ඉරිදා දවසක්. මට කාර්ය බහුල , ඔහු නුවර මම පන්ති කරන තුරු කල් මරන දවසක් ! දෙන්නම පරක්කු වෙලා , රන්මල් එකට ගියෙ යක්කු දාහක් කන්න බඩගින්නෙ.
සුහද හිනාවක් .. බඩගින්නෙන් චුට්ටක් අඩු උනා.
“අන්කල් බත් තියනවද ?”
“තිබ්බේ නැතත් , අපි කන එකෙන් ටිකක් හරි දෙන්නම්කො , ඉදගන්න" … බඩගින්නෙන් බාගයක්ම , හිත පිරුන නිසා අඩු උනා.
කොහෙන් කොහොම හරි බත් පිඟන් දෙකක් එලියට ආවා.
“අන්කල් පරිප්පු එහෙම නැද්ද ?” ඒ පාර පරක්කු වෙලා කන්න ගිහින් පරිප්පුත් ඉල්ලනවා.
“අද පරිප්පු ඉවුවේ නැහැනේ මහත්තය. ම්ම්ම් “ අන්කල් කල්පනා කරනවා.
“පොඩ්ඩක් ඉන්නකො මහත්තය”
ඇතුලට ගිය රන්මල් අංකල් , චුට්ටි දීසි පොඩ්ඩකට පරිප්පු ටිකක් (තමුන්ට කන්න තියාගත්ත උදේ හදපු පරිප්පු චුට්ටද කොහෙද ) ගෙනවිත් බෙදනවා.
“මහත්තය බත් තව ටිකක් බෙදන්නද ?”
"හා අන්කල්” ආයිමත් කොතක් ගහලා බත් !
දෙවන පිඟානත් හිස් වේගෙන වගේ එනවා . මාලු ජාති ඉවරයි (නුවර අය මාලු කියන්නෙ , ව්‍යංජන වලට බව කරැණාවෙන් සලකන්න) .. බත් ඉතුරැයි .
“එහෙනම් තව මාළු ටිකක් බෙදන්න”
හොඳ හැටි බඩගිනි නිවා ගත්තු අපි දෙන්නා පුරුදු විදියට පොඩි කතාවකට වැටෙනවා. නාට්‍ය , රට තොට තොරතුරු , සංගීතය ,.. කාලය ගෙවෙනවා දැනෙන්නෙත් නැහැ ..
“එහෙනම් අපි යන්නම් අන්කල්. කීයද ගැන ?”
පිගන් කියක් කෑවත් ගැන වෙනස් නොකරන රන්මල් අන්කල්ගේ අතට පතිත වෙන අදහසින් , මේ කතාවෙන් ඉතිහාස ගත වෙන්න නියමිත දාහේ කොලේ මගේ පොකට්ටුවෙන් එලියට ආවා.
“අනේ , මාරු කරගන්න ටිකක් අමාරුනේ. බඩු වගයක් ගන්න , තිබ්බ සල්ලි ටික යැවුවනේ … පස්සේ දෙන්න, ඕක හදිසියක් නැහැ”
දාහේ කොලේ ස්තුතිවන්ත මුහුණෙන් රන්මල් අන්කල් දිහා බලල ආයිත් පසුම්බියට ගොඩ වුනා.
~''~
සතියකට ඉහත... රත්මලාන පෙට්‍රල් ෂෙඩ් එක... ගියේ පෙට්‍රල් ගහන්න කියල කියන්නත් දෙයක්යැ !
වාහනය තෙල් ගහන්න නතර කරලා , රථාචාරියා මෙන්ම මගෙ ආරක්ෂකයා පෙට්‍රල් ටැංකිය ගාවට ගිහින් ෂෙඩ් එකෙ මල්ලි සමග කතාවකට වැටීගෙන... රථයෙ අනෙක් පස වීදුරැවට තට්ටුවක් ... හිස උස්සල බලද්දි , ලාවට දැලි රැවුල වැවුන තරැණයෙක් , කරේ කිළුටු බෑග් එකකුත් දමාගෙන , විදුරැව පහත් කරන්නැයි පවසනවා . යමක් ඉල්ලීමට විය හැකි නිසා , කරදරෙන් බේරීමට මම , මගෙ ආරක්ෂකයා පෙන්වා අත දිගු කලා .
"අනේ අයියෙ , දවල්ට කන්න රැපියල් සීයක් දෙන්න"
රුපියල් සීයක් !!!!!!!!! ආරක්ෂකයගෙයි මගෙයි දෙන්නගෙම ඇස් උඩ ගියා. රටේ උද්ධමනය මට මතක් වෙද්දි ආරක්ෂක අංශයේ නම් ලේ ගමන උද්ධමනය වෙන්න ඇති ! හැබෑට රැපියල් සීයක් ඉල්ලන අයත් ඉන්නවද ඔහොම !
"මෙතන රැපියල් විස්සක් තියනවා , ඉතුරැ ටික හොයාගන්න"
"අයියෙ , මේකෙන් මොනව කරන්නද , දෙනවා නම් සීයක් දෙන්න " කොහොමද මල්ලිගේ සද්දේ …
"මගෙ ගාව සීයක් නෑ, දාහක් තියෙන්නෙ. ඔන්නම් 20ක් දෙන්නම්. ගන්න බැරිනම් යන්න "
ඇත්තටම එවේලේත් , මෙච්චර වියදම් අස්සේ හැංගිලා හැංගිලා ඉඳලා , ආයිත් කරලියට ආවෙත් , එවෙලේ තනියම පසුම්බියේ හරිබරි ගැහිලා උන්නු ඒ දාහේ කොලේ තමයි..
" මහත්තයගෙ විස්ස මහත්තයම තියාගන්න " පුස් පාට් එකකුත් දාල අර මල්ලි ගස්සගෙන යන්න ගියා
මන් හිතන්නේ ඔය දාහේ නොට්ටුවටත් පණ තිබ්බ නම් ලජ්ජා හිතෙන්න ඇති.
~''~
තෙවන දාස් කතාව - 2017 මාර්තු 13 බදාදා - උදේ 8ට විතර …
එදා බදාදා.. මම නුවර යන දවසක්. වෙනදට යන උදේ හතේ දුම්රිය පරක්කු වෙන නිසා , 5.55 දුම්රියට මම නැගුනා. 5.55 දුම්රිය හරිම සුවපහසුයි. හොර බළලෙක් වගෙ මේ සටහන් කොටන්න ලෙහෙසි වෙන්නම හදපු මේස පොඩිත්තකුත් ඉදිරියෙන් තියනවා . ඉතාම පිරිසිදු මැදිරි ඊයේ දවසට ගෙනාවේ මිහිරි ආරම්භයක් ..
දැන් ගෙදර නිදන වෙලාවට වැඩි වෙලාවක් මම නිදන්නේ කොළඹ නුවර යන වාහන වල. ඉතින් කඩින් කඩ නිදා ගන්න එක අහන්නත් දෙයක්ද .. ඉතින් නිදියලා නැගිටලා , නිදියලා නැගිටලා , ආයිත් නිදියලා නැගිටලා අන්තිමම වතාවට නිදාගෙන මම ඇහැරැනේ කඩුගන්නාවෙ බලන. හරි බඩගින්නකුත් එක්ක..
දෙයියො බැලුව වගෙ, දුම්රිය කැන්ටිමෙ මල්ලි කෙනෙක් ප්ලාස්ක් එකක තේ විකුණගෙන ඉදිරියට එනවා දැක්කම දැනුන සතුට ! . මට තේ එනක් දෙන්න , ඉල්ලුම කලාට පස්සෙයි මම පර්ස් එක ඇද්දෙ. දෙයියන්ට ඔප්පු වෙච්චි,සල්ලි නෑ . නෑ නැ පර්ස් එක තියනව , සල්ලිත් තියනවා . හැබැයි දාහක් !! ( ඔවු ඔවු , දාස් කතාවේ දිගට දිගට එන මේ ඉතිහාසගත දාහේ නෝට්ටුව එවෙලේ තිබුනේ මගේ පසුම්බියේ ) මාරැ නෑ !. කෝපපෙට වක්කරපු තේක දැන් කොහොම එපා කියන්නද ?
"අයියෝ මාරැ නැහැනෙ , දාහක් තියෙන්නෙ "
මම ටිකක් බයෙන් වගෙ කිව්ව. කෑව නම් බිව්ව නම් සල්ලි දෙන්න එපැයි .
"කමක් නැහැ , පස්සෙ එන වෙලාවක දෙන්න ... "
ඔහු තේ එක මගේ අතට දීල , මම බෑග් එක අවුස්සදීම , ඒ ගැන වගක්වත් නැතුව නැගිටලා යන්න ගියා ...
මම ඔහුට පින් දෙමින් තේක බිව්වා .... පුංචි රැපියල් පණහක් තමයි . මුහුණවත් ඇඹුල් නොකර , ඉත සිතින් තේක නොමිලේ පුද දීල ගිය ඔහුට කිසිදා පිපාසයක් ඇති නොම වේවා !...
දාහේ නොට්ටුවටත් හීනියට හිනාවක් යන්න ඇති.
~''~
අන්තිම දාස් කතාව - 2017 මාර්තු 13 බදාදා - උදේ 10ට විතර …
අද නම් වෙලාවට නුවරට ආව ! 8.50යි . සතුටේ බැහැ . අතේ මාරැ නැහැ කියල , තේක නිකම් බොන්න වෙලා පැය බාගයක් යන්න ඇති.ගුඩ්ෂෙඩ් එක දිහාට මම දුවන් ආවේ ටැක්සියක් ගන්න . බෝ ගහ යට ටැක්සි රියදුරෙක් පත්තරෙ බලනව.
“ඊසොෆ්ට් එක ගාවට යන්න ඕනෙ”
“නගින්න" ත්‍රිවිල් අන්කල්ගේ මුනේ මල් පිපුන. මගේ මුනෙත් මල් පිපුන.
“හැබැයි දාහක් මාරැ කරන්ඩ තියෙන්නෙ” ඊලගට මම එහෙම කිව්වා. මල පරවුනා.. ස්ටාට් වුන එන්ජිම නතර වුනා. මුණ රළු වුනා . පත්තරෙ ආයි දැග හැරැන .
“යන්ඩ බැහැ . මාරැ නැහැ”
“එතනින් මාරැ කරගමුද?” මම ඉතින් වැඩේ අතහරින්න කැමති නැහැ .
“බැරි වෙයි” මා දෙස නොබලාම පිලිතුරක්.
ඊට පිටිපස්සෙ ත්‍රිවිල් එකෙ කොලුව ඔලුව දානව ,
“කොහෙටද මිස් ? “
”ඊසොෆ්ට් එකට .. හැබැයි දාහක් මාරැ කරන්න පුලුවනිද ?”
“යං , අර ෂෙඩ් එකෙන් මාරැ කරල දෙන්නම් ...”
ත්‍රිවිල් පාක් එකට අල්ලපු වැටේ තියන පිරවුම් හල මට අමතක වුන හැටි. ! පත්තරේ බල බල හිටි අන්කල් හොදටම දිග ඇරපු පත්තරෙන් ඔලුව වහ ගත්ත. දාහේ කොලේ මේ වතාවේ නම් සුසුමක් හෙලුවා.
……
දාහ ගැන දාහක් කතන්දර අහගත්තු අර පණ තියන දාහේ කොලේ , පිරවුම් හලේ කොලුවා අතට පැනගෙන , හීන් හිනාවක් පාල මගෙන් සමු ගත්තා.
~''~
ඒ ඇඩ්වෙන්චර් ඔක්කොටෝම පස්සේ කොළ පාට දාහෙ කොළේ නිල් පාට වෙච්චි හැටි! :D
ReplyDelete:D :D යමක් කමක් තේරිලා වගේ :)
Deletewow niyamayi
ReplyDeleteබොහොම ඉස්තුතියි :)
Deleteවාසනාවන්ත දාහක්. අපරාදෙ යන්න ඇරියෙ.
ReplyDeleteමටත් දැන් එහෙම හිතෙනවා (සිනා )
Deleteඋන්නත් දාහයි, මලත් දාහයි!
ReplyDeleteදැන් පන්දාහේ කොල තියෙන රටේ දාහට තැනක් නෑ මිසී!
එක නම් ඇත්ත... :)
Deleteහෙහ් හෙහ් පව් සදා අසරණ රන්මල් අන්කල්
ReplyDeleteනැහැ , පස්සේ සල්ලි දුන්න :)
Deleteඅපොයි
ReplyDeleteayi apoy ?
Delete