Sunday, August 29, 2010

[106] බොරුකාරිද ? කවිකාරිද ?

-->














-->



















එක කතාවක් කියද්දි
තව ඈස් දෙකක් මානන

බොරුකාරියක් වී                                                                           

කවිකාරියක් නොවුනා නම් මම..!
එක හිනාවක් පිරෙද්දී
රෑවුම් දාහක් යට ගසන

ගණන්කාරියක් වී
කවිකාරියක් නොවුනා නම් මම...!

සහන් එලියක් දකිද්දී
නොදුටුවා සේ පෙන්වා
ඒ දෙසට හිනහ වෙන
කවිකාරියක් උනා නම් මම...!

කවි පදක් තරමට
සොඳුරු වනු වෙනුවටම
අඬහැරයක් වී ලොවට
සිරකාරියක් නොවුනා නම් මම..!

නැහැ නෙවද මේ දුකක්
ඇති නෙවද සැනසුමක්
ඇත්ත කී මෝඩ කවිකාරී නොවී
බොරුකාරියක් උනා නම් මම.. !

.ලි.
මගේ හිතට කලකට පෙර ආව මේ සිතුවිල්ල මමත් පිලිගන්නෙ නෑ.බොරුකාරිට වඩා මෝඩ , ඇත්ත කියන කවිකාරී හොඳයි...  :)

Saturday, August 28, 2010

[105] මගේ කවිය....

සුරුබුහුටි අතැඟිලි
සුරුවම් ලෙසින් දඟ කර
ගොතන විට
එක කව් පේලියක් ..
මේ පන්හිඳ දරාගෙන
වෙවුලන හැටි
ඒ සුසුදු අත
බලන් ලං වී..
මා සබඳ....

ලයෙහි ඉපිදෙන
සිතුවිලි කලලය
සිතුම් දිය දී
පොහොණි කල නුඹ..
හැඬුම් විලි ලා බිහිවෙන
අරුම ජීවය පසුපස
මා ලත්
විලි රුදා නොපෙනෙද?
මා සබඳ ?

නිදි බි‍ඳෙන අලුයම
අලුත් අවු ‍රැල්ලක්
ඉඳුල් කල ඇස් දෙක
හිනා වෙන විට..
ඒ ඒක් ඇසෙක
හිරු ලපයක්
රිදුම් දෙනයුරු
බලන් ලං වී
මා සබඳ....

මුවට ලංවී මා අස
දෙ ඇස් දෙතොලත්
නරඹන සඳ
මගේ කවිකාරී
කී නුඹ
නොදු‍ටු වෙද
මා සබඳ...

ඇඬුම් මුවින්
ලියු කවියම
යලි යලිත් කියවන
ගැහැණිය ?

Thursday, August 26, 2010

[104] නොපිපි මල...

අවාරේ වට වැස්සට
දියබත් වනු දැන දැන
නිරුවත් බිමෙක හිස බා
නිදා මෙන් උන් ..නොපිපි මල..

 උහුලනු නොහැකි සැඩ ඉරට
වරක් ඇස් දුන් වරදට
කඳුලු වියලෙන ඇසක
ලකුණු ඇත හිරු ලපයක..

මසැසෙන් ගිලිහි බැල්මක
මනැසින් තැවරු වෛවර්ණ
සියැසින් නම් නො එන තතු
රහසින් කියන අවසන...

සුලං කෝඩෙක පැටලුන
පැටලි පැටලී ඇමිණුන
ඇමිණි ඇමිණී ඉහිරුන
කවියක්ය..නොපිපි මල...


Wednesday, August 25, 2010

[103] ගැඹුරම සොයමි...

 

රල බි‍ඳෙන
සැර පරුෂ
දුහුවිල්ලෙන් වැසුන
වෙරල ලඟ..

හැදෙන්නේ විමනකි
එ'විමනෙහි
එක් දොර‍ටුවකි...
අන් කවුලු වසා ඇති
අන් දොර‍ටු
දොරගුලු ලා ඇති...

එහි වයස
නොදනිමි....
එහි දිග පලල
නොසොයමි...
එනමුත්
එහි ගැඹුරම
සොයමි...
තවම
එහි
සොඳුරු බව මිස
අඳුරකුදු
නොදකිමි.....

මේ මා වෙරළේ හැදූ තුන්වෙනි මාලිගාවයි.. මෙවර මා එය හැදුවේ වෙනදා මෙන් දිග පළල ජ්‍යාමිතිය පෙර මිනුම් දඬු වලින් සටහන් කොට, කපා කොටා තනමින් මනිමින් නොවෙයි... එය ඔහේ නිදැල්ලේ වැඩෙන පැලෑටියක් මෙන් විය. මගේ සිතුවිලි වෙරල තීරයේ පියාඹන අතර , අතැඟිලි තුලින් එය උත්පාදනය විය. පෙර දාක හැදූ සොඳුරු වැලි මාලිගාව අද තිබූ තැනවත් මට සොයනු නොහැකි විය. කිසිදු හැඩතලයක් නැති කලලයක් තුලින් ජීවියෙකු බිහි වන්නා සේ , මේ මාලිගයට කාලය විසින් හැඩයක්,ආයු කාලයක් සහ පැහැයක් දෙනු ඇත...

Wednesday, August 18, 2010

[102] පිණි....


අරුමැසි සිතුවිල්ලක
සොඳුරු බව අස
නොහැඟේ මේ හස
පිණි බිදක්ද හිරු ඈස?
.
.
.
.
.
.
.
එනමුදු
සිහිනයක අග
නොකිව් කවියක මැද
එහෙ මෙහෙ වුනු අකුරු
ගලපමි මම...
.
.
.
.
.
.
.
අඳුර ලඟ ඇති එලි වැට
ඉන් ඔබ්බෙහි වැටෙන හෙවනැලි
නොදකින්නට ඇස් පියන
ගැඹුරුම ගැඹුරු මොහොතක
.
.
.
.
.
.
.
දසන් නොපෙනෙන දුර
සහන් එලියක යට
උන්මාදයක ඈති
සොඳුරු බව පසිඳිමි මම...

Tuesday, August 17, 2010

[101] මැරෙන්න එපා!


මියෙන්නට
මොහොතකට පෙර..
මියෙන්නට නොරිසි
සිත

මියෙම්දෑයි
නොමියෙම් දෑයි
අසන විට.

එක් කොනෙක
රැව් නගයි
නිහඬතාවය..

අනෙක් පස
දොඩමලු හිත
කියයි

'නොමියෙන්!'
බලන් ඈස් ඈර
සොඳුරු ලොව
අරුම!

පිලිතුරක් නෑති
පේලි පෙලක
කුහුඹුවෙකු
නිදයි

උඩු සුලඟ
සොයයි
යන අත !

පසුවදන:
ජීවිතය බොහෝ ඔච්චම් කල මුත් , නොහඬා උන් මට... මැරෙන්නට හිතෙන්නේ ගීතයක් තරමට .. සොඳුරු දේ කාලය පෙන්වන විට !
අමනාප මම 'කාලය' නුඹ සමග නොවේ.. නුඹ ට ලස්සන පෙන්නන්නට .. කාල වේලාවක් නෑති කල ... මා සමගයි..අද.... :)
මේ ලස්සන අදහස දුන් සොඳුරු සිතට ස්තූතියි...

Sunday, August 15, 2010

[100] අනේ මට සමනලයෙක් අල්ලල දෙන්න...!


අනේ මට සමනලයෙක් අල්ලල දෙන්න...
එපා.. දුරින් ඉඳන් බලන්න... අර බලන්න.. එයාල පියඹන හැටි

අනේ අර අත්තටු... අර ලස්සන පාට...
ලමයො ඔය පාට ලඟට ගියහම තියේද? නෑනෙ... පාට කියන්නෙ ලඟට ගියොත් තිත් ගොඩක් නෙ...


  නෑ නෑ..පාට කියන දේ සුන්දරත්වය ලං උනත් ඈතින් උන්නත් තියනව...මට බලන්න ඕනෙ එයාල හුස්ම ගන්න හැටි...ඇසි පිය අරින වහන හැටි... චූටි මුව පොඩිය අරින වහන හැටි... කතා කරන්න වගෙ බලන් ඉන්න හැටි අපි දිහා...
ඊට පස්සෙ... ඊට පස්සෙ...ඊට පස්සෙ ඔයාට සැනසෙන්න හැකිද?


ඔව්... එතනින් එහාට මම මොකුත් හොයන්නෙ නෑ... මම එතකොට සමනලයගෙ හෑම දේම දන්නවනෙ... මම එයා ගෑන දැනුමෙන් පිරිපුන්.... මට දැන ගන්න දෙයක් ඉතුරු වෙලා නෑනෙ...
ඔයාට ඒක සැනසීමක්ද? හ්ම්ම් කමක් නෑ... ඉන්න මම එකෙක් අල්ලල දෙන්නම්....



අනේ..ඔන්න එනව... ඔන්න ආව.. අනෙ හෙමීට.. තැලෙන්නෙ නැති වෙන්න... පරිස්සමට... මම රිද්දන්නෙ නෑ... පරිස්සමෙන් බලල යන්න දෙනව....
අහා..... මෙන්න... ලස්සනම එකෙක්.... ! මෙන්න ..පරිස්සමට ගන්න.... බලාගෙන ....



අනේ... බලන්නකො ලස්සන.. පියාපත්... පාට.. බලන්න ලස්සන....
හ්ම්ම්.. ඔව් ඔව්... තව ලඟට බලන්නකො... තව තව ...






මේ ඇස් බලන්නකො... අපොයි..බූල් බූල්... හිරිකිත වගෙ... බූල් පේනකොට... ඈස් බෑලුවම බය හිතෙනව අනේ... ඈතට ගන්න ටිකක්... අම්මෝ...
මේ බලන්න... මේ තියෙන්නෙ එයාගෙ අර මල් පැණි බොන ඈන්ටෙනා දෙක...මේ වක් වෙලා තියෙන්නෙ....මේ කකුල්... මේ බලන්නකො

හ්ම්ම්... ඔව් නේ... මේ කට නේද ?
ඔව් ඔව්.... මේ එයාගෙ බඩ ගෙඩිය... තටු බලන්න.... පිටි ගෑවිල වගෙ නේ.... 

 
හ්ම්ම්... ඔව්.... ඒ වගෙ....
ඈයි... ? ඈතිද බෑලුව... ? තව බලන්න... දැන ගන්න දෙයක් ආයෙ ඉතුරු නොකර.. ආයෙ නම් පඳුරු වටේ පන්න පන්න සමනල්ලු අල්ලන්න මට බෑ... ඔන්න ඔක්කොම බලා ගන්න...


හ්ම්ම්... මම බැලුව... ඒත් දැන් ඈති වගේ... එයාට යන්න දෙන්න...
හ්ම්ම්... හා එහෙනම්... ඔන්න... යන්න දෙනව... 








හ්ම්ම්
දැන් සතුටුද? ඔන්න ඔයාගෙ ආසාව හරි ! 

හ්ම්ම්... නෑ... සතුටට වඩා දුකයි...
දුකයි... ? ඇයි ඒ? ඔයාගෙ ආසාවනෙ ඒ...?


ඈත තියන දුටු තරම විශ්මයක් නෑ.. ඒව රහසක් හැටියටම තිබ්බ නම්... මට හැමදාම ඒ ගැන හීන මවන්න තිබ්බ... ලස්සන විඳින්න තිබ්බ.. දැන් මට එයාල ඈතින් පෙනුනත් මතක් වෙනව අර ඈස්, කට , නහය, බඩ , පිහාටු... ඔක්කොම.. මට ඒක අරුමයක් නෙමෙයි තවදුරටත්... ෆැන්ටසිය ඉවරයි..
හ්ම්ම්... දැන් තෙරුනාද?


ඔව්... අපි යමු... ඈතින් ඉඳගෙන අර රහස් පිරිච්ච ක්ෂිතිජය දිහා එබිල බලමු... යමු
හා... ඔන්න ඒක නම් මට ලඟට ගෙනත් පෙන්නන්න බෑ...


එපා... ඕනෙ නෑ...
හ්ම්ම්... ආදරෙත් මේ වගෙ කෙල්ලෙ... කපන්න කොටන්න ඈනලයිස් කරන්න ගියොත්.. අන්තිමෙට .... පේනවනෙ... නේද?


ඔව්...

Thursday, August 12, 2010

[99] අපේ ඇඟේ තියන් කපන , අපේ මාලු රසටම තලු මැරීම!

ඇඟේ තියන් කපන මාලු රසට තලු මැරීම!
අපි මෙහෙම කරනවද? අපෝ මොකෝ නැත්තෙ .. මේ කරන්නෙ ...මෙන්න...දැන් ටිකකට කලිං හක හක ගා හිනා උනා නේද ? ඔව්නෙ,,, මාත් හිනා උනා...

කාටද? කාටද ඉතින්..? මේ ඉන්න පකිස්තානි, ජපන්, ඉන්දියානු, මුස්ලිම්, මෙක්සිකන්,චීන ගොයියන් (සහ ගෙවිලියන්) කියන නොදන්න ඉන්ගිරිසි වලට අප්ප... හිනා කාල මැරෙනව... පණ එපා කියල බිම පෙරලි පෙරලි හිනා වෙත හැකි... සුට්ටක් බලන්නකො මේක...


දැන් ඉතින් කාටද මේ හිනහ වෙන්නෙ ? අපිට බොල.. අපි අපිට.... ඉන්ගිරිසිය කට ගාගෙන නූපන්න වැ‍රැද්දට... එහෙ මෙහෙ වෙන ඉන්ගිරිසි එක අකුරට තෙරුම් පිට පනින හැටි බලං අපි පොලොවෙ පස් කන්නෙ... දැන් මේ හිනා වෙන අපි අපි? අපි ඉතින් ඉන්ගිරිසි හැන්දෙ පටං ඉන්ගිරිසි ටොයිලට් පේපරේ තෙක් ඔක්කොම දේ ඉන්ගිරිසියෙන් සහසුද්දෙන් කරන උදවියනෙ... මේ වගෙ වැරදි වෙනවද අපිට? පිස්සුද?... අම්මප වැරදෙනවනම් කතා නොකර ඉන්නවනෙ.. නැද්ද? බැරි ඉන්ගිරිසියට නොයා .... මොකෝ සිංහල රටේ සිංහල ටිකෙන් ජීවත් ජීවත් වෙන්න බැරුවැයි... මේ සිංහල අපගෙ රටයි... !!!! අප හෙල බසට දෙසට හිතැති පෙරදිග දරුවන් (මේවට සුට්ටක් හිනා උනාට) 

ආ ඊලඟ එක... ස්ලම් ඩෝග් මිලියනයර් ගැන අහල තියනවද ? මොකෝ අපි නොදන්නෙ... අපි රට තොට ගැන නොදන්න මෝඩයොද? ලෝකයම විස්ව ගම්මානයක් ජීවිතෙ මල්... අපි අද ලෝකෙ එහා කොනේ වෙන දේ එක මොහොතෙන් දන්නව... මේ අර හොඳම චිත්‍රපටියට සම්මාන පිට කප් ගහපු සම්භාව්‍ය සිනමා නිර්මාණයනෙ.... කී පාරක් බැලුවද? අම්මප ඔන්න දැවැන්ත සිනමා නිර්මාණ..! පිස්සු හැදිල ආයෙත් හැදෙනව...

අර දර්ශන ටික මතකද .. අර වීදි කොලුව අසූචි පිරුනු වලකින් නැගගෙන නලුවෙක් හොයන් අසූචිත් එක්ක දුවගෙන එන හැටි... වීදි යාචකයන් පුහුණු කරවා සල්ලි හම්බ කරගන්න චණ්ඩියා අර කොලුවට ගීතයක් පුහුණු කරවා ඇස් අන්ධ කරවන හැටි... අහිංසක දැරිවියන් ගණිකා වෘත්තියේ යොදවමින්, ඔවුන්ට මත් ද්‍රව්‍ය ශරීරගත කරවමින් විකෘති ලිංගික දර්ශන පටිගත කරව ගන්න හැටි...

ආසියාවෙ යථාර්ථයනෙ මේ...? ඉතින් මොකද ජීවිතේ මල්... ? මේකනෙ ආසියාවෙ ඇත්ත තත්වෙ... බලන්න කොච්චර නිර්මාණාත්මක විදියට, මේ දක්ශ අධ්‍යකෂවරයා බටහිරෙන් මෙච්චර දුරු කතර ගෙවාගෙන ඇවිත් අපූරු කෘතියකින් ආසියාව මුලු විශ්ව ගම්මානයටම එලි දක්වන අපූරුව ! කාටද ආඩ්මබර? අපේ ආසියාව නේද මේ? අසූචි පිරුන, කුඩු කාරයො පිරිච්ච, ගණිකාවන් ඉන්න , නිල් චිත්‍රපටි හදන ආසියානු චිත්‍රෙ අඳින අති දක්ශ අධයක්ෂ වරයාට සම්මාන එකක් නෙමෙයි දාහක් දුන්නත් මදිද ?? (සම්මාන දුන්නෙ බටහිර ඈයින් කියල ඉතින් අපි මොකට අහිතක් හිතනවද ? ... සමබර සමබල විනිශ්චයක්නෙ..මොකෝ අපේ තරු තරඟ වගේයැ... ඔක්කොම සම්මාන එසේ මෙසේ ඒව නෙමෙයි... ලොකු ලොකු ඉන්ගිරිසි අකුරු ගහපුව..ලේසි නෑ... )


බටහිර රටවල ගණිකාවො ඉන්නව්යැ... prostitutesල මිසක්. එයාලත් අපේ වගෙ නෙමෙයි.. ෆුල් පොශ් කට්ටියනෙ.. එයාලගෙ රාජ්ජ වල මෙහෙම මුඩුක්කු තියේයැ.. අසූචි වලවල් තියේයැ... එහෙ ඉති චන්ඩියත් හෙන හැන්ඩි තාලෙට කඩ්ඩෙන් කොටා බබා නේ වෙඩිල්ලක් උනත් තියන්නෙ... නැද්ද හොඳයි....

ඉන්ගිරිසිය ජමීලට වරදිද්දි, අලිට නොපිටට කියවෙද්දි ඉන්ගිරිසි මහත්තැන් ජෙරමි බ්‍රවුන් ගුරුතුමා (සමාවෙන්න teacher) තරහ ගත්තෙ නෑ.. ඒකත් කොච්චර හොඳද..මොකෝ එයාලගෙ බාසාවනෙ මේ පන්තියෙ ආසියාතික ලමයි ටික මරන්නෙ..... ඉතින් ඒවට අර පසුබිමෙන් හක හක ගාන ඇයින් උනත් අහිංසකයි..මොකෝ මට සීයට දෙසීයක් විස්වාසයි , ඔය පසුබිම් හිනහව උනත් පටිගත කර ගන්න ඇත්තෙ ඔය දර්ශනෙ ආසියාතික රටක රූගත කරල...  

ස්ලම් ඩෝග් මිලියනයර් සම්මාන පිට සම්මාන ගහද්දි යන්තම් අත්පොඩි තලල ඒකත් නීට් එකට බටහිර අමුත්තො ටික (හීන් හිනහවක් තොල් විකාගෙන) කරද්දි, මට සීයට දෙසීයක් විස්වාසයි, චීන්නු, ජපන්නු, ඉන්දියානුවො, ඉස්ලාම් ඈයො, සහ සිරි ලාංකික හෙලයො ඔක්කොම පස්සවල් අසුනෙන් උඩට ගෙන අත් ඔසවා හූ කියමින්, විසිල් ගසමින්, හුරේ දමමින් කොක් සන් දෙමින් උඩ පැන පැන උද්දාමයෙන් අත් සන් නගන්න ඇති... 

අර තියෙන්නෙ අපේ අසූචි වල, අර තියෙන්නෙ අපේ මුඩුක්කුව, අර තියෙන්නෙ අපෙ රටේ ගනිකාවො වීදි දරුවො පුහුණු කරන තිප්පල... ශා... රටටම ආඩම්බරයක්....... කවදා නැත්නම් අපි ජාත්‍යන්තරයෙ සිනමා තිරයක ඉන්න හිතපු එකක්ද? අර ඉන්නෙ අපෙ අමිතාබ් බච්චන්...

පොඩ්ඩක් ඇස් ඇරල බලපල්ල... අපි ජෙරමි බ්‍රවුන්ගෙ ඉන්ගිරිසි පන්තියෙ වචන වරදින ,ග්‍රැමර් වරදින ජමීලලාට, අලීලාට, ඉස්ලාම් තොප්පියට, තලප්පාවට, චීන්නුන් ජපන්නුන් කඳ නමල මේසෙ ඔලුව හප්ප ගන්නකොට කොක් සන් දිදී හිනා වෙනව... ජෙරමි බ්‍රවුන්ගෙ අම්මල,තාත්තල, අයියල අක්කල සනුහරේම පස්ස හරවන් අපිට හිනා වෙනව ඇති... 

ස්ලම් ඩෝග් මිලියනයර් සම්මාන ගනිද්දි අපි හුරේ දාන්නෙ චිකාගෝවෙ වෙඩි තියා ගන්න හම සුදු ෆොරින් නලු බට්ටන්ට නෙමෙයි... උන්ට තරම් සල්ලි නැති නිසා ඩොලර් සීයට දෙසීයට රඟපාපු දුප්පත් ඉන්දියානු වීදි දරුවන්ට...

100 වන දිග හැරුම ... ලේ සුවඳ , දුප්පත්කම, මනුස්සකම පිරිච්ච පෙරදිග වටින කියන දේට ආදරේ කරන්න ඔබෙන් කරන  ඉල්ලීමක්....  ජීවිතෙ මල් පවා මයින්ඩ් යෝ ලැන්ග්වේජ් බලල බිම පෙරලු පෙරලි හිනා උනා... ස්ලම් ඩෝග් මිලියනයර් බාගයක් බලමින් එය වර්ජනය කලේ මේ ඉව වැ‍ටුන නිසා (පසුව කුතුහලය නිසා ආයෙ සම්පූර්නයෙන්ම බැලුව) සිනමාපටයක් වශයෙන් එහි ඇති සාර්ථක බව , කතාව ගොඩ නැගීමේ ඇති නිපුනත්වය විවාදයක් නෑ.. විශිෂ්ටයි.. ඒත්.. ඒත්... අපි අත්පොඩි ගහන්නෙ පෙරදිග අව්‍යාජ මනුස්සකම මිහිදන් කරන්න කපන මිනී වල වටේ ඉඳගෙන කියන එක එක මොහොතක් හෝ සිතනවා නම්.......

සිය වෙනි දිග හැරුමතෙක් ‍රැඳී උන් ඔබ හැමට ස්තූතියි....

Tuesday, August 10, 2010

[98] එදා සෙනෙහෙන් නොබැඳුනානම්....???


~'~
අතීතය සිහිනයක් පමණයි
හැබෑ සුවඳක් නෑ
එදා සෙනෙහෙන් නොබැඳුනානම්
මෙදා වියොවක් නෑ

තැනූ මන්දිර බිඳී වැ‍ටුනත්
නෙතේ කඳුලක් නෑ
සිනහවෙන්නට වරම් නොලදත්
හිතේ කිලුටක් නෑ

සොබා දහමට නොවන අවනත
ලොවේ කිසිවක් නෑ
ලොවේ පැරදුම මිසක කිසිදා
ලැබූ දිනුමක් නෑ...
~'~
බුදුදහමේ කියවෙන දෙයකැයි , වෙනත් ආගමක නැතැයි කිව නොහැකි, ලෝකයටම පොදු දහම, ලෝකයේ සොබාදහමේ කතාන්තරය නොවේද මේ... හිරු පායන සඳු බබලන අහස් වියන යට පවතින සදා සනාතනික දහම නොවේද මේ? 

අතීතයේ එල්ලී ජීවත් වන මා ඇතුලු මා වටා සිටින නොයෙකුත් මිතුරු මිතුරියන් පිරිවරටම සෙනෙහසින් හිස් මුදුන අතගා මේ ගීය එබ්බවිය යුතු යයි මට සිතුනේ යම් කාරනාවක් නිසා. අප  අතීතයේ එල්ලී සිටි ඒ අතීතය වර්තමානය තීරණය කොට තිබෙන බවත් , ඒ වර්තමානය අනාගතය තීරණය කරන බවත් හුදෙක් අප අප විසින්ම තීරනය කොට සිටින නිසා නොවේද ? එය සිහිනයක්.. ඒ සිහිනය අප නිදා නැගිටින්නා මෙන් අද වියැකී ගොස් ඇති බව අපේ හිත පිලිගන්නවා නම්, අප මේ වර්තමානයේ මීට වඩා අරුත්බර අයුරින් ජීවත් වෙනවා නොවේද..?  

අප සෙනෙහෙන් බැ‍ඳෙමු. ඒ ආස්වාදය හදවත තුලා දෝතින් දරා සිනහ නගමු. ඒත් ඒ සිනහව පසුපස තිබෙන දුක අපට මොහොතකට හෝ පසක් කල හැකිනම්... සෙනෙහෙන් බැඳී සිටිද්දීම? එසේ නම් මේ 'තැවීම' , 'විරහව' තිබිය හැකිද අද? ලෝක ස්වභාවය තේරුම් නොගෙන ලෝකයේ සොබාදහමේ කතාන්තරයට අපි එරෙහි වන්නට යත්න දරමු. මේ වෙනස් අන සිත බොහෝ සිහින මන්දිර තනයි. ඒ මන්දිර තුල , හීනයක ජීවත් වෙයි. ඒ හීනය තාවකාලික බව අප පසක් නොකරන තාක් හීනය හීනයක්ම බව සිතට වද දෙයි.. එහි සතුටක් කොහිද? 

අප දිනා ගන්න දෑ පිලිබඳව මොහොතකට සිතා බලන්න. මුදල්... ? පොහොසත්කම? ඒ දිනුම පි‍ටුපස එන්නේ මොනවාද? අසහනය, බිය.. සැකය... අනාගත ආශාවන්.... තෘෂ්ණාව... එසේ නොවේද? එහි ලද දිනුම කුමක්ද? මම ඔබෙන් අසමි.....  අප ආදරයෙන් දිනුම් කනුවක් පසුකලා යැයි සිතන්න... ලබන්නේ කුමක්ද? බැඳීම් ..  බලාපොරොත්තු... අනාගත සැලසුම්...  අසහනය... තාවකාලික ආස්වාදය.... බය... සැකය...  එසේ නොවේද ? ලද දිනුම කුමක්දැයි මම අසමි...  ඔබ බලවත් වී යැයි සිතන්න.. ජනප්‍රිය වී යයි සිතන්න.. තරුවක් වී යැයි සිතන්න... දිනා ගත්තේ කුමක්ද? ඒ දුනිම පසුපස එන්නේ මොනවාද? 

ඉදින් කියන්න.. පරාජය මිස අපට ඇත්තේ මොනවාද? පරාජිතව ජීවිතයට මුහුණ දෙන්නැයි මම නොකියමි... අප කල යුත්තේමේ නොතිර බව නිරතුරු සිහි රඳවාගෙන ජීවත් වීම නොවේද? එලැඹි සිහියෙන් ජීවිතයට මුහුන දීම නොවේද? මේ නොතිර බව නිරතු‍ටු සිහි ගැන්වීමෙන්, අපට අතීතයට යන්න දිය හැකිය  .. ඒ අතීතය සිතින් හලමින් වර්තමානයේ ජීවත් විය හැකිය... වර්තමානයට පවා එල්බගෙන නොසිට ඒ ඒ අවස්ථාවන්හිදී එලැඹි සිහියෙන් ජීවිතයට මුහුණ දිය හැකිය....

මේ ගීය මා අනිත්‍යය නම් සංකල්පය සරලතම බසින්  ලියැවී තිබෙනු දු‍ටු විශිෂ්ටතම නිර්මානයක්... ඔබ බුදු දහමෙන් අනිත්‍යය මෙනෙහි නොකලත්, මේ ගීය නිරතුරු මුමුණන්න... එයින් ජීවිතය පසක් කරන්නට පන්නරයක් ඔබ ලබනු නො අනුමානයි..




ප.ලි.
2010 ජනවාරි මස 18 වෙනි දිනෙන් අරඹා අද - 2010 අගෝස්තු මස 10 වෙනි දින වෙන විට (මාස 8 කට ආසන්න කාලයක්) මා විසින් ලියන ලද කවි , කතා, ගී පිලිබඳ කතා  99 කින් මගේ මේ සංසාරේ අපි මනුස්සකම බෙදා හදා ගන්නා අවකාශය පිරී සිටී.... 100 වන ලිපිය මග බලා හිඳී.. සිය වැන්නෙන් මේ කිසිවක් සිහිපත් නොකොට ලියන්නට සිතීමි... මෙතෙක් මා අසලම ‍රැඳී සිටි 104ක් වූ ආදරනීය මනුස්සකම හඳුනන්නන් සහ නිරතුරු මා ලියන දේට ඇස් දෙමින්, 10860 වාරයක් 'සංසාරේ අපි' වෙත එබී බලමින් උන් ඔබ හැමට 'ස්තූතියි'... මා රහසක් කියමි... මීට මාස 8කට පෙර කිසිවෙකුට ඔබ ජීවිතය දී තිබේ. කිසිවෙකු අද ඔබ නිසා ජීවත් වෙයි... බලාපොරොත්තුව .... ඔබ විය... 'ස්තූතියි'...!


Sunday, August 08, 2010

[97] අන් සතු හදකට පෙම් කල වරදට, ලොව මට එරෙහි වෙලා...


~'~
හිමි නැති පෙමකට ඉකි බිඳ හැඬුමට
සිත මගෙ බොලඳ වෙලා
අන් සතු හදකට පෙම් කල වරදට
ලොව මට එරෙහි වෙලා...

කියා ගන්න මට දහසක් දේ ඇත
මතු දවසක ඔබ හා තනි වී
හමු වන්නට බෑ උකුසු වෙසින් ඇත
ඇස් දහසක් අපවෙත යොමු වී...

කිරිල්ලියක ලෙස ඉගිලී එන්නට
සිතේ අත්ත‍ටු නැතිද මැවී
වරම් නොවේ මට ඔබ හමු වන්නට
ඈතින් හිඳ හිනැහෙනු මැනවී...
~'~



අපිට ලැබෙන්නෙ අපි හිතන පතන දේම නම් අපි කොතරම් වාසනාවන්තද? ඒත් ඒක එහෙම නොවෙන බව අපිට කියල දෙන්නෙ ජීවිතය... අපි පහු වෙනව... බලා ඉන්නව... පරක්කු වෙනව... දුක් වෙනව.... හිනහ වෙනව.. ආයෙත් අඬනව.... ඒත්කවම කවදාවත් වෙනස් කරනන් බැරි ඇත්ත ... අපිට අපි හිමි නැති බව..! 

මුලු ලෝකයම කියාවි මම මහ පවු කාරියක් කියල... ලෝකයටම පෙනෙන්නෙ මේක 'අසම්මත'දෙයක් හැටියට... මම කවදාවත් ඔබ වෙන කෙනෙකුට හිමිය කියන ඇත්තට එරෙහි උනේ නෑ... ඒත් මේ ආදරය , මගෙ හදවත ඇතුලෙ ඇති වෙන සිතුවිල්ලට වැට බඳින්න පුලුවනිද... එහෙනම් මම පවු කාරියක් තමයි...ඔව්..

ඇස් දිහා බලං ඉන්නවත් මේ රුදුරු ලෝකය අපිට ඉඩ දෙන්නෙ නෑ. ඒ ඇස් අපි දිහාවෙ ‍රැඳිලමයි තිබෙන්නෙ. ඒ නිසා මේ හිතේ උපදින දහසක් සිතිවිලි හිතේම මියැදුනාවෙ... මම ඉවසන් ඉන්නම් සදහටම.. සමහර විට මියෙන තුරුම... 

මට අත්ත‍ටු ලැබුනත්, ඔබට අත්ත‍ටු ලැබුනත්, අපිට හැකි වේවිද මේ විසල් නිල් අහසෙ හැගෙන්න තැනක් හොයා ගන්න.? බැහැ නේද? ඒ නිසාවෙන් අපි හැම දාම මේ වගේ ඈතින් ඉඳ අඩුම ගානෙ හිනහ වත් වෙමු.. එයින් සැනසෙන්න මිස එටින් එහා දෙයක් අපිට හිමිද? නැහැ නේද ? 

ගීතය අහන්න... 

Friday, August 06, 2010

[96] තරුවැල් ගොතා - සඳ කැන් මතින් - සතපන්න පුතු හැකිනම් .....


~'~
සුපුන් සිහිනේ නිදන් පුතුනේ, 
දෙව් විමන් අතරේ...
පුතුගේ දෙනෙතේ  කැලුම් ඉතිරේ, 
පැතුම් මල් සුපිපේ...
සේද වන් කිරිසිනා පුතු මුවේ ඈ‍ඳෙනා, 
සුන් කරයි මා වේදනා...

රන් විමන් දු‍ටුවේද මන්දිර පුතුනි ඔබ සිහිනේ?
නන් සැපෙන් පිරවීද නිදි දුව ඒ සිහින විමනේ?


මපුතු සිහිනේ අඳින දෙවිඳේ,  
මුලා නොකරන් මා පුතුන්...
නොමැත සුව නිදියහන් පුතු හට, 
නොම මවනු මැන ඒ දසුන්...
තරුවල් ගොතා සඳ කැන් මතින්, 
සතපන්න පුතු හැකිනම්...

දෙව් ලඳුන් පිරිවර අරන් වැඩියේද මවු සිහිනේ..?
මා පුතුන් දෝතින් අරන් නැලවීද ඈ ගීයෙන්..?


ඇගේ දෙ අතේ නිදන් පුතුනේ, 
නොම සොයනු අවදිව මවුන්...
සුව නොමැත මා පහස ඇගෙ මෙන්, 
රලු උනේ උරතල බරින්...
මාලොව පහන් කල රන් පුතුන් ඔබ, 
රකිමි දිවි හිමියෙන්......
~'~




මගේ කිරිකැටියෝ.... ඔය ලස්සනට නිදියන ඇස් දිහා බලන් මා දැන් කොපමන වෙලාද? විටෙක් හීනියට හිනා වෙන, විටෙක මූණ ඇඹුල් කරන ඔය මූනේ ලස්සන මට කොච්චර බලං හිටියත් ඇති වේවිද? ඔය ඇස් වලින් මට පේනව පැටියෝ ඔයා දකින ලස්සන හීන ... ඒත්.. ඒත්... දෙවියන් වහන්ස , මගේ රන් කැටියාගේ හීන අස්සේ මවන්න නම් එපා රන් මන්දිර, සුව යහන්... පින් සිදු වේවි.. මගේ අහිංසකයට ඒ හීනෙ ඉස්ට කරන්න බැරිව හූල්ලන ඇඬුම්බර තාත්තෙක් මම...දෙවියන් වහන්ස, අර ඈත පේන තරු එක් කර හඳ කැන් පෙරී එන රන් තොටිල්ලක නලවන්න මේ අහිංසක කුරුලු පැටියව...


රන් කැටියෝ.. මගෙ අත් රළුයි... මේ සරීරය ගොරහැඩියි...හිත බෝම දැඩියි තමයි.. බැරි අමාරුවෙන් තනි අතින් ඇදගෙන යන මේ ජීවිතේ නිසා, මේ ගෙවන දුකටම මගේ උරපතු ගෙවිල මගේ කුරුලු පැටියෝ... මගේ උණුහුම ඔය ඈත දෙව්විමනේ ඉඳන් උඹව තුරුල කරං ඉන්න දේව දූතිගෙ තරම් සිනිඳු නැති බව ඇත්ත...උණුහුම් නැති බව ඇත්ත..  ඉතින් මගේ රං කැටියෝ... අවදි නොවෙන් දැන්මම... ඒ උණුහුමේ තව නිදියන්න... තරු තොටිල්ලේ හෙමි හෙමිහිට නැලවෙන්න... 
මේ දුක උහුලන් නුඹව සිප ගන්න තාත්තට ඔය කිරී හීන බලන මුව පොඩිය දිහා තව ඩිංගක් බලන් ඉන්න... 



ගායනය : සංගීත් විජේසූරිය 
මේ කිරි කැටියගේ හීනෙ බලං ඉන්න තාත්ත තවමත් ආදරයෙන් කුරුලු පැටියට මේ නැලවිලි ගීය කියන හැටි අහන්න මෙතැනින්.....

Tuesday, August 03, 2010

[95] මගෙ ආදර වරුසාවට, යටිකුරු කල කලසකි ඔබ..




~'~
මගෙ ආදර පවසට ඔබ
නියං කලට  හඬන අහස
මගෙ ආදර වරුසාවට
යටිකුරු කල කලසකි ඔබ

මගෙ ආදර සිලිලාරට
නෙලුම් පතකි ලඳුනේ ඔබ
ආදර උල්පත වියලන
ගිම්හානේ සැඩ හිරු ඔබ

ගිම්හානය වෙනුවට මම
වස්සානය වී මම එන්නද
ඒ වැස්සෙන් පෙම්වත් වූ
මිහිලිය වී මම ඉන්නද ?
~'~

අනේ ඇයි මම කියන දේ තෙරුම් ගන්නෙ නැත්තේ?
මොකක්ද ?

ඇයි මගෙ ආදරේ ඔයාට තේරෙන්නෙ නැත්තෙ?
මට තේරෙනව ඔයා මට ආදරෙයි කියල..ගොඩක්.. ඒත්

ඇයි මට මෙහෙම උනේ.. මම කවදාවත් ඔයාව හමු නොවුන නම්, අපි කවදාවත් ආදරෙන් නොබැඳුනනම් , මෙහෙම දුකක් නෑ...
හ්ම්ම්....

මම මෙච්චර නහින්නෙ ඔයාගේ මොනව බලාගෙනද? මුකුත් නෙමෙයි නේද ? ආදරේ නෙද මම හොයන්නේ? මම වෙන මුකුත් ඔයාගෙන් ඉල්ලල තියනවද?
මට තේරෙනව... ඒත් .. මම හරි අසරණයි... ඔයා දන්නව නේද ඒක..
 
මම තව දුරටත් මෙහෙම කියනන් ගියොත් මම පස්සෙන් එනව වගේ වෙනව.. ඒ කියන්නෙ මම තීරණයක් ගන්න ඕනෙ.. එහෙමද?
මම දන්නෙ නෑ.. මගෙන් අහන්න එපා.

ඇයි මේ ?
ඔයයි මමයි ගොඩක් ආදරෙයි... ඒත් අපි දකින විදි වෙනස්... ඔයාට දැනෙනව නේද ඒක? ඔයා පිලිගන්නවද ඒක?

අනේ එහෙම කියන්න එපා... මට බෑ ඔයාව නැති කර ගන්න...
අපිට යථාර්ථයට මූණ දෙන්න වෙනව... මොනව කරන්නද ?

~'''''~
ගිම්හානය වෙනුවට වස්සානය වී එන විට , ඒ වැස්සෙන් පෙම්වත් වන්නට මිහිලිය සිටීවිද... මිහිලිය ඉන් පෙර මියැදේවිද? කාස්ටක අවුවට මොරෝම වුනු මිහිකතට වැහි වැටෙන විට, උහුලන්නට බැරි වේවී....

එතෙක් නෙලුම් පතක නො‍රැඳි දිය බිඳක් සේ, මා ඉන්නා විට ගලන්නට ඉඩ ලද ඉන් නොනැවත මා දෙස නොබලා යන නුඹ.. අහෝ.... ! කුමක් කියමිද? අප අහස පොලව නොවුනේ ආලය ඉදිරියෙහි පමණි.. එහෙනම්, කුමක් ඉදිරියේ අප වෙනස් වීමුද? ආලය ඉදිරියෙහිමය... 

Sunday, August 01, 2010

[94] කුසුම ඔබය ඔබමය මා පැතුමද, උඩවැඩියා මල නොව නෙත පිනවන........


~'~
හිරු හිනැහෙන ගණ නිල්වන් අහසේ
පහනකි මා හිරු එලියෙහි නොදිලෙන
පහන ඔබය ඔබමය මා පැතුමද
හිරු නොව සැඩ කිරණින් මා වෙහෙසන

සඳ දිදුලන පුර පෝදා අහසේ
තරුවකි මා සඳ එලියෙහි නොදිලෙන
තරුව ඔබය ඔබමය මා පැතුමද
සඳ නොව කල එලියෙන් දුර බබලන

උඩවැඩියා සුපිපෙන වද උයනේ
කුසුමකි මා තණ බිම මත සැඟවෙන
කුසුම ඔබය ඔබමය මා පැතුමද
උඩවැඩියා මල නොව නෙත පිනවන
~'~ 


"මට කියන්න ඇයි මාව හොයා ගත්තේ..? එයා ගොඩක් ලස්සනයිනේ?"
"ඉතින්... ලස්සන කියන්නේ ආදරේ ද? "

"අරය මම වගේ නිකම්ම කෙනෙක්ද? නෑනේ.. එයා ගොඩක් දක්ශයි.. මිනිස්සු එයාව අගය කරනව"
"ඉතින් ඒකත් ගොඩක් හොඳයි තමයි... "

"එයාගේ මට වඩා පාට හොඳයි... ආකර්ෂණීයයි...  හැමෝම ලස්සනයි කියන්නේ එයාටනේ?"
" දැන් මම කිව්වෙ... මට ඕනේ රටටම ලස්සන පෙනෙනවට ආදරේ කරන්න නෙමෙයි... මම ආදරේ විදිය මම කැමති විදිය තියෙන්නෙ ඔයාගේ"

" විදිය කිව්වෙ ? මොකක්ද ? පැහැදිලි මදි"
" මම දන්නෙ නෑ.. මම උඹට ආදරෙයි.. අහන්න එපා ඇයි කියලා... ඒක එහෙම තමයි... "

"උඹ..?? අපොයි රාක්සයෙක් වගේ කතා කරපු හැටි!"
"එහෙම තමයි !! ගොන් කතා කියනකොට එහෙම තමයි"

"හ්ම්ම් ගාන්නේ?
"හ්ම්ම්"

"මීට වඩා හොඳයි හුලඟට කිව්ව නම්... උත්තරත් නෑ.. "
" මම කිව්වෙ ... "

අම්මප තේරෙන්නෙ නැති හැටි... ! හොයන්නෙ රටම බබලන සඳක් නෙමෙයි වග.. ඒ පුංචි තරුවෙ දිස්නෙ අඩුයි තමයි... ඒත් ඒ තරුවෙ හුරුබුහුටිකම කොහෙන් හොයන්නද ‍රැස් විහිදන සඳ ගාව? හැමෝටම නෙතඳුන් දෙන උඩවැඩියා මලකට වැඩියෙ චාම් පිවිතුරු කැලෑ මලක් ගාව තියන සුන්දරත්වය කැලෑ මලට වැටහෙන්නෙ නැති හැටි...  ඒත් ඒත්... පැතුම නම් එයයි... පැතුම ඉ‍ටු නොවෙන එකයි දුක...!

"මොනවද හිතන්නෙ?"
"මුකුත් නෑ.."

"හ්ම්ම්... දැන් මාත් හ්ම්ම් කියන්න පුරුදු වෙනව..! "
"හ්ම්ම්...  හරිද දැන් ප්‍රශ්නෙට උත්තරේ ? "  :-)


[93] නුඹට හිත බැඳි කාරණේ මම, තවම සොයන්නෙමි



 ~'~
ගහක මල් පිපිලා
පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා
පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
නුඹට සිත බැඳුනේ
කිමැයි මා තවම නොදන්නෙමි
නුඹට හිත බැඳි කාරණේ මම
තවම සොයන්නෙමි

කතරෙ වැලි කැට
හිරුට පෙම්බැඳ
ඇතත් ලෝ දහමින්
සොඳුරු වැස්සට
දැවෙන කතරක්
ආදරෙයි පණ මෙන්
ලොවට නොපෙනෙන
අරුම සෙනෙහස
ඒ වගෙයි මනරම්..
කරනු බැරි තහනම්....

සඳට සදහට
සෙනේ පෑ මුත්
උදුල තරු කැටයම්
හිරුට පෙම් බැඳි
එකද තරුවක්
සිටිය නොහැකිද යම්
නු
ට නොහැ‍ඟෙන
මගේ ප්‍රේමය
ඒවගෙයි මනරම්
පුදුම වෙයි නුඹ නම්....
~'~



"  මට ආදරේද? "
"  ඔව්"

"  ඇයි මට ආදරේ?"
"  අනේ මන්දා"

"ඇයි ඔයා මට කැමති?"
"මං දන්නෙ නෑ ලමයෝ"

"  ඇයි දන්නෙ නැත්තේ...? එහෙනම් කොහොමද මට ආදරෙයි කියන්නෙ ?"
"   මම දන්නෙ කොහොමද...මම ඔයාට ආදරෙයි.. කැමතියි..."


 "   කොහෙන්ද මෙච්චර ලස්සන ආදරේ කරන්න ඉගෙන ගත්තේ?"
" මම ටියුෂන් ගියා!"    :-)

"  කොහොමද මෙහෙම මම කැමති විදියටම ආදරේ කරන්නේ?"
"   මම දන්නේ නෑ...ඔයත් ආදරනීය නිසා.. ඔයාත් මගේ හීන ආදරේ සම්පූර්ණ කල නිසා...."



ඇත්තට.... ආදරේට හේතු තියනවද ? ඇයි ඔයා මට කැමති? කොහොමද මට ආදරේ උනේ? මම වගේ කෙනෙකුට? අපි දෙන්න කොච්චර වෙනස්ද? ලෝකෙ කවුරුවත් ලං නොවෙන මම වගේ කෙනෙකුට..කොහොමද ඔයා පෙම් කරන්නේ ?

ඇත්ත... කතරක වැලි කැට හැමදාම ආල වඩන්නෙ ඉරට. ඒත් වැහි බිඳකට සෙනෙහෙ පාන වැලි කැට නැතුව නෙමෙයි. ඒක අරුමයක්ම තමයි. ඒත් ඉතින් ඒක එහෙමමයි.. ආදරේ ඒ වගෙයි...

සඳුට ආලවඩන තරු අස්සෙ පුංචි තරු කැටයක් හිරු දකින්න සුසුම් හෙලනව. හිරුට ලං වෙන්න හදනව. ඒත් බලාගෙන... සඳු තරම් සිසිල නෑ. දැවෙයි ඔය හිත... !
ආදරේ මේ වගෙයි... හරි පුදුමයි...

අපි හොයන්නෙ හීන ආදරේ... ඒක තියෙන්නෙම සොඳුරු වැස්සක් ලඟ... කතරට කලාතුරකින් කඩා වැටෙන... එහෙම නැත්නම්,කවම කවදාවත් තරු නොසිඹින හිරු ලඟ. ! ඒක තමයි ඇත්ත...

ගහක මල් පිපෙන කාරණාව මට හොයා දෙන්න... හිතක මල් පිපුන කාරණාව මම ‍තෝරා දෙන්නම්... නුඹට බැඳුනු හිතේ මේ තියන ආලවන්ත කමට හේතු එතකොට මම කියන්නම්....





මා වැඩියක්ම ආදරේ කරන ගීතයක් මේ... ඔව් ... මේ ගීතය කියන්නේ මගේ හුස්ම පසුපස එන කතාවයි....බා ගන්න කැමතිනම් ....

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->