Tuesday, April 24, 2012

[245] ඇගේ ඝාතකයාගේ කතාව !


මම ඉපදුනෙ කොහෙද කවදද කාගෙ ලඟද කියල මමවත් දන්නෙ නැහැ. කොහෙහරි ෆැක්ටේරියක මුල්ලක එහෙම නැතිනම් වැඩ බිමක අම්මෙක් අප්පෙක් නැතුව මම මේ ලෝකෙ තනිවෙලා ඉන්ඩ ඇති කවුරු හරි මාව හොයාගන්නකල්. ලොකු වෙනකල් ලොකු දුක් ගොඩක් විඳගෙන මටම මගෙ ජීවිතෙ ගැටගහ ගන්ඩ උනා. අදටත් එහෙමයි. ඒත් ආයිමත් මම හිතෙන් නොහිතුවට මිනීමරුවෙක් වුනා. එහෙම උනේ කොහොමද කියල අදටත් මට ප්‍රශ්නයක්.

එදා හරිම මූසල දවසක්. ජීවිතේ ගතවුන තව දවසක් සුපුරුදු වැඩ මුරයට. වෙහෙසක් නැහැ. එදා වෙච්චි මේ සිදුවීම හැරුනාම. වැඩ කරගෙන යද්දි ඈව මම දු‍ටුවෙ අහම්බෙන්. මම මගේ පාඩුවෙ ගමනක් යමින්. ඒත් ඇගේ බැල්ම හරිම අමුතුයි. ඈ මා දිහාම බලාගෙන හිටියා. හරියට මෝහිණී වගේ. (එහෙම කිව්වට මට නම් ඔය රෑ ජාමෙ යන ගමනකදි මෝහිණිව මුණ ගැහිල නම් නැහැ.) (සිනා)

ඒත් ඈ හරිම වෙනස් බැල්මකින් ඉන්නෙ. මගෙ දිහාවටම ඇස් යොමාගෙන (හරියට මාව කන්ඩ වගෙ) මම තවත් ඉස්සරහට යනවා. ඇගේ දසුන එන්න එන්නම විශාල වේගෙන අපේ පරතරය අඩු වේගෙන එනවා. මට මහ අමුත්තක් දැනෙන්නට වුනා. මෝහිණිගෙ වශීකරණයද දන්නෙත් නැහැ. ඇගේ අමුතු මුහුණ දිහාවෙන් මගෙ ඇස් ඉවතට ගන්නත් බැහැ . මගෙ හිතයි ගතයි දෙකම නිකම් පැහැරගෙන කවුදෝ යන්නා වගේ තමයි දැනුනෙ. හිත එකපාරටම පස්සට ඇදෙන්නටත් ගත වාරුවක් නැතිවම ඉස්සරට යන්නටත් ගන්නකොට මොන වගෙ දෙයක් දැනෙනවදැයි ඔබට හිතිල තියනවද? කාල රේඛාව උඩ මොන තරම් හරඹ කලත් තිරිංග නැති ජීවිතේ ඉස්සරහට යනවා. නවතන්නට බැරි කාලය! මට වේගෙන යන දේ මටවත් නොතේරුනාට මට කෑගැස්සුනා. මගේ දර්ශනයෙන් ඈව , ඇත්තටම ඇගේ දර්ශනයෙන් මාව ඈත් කරවන්නයි මම එහෙම කලේ.  එහෙම නොවුනොත් මම ස්ත්‍රී ඝාතකයෙක් වෙන එක වලක්වන්න ඈට බැරි වේවි. ඒත්....

 ඈ දැන් ඉස්සෙල්ලා තරම් පුංචි තිතක් නොවෙයි. මගෙ ලඟම! මම ඇයත් ඇය මමත් පසුකලේ එක් මොහොතක් ගතවෙද්දි. ඒ මොහොත මගෙ හිතේ ඇති කළේ මොකක්දෝ ගැස්මක්. ඒ ඇස් හිතුවක්කාරද? බියකරුද? ඇගේ මුවෙහි වියරු සිනහවක් මට මතකයි. ඒ ඇගේ අන්තිම හිනහවද? Today is the first day of the rest of my life!  ඈට එහෙම නොහිතුනු එකද වරද?

මට ඕනෙ උනෙ ඉවත දුවන්න. එහෙම නැතිනම් ඈව ඉවතට එලවලා දාන්න. ඈව විනාස වෙන්න කලින්. මට වෙන්න විනාසයක් නැහැ. හිතා මතා නොවුනත් මගෙ අතීතයෙ ලේ පැල්ලම් එක දෙකක් නොතිබුනාම නොවෙයි.

ඒ උනාට. ඈත් පරක්කුයි. මාත් පරක්කුයි. ඈට ඕනෙ උනේ මාව මිනීමරුවෙක් කරන්න! මම නතර වෙලා ආපිට හැරෙන්න කලින් එහෙම හිතුව . ඒත් ඈ පව්.. !ඈට ඕනෙ උනෙ නෑ මාව මිනිමරුවෙක් කරන්න. ඒත් සහතිකයි ඈට ඕනෙ උනා මැරෙන්න.  ඈ කැමති උනේ ඒ උත්තරේට.

මට ඒක තවත් ලේ පැල්ලමක්! ඈ හිතන්න ඇති එහෙම. ඒත් ලේ පැල්ලම් පිරිච්චි මේ මූනත් තහඩුව ගැන කවුදෝ පද යොදල  තාල අල්ලන තරම්,  කොහේදෝ ඉන්න බ්ලොග් කාරියක් ඒ ගී
පද ගැන කතාවකුත් ලියන්න තරම් , ඈට වගෙම අපිටත් රිදුන බව නම් ඈ දන්නෙ නැතිව ඇති. ..
~'~ 
පෙරුම් පුරාගෙන ආ සංසාරේ
පැතුමද සුණු විසුණුව වැ‍ටුනේ
කවුරුද හැඬුවේ ? කාටද රිදුනේ ?
දුම්රිය මොහොතක් නතර වුනේ...

මලක් වගේ රොන් සුවඳ වගේ
ජීවිතයේ සුව අපමණ වේ
දොලක් වගේ දිය දෝත වගේ
ජීවිතයේ අම සිසිල දැනේ

වරක් නෙතග කඳුලැලි පිරුනාදෝ
සිතට දරාගනු බැරි දුක් වීදෝ
දිවිය මොන තරම් සුන්දරදෝ
දුකම කොයි තරම් සතුටක්දෝ.. 
~'~

ප.ලි.  
සේනානායක වේරලියද්ද ගැයූ මේ ගීය වාර ගණනාවක් ඇහුවත් එයින් කියවෙන්නේ දුම් රියකට පැන සිය දිවි නසාගත් යුවතියක් පිලිබඳව යැයි මා දැන ගත්තේ මේ ඊයේ පෙරේදා. මේ ගීයත් එහි කතාවත් එලියට ආව ලන්ච් එකට සහ කතාව කිව්ව ලකීයාට මගේ ස්තූතිය ! 



18 comments:

  1. ලස්සනම ගීතයකට ලියුණු ඊට වඩා ලස්සන කතාවක්... හදට දැනුණා..

    ReplyDelete
  2. සුනාමි ව්‍යාසනයෙන් පස්සෙ මේ ගීතය ගොඩක් හදවත් වලට කඳුලක් ගෙනාවා..
    මමත් ආසම ගීතයක්.. :)

    ReplyDelete
  3. අර ප.ලි කොටසේ කතාව මම දැනගත්තෙත් දැන්නේ..

    ReplyDelete
  4. කෝච්චියක් කතා කරයිද ?

    ReplyDelete
  5. පිස්සු හැදෙනවා අප්පා මෙව්වා බලද්දි නන්.......

    ReplyDelete
  6. හපොයි!!! මේ මොකද උනේ? :(

    ReplyDelete
  7. මේක නම් මම හරිම කැමති ගීතයක්. ගීතයට ලියල තියන කතාව, ගීතයටත් වැඩිය ලස්සනයි. කතාවේ අන්තිම හරියට එනතුරුම තේරුනේ නැ මොකක් ගැනද කියන්නේ කියල. ඔයාගේ ලිවීමේ හැකියාවනම් විශිෂ්ටයි.

    ReplyDelete
  8. මේකට නම දාන්ට තිබ්බෙ දිල් '' අනිච්ඡානුග ඝාතකයාගේ කථාව" කියලයි...The story of an involuntary assasin

    සේනානායක වේරලියද්දගෙ ඔය ගීතය මුලින්ම අහපු දවසෙ ඉඳලම මගෙත් හිත තදින්ම ඇද බැඳගත් ගීතයක්..ඒත් රචකයා ඔය පදරචනාවෙන් අදහස් කලේ මොකක්ද කියල මම දැන ගත්තෙත් මේ බොහොම මෑතකදි...මට මතක විදිහට සිළුමිණ රසඳුනේ ඒ පිළිබඳව පළවූ ලිපියකින්....මට කොහොමවත්ම හිතුනෙම නෑ මේ වගේ සිද්ධියක් නම්....

    ඔය වගෙ අපිට කිසි දවසක නොහිතෙන සිද්ධියක් පසුබිම් කරගෙන ලියවුණු ගීත අනන්ත අප්‍රමාණ ඇති. වෙන්නෙ අපි ගීතය අහනකොට අපේ හිතේ මැවුණු අර්ථ විවරණයෙ පිහිටල ගීතය රස විඳිනවා. එක අතකට ඒකෙ වැරැද්දකුත් නෑ. කලා නිර්මාණයක ඒකල අර්ථයක් තියෙන්නම අවශ්‍ය නැහැනෙ. තම තම නැණ පමණ...:)

    ඔය වගෙ ගීතයට පසුබිම් උන සිද්ධිය මේ සම්ම ජාතියෙ හිතාගන්ට බැරි තව ජනප්‍රිය ගීතයක් දන්නවය?

    සුනිල් එදිරිසිංහ මහත්මයා ගයන ''පුර පෝය හඳට පෙමින්බැඳුණු තාරකා ලඳුන්'' ගීතය අහල ඇතිනෙ අනිවාර්යයෙන්...දන්නවද රචකයගෙ අර්ථ කථනය මොකක්ද කියල...රචකය මතක නම් නෑ..මේ අර්ථ විවරණයත් මම දැක්කෙ සිළුමිණේමයි මතක විදිහට.

    මේකෙ කියවෙන්නෙ විවාහාපේක්ෂිත යුවතියක් ගැන.පුර පෝය හඳ කියන්නෙ මනමාලයා. පෙමින් බැඳුනු තාරකා ලඳ = යුවතිය....එතකොට නීල වලාව කියන්නෙ කවුද දන්නවය...you would never believe it....හෙහ්, හෙහ්, මඟුල් කපුවා බොලේ මඟුල් කපුවා..

    ReplyDelete
  9. අහ්! කවදාවත් ඔය සින්දුවෙ තේරුම ගැන හිතන්න කම්පනාවට අවෙ නෑනෙ මේ වෙනකම්ම.

    ReplyDelete
  10. මම ඉස්කෝලේ යන කාලේ එක දවසක් රේල් පාරේ කාන්තාවකගේ සිරුරේ කොටස් විතරක් විසිරිලා තිබුනා දැක්ක. ඒ අතරේ තිබුන පුංචි ළදරුවෙකුගේ ලෙස වලින් ගොතපු එකම එක මේස කකුලක්.. ඒ දර්ශනය අදත් මගේ සිතේ ඇඳිලා තියෙනවා.

    ReplyDelete
  11. කතාව නං දැනගන හිටියා. ඒත් දිල් හරිම ලස්සනට දුම් රියට පන දීලා තියනවා. සිංදුව කියවලා ආයෙත් සටහන ආයෙත් කියෙව්වා....

    ReplyDelete
  12. කීපාරක්නම අහපු සිංදුවක්ද..... තේරුම දැනගෙන හිටියට හිත පතුලටම දුක දැනුනේ අද......... :(

    ReplyDelete
  13. රවි අයියගෙ කමෙන්ට් එකත් දිල්ගෙ පෝස්ට් එකත් ගීත දෙකත් එකට කියෙව්වා.....

    මේකෙ කියවෙන්නෙ විවාහාපේක්ෂිත යුවතියක් ගැන.පුර පෝය හඳ කියන්නෙ මනමාලයා. පෙමින් බැඳුනු තාරකා ලඳ = යුවතිය....එතකොට නීල වලාව කියන්නෙ කවුද දන්නවය...you would never believe it....හෙහ්, හෙහ්, මඟුල් කපුවා බොලේ මඟුල් කපුවා..

    ReplyDelete
  14. ගොඩක් ලස්සනයි

    ReplyDelete
  15. වැඩ වැඩි වෙද්දි හරිම අමාරු වෙනව එක එක කොමෙන්ටුවට පිලිතුරු දෙන්න. ඒ ගෑන අමනාප වෙන්නෙපා ප්ලීස්.......

    ඔයාල හෑමෝටම ගොඩාක් ස්තූතී මගෙ ලිපි කියවනවට සහ ඒවාට දිරිමත් කරමින් උත්තර ලියනවට....

    පින්!

    ReplyDelete
  16. ඒ සින්දුවෙ බේස් ගිටාර් එක හරි රිදම් ගිටාර් එක හරි ලස්සනට වදිනවා...මං ඒකට ආසායි

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->