~"~
සිනහ වෙනු මැන
වේදනා පිසදා...
වෙරළ රළ හා තරහ වී නැත
මියුරුසර වෙණ හා බිඳී නැත
අහස සඳු හා උරණ වී නැත
අතීතය මගෙ හදවතේ නැත
සිනහ වෙනු මැන
වේදනා පිසදා...
කඳුල දොම්නස නසන්නට නම්
බමර ගුම් නද අසන්නට නම්
මියුරු ගී කවි අසන්නට නම්
වසන්තය ගැන සිතන්නට නම්..
සිනහ වෙනු මැන
වේදනා පිසදා...
~"~
කොයිතරම් නම් සොඳුරුද? අහස සඳු හා තරහ නොගන්නා සේ, වෙරළ රළ හා තරහ නොවන්නා සේ, මියුරු ගීතයක් වීණාව හා අමනාප නොවන්නා සේ , වෙන් වීමකදී අපිට හතුරන් නොවී හැර යන්නට හැකි නම් කොතරම් අපූරුද? අතීතය සමග උරණ වී වස බෝතල් හොයන, පිහියෙන් අනින සමාජයට මේ සරල අපූර්ව වචන පෙල දෙන සොඳුරු පණිවිඩය කොතරම් හරවත්ද? යම් තාක් දුරට බටහිර රටවලට අහිමි වී ගිය දෘඩ සංස්කෘතිය තද සදාචාරය කොතරම් අපූර්වදැයි මට හිතෙනවා. එහි කුහකකම්, ඉරිසියාවන් , අහිමිවීමෙන් පලිගැනීම් අවම වන්නේ එහි අහිමි වීමක් සමග පසු පසින් එන මහා විසාල සමාජ ඛේදවාචකයක් නැති නිසාම නොවේදෑයි මට හිතෙනවා.
වේදනාවන් සමග අත් බැඳ ජීවත් වෙන්නට වෙන්නට අපි එහිම ගිලෙනවා. ඒ පිසදා හිනහ වෙනවිට අප කරා අපත් නොදැනුවත්වම වසන්තය එලැඹෙනවා. ඒ හදවතේ තිබෙන නොසැලෙන ගුණයට , ඉවසීමට සොබාදහම පවා හිස නමන නිසයි. මියුරු ගී අපට ඇසෙන්නේ, බමර ගුම් නද හැඟෙන්නේ එවිටයි. පසුතැවීමෙන් දුක් අනුභවයෙන් අප අතීතයේ හදවත ඔබා ගිල්වා පණ ගසන්නට හැර බලා සිටිනවා. ඉන් මිදුනු දාට වසන්තයයි... හදවත අතීතයෙන් සහ අනාගතයෙන් නිදහස්!
මේ ගීය අහන මොහොතක් පාසා මගේ ඇස් වල කඳුලු පිරෙනවා. මන්ද එතරම්ම ජීවිතය තුල වේදනා පිසදා ඉවසීමෙන් සිනහ මුවින් ජීවත් වන්නට මා උගෙන තිබෙන්නේ ජීවිතයෙන්ම නිසයි.. අතීතය සමග මා කවදාවත්ම තරහ උනේ නෑ. අතීතය මත හඬා වැටුනේ නෑ. දවසින් දෙකින් මා තනිව හැඬූ ඇස් පිසදා, හේබා ගිය හදවත වැරෙන් නැගිටුවා මුවගට සිනහව බලෙන් හෝ ගෙන ආවා. දුක තුනී වෙනයුරු මා බලා සිටියා කැඩපත ඉදිරියේ සිනහ වෙන ජීවිතේ මල් දෙස බලමින්. ඒ අතින් බැලුවම මට ජීවිතේ මල් කියන නම නම් අපූරුවට ගැලපෙනවා කියා හිතෙනවා. අතීතයේ නොයෙකුත් තැන් වල මුරණ්ඩු උන, වරද්ද ගත්, දුක් උන, මා සමගම අමනාප වුන, පසු තැවුන, හැඬුව ජීවිතේ මල් සමග මම කවදාකවත් අමනාප උනේ නෑ. ඈ සමගම මා සිනහ වෙන්නට උගත්තා.
මිනිසුන් මා දෙස බලමින් වෙලාවකට ප්‍රශ්න කරනවා මෙහෙම. 'අනේ ඔයා කොහොමද මෙහෙම ගලක් වගේ හයියට ඉන්නේ...? මෙහෙම හිනා වෙලා ඉන්නේ?' ඒ වෙලාවට නම් මාත් ටිකක් මම ගැනම සැක පහල කර ගන්නවා. මම හිතෙන් ඒ ප්‍රශ්නෙ අහන ඈයින්ටයි සෑක උපදවන මටයි උත්තර දෙනවා.'අතීතය මගෙ හදවතේ නැත..අහස උසට අනාගත සැලසුම් නැත.. '
මම මීට කලින් ලියුව අතීතය සිහිනයක් පමණයි ගීයත් මෙතරම්ම මගෙ හදට කා වැදුන ගීයක්.
මේ ගීය නම් ඉතාම සරල බසින් ලියවුන සොඳුරුතම ගැඹුරු දහමක් අපේ ජීවිතයට කියා දෙන පද පෙලක්.
සුනිල් එදිරිසිංහයන්ගේ ලයාන්විත හඬ සමග පසුබිමෙන් ගලා යන මියුරු වස්දඬු රාවය පමණක්ම හද තවන නිවන භාවනාවක් වගෙයි. හිත මගෙන්ම අහනවා, ඇයි මෙවන් සොඳුරු ගී දැන් නොලියවෙන්නේ? නොගැයෙන්නේ? එය නම් ජාතියේම අවාසනාවක් !
ගීය අහන්නකෝ
හ්ම්ම්ම්ම්ම්ම් කියන්න වචන නෑ උපරිමයි අක්කේ පෝස්ට් එක....
ReplyDeleteගීතයත් ඊට නොදැවිනි නෑ අක්කේ....
ප්‍රශ්න වලින් හිරවලො ඒවායෙම ගිලිල ඉන්න අයට ඉන් ගොඩවෙන්න මේ තියෙන්නේ හොඳ උත්තරයක්. අතීතය ගියා. ඒක ආයේ එන්නේ නෑනේ. එහෙනම් ඇයි අපි ඒ පස්සේ දුවන්නේ. අමතක කරමු ඒ සියල්ල........
ReplyDeleteමේ ටික නම් මටත් නිතර හිතෙනවා"ඇයි මෙවන් සොඳුරු ගී දැන් නොලියවෙන්නේ? නොගැයෙන්නේ? එය නම් ජාතියේම අවාසනාවක් !"
කෙනෙක් වීර්යයෙන් හිනාවෙලා ඉන්නවා දැක්කාම, " ඔහොම ඉන්නේ කොහොමද" කියලා අහන්නේ, තව කෙනෙක් ගේ වැටීම දැකලා සතුටු වෙන මිනිස්සුයි. හිනා වෙන්න උදව් කරන කෙනෙක් කවදාවත් එහෙම අහන්නේ නෑ! අට ලෝ දහම දන්නේ නැති ලාමක අය කියන කථා වලින් සිත් සංකා නූපදවා, තව තවත් සිනාම වෙනු මැන කඳුළු නොසලා!
ReplyDeleteජිවිතෙ මල් කියන නම දකින්නෙ මෙ අවුරුද්දෙ පෙබරවාරි මුල ඉදලා.. එ නම දකිද්දිම මට දැනුන දෙ මම දවසක් අක්කාට කිව්වා.අපි ඔක්කොම අහුවෙලා ඉවරයි දැන් කරන්න දෙයක් නැහැ.වැරදි නිවැරදි කරන්න ගන්න හැම උත්සහයක්ම තවත් ප්‍රශ්න ගොඩක් ඇති කර ගැනිමක් විතරයි. එ නිසා මෙ තියන ප්‍රශ්න ගොඩ දාගැනිමට වැඩිය මින් සතුටු විම යහපත් යැයි හැගෙනවා.
ReplyDeleteරවා...
හසියෝ...
ReplyDeleteස්තූතියි....:) හැබැයි මේ පෝස්ට් එක සොඳුරූ වූවා නම් ඊට වග කිය යුත්තේ මේ සොඳුරු ගීතයයි :)
ප්‍රියන්ත අයියේ...
ReplyDeleteඒක නේන්නම්.... සරල වචන, මාධූර්යය උපදවන නිවෙන සුලු මියුරුසර, කඨොර සද්ද බද්ද නැති තනුව, මේවා අපෙන් ගිලිහුනේ මොන පවකටද?
රවා මල්ලියා සහ ඈනී
ReplyDeleteමේ සංසාර බන්ධනය අපෙන් මේ භවයෙදිවත් නිදහස් කර ගත හැකි නම් කොතරම් අගේද?
කෙසේ වෙතත් අපි මේ සිනහවීම කියා ගීතයේ අදහස් කරන්නේ උපේක්ශාව නොවේදෑයි මම අසන්නට කෑමතියි.....
ඇත්ත. මමත් කලින් දවසක කිව්ව වගේ අපිට තියෙන්නෙ පරණ තැටි අහන්න විතරයි. ඒවත් අපේ පරම්පරාවෙන් පස්සෙ තව පරම්පරා දෙක තුනකින් ඉවරවෙයි. එතකොට අපේ සිංහල සංගීතය කියන්නෙ මොකක්ද කියල කියලදෙන්න කවුරුවත් ඉතුරු වෙන එකක් නෑ. හොඳකට තියෙන්නෙ ඒ වෙද්දි අපි ඉන්න එකක් නැති එක විතරයි.
ReplyDeleteකේඩීකේ ධර්මවර්ධනගේ පදවලට වික්ටර් රත්නායකයන්ගේ සත්සර...
කඳ හෙල් වලින් සමන්විත අතීතයක සුන්දර නැද්ද?
ReplyDeleteමොකද මේ එක පාරට මේ වගේ ලිපියක් .............
ශෝකයත් රසයක් කියල කලාවෙදි නම් කියනවා. ඒ වුනත් ජීවිතේදිනම් ශෝකයේ ඇලී ගැලී වාසය කිරීම භයානකයි. දිල්ගේ මේ පෝස්ට් එකෙන් සහ එයත් එක්ක තියෙන සිංදුවෙන් අපි ඉන්නෙ ඕනි කොහොමද කියල තියෙනවා. සති දෙකකට වඩා ගැඹුරු ශෝකයෙහි ගිලී සිටීම depression හැදීමට හේතුවෙනවා මනෝ වෛද්‍යය වරු පවසනව. ඒකෙන්ම තේරුම් ගන්න පුළුවන් "සිනහ වෙනු මැන වේදනා පිසදා..." කියන අදහසේ වටිනාකම. මේ පෝස්ට් එක හරිම අගෙයි...!
ReplyDeleteඅනේ නඟේ අපූරු ලිපියක් හැමදාම හොඳම දේ ලබාදෙන ජීවිතේ මල් ගෙන් . . .
ReplyDeleteමමත් හැමදාම වේදනා පිසදා සිනහ වුනු කෙනෙක් . . .
එක කාලයක් නිතර හිනා වෙලා ඉන්න මගෙන් උඹ කොහොමද බන් ඔය තරම් සතුටෙන් ඉන්නේ කියලා කවුරුහරි ඇහුවාම මම හිතෙන් දෙන උත්තරේ අඩන්න බැරි කමට කියන එක . ..
ඒත් පස්සේ කාලේක මට පුලුවන් වුනා ඇත්තටම හිනා වෙන්න . .
ඉන් පස්සේ මම හැමවෙලාවේම උත්සාහ කරන්නේ අඬන්නේ නතුව ඉන්න . ..
මමත් හැමදාම හැමෝටම කියනවා ජීවිතේ වැටීම් වලදී ඊට වඩා ජවයකින් නැගිටිය යුතුයි කියලා . . .
ඒත් සමහර වෙලාවල් තියෙනවා මම වැටෙන . .. . මටම හිතෙනවා මට ආයේ නැගිටින්න ම බැරි වෙයි කියලා හිතෙන . . .
මේ ලිපිය මට මගේ ජීවිතය ගැනත් මගේ වැටීම් ගැනත් ආයේ පාරක් හිතන්න පොළඹවනවා නගේ . .
වැටුනු මට නැඟිටින්න බැරිව ළතවෙන්නේ අතීතය හිතේ හොල්මන් කරන නිසාමත් නොවෙයි . . ඒත් කියා ගන්න බැරි මටවත් නොතේරෙන මොකද්දෝ හේතුවක් . . .
නැගිටින්න ඕන කියලා වද දෙන හිතට මේ ලිපිය සවියක් වෙන බව මට විස්වාසයි . . .
ස්තූතියි
කඳුල දොම්නස නසන්නට නම්
ReplyDeleteබමර ගුම් නද අසන්නට නම්
මියුරු ගී කවි අසන්නට නම්
වසන්තය ගැන සිතන්නට නම්
ඔව් , සිනහ වෙමු අපි වේදනා පිසදා .....................
මෙහෙම කියන්න පහසු උනාට ජීවිතේ එන හැලහැප්පිලි වලට සිනාවෙන් මුහුණදෙන මිනිස්සු ඉන්නේ බොහොම කලාතුරකින් , සිනහව කඳුල අතරේ දෝලනය වෙන මේ ජීවිතේ වැඩි වැඩියෙන් සිනහ මල්වලට පිපෙන්න ඉඩ දෙන්න අපට පුළුවන් නම් එක පිට එක කඳුළු වැහි වලට මුහුණ දෙන්න ඒක ලොකු හයියක් වෙයි කියලයි මටනම් හිතෙන්නේ .
itha honda wedak. rasaaswadaya samajayen aeth wela. suba pathanawa. hekinam gee makaranda program eka ahanna lak fm eke. obe daayakathwaya wedagathwewi. every sunday@7pm
ReplyDelete