මම දශක දෙකකුත් අවුරුදු ගනනාවක් එලිය බලපු සුපුරුදු සඳැල්ලෙන් බලන් හිටියා. එදා තුරුපතර, අහස , කඳු, ගහකොල දිහා බලන් මා අවුරුදු දහ හතකට පෙර සිරිය මතක් කරන්න උත්සහ කලා.
කොස් ගහ මුදුන මගේ කාමරයේ පල්ලෙහයින් පෙනිච්ච කාලේ ඈතයි.. දැන් ඒ ගහ ගෙටත් වඩා උස ගිහින්. ඒත් එදා නැවුම් දලු පෑව ගස අද මෝරපු අතු ඉති ටික අමාරුවෙන් උහුලගෙන, පුෂ්ටිමත්ව හිටි පල බර අතු බිම හෙලල බර හෑල්ලු කරගෙන.
ඈත පේන කන්ද දිහා කොච්චර නම් මම බලා ඉන්න ඇතිද? හෙලපු කඳුලු.. ඊට හේතු වෙච්ච විවිධාකාර මාතෘකා... මට කට කොනකට හිනහවකුත් නැගුන.... ලපටි ඇස් වලින් එදා මා බලපු කඳු මිටියාවත , මහලු ඇස් වලින් මා දිහා බලන් ඉන්නකොටයි මට දැනුනේ මාත් ඉස්සර ලඳ බොලඳ කෙලි පොඩිත්ත නෙමෙයි කියන එක...
අහස නම් එදා වගෙමයි... ඒ කියන්නේ එදා අහස නෙමෙයි. අහසට මම එදත් අදත් කියුව, "ඔයා හරිම වෙනස් වෙන කෙනෙක්" කියල.. උන්න ගමන් පාට වෙනස්.. ටිකකින් හැඩය වෙනස්... ටිකකින් වැස්සක් කඩා වට්ටනවා... ආයෙමත් උණුසුම... දාහය..තාපය...
අලුතින් නා නා ප්‍රකාර හැඩයෙ ගෙවල් බිම්මල් වගේ හිස ඔසවලා.. බිලිඳු ඇස් වලින් ඈත පේන මා දිහා මේ සිඟිති බිම්මල් බලන් ඉන්නව...
කෝ කොහා? දවසක් රෑ අතරමං වෙලා ගෙයි වීදුරුව දිහා බලාගෙන හැංගෙන්න මං නැතිව උන්නු කොහා... රතුම රතු ඇස් හංගන්න හදනව..කොහාල ඉන්නෙ හැංගිලානේ... ඌ කියන ගීය මට අදත් ඇහුන... පුරුදු නාඹර ස්වරයෙන් නෙමෙයි... කෙඳිරියෙන්.... ගීයක් සේ නෙමෙයි.... මතක බණක අනුසාසනයක් වගේ... දැමුනු, දැහැමි ස්වරයෙන්...
කාලය මවන වෙනස තව දුරටත් අරුමයක් නෙමෙයි... කාලය මැවු සංහිඳියාව ඊටත් වඩා අරුමයක් නිසා... කවම කවදාවත් ප්‍රාර්ථනා බිඳී ගියැයි නො හඬන්නියක් මම... ප්‍රාර්ථනා ඉටු නොවෙන විට හඬා වැටෙන්නට, ආවේගශීලී වන්නට කැස කැවූ මම, හඬා නොවැටෙන්නට උගත්තේ මා තුලින්මයි...හෙමි හෙමිහිට අරුනෝදයක් වගේ ජීවිතය ගොඩ නැගෙද්දි , සුනාමියක් වගේ මොහොතින් පොලවට සමතලා වෙද්දිත් , දුහුවිලි පිසදා තැලුම් අතගාගෙන මොහොතක් වේදනාව පහවන්නට හැර හෙමි හෙමිහිට නැගිටින්න මට කියා දුන්නේ මේ ජීවිතයයි.
එවිට මා මටම කියා ගන්නව... "සංසාරෙ හැටි මෙහෙම තමයි... හැමදාම මෙහෙම නෑ... ඉරක් පායයි... ".. ජීවිතේ මල්... එහෙම තමයි....
මිස්.. නියම නිර්මාණයක්. මම එකපාරක් උඩින් පල්ලෙන් කියවුවා.. ඊට පස්සෙ හෙමිහිට කියවුවා. දෙවෙනි වතාවෙදි තමයි සමහර තැන් වල පද ගැලපීමේ අලංකාරය තේරුණේ...( ...ලපටි ඇස් වලින් එදා මා බලපු කඳු මිටියාවත , මහලු ඇස් වලින් මා දිහා බලන් ඉන්නකොටයි.... වගේ තැන් වල.)
ReplyDeleteපරිසරය අපට හැමදාම එකම විදියට දකින්න අමාරුයි. එය මිනිසාට වඩා හෙමින් නමුත් වෙනස් වෙන එක අනිවාර්යයි..
කොහාගෙ සද්දෙ නම් මේ සැරේ එච්චර ඇහුණෙ නෑ. කලාතුරකින් තමයි ඇහුණෙ. පරිසරය වෙනස්වීමත් එක්ක කොහාත් වෙනස් වෙලාවත්ද දන්නෑ. නමුත් පරන පුරුදු විදියට ලේනාගේ සද්දය, කුරුල්ලන්ගේ හඬ නම් ඇහුණා..(අපි ඉන්න ප්‍රදේශයේ අවශ්‍යතා/නවීන පහසුකම් තිබුණත් පරිසරයත් යම් තරමකට ආරක්ෂා වෙලා තියෙනවා.. ඒත් කොහා කොහෙ යනවද මන්දා..)
ජීවිතය/සිතුවිලි පිළිබඳව කතා කරනවා නම් ඒක කාලයත් සමඟ වෙනස් වෙන්න ඕනි බව මිස් වතාවක් කීවා මතකයි..
සිත්අහසේ තිබුණු වාක්‍යයක් සිහියට එනවා මිස්..
"අලුත් වැස්සක් වහින්නට සැරසේ..පුරුදු ආකාසේ.."
http://sithahasa.blogspot.com/2009/12/2.html
මට හිතෙන්නෙ ජීවිතය මේ වගේ..
නමුත් අලුත් ඉරක් පෑයුවත් අලුත් වැස්සක් වැස්සත් , ජීවිතය සුන්දරයි. එය අසුන්දර වෙන්නෙ ජීවිතයේ සුන්දර බව හරි හැටියට පෙන්වන්න කියලායි මම නම් විශ්වාස කරන්නෙ..
අසුන්දර බව දැකලා නැත්නම් සුන්දර බව කියන්නෙ මොනවගේ දෙයක්ද කියලාවත් - සුන්දර බව දැකලා නැත්නම් අසුන්දර බව කියන්නෙ මොනවගේ දෙයක්ද කියලාවත් කවදාවත් හරියට තේරුම් ගන්න බැරි වෙනවා..
මේ මම දැන් ජීවිතය දකින හැටි..
ජිවිතෙ මල් ... දුක සතුට දෙකම තියන්නෙ තමන්ගෙ හදවත ඇතුලෙ.. හදවත දුර්වල නම් හමෙන් පිට ඉන්න කෙනෙකුට ඔයාව දුකට පත් කරන්නත් පුළුවන්, සතුටු කරන්නත් පුළුවන්..බුදු දහම නියමාකාරයෙන් මෙ දෙ පැහැදිලි කරලා දුන්නා මට. සතුට දුක දෙකම අපෙ.. සතුටු හිතෙනවා , දුක හිතෙනවා මොකද අපි රහත් වෙලා නැහැ තවම.. මතකයන් ඇතුලෙ ඇවිදින ගමන් පුදුමාකාර සුවයක් ලබනවා..එතන මගෙ ලොකය නෙද.. හරිම සුන්දර නමුත් සියුම් දුකක් කොහොම උනත් දැනෙනවා.. ලොකය වෙනස්විම හෙතුකොට ගෙන අපි හැමදාම දුක් විදිනවද යන්න අපිම තිර්ණය කරන්න ඔනා.. කොහොම වුනත් දුකට ඇබ්බැහි වෙනවට මම නම් ගොඩක් කැමති.. මොකද පැදුරෙ ඉන්න මිනිහව බිමට වැටෙන්නෙ නැහැ.. එතනත් පුදුමාකාර සුවයක් තියනවා.. ඇත්තටම අතහැරිමෙදී පුදුමාකාර සුවයක් වින්දැ හැකි.. එයත් හදවතෙ තියන දෙයක්..නෙද ජිවිතෙ මල්..
ReplyDeleteජීවිතේ මහ පුදුමාකාරයි. ලෝකේ එක විදියක්, අපි තව විදියක්. අපිට කරන්න ඕනෙ දේවල් කරන්න ලැබුනෙ නෑ. ලබන්න ඕනෙ දැවල් ලැබුනෙ නෑ. ඇඬුව කියල ලැබුනෙත් නෑ. ඉල්ලුව කියල ලැබුනෙත් නෑ. වෙන එකක් තියා පණ යනකම් දුක් මහන්සියෙන් ට්‍රයි කලත් නොලැබුනු දේවල් නම් කොච්චරද ?
ReplyDeleteනොලැබුනු දේවල් කියල කීවෙ හඳට යන්න චාන්ස් එකක් වත් මයිකල් ජැක්සන් ගෙ ඉඩම සල්ලි වලට ගන්න වත් නෙවෙයි. මේ බොහොම සරල පුංචි දේවල්. අනිත් හැමෝටම උපතින්ම නොමිලේ ලැබුන දේවල්.
එක තමයි ලෝකෙ හැටි. අපි කාටවත් අපිට ඕනේ දේවල් ලැබිලා නෑ.ලැබුන කෙනාට ඒ දේවල් වලින් සැනසෙන්න බැහැ. ඇබිත්තන් පැටියෙක් විදියට උපන්න මම අද අවුරුදු 27 ක් ජීවත් වෙලා. ඒත් ලබාගන්න ඔනේ උන, ලබාගත යුතු කිසිම දෙයක් තාම පේන දුරක වත් නෑ
අවුලක් නැහැ. ලෝකේ හැටි එහෙම තමයි. කවද හරි අපිටත් හරි යයි කියල හිතාගෙන (නිකමට කියනව නෙවේ බොක්කෙන්ම ප්‍රාර්ථනා කරලා) හැමදාම ජීවිතේ එක්ක ඔට්‍ටු වෙනවා.
ඒක තමයි ජීවිතේ හැටි
රොෂාන්..රවා... Gvithaya
ReplyDeleteඔබත් ග්‍රහනය කල ආකාරයට, මම ඇත්තටම ලිවුවෙ අවුරුද්ද ගැන නෙමෙයි.. මේ ලෝකයේ වෙනස්වන ස්වභාවය ගැන... එතනදි මම කොච්චර සාර්ථක උනාද කියා නම් දන්නේ නැහැ. අප මෙන්ම පරිසරයත් මහලු වෙනවා.. මහලු වීම කියන්නේ වෙනස් වීම අපි දකින එක විදියක්නේ. ඇත්තම නම්, කාලයත් සමග හැම වස්තුවක්ම විවිධ ස්වරූප ගැනීම.. transformation නේද?
අපේ සිතුවිලිත් ඒ වගේ... විවිධ ස්වරූප ගන්නවා.. විටෙක ආවේගශීලී වීමට හේතු වූ සාධකයක්ම කාලයත් සමග අපව දරා ගන්නා පුද්ගලයන් වීමට හේතු වෙනවා.. විටෙක අපව සතුටු කල දෙයක අප කාලයත් සමග හරයක් දකින්නේ නැහැ... මිනිස් හිත ඒ වගේ...
ජීවිතය සුන්දර හෝ අසුන්දර වෙන්නේ එක් එක් පුද්ගලයා යම් සිදුවීමක් සංජානනය කරන ක්‍රමය අනුවයි රොෂාන්.( percieved reality ) ඉතින් සුන්දර හෝ අසුන්දර බව තිබෙන්නේ හිතේ..රවා ඔබත් එය අනුමත කරනවා නේද?ඒත් එක්කම ඔබ කී මේ දේත් මට තදින් දැනුනා.." හදවත දුර්වල නම් කෙනෙකුට අපේ හිත තුල ඇත්තේ සතුටද දුකද කියන එකට ඇඟිලි ගහන්න පුලුවන්..." ස්තූතියි ඒ අදහසට..එය මගේ ජීවිතයට කාන්දු වුන වැකියක් වුනා...... ජීවිතය තුල අප අර්ථ දක්වන සතුට හෝ දුක තීරනය වන්නේ අප සිදුවීමක් දකින විදිය අනුව.. එහෙමයි මට හිතෙන්නේ...
රවා දුකට ඇබ්බැහි වීම ගැන නම් මට ලොකු අර්ථයක් ගන්න අමාරුයි.. ඇබ්බැහි උනොත් හැම දෙයකම දුක දැකීම ලෞකික ජීවිතයේ පැවැත්ම කොහොම තීරණය කරාවිද යන්න හිතා බැලිය යුතු දෙයක්. දුකට වඩා , ලෝකය වෙනස් වන වග, නිස්සාර වග හදවත පසක් කරනවානම්, අප ලුහුබැඳ යන බොහෝ දෑ ලෙහෙසියෙන් අත් හැරිය හැකියි. අත්හැරීම කියන්නේ දහමක්... එය පුහුණු කිරීම ලෙහෙසි නැහැ. අප වුවත් අත් හරින විට ලෝභය උපදිනවා.. එහෙත් දීමට හුරු වන්නට හුරු වන්නට උපේක්ෂාවත් , නිරාමිස ප්‍රීතියත් අත් විඳින්න පුලුවන්... එවිට ලෝභය තුනී වෙනවා... මේ රවා මට හිතෙන දේ...
Gvithaya.... ඔබ කිව්ව දේ හරි.. එහෙත් අත්හරින්න එපා... ලෝකය යම් තාක් දුරට හෝ සුන්දර තැනක්ව තිබෙන්නේ නොවිඳිනා දුක් විඳි, ඒ දුකින් සංවේදී හදවතක් උරුම උනු, ලෝකය දෙස උපේක්ෂාවෙන් බලන උතුම් මිනිසුන් නිසා.ඒ නිසා බලාපොරොත්තු අත් හැරීම නෙමෙයි .. අත් හැරුනු දෑ ඉවසීමෙන් ගොඩ නැගීම ගැන හිතමු... නැද්ද?