එක් ඉරිදාවක තරිණි පත්තරය දිගෑරගෙන පටන් ගත්තා ආයෙමත් පුරුදු කෙරුවාව! කසාදෙන් පස්සෙ කලේම ගෙවල් හොයන එකයි , ගෙවල් බලන එකයි , තැන් මාරු කරන එකයි. ඉන්න නිවෙසට සමුදෙන්න හේතුව වුනෙ ජල ප්‍රශ්නයක්. සත්තු මැරිල දවස් ගණන් කුණු වෙන වතුර බොන්න කාටද පුලුවන් ...
පදිංචි නිවෙසට කිලෝමීටර කිහිපයක් යාබදවම මාලබේ ඉසවුවේ ගෙයක් ගැන ඔත්තුවකට තරිණි දුරකථන ඇමතුමක් ගත්තා...
"හෙලෝ, මේ _____ පත්තරෙ දැන්වීමට කතා කරන්නෙ"
"ඔව් කියන්න"
"මම තරිණි. ඇසිස්ටන්ට් බෑන්ක් මැනේජර් කෙනෙක්, මහත්තය නේවි එකේ. අපිට මේ තැන ගැන පොඩි විස්තර ටිකක් කියන්න පුලුවනිද?"
වියත් ඉන්ගිරිසියෙන් අමතන එක, බැංකුවක පරිපාලන නිලධාරිණියක් වූ තරිණිට අමුතු දෙයක් නොවෙයි.ගේ ගැන ඇහුන විස්තර ටිකත් ගුණදායකයි. කුලියත් පහසුයි. මහපාරටත් ඉතාම සමීපයෙන්. වෙන මොනවද ඕනෙ ඉතින් !
"හොඳයි මිස්ටර් රණසූරිය, මම මහත්තයත් එක්ක එන්නම් ඉක්මනින්ම, එතකල් මෙතැන ගැන අවසන් තීරණයක් නොගෙන ඉන්නවද? "
"ම්ම් මෙහෙමයි තරිණි , අපි ගෙවල් දෙන්නෙ හොඳට හොයල බලලා. ඇත්තෙන්ම මේ අපෙ පරණ හිටිය ගෙදර. ඊට එහායින් තමයි අපෙ අලුත් ගෙදර ඒ ලැන්ඩ් එකෙම තියෙන්නෙ. ඉතින් අපි හුඟල් සිලෙක්ටිව්. ඔයාල කවුද කින්ද මන්ද අපි දන්නෙ නෑනෙ. ටිකක් ඔයාලව රෙකමෙන්ඩ් කරන්න පුලුවන් කවුරු හරි ඉන්නවද?"
ඇත්ත. අද කාලෙ කොහොමද කෙනෙක්ව විස්වාස කරන්නෙ. තරිණිට දැනුනෙ තරහක් නෙවෙයි සතුටක්.
" මිස්ටර් රණසූරිය, අපි ගේ ගන්න ඩිසයිඩ් කලොත් මට පුලුවන් මගෙ බැන්ක් එකෙ කෙලින්ම මැනේජින් ඩිරෙක්ටර්ගෙන්ම ලියුමක්, එහෙම නැතිනම් කෝල් එකක් දෙන්න. මගෙ මහත්තය නේවි එකෙ. එයා ___ ඇමති තුමා එක්ක කෙලින්ම ඩීල් කරන ජොබ් එකක් කරන්නෙ. එයා ලව්වම රෙකමෙන්ඩේශන් එකක් දෙන්න හැකි. ඇත්ත මේ කාලෙ කොහොමද කෙනෙක්ව විස්වාස කරන්නෙ. ඔයා හරි"
තත්පර කීපයක් ගත වුනා.
"නෑ.. නෑ.. මට තේරෙනවා ඔයා කතා කරද්දිම. ගොඩක් වැදගත් කපල් එකක් බව. ඔයාල එන්නකො. ඇවිත් බලන්න. අපිටත් ඕනෙ ඔය වගෙ වැදගත් අය. අපෙ දුවටයි පුතාටයි පරිස්සමෙන් ආශ්‍රය කරන්න පුලුවන් හොඳ යන්ග් දෙන්නෙක්."
"ආ අන්කල්.. අපි එන්නම්"
තරිණි ටෙලිපෝනය තිබ්බෙ සන්‍තෝසෙන්. එදා හවස ශාන්ත ගෙදර එද්දිම , තරිණි ඉල්ලුවා , එන අතරමග තියෙන මේ ඉසව්ව දිහා බලාගෙනම එන්න කියලා... එයා පිට තාප්පෙන් තැන බලල ගෙදර ආවෙත් හරිම සතුටෙන්.
"ශා බබා. එතන නම් හරිම ශෝක්. ඔයාට වැඩට යන්නත් ලේසි. හරිම සේෆ් වගෙ"
දෙන්නටම හිතුනෙ ප්‍රශ්නෙ විසඳුනා කියලයි.
~"""~
දවස් ගත වුනා.. තරිණියි ශාන්තයි අලුත් ගේ පොඩ්ඩට බොහොම සතුටු වුනා.. රණසූරිය ජෝඩුවත් අඳුනගත්තා.. රණසූරිය අන්කල් ආයෙමත් දින කිහිපයකට පස්සෙ තරිණිට කෝල් එකක් ගත්තා. "ආ තරිණි, දැන් හරි නේද, එහෙනම් කවද්ද ඇග්‍රිමන්ට් සයින් කරන්නෙ? "
"හරි අන්කල්.. අපි එදා කන්ෆර්ම් කලා වගෙම කරමු.ප්‍රශ්නයක් නෑ "
"ඔයාල දෙන්නා තාම ජීවිතේ අලුතෙන් පටන් ගන්න කපල් එකක්නෙ. ආන්ටිත් හරි සතුටුයි ඔයාල එනවට. ඔයාල අවුරුද්දක ඇඩ්වාන්ස් හොයන්න ඕනෙ නෑ. අපි හිතුවා මාස 6ක විතරක් ගන්න. "
තරිණිට දැනුනෙ කිව නොහැකි සතුටක්...
"අනේ අන්කල්.. ගොඩාක් ස්තූතියි. අපි වාහනේටත් සල්ලි හිරකරල උන්නේ.ලොකු උදව්වක් අන්කල්... "
" ආ ඒක මොකක්ද... ඔයාල හැදෙන ලමයිනේ...තරිණි ඔයා කොහෙද ඉස්කෝලෙ ගියෙ? කැම්පස් ගියාද? ශා ඔයා හරිම ෆෝවඩ් කෙල්ලෙක්නේ තරිණි.. මගෙ වයිෆුත් හරියට ඔයාට පැහැදිලා.. "
"මම කැලණියෙ කැම්පස් අන්කල්. ගම ගාල්ලෙ. හෙ හෙ. මම බැංකු රස්සා කලාට __සර්ගෙ ගෲප් එකෙ ඩාන්සර් කෙනෙක් අන්කල්. ෆ්‍රීලාන්ස් සින්ගින් ඇන්ඩ් චෙලෝ ප්ලේ කරන්න ටීච් කරනවා. මගෙ ක්ලාසසුත් කරන්න අන්කල්ලගෙන් පර්මිශන් ගන්නයි උන්නේ. ආ අන්කල් ශාන්තත් ඔහොම හිමිජ්ජා වගෙ උන්නාට එයා පී එච් ඩි එකකට රෙජිස්ටර් වෙලා ඉන්නේ.. හේ හේ.. "
" හානේ.. හැබෑට!!! ඒත් මට හිතුනා... දැක්කම... ..... ශා ඔයා මාරයිනේ ...මාර කෙල්ලෙක්නේ ඔයා දෙයියනේ.. බැංකු කාරියෙක්ට කොහෙන්ද ඔය වගෙ වෙලාවක් තියෙන්නෙ ආ... "
අන්කල් ගෙත් තරිණිත් අතර ඇති වුනේ නිහැඬියාවක්... නිහැඬියාව තරිණිට දෙයාකාරයකින් ඇල්ලුවෙ නෑ. එකක් බැංකු වෙලාවෙ අනවශ්‍ය දිග කෝල් ගන්න එක ප්‍රශ්නයක්. අනික වල්පල් කියවන්න වෙලාව නෙමෙයි ඒක. අනික අන්කල් සමග පළමු කෝල් එක අරන් සම්බන්ධ වුනේ තරිණි උනාට , ඉන් එහා ගනුදෙනු හැකිතාක් ශාන්ත සමගම කෙරෙන්න අවස්ථාව දෙන එක යහපත් කියා තරිණිට නිකමට සිතුන නිසා. තරිණි ඉක්මනින් හඬ අවධි කලා.
" අන්කල් ... මාව හම්බ වෙන්න කස්ටමර්ස්ලා කීප දෙනෙක් බලාගෙන ඉන්නේ. ටිකක් බිසිනේ. දන්නවනේ බැංකු. අන්කල් ශාන්තට කෝල් කරන්න, හදිසි ඕනෙ වෙලාවක, දන්නෙ නැද්ද, මේවායෙ කෝල් ආන්සර් කරන එකත් අමාරුයි බිසි අවර්ස් වල, මෙන්න අන්කල් නම්බර් එක ශාන්තගෙ... 077........ "
තරිණි එක හුස්මට කියාගෙන ගියා... "ආනේ සොරි තරිණි... හරි හරි.. මන් කෝල් කරන්නම්. හරි එහෙනම් අපි හම්බ වෙමු... ඔයා ඕනෙ ක්ලාස් එකක් කරන්න තරිණි ගෙදර..අපෙන් ප්‍රශ්නයක් නෑ....හරි එහෙනම් ...බායි"
"ඕකේ අන්කල්... තැන්ක්ස් වෙරි මච්..."
තරිණි නොසන්සුන් හැඟීමෙන් ඒත් ප්‍රසන්නව කතාව නිමා කලා. ඒත් හිතේ පොඩි අප්‍රසාදෙකුත් දැනෙන්නට වුනේ කටපුරා 'අන්කල්' කියා ඒ මහලු මිනිසාට අමතද්දීත් ඔහු එක වතාවක්වත් 'දුව' කියා නොකියූ නිසා වෙන්න ඇති.
~"""~
කාලය ගත වුනා. තරිණිලා රණසූරිය අන්කල්ලගෙ ගෙදර තැන්පත් වුනා. ඔය අල්ල පනල්ලෙම ශාන්ත තීරණය කලා කාරෙක විකුණන්න. දැන් ඉතින් මාස කීපෙකට තරිණිලාට කාරෙකක් නෑ. රණසූරිය අන්කල් එතෙන්දිත් පිහිටට ආවා. අන්කල්ගේ ගෙදර වාහන තුනක් තිබුනා. එකක් අති සුඛෝපභෝගී එකක්. අනෙක් දෙකම පැරණි කොරොල්ලා වැගන් මොඩ්ල් දෙකක්. එකක් ආන්ටිගෙ වාහනේ. අනික තියන් ඉන්නෙ ලොකු පුතාට දෙන්න. ලොක්කා ඉස්කෝලෙ 13 වසරේ උන්නේ.
"තරිණි, ශාන්තට කියන්න හදිසියක් වුනොත් හෙම කුලී වාහන හොයන්න නම් ඕනෙ නෑ. මේ එකක යන්න කියලා."
"ආනේ අන්කල්, තැන්ක්ස් සෝ මච් ..."
තරිණි සහ ශාන්ත කිව්වේ හදවතින්ම පින් දෙමින්.
තරිණිටත් ශාන්තටත් ශාන්ත කාලයක්ම උදා වුනා. රණසූරිය පවුල ඔවුන් දෙන්නට ලෙන්ගතු වුනේ දෙමාපියන් වගේ.
තරිණිත් ශාන්තත් උදේ නැගිට්ටාම තේ හදන් පැයක් විතර එලියෙ පඩියේ ඉඳගෙන කතා කර කර තේ බොනවා.. රණසූරිය අන්කල් , තරිණිගෙ රෝස පාට නයිටිය උන්ඩි වුන කකුල් දෙක දිහාබලා ගෙන ඉරිසියාවෙන්දෝ මන්දා දවසක් උදේක මෙහෙම කියනවා,
"අනේ අප්පා, මුන් දෙන්නා අවුරුදු 16-17 ලවර්ස්ලා දෙන්නෙක් වගෙනෙ ලව් කරන්නේ."
කියලා... ඉක්මනින් කකුල් දිග හැර නයිටියෙන් පතුල දක්වාම වසාගත් තරිණි නුරුස්නා බැල්ම සමග අහක බලා ගනිද්දී ශාන්ත ශාන්ත ලෙසම සිනා වුනා...
තරිණි දෙන්නගේම කෝප්ප දෙකත් අරන් නැගිට්ටෙ නොසන්සුන් සිතෙන්...
'ශාන්ත තරිණි කොහොමද දැන් වැඩට යන්නේ??'
අන්කල් බොහෝම දයාවෙන් විමසද්දී ශාන්ත පිලිතුරු දුන්නා.
"බස් එකේ තමා අන්කල්. තාම හොඳ වාහනයක් සෙට් වුනෙ නෑනේ.. "
"ම්ම්ම්... අපෙ අනික් කාරෙක ගැරිජ් දාලා. ඒක හැදුනම ඔයාල අලුත් වාහනයක් ගන්නකල් ඒක පාවිච්චි කරන්න. ආන්ටි නම් කලින්ම යනවනේ... ලොකු දෙන්න එක්කගෙන. මම යන්නෙත් තරිණි යන වෙලාවටනෙ. එයාට පුලුවන් මා එක්ක යන්න"
රණසූරිය අන්කල්ගෙ හඬ තුල තරිණි මොකක්දෝ අකැමති සඥාවක් දැක්කා.. ඒත් ශාන්තට එහෙම නොහිතුනු හැඩයි...
"ආනේ තෑන්ක්ස් අන්කල්...__"
තරිණි තුවායත් කරේ දාගෙන කඩිමුඩියේ එලියට ආවේ නර්තනයෙන්ම උපන් රඟපැමේ උපරිම හැකියාවම දාලා, අපූරු අහිංසක මූණක් හදාගෙන.
'අනේ අන්කල්. ශාන්තගෙන් අහන්න්කෝ මට ලෑස්ති වෙන්න යන වෙලාව ..හී හී අන්කල්ට අනිවාර්යෙන් පරක්කු වෙයි. මන් එක වෙලාවකට ලැස්ති වෙන්නෙ නෑ. අන්කල් යන්න'
දත්සෙට් එක එලියෙ දාගෙන හිනා වෙමින්, ඇතුලෙන් තරහින් පුපුරමින් තරිණි කිව්වේ ශාන්තට තේරේවා කියා පතමින්..
'ඉතින් බබා දැන් දුවන්නකෝ.. ඉක්මනට ලැස්ති වෙන්නකෝ... හා හා... අන්කල් එක්ක යන්න. බස් එකෙ යන්නෙ මොකටද'
කියමින් ශාන්ත කියනවිට තරිණිට ආව තරහ නම් කියල වැඩක් නෑ.
"අනේ මෙහෙමත් පිස්සෙක්.. තමුන්ගෙ ගෑනිව යවන්නෙ අනුන්ගෙ වාහන වල. අපිට වාහන නැතිනම් බස් එකෙ යනවනෙ. මොටද අනුන්ගෙවාහන. ඒ මදිවට අහල පහල ඉන්නෙ මේ ගොල්ලො අඳුනන අය. ඒ මිනිස්සු මොනව හිතාවිද. හනේ මගෙ මිනිහට මොලේ නැද්ද..."
මේ වගෙ දේවල් වල එච්චර සාම්ප්‍රදායික පැත්ත නොබලන තරිණිම මෙච්චර සුලු දේකට මෙතරම්ම අකමැති වෙන්නෙ, ඒ පුද්ගලයාට තිබෙන අකැමැත්ත නිසා බව ඈටම වැටහුනා...
දැන් ඉතින් මක් කරන්නද? ලෑස්ති වෙලා එලියට බහිද්දිත් වෙනද වගෙම ශාන්තගෙ නලල සිඹලා තරිණි එලියට බැස්සේ හරිම අකැමැත්තෙන්...
"එන්න තරිණි"
බොහෝම ගෞරවයෙන් ඉදිරිපස දොර ඇරලා තරිණිව නග්ග ගත් රණසූරිය මහත්තයා පාරට ඉගිලෙද්දී තරිණි අසරණව වීදුරුවෙන් හිස එලියට දමා ශාන්තට අත වැනුවා...
"ඉතින් තරිණි... කොහොමද?"
අන්කල් ඉතාමත් ලෙන්ගතු බැල්මක් පාමින් වාහනය පදවමින්ම කතාවක් පටන් ගත්තා.. කන්‍තෝරු ෆයිල් මිටිය මත දෑතත් බැඳගෙන පිලිමයක් මෙන් නිසලව, දොරට ඇලීගෙනම වාඩිවී හිටි තරිනි දැඩි බැල්මෙන් මඳ සිනා වුනා...
"ඉතින් කියන්නකො ලමයො , කොහොමද ඔය දෙන්නා මීට් වුනේ... "
තරිණි කාරුණික බැල්මෙන් ශාන්තගෙත් තමන්ගෙත් ආදර අන්දරේ අතීතයට ගියා.. නොරුස්නා හැඟුම් පහවෙන්නට වුනා.. කැම්පස් යන කාලෙදිම කැම්පස් එකේ ආරාධිත දේශනයක් වෙනුවෙන් සංවිධාන බර කරටගත් තරිණි සම්බන්ධීකරණය කරමින් නාවුක සෙන්පතියාණන්ගේ දෙවන සහයකයා වූ ශාන්ත සමග ලංවූ පෙම්පුවත ඉතා සැකෙවින් කියන අතරතුර අන්කල් අනපේක්ෂිත අතුරු ප්‍රශ්නයක් නැගුවා...
"ඔයාල බැඳල කොච්චර කල්ද?"
ආයෙමත් නොසන්සුන් වෙන හිත සන්සුන් කරමින් තරිණි උත්තර දුන්නා
"මාස 6 යි අන්කල්"
තරිණි වටපිට බැලුවා.. දෙවියනේ... අන්කල් බැංකුව ගාවටම මාව ගෙනත් දාලා... !
"අනේ අන්කල් සොරි, ඔයා මේ රූට් එකෙ නෙමෙයි නේද යන්නෙ ? වෙරි සොරි, මටත් අමතක වුනා.. අන්කල් අනේ මන් මෙතනින් බහින්නම්. අන්කල්ටත් පරක්කුයි. මම හිතුවෙ අන්කල් මාව හන්දියෙන් බස්සාවි කියලා. කරදර වෙන්න එපා. මන් මෙතනින් බහින්නම්"
අන්කල් කෙසේ වෙතත් තරිණි කලබල වුනා. බැංකුව ඉදිරි පිට අනුන්ගේ වාහනේකින් බහින්න තරිණිගෙ කොහොමත් කැමැත්තක් නෑ. ඈ ඒ බැංකුවෙ විධායක නිලධාරිණියක්.
"අනේ තරිණි , අවුලක් නෑ. මන් අද ටිකක් කලින් ආවෙ. මට මෙතනින් ශෝට් කට් එකක් තියනවා කඩුවෙලට. ඒක නෙමෙයි, ඔයාවගෙ ලස්සන කෙල්ලෙක්ට ශාන්ත වගෙ ගොඩාක් වැඩිමල් කෙනෙක් කොහොමද අප්පා සෙට් වුනේ.. අපී තරුණ කාලෙ මන් ඔය වගෙ සීන් වලට කියන්නෙ තැඹිලි ගෙඩි වල වහපු නාකි කපුටො කියලා"
"උඹ තමයි නාකි කපුටා"
තරිණි හිතෙන් එහෙම කියමින් දත්මිටි කෑවා...
"අනේ අන්කල් මොනවද මේ කියන්නේ. ශාන්ත මට හරිම ආදරෙයි. එයා පොඩි බබෙක් වගේ. දැක්කනේ අපි බිත්ති පුරා ගහල තියන අපේ ලව් ලෙටර්ස්..කාඩ්ස්.අපි දෙන්නා හරී ආදරෙන් ඉන්නේ"
තරිණි බැංකුවට ලංවෙන වාහනේ දැක නොසන්සුන් වෙමින්ම කියලා දැම්මා...
"අන්කල් මාව ඔතනින් බස්සවන්න. ප්ලීස්"
"හරි හරි තරිණි...ඔන්න මෙතනින් ඩ්‍රොප් කරන්නම්... හෙට උදේ ලැස්ති වෙලා ඉන්න එහෙනම් 7ට "
කියමින්ම අන්කල් තිරිංගය තද කලා. බහින්න සූදානම් වුනු තරිනිගෙ අත උඩින් අත තිබ්බ රණසූරිය අන්කල්
"ඕනෙ දෙයක් තියනවනම් මට කියන්න ... අපි ඉන්නව උදව් කරන්න හොඳේ" කියමින් ගැඹුරු බැල්මක් හෙලුවා..
"තැන්ක්ස් අන්කල්"
~'''~
"මේ මනුස්සයා මගෙ තාත්තගෙ වයසෙ කෙනෙක්. ඇත්තටම මනුස්ස කමටද කවුද දන්නේ"
කියා හිත හදාගත් තරිණි ශාන්තට කෝල් එකක් ගත්තා.
"හෙලෝ බබා. ඔයා ඔෆිස් ආවද?"
"ඔව් ශාන්ත. අනෙ අර මනුස්සයා මගෙ බ්‍රාන්ච් එක ගාවටම ඩ්‍රොප් කලා. අයියෝ ලැජ්ජාවේ බැ අනේ... ආයෙ නම් මෙතෙන්ට දාන්න එපා කියන්න ශාන්ත. බබා. මම ස්කූල් වැන් එකක් හරි ඔෆිස් වෑන් එකක් හරි සෙට් කරගන්න බලන්නද?"
තරිණි එයාගෙ අකැමැත්ත නොකියා අඟවමින් ශාන්තගෙන් ඇහැව්වේ දැන්වත් ශාන්තට තේරේවා මගෙ හිත කියා පතමින්...
"ම්ම්ම්.. අපි බලමු බබා. එතකල් අන්කල් එක්ක යන්නකෝ.. ඇයි ප්‍රශ්නයක්ද බබා?"
"නෑ නෑ ශාන්ත. මොනව උනත් අනුන්ගෙ වාහනෙක හැමදාම නැගල යන එක හොඳ මදිනෙ.. නේද.."
එහෙම කියමින් තරිණි සංවාදෙ අවසන් කලා... ඒ විතරක් නොවෙයි, කෙනෙක් තරිණිගෙ අත ඇල්ලුවා කීමත් ශාන්තට යක්ශාවේශ වෙන්න ප්‍රමාණවත් බව තරිණි දැන හිටියා.. ශාන්තගෙ ආදරය සහ හදිසි කෝපය කොතරම් බලවත්ද දන්නා තරිණිට දැනුනෙ අනාගතය ගැන කිව නොහැකි බියක්...
වතාවක, තමන්ට අසැබි විහිලුවක් කල විශ්ව විද්‍යාල සිසුවෙකුට පල කළ ශාන්තගේ හදිසි කෝපයේ ප්‍රතිපල වශයෙන් සිසුවාට නවතින්නට වූයේ රෝහලකයි...ඔහු බලවත් නාවික නිලධාරියකු වූ නිසාත් එහි වරද අනෙකා අත වූ නිසාත් සිද්ධිය එතරම් දුර ගියේ නැහැ. කෙසේ වෙතත් ඒ සිද්ධියෙන් පසුව තරිණි බොහෝ ප්‍රවේසම් වූවා. නොමනා මිනිසුන්ගෙන් අතවර විඳ ශාන්තට කියා කෝප ගන්වනවාට වඩා තරිණි කළේ අනතුරෙන් ඈත් වෙන එක.
මේ කාරණාව නිසාම කාලයාට ඉඩදී ඉවසන්නට තරිණි තීරණය කලා. 'මම බොරුවට බය වෙලාද කොහෙද' තරිණි හිත සැහැල්ලු කර ගත්තා... 'කෝකටත් අතේ දුරෙන් උන්නම හරි'
පසුවදාත් උදාවුනා.
"තරිණී...ඉක්මන් කරන්න... අන්කල් ආවා.... ඉක්මනට එන්න බබා. අන්කල්ට පරක්කු වෙනවා... "
තරිණි ඉහල මාලයෙ ඉඳන් ආවෙ අකැමැත්තෙන්. ඒත් මොනව කරන්නද.. අන්තිමට ඉන්න ගෙයිනුත් දොට්ට දාවි... ඒත් මෙහෙම බල කරන්නෙ ඇයි ? අසරණ හැඟීමෙන් තරිණි එලියට ආවා...
"මොකෝ තරිණි උදේම මැලවිලා..?"
රණසූරිය අන්කල් ජැන්ඩි පහට ඇඳන් ඉන්න තරුණ පහේ ශර්ට් එක දැක්කම තරිණිට යටි හිතෙන් හිනා යන්නත් ආවා...
නාකි මනමාලයා !
තරිණි හිතුවෙ එහෙම... ශාන්ත එදත් ශාන්තවම බලා උන්නා... "ඉතින් තරිණි... ඊයෙ පරක්කු උනෙ නෑ නේද? "
අන්කල් කතාවට මුල පිරුවා..
"නෑ අන්කල්... අනේ අන්කල් අද ඔෆිස් එක ගාවට එන්න ඕනෙ නෑ... මාව මගින් බස්සන්න... අන්කල් කරදර වෙන්න එපා... "
තරිණි ඒ ටික කිව්වේ, අන්කල්ගේ ලිෆ්ට් එක තමුන්ට කරදරයක් බව නොකියා කියමින්ම.... "අයියෝ ළමයො, ඕක මොකක්ද... මේ ඒක නෙමෙයි.. ශාන්ත නයිට් ඩියුටි ගියාම ඔයාට ඔය ගෙයි අස්සෙ ඉන්න බය නැද්ද ආ? ''
අපි නොදන්න චෙස්... !
තරිණිට ගණදෙවි නුවන ආවා....
"තනියම? පිස්සුද අන්කල්... මම තනියම නෙමෙයි ඉන්නෙ. මගෙ කසින් සිස්ටර් කෙනෙක් එක්ක. ඇයි අන්කල් දැක්කෙ නැද්ද එයා එනවා.. එයා ඉන්නෙ සිලෝන් ශිපින් එකෙ..."
තරිණි උදේම බේගලයක් ඇදබෑවා... "ආ එහෙමද? ඔයා මොකක් හරි ප්‍රශ්නයක් වුනොත් මට කෝල් එකක් දෙන්නකො"
එසේ කියමින්ම ගියරය මාරු කරමින් ඔහු වෙන කතාවකට අවතීර්ණ වුනා..
"තරිණිට කැම්පස් එකෙ කොල්ලෙක් හිටියෙ නැද්ද? ඔයා හරි මල්ටි ටැල්න්ටඩ් කැරැක්ටර් එකක්නේ.. ශා... මට නම් හරි ආඩම්බරයි ඔයා ගැන.. "
"නෑ අන්කල්..."
තරිණි මඳ සිනාවෙන් බිම බලා ගත්තා..."ඒ වුනාට කොල්ලො දාස් ගානක් පස්සෙන් නම් එන්න ඇති නේද? තරිණි මේ පාර ට්‍රැෆික්. මම අතුරුගිරිය පාරට දාල ගියාට කමක් නෑනෙ..."
"කමක් නෑ අන්කල්. ඒත් අන්කල් ඔයා මේ ඕෆ් රූට් මාව ඩ්‍රොප් කරන්න එන්න ඕනෙ නෑ.."
තරිණි දැඩි එහෙත් කාරුණික බැල්මෙන් කියාගෙන ගියා..
"අයියෝ ඕක මොකක්ද ලමයො..."
එසේ කියමින් අන්කල් ඒ වැහැරුනු අත තරිණිගෙ අත උඩින් තිබ්බා,තිබ්බා මෙන්ම අත තමුන්ගේ බාහුව දෙසට ඉහලට ඇදී එන්නටත් වැඩි වෙලාවක් ගත වූයේ නැහැ..
තරිණිගෙ කන් දෙකින් ගිනි පිටවෙන්නට වුනා.. අසරණකමත් , බියත් , කෝපයත් , දුකත් මිශ්‍ර වූ කලබලයකින් තරිණි ඈත් වෙන්නට උත්සහ කලා..
අන්කල්... මේ...
කිසිත් කියා ගත නොහැකිව තරිණි අසරණ කමින් අත ඉවතට ගන්න උත්සහ කළා.
තරිණිට දැනෙන්නට වුනේ නොකිව හැකි කෝපයක්.. ආවේගයක්..
දෑත පුපුරු ගසන අයුරෙන් තරිණිට හිතුනෙ මහ පාර කියල බලන්නෙම නැතුව කණේ පාරක් දෙන්න...
"තරිණි.. ඔයා වගෙ ලස්සන කෙල්ලෙක්... __"
සිය අත ඩැහැගන්නට මාන බලන අත පමණක් නොවෙයි, ශරීරයටම මාන බලන ඇස් දෙකෙනුත් මෑත් වෙමින් , මේ ඇඹලයාගේ වමත විතරක් නෙමෙයි , අනෙක් අතත් සුක්කානමෙන් අතැරිලා යන්න පහරක් දෙන්න ඕනෙ වුනත් ,තරිණිට දෙපාරක් සිතන්නට සිදු වුනා... මිනිහා මට මීට වඩා කරදරයක් කළොත් !!! තරිණි බියෙන් සලිත වුනා.. ශාන්තගේ කෝප සහගත මුහුණ, කුලී ගෙවල්, මේ හැම දෙයක්ම ඈට මැවී පෙනුනා එක මොහොතක් තුලදී.. හදවත නොව දෙවියන් දුන් මොළය පාවිච්චි කළ යුතු අවස්ථාවක් එලඹ ඇති බව ඈට වැටහුනා.තරිණි ආයාසයෙන් කෝපය මැඩ ගත්තා...
"අන්කල්... මේ ඉස්සරහින් මාව බස්සන්න..."
ඔහුගේ මුහුන නොබලා තරිණි තිර හඬින් කිව්වා...'ඇයි තරිණි..ඉන්න මම ඔෆිස් එකට දාන්නම්.. බහින්න එපා ලමයො'
තරිණි ගමන් කරන වාහනේ දොර ඇරියෙ ඕනෙ එකක් වෙන්න කියල හිතාගෙන. මෙතන ආව අතපත ගාන්න ! හහ් !!!
"අන්කල් මාව බස්සන්න! "
එවර තදින් ඒ වචන කියවෙද්දි ඊට මොහොතකට පෙර ඉහල ආව සිතුවිලි වල එතී තිබුන, ගෙවල් සෙවීම , ශාන්තගේ අති දරුණු කෝපය වගෙ සාධක මොහොතකට යටපත් වුනා...
"ඉන්න ඉන්න.. ළමයො..මොකද මේ.. "
තවමත් හුරතල් වෙන්නට හදන මහලු සල්ලාලයාගෙන් මිදී තරිනි ගමන් කරන් වාහනයෙන්ම එලියට අඩිය තැබුවා...
හෙමිහිට නතර වෙන වාහනය මහ මග රිය පෙල මැදදීම, හරි හැටි නවතින්නටත් පළමුවම සිය ෆයිල් මිටියත් බැගයත් තරකොටගෙන , පාර මැදම එලියට බට තරිණි බසයකට අත දිගු කලේත් අසිහියෙන්... ගැහැණියක් මෙතරම් අසරණ වෙනවාද?
නැගෙන කඳුලු සෙමෙන් වාවාගත් ඈ බැංකුවට ගොඩ වූයේ තෝන්තුවාවෙන්...
කියාගන්නට නොහැකි අසරණකමකින් හිත පෙලද්දි ඇගේ ජංගම දුරකථනයෙන් කරකැවුනේ ශාන්තගේ නොම්මරය .ඒත් අංකය යලිත් විසන්ධි කල ඈ තවත් නොම්මරයක් කරකැවුවා..
~``~
'දිල් අක්කා....'
උදේ පාන්දරම තරිණිගෙන් කෝල් එකක්. නෝ ජොබ් කොම්පෑනියෙ නිසා මම එවෙලෙත් ඈඳේ...
" ආ තරිණි නගෝ.. කෝමද.. හෆ්ෆා.. මොකො මේ උදේම කෙල්ලගෙන් කෝල් එකක් මට .. හෑ?? "
"අක්කේ.. "
තරිණිගේ ස්වරයේ අසරණකමින්ම මට කුමක්දෝ දෙයක් වැරදී ඇතැයි සිතුනා..
"ඇයි නගෝ... මොකද ප්‍රශ්නේ... ශාන්තවත්... එක්ක ප්‍රශ්නයක්ද??? ''
මම බොහෝ අපහසුවෙන් වචන කීපයක් ගලපගත්තා...
"අනේ නෑ අක්කේ. අක්ක දන්නවනේ ශාන්තගෙ ප්‍රශ්නයක් නෑ.. කුලි ගෙදරයි අවුල..."
"ඇයි නගෝ..අලුත් ප්ලේස් එකක් නේද ඔය ?.මට කියන්නකො.. අඬන්න එපා.."
තරිණිගෙ කතාව අහගෙන උන්නු මට සුසුමක් හෙලුවේ මේකට විසඳුමක් කියල කියන්න පුලුවන් මොකක්ද කියා ගන්න බැරුව...
අන්තිමේ මම හිතේ වද දුන්නු ප්‍රශ්නෙම ඇහැව්වා..
"නගා දැන් මේක ශාන්තට කියනවද?"
"අනේ අක්කේ... "
තරිණිට ආයෙත් ඇඬෙන්න ලඟයි..
"නෑ ..අක්කේ.. ශාන්තට මේක කිව්වොත් අර මිනිහගෙ අත කපනවා. ශුවර්. අක්ක දන්නවනෙ ශාන්ත මට කොච්චර ආදරේද කියලා.. වෙන මිනිහෙක් ඔහොම කලා කිව්වොත් හෙම මරාවි ඒ මිනිහව. අක්කට මතකනේ කෑම්පස් ප්‍රශ්නෙ?? ශාන්තට මාව විස්වාසයි... ඒත් මේක ලොකු ප්‍රශ්නයක්නෙ අක්කේ. බදු ගිවිසුම් ලියල සති තුනක් ගියෙ නෑ. ආයෙ ගෙවල් ප්‍රශ්න. ගෙවල් හොයන්න ලේසි නෑ.. බඩු අදින්න... දුක් විඳින්න... හපෝ..බලන්නකො අක්කෙ.මේ නාකි සල්ලාල ප්‍රශ්න... ශාන්තට කියන්න බෑ අක්කෙ... ඒත් මේකට මොකක් හරි කරන්නම ඕනෙ... "
මම මොහොතක් කල්පනා කලා.. අනේ දෙවියනේ තාත්තගෙ වයසෙ මිනිස්සු ! ගෑටවර ඉලන්දාරි ඉන්න තාත්තල නේද මේ ???
හ්ම්ම් ඔව් නන්ගි.. ප්‍රශ්නෙ මට තේරෙනවා... ඒත් .. අනේ මන්දා.. පරිස්සමෙන් කරන දෙයක්... බයේ බැහැ
... මේ මිනිහ මොකාට ද එන්නෙ කියල ආයෙ අහන්නත් දෙයක් නෑනෙ... නේද? තනියම නම් කීයටවත් ගෙයි ඉන්න එපා.. ඇතුලෙන් ලොක් තියනවද ගෙයි දොරවල? නැතිනම් හයි කරව ගන්න .. ඉක්මනට ට්‍රාන්ස්පෝට් එකක් හොයා ගන්න... ශාන්තට කියන්න බැංකුවෙ ඈයො විහිලු කලා කියලා ලිෆ්ට් ගන්න බෑ කියලා... සල්ලි ගියත් කමක් නෑ, ත්‍රිවිල් එකක්වත් ටික දවසකට සෙට් කරගන්න. එක්කො ශාන්තව කලින් ලැස්ති කරවගෙන දෙන්නත් එක්කම යන්න.. එතකොට ලිෆ්ට් දුන්නත් අවුලක් නෑ.. තරහ කරගන්න එපා. ඒත් තනියම මුලිච්චි නොවී ඉන්න... ශාන්තට කියන්නෙ කොහොමද නගෝ මේක??
ඔයාලටවත් තේරෙනවද මේකට මීට එහා මොකද කරන්නෙ කියලා... හැබැටම ?????????
~''''~
නම් සහ ගම් මනංකල්පිතයි....
ප.ලි.
මේ මගෙ 200 වෙනි ලියමන.... සංසාරේ අපි නිම්වළල්ල පුළුල් වූයේ ඔබ- අන් කිසිවෙක් නොවෙයි, මේ මනුස්සකම 50000 වතාවකටත් වඩා යමින් එමින් බෙදා ගත් ඔබ නිසා.... මා අදටත් මේ බ්ලොග් අඩවිය කිනම් වර්ගයේ එකක්දෑයි දන්නේ නෑ. එහි කවි නොමඳව ලියවුනා. ඉස්කෝල ජීවිතේ කතා ලියවුනා.... පොත් විත්ති, ගී විත්ති , චිත්‍රපට ගැන ලියවුනා.. සමන්මලී අක්කගේ විත්ති ලියවුනා... රස්තියාදු ගමන් ගැන ලියවුනා.. ඉතින් මේ ලියමන හොද්දක් වගේ තමයි.... ඒත් මේ හැම තැනකම මට තවරන්න උවමනා වූයේ එක දෙයයි.... මිනිසුන් අතින් ගිලිහුනා සේ පෙනෙන , ඒත් ගිලිහී නොයන මනුස්සකමයි.... අර මට කවි ලියන්න බෑ කියුව මිත්‍රයටත් මට කියන්න තියෙන්නේ 'ටෙස්ටින්ග් 200 ! ටෙස්ටින්ග් 200!' කියලාම තමයි. :-)
වසර එකහමාරක් (2010 ජනවාරි සිට 2011 අගෝස්තුව තෙක්) මේ මිනිස්කම බෙදාහදා ගනිමින් 50000 වතාවකට වඩා ආගිය , 300 කට ආසන්න මිතුරුදම් තහවුරු කළ, ලිපි දෙසියයකට වඩා කියවා අදහස් බෙදාගත් , ඔබට ස්තූතියි.... 200 වන දිගෑරුම සමග මගේ අන්තිම කැමැත්ත ලියූ විජට්ටුවකුත් දකුණු පැත්තෙ එල්ලන්න අමතක කළෙ නෑ..