මේ වීඩියෝව ඉතා සැලකිල්ලෙන් නරඹන්න. නැරඹීමට පෙර මේ පේලි කිහිපය කියවා ඉන්න. ඈ ඇගේ අහිමි අත වෙනුවෙන් හඬා වැටෙන්නීය. ඉදින් ඈ ඔහු හමු වූ විට ජීවිතය ජයගන්නට කල්පනා කරන්නීය. ඔහු ඒ වෙනුවෙන් උපකාරයේ කිහිලිකරුව දිගු කරන්නේය. ඈ ඔහු ප්‍රතික්ෂේප කරන්නීය. ඉන් පසු ඔහු ඔහුගේ අයෝමය හස්තය දිගුකරන්නේය. ඈ ඔහුගේ අත ගන්නීය... අහිමි පයෙහි අසරණ බව වෙනුවට හිමි පයෙහි ශක්තිය ඈ වැලඳ ගන්නීය.
මේ නර්තනය ලෝකයට කියා පාන්නේ එසේ මෙසේ කතාවක් නොවේ. රටක් වශයෙන් 'චීනා' මේ කර ඇත්තේ එසේ මෙසේ හාස්කමක් නොවේ. මා විස්මයෙන් ගල් ගැසෙන්නේ මේ නර්තන උදෙසාමත්ම නොවේ. හේතු කාරණ දෙකක් නිසාය.
1. ඇගේත් ඔහුගේත් දෑස් දෙස බලන්න. ඒ දැස් දිලිසෙන්නේ ජීවිතාශාවෙන්ද? අසරණ කමින්ද? එසේ නැතිනම් ජීවිතාශාව ඉක්මවාගිය , සුවහසක් හිත් දහිරියෙන් විස්වාසයෙන් කුලු ගැන්වීමේ ජීවිතාභිලාශයක්ද ?
2. චීනා හපනාය. හපනාට නැත්තේ මොනවාදැයි සොයා පිහිට වෙන චීනෙක් එහි නැත. ඇයි මා එසේ කියන්නේ?
නැත නැත. චීනාට ඕනා හපනාට පිහිට වෙන්නට නොවේ. චීනාගේ ඇස් වලින් , ආබාධිත ඔහු හෝ ඇය 'නැත්තෙකු' නොවේ. ඒ හපනෙකි. සොබාදහම විසින් , පැහැර ගත් දෑ වෙනුවට හිලව්වට පිරැවූ විභවයෙන් හාස්කම් දක්වන හපනෙකි. චීනාට ඔහු හෝ ඇය වීරයෙකි.
මේ වීඩියෝව යලිත් වරක් නරඹන්න. ඔවුන් අතක් පයක් අහිමි වූ පමණින් පිහිය විය යුත්තන්ද? එහෙත් මේ උදා වී ඇත්තේ පිහිටෙන් ඉදිරියට යා යුතු කාලය නොවේද? සානුකම්පිත දෘශ්ටිය හපනාගේ අනාගතයට හානි ගෙන දෙයි. පෞරුෂය දුබල කොට දමයි. දයානුකම්පාව යැදීමෙන් ඔබ්බට ගිය වීරත්වයවෙනුවෙන් අප අපේ සිත් අවධි කළ යුතු කාලය මේ යයි මට හැඟේ.
දයානුකම්පාවේ ප්‍රතිපල අපට විවිධ තැන්හි ඇස ගැසේ. නිවෙසක ජීවිත කාලයම කාමරයක මුලු ගැන්වුනු කෙනෙක්? රූපවාහිනිය නරඹමින්. කඩදාසි මල් හදමින්? ආබාධිත හෝ අනාථ නිවාසයක තමා වන්ම පිරිසක් සමග නිස්සද්දව විස්සෝප වෙමින්. නගරයේ පදික වේදිකා, බස් නැවතුම් , බස් රථ වල පිහිට යදිමින්..? අප දිගු කල පිහිට , ඔවුන්ව ගෙන ගොස් රැඳවූයේ කොතැනකද? ආදරයේ දයාවේ රැකවරණයේ අගය අති මහත්ය. එහෙත් ඉන් ඔබ්බට ගිය හයියක් දෙන්නට අපට බැරිද?
ත්‍යාගශීලී හදවත්වලට මා නිගා කරනවා නොවේ. එහෙත් .....???? ඒ ත්‍යාගවන්ත සිත තවත් එක් පියවරක් ඉදිරියට යා යුතු කාලය මේ යයි මට සිතේ.
__
බ්ලොග් පිටු වල අවකැපෙන කතා කීමෙන් , කී කතාව සත්‍ය කරගන්නා ඊලඟ උදාහරණය මා දැයි මා දන්නේ නැත.එහෙත් වරෙක ඒ අභියෝගය මා අතට ගෙන 'මගේ අන්තිම කැමැත්ත' ලියුවෙමි. අද මම ඊටත් අප්‍රසන්න අවකැපෙන කතාවක් කියන්නට යමි.
සිතන්න . මේ ලියන මොහොතේන් පසු එන ඊලඟ මොහොතේ (බසයේ මෙය කුරුටු ගාද්දී වෙලාව දවල් 11.05යි) , මා මේ ගමන් ගන්නා බසය අනතුරට ලක්වී මගේ පාද යුග්මය අහිමි වූවා යයි සිතන්න. මෙය කියවන ඔබට සිතෙන්නේ කුමක්ද? මා රෝහල් ඇඳක , සරීරය බැන්ඩේජ් කොට හුස්ම සහ සිහිය පමණක් ඇති, එලවලුවක් පමනකැයි සිතන්න.
මම ඔබෙන් ඉල්ලීමක් කරන්නෙමි.
මා දකින්නට එන්න. (නාවාට තරහකුත් නැත) එහෙත් ඔබට හැකිනම් මා අභියස නොහඬන්න. මා නොහඬවන්න. මා හා ඔබ හඬා , අනුකම්පාවෙන් මා අකම්පාල නොකරන්න. කැමතිනම් මා ආශා කරන චොකලට්‍ටුවක් වනමින් , මා ඉදිරියට හිනා වී කඩා පැන මගේ ඉතිරිව තිබෙන දැත් තදින් අල්ලා ගන්න. නැගිටිනු නොහෙන පා රහිත අර්ධ ශරීරය නැගිටුවා මා දකින්නට ආශා අහස පෙනෙන, ජනේලය වෙත මා ගෙන යන්න. මා ඇඳේ වැතිර ලියන කවි, බ්ලොග් එකෙහි ලියා දෙන්න. මා කියන්න ලියා දෙනවා වෙනුවට, මට වැතිරී ලියනු හැකි මේසයක් තනා දෙන්න. මට කෑම කවනවා වෙනුවට මට කැම කන්නට පහසු විදියක් තනා දෙන්න. පිහිටත් මග පෙන්වීමත් අතර වෙනස ජීවිතයක් උඩු යටිකුරු මෙන් වෙනස් අන්ත දෙකක් කරා යන බව සිහි කරනු වස්ම මේ ලියමන ලියමි.
ඔබ මට පිහිටක් නොවේ. මා ඔබට බරක් නොවේ. ඔබ මට 'මග පෙන්වන්නෙක් වෙනු උදෙසා' මග හදා දෙන්නේය.
මේ අනුකම්පීය යාං හෑල්ල ලියුවේ ඔබේ අවධානය මා වෙත ලබන්නට නොවේ. මට මා මිස ගත හෑකි වෙන උදාහරනයක් නැති නිසාය. මා මෙය ලියුවේ මා වෙනුවෙන් නම් නොවේ. මේ ලියවෙන්නේ අප තාමත් නොසිතූ කතාන්දරයකි.
අනුකම්පාව දයාව ඇති තැන 'පිහිට වන්නෙකු' වෙන තාක්, අප 'පිහිට යදින්නන්' දස දහස් ගනණක් උපද්දවමු. එහෙත් වීරයන් සොයා යන කුහුලින් යුතුව , ගම් දනව් පීරන 'මග හදා දෙන්නන්' වන්නට අපට හෑකි නම් , ඉන් ඉපදෙනුයේ ලෝකයටම 'මග පෙන්විය හෑකි' වීරයන්ය.
ඉහත වීඩියෝවේ අවසන් කොටස, හෑකිනම් යලිත් නරඹන්න. දකුණත අහිමි සුන්දරියගේත් , වම් පය අහිමි කඩවසම් ගෑටයාගේත් , ඒ තෙත්වූ දෑස් වල පෙනෙන ඒ වීරත්වයේ දිලිසීමේත් , මේ ලංකාවේ පාසලක, ගෙයි මුල්ලක, පදික වේදිකාවක අපෙන් 'පිහිට පතන' අසරණ ඇස් වල තිබෙන දිලිසීමේත් වෙනස ඔබ දුටුවාද?
මේ බැලේ නර්තන ශිල්පීන් දෙදෙනා 2007හි CCTV ප්‍රසංගයේහි ලද රිදී පදක්කම අබිබවා, මහා දිගු කතාවක් ලොවට කියා පාන්නේය. (කතාව මෙතැනින් කියවන්න)
ඔවුන් අද වීරයන් වී හමාරය. ඔවුන්ගේ චිත්ත ධෛර්යය දුලබය. එහෙත් , ඔවුන් වටා උන්නවුන්ගේ ආකල්පය ඔවුන් අද පිහිට යදින්නන් නොකොට මග පෙන්වන්නවුන් කිරීමෙහිලා විශාල මෙහෙයක් කොට ඇතැයි මට සිතේ.