Sunday, June 20, 2010

දුවේ ..අහල තියනවද නිහඬතාවයේ හඬ?

"දුවේ ..අහල තියනවද නිහඬතාවයේ හඬ?"

"ඔව් මාමේ. ඔව්.. මට නොයෙක් වර ඇහිල තියනව. "

ඒත් මම බයයි ඊට... නිහඬතාවය තුල මතුවෙන හිස් හැඟීමට බයයි.. එහි කැරකෙන මූසල බවට බයයි... එයින් ඇඟවෙන තනිකමට බයයි... ඒ තනිකම හුදෙකලාවක් සේ සිතන්න මේ පුහුදුන් සසල වෙන/වුන සිත බයයි. මොහොතකට නතර වෙන්න බයයි. ඒ හිත මැසිමක් වගේ ක්‍රියා කරන්න ගන්න නිසා. ක්‍රියා කරන්නේ මා දෙසටම හැරුන සිතුවිලි. සිතුවිලි මාව විවරණය කරනවා. ඒ සිතිවිල්ල මා , මගේ අතීතය අවුස්සමින් හේතු කාරණා හොයනවා, දුකට කාරණා හොයනවා. අතීතයේ මම එතකොට ජීවත් වෙනවා. අතීතය තුල එක් මොහොතක එක් දිනය මා උන්න තැන් එතැනදි මට උනපු දුක් , කඳුලු මතකය මාව ඇදගෙන යනව ඒ මොහොතේ තිබ්බ මනසට. ඒ මොහොතේ කුස්සියෙ ඉදුන පරිප්පුවක සුවඳ , ඒ මොහොතේ ජනේලයකින් එලිය බලන් කල්ප්නා කරද්දි මා බලන් හිටපු දැකපු දෙවල් , ඒ මොහොතෙ මගේ නෙත් ගිය ගෙතුල බඩු මූට්‍ටු පවා පේන තරම් මගේ අතීතාගමනය තියුණු වෙනවා.


පැරෂුටයක එල්ලි ඉහල පහල යමින් මා යනවා. කාලයත් එක්ක බිමට පාත් වෙද්දි මම බයෙන් කකුල් අකුල ගන්නව පොලවට පය ගහන්නෙ නැතුව.. ඉහල යන්න ආසාවෙන් නෙමෙයි, පහල බලන්න බයෙන් , ඇද වැටී මහ පොලොව උඩ අතරමං වෙන්න බයෙන් මම අත මානයෙ සැලෙන අතු කැබැල්ලක එල්ලෙනව. එල්ලිලා ඊට පසු හාත් පස බලනව. විටෙක ඒ පඹ ගාලක්. විටෙක ඒ ගිනිසීරියා අත්තක්. විටෙක රූස්ස ගහක්. මා එල්ලී ඉන්නවා . ගුරුත්වයට ඔච්චම් කරමින්... මා දිනුම් යයි සිතමින්. එල්ලී ඉන්න අත්ත සවිමත් කරන්න මා අහසින් වැටෙන වැහි බිඳු එක එක ඩා මුගුරු වගුරුවමින් දෝතට ගෙන දිය ලනවා. ඒත් ... මා හති වැටෙනවා. ගස වැඩෙන්නේ නෑ.  කාලයත් එක්ක..ගසට මා බරයි.. ගස සොලවා , දෙදරවා මා මහ පොල්වටම අත් හරිනවා. වැටෙන්නේ පැරචුටයෙන් මෙන් හෙමින් නම් නෙමෙයි... තැලුම් තුවාල, ගලන ලේ..මේ ඔක්කොම මට ලැබෙන තෑගි.. 


ඇද වැටී මොහොතක් ඉන්න මා , හාත්පස නොබලමින් වැතිරී ඉන්නවා. තුවාල සුව වෙන්න පලමු, තුවාල සුව වෙද්දිම හදිසියෙම මට ටිකක් පණ එනවා. මහා ශක්තියක් මනසට කාන්දු වෙනව. මම හාත්පස බලනවා. කාන්තාරයක මා ඉන්න බවත් , මේ මහ පොලව උඩ අතරමංවී බවත් වැටහෙනවා. ආයෙමත් තුවාල පිටින්ම මා පැරචුටයත් ගෙන සුලං අත සොයා දුවනවා. එක් මොහොතක ආයෙමත් උඩ යනවා. සුලඟට තුවාල වේලෙනවා. කැලැල් එහෙමමයි. ආයෙමත් .......  "පැරෂුටයක එල්ලි ඉහල පහල යමින් මා යනවා. ................. "


නිහඬතාවය ඇහුනේ පැරෂුටයෙන් හෙමි හෙමින්  පොලොවට වැටෙද්දී..යලිත් එය විඳින්නම උනේ ගස මා පොලවට හෙලද්දී... ඊට මා බය උනා..ඊට මා වෛර කලා. එහි අරුත හෙවුවේ නෑ.ඒ හුදෙකලාව මට දඬුවමක් සේ හැඟුනා. හුදෙකලාව කවදාවත් මට ප්‍රිය උනේ නෑ. නිහඬතාවය මූසල තනිකමක් මිස බ්‍රහ්මාස්වාදයක්සේ මා සැලකුවේ නෑ. මම නතරව මා දිහා බලන්න බිය උනා. පංච නීවරණ සියල්ල මා වෙලා ගෙන බව වැටහෙන්නේ පසුවයි..


ඉගිලෙන්න බයයි. ඒත් ඒ දේ මා කලා.ඇයි? පොලව මත තනිව වැතිර ඉන්න බය නිසා. පාවෙන්න , ලෝකය දකින්න කාලය ගන්න එකෙන් මා හුදෙකලාව හෙවත් මා සිතූ තනිකම යටපත් කලා.

ඒත් ඒත්... මහ පොලව තරම් නිශ්චිත ‍රැකවරණයක් කොහිද? හුදෙකලාවක ඇති සහනය කොහිද? මේ ලියන මොහොතෙත් මාගේ උඩුහිත බියෙන් පෙලෙයි.ඉගිලෙන්න මං සොයයි..... ඒත් යටිහිත අරුත සොයයි...පොලවට ලං වෙන්නැයි ඒ යටි හිත මුර ගසයි... එහි සොඳුරු හුදෙකලාව විඳ ආස්වාදනය කරන්නැයි, ඒ විඳ බලා තීරණය කරන්නැයි යටි හිත යදියි..


එහෙනම් ..ඉගිලෙන්න තතනන හිතුවක්කාර උඩුහිතට පොඩ්ඩක් දඬුවමක් විඳින්න කාලයයි...

3 comments:

  1. ඔබ නිසල තාවය අසා ඇති බවක් මට නොපෙනේ. නිසලතාවය තුල ඇත්තේ මූසල බවක් නොව ශාන්ත වූ නිසල බවකි. එය ලබා ගත හැක්කේ සිත නිසංසල වූ විට පමනි. (Tract 1 අසන්න.) නිසසල බවට පිවිසිනු පසුව, මඳ වශයෙන් ශබ්දය අඩුවැඩි වන high pitched, නොනවතින ශබ්දයක් ලෙස නිසලතාවයේ හඬ ඔබට ඇසෙනු ඇත. කන් වසා ගත්තත්, දිය යට සිටියත් මේ ශබ්දය නොනවතියි. මේ ශබ්දය ඇසීමට වෑයම් කල යුතුය. එයට පුරුදු වූ විට එය දිගටම ඇසෙනු ඇත. ඔබේ සිත ඔබට අවනත වන්නේ මේ ශබ්දය ඔබට ඇසෙන්නට පටන් ගත් පසුය.

    ReplyDelete
  2. නිහඬතාවය අපි දකින/විඳින ආකාරය, අවස්ථාව අනුව අපි ඒ නිහඬතාවට පෙම් බැඳිම හෝ පිළිකුල් කිරීම සිදු කරනවා. එය රඳා පවතින්නේ සිතුවිලි මත කියලායි මම නම් හිතන්නේ.
    මෙතැනදි නිහඬතාවයේ හඬ වෙනුවට හුදෙකලාවේ හඬ ලෙසින් යෙදුවානම් මිස් බලාපොරොත්තු වුන දේ මීට වඩා සාර්ථකව ප්‍රකාශ වෙන්න ඉඩ තිබුණා. මොකද හුදෙකලාව තුලින් නිහඩතාව මීට වඩා අර්ථගන්වන්න පහසු නිසා. (මෙහෙම කියන්නේ හුදෙකලාව තුලින් නිහඬතාවය ඇතිවීමට තිබෙන හැකියාවට වඩා නිහඬතාවය තුලින් හුදෙකලාව ඇතිවීමට ඇති හැකියාව තරමක් අඩු නිසායි. )
    කෙසේ වුවත් නිර්මාණයක් තුලට තමන්ගේ අදහස් ගොනුකරන්න අරන් තියෙන උත්සාහය අගය කරනවා.

    අපි මොනදේ කලත් උඩුහිතට වගේම යටිහිතටත් සවන්දිය යුතුයි නේද මිස්?
    උඩුහිතට වඩා තර්කාණුකූලව සිතීමේ හැකියාවක් යටිහිතට තියෙන බවත් යටිහිත සමඟ මිත්‍රවීම තුලින් අපේ සාර්ථකත්වය ළඟාකරගැනීම පහසු බවත් මම විශ්වාස කරනවා..

    ReplyDelete
  3. මේ දවස්වල පොඩ්ඩක් හිත කලබලයි . . . ඒක නිසා මේ වගේ ලිපියක් කියවන්න අමරුයි නගේ . . පස්සේ දවසක හෙමීට කියවනන්ම් . .

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->