේ..
හතර - මරණීය වේදනාව කාටත් පොදුය... අහිංසක ඇස් ඇති ගවයාට විතරක් නොවේ...
පහ - සත්ව කරුණාව පතුරන්නට හිංසාව පැතිරවීමෙන් මට අනුව නම් , වැඩක් නැත. එයින් ලෝකය යහපත් තැනක් නොවේ... ඒ වෙනුවට හිංසාව සහ අකරුණාව වැපිරීමට ඔබට දායක විය හැක.
හය - ශෙයා බට්න් ඔබ ඔබා සත්ව කරුණාව , ආගම් සංසන්දන , සහ ජාතයාලය වපුරන ඔබ ගේ හදවත කොච්චර සෙන්ටිමීටර ගාණක් පළල් දැයි සොයා බලන්න.

හත - ඝාතනයට එරෙහි වන්න. ඊට වෙනත් ලේබල් ගාවා නොගන්න. හිංසනයට එරෙහි වන්න. 


අඳුරට සාප නොකොට , අඳුර ශෙයා කරනු වෙනුවට , පහනේ ආලෝකය තැන තැන ගෙනයන ගිනිකූරු හිසක් වන්න.

දවල් ඇති වූ දුර්දම නිශ්පල විවාදයකට මගේ සමාප්ති සටහන ලියමින් ඔබේ මතයෙහි සමාරම්භය සටහන් කරමි..

ස්තූතියි

වැඩක් වෙන අයුරෙන් , Productive විදියට එරෙහි වෙන්න. 

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->