සංකේත මත යැපෙන අපි ...(කට හම යනකන් ජීවිතය හම ගැසූ කයි කතන්දර 6)
හූනෙක් චුක් චුක් කිව්වොත්...? පය පැකිලිල ගමනක් යන්න යද්දි වැටුනොත් ? එලියට බැස්සම ආයෙත් අමතක වෙච්ච දෙයක් ගේන්න යන්න උනොත් ? ... ඉස් ඉස්සෙල්ලාම කලු සතෙක් මුලිච්චි උනොත් ... ? " චහ්.... අසුබද මන්දා....? " ඔහොමයි අපේ කට්ටියක් හිතන්නේ... මට මේ කතාව කම්පනාවට ආවේ පහුගිය දවසෙ දෙකේ මේ වගේ ගොඩාක් දේවල් කන වැකුන නිසා....
නැගෙනහිරින්ද කිරි ටික ඉතුරුවේ..? හෝස් ගාලා නෙමෙයි.. බොහොම අමාරුවෙන්..ලිප ඉතුරුනේ...අලුත් අවුරුද්දේ ඉස් ඉස්සෙල්ලම බැංකුවෙන් සල්ලි ගන්න නරකයි.... තැන්පත් කරන්න ඕනා... නැත්නම් අවුරුද්දම මූසලයි.... ඉතුරුවක් නැහැ... ඉස් ඉස්සෙල්ලම පන්සලකට යන්න ඕනා... එතකොට "හිතට" හොඳයි.... දෙවියනේ .. අපි මුලු ජීවිතේම අර්ථ ගන්වන්නේ සංකේත වලින්ද? මේකේ හරි වැරැද්ද කතා කරන්න මට අයිතියක් නැහැ... මම එය හොයන්නේත් නැහැ.. ඒත් එහි අඳුරු විපාක සහ සුබවාදී විපාක ගැන කතා කරන්නම හිතෙනව..
අපේ අක්කා , ගෙදර උයන ගෑස් ලිප පත්තු කරන්නේ ගිනි පෙට්ටියකින්.. ඒ නිසා ගෙදර කොයි තරම් ලිප මෙලවෙනවද කියන්න ඒ ගිනි පෙට්ටි ගාන හොඳ සංකේතයක්... ඉතින් එය දකින කොට ඒ සංකේතය තව තවත් උයන්න පොලඹවනව කියල එයා කියනව. ඒ නිසා ඈ ගිනි පෙට්ටි කන්දක් වගේ එක උඩ එක ජනෙල් පඩියේ ගොඩ කරනව ඉවර වෙන වෙන ගානට...
ගෙදරින් එලියට යනකොට පානක් පත්තු කරල යන්න... යන වැඩේ හරි යනව... මේ තව කන වැකුන දෙයක්.... මෙතැන්ට මම ආගම ගාව ගන්නේ නැහැ..මෙය ආගමට අදාල කතාවක් නෙමෙයි. ඒත්... ඒත්.... ඒත්...
අපේ ජීවිතයම සංකේත වලින් අර්ථ ගන්වන්න අපි හුරු උනොත් , ඒක ඇබ්බැහියක් වෙන්නෙ නැද්ද? අපිට ඉස්සරහට ඔය කියන ජාතියේ අසුබ දෙයක් හම්බ උනොත්, අපි කියනව හිතට හරි නැහැ කියල... මොකක්ද හරි නැත්තේ? ඇයි අපි එච්චර මනසින් දුර්වල වෙන්නේ ? අපිම නේද අපේ මනස දුර්වල වෙන්න මෙහෙයවන්නේ..
මම තව කතාවක් කියන්නම්... මේ මගෙ යාලුවො අතරෙ වෙච්ච දෙයක්... කතුරකින් නිස්කාරනේ කොල කපන එකට සංකේතයක් දීල තියනව, එතැන අඩ දබර වැඩි වෙනව කියල... ඉතින් මේ පණ්ඩිතකම් කියන මාත් මගෙ අසල උන්න යාලුවෙක් කතුරකින් කීතු කීතු කොල කපද්දි , මටත් කියවුනා "නවත්තන්න ඕක.... හොඳ නැහැ එහෙම කරන්න" කියලා.. එතැන්දියි මටත් තේරුනේ මාත් නොදැනුවත්වම එය මා තුලත් තියෙන බව...
කට වරදින එක තවත් එකක්... ගමනක් යද්දි අපේ තාත්ත හරියට අපට කියනව "තව කොච්චර වෙලා යයිද?" කියල අහන්න එපා කියල.... එහෙම අහන්න එපා කියන්නේ ඇයි ඇහුවම , එයා කිව්ව.. ඒවා දෙවියන්ට අයිති , දෙවියන්ගේ පිහිටෙන් වෙන දේවල්... දෙයියනේ.... මෙහෙම හැමදේම දෙයියන්ට , නොපෙනෙන බලවේග වලට බාර කරන්නේ ඇයි?
මේ හැමදේකම සංකේතයක් දකින් එක ලෙඩක්ද මන්දා සමහරුන්ට.. සංකේත කියන්නේ අපේ ඇස් වල සහ හිත් වල අපි පිලිගන්න , විස්වාස කරන්න කැමැති දේ සහ, පිලිගන්න තේරෙන්නේ නැති, තර්කයකින් විසඳ ගන්න බැරි සිදුවීම් වලට කරන අර්ථගැන්වීම්දැයි මට හිතෙනව. තාර්කික නොවන පලියට, අපට අවිශය පලියට ඒවා බොරු පුහු දේවල් යැයි කියන්න තරම් අන්තයකට යන්න මම කැමැති නැහැ... අප ලෝකයේ , අපට අවිශය (අචින්ත්‍ය විෂයන්) තිබෙන බව පිලි ගත යුතුයි. ඒත් මේ සංකේත ගැන්වීම..? පමණට වැඩි යැයි මට හිතෙනව....
ගමනක් යන්න යද්දි ආයෙමත් හැරී යන්න උනොත් අමතක උන දෙයක් ගේන්න, දෙයියනේ නොයා වෙන මක් කොරන්නද? එයින් බොරුවට හිත වට්ට ගන්නේ අපිමනේ... මොකටද වැටෙන්නේ? ලෝකෙ කඩා වැටුනෙ නැහැ නොවැ... සැහැල්ලුවෙන් ගමන යන එකයි තියෙන්නේ... ගමන ගිහින් ඇවිත් , යම් හෙයකින් එය සාර්ථක ගමනක් උනොත් , අපි උවමනාවෙන්ම සංකේතාත්මක අසුබ සිද්දිය මකා දානව හිතෙන්. එහෙම නැත්නම් එය නිකම්වත් මතක් කරන්නේ නැහැ. යම් හෙයකින් ගමන අසාර්ථක උනොත්..අන්න අපිට අර "බාධාව" මතකෙට එනව.. අසාර්ථක වීමට හොඳ හේතුවකුත් දෙමින්.... මේ චින්තනය අතාර්කික දෙයකැයි මම නම් හිතනව... මොකද අපි තහවුරු කරගන්න කැමැති දෙයට අපි සංකේතයක් දෙනව.. ඒ තරම් සංකේත මත ජීවත් වෙන්න ගියොතින් අපේ දින චරියාවම පිස්සුවක් වෙනවා... අපිට දස අත සංකේත පෙනෙන්න ගනීවි..
ඒ නිසා......පෙරදා රෑ දුටු හීන වලට,, ඉස්සරහට මුලිච්චි වෙන නිමිති වලට, පාට වලට, රූප වලට, පහන් වලට .. හිත සංසුන් හෝ නොසංසුන් කරන්න දෙන්න එපා... එය ඔබේ දුර්වල මනසට , ආත්ම විස්වාසය හීන බවට සාධකයක් විතරයි... බොලඳ ලෙස සංකේත වලට වහල් වෙන්න එපා.. දුටු පමනින් එය අත් හරින්න... ඊට යන්න දෙන්න... එයට හිතේ හොල්මන් කරමින් හිත වාලෙක් කරගන්න දෙන්න එපා... හිතට එන බිය,තැති ගැන්ම වගේ හැඟීම් එක්ක හිතට සෙල්ලම් කරන්න , සෙල්ලමෙන් හිතට පැරදෙන්න දෙන්න එපා... හිත ජය ගන්න... ජය ගත යුත්තේ ඔබේ ආත්ම විස්වාසයයි.... නොදුටු, අර්ථ ගන්වන ලද බලවේග නෙමෙයි....
තව දෙයක්... යම් හෙයකින් සංකේතයක කී දෙයක් යයි ඔබ විස්වාස කල දෙයක් ඇත්ත උනා කියල හිතන්න... හිත නොවැටී යලි උත්සහ කරන්න හදා ගන්නව මිසක් ඔබට උවමනා සංකේතයට දලුලා වැඩෙන්න දෙන්න එපා...
මේ මගේ පෞද්ගලික හැඟීම....
මේ දවස්ටිකේ හැමතැනම කතා වෙන්නෙ ලග්නෙට මේ අවුරුද්ද කොහොමද කියලායි. ඉතින් අසුබ දෙයක් කියලා තිබුණොත් ඒ ගැන ම හිත හිතා ඉඳලා අවුරුද්දම කාලකන්නි කරගන්නවා. හිත වැටෙනවා කියන්නෙ ඒ අසුබ දේ අනිවාර්යයෙන්ම වෙනවා කියන එකයි..
ReplyDeleteඅපි අසුබ දේ අමතක කරලා සුබ දේ විතරක් හිතේ තියාගෙන උත්සාහයෙන් වැඩ කලොත් අපල මඟහරවාගන්න/අඩු කරගන්න පුලුවනි. (කෙනෙක්ට දෙවිකෙනෙක් බටකොල කාපු කතාව මතක් වේවි උත්සාහයෙන් අපල මගහරවන්න පුලුවන් කීවාම. මේ ගැන ලිපියක් පුලුවන් වෙලාවක ලියන්නම්)
කර්මය කියලා දෙයක් තියෙනවා. නමුත් කියන තරම් යකා කලු නෑ.
සහෝදරී... කතා දෙකක් කියන්නම්
ReplyDelete1. මට අවුරුදු 23-24 කාලෙදි කේන්දරේ බැලුවා.. ස්ථිරවම එක මතයක් .. "මෙයාට මෙතනින් එහාට ඉගෙන ගන්න බැහැ".. ගමගේ මහත්තයා දිවුරලා කිව්වා.. දෙමව්පියෝ ඇතුළු හැම දෙනාම විරුද්ද උනා.. සඳ මාව රැගෙන ගියේ පාස්පෝට් එකයි ඇඳුම් කෑලි දෙකයි විතරක් අරගෙන.. මං අවුරුදු දෙකකින් ආවෙ පළමු පංතියක් සමග පශ්චාත් උපාදියක් එක්ක..
2. මං ඉස්සෙල්ලාම සඳට දුන්නෙ අර වෙද මහත්තුරු ගාව තියනවා වගේ පොකට් ඔරලෝසුවක්.. මොකද එයා අතේ ඔරලෝසු බඳින්නෙ නැහැ කියලා මම නෝටිස් කළා.. එයා ටික දවසකින් ඒක කඩා ගත්තා.. ඊට පස්සෙ නැති කර ගත්තා.. අපේ ආදරේ පළමු සංකෙතය නැති උනා.. ඒත් ආදරේ තාම තියනවා..
මේක සංකීර්ණ නිර්වචනයක්..
රොෂාන් .. හැම දේම රඳා පවතින්නේ අපේ හිත මත.. එය මෙහෙයවන්නේ අපි මිසක් නොපෙනෙන බලවේග නෙමෙයි. ප්‍රශ්නේ බොහෝ දෙනා එය දන්නේ නැති එක... අනික මම නම් කියන්නේ සුබ දේවල් උනත් ඊට වහල් වෙලා සුබ හැටියට දකින්න නරකයි. අපේ අධිෂ්ඨානය මතයි දෙයක සාර්ථකත්වය තීරණය වන්නේ
ReplyDeleteපුරසඳ
1 කතාව තුල සංකේතයක් නැහැ. එහි ඇත්තේ අනාවැකියක්. අනාවැකි මත ජීවිතය ගොඩ නැගිය නොයුතු බව ලිවිය යුතු යැයි සිතුනා. එහිදී මෙය ගැන ලියන්නම්.
2 කතාව - ඔව් සංකේතයක්. මෙහිදී යම් දෙයක් තේරුම් ගත යුතුයි. මම මේ ලිපියෙදිමත් සඳහන් කලා එක් දෙයක්. මේ ලියන මාත් අඩු වැඩි වශයෙන් සංකේත තුල මනස මෙහෙයවන කෙනෙක්. මේ ලිපිය ලිවීමෙන් මා අදහස් කලේ නැහැ මා සංකේත වලට කිසි සේත්ම අනුගත වුනු හෝ නොවුනු කෙනෙක් වැනි චිත්‍රයක් දෙන්න. මොකද මේ ලිපියේ අරමුන මා හෝ කා ගැනවත් විනිශ්චයක් දීම නෙමෙයි. සංකේත වල හොඳ හෝ නරක පැති දෙකම විග්‍රහ කිරීමයි. එය මත යැපීමේ ආදීනව කීමයි.
එක් සංකේතයක් හෝ සංකේත කිහිපයක් මත යැපුන පමණින් , ඔහු හෝ ඇය එහි වාලෙක් යැයි අදහස් කිරීමත් නිශ්පලයි. ඒ වගේම සංකේත බහූතරයක් ප්‍රතික්ශේප කල පමණින් ඔහු හෝ ඇය ඉන් ස්වාධීනයි අදහස් කිරීමත් නිශ්පලයි. ඒ වගේම සංකේත කිහිපයක් ප්‍රතික්ශේප කල පමණින් ඔහු හෝ ඇය තුල සංකේත කිසිවක් නැතැයි කීමත් නිශ්පලයි.කොටින්ම කීවොත් මේ මාතෘකාව මත කිසිවෙකු ගැන විනිශ්චයක් දීමක් නැහැ.
to all...
මෙහි මගේ ප්‍රයත්නය, අප එදිනෙදා ජීවිතයේ සංකේත තුලට අබ්බැහි වී සිටිනවා නොදැනුවත්වම. ඔබත්, මාත් බහුතරයක් මේ රටේ මිනිසුන්ගේත් තත්වය එයයි. එහි නිස්සාරත්වය ගැන යමක් ලිවීමයි මගේ අරමුණ. කිසිවෙකු අරමුණු කොට ලිවීම නෙමෙයි. ජීවිතෙ මල් ලියන්නේ බහුතරයක් වෙනුවෙන් ජීවිතය ගැන. සිද්දීන් නිසා මට ලියන්නට අරමුණු බිහි වෙනවා. මගේ ලිවීමේ අරමුණ ජීවිතය මට හැඟෙන අයුරින් දිග හැරීම. ඒ ගැන අන් අයගේ අදහසුත් අසා ඉන් යමක් එක් කිරීම. මා උවත් ලියන්නේ මගේ දැක්ම. එය අන්තවාදීද නැද්ද තීරණය කිරීම ඔබ සතුයි. එහි අන්තය යම් අයෙකු මට පහදා දෙනවානම්, එහි හරය මා තුලට වැද්ද ගන්නට මම බොහෝ විවෘත මනසින් සූදානම් කෙනෙක්.
පන්සලේ හාමුදුරුවො එක්ක අ'පුර යද්දි හාමුදුරුවො දඹදිව අත්දැකීම් විස්තර කරා. එක දවසක් බස් එකේ උදේ ඉඳලා හවස් වෙනකන් යන්න සිද්ද වෙලා තියෙනවා නැවතීමක් නැතිව. හවස් වෙද්දි ආච්චි කෙනෙක් කීවාලු "යනවා යනවා ඉවරයක් නෑ නෙ" කියලා. පැයක් විතර යද්දි බස් එකේ ටයර් එකක හුලං බැහැලලු. ඉතින් අපිට කීවා "කට පාලනය කරගන්න බැරි අයත් එක්ක ආයෙ කිසිම චාරිකාවක් යන්නෙ නෑ" කියලා..
ReplyDeleteශ්‍රීපාදස්ථානය වඳින්න යද්දි ත් කට පරිස්සම් කරගන්න ඕනලු නේද මිස්..
ක්‍රිස්තියානි ආගමේ මෙහෙම දෙයක් තියෙනවද දන්නෙ නෑ. මොකද මම 1,2 වසර වලටයි පෙරපාසැලටයි ගියෙ පල්ලි වලට වුනාට ගොඩක් දවස්වල උදේ දේවමෙහෙය වෙලාවට අපි කට්ටිය ශාලාව ඇතුලේ ඉඳන් ම කෑම කෑවා/විහිලු කර කර හිටියා.
දවසක් අවසන් ගෞරව සඳහා දේවස්ථාන ශාලාවෙ තිබුණු මිනියක් පෙන්වලා "දෙවියන් ළඟට යන්න ලැබේවා" ද මොකක්ද කීවා පියතුමා. අපි ඉතින් විවේක වෙලාවෙයි, පාසැලෙන් පස්සෙයි ඇවිත් බැලුවා මැරුණු කෙනා දෙවියන් ළඟට ගිහින් ද කියලා..
ගොඩක් විශ්වාස පාරම්පරිකව එන ඒවා කියලයි මම නම් හිතන්නෙ..මොනවා හරි "එපා" කීවාම "ඇයි එපා කියන්නෙ" කියලා අහනකොට ලැබෙන්නෙ එකම උත්තරයයි. "ඒක එහෙම තමයි"
කියන්න තියෙන්නෙ එකම එක දෙයයි. "මනෝ පුබ්බං ගමා දම්මා"
ReplyDeleteසංකේතයි අනා වැකියි දෙකම ටිකක් කිට්ටුවෙන් යනවා.. දෙකම නිසා සැලෙන්නෙ එක විදියේ අය.. (මට ඒ අයට විශේෂණ පද දෙන්න ඕනෙ නැහැ ). ඕකෙන් මිදෙන්න ලේසි විදියක් තියනවා... be positive. සංකේතයක උනත් පොසිටිව් පැත්ත ගන්න..ඔය අංශයෙන් මං ගරු කරන පැරණි කියමන තමයි "කොයි දේ වෙන්නෙත් හොඳට"...
ReplyDeleteජීවිතේ වෙන සමහර දේවල් අපට පාලනය කරන්න බෑ.... ඒ නිසා තමුන් ලඟට එන අවාසනාවත් අවස්ථාවක් කරගන්න පුලුවනි නම්, පුර සඳ කීවා වගේ කොයි දේ වෙන්නෙත් හොදටයි කියාලා හිතන්න පුලුවනි නම් ජීවිතේ සංකේත එක්ක පොරබදන්න ඕනා නෑ....
ReplyDeleteරොෂාන්
ReplyDeleteමේ කට වැරදීම් ගැනත් වෙනම පෝස්ට් එකක් ලියන්න හිතාගෙන ඉන්නව.. එහිදී මේ ගැන තව කතා කරන්නම්.
මේ විශ්වාසත් එක්ක මම ගැටෙනවා නෙමෙයි. අපට නොපෙනෙන බලවේග තියනවා. ඒවායේ බලපෑමුත් තියනවා. අපට පාලනය කරන්න බැරි දේවල් තියනවා. ඒත් ඒවාමත ගොඩාක් ඇලීම, ඒ මතම පිහිටා හැම දේම අර්ථදැක්වීම නිශ්පල බවයි මා පෙන්වන්නට උත්සහ කලේ....
අනිත් එක අපේ විචාර බුද්ධිය භාවිතා කර අපි යම් යම් දේ මත ගොඩාක් ඇලී නොසිට අත් හැරිය යුතු තැන් තියෙනව
සංකේත අනාවැකි තුල තියෙන්නෙ අපිට ලිහා ගන්න බැරි දේවල් වලට අර්ථ දැක්වීම් පුරසඳ... ඊට සැලීම තමා මෝඩ කම. සංකේත positive or negative කියන එකවත් නොහිතා ඒවාට ඔහේ ඉන්න දී, අපි අපේ ජීවිතේ හදා ගැනීමයි කල යුත්තේ...නැද්ද?
ReplyDeleteකොයි දේ වෙන්නෙත් හොඳට කියන කියමන මාත් අදහන දෙයක්.. ඊට හේතුව මේකයි... මම විස්වාස කරනව , කොයි දේ සිද්ද උනත් අපේ මනස නොවැටී , කෙලින් තියාගෙන ඊලඟ මොහොතට ශක්තිමත්ව මුහුණ දෙනවනම් , ඊලඟ මොහොත "හොඳ" බව ආයෙත් අහන්නත් දෙයක් නැහැනේ.. ඒක තීරණය කරන්නේ මගේ දෛවය ද? ඇත්තටම මගේ හිතේ තියන ශක්තියද? පුර සඳ ... මේවාට උදාහරණ මම මේ බ්ලොග් ප්‍රතිචාරේ ලියන්නේ නැහැ... ඒත් ජීවිතේ මල් ගෙ ජීවිතේ මම ඉහත කී සිද්දියට උදාහරණ ඕනෑ තරම් තියන බව පුරසඳත් දන්නවා නේද? :-)
පුංචි සමනලී
ReplyDeleteඔව් ජීවිතේ සංකේත එක්ක පොර බදන එක අපි නැවැත්විය යුතුයි, ඔබ හරි. මම ඉහත ප්‍රතිචාරේ ලියුව 'කොයි දේ වෙන්නෙත් හොඳට' විස්තරය බලන්න... අපට පාලනය කල නොහැකි, හැකි සිදුවීම් ඔනෑම එකකට අප මුහුන දෙන ආකාරය අනුවයි තීරණය වන්නේ ඊලඟ මොහොත... එය 100% ම අපි මුහුණ දෙන අයුරු මත තීරණය වන දෙයක් නේද?
ඕං ඔහොම තමා මාත් ජීවිතේ ගොඩ ගත්තේ " සංකේත positive or negative කියන එකවත් නොහිතා ඒවාට ඔහේ ඉන්න දී, අපි අපේ ජීවිතේ හදා ගැනීමයි කල යුත්තේ..." කපා කොටා බලලා අර්ථ දක්වා ගන්න ගියෙත් නෑ... විසික්ක කලෙත් නෑ... ඔබේ දැක්ම එක්ක මම 100% එකඟයි... ඒක fool proof මෙතඩ් එකක්... වරදින්නේ නෑ... අත්දුටුවක්...
ReplyDeleteතිස්ස අයියා එක්ක 100% එකඟයි... ජීවත් උනේ බෝම පොඩි කාලයක් උනත්, මේ පොඩි කාලේ ජීවිතේ වට්ට ගන්නවනම් සමතලා වෙන්නම වැටෙන්න තරම් මේ සංකේත, ග්‍රහයෝ හේතු වෙන්න ඉඩ තිබ්බා..ඒවාට ඔහේ උන්නදෙන් කියා, ගනන් නොගෙන ඉන්නට හුරු වී සිටින නිසාම මමත් ඔලුව උස්සන් ඉන්නවා....
ReplyDeleteඅපේ මහා බලවේගය වෙන මුකුත් නෙමෙයි, අපේම හිතයි... මට නම් වැටහෙන්නේ එයයි.