Tuesday, September 08, 2015

[321] සිනහසෙන ගිනි කඳු


ඒ මීට දෙදවසකට පෙරය . උදේ සිට දකින්නට අහන්නට විඳින්නට ලැබුනේ වෙහෙසකර දේය . එහෙත් දවස ඉවර වන එම රාත්‍රිය අග්ගිස්සෙහි ඉතාමත් සුන්දර හුරුබුහුටි මටසිලිටු තාලමය ත්‍යාගයක් එල්ලී තිබුනේය . නොලියා , නොතකා සිටිය දිගු කාල සීමාව දැන් හමාර කල යුතු යැයි "සිහිනයකි රෑ" මට ඉඟි කළේය !

ලෝකයෙහි කොයි කොයි දේ , කොතැන සිදු වූවත්, ඒවායෙහි ඇතැම් විට මහා ගුප්ත සම්බන්ධයක් විදාරණය වී පෙනෙයි. එහෙත් ඒවායෙහි එකිනෙකෙන් අනන්‍ය වූ මහා තනිකමක් ( isolation) ද තනිව ගත් කල වේදනාවක්ද විටෙක  පෙනී නොපෙනී යයි.

මට Babel නම් ඔස්කාර් සම්මාන දිනූ ඇමෙරිකානු - මෙක්සිකානු - ප්‍රංශ සිනමා පටය සිහියට නැගෙයි. ලෝකයේ සතර කොනක වසන පවුල් හතරක් , එකම එක තුවක්කුවකට පින් සිද්ද වන්නට , කිලෝ මීටර දහස් ගණනක පරතරයකින් පිහිටා සිටිමින් , එකිනෙකාගේ ජීවිත වලට කරන බලපෑම අදහා ගත නොහැකි තරම් විස්මය ජනකය ! ලෝකය තනි යායකි . සොබාදහම යයි නම් ලද , සංකීර්ණ හා ආකුල වූ , ලොකු කුඩා දැති රෝද ව්‍යුහයක අපද එක් දැති රෝදයක් බවට පත්ව සිටි. අප එකිනෙකාගේ දැති රෝද වලට කිටි කිටියේ හේත්තු වී නොනවතින ගමනක යෙදී සිටිමු.


කෙස්සෙහි , ඇස් වල , ඇඳුම් වල සහ හමෙහි පැහැය එකිනෙකාගෙන් වෙනස් වෙද්දී, කතාබහ , ගමන බිමන , හැසිරීම සහ චාරිත්‍ර වාරිත්‍ර මිනිසාගේ එම වෙනස් කම් උලුප්පා පෙන්වද්දී, ගැහෙන ලේවල දිවයන තිගැස්ම විඳවීම වේදනාව මිනිසාට පොදු වෙයි. එය එකම මානව කුලයක පොදු කතාන්තරයම බව Babel නැරඹීමෙන් අනතුරුව හද පසක් කරයි.

ජීවිතය පිළිබඳව බොහෝ ගැඹුරින් සිතීම දෑසට අඟලක දුරින් සමනලයකු නැරඹීම හා සමානය. (මතකද? මට සමනලයෙකු අල්ලලා දෙන්න ලිපිය ) - ලංව ගත් කල අසුන්දර , සමනලයෙකුගේ පිලිකුල් දනවන බඩවත , ඈතින් බලන කල වෛවර්ණ පිහාටුවලින් වැසි තිබෙයි . ආත්මය වෙත බොහෝ ලංව බලද්දී දැනෙන ජීවිතයෙහි ක‍ටුක සහ නිස්සාර බව වැටහී යාමේ අන්ධකාර භීතිය, අතේ දුරින් ජීවිතය දකිද්දී එතරම්ම නොදැනෙයි . එය සත්‍යයෙන් පලායාමක්ද? සත්‍යය නොදු‍ටුවා සේ අහක බලාගෙන සීටිමද නුවණැත්තෙකුට තරම් නොවෙයි.



මේ තරම් වැල් වටාරම් ගොඩක් සමග මා අවතීර්ණ වන්නේ එදා - සඳුදා ජාතික රුපවාහිනියෙහි  දුටු සිහින රාත්‍රියෙහි  මට තිලිණ කල ජීවිත ආනන්දයෙන් බිඳක් ඔබ සමග බෙදා ගැනීමටය. මාස ගණනාවක් තිස්සේ වල් වැදී අකර්මන්‍ය වී තිබූ ලිවීම සහ සෞන්දර්යාත්මක සිතීම යලිත් පණ ගසා ආ සෙයක් මට දැනෙන්නට විය. 

අමිලා නදීශානි විසින් අපූරුවට ගැයූ නන්දා මාලිනියගේ, අමරදේවයන්ගේ, අමරසිරි පීරිස්ගේ සොඳුරු ගී තාල , විඩාපත්ව සිටි මනසට සිහිල් දිය බිඳත් වත් කරන්නා සේ මිහිරක් ගෙන ආයේය. ඉතා සොඳුරු සහ සෞම්‍ය කතා බහකට පණ පෙවූ නාරද විජේසූරිය නම් සොඳුරු කලාකරුවාත්, මහේශ් නිශාන්ත නම් වියත් නිවේදකයාත් , විඩාපත් මිනිසෙකු සොයා යමින් සිටි ජීවිතාශාව යලි කැඳවා එන්නට තරම් හාස්කම් සහිත පිළිසඳරක් සිරුවෙන් ගෙත්තම් කල අපුරුව නම් අගය කල යුතුමය . ගීතයට කල හැකි හාස්කම් අරුම පුදුමය !

නාරද සොයුරානන් විසින් එක්තරා අවස්ථාවකදී පැවැසූ කුඩා වැකියක් මගේ සිත මහත් සේ සසල කරන්නට සමත් වූයේය !

"අපි හැමෝම ඇවිදින ගිනි කඳු වගේ "


එය සැබෑවක් නොවේද ? බොහෝ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දීමෙන් ආතුරව ගිය හදවත් වල අනල්ප වූ බර දරාගෙන අප උදෑසන අවදි වෙමු. දහසකුත් එකක් ඉවර නොවූ ගනුදෙනු පිලිබඳ මතක අවුස්සමින් දෙවන තෙවන වරද සේදීමෙන් විවර්ණව ගිය වෙස් මුහුණ පැළඳ , අපි මහ මගට බසිනෙමු. දහසකුත් එකක් රාජකාරි , සහ ආතුර මොළ සමග ඔට්‍ටු වෙමු. ගොඩ ගසා ගත් අලුත් වේදනාවන්ගේ බරින් පීඩිතව සවසට නැවැත නිවසට ගාල් වෙමු , පෙරදා රැයෙහි ද වළඳා ඉතිරි වූ තවමත් ඉවර නොකළ අතීත දුක් එක දෙකක් සුප්පු කොට හපා ඉවත ලමු. නළල රැලි කොට ගෙන , හෙට දවස පිලිබඳ අනියත හැඟුමෙන් භරිතව නිදා වැටෙමු. සිරුරෙහි විභවය හදවත නම් , එය පිරි ඇත්තේ සනාතනික වේදනාවකින් නොවේද ?

දිය නොරඳන නෙලුම් පතෙක පිවිතුරු හා නො ඇලෙන බව කෙලෙස නම් හදවතක දකින්නද ? පිවිතුරු හදවතක වුවද පතුලෙහිම සැඟවගත් විභවයෙහි පැසෙමින් දැවෙන අනේක විධ තැවීම් රිදීම් සහ අහිමි වීම් වල මතක, ගිනි කන්දකට හැර අන් කිසිවකට සම කළ හැකිද ? ඇතුලත දැවෙන තාපය , මලානික වූ දෑස් වලින් සම්ප්‍රේෂණය වෙතැයි බියෙන් මෙන් අප නිරන්තරව සිනහ වෙමු. නියම පදරුතින්ම කියතොත් , අපි “සිනහසෙන ගිනි කඳු” වෙමු.


නාරද සොහොයුරාණන් පැවසූ තවත් එක් වදනකින් මේ කුඩා සටහන නිමා කරනට සිතෙයි.

" ජිවිතයේ හැම තිස්සෙම , මට කතාකරන්න කැමති දේ කතාකරනවා නම් මම නිදහස් මිනිහෙක්. ඔබ මම ගැන හොද මිනිහෙක්ද නරක මිනිහෙක්ද හිතයි කියලා මට කියන්න ඕනේ දේ නොකිය ඉන්නවා නම් මම වහලෙක්. මම ආදරය විඳිනවා , මට ආදරය දැනෙනවා , පුද කරනවා .. හැම ගීතයකම කොහේ හෝ තැනක ආදරය ගැබ් වෙලා තියනවා . වෛර කරන , පිහියෙන් අනින දමල ගහන මිනිස්සුන්ට වඩා , ආදරය කරන , ආදරෙන් පිරුණු , හැඟීමෙන් පිරුණු මිනිස්සු වාසනාවන්තයි"

ගීතයෙහි , සිනහවෙහි , ආදරයෙහි හාස්කම ඒකය !

දිනෙකට මිනිස්සු බොහෝ  ගණනක් - නාරද සොයුරාගේ වචනයෙන් කියනවා නම් "ඇවිදින ගිනි කඳු” බොහෝ ගණනක් අප පසු කර යති. ඇතැමුන් අපට සිනහ වීගෙන මාරු වෙති. ඇතැමුන් අප පසු කොට ගිය පසු සිනහ සෙති .ඇතැමුන් අප පසු කොට ගිය බවවත් නොදකිති. මන්ද , ගිනි කඳු මත අසංඛේය සිහින බුබුළු දමයි . ඇතැම් ගිනි කඳු වාසනාවන්තය, ආදරබරය ! එනිසාම දැවෙන ගිනිකන්දකට වුව සිසිලෙන් ආදරය කල හැකිව තිබෙයි.

දියමන්තියක කැපුම් පහරින් මට සිලි‍ටුව, සිය උපන් හැඩතල හා භාව භාව සහ අහිමි කරගන්නා නීල මාණික්‍යයක දුක, වෙලෙන්දාට නොපෙනෙයි. දිස්න දෙන රූපයට ලොකු මිලක් නියම කොට , වීදුරු කූඩුවක් තුල විල්ලුද කොට්ටයක සතප්පවන ලද ශෛලමය මහේසිකාවක නොවී , නිකම් ගල් කැබැල්ලක් ලෙසම පොළවට පස්ව යා නම් හොඳ බව නිල් මැණිකටත් සිතෙන්නට ඉඩ තිබෙයි. ප්‍රදර්ශනාත්මක මියයාමක් ? එහෙම නොමැති නම් අප්‍රකට සමුගැනීමක් ? එයත් සිහිනයක් විය හැකිය .


සැබෑ වීමෙහිදී ආස්වාදනයක් කළ හැක්කේ සිහිනයකට පමණක්ම නොවේද ?

"මට තරම් හීන තියන අය ඉන්නවද කියලා මම හීනෙකින්වත් හිතන්නේ නැහැ"

නාරද විජේසුරිය නම් සොඳුරු මිනිසා වැඩසටහන අවසන් කරන අවසන් වැකිය මගේ යළි ප්‍රවේශය සනිටුහන් කරන්නේ එසේය !

සිහිනයකි රෑ - සැප්තැම්බර් 6 දා වැඩසටහන අන්තර්ජාලයෙහි නරඹන්න 1 කොටස 2 කොටස

11 comments:

  1. සර්පයා.September 8, 2015 at 1:56 PM

    සතියේ දවස් වලට මගේ දවස පටන් ගන්නේ හවස හතරයි කාලට, ඉවර වෙන්නේ උදේ අට හමාරට, ඉතිරි වෙලාවෙ මම කරන්නේ "සීතල" ගිණි කදු ගොඩක් මැද්දට වෙලා ගිනි තපින ඒක.....

    හැන්දෑවට හෙම්බත්ව නවාතැන සොයන,
    රාතුියට බඩට නොදැනෙන්නට කන,
    අැදට නොදැනෙන්නට නිදන,
    උදේට "අදනම්" බලාෙපොරොත්තු පොදිකරන,
    පැය 12 ජීවිත........


    අදයි වෙලාවක් ලැබුනේ කමෙන්ට් කරන්නවත්... හී...

    ReplyDelete
    Replies
    1. ඉතින් සමාවෙන්ට ඕනි. අයි වෙලාවක් ලැබුනේ පිළිතුරු ලියන්ටත් . :)

      Delete
  2. මගේ හිස මත තිබුණු ගිනි කන්දකුත් මේ සටහනත් එක්ක මොහොතකට බිමින් තිබ්බා.... ස්තුතියි. ආදරය හඳුනන්නේ ආදරණිය හදවත් ඇත්තවුන්ය.

    ReplyDelete
    Replies
    1. හරිම සතුටුයි. එයයි මා බලාපොරොත්තු වෙන්නේ , ලිවීමෙන් ....

      Delete
  3. අගෙයි..................... ජයවේවා

    ReplyDelete
  4. ආයෙත් පාරක් ලියන්න ගත්ත එකට නම් මම හරිම කැමතියි. මොකද දිල්ගෙ අකුරු වල කිසිම වෙළඳාමක් නෑ. ඇතුළාන්තයෙන් පැන නඟින හැඟීම් ගණනක් මේ අකුරු වල ගුලි වෙලා තියෙනවා. මේ හැම වචනයකම සම්පූර්ණයෙන්ම දිල් හැංගිලා ඉන්නවා.. ඒ නිසාම ලියන දේවල් වලට පණ එනවා. දිගටම ලියන්න තේරුණාද ගෑණු ළමයාට

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නගා. මේක අමතක නොවෙන වැකියක්.
      "මොකද දිල්ගෙ අකුරු වල කිසිම වෙළඳාමක් නෑ. ඇතුළාන්තයෙන් පැන නඟින හැඟීම් ගණනක් මේ අකුරු වල ගුලි වෙලා තියෙනවා."
      :)

      Delete
  5. /* ...............එකම එක තුවක්කුවකට පින් සිද්ද වන්නට......................*/

    පින් ?

    ReplyDelete
  6. ලස්සනයි MA'M. අකුරක් නෑර කියේවුවා...

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->