දවසක් මගෙ අලුත් ලිපි ටික කියවාලා
මූණත් පුළුටු කරගෙන දුකකුත් පාලා
ඔක්කොම ලියනවා , කොයි මම ගැන ලියලා
කෙරුවා කිටී පැමිණිල්ලක් ඇවිදිල්ලා
කවියෙන් මොටද අපි ආදරේ පෙන්නන්නේ
ලෝකෙට දොඩන්නට මොකටද ඉඟි දෙන්නේ
කිටියා ඒත් නැහැ පැරදුම පිළිගන්නේ
පෑනක් අරන් මම ලියමන අරඹන්නේ
කොයි පැත්තෙන් පටන් ගත්තත් හිත නැවතී
අහනව මගෙන් , ඇයි කිටියට ඔබ කැමති ?
කැමතිද ,අකමැතිද , ඒ මොකටද නොසිතී
කිටී ඔබ සොඳුරු පැනයකි , පිළිතුරු නොමැති
මගෙමයි කියා කිසිවක් මට නොම තිබුන
මටමයි කියා ආදරයක් නොම ලැබුන
ලොවකින් මුදා මා අද සතුටින් තියන,
ලෝබයි ඔබේ ගැන ලෝකෙට පවසන්න
ඉඳහිට නෝක්කඩු කියනා බව ඇත්තයි
එනමුත් මගේ සෙනෙහස තිර බව සත්තයි
නිතරම සිහි වන්නේ ඔබ සිටිනා පැත්තයි
කිටි මට ඔබ නැතිව ජීවිතයම තිත්තයි
සැප දුක මැදින් කුලගෙයි තුන් මස ගෙවුනා
වැඩියක් දවස් වල රන්වන් ඉර නැගුනා
ඉඳහිට වැස්සකුත් වැටුනා කළු කෙරුනා
සිරිකත අප කැදැල්ලෙහි රැඳුනා , රැඳෙනා…
No comments:
Post a Comment