Tuesday, April 27, 2010

එම්බා ආලය!.....



සීනයක් ඇත-
ඇස් ලඟ...

පැතුම් පොදි-
නෙත් කලඹන....

රුදා දෙන හිත-
වියරුව...

පිරිමිකම ලඟ-
ගැහැණිය.....

අඳුන් තවරන
දෙනයන....

ල'දලු නෙලු-
තොල් පෙති මත..

සුලලිත බැලුම-
දෙස් දෙන...

සොඳුරු සීනය-
ආලය......

එම්බා ආලය!
කාලයේ සරදම !

Friday, April 23, 2010

"Miss..Am I a Black sheep?" කොරියන් දඟකාරයා...

දවස : අද
ස්ථානය: පංති කාමරය (ලැබ් එක)
වෙලාව : ප.ව. 1.00

සීනුව වදින විට මී මැහි පොදියක් මෙන් ඉවතට විසිරෙන දඟකාරයන්ගෙන් හිස් වෙන තරප්පු පෙල, විනාඩියක දෙකක නිහඬතාවයක ගිලෙනව... ගත වන්නේ බෝම සුලු මොහොතයි... සුනාමියක් එන්නා වගේ, දල රළ පෙලක් කඩා ගෙන බිඳගෙන එන්නා වගේ ඊලඟ මී මැහි පොදිය ගසා ගෙන ඇවිත් දොරකඩ ලඟ පොදි කන්න ගත්තා. උන් එකා දෙන්න පීරාගෙන මම එතැන්ට ලඟා වුනේ අසීරුවෙන් පොත් මිටියත්, ලැබ් යතුරත් අරගෙන.. මොහොතෙන් මී මැසි පොදිය ලැබ් එක ඇතුලේ, පු‍ටු මේස අල්ලගන්න මහා තර‍ඟෙක.. වැඩියක්ම තරගය තියෙන්නෙ පස්ස ආසන වලට... ඉස්සරහ ආසන වෙන් වෙන්නේ, වෙලා ගිහින් එන උන්දැලට.. ඉතින් ඒක තමා දඬුවම... ! ඔන්න පෙනේද තත්වේ... (අපි ඒ කාලේ පොරකෑවෙ ඉස්සරහ පේලියට... ඉස්සරහ ඉඳ ගත්තට පොදු වැඩකදි අපි ස්වේච්ඡාවෙන් ඉස්සරහට ගියාද නම් සැකයි..ඒත් මේ පස්ස ආසන වලට වෙලා, විකාර කරන උන්ගේ, ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීම නම් ඉහලයි ...තවත් හිතන්න දෙයක්... ) කතාවෙන් පිට පනින්න බෑ..ඒ නිසා back to track ආවා...

Wednesday, April 21, 2010

මමයි වැරදිකාරිය!.(මා මෙතෙක් ලියූ වියවුල් සහගතම ලිපිය)


ජීවිතය දිහා ... මා ලියන දිහා.. මා ජීවත් වෙන දිහා මම බලා ඉන්නවා... එහි අරුත හොයමින් මම මෙලෝ සංසාරයක් නැතිව මාව කපල කොටනවා... මැන බලනවා.. ඒත් මට හදිසියෙම දෙයක්  හිතුනා.. "මම මා දෙසටම  හැරුන මනසක් ඇති, ඒ මනස කපා කොටමින්ම කාලය ගත කරන, ලෝකය දෙස බලනවාට වඩා මා දෙස බලා විවරණය කරන" චරිතයක්දැයි මට හදිසියේම හිතුන.

මටත් හිතෙන දේවල්... !

ලෝකය දිහා, ලෝකයේ විවිධාකාර දේවල් විඳින, විඳවන මිනිසුන් දිහා දකින්නට මේ කාලයෙන් කොටසක් වැය නොකරන්නේ මන්දැයි මට හිතෙන්නට ගත්තා.. උදේ පාන්දර  ගාලු පාරේ බස් එකක ඉඳගෙන(පුරුදු සංහිඳියාව මට ඇති වෙන්නේ නොර්මල් බස් එකක ඉඳගෙන යනකොටනේ) වහපු කඩ සාප්පු  ඉදිරිපිට  අගු පිල් වලින් නින්දෙන් ඇහැරී යා යුතු අත නොදැන නිරුත්තරව සිටින පදික මිනිසුන් දකිද්දියි මට එක පාරටම මෙහෙම හිතුනේ..ලෝකයේ , අපි ජීවත් වෙන පරිසරයේම අපට අඟල් කීපයක් ඈතින් විශාල වෙනස්කම් , මානසික පරිසරයන්ගේ හිර වී , ගොලු වී සිටින එහෙත් අප කරන්නාක් මෙන්ම "සාමාන්‍ය" බවක් පෙන්වන මිනිසුන් කොතෙක් දැයි මට හිතෙන්නට ගත්තේ, මෙතරම් තීව්‍රව දැනෙන්නට ගත්තේ, ඊයේ කියවූ ලිපියක් නිසයි...

Sunday, April 18, 2010

මගේ 50 වන කයි කතන්දරය....


2010 ජනවාරි 28 වෙනිදා මම බ්ලොගර් වෙත සම්ප්‍රාප්ත උනේ අහසින් කඩා වැ‍ටුනා වගේ.. මෙච්චර කල් හරිහමන් හැටියට වනා ගන්න බැරි කඩ්ඩෙන් අරවා මේවා නිය හපා ගෙන ලියුව මේ මම, කලිනුත් කිසිම හරයක් නැති බ්ලොග් කීපයකටම අතගහලා තිබ්බ මීට අවුරුදු 2 කට විතර කලින්. ඒත් සංසාරේ කවුද දන්නේ සිංහලෙන් බ්ලොග් ලියන්න ඇහැකි කියා... ඉතින් මේ මම බ්ලොග් ඇරියා..වැහුවා.. කඩ්ඩ වැනුවා..ඒ කඩුවෙන්ම මාත් කැපිලා ගියා... ඔන්න ඔහොමයි මන්දගාමී බ්ලොග් ලිවිල්ලක් කොරන් ගියේ...

2010 ජනවාරියේ මගේ හිතවත්ම යාලුවෙක් තමා මේ සිංහල බ්ලොග් ගැන හෝඩුවාව දුන්නේ... " ඔයා දන්නවද ලස්සනට සිංහල බ්ලොග් ලියන අය ඉන්නවා.. නිකමට sinhalabloggers.com එකට ගිහින් බලන්නකෝ... ඔයත් ලියන්නකෝ බ්ලොග් එකක්.."  ඔන්න බ්ලොග් විසබීජේ මට කැවුවා මගේ යාලුවා.. :-) ස්තූතියි ඊට..මොකෝ ඒ හෝඩුවාව නොවෙන්න මම අදටත් දන්නේ නැහැ මේ සිංහල බ්ලොග් ගැන... 

ඔන්න ඉතිං මම sinhalabloggers.com  එකෙන් අලුත් බ්ලොග් කීපයකම රස බලලා ඉල ඇදෙන්න හිනා කාලා ( eg: bloggysdiary)  ඔන්න ඉබේම පැණි හැලියට ඇඹලයෙක් ඇදෙන්නා සේ බ්ලොග්කරණයට යොමු උනා.

Friday, April 16, 2010

පින්තාරු කල කඳුලු...




ඇසිල්ලේ දිගු නිදි බි‍ඳෙයි
මන්ද ස්වර කටහඬක් අවදි වී
හැඟුම් නැති නියායෙන්
හඬන කාරණ අසයි...???

කාරණාවක් නොදැනම
කඳුල බේරෙනු දකින
පින්සලක් කොපුල මත
වෛවර්ණ රූ අඳියි....

බොඳ කඳුලු මත ඇඳි
සීනයම සිතුවමක් වන
විස්මයෙන් ඇලැලුන
හුදී දන අත් සන් නගයි....

රළ නැගෙයි, බිඳිති විසිරෙයි
මහ රළක්  සිඟිති රළ ‍රැගෙන යයි
හැඬුම්, අත් සන්, විස්මය
හිරුත් සමගම කිඳී යයි... යලි නො එයි....


පසුවදන

මීට පසුවදනක් ලිවිය යුතු යැයි මට හිතුනා...ජීවිතය යනු අද හෙට සහ ඊයේ වූ සියලු දෑ වැලැලෙන රළ පෙලක් මෙන් යැයි හිතුනා. අප හඬනවා.. දුකට කාරණ අසාවි. අප හඬා වැටෙමින් කියන දුක මත තවෙකෙකු චිත්‍රයක් අඳිනවා... අප ගැන... තවෙකෙකු බැන වදිවි.. තවෙකෙකු අප වීරයන් කොට අත් නගාවි.. ඒත් මේ සියල්ල අද පමණයි. හෙට අප වීරයනුත් නෙමෙයි... හෙට අප වරදකරුවනුත්, නිවරදකරුවනුත් නෙමෙයි.. හෙට අලුත් දවසක්...  ජීවිතය නිදි බිඳුන හීනයක් වගේ..හීනය අතීතයයි..එය යලි නො එයි. ඊට දුන් විවිධ මුහුණු ,අද පමනයි. හෙට ඒ හීනයක් පමණයි.


Thursday, April 15, 2010

චහ්.... අසුබද මන්දා....?

සංකේත මත යැපෙන අපි ...(කට හම යනකන් ජීවිතය හම ගැසූ කයි කතන්දර 6)

හූනෙක් චුක් චුක් කිව්වොත්...? පය පැකිලිල ගමනක් යන්න යද්දි වැ‍ටුනොත් ? එලියට බැස්සම ආයෙත් අමතක වෙච්ච දෙයක් ගේන්න යන්න උනොත් ? ... ඉස් ඉස්සෙල්ලාම කලු සතෙක් මුලිච්චි උනොත් ... ? " චහ්.... අසුබද මන්දා....? " ඔහොමයි අපේ කට්ටියක් හිතන්නේ... මට මේ කතාව කම්පනාවට ආවේ පහුගිය දවසෙ දෙකේ මේ වගේ ගොඩාක් දේවල් කන වැකුන නිසා....

නැගෙනහිරින්ද කිරි ටික ඉතුරුවේ..? හෝස් ගාලා නෙමෙයි.. බොහොම අමාරුවෙන්..ලිප ඉතුරුනේ...අලුත් අවුරුද්දේ ඉස් ඉස්සෙල්ලම බැංකුවෙන් සල්ලි ගන්න නරකයි.... තැන්පත් කරන්න ඕනා... නැත්නම් අවුරුද්දම මූසලයි.... ඉතුරුවක් නැහැ...  ඉස් ඉස්සෙල්ලම පන්සලකට යන්න ඕනා... එතකොට "හිතට" හොඳයි.... දෙවියනේ .. අපි මුලු ජීවිතේම අර්ථ ගන්වන්නේ සංකේත වලින්ද?  මේකේ හරි වැ‍රැද්ද කතා කරන්න මට අයිතියක් නැහැ... මම එය හොයන්නේත් නැහැ.. ඒත් එහි අඳුරු විපාක සහ සුබවාදී විපාක ගැන කතා කරන්නම හිතෙනව..

Wednesday, April 14, 2010

හැමදාම මෙහෙම නෑ.. ඉරක් පායයි...? නැද්ද??

මම දශක දෙකකුත් අවුරුදු ගනනාවක් එලිය බලපු සුපුරුදු සඳැල්ලෙන් බලන් හිටියා. එදා තුරුපතර, අහස , කඳු, ගහකොල දිහා බලන් මා අවුරුදු දහ හතකට පෙර සිරිය මතක් කරන්න උත්සහ කලා.

කොස් ගහ මුදුන මගේ කාමරයේ පල්ලෙහයින් පෙනිච්ච කාලේ ඈතයි.. දැන් ඒ ගහ ගෙටත් වඩා උස ගිහින්. ඒත් එදා නැවුම් දලු පෑව ගස අද මෝරපු අතු ඉති ටික අමාරුවෙන් උහුලගෙන, පුෂ්ටිමත්ව හිටි පල බර අතු බිම හෙලල බර හෑල්ලු කරගෙන.

ඈත පේන කන්ද දිහා කොච්චර නම් මම බලා ඉන්න ඇතිද? හෙලපු කඳුලු.. ඊට හේතු වෙච්ච විවිධාකාර මාතෘකා... මට කට කොනකට හිනහවකුත් නැගුන.... ලපටි ඇස් වලින් එදා මා බලපු කඳු මිටියාවත , මහලු ඇස් වලින් මා දිහා බලන් ඉන්නකොටයි මට දැනුනේ මාත් ඉස්සර ලඳ බොලඳ කෙලි පොඩිත්ත නෙමෙයි කියන එක...

Tuesday, April 13, 2010

ඔබෙත් ඔලුව අවුල් වෙද්දි චිත්ත ඒකාග්‍රතාව වැඩි වෙනවද?

(කට හම යන කන්..ජීවිතය හම ගැසූ කයි කතන්දර... 5)
ඔලුව අවුල් වෙන්න වෙන්න , හිත පුදුමාකාර විදියට ඒකාත්මික වෙනව අමුතු දේවල් ලියන්න. සීග්‍රයෙන් අදහස් හිතට එනව....ඒ දේ ඔබට වෙලා නැද්ද? කවුරු හරි කෙනෙක් අපව පිස්සු වට්ටන තරම් යක්ෂාවේශව අප තුල නිදා සිටින යකාද කූද්දන්නට උත්සහ කරන විට, ඔබ අත් විඳ තිබෙනවද , කොහේවත් නැති පුදුමාකාර සංසුන් කමක්, සංයමයක්,පාලිත මනසක් එක පාරම ඇති වෙනව... ? විශාල වේගයක් පැන නැගෙද්දි හිතේ, හිත විසින්ම විසාල ප්‍රතිරෝධී බලවේගයක් අපව මෙහෙයවනව.. හරියට ලොකූ මුහුදු රලක් අපව ගිල ගන්නට වෙරලට හඹා එද්දි, ඊටත් විසාල රළක් විසින් පෙර දිව ආ රළ ගිල ගෙන මුහුදට ඇදගෙන යන්නා වගේ?

මට මේක ඔයාලත් විඳවල තියනවද කියන්න... ගොඩාක් ප්‍රශ්න තියන වෙලාවකට, ඔලුව පිස්සු වැටිල තියන වෙලාවකට , පුදුමාකාර එකාග්‍රතාවයක් ,  අරමුණකට වේගයෙන් යන කැපවුන ගතියක් ඇවිත් තියනවද කියන්න..මේක මම ගොඩක් අත් දැකල අත් විඳල තියන දෙයක්. සහ ගොඩාක් නොවෙන නමුත් සමහර අයගේ ජීවිත වල අහල තියෙන දෙයක්. මේ ලියන දේ සුරංගනා කතා සිදුවීමක් නෙමෙයි... සැබෑ ජීවිතයේ-මේ මහ පොලවේ සිටින මිනිසුන් අත් විඳි මනෝ භාවයක්......ජීවිතේ අඬා වැටි වැටී කඩා වැටි වැටි නොසිටිමින්, තමුන් තමුන්ගෙම හිතේ හයියෙන් ගොඩ ආපු සැබෑ චරිත අපට හමු වෙනවා දෙනෝ දාහක්...ඒත් ඒ අතරෙ හමු වෙන තවත් දෙනෝ දාහක් , මැසිවිලි කියන, ජීවිතේ අත් හරින, ජීවිතේ සුන් වූ යලි නිවැරදි කල නොහැකි යයි වගකීමෙන් පලා යන ජීවිත වෙනුවෙන් මේ දේ මේ බ්ලොග් අවකාශයේ ලියා තැබිය යුතු යැයි මට හිතුනා...


දෙමාපියන්ගේ, ස්වාමියාගේ, වද හිංසා, නොයෙක් ගැහැට කම් කටොලු මධ්‍යයේ , බොහෝ චිත්ත ධෛර්යයෙන් සිය අනාගතය වෙනුවෙන් අරමුණ කරා ඇදුනු චරිත මා දැක තියෙනවා.. ලෝකයම තමන්ට එරෙහි වෙමින් ලෝකයම තමාට ඇඟිල්ල  දික් කරන මොහොතක , කිව නොහැකි තරම් සංසුන් මනසින් මිනිසුන්ට, සමාජයට මුහුණ දෙන චරිත මා දැක තිබෙනවා. මහා ගිනි කන්දක් මෙන් අවමන් , නින්දා අපහාස , සමාජ දොර‍ටු පුපුරවමින් ගං වතුරක් සේ ගලා යනවිට , නිසොල්මන්ව කරබා ඉඳිමින්, නිසංසලේ ජීවිතය හෙමි හෙමින් ජය වෙත යොමු කරන චරිත මා දැක තිබෙනවා... මා කිසි සේත්ම බිඳුනු පෙම නිසා වස බිවු ජීවිත ගැන මෙහි කතා කරන්නැ නැහැ.. ජීවිතයේ යම් බිඳ වැටීමක් නිසා, ලෝකයටම අපවාද නගමින්, අත පය අකුලා ලෝකයට පලි පෙන්නන චරිත ගැන මෙහිදී එක අකුරක්වත් වැය කරන්නේ නැහැ.

මම මේක ලියුවෙ ඇයි කියල කෙනෙක් අහයි..එච්චරම බරක් මෙහි නැති වග සැබැයි...විභාගයක් නිසා දිවි නහ ගන්න, විභගෙට මූන දෙන්න බැරුව බොරු ලෙඩ ගන්න, විභාගයක ප්‍රතිපල නිසා වහ බොන, ගෙදර ප්‍රශ්න නිසා, පෙම් පලහිලවු නිසා අධ්‍යාපනය කඩා කප්පල් කර ගන්න හිත් වලට පොඩි පණිවිඩයක් දෙන්නයි මේක ලියුවේ.

ඔනෑම කෙනෙක්ගේ හිත ඇතුලේ මහා බලවේගයක් තියනවා. ඕනම කෙනෙක්ගෙ හිතක. ඒ විභවය අපට පාලනය කල හැකි දෙයක්.. එය පාලනය නොකර පරාජය වෙන්නේ අපේ ගැලවීමට..වගකීමෙන් මිදෙන්න..ඒත් අපිට උවමනාව තියනවනම්- මම අභියෝග කරනවා- අපිට පුලුවන් හිත හයිය ගන්න- එයින් දැඩි වී- ශක්තිමත්ව ප්‍රශ්නෙට මුහුන දෙන්න..මම පුන පුනා කියනවා.. එක එහෙමම තමයි කියලා.. කම්මැලියෝ මිස දුර්වලයෝ කියලා ජාතියක් ලෝකේ නැහැ. දුර්වලකම වාසියට හදාගත් දෙයක් විතරයි. ඔනෙම කෙනෙකුට ඔනෙම දෙයක් කරන්න පුලුවන් හිත හයිය තියනවනම්...


එක දෙයක්.සාම්ප්‍රදායික කතා වල එන  දුප්පත් දරුවො අල්ලට සීනි කාල කහට එක බීලා, ලාම්පු එලියෙන් පාඩම් කරලා ලෝකය ජයගත් කතා අපි එමට අහලා තියනවා. මම මේ ලියුව කතා වල එන එක්කෙනෙක්වත් ඒ domain එකේ නෙමෙයි.. මිනිස්සු කතාවට කියන "සැප" පරිසරයෙන් ආපු අයගේ කතා මේවා(සමාවෙන්න .කතා බොහෝ දුරට සංශෝධනය වුනා නැවත පෝස්ට් කිරීමේදී).. ඒත් ඒ අපිට පෙනෙන සැප පිටිපස්සේ තියන ඛෙදවාචකය කාටවත්ම නොපෙනෙන නිසාමයි ඒ domain එක ඇසුරු කොටගෙන මේ සිද්ධීන් ටික ලියුවේ..

මේ එකක්වත් සුරංගනා කතා නෙමෙයි.. මේ මහ පොලව උඩ දු‍ටු දේවල්... මේ නුදුරු කාලයේ- මා අවට පරිසරයේ...


මෙයට මා එක් කල යුතු පසුවදනක් තිබෙනවා මේ සංශෝධිත පෝස්ට් එකේ...එය සොඳුරු කතා කරුවෙකු මේ ලිපිය ගැන කල වැඩි දුර පැහැදිලි කිරීමක්,,,

අපි මනස අවුල් වූ, වියවුල් වූ, ලොකු ප්‍රශ්නයක් කඩා වැ‍ටුනු අවස්ථාවක සිරුර සහ මනස තුල පැන නගින ආවේග මුල් කොට ගෙන යම් යම් දෑ කරනව... සමහරු ඒ ආවේගය දැඩි ශක්තියක් බවට පරිවර්තනය කොට ගෙන , ආවේගයෙන් කඩා වැටීමේ හෝ ආවේගයෙන් විනාශයකට මෙහෙයවීමේ ආදීනව පසක් කොට ඒ විභවය නිවැරදි දිශාවකට මුදා හරිනවා... ඒත් සමහරු ඒ ආවේග වලින් නොසංසුන් වී එක්කෝ විනාශයකට තමාව මෙහෙයවනවා. එක්කෝ නිවැරදි, ඒ මොහොතේ විය යුතු දේ පැහැර හැරීමට එය හේතුවක් කොට ගන්නව. බහුතරයක් තුල තිබෙන්නේ විභවය නොතකා හරිමින් , කුසීතව හකුලා සිටින තත්ත්වය හෝ , විභවය තුල විනාශකාරී අනර්ථකාරී දෙයකට අවකාශය..එයයි නොවිය යුත්තේ. මා මේ ලිපියෙන් පසක් කරන්නට උත්සහ කලේ එය නොවිය යුතු බවයි... තමා තුල ඇති විභවය තමා හරි මානයට මුදා හල යුතුයි. එය ශක්තියක් මිස ආවේගයක අනර්ථකාරී ප්‍රතිපලයකට නොමෙහෙයවිය යුතුයි..එතැනයි අපේ බුද්ධිය, සංවිධිත මනස මනා මෙහෙයක් ඉ‍ටු කරන්නේ... එතැනයි අපි ශක්තිමත් මිනිසුන් වන්නේ....

අපේ හිත තුල තියන මේ විස්මයජනක හැකියාව හඳුනා ගන්න..එය ඇති බව අදහන්න... එය ශක්තිමත් බව .. එහි ශක්තිය තමාට අවැසි නම් පාලනය කල හැකි බව විස්වාස කරන්න පලමුවෙන්ම,,, ඊට අවනත වන්න... ගැ‍ටුම්කාරී මොහොතක , ඉන් මිදී හරි දිශාව සොයන්න... ආවේගයට ඔබව යටත් කරන්න ඉඩ දෙන්න එපා. ආවේගයේ වහලෙක් වෙන්න එපා..  ආවේගය සමග නොගැටී, සංසුන් මනසින් , මුදා හල නොහැකි වූ ආවේගය බුද්ධිමත් දෙයකට මුදා හරින්න.. ඔබේ ආවේගය එයින් අවම හානිදායී, අවම පසු තැවීමක් ඇති කරවන , අර්ථවත් ප්‍රතිපලයක් උදා කරාවි,,,,

ජීවිතේ මල්.මේ ලිපිය කලින් පල කල එකෙහිම සංශෝධනයක්. එහි ඇතම් දෑ ඉවත් කලා. ඒත් අමිල අදහස් දැක්වූ ආදරනීය බ්ලොග් සහෘදයින් ලියූ ප්‍රතිචාර පරෙස්සම් කොට තබා මම ඒවා මෙහි නැවැත පෝස්ට් කලා..ලියූ ඔබ හැම දෙනාටම ස්තූතියි,,,,

ලිවුවේ අපබ්‍රංසයක්ද මන්දා මේ කතාව... :-)

Saturday, April 10, 2010

INTERජාලෙට HOT HOT අවුරුදු වේවා !!!



2010-4-10 මා Interජාලෙට ලියූ අවුරුදු පැතුම

SMS තිහ හතලිහ ඉගිලෙයි
Facebook එකට තව වැඩ ගොඩ වෙයි
අන්තර් ජාලෙට බෝ පින් සිදු වෙයි
අවුරුදු උණුසුම ජාලය කලඹයි

අවුරුදු Forward ස්පෑම් නොවේවා
Broadband වේගය වැඩි වේවා
Wap , SMS මිල අඩු වේවා
අන්තර්ජාලෙට අවුරුදු වේවා!


Friday, April 09, 2010

සංසාරගත සිහින...පෙම.



වෙහෙරක්
සුදෝ සුදු පිච්ච
වතුසුද්ද මල්
ගලපන..

නිසසලේ
මලින් මල 
බැ‍ඳෙන
වෙහෙරක්...

රළු දෙ අත
තනයි...
පාදමක් ...
සවිමත් ...

ගොඩ නගයි
වෙහෙර බඳ
සියුමැලි 
අතැඟිල්ලක්...

රළු මුත් 
සවිය ඇති..
අපිලිවෙල මුත්
නිවැරදි...

තැනෙයි නිසි සේ
වෙහෙරක්..
සුදුම සුදු
මලින් බඳින
වෙහෙරක්...

පාදමෙන් 
සවි ලද
කරගැට පිරි
අතින් නැගි 
ආකෘතිය...

සියුමැලි
අතැඟිලි...
මල් පෙති  
නිසි ලෙස
හැඩ කරන..

සොඳුරුතම
සංසාරගත
සිහිනය වූ
සැබෑ පෙම..

ඒ වෙහෙරක්...
සුදුම සුදු
වතුසුදු මල්
වෙහෙරක්.....

Thursday, April 08, 2010

විබාගේ තමයි අපේ අබාගේ...



විභාග ප්‍රතිපල කොහොමද??
කුතුහලයෙන් කිලි පෙලෙන මේ ප්‍රශ්නේ ඔන්න දැනටමත් OL ලියපු අහිංසකයින්ගෙන් ඇහෙනව ඇති. අනේ පවු....
විභාගය කියන්නේ ජීවිතයේ කඩ ඉමක් කරපු මේ සංස්කෘතිය ගැන නාහෙට අහන්නේ නැති වදනක් ලියන්නයි යන්නේ.. ඉතින් ඔය සදාචාරාත්මක ඇස් වැරදිලාවත් මේ ඔස්සේ යනවනම්, අනේ ඉතින් මේ window එක close කරලා දාන්න..


Saturday, April 03, 2010

කාන්තා අයිතිවාසිකම්?? එතකොට ගැහැණියකගේ යුතුකම් කතා නොකරන්නේ ඇයි??

(කට හම යන කන්..ජීවිතය හම ගැසූ කයි කතන්දර... 3)

ලෝකයම කාන්තා අයිතීන් ගැන බුරනවා.බුරන්නේ අහසට.අහසට හරියට කන් තියනව වගේ. එත් ගෑණු අපි  කීයෙන් කී දෙනාද ගැහැනියක් වශයෙන් අපෙන් වෙන්න ඕන යුතුකම් වගකීම් ගැන කතා කරන්නේ.. මම සිඟාලෝවාද සූත්‍රය සිංහලෙන් ලියන්න යනව නම් නෙමෙයි. ආදර්ශමත් ගැහැනියකගෙ සමාජ භූමිකාව පැතිකඩ තුනකින් පෙන්නනවා විතරයි. අපේ ඉරණම අපිම විසඳා ගන්න දෙයක්.සමාජයට, සංස්කෘතියට, උඩු බුරලලා වැඩක් නැති අපිටම අනන්‍ය පෞරුෂය මත ගොඩනැගිය හැකි අනාගතයක්, මෙහෙවරක් ගැහැනියට තියන බව මම නිර්භයව කියනවා.

1. සමාජ මෙහෙවර -හෙවත් යුගමෙහෙවර
2. කුටුම්භ මෙහෙවර - හෙවත් බිරිඳ -මව භූමිකාව
3. ආධ්‍යාත්මික මෙහෙවර - තමා උස් මහත් කර ගත යුතු පෞරුෂය

මම අංක 3 න් පටන් ගන්නම්. මොකද එයයි ආරම්භය

3. ආධ්‍යාත්මික මෙහෙවර - තමා උස් මහත් කර ගත යුතු පෞරුෂය 

මිනිසෙකු වශයෙන් අප අපවම ගොඩ නැගිය යුතුයි. ගැහනියටත් එය පොදුයි. තම මනස තැනිය යුතුයි. එහි රඟ හඳුනාගත යුතුයි. ශක්තිමත්බව, දරා ගැනීමේ හැකියාව, සංවර්ධනය විය යුතුයි. සමාජ පරිචය, සමාජශීලීතවය, අවබෝධය යනාදී මෙකී නොකී ගුණ අතර ගැහැනියකටම ආවේණික සියුමැලි බව, සුන්දරත්වය, ලගන්නා කතාව , සුමට බවද නිසි අනුපාතයට රැක ගත යුතුයි. පිරිමින් සඳහා නොවෙයි , අංක 2,හා  1 න් කියවෙන ඉතුරු මෙහෙවර සාර්ථක වීම සඳහා. බුද්ධිමත්කම ගැහැනියකට ආභරණයක්. ලෝකය දෙස ඇස් ඇර බලමින් , ලෝකය වටහා ගනිමින්, බුද්ධිමත් සමාජයක් තමා වටා ගොඩ නගා ගනිමින් , හරවත් දෑ ඇසුරු කල යුතුයි. එතනයි උදාර ගැහැනියක්, උදාර බිරිඳක් මවක් සිටින්නේ.

2. කුටුම්භ මෙහෙවර - හෙවත් බිරිඳ -මව භූමිකාව

පවුලක පාදම ගැහැනියකගේ බුද්ධිමත් පාලනය යැයි මම අභීතව කියනවා.බිරිඳ සැමියකුගේ අතවැසිනිය තත්වයට වැටෙන්නේ විහින්ම යැයි මම නිර්භයව කියනවා. අංක 3 මෙහෙවර ඉටු වෙන බිරිඳකගෙන් නිවස බලා ගැනීම, ඉවීම, ඉතුරු යුතුකම් කිරීම හැරුනු කොට බුද්ධිමත් සැමියෙකුනම් තම ගැහැනියගේ ආදර්ශවත් පෞරුෂය මැණිකක් ලෙස සලකාවි.

දුවෙක් තුල සිටින අනාගත ගැහැනිය තීරණය වන්නේ අම්මාගේ පෞරුෂයෙන්. පුතෙක් ගැහැනිය කෙබඳු සත්වයෙක්දැයි මුලින්ම නිගමන වලට එලඹෙන්නේ අම්මගේ ප්‍රතිරූපයෙන්. ඒ නිගමන දුවෙකුගේ -පුතෙකුගේ හිතේ මියෙන තුරාවටම තිබෙන ආකල්ප බවට පත් වෙනවා. අම්මා තාත්තට කතා කරන විදිය, භාවිත කරන වචන, දෙයකට ප්‍රතිචාර දක්වන විදියේ පටන් අම්ම සමාජයේ හැසිරෙන විදිය දක්වා හැම දෙයක්ම දුවෙකුට ක්ලෝනීකරණය වෙනවා.එය කොතරම් අවැසි උනත් යටිහිතෙන් ඉන් පසු ඉවත් කරන්න බොහොම අපහසුයි.

පුතෙක් ගැහැනිය නිර්වචනය කරන්නේ අම්මාගේ ස්වභාවය විශ්ලේෂණය කිරීමෙන්. ඒ නිසාම අම්මලා- බොහොම පරිස්සමෙන්. ඔබ තමයි දරුවන්ගෙ හැම ආකල්පයකම  ආරම්භය.!

1. සමාජ මෙහෙවර -හෙවත් යුගමෙහෙවර

සමාජය තුල බොහෝ ගැහැනුන් 3,2 මෙහෙවරින් නවතිනවා.එයම තමා වැරැද්ද.

අවබෝධාත්මක බුද්ධිමත් ගැහැනිය සිතා බැලිය යුතුයි තමුන්ගෙන් සමාජයට අබැටක්වත් මෙහෙයක් නොවිය යුතුද කියා. විය යුතුයි..මම කෑගසා කියනවා. විය යුතුමයි!!!

තම පරිණතිය ආධ්‍යාත්මයෙන්, මවක , බිරිඳක සේ වඩවා ගන්නා ගැහැනිය තුල සමාජයට තමාගෙන් ඉටු විය යුතු යුග මෙහෙවර නොසලකා සිටින්නට සිතුවිල්ලක් ඇත්නම් එයට කිසි සේත්ම සමාව දිය නොහැකියි.

බුද්ධිමත්, අන්තවාදී නොවෙන හරවත් ශක්තිමත් දරුවන් තැනීම එහි විසාල කොටසක්. ලමයි ලොකු මහත් කිරීම, බලා ගැනීම,ඉස්කෝලේ යැවීම,පංති ගෙනයාම, කන්න බොන්න දීම අංක 2 මෙහෙවර තුල වුවත් ඉතාම සුලු(1%) කොටසක් විතරයි. ඉතුරු 99% ඇත්තේ යුග මෙහෙවරයි. දරුවන්ගේ මනස තැනීම. සමාජාවබෝදය ලබා දීම. ඔවුන්ගේ ජීවිතය තේරුම් ගැනීම. දුෂ්කරතාවන්ට මුහුණ දෙන හැටි ඉගැන්වීම. සිතුවිලි අවබෝධ කිරීමට හුරු කරවීම. ආදරය, ලිංගිකත්වය පමණක් නොවෙයි සමාජ විෂමතාවන් පිලිබඳ ඔවුන්ගේ දර්ශනය පුළුල් කිරීම මිස අකුල් නොහෙලීම..මෙයයි මවකගේ උදාර යුග මෙහෙවර...!

ගැහැනියක වශයෙන් සමාජය එක බිඳිත්තක්වත් තිගැස්විය හැකි හඬක් වීම (අයිතීන් වෙනුවෙන් නෙමෙයි - දාර්ශනික සිතිවිලි වෙනුවෙන්- අඳුරේ ඉන්නා මිනිසුන්ට පුංචි එලියක් දැල්වීම වෙනුවෙන්)ඉතාම වැදගත්. නොවන්නේත් එයමයි . තමුන් දුර්වල යයි  පවසන ගැහැනිය කුසීත ගැහැනියක්- තම මෙහෙවර නොසලකා හරින්නියක් මිසක් වෙන කිසිවෙකුත් නොවෙයි.

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->