Thursday, November 17, 2011

[217] නගරං කපුටු 'වස්තුව'

ගොම්මනට කිසිම බිය සැකක් නැතිව කොලොම් තොටේ රස්තියාදු ගසමින් , කඩ සාප්පු වල ඇවිදීමේ නිදහස අද සීමා වී තිබේ.. එයට හේතුව ගෙයි මාපිය සෙවණේ කූඩු වීම නොවේ... රෑ දෙගොඩ හරියේ මම යන  අඩල් ගමන් වලට දැන් අපේ අම්මාගේ සිත කම්මර වී තිබේ.. මගේ වියපත් බව සිහි කැඳවා 'දැන් මා පොඩි එකකු නොවේ යයි කියා     ඒ කාලයේ මම රණ්ඩු ඇල්ලුවා මතකය.එහෙත් එදා මම පොඩි ලමයකු නොවේදැයි අද මට සිතෙයි. අද මම පොඩි ලමයකු වී සිටිමි.නොකල්හි වට වැස්සක් වූ එකල්හි, අවාරයේ පොහොර දා, නිසි නින්දේ ඇහැරෙන ඉවසිල්ල අහිමි කරගත් මෝඩ 'නොපිපි මල' මම වීමි ...

ගොම්මන ලංවී නගර මධ්‍යයට පැමිණි මම , අද එක් විනාඩියකට ඔරලෝසු කණුව ලඟ නැවතුනෙමි. කොලොම්තොට එදවස 'හවස' මම යලිත් සිහි කැඳවා ගන්නට තැත් කළෙමි. එය මහා ශාන්ත හැන්දෑවක් ලෙසින් , කාර්යාල නිමවී සෙමෙන් සෙමෙන් ගාලු පාරේ ඇවිද යන වෙහෙසක් නැති ගැහැණු මිනිසුන් මගේ  සිත් බිත මත ප්‍රක්ෂේපණය වෙයි. කඩ සාප්පු වලට ගොඩ වදින , සෙමෙන් සෙමෙන් යලි මගට බසින , අතෙහි ඇති බෑග්
පිරික්සන ඒ කොලොම්තොට වැසියනට තවමත් රෑ වී නැත. 





මම මෙ'නුවර , මහනුවර ඔරලෝසු කණුව අසලය. ඔවුහු දුවති. වියපත් මාපියන් , කුඩා දරුවන් , තරුණ තරුණියන් , එකම පිම්මෙන් පැන පැන යන අයුරු මට පෙනේ. ඉර බැස යාමේ භීතිය මේ තරම් දරුණු හැඟීමක් න්න , වසර කිහිපයක් ගෙන්දගම් වාෂ්ප ආඝ්‍රාණය කළ මට නුහුරුය.එහෙත් මටද ඒ භීතිය වැලඳීගෙන එයි.

ටවුන් නුග ගසේ වවුලෝ සිය ත‍ටු හරි බරි ගස්සාගෙන , උගුරකට පාදමින් නිවෙස් හැරපියා ගොදුරු සොයා යන දවසේ පශ්චිම යාමයයි මේ. කපුටන් නැත්තේ කොයි නුවරද? මෙ'නුවරද එය එසේමය. කපුටෝ කපුටෝමය. මේ තරම් ගණ නිල් තුරින් ගහණ හන්තානට හෝ උඩවත්ත කැලයට ගාල් නොවී උහු මහ නගර මධ්‍යයේ , දුහුවිල්ලෙන් ගහණ , තොර‍තෝංචියක් නැති නලා නද වෙන , නුග තුරෙහිම ගාල් වෙති. දවස තිස්සේ කුස පුරවාගත් සතුටින් , කපු‍ටු ඇඹේණිය ඇඳ රෙදි ගසමින් නිදි දෙව්දුවගේ සාරිපොටෙහි ගුලි ගැසෙන්නට යහන සදන්නීය. එතෙක් , කෙලි දෙලෙන් නටන කපු‍ටු දරුවන්
,  දවසාවසානයේ අසල්වාසීන් සමග දොඩමලු වන කපු‍ටු තාත්තලා  මට මැවී පෙනෙයි.  ඒ හඬ මට කොලඹ කොටුවේ ඇසුනාදැයි මතක නැත.


 රාත්‍රියෙන් හරි අඩක්ම ගෙවී යන තුරු නොනිදන,  වීදි ලාම්පු , කඩ සාප්පු , රසමසවුලු ඉදෙන විසල් උඳුන් , වැල නොකැඩී එන රථවාහන දම්වැල්  අස්සේ එකෙල මෙකෙල වෙමින් 'සැබෑ අඳුර' පිවිසෙන තුරු රවුම් ගැසූ අතීතය අවසන්ය...

ඒ වෙනුවට ඇත්තේ, අන්ධකාර භීතියෙන් මුසපත්ව , එක පිම්මේ පැන යන දෙනෝදාහක් අතරින් ගෙදර දුව යන වර්තමානයයි. මහනුවරින් අඩක් වසා සිටින මහ නුගයේ කපු‍ටු කපුටියන්ගේ  ගෝසාකාරී කචබචයෙන් මිදී  , නොයිවසිල්ලේ ගෙදර සිහි කරන, ඒ සිතමින්ම බස් රථයේ හිඳ මේ මතක කුරු‍ටු ගාද්දී , කුහුලෙන් ඒ වෙත එබෙන නුවරුන්ගෙන් එකෙකුවී ගෙවෙන වර්තමානයයි.

රෑ වුවහොත් අන්ධකාර භීතිකාවේ උත්ප්‍රාසය දියුණු වන්නට වල් ඌරු භීතිකාවද එකතු වේ. එකල්හි නපුරු මිනිසුන්ගේ ඇල්මෙන් බැල්මෙන් මා අනතුරේ වැටෙතැයි බිය ගත් මාපියන් අද භය වන්නේ වල් ඌරාටය..

එදා  සහ අද බොහෝ කල් ගතව නැතත් , කාලය විසින් මට කළ යුතු යුතුකම ඉතා සතු‍ටුදායක අයුරෙන් කර ඇති බව මට අද සිතෙයි...



කොටුවේ බෝගසටත් මහනුවර නුග ගසටත් එක සමාන අයුරෙන් දුහුවිලි මුසුවේ.  රන් මීවිත පුරවා ගත් වීදුරු දාරයෙහි ඈඟිලි තුඩින් රවුම් අඳිමින්, එක් නගරං කාක්කෙකු තව කාක් ගෑටයන් පිරිසක් හා එක්ව බෝ අත්තක 'සෑට්' වී පූල් ගසනවා වියහැකිය.  ඒ තරම් ලාම්පු එලියක් නැති බෝ අත්තක වෑතිරී කපුටු පෑටවුන් ඉස්කෝලේ දුන් 'හෝම් වර්ක්' කරද්දී, තවත් නගරං කාක්කෙකු පපුතුරෙහි මවිල් අතගාමින් , පිම්මේ දුවන නුවරුන්ට තටු නාවේ මන්දැයි කල්පනා කරනවා විය හැකිය...



ඒ එ'නුවරදැයි මෙ'නුවරදැයි වෙසෙස් වෙනසක් නැතැයි මට සිතේ..

 
Some People FEEL the rain, others just get WET.
Bob Marley


26 comments:

  1. කාලය මැවු වෙනසක අරුමේ!!!!

    ReplyDelete
  2. වල් ඌරු මස් නම් කියාපු කෑම ඈ...... මොකද කියන්නේ? :D

    ReplyDelete
  3. අදමයි දැක්කෙ... ගැඹුරුයි ඈ....... මරු...

    ReplyDelete
  4. එක් නගරං කාක්කෙකු තව කාක් ගෑටයන් පිරිසක් හා එක්ව බෝ අත්තක 'සෑට්' වී පූල් ගසනවා වියහැකිය. ඒ තරම් ලාම්පු එලියක් නැති බෝ අත්තක වෑතිරී කපුටු පෑටවුන් ඉස්කෝලේ දුන් 'හෝම් වර්ක්' කරද්දී, තවත් නගරං කාක්කෙකු පපුතුරෙහි මවිල් අතගාමින් , පිම්මේ දුවන නුවරුන්ට තටු නාවේ මන්දැයි කල්පනා කරනවා විය හැකිය...

    බ්ලොග් ලියන්නේ කියවන්නේ නැතිද මේ කපුටෝ... :)

    ජෝක් දමා මාරුවෙමි... ගැඹුරු දියඹට බහින්න බයායි...

    ReplyDelete
  5. ඒ නුවර මේ නුවරමද කොයිද තමය නේද අක්කේ

    සුදු හංසි නගේ දිය ගුඹුරුයි කියලා මගේ හිතත් කීවා.. පැනලා බැලුවා හරිද මන්දා ;)

    ReplyDelete
  6. ඒ නුවර මේ නුවරමද කොයිද තමයි නේද අක්කේ

    සුදු හංසි නගේ දිය ගුඹුරුයි කියලා මගේ හිතත් කීවා.. පැනලා බැලුවා හරිද මන්දා ;)

    ReplyDelete
  7. එ'නුවරත් මෙ'නුවරත් හැර තවත් නුවරවල් තිබේද?

    ReplyDelete
  8. මෙනුවර නෙමෙයි. ඔය නුවර පට්ට කැලේ.. හූ හූ.. හොද වැඩේ කැලේට රිංගුවට.. දැන් ඉතින් කාක්කො වවුලො වල් ඌරෝ එක්ක තමා ඉන්න වෙන්නේ.. :-D

    ReplyDelete
  9. මට නම් එනුවර සහ මෙනුවර අතරේ මහත් වෙනසක් ඇත්තේය.. මහනුවර යනු මා උපන් නුවර වුවද අගනුවර යනු මා දිගුම කලක් නිවැසි නුවර හෙයිනි.. දෙනුවරෙහි කපුටන් එක සමාන වෙතත් දෙනුවර හදතුල ඇඳි සිතුවම් නම් බොහෝ වෙනසි !

    ReplyDelete
  10. විනාඩි කිහිපයක් කල්පනා කරත් කියන්නට දෙයක් සිතා ගන්න බැරි විය....

    ReplyDelete
  11. එක සිද්දියක් අල්ලා කතාවක් කියන හැටි මරු! ඊට වඩා දෙයක් කියන්න තේරෙන්නැ. හැබැයි කියවා තෘප්තිමත් සිතින් කමෙන්ට් කරන්නෙ....

    ReplyDelete
  12. [[ ඉර බැස යාමේ භීතිය මේ තරම් දරුණු හැඟීමක්ය යන්න , වසර කිහිපයක් ගෙන්දගම් වාෂ්ප ආඝ්‍රාණය කළ මට නුහුරුය.එහෙත් මටද ඒ භීතිය වැලඳීගෙන එයි. ]]

    හෙට උදේට අලුත් ඉරක් පායයි අක්කියෝ !

    ReplyDelete
  13. මටත් කියන්න දෙයක් හිතාගන්නට බැරිය.... හ්ම්...

    ReplyDelete
  14. රන් මීවිත පුරවා ගත් වීදුරු දාරයෙහි ඈඟිලි තුඩින් රවුම් අඳිමින්, එක් නගරං කාක්කෙකු තව කාක් ගෑටයන් පිරිසක් හා එක්ව බෝ අත්තක 'සෑට්' වී පූල් ගසනවා වියහැකිය. ඒ තරම් ලාම්පු එලියක් නැති බෝ අත්තක වෑතිරී කපුටු පෑටවුන් ඉස්කෝලේ දුන් 'හෝම් වර්ක්' කරද්දී, තවත් නගරං කාක්කෙකු පපුතුරෙහි මවිල් අතගාමින් , පිම්මේ දුවන නුවරුන්ට තටු නාවේ මන්දැයි කල්පනා කරනවා විය හැකිය...


    මං මේ කොටසට හරිම ආසායි බං.......... :)

    ReplyDelete
  15. කාලය අපිටත් නොදැනිම වෙනස් වෙලා...

    ReplyDelete
  16. "රන් මීවිත පුරවා ගත් වීදුරු දාරයෙහි ඈඟිලි තුඩින් රවුම් අඳිමින්, එක් නගරං කාක්කෙකු තව කාක් ගෑටයන් පිරිසක් හා එක්ව බෝ අත්තක 'සෑට්' වී පූල් ගසනවා වියහැකිය. ඒ තරම් ලාම්පු එලියක් නැති බෝ අත්තක වෑතිරී කපුටු පෑටවුන් ඉස්කෝලේ දුන් 'හෝම් වර්ක්' කරද්දී, තවත් නගරං කාක්කෙකු පපුතුරෙහි මවිල් අතගාමින් , පිම්මේ දුවන නුවරුන්ට තටු නාවේ මන්දැයි කල්පනා කරනවා විය හැකිය..."

    හිහිහී... ආසම කොටස.. කපුටියෙකුත් සැට් වුණානම් ෂෝයෝ අක්කියෝ.. :D
    කපුටා කපුටාමය..!
    අගෙයි අක්කියෝ...!!!

    ReplyDelete
  17. තත්පරයෙන් විනාඩියට,ව්නාඩියෙන් පැයට,පැයෙන් දවසකට,දවසකින් මාසයට,මාසෙකින් තවත් එකකට යන කාලය වෙනස් වෙනවා දැනෙන්නෙ මිනිස්සු වෙන අපට විතරක් නොවන බව "ජීවිතේ මල්" කියපු විදිහ ඇත්තටම හරඅ අගෙයි..

    ReplyDelete
  18. තත්පරෙන් විනාඩියට,විනාඩියෙන් පැයට,පැයෙන් දවසකට.දවසකින් තවත් එකකට වෙනස් වන කාලය මිනිස්සු වන අපට විතරක් දැනෙන දෙයක් නොවන බව "ජීවිතේ මල්" කියපු විදිහ ඇත්තටම ලස්සනයි...

    ReplyDelete
  19. තත්පරෙන් විනාඩියට,විනාඩියෙන් පැයට,පැයෙන් දවසකට.දවසකින් තවත් එකකට වෙනස් වන කාලය මිනිස්සු වන අපට විතරක් දැනෙන දෙයක් නොවන බව "ජීවිතේ මල්" කියපු විදිහ ඇත්තටම ලස්සනයි...

    ReplyDelete
  20. නුග ගසෙහි තවත් අත්තක අඩක් හිස් වූ මීවිතක් අසල කටගැස්මට ඇණවුම් කල වඩ දෙක එතූ තෙල් පැල්ලම් ගහණ පත්තර කැබැල්ලෙහි දාරයක තවත් කාක්කෙකු එවේලේ ගැටගසාගත් කවියක් ලියනවා විය හැක.

    පොදු වෙලඳපොල දෙසට නැමුනු අත්තක මේ සැම අලකලංචි දෙස සිනාපිරි දෙතොලින් අවලෝකනය කරමින් තවත් කාක් නෑම්බියක බොලොග් සටහනක් ලියනවා ද විය හැක......හෙහ්, හෙහ්,

    ඒයි දිල්......උඹ දැකල තියනවද ඔය වගේම තවත් අපූරු සීන් එකක්, නුවර ටවුමෙ උස් තැනකට ගිහාම හවස පහමාරෙන් විතර පස්සෙ දකින්න පුලුවන් වවුලො ලක්ස ගානක් ඉගිල්ලිලා එනව....උන් එන්නෙ මාවනැල්ල දිහා ඉඳල....මම ටික කාලයක් හිටිය හීරැස්සගල...එ දවස්වල හවසට මගෙ වැඩේම ඔය වවුල්ලු දිහා බලන් ඉන්න එක...කොච්චර බැළුවත් නෑ එපා වෙන්නෙ....මටත් ඔය උඹට වගේම හිතිල තියෙනව ඔය වවුල්ලු මොන මොන ජාතියෙ එවුන්ද මොන මොනව හිත්වල තියාගෙන ඉන්න එවුන්ද කියල......හෙහ්, හෙහ්,

    ReplyDelete
  21. අර අවසන කිවූ උද්ධෘතයට මගේ හිත ගියේය. පෝස්ටයේම තේරුම ඒ එක වැකියෙන් මට දැනිනි... !

    ReplyDelete
  22. මට හිතුනු දේ ඔබට ගැටපද සන්න අ‍ටුවාටීකා ටිප්පනි ජාලාවක් මිස කිසිදු තේරුමක් නැති කතාවක සිට , මනා සේ ඩිකෝඩ් වූ ජීවන විවරනයක් දක්වා විවිධාකාර මත පල කරමින් ලියන්නට යෙදුනු ඔබට විසල් තුතියක් පිරිනමමින්ම මට මේ පෝස්ට් එක ගැන වචනයක් දෙකක් පසු සටහනකට ලියන්නට සිත් වූවා... මට හිතුනු දේ නොව මම ලියූ දේ ගැන ලිවීමෙන් පසුව මට සිතුනු දේ මේ අයුරෙන් ලියන්නට සිතුනා...

    ලිවීමට ආධුනික මට, හරි හැටි පිරිනොමැදි මුතු බෙල්ලෙකු වන් වූ, පුඟුල් මට පහල වන ගොරෝසු සිතුවිල්ල , සුගම සුමට ලාලනීය කතාන්දරයක් කරන්නට දස්කමක් වැඩී නැතැයි මම පිලිගනිමි. එහෙත් මම උත්සහ කරමි..

    මේ සටහනේ හරයෙහි ඇත්තේ මහා කනගා‍ටුවක් දුක්ක යැයි ඩිකෝඩ් වීම ඛේදයකි. එය එසේ නොවේ. හැන්දැවන එනුවරත් මෙනුවරත් අරුමය මම සසඳන්නට උත්සහ කළෙමි .

    "කපුටන් නැත්තේ කොයි නුවරද? මෙ'නුවරද එය එසේමය. කපුටෝ කපුටෝමය. මේ තරම් ගණ නිල් තුරින් ගහණ හන්තානට හෝ උඩවත්ත කැලයට ගාල් නොවී උහු මහ නගර මධ්‍යයේ , දුහුවිල්ලෙන් ගහණ , තොර‍තෝංචියක් නැති නලා නද වෙන , නුග තුරෙහිම ගාල් වෙති."

    මේ කපුටන් මෙන්ම මාද එසේ වීමි. කොලඹට සාපේක්ෂව නුවර , වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම වන්නියකි. ඒ වන්නියට මා පෙම් නොකොට කොලඹ ඉගිලුනේ එහෙයිනි. එහෙත් නුග තුරෙහි කපුටා මෙන්ම මාද ඒ කලබලකාරී දිවිල්ලට කම්මර වීමි. ඒත් කාලය මට මොලේ පැදුවේය. එවිට මම නුග තුරින් පලා යලිත් හන්තානට ආවෙමි.එය ගෙනාවේ මහා සැනසිල්ලකි. දුදනුන්, කුහකයින් අතරේ නොව නිස්කලංක තුරු ගොමු අතරේ මම ආයෙත් ගාල් වීමි. මට නිවන එලැඹුනේ එලෙසිනි.

    එහෙත් මෙදින මම සිතන්නට වීමි. එය එසේ වූයේ කෙසේද? එ නුවරුන් අතරද දුදනුන් මෙන්ම සුදනුන් ඇත. මෙනුවරුන් අතරද දුදනන් මෙන්ම සුදනුන්ද ඇත. පරිසරය වෙනස් වූ පමනින් ඇසුරට ලැබෙන මුලු සමාජයම වෙනස් වූයේ නැත. සැබවින්ම මම අසා බැලුවෙමි. එහෙනම් මේ විඳින මහා සැනසිල්ල කුමක්ද?

    අවසානයේදී මට පසක් විය. වෙනස් වූයේ මාය. ! එනුවර සහ මෙනුවර හැමදේම වෙනස් අනුපාතයෙන් සමෝසමේ තිබේ....
    එහෙත් මෙනුවර ආගමනයෙන් 'මා' වෙන්ස් වී සිටිමි.

    මා අවසන් කළ ඉන්ගිරිසි වැකියේ මා වෙනස් වන්නේ කෙසේදැයි මැනවින් කැටිව තිබේ..

    ප්‍රතිචාර ලියූ හෑමට ස්තූතියි !

    ReplyDelete
  23. මොනාද කියන්නේ මම.. හිතා ගන්නවත් බැහැ.

    ReplyDelete
  24. "කොලඹට සාපේක්ෂව නුවර , වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම වන්නියකි. ඒ වන්නියට මා පෙම් නොකොට කොලඹ ඉගිලුනේ එහෙයිනි. එහෙත් නුග තුරෙහි කපුටා මෙන්ම මාද ඒ කලබලකාරී දිවිල්ලට කම්මර වීමි. ඒත් කාලය මට මොලේ පැදුවේය. එවිට මම නුග තුරින් පලා යලිත් හන්තානට ආවෙමි"

    ඔබේ ලිපියට වඩා ඔබේ ඉහත ටීකාවක සඳහන් වන මේ කියමන මගේ සිත්ගන්නා ලදී. එයිනුත් "ඒත් කාලය මට මොලේ පැදුවේය" යන වැකියට මා ඉතාම ඇලුම් කරමි...

    ReplyDelete
  25. වර්ණා.... හෙ හෙ....

    ටීබී
    ස්තූතියි... ඔබට වෑටහුනා.... ස්තූතියි

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->